හැම දවසක් ම ලස්සන සොඳුරු දවසක්. අලුත් ජීවිතයක් එක්ක නැගිටින්න කොළඹ නගරයම සූදානම් වෙමින් තිබුණා. ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසලින් හමන ඒ සී සුළඟ, මුහුද දෙසින් හමන ලුණු හුළඟට මිශ්‍ර වෙලා අමුතු රසක් ගේනවා. ඉතිං මේ උදේ යාළුවෙක් එනතුරු මඟ බලමින් මං Dutch Hospital එකේ එකෙල මෙකෙල වෙවී හිටියා. ඒ පැත්ත ඉරිදාට හරිම කාර්ය බහුලයි. ඒ හැබෑවටම එහි මිලදී ගැනිම් කරන්න එන පාර්භෝගිකයන් ගෙන් නම් නොවෙයි. තරඟයට හොඳම තැන් අල්ල ගන්න බලා ඉන්න ඡායාරූප ශිල්පීන්ගෙන්. එක ඡායාරූප ශිල්පියෙක් එක්ක කපල්ස් දෙක තුනක් විතර එනවා. ඒ අය ගෙ මේකප් ආටිස්ට්ලා එහෙමත් වෙන වෙනම එනවා. ඉතිං මේ කට්ටිය එහා මෙහා වෙවී, තැන් තැන් වල ඉඳගෙන හිටගෙන හරි ලස්සන ශාංගාරාත්මක පින්තූර ගන්නවා.
Pre shoot එකක් කියන්නෙ අපි ආදරේ කළේ මෙහෙමයි කියලා අනාගතේ දවසක බලන්න තියා ගන්න පුංචි මතක සටහනකට. අනෙක් අයට පෙන්වන්න ඉතිරි වන සැමරුමකට. ඒත් ඒ සටහන කැමරාවට අහු කරගන්න මොහොතෙවත් ඒ දෙන්නාට හැබෑවට ආදරේ කරන්න බැරි නම් මොකක්ද ඒ සල්ලි ගෙවලා අමාරුවෙන් වෙහෙසිලා අරන් තියාගන්න සිනමා පටයේ ඇති වටිනාකම. එහි හිටිය එක මනමාලියකට හරියට කේන්ති ඇවිත් තිබුණා. ඇගේ ගවුමෙ අනෙක් කපල් එකේ ඉන්න මනමාලිගෙ සපත්තුව පැටලිලා, මඩ ටිකක් ගෑවුණා කියලා. ඈ මනමාලයට බැන්නා. ඡායාරූප ශිල්පියාට බැන්නා. අනෙක් මනමාලිට බැන්නා. පිහිදන්න ආපු මේකප් ආටිස්ටත් බැන්නා.. අනෙක් මනමාලි අයිති මනමාලයාට බැන්නා. එතන බැනුම් සාගරයක්.
මේ සිද්ධිය බලා ඉන්න කොට මිනිස්සුන්ට ඇයි මෙච්චර තරහ යන්නෙ කියලා මම කල්පනා කරන්න ගත්තා. ඒ නිසාම අද යං සටහන මං ලියන්නෙ ආදරය ඉතිරි කරගන්න හැටි ගැන පුංචි දෙයක් ඔයාට කියා දෙන්න. ඉතිරි කරන්න පුළුවන් එකම දේ සල්ලි විතරක්ම නෙවෙයි. සල්ලි ගිහිං බැංකු වල දාලා ඉතිරි කරනවා වගේ, ආදරේ ඉතිරි කරන්න පුළුවන් අපි ළඟම ඉන්න අයගෙ හිත් පතුලෙයි. ඇස් අද්දරයි.
ආදරෙන් සමූහයක් එක්කම එකතු කර ගන්න පුළුවන් සුන්දර සැමරුමක්, කඳුළු ගඟක් උඩින් මතක තියාගන්න එක හරිම අවාසනාවක් නෙවෙයිද? ඔයා එහෙම කරනවා නම් ඔයාගෙ ආදරේ හරි ෆේල්. මගෙ යෙහෙළියක් වන ෆිහාමා, ඇගේ දෙවනි ගමන ගියෙ පහු ගිය කාලෙ ගලපු ගංවතුර මැද්දෙන්. දණක් වතුරෙ බැහැගෙන. ඈ එදාවත් අදවත් ඒ ගැන කිසි මැසිවිල්ලක් නගන්නෙ නෑ. ඈ කියන්නෙ ඒක තමයි ජීවිතේ ඇයට අමතකම නොවෙන ලස්සනම දේ කියලා.. එදා ඇය ඒ ගැන දුකක් ගත්තා නම්, බොහෝ දෙනෙක්ට දුක මතක හිටිනවා. සදාකාලයටම හැම සතුටු තැනකදිම ඒ සැමරුමේ දුක සිහිපත් වෙනවා.. අපි සමහර සතුටු වෙන්න හොඳටම පුළුවන් අවස්ථාවල් දුකෙන් පුරවගන්නෙ අපේ ම මෝඩ කමටයි. සතුටින් ඉන්නෙ වීර මිනිස්සු. නිර්භීත මිනිස්සු.
ඉතින් සුදු ගවුමෙ මඩ ගෑවුණ ප්‍රශ්නෙන් හැරිලා අනෙක් පැත්ත බලද්දි, තමන්ගෙ ආදරීට, ලස්සන උපන්දින පාටියක් plan කරපු පෙම්වතෙක් ට ඉටිපන්දම් ගේන්න අමතක වෙලා. පෙම්වතියගෙ මූණට ආපු තරහ දැකලා ආයෙ කොහාටදෝ දිව්වා ඉටිපන්දම් ගේන්න. ඒ මොහොතෙ ඇයි ඇයට බැරි වුණේ හිනා වෙලා ඔහු ගෙනාපු කේක් එක, මල් පොකුර, තෑගි ගොඩ අගය කරන්න. කේක් කපන්න ඉටිපන්දමක් ඕනෙමද? පුංචි ආදරයක් වෙනුවෙන් උළඳු වඩේ එකක් පොල් රොටියක් වුණත් ප්‍රමාණවත් නැතිද?
දැන් මේ ලෝකෙ ආදරේ හුවමාරු කරන විදිහට මහජන පුස්තකාලෙ කැන්ටිමේ කහට කෝප්පයකින් ආදරේ හුවමාරු කරන්න හරි අමාරුයි. ඒකට නම ගිය කැෆේ එකකින්ම කෝපි බොන්නම වෙනවා. හොඳ තරු පහේ හෝටලේක උස පුටුවක ඉඳලා පින්තූර ගන්නම වෙනවා. නැත්තම් ආදරේ තත්වෙ බහිනවා කියලා ගොඩක් අය හිතනවා.
මේ සමාජෙ හරි ප්‍රදර්ශනකාරි. යමක් හැබෑවටම කරන්න නෙවෙයි ඕනෙ කරන්නෙ. කළ බව පෙන්වන්නයි ඕනෙ කරන්නෙ. හුඟ දෙනෙක්ට තමන්ගෙ උපන්දිනේ දවසෙ, විවාහය දවසෙ, හැබෑටම සතුටින් ඉන්න ඕනෙ නෑ.. සතුටින් හිටියා කියලා සමාජ ජාල ඔස්සෙ බලා ඉන්න අයට පෙන්නුවා නම් හොඳටම ඇති . ඒකෙන් ලබන සතුට කොයි වගේ හරයක් තියෙන දෙයක් වෙන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක් වුණත් හුඟක් අය සතුටු වෙන්නෙ පින්තූර වලට ලැබෙන සුබ පැතුම් ප්‍රමාණයෙන්. හදවතට හදවතින් දැනුණ මිහිරෙන්, පැතුමෙන් සතුටු වෙන ජීවිත දැන් හරි අඩුයි..ඔයාටයි මටයි බැරිද ඒ ලෝකෙන් මිදිලා හදවතේ සතුට ඉතිරි කරගන්න දෙන්නෙක් වෙන්න. අපෙන් ලෝකය අපි පටන් ගනිමු. අපි වගේම හැමෝම හැබෑ සතුට ඉතිරි කරගන්න අය කරන්න, ඒ අයට උදව් කරමු. හැම වෙලාවෙම පුංචි කරුණාවක් ආදරයක් අඩි දහයක් වටා දුරින් පතුරගෙන ඉන්න. ඒක ඔයා වගේ කැරකෙමින් දිලිහෙන ලස්සනම ලස්සන රැස් වළල්ලක් වේවි. ඔයත් මේ ලිපිය ලියන මං වගේ හැම මොහොතෙම සතුටින් හිඳීවි.
අසීමිත ප්‍රේමය හරියටම පටන් ගන්නෙ කොතනින්ද? ඒක මට පුංචි දවස් වල ඉඳං තිබුණු ලොකු ප්‍රශ්නයක්. මුලින්ම මං හිතා හිටියෙ, ඒක අපි නිතර දකින හින්දි චිත්‍රපටියක ජවනිකාවක් වගේ රොමෑන්ටික් දෙයකින් පටන් ගන්නවා ඇති කියලා.
අසීමිත ප්‍රේමය හරියටම පටන් ගන්නෙ කොතනින්ද? ඒක මට පුංචි දවස් වල ඉඳං තිබුණු ලොකු ප්‍රශ්නයක්. මුලින්ම මං හිතා හිටියෙ, ඒක අපි නිතර දකින හින්දි චිත්‍රපටියක ජවනිකාවක් වගේ රොමෑන්ටික් දෙයකින් පටන් ගන්නවා ඇති කියලා.
නමුත් ටිකෙන් ටික යොවුන් වයසට එළැඹෙද්දි කොල්ලො කෙල්ලන්ගෙ අනුරාගය පිරිච්ච ආදරේ අසීමිත ඇති කියලා මං හිතන්න පුරුදු වුණා. තත්පර හැටේ වේගෙන් එස් එම් එස් ගහන, පැය තුනෙන් තුනට කෑම දිරවන්නත් ඉස්සර වෙලා ආයෙම කෑවාද? බිව්වාද කියලා අහන එක අසීමිත ආදරයක් කියලා තමයි ඒ දවස් වල හුඟක් අය කිව්වෙ. ඒත් ටුවෙන්ටීස් වල මැද හරියට එද්දි හුඟක් අයගෙන් ඇහුණෙ වයසට ගිය ශරීරයෙන් දිරාපත් වෙච්ච, ආච්චි කෙනෙක් සීයා කෙනෙක් තමන්ගෙ පරණ මතක ගැන කතා කරමින් ගෙවා දමන කාලය තරම් කිසිම ආදරයක් අසීමිත නෑ කියලා.
ඒ වගේ රූප රැගත් පෝස්ට් දෙක තුනක් වත් දවසකට එෆ් බී ටයිම් ලයින් එක පුරා උඩට පහළට යන නිසා, ඒ අය හරි කියලා හිතන්න මටත් හිතුණා.
ඒත් කවුරුත් කියන දේ පිළිගන්නෙ නැති හිතුවක්කාරියක් නිසා, මං අසීමිත ප්‍රේමය කුමක්දැයි තනිවම හොයන්න තීරණය කළා. එහෙම නං මා එක්ක ඔයත් අසීමිත ප්‍රේමය හොයං යං. ඒ ගැන ප්‍රශ්න නැති කෙනෙක් ඉන්න විදිහක් නෑ.
එක එක අය ආදරය ගැන එක එක වයස් මට්ටම් හා අධ්‍යාපන මට්ටම් වලදි එක එක විදිහෙ තර්ක ගොඩ නඟනවා. විවිධ විදිහට තමන් දුටුව දේ හා තමන් විඳින්නට ආශා කළ දේ ගැන කිව්වා මිසක් ඒ කවුරුවත් අසීමිත ප්‍රේමය නිර්වචනය කිරීමක් කෙරුවෙ නෑ කියලා මුලින්ම ඔයාට කියන්නම්.
පළවෙනි කාරණාව නම් අසීමිත ප්‍රේමයට ලිංග බේදයක් නෑ. පිරිමියෙක් පිරිමියෙක්ට අසීමිතව ප්‍රේම කරනවා වෙන්න පුළුවන්. ඒක සමාජය හිතන විදිහ කුමක් වුණත්, සම්මතයට කොයි තරම් පටහැණි වුණත්, නොවුණත් අසීමිත ප්‍රේමයකට එය අදාළ නෑ. ගැහැණියක් ගැහැණියකට, ගැහැණියක පිරිමියෙකුට අසීමිතව ප්‍රේම කරනවා වෙන්න පුළුවන්. අසීමිත ප්‍රේමයකට නැතිම දේ සීමාව. මායිම. ඉර හඳ යට ඕනෑම තැනක සිටින ඕනෑම පාර්ශව දෙකකට, ළංව සිටියත්, නොහිටියත් අසීමිතව ප්‍රේම කරන්න පුළුවන්. නියමිත වයසක්, ජාතියක් තියා එයට සමහර වෙලාවට භාෂාවක් වත් නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට ප්‍රේමය ගොඩ නැගෙන්නෙ, සතෙක් සහ මිනිහෙක් අතරෙ වෙන්න පුළුවන්. බර්ලින් තාත්පයට ආදරය කරපු ගැහැණු අයත් හිටිය ලෝකයක් මේක.
ආදරේ පවතින රූපය කුමක් වුණත්, ඒ තුළ එයටම අනන්‍ය සුන්දරත්වයක් තියෙනවා. එය සොයා ගන්නේ එය දකින්නේ ඒ ආදරයට ආදරය කරන අයෙක්ම පමණයි.
ප්‍රේමය ඉවසනවා. ප්‍රේමය පාරට්ටු නොකර ඉන්නවා. එහි දෙවියන්ද වැඩ ඉන්නවා, ප්‍රේමය සැකයෙන් තොරයි කියලා බයිබලේ කොරින්ති දහතුනේ තියෙනවා. ප්‍රේමය කියන්නේ අතහැරීම, නිදහස් කිරීම මිස අයිති කර ගැනීම නොවෙයි කියලා ඕෂෝ කියනවා. මේ හැම දෙයින්ම හැඟෙන්නෙ ප්‍රේමය අසීමිතව පූජනීය බව. අසීමිත ප්‍රේමයකට වඩා, මුළු මහත් ප්‍රේමය අසීමිත විය යුතු වග
එය, පෞද්ගලිකවම එක් අයෙක් ගැන හොයා බැලීමට වඩා වැඩි බරපතල මිනිස් හැඟීමක් කියන තර්කය මට බොහෝවෙලාවට දැනෙනවා. මැච් එකක්, තරඟයක්, යුද්ධයක් දිනද්දි නැගෙන සතුට වුණත් නැගෙන්නෙ යම් පාර්ශවයක් හෝ එවන් පිරිසක් කෙරේ මොහොතකට හෝ නැගෙන අසීමිත ප්‍රේමයෙන්.
ඒ කෙනා අයිති කර ගැනීමට වඩා වැඩි දෙයක් ඒ ප්‍රේමය තුළ ගැබ් වෙනවා. අපේ කියන හැඟීම මිසක්, මේ මගේ දෙයක් කියලා ආත්මාර්ථයක් ගොඩ නැගෙන්නෙ නැති තරම්.
ඒ වගේම මිනිස්සු වෙනුවෙන් යහපතක් කරන්න උත්සාහ කරන සහ කරපු අය ළඟ අසීමිතව ප්‍රේමය තියෙනවා කියලා මගෙ හිතේ විශ්වාසයක් තියෙනවා. සමහර වෙලාවට ඒ අය ප්‍රාර්ථනා කරපු යහපත සමාජයට ඉටු නොවුණා වෙන්නත් පුළුවන්. කවදාහරි දවසක ඉටු වෙනවා වෙන්නත් පුළුවන්. ඒත් ඒ මෙහෙවර ඇතුළෙ හිර වෙච්ච අසීමිත ප්‍රේමය හරිම වටිනවා.
ගසාගෙන යන කෙනෙක් බේරන්න වතුරට පනින කෙනෙකුගේ නිර්භය සිතුවිලි වල තැවරී තියෙන්නෙ, අසීමිත ප්‍රේමයක්. මුලින්ම හදවතට නැගුණු මානව ප්‍රේමය සීමා බිඳගෙන යන එක් ක්ෂණයකදි ඔහුගෙ හිතට නිර්භය බව ළඟා වෙනවා. එයයි ඔහුව වතුර තල්ලු කරන අප්‍රමාණ ශක්තිය බවට හැරෙන්නෙ.
අනෙකාගේ දිවිය යහපත් කිරීමේ කාර්යය උදෙසා තමන් විශ්වාස කල මාර්ගය තෝරා ගත්ත තරුණ තරුණියො දහස් ගණනක් වස්සානෙට ඉස්සර හේමන්තය වැළඳ ගත්ත රටක අපි අදත් ජීවත් වෙනවා. ඔවුන්ගේ මාර්ගය ගැන තර්ක තිබුණත්, අනෙකාගේ පැවැත්ම උදෙසා තමන්ගෙ පැවැත්ම අත අරින්න තරම් ශක්තියක් ගොඩ නැගෙන්නෙ හදවතින් පැන නගින අසීමිත ප්‍රේමයම නිසා පමණයි. ඒ නිසා එවන් ප්‍රේමයක් සැමරිය යුත්තේද සදාතනික ප්‍රේමය ලැගුම් ගත් හදවත් තුළින් පමණයි. අපි අපේ තාරුණ්‍යයට වෛරය ඉගැන්වීම නතර කරන දින, ආදරය ඉගැන්වීම ද නතර කළ හැකියි.
No comments:
Post a Comment
සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.