මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

8/14/17

-284- ජීවිතය කියන්නෙම එක්තරා තරඟයක්

සිංහල අලුත් අවුරුද්දට සාප්පු සවාරි යං කියලා එළියට බහින බොහෝ දෙනෙක් ආයෙමත් ගෙදර එන්නෙ සිත් රිදවගෙන. එක්කො තමන් කැමති ඇඳුම් තමන්ට ප්‍රමාණවත් නෑ. නැත්තම් ඒ තරම් ඇඳුමකට  වියදම් කරන්න තරමට තමන්ට මුදල් ,නෑ. ඔය දෙකම නොවේ නම් තමන්ගෙ සිත සතුටු වෙන ආකාරයේ හරි හමං ඇඳුමක් නෑ. කඩ සාප්පු ගනණාවක් ඇතුළෙ තියෙන ඇඳුම් දහස් ගාණකින් එක ඇඳුමක් තෝරා ගන්න බැරිව තරහ ගිහින් ගෙදර එන කීයක් අපි අතරෙ ඉන්නවාද?  සමහර වෙලාවට අපි එක්ක යන අය ඇඳුම් ගන්න එකත් අපි වලක්වනවා නේද? 

නමුත් ඒ ඇඳුමක් ම ඇඳගෙන වෙනත් කෙනෙක් එළියට බැහැලා යද්දි ඒ අය අපිට වඩා ලස්සනට ඇඳගෙන යනවා කියලත් හිතිලා තියෙනවා නේද? මං මේ කිව්වෙ සෑහිමකට පත් නොවන තරඟයක ජීවත් වෙන අපි ගැන අපිටම තව වරක් හිතන්න පුලුවන් සරළ උදාහරණයක් විතරයි. ඇත්තටම ජීවිතය තරඟයක්ද? 
ජීවිතය තරඟයක්. ඒ තරඟය අපි වෙත එන්නෙ එක එක ආකාර වලින්. සමහර වෙලාවට දැනුම විදිහට. සමහර වෙලාවට කුලයක්, ආගමක් විදිහට, තවත් වෙලාවකට දේහ ශක්තිය විදිහට, හැබැයි බොහෝ වෙලාවට තරඟය අප වෙත එන්නෙ, මුදල් විදිහට. 

දැනුම නිසා දිනන්න පුළුවන් කියලා හිතන තැනකදි දැනුම උදෙසා තරඟය නිර්මාණය වෙනවා. පුංචි පහේ දරුවෝ ලියන ශිෂ්‍යත්ව විභාගයේ සිට, මැති ඇමතිවරුත් සහාභාගි වන ලක්ෂපතියන් තේරීමේ තරඟ දක්වා දැනුම තරඟයක වෙසින් ලෙසින් පෙනී  හිටිනවා. 
ජීවිතේ බොහෝ අවස්ථා වල කුලය හෝ ආගම සමඟ තරඟ කරන්නට වන මිනිසුන් අපි දැකලා තියෙනවා. විවාහයේදි, දේශපාලනයේදි, යම් තනතුරක් ලැබීමේදි රහසේම මෙවන් තරඟ තවමත් ක්‍රියාත්මක වෙනවා.  මේ කාරණා නිසා තරඟයම බොහෝ විට අපේ ජීවිතය වෙනවා. 

බොහෝ දෙනෙක් බොහෝ විට හොඳින් ජීවත් වෙන්න උත්සාහ කරන්නෙ තමන්ට හොඳින් ඉන්නට ඇති ආශාව නිසා ම නොවෙයි. තමන් හොඳින් ඉන්නා බව, තමන් සර්ව සම්පූර්ණව සිටිනා බව අන් අයට දැන්වීමට හා පෙන්වීමට ඇති නොතිත් ආශාව නිසයි. මේ තරඟ කෙළවර ජීවිතය තරඟය විසින්ම බිලි ගනු ලබයි. එමගින් තරඟයේ යෙදෙන්නා ම  පරාජය වෙනවා 

හාවාගේ හා ඉබ්බාගේ කතාවේදීත්, තරඟය තුළම ජීවත් වූ හාවාට තමන් ගැන වූ අධි තක්සේරුව නිසා, තරඟය මැද තමන් ලබනා විවේකය පිළිබඳව කළමණාකරනයක් නැති වෙනවා . ඒ විවේකය ම හාවා ගේ පරාජයටද හේතු වෙනවා 

බොහෝ දෙනෙක්ට හිතෙනවා රැකියාවෙන් ඉවත් වුණාම මේ හැම ප්‍රශ්නයක්ම විසඳේවි. තරඟය නැති වෙලා යාවි කියලා. ඇත්තටම එහෙම වෙනවාද? රස්සාව නැති වුණත් පවුලක් තුළ ජීවත්වෙනවා  කියන්නෙ  පරම්පරාවෙන් පරම්පරාවට ප්‍රශ්න එකතුවෙනවා. තරඟ කරන්නම වෙනවා. පාසල් වෙනුවෙන් , ඉඩකඩම් වෙනුවෙන්, යාන වාහන වෙනුවෙන් , කොටින්ම ජේෂ්ඨ පුරවැසි ගිණුම බේරා ගැනීම වෙනුවෙන් පවා තරඟ කරන්න වෙනවා. හුඟක් විශ්‍රාමික අය අන්තිමේ ප්‍රාණ භුක්තියටත් තරඟ කරනවා. 

මේ හැම තරඟයකින්ම පීඩා විඳින්නෙ නාගරික ප්‍රදර්ශන කාරී සමාජයේ ජීවත් වෙන අපියි කියලා අපි හිතනවා.එහෙම හිතලා ග්‍රාම්‍ය නොදියුණු සමාජයකට යන්න ෆැන්ටසියක් යමෙකුට තියෙන්න පුළුවන් . ඒත් ඒක සිස්ටම් එකම ඩවුන්ග්‍රේඩ් කිරීමක් වෙනවා. එය කොහෙත්ම ප්‍රායෝගික නෑ.

අපි දේශපාලන විද්‍යාව ඉගෙන ගනිද්දි  දැන ගත්‍ත, පශ්චාත් සමාජවාදී සමාජය නම් තරගයෙන් මුක්තයි. හැබැයි තරඟය ට ඇති කැමැත්ත නිසාම කවදාවත් එය ඇති වෙන්නෙ නෑ.

හිතන්න. කෙනෙක්ට හිතුණ කියලා,මේ හැම තරඟයෙන්ම මිදිලා කැලෑවක තනිවම ජීවත් වෙන්න. එයත් අසාර්ථකයි . මතකයිනෙ, ජයතිලක කම්මැල්ලවීර මහත්මයාගෙ චුම්භන කන්ද පොතේ හිටිය,කැරළිකාරයාට වෙච්ච දේ. තරඟය කොතනින් හරි මතු වෙනවාමයි. මිනිසුන්ගෙන් මිදිලා හිටියත්, සතුන් එක්ක හරි තරඟ කරන්නම වෙනවා.තරඟය කෙතෙක් විනාශකාරි වූවත් , රටක් ගමක් හෝ ජාතියක් ලෙස නොව සමස්ත ලෝකය ලෙසම පොදු තරඟයක නියැලී සිටින ඔයාට සහ මට එයින් බැහැර වී සිටීමටද නොහැකියි . 

දරා ගන්න බැරි කුස ගින්නනිසා ගොදුරක් හඹා යන වෘක්ක ධේනුවක් මවා ගන්න. ඇයගේ එකම අරමුණ අහාරයක්. මුවාගේ එකම අරමුණ ජීවත් වීම. මුවා සූක්ෂම හා වේගවත් වෙන  තරමට ඒ තරඟය ජය ගෙන බේරී පලා යන්න මුවාට පුළුවන්. 

වෘක්ක ධේනුවගෙන් මිදුනත්, මුවා සැබෑවටම ජයගෙන ඇතැයි ඔබට කිව හැකිද? වෘක්ක ධේනුවටත් මුවාටත් මඟහැරුණු දඩයක් කාරයෙක් ගේ වෙඩි පහරක් දුර සිටම මුවාගේ හිස පසාරු නොකරතී ම යැයි, අපට තක්සේරු කළ හැකිද? වෘක්ක ධේනුව ආහාර උදෙසා කුමක් හෝ ගොදුරක් ලබා නොගෙන සිටීවිද? මේ මුවා ගොදුරෙන් බේරුණත් වෙනත් සතෙක් ඒ අවශ්‍යතාව පිරවීමට ගොදුරු වීම වැළැක්විය හැකිද ?

තරඟය කෙළවරක් හෝ  නිමක් නැති කාරණාවකි. ජීවත් වීමේ තරඟයෙන් මිදීමට හැකි කිසිවෙකුත් නැත. තරඟය තුළ ජීවත් විය හැකි සරලම ක්‍රමය ,පවත්නා මොහොතට පවතිමින් තීරණ ගැනීමය.  එනිසා අවශ්‍ය වේලාවට පමණක් ගේම් එකට එන්ටර් වීම ඇඟට ගුණ ය. ඉතිහාසයේ සිටම ඉබ්බා තරඟයෙන් දිනුවේ ඒ නිසාය . 


No comments:

Post a Comment

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.