නුඹ සිහින තුළ නුඹම කිමිදී
නිදාගත් කාලයෙන් අවදිව
බලන් සුහදේ, පිපුණු මල් අග
සුවඳ ගෙන ඇවිදින් වසන්තය...
පාළුවේ දැල්වෙන පහන් වල
ගලා යන ඉටි කඳුළු දියවී
නුඹව සැඟවූ ලොවට නිහඬව
ගයයි සියදහසක් වියෝ ගී….
දැන්වීම් ඇලවීම තහනම් කියන දැන්වීම මඟ හරිමින් අලවා ඇති සිය ගණනක් පෝස්ටර් අස්සෙන්, අතරින් පතර රතු පැහැ පෝස්ටරයක් ඊයෙ පෙරේදා පුරාම ඉස්සිලා පෙනුණා. “ඔවුහූ ඔබට අසීමිතව ප්‍රේම කළහ “ අන්න එහෙමයි එහි ලියා තිබුණෙ.
අපි අසීමිත ප්‍රේමය කියන වචනයට ජීවිතේ එක එක වයස් වලදි, එක එක අත්දැකීම් නිසා අටෝරාසියක් නිර්වචන දෙනවා. එහෙත් අසීමිත ප්‍රේමය කියන්නෙ මානව සංහතිය පුරාම පැතිරවිය යුතු මහඟුම උත්තම ස්නේහයක් බව අපි කොයි කවුරුත් අහලා තියනවා. එහෙව් ප්‍රේමයක් දිය හැකි මිනිස්සු මෙලොව ජීවත් වෙනවාද නොවෙනවාද කියා සැක හිතෙන කාලයක අපට අසීමිතව ප්‍රේම කළ බව කියන ඔවුන් වෙනුවෙන් කුඩා සටහනක් තියන්නට මට ඕනෙ කළා.
ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ පළවෙනි දවසෙ, ඕපන් කැන්ටිම ඇතුළෙ දූවිලි වැකුණු බිත්තියක ඇලී සිටි අසීමිත ප්‍රේමයේ පෙම්වත්තු මට මුලින්ම මුණ ගැහුණා. පක්ෂය, දේශපාලනය, සමාජ චින්තනය, සමානාත්මතාවය ආදී දහසක් වචන බරක් කරගත්ත සමාන්‍ය මිනිස් සමාජය ඇවිල්ලා ඔවුන් සියලු දෙනා එක පැත්තකට තල්ලු කරන්න හැදුවාට, විශ්වවිද්‍යාල වල ඉගෙන ගන්න හුඟක් එවුන්ට ඔවුන්ව පෙනෙන්නෙ මහා වීරයො විදිහට. දැන් විශ්වවිද්‍යාලෙ නොහිටියත්, මටත් එයාලාව තවමත් ඒ විදිහටම පෙනෙනවා. දැනෙනවා. ඔවුන්ට ආදරය වඩන්න හිතෙනවා.
හැම ශිෂ්‍යයෙකුටම වීරයෙක් වෙන්න අමාරුයි. මතයට විරුද්ධ කෙනෙක්ව තව කෙනෙක් ඇවිත් මරා දැම්ම පලියට කවුරුවත් වීරයෙක් වෙන්නෙ නෑ. කෙනෙක්ව විරුවෙක් කරන්නෙ, ඔහුගෙ හදවතයි. පරාර්ථය අගය කරන පරම පවිත්‍ර සිතුවිල්ලයි. ඇතුළාන්තයෙන් නැගෙන අනෙකාගේ යහපත පතන ප්‍රහර්ෂය.
කෙනෙක්ට සුව පහසුවෙන් ජීවත් වීමට අදාළ වටපිටාව සකසන්නට, තමන්ගේ සුවපහසුව කැප කරන, කැප කළ සෑම මිනිසෙක්ම විරුවෙක්. ඔහු බාල ද, තරුණ ද, මහලු ද, යන නිර්ණායක එතැනට කිසිම බලපෑමක් කරන්නෙ නෑ.
විශ්වවිද්‍යාලෙ ඇතුළෙ වීරයො කියන්නෙ, තමන්ගෙ මතයට පක්ෂව සටන් වදින අයට පමණයි. අපි ජීවත්වෙන්නෙ උදාසීන රටක නිසා, විවිධ මතයන්ට ගරු කිරීම ඉතා දුලබයි. ඉතිං පුංචි උද්ඝෝෂණයක් වුණත්, කඳුලු වලින් කෙළවර වෙන අවස්ථා එමටයි. අදටත් වඩා අමාරු කාලවල් ගෙවපු රටක් අපේ රට. හේතු නිසා හෝ ආහ්තුකව හෝ වස්සානයට ඉස්සර හේමන්තය වැළඳගත් තරුණ පරපුරක් අපේ රටේ හිටියා. ඔවුන් අද හිටියා නම්, මේ ලිපිය කියවන ඔයා පවා ඔවුන්ගෙ දරුවෙක් වෙන්න ඉඩ තිබුණා.
ඔවුන් ගිය මග හරිද, වැරදිද කියලා තර්ක කරන්නට මට කිසිම ඕනෙ කමක් නෑ. ඒත් ඔවුන් කවුද කියලා හැම තරුණ තරුණියක්ම මතක තියා ගන්න ඕනෙ බව මම විශ්වාස කරනවා. යහපත් සමාජයක් කරා, සාධාරණ සමාජයක් කරා රට මෙහෙයවන්නට ඔවුන්ට සිතිවිල්ලක් තිබුණා. ඒ සඳහා ක්‍රියා කළ විදිහ නිවැරදි නොවුණත්, වැරදි වුණත් ඒ සිතිවිල්ල හරි ශක්තිමත්. ඒ තරම්ම පිවිතුරුයි.
දියේ ගිලෙන කෙනෙක් බේරා ගන්න දියට පනින කෙනෙක් ගෙ සිතුවිල්ල තරම්ම එය ශක්තිමත්, වලකට වැටුණු මිතුරාට ගොඩ ඒමට වලට බසින කෙනෙක් ගෙ හැඟීමක් තරම්ම ඒ සිතිවිල්ල ශක්තිමත්. කෙනෙක් තමන්ගෙ පැවැත්ම අනෙකා වෙනුවෙන් අතහරින්නට තරම් නිර්භීත වීම වීර කරමකට එහා ගිය මානව ප්‍රේමයක්. ප්‍රේමය කියන්නේම මුළු හදවතින්ම සැමරිය යුත්තක්.
ඒත් වැලන්ටයින් ප්‍රේමය වගේම, විශ්වවිද්‍යාල අස්සෙ, මේ අසීමිත ප්‍රේමයත් සමරන්නෙ, ආටෝපෙටද කියලා වෙලාවකට මට හිතෙනවා. එක දවසක්, උද්ඝෝෂණයක කෑ ගහගෙන යන මල්ලි කෙනෙක්, “ අපි යන්නේ කොයි පාරේ.. ත්‍රීමා වෙනුර ගිය පාරේ “ කියලා මහ හයියෙන් කෑ ගහන ඒ සමූහයෙන් මිදිලා, මං කෑම ගනිමින් හිටි කඩේට ආවා. වතුර බෝතලයක් ගන්න. හිතවත්කමට හා සහෝදරත්වයට මං නිකමට ඔහුගෙන් ඇහුවා කවුද මල්ලි “ත්‍රීමා“ කියන්නෙ කියලා. එතකොට ඒ මල්ලි කිව්වා, ත්‍රීමා වෙනුර කියන්නෙ හොඳ ශිෂ්‍ය වීරයෙක් කියලා. ඔහු කෑ ගහන්නෙ පුද්ගලයන් දෙන්නෙක් පිළිබඳවයි කියලාවත් නොදන්න ඔහු කොහොමද, ඔවුන් දැක්වූ අසීමිත ප්‍රේමය හඳුනාගන්නෙ?
බකට් එකට කලිං ජෙෂ්‍යටයන්ට බයේ කට පාඩම් කළාට, ඔවුන් දුන් බව කියන අසීමිත ප්‍රේමය ගැන , හැඟීමක් ඇති අය දැන් විශ්වවිද්‍යාල අස්සෙ නැති තරම්. ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය යම් යම් පක්ෂ වල අතකොළු වෙලා, දෙපැත්තට ගහගෙන ගිය නිසා හුදු පක්ෂ න්‍යාය පත්‍ර පමණක් වර්තමානයේදීත් ක්‍රියාවට නැංවෙමින් තිබීමයි කණගාටුව. සැමරිය යුත්තේ අනෙකා උදෙසා මිනිසෙකුට කළ හැකි උපරිමය පෙන්වන මිනිසෙකුගේ හදවතයි.
වද වේදනා උහුලමින් තමා පෙනී සිටි සිතිවිලි වෙනුවෙන් නිර්භයව මරණය වැළඳගත් ඔවුන් ට හැබෑවටම අපි ගරු කළ යුත්තේත් එනිසයි. සටහන අවසාන කරන්නට මත්තෙන්, ජයවර්ධනපුර සරසවියේ ඕපන් කැන්ටින් බිත්තියේ එකල හරි මැද අලවා තිබූ කැළණි සරසවියේ සොඳුරු තරුණයෙකුගේ ගේ සේයාරුව සිහියට නගා ගන්නට මම ආශා කරමි. මානව හිමිකම් ගැනම කෑ ගැසූ ඔහු, මානව හිමිකම් සුරැකීමේ දිනය දා පැහැර ගෙන ගොස් මරා දැමූ බව මා අසා ඇත. සේයා රුවේ ඔහුගේ දෑසින්, මා එතෙක් මෙතෙක් දුටු උත්තරීතර ලොව්තුරු ප්‍රේමය දැක ඇත්තෙමි. ඔවුන් ඔබට අසීමිතව ප්‍රේම කළ බව එබැවින් මම විශ්වාස කරමි.
විරු සිසුන් කියන්නේ සාපේක්ෂව අතකොළුවක්
ReplyDeleteකාගේ හෝ පටු දේශපාලන අරමුණක් වෙනුවෙන් මෝඩකම නිසා ජීවිතෙන් වන්දි ගෙවපු අසරණ ජීවිත... සමාජ ක්‍රමය වෙනස් කිරීමට වෙර දැරීමට වඩා වැඩියෙන් යහපත් වෙන්නේ තමුන්විසින් පුද්ගල මට්ටමෙන් වෙනස් වියයුතු යයි කියනා දේවල් වෙනස් කරගෙන සමාජයට ආදර්ශමත්ව ජීවිතය ජයගැනීමයි. ලිඳක් ඇතුලේ පෙළපාලි ගියාට ලෝකය වෙනස් වෙන්නේ නැහැ.. වෙන්නේ ලෝකයා ලිඳ ඇතුලට එබීගෙන හිනාවෙවී අනුකම්පාවෙන් බලන් ඉන්න ඒක විතරයි.
ReplyDelete