හැමෝගෙම ජීවිත වල බකට් ලිස්ට් තියෙනවා. මැරෙන්න කලින් ඒවා ඉෂ්ට සිද්ධ කරගන්න හරි ආසාවෙන් තමයි ඕනෙ කෙනෙක් ජීවත් වෙන්නෙ. ටුවෙන්ටීස් වලදි හිත පුරා ඇති කරගන්න ලස්සන බකට් ලිස්ට් සමහර වෙලාවට තර්ටීස් වලදි චේන්ජ් වෙලා, ෆෝටිස් වලදි නැති බංග වෙලා යනවා. ඒවාට ඇති ආශාව නැති වෙලා ගිහින් වෙනස් කරනවා වගේ නෙවෙයි, කරන්න ඉඩක් නොලද කම නිසා ආශාව හංග ගන්න එක. කවුරුවත් කියන නිසා ආශාවල් වෙනස් කරන්න සිද්ධ වෙන එකම එක්තරා පවක්. වයස ගිහිං හැමෝගෙන්ම මිදෙන දවසට ආසා කරන දේ කරන්න කාලයයි මුදලුයි දෙක තිබුණත් කවුරුත් බාධා නොකළත් ඒවා කරගන්න සවි ශක්තිය නැතිව යනවා. ඒ නිසා තමන් ආසා දේවල් ටිකක් හරි කරන්න දැන් දැන්ම උත්සාහ කරන එක තමයි හොඳම.
මේ දවස් වල තම තමන්ගෙ බකට් ලිස්ට්, හැමෝම පෝස්ට් කරන නිසා මටත් හිතුණා බකට් ලිස්ට් එකක් ලියන්න. මගේ බකට් ලිස්ට් එක දැන ගන්න එකෙන් ඔයාලාට ඇති බකට් එකක් නැති එකේ, අපි ආසා දේවල් කරන්න අපිට බැරි ඇයි කියන කාරණාව අපි අද කතා කරමු. අපේ බකට් ලිස්ට් එක අන්තිමේ බකට් එකටම සීමා වෙලා, අපිට කවදාහරි මැරිලා යන්න වෙන්නෙ ඇයි කියලා අපි කතා කරමු.
ඔයාට මතකද පුංචි කාලෙ ඔයා මම අපි ඉස්කෝලෙ ගියා. ඉස්කෝලෙ යන කාලෙ අපි කොයි තරම් දේවල් වලට ආසා කළාද? අපිකොයි තරම් දේවල් කවදාහරි මෙන්න මෙහෙම කරනවා, අර විදිහට කරනවා කියලා ලස්සන හීන දැක්කද? ඒත් එදා අපේ ලොකු අය අපිට කිව්වෙ මොකක්ද? ලොකු වුණාම ඒ දෙවල් කරන්න පුළුවන් කියලා. දැන් ඒවා කරන්න හිතන්නවත් එපා කියලා. සාධාරණයිනෙ. අපි පොඩිනෙ. ඉතිං අපි තීරණය කලා ලොකු වෙනතුරු ඉවසන්න.
කොහොම කොහොම හරි වාසනාවට අපි ලොකු වුණා. ලොකු වෙලා අපි ආසා දේවල් අපිට කරන්න ඕනෙ වෙන කොට, අපිට වඩා තවත් ලොකු වෙච්ච අපේ ලොකු අය අපිට කිව්වෙ, “දැන්ම එපා. කවදහරි කසාදබැන්ද කාලෙක දෙන්නත් එක්කම ඕවා කරන්න කියලා.“ තටු කඩපු කුරුල්ලො වගේ බලාපොරොත්තු හා හීන එක්ක තාරුණ හිත් මඟ නතර වෙලා ඩිංග ඩිංග වයසට යන්නෙ මේ විදිහටයි.
අපේ ලොකු අය කසාද බැඳලා එයාලාගෙ හීන ඉෂ්ට කරගත්තා කියලා මං කවදාවත් අහලා නෑ. කසාදය, ඉන්පස්සෙ දරුවො, ඉන්පස්සෙ එයාලාගෙ ජීවිත එක්ක ඔට්ටු වෙන එකට අමතරව ලොකු අයත් සතුටක් ලබලා නෑ. දිගු කාලීනව බැඳීම් එක්ක, සීමා එක්ක ඔට්ටු වෙනකොට, තමන් ඇත්තටම ඉන්නෙ සතුටින්ද දුකින්ද කියලා අවබෝධ කරගන්න තරම් ශක්තියක් හුඟක් අයට ඇති වෙන්නෙත් නෑ. හිතෙන්නෙම මේක තමයි ජීවිතේ කියලා. ඉතින් අනෙක් ජීවිතයක් ආශා කරන නිදහස සතුට ගැන දැනුම් තේරුමක් කොහෙන් ලබන්නද?
සදාචාරය, සංස්කෘතිය ඔලුව උඩ තියා ගත්ත රටක, මේ දේවල් වලට අපි තර්ක කරන එක තේරුමක් නෑ. ඒත් මේ ඒකාකාරී ජීවිතය එක්ක තරහ ගන්න සම්පූර්ණ අයිතිය තරුණ අපට තියෙනවා. රස්සාවට යනවා, කැම්පස් යනවා, ආදරය කරනවා එහෙම නැත්තං මඟුල් බලනවා , කෝල් කරනවා, කට් කරනවා.. චැට් යනවා, ස්ටේටස් දානවා.. මොකක්ද මේ ජීවිතය. අපි ජීවිතේ ඇතුළෙම කැරැල්ලක් පටන් ගන්න ඕනෙ කරන්නෙ ඒ නිසාමයි.
අපිට ජීවිතේ ලැබුණ හැටි ඉතාම වැදගත්. ඒ ජීවිතේ ටිකෙන් ටික නිර්මාණය කළ අයත් ඒක කරපු හැටිත් හරි වැදගත්. හැබැයි කවුරු දුන්නත් දැන් මේ ජීවිතය අපේ. මගේ ජීවිතය අයිති මට. ඔයාගෙ ජීවිතය අයිති ඔයාට. ඒ ජීවිතේ තීරණ ගන්න කාටවත්ම අයිතිය දෙන්න එපා. එහෙම දුන්නොත්, රොබෝ කෙනෙකුට එහා ගිය වටිනාකමක් අපිට නෑ. අපිට අපේ ආත්මය අනුන්ගෙ සතුටකට විකුණන්න බෑ නේද? අපි පුංචි උදාහරණයකින් මේ කාරණාව තේරුම් ගන්න උත්සාහ කරමු.
පුංචි කාලෙ සමහර ගෑණු ළමයි, වැඩියෙන්ම ආසා කරන්නෙ බෝනික්කො නළවන්න. ටික ටික ලොකු වෙද්දි එයාගෙ එකම හීනෙ ලස්සන මානමාලියක් වෙලා, මහත්තයාගෙ ලෙදර ගිහින් උදේ පාන්දර නැගිටලා, මහත්තයාට බත් උයලා, එයාව රස්සාවට යවලා එයා එනකං හවස දොර එළිපත්තෙ බලා ඉන්න එක. චූටි බබෙක් නළව නළව තුරුළු කරගෙන ඉන්න එක. ඒ බබා ටිකක් ලොකු වුණාම ලස්සන ලස්සන ඇඳුම් අන්දවාගෙන මොන්ටිසෝරි එක්ක යන එක. පස්සෙ ගොඩක් මේකප් දාං මහත්තයා එක්ක බබාගෙ පේරන්ට්ස් මීටිං යන එක, මහත්තයාගෙ කෝට් එක අතේ දාං එක එක යාළුවන්ගෙ වෙඩිං වලට යන එක,ඔය වගේ හීන කන්දරාවක් සමහර ගෑණු ළමයින්ට තියෙනවා.
ඒත් ඔය අතරෙ තව වෙනස් ගෑණු ළමයෙක් ඉන්න පුළුවන්, රටට මිනිස්සුන්ට දෙයක් කරන්න ආශාවෙන් ඉන්න. ලෝකයම කතා කරන කෙනෙක් වෙන්න හීන දකින, හුදකලාවෙ සංචාරය කරන්න බලාපොරොත්තු වෙන, බැඳීම් නැතිව ජීවත් වෙන්න ආශා කරන. ඒ අස්සෙ ස්වාධීනව කාටවත් බරක් නොවී ආර්ථිකව කෙලින් හිටගන්න උත්සාහ කරන.
මට කියන්න, මේ දෙන්නාගෙන් හොඳ කෙනා කවුද? නරක කෙනා කවුද? ඔයාට පුළුවන්ද ඒ දෙන්නාව මනින්න. බෑ නේද?
ඒ දෙන්නා නිරපේක්ෂයි. අපි පළවෙනියාව උවමනාවෙන් දෙවනියා බවට පත් කළොත් අපි පළවෙනියාගෙ ජීවිතේ විනාශ කරනවා. අපි දෙවනියාගෙ ජීවිතේ පළවෙනියාගෙ ජීවිතේ වගේ සකසන්න උත්සාහ කරන්න ගියොත්, අපි දෙවනියාව දූවිලි කරනවා.
ආත්ම එක්ක සෙල්ලං කිරීම තරම් නරක දෙයක් මේ ලොකේ තවත් නෑ. වියළි කෝටු නවන්න බෑ. ඒත් ඔයා තාම අමුයි. මේ ඇත්ත හැම තැනටම පොදුයි. ඒ හින්දා තේරුම් ගන්න. අපි, අතීත සංස්කෘතික මායිම් කරපින්න ගත්ත වැඩිහිටියො නිසා දුක් වින්දත්, අපි නිසා අනාගත පරපුරට දුක් විඳින්න ඉඩ නොදී ඉමු. අපි ඔබේ ආත්මයට ආදරෙයි. ඔබත් අනාගත පරපුරේ ආත්ම රැක ගන්න.
නෙරංජිගේ මේ ෆොන්ට් එක නිසා කියවන්න ආස හිතෙනවා. අපිට වැඩක් තියෙනවා ඔය ළමයගේ බකට් ලිස්ට් එක ගැන දැනගන්න.. හැක්.
ReplyDeleteසාෂා විදියට මගේ බ්ලොග් එකෙත් කෙනෙක් ඉස්සර කමෙන්ට් කරා. මේකේ තියෙන විදියට ඒ නේරංජි නේද?
ඒ වගෙයි ඒ වගෙයි :D
ReplyDelete