මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

8/14/17

-285- තටු ඕනෙමද ඉගිල්ලෙන්න.

හොයාගෙන යන තරමට අල්ලගන්න බැරි වෙන දේවල් අපේ ජීවිත වල බොහෝම තියනවා. දැන් එක පාරටම ඔයාට මතක් වෙන්නෙ 138  බස් එකද? 154 බස් එකද කියලා නම් මං අහන්නෙ නෑ. බස් කියන්නෙත් කොච්චර දිව්වත් අල්ලගන්න බැරි ජාති වලින් එකක් තමයි. ඒත් අද අපි කතා කරන්නෙ ඒ ගැන නම් නෙවෙයි.

බාල තරුණ මහලු ඕනෑම වයසක පසුවෙන කෙනෙක් කැමතියි සතුටින් ඉන්න. ඒ නිසාම හැමෝම සතුටු වෙන්න පුළුවන් ක්‍රම හොයාගෙන යනවා. මේ හේතුව නිසාම සතුට හිතෙන් මඟ හැරිලා යනවා කියලා මං කිව්වොත් ඔබ සමහර විට විශ්වාස නොකරාවි.

නිකමට හිතන්න, අපි හරිම ලස්සන සමනළයෙක් දකිනවා. අපිට ඕනෙ වෙනවා ඒ සමනළයාව අල්ලගන්න. අපේම කරගන්න. අපි ඒ සමනළයා පස්සෙන් මහන්සි වෙවී දුවනවා. ඒත් අපිට සමනළයා අල්ලගන්න නම් ලැබෙන්නෙ බෑ. සමනළයා ඈතටම පියාඹා යනවා. අපේ ළඟකවත් නොරැඳී ඈතින් ඈතටම පියාඹනවා.

සතුටත් හරියටම ඒ වාගෙයි. අප අල්ලගන්න උත්සාහ කරන තරමටම එයා දුරස් වෙනවා. ඒත් නිසෝල්මනේ අපිත් ගස් අතරටම වෙලා හිටියා නම්, බොහෝවිට සමනළයා අපේ අතටම එනවා. සතුට කියන හැඟීම අපි නිසොල්මන්ව සිටින තුරු අපේ ළඟ රැඳෙනවා. ඇත්තටම කොහොමද එහෙම වෙන්නෙ. කවදාවත් ඔයා මේ ගැන කල්පනා කරලා තිබුණාද?

පවතින ජීවිතේ සතුටු වෙන්න ඕනෙ කරන බොහෝ දේවල් තියෙද්දි අපි අලුත් දේවල් හොය හොයා යන නිසාම නෙවෙයිද අපේ හිතට වේදනාව ඇති වෙන්නෙ. සී සෝ පදින කුඩා දරුවෙක් හොයන්නෙ, මෙරිගෝ රවුමක්. මෙරිගෝ රවුම පදින දරුවා හොයන්නෙ වීඩියෝ ගේම් එකක්. තියන දේ අත් ඇරලා දුවන්න ගිහිං මහන්සි වෙලා. නොලැබීම නිසා හිත වේදනාවෙන් පිරිලා. ජීවිතේ නොහිතාම සංකීර්ණ වෙලා. කුඩා දරුවන්ටත් වඩා තරුණ අපි සංකීර්ණයි. අපි සතුටු වෙන්න හොයන්නේ අපිට ළඟාවෙන්නවත් බැරි දේවල් වෙන්න පුළුවන්. එයින් කියවෙන්නෙ නැහැ. උත්සාහ කිරීම නරක දෙයක් කියලා. ඒත් ලැබී තියන දේවල් වලින් සතුටු නොවී සිටීම අපරාදයක් බව මතක තබා ගැනීමයි අවශ්‍ය වෙන්නෙ. අපි ළඟ තියන දේවල් වලට ගරු නොකර, ඈත තියන දේවල් වලට පස්සෙ දුවලා හති වැටෙද්දි, ළඟ තිබුණු දේ ගිලිහී තියෙන්නට හැකි ඉඩත් බොහොම වැඩියි.

සතුට විතරක් නෙවෙයි. ආදරයත් හොයාගෙන යං කියලා බොහොම දුර යන අපි, අපේ ප්‍රේමවන්තයො ප්‍රේමවන්තියො Sanam Tere Casam හෝ Walk to Remeber ආදරවන්තයන් වගේ නොවෙයි කියලා දුක්වෙන අවස්ථා එමටයි. මං එහෙම අය දැකලා තියෙනවා. Facebook සමාජ ජාලයෙ වැඩක් නැති වෙලාවට උඩ පහළ යනවිට, එක් එක් ටෙලි නාට්‍ය වල, චිත්‍රපට වල සිටින ප්‍රේමවන්තයන්ට ආදරය ප්‍රකාශ කරන post ඇති තරම් ඔයත් දැකලා ඇතිනෙ. සමහර විට ඔයා එහෙම කරනවත් ඇති.  ඒත් අපි ළඟ ඉන්න කෙනා ඒ වගේම වෙන්න ඇත්තටම අවශ්‍යද  කියලා කල්පනා කරලා බලන්න. හැබෑ ජීවිතය කියන්නෙ රංගනයක් නෙවෙයිනෙ. ආදරය කරන අයව ඕනෑවට වඩා වැඩියෙන් විනිශ්චය කරන්නට ගියොත් නැතිවෙන්නෙ ආදරයේ සුන්දරත්වයමයි. ඔබේ ආදරේ අනන්‍යතාව නැති කරගන්නෙ ඔබ විසින්මයි.

දවසක් මම ලස්සන සමනළයෙක්ව අල්ලගත්තා. හරියටම කිව්වොත් මං කලින් කිව්වා වගේ ගස් අතරෙ ඉඳලා සමනළයා මගේ ළඟටම ආවාම යන්න නොදී අල්ලගත්තා. සමනළයා අත කෙළවර ඉද්දි තිබුණේ අපූරු ලස්සනක්. තිත් වැටුණු පිහාටු. ලස්සන පාට මිශ්‍ර වුණු තටු ඔහුට අපූරු සුන්දරත්වයක් අරන් ආවා. ඒ ලස්සන තවත් හොඳින් දැක ගන්න සමනළයාව මං ඇස් අද්දරටම ගෙනාවා. ඔහුගේ පිහාටු, ඔහුගේ දළ, පාද මේ සියල්ලම මට ඉතාම හොඳින් පෙනුණා. ඒත් සමනළයා කියන්නෙ ලස්සන සතෙක් නොවන බව මේ සමනළයාව හොඳින් අධ්‍යනය කළාම මට පෙනුණා. ඌ කැරපොත්තෙකුටත් වඩා කැතයි නේද කියලා අන්තිමේ හැඟුණා. හරිම සංකීර්ණ බියකරු බවක් සමනළයා පුරාම මැවුණා.

ඇත්තටම දැන් මම සමනළයන්ට කැමති නෑ. සමනළයා කියන්නෙ බය හිතෙන තරම් කැත සතෙක්. මං කියන්නෙ බොරු නම් ඔයා සමනළයෙක් අල්ලලාම බලන්න.

ආදරයත් හරියටම මේ වගේ. ඕනෑවට වඩා හොයන්න බලන්න පරීක්ෂා කරන්න දඟලන තරමට, සුන්දරත්වය ගිලිහිලා යනවා. තියෙන දේ ඒ ආකාරයෙන්ම විඳින්න බැරි නම්, අපි ආසා කරන දේ පවතින තැනකට කිට්ටු වෙන එක ඉතාම නුවණට හුරුයි. පවතින දේවල් සම්පූර්ණයෙන් කණපිට හරවන්න යම් කෙනෙක් උත්සාහ කරනවා නම්, ඒක තේරුමක් නැති වැඩක්. අපිට ඕනෙ හැටියට තවත් ජීවතයක් වෙනස් කරන්න අපිට අමාරුයි. කෙනෙක් අයහපත් තැනින් යහපත් තැනට ගැනීම වෙනත් ම දෙයක්. ඒත් චර්යා රටා, ආශාවන් වෙනස් කිරීමට උත්සාහ කිරීම නම් හැබෑවටම බලහත්කාරයක්. ආදරය හා සතුට තුළ පවතින්න ඕනෙ නම්, පරම තෘප්තිය තමන්ගෙ ආත්මය තුළට කාවද්ද ගන්න ඕනෙ නම් තමන් තමන් වෙන්න. ජීවිතය ඇතුළෙ තියන පුංචි පුංචි දේවල් එක්ක ඇවිදින්න යං. එතකොට හැමදේම හරිම සරළයි.   

මිටියාවත් පුරා ඇවිද
දෙපා රිදෙන විට
පැල්පත් හීනය හොයන්න
මතක කපොලු යට
බිම් මල් පිපි පාර දිගේ
උල්පත අද්දර
නිල් කන්දට ඉහළින් අර
උඩ ඉගිලෙන ඉර….


No comments:

Post a Comment

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.