මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු
Showing posts with label රතු පාට හැන්දෑවක දී ලියමි. Show all posts
Showing posts with label රතු පාට හැන්දෑවක දී ලියමි. Show all posts

9/28/17

-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්"

12 11 10 වැලිකඩ කියවූ පසු ලියමි.
සංස්කෘතිය ආරම්භ වූයේ, තමා තනිව අල්ලා ගත් ගොදුර , ගිල දැමීමට පෙර සිය සමූහය සමඟ බෙදා ගත යුතු යැයි තීරණය කළ පළමු මානවයාගෙනි. එදා සිට අද දක්වා යුග ගණනක්, ගෙවා කාලයද සංස්කෘතියද ඉදිරියට පැමිණ ඇත. අද එම සංස්කෘතිය යනු ආර්ථිකය, දේශපාලනය හා තාක්ෂණය දරා හිඳින වේදිකාවකි. සංස්කෘතිය ගොඩ නැගෙන්නේ සමාජ තලය මතයි. සමාජය නිර්මාණය වන්නේ පොදු එකඟතා සමූහයකිනි. මේ පොඳු එකඟතාවන් බිඳින යමෙක් වේද ඔහු සමාජයෙන් බහිස්කරනය කිරීම සඳහා යුගය අනුව ක්‍රමයක් සොයා ගැනුණි. එය සැම විටම අවාසනාවන්ත වූ ද, කටුක වූද එකක් විය. කෙසේ වෙතත් උපරිමයෙන් බහිස්කරනය කිරීම ඝාතනය විය. මෙය සෑම රටකටම, සෑම යුගයකදීම අප දන්නා ඉතිහාසයේ පොදු කරුණකි. එහෙත් සංස්කෘතිය විසින් කට වහර තුළ එන හිර ගෙවල්, එසේත් නැති නම් ව්‍යක්ත වහරේ "බන්ධනාගාර " නිර්මාණය කළේ වෙනත් අරමුණක් සිහි තබාගෙනය. සමාජයට නොගැලපෙන යමෙක් වේද ඔහු පුනුරුත්ථාපනය කොට නැවත සමාජයට අවශ්‍ය අයෙක් බවට පත් කිරීම බන්ධනාගාර වල අරමුණ විය. එබැවින් වැලිකඩ හිරගෙදර, අපි නිතර පාසල් ආ ගිය සිරිධම්ම මාවත අද්දරට මුහුණ ලූ කොටසේ... "සිරකරුවෝ ද මනුෂ්‍ය යෝ ය." යැයි සටහනක් විය. එහෙත් ගැටුම පැන නගින්නේ මෙතැනිනි. අප සිරකරුවෝ මිනිස් හැඟීම් සහිත අය බව සිතන්නට මැළිවන්නට පටන් ගන්නා තැනිනි. ඔවුන්ට සිදු වුණ අසාධාරණ කම් අප අමතක කරන්නට පටන් ගත් තැනිනි. බල්ලන්ට පූසන්නට ප්‍රේම කරන අපි මිනිසුන්ට ප්‍රේම කිරීම අතපසු කරගත් තැනිනි. එහෙත් එය අතපසු නොකළ කෙනෙක් විය.
2011 වසරේ දින සති මාස අමතක දවසක, මහරගම රාවය කාර්යාලයට තරුණයෙක් පැමිණියේය. මා ඊට පෙර ඔහු දැක තිබුණේ එක වරක් පමණි. ඒ ජනමාධ්‍ය විද්‍යාලයේ ප්‍රවේශ විභාග දින ප්‍රශ්න පත්‍ර බෙදද්දීය. රාවයේ එදා තිබූ මේස සැකැස්ම දැන් එතරම් මතක නැත. කෙසේ වෙතත් මේ තරුණයා මුල් වරට ඉඳගත් තැන අසල සිටි අපේ මිත්‍රයා ලන්ච් එකේදි ඔහු පිළිබඳව පළමු ප්‍රතිචාරය දුන්නේය.
" ඌ මහ පණ්ඩිත කොල්ලෙක්"

මට රාවය බොහෝ සෙයින් මඟහැරුණි. එහි සගයන්ද යම්තාක් දුරකට මඟ හැරිණි. පණ්ඩිත කොල්ලා මිතුරෙක් වීමටත් පෙරම සම්පූර්ණයෙන්ම මඟ හැරිණි.
12-11-10 වැලිකඩ කෘතිය ලියන ලද්දේ අන්න ඒ පණ්ඩිත කොල්ලා විසිනි.
ඔහු නමින් කසුන් පුස්සෙවෙල නම් විය.
පුර්විකවකින් හා පරිච්ඡේද 42 ක් අතුළු කළ මුළු කෘතිය පුරාම සෑම දෘෂ්ටියකින්ම නිරවද්‍යම සත්‍ය නිරූපණය කිරීමට කසුන් මහත් වෙහෙසක් දරා ඇත. ඔහු 2012 වසරේ සිටම ඒ සඳහා බොහෝ මහන්සි වන්නට ඇත. මේ කෘතිය තුළ ට ඔහු කැප කළ පරිශ්‍රමය කර්තෘ භාගයකින් ලබන සෑහිමට එහා ගිය උත්තරීතර ආත්ම තෘප්තියක් වනු ඇත.
ලොව අසාධාරණය උපරිමයට රජ කරන යුගයක, උපරිම වාරණයට ලක් වූ මිනිසුන් ගැන මුව සොලවන්නටවත් බිය වූ මිනිස් කැල ළඟ, දෙවියන් දෙවොලේ පහන් හොරකම් කරන වග හඬ නගා කීමට සමත් අය ඉපදීම, භයානක භාග්‍යකි. මේ යුගය තවමත් සම්පූර්ණයෙන් කේතුමතියකට පෙරළි නොමැති අන්ධකාර සමයකි. එහෙත් මිනිසුන් නොදුටු, මිනිසුන් යම් දිනක දැනගත යුතු, සත්‍ය හෙළි කිරීම කළ යුතුවම පවතින යුගයකි. මේ යුගයට අනුව ධර්මය කුමක් දැයි මම නිවැරදිව පැවසීමට නොදනිමි. එහෙත් යම් ධර්මයක් පවතීද එය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා, සෑම යුගයක්ම, සෑම දේශයකටම මිනිසුන් ලබා දෙයි. ඒ ස්වභාව ධර්මයේ රීතියයි.
නීතිය යනු කුමක්ද? බන්ධනාගාරයක උපරිමය කුමක්ද? සිදු වූයේ කුමක්ද? අපට පෙන්වූයේ කුමක්ද? ආදී බොහෝ ගැටලු සහ පිළිතුරු මේ කෘතියේ අකුරු අතර වෙයි. ලංකාවේ මෙතෙක් ජීවත් වූ සෑම අයෙක්ම ඒ ලේ ගලන ලද වියරුවේ කතන්දරය දැනගත යුතුයි. කියවිය යුතුයි. මේ කෘතිය හුදු කතන්දරයක් හෝ වාර්තාවක් නොවන, සත්‍ය සිදුවීම් ඇඟට දැනෙන්නට ලියූ සටහනකි. සමාජයට ප්‍රේම කරන මිනිසා නිර්මාණය කිරීමට ජනමාධ්‍යවේදීන් අතින් මෙවන් දෑ උත්ථානය නොවේ නම්, අනාගතය තවත් බියකරු බවට පත්වනු නොඅනුමානය. මේ සමාජය අප්‍රමාණ අධර්මයෙන් ගොඩ නැගුනකි. ධර්මය පිහිටුවන්නට ආයෙ ක්‍රිෂ්ණා නොඑන වග අප සැවොම දන්නා නිසා සත්‍ය හෙළිදරව් කරන්නන්, සාධාරණත්වය පහදා දෙන්නන්, යුක්තිය පෙන්වා දෙන්නන් ආරක්ෂා කිරීම, සත්‍ය සාධාරණය යුක්තිය දැකීම පිළිබඳව ඇති නොතිත් ආශාවට නොදෙවෙනි කළ යුතු සාධකයකි.
...ධර්ම සංස්ථාපනාර්ථාය
සම්බවාමි යුගේ යුගේ......


8/18/17

-295- විරු සිසු දිනය වෙනුවෙන් ලියූ ලියවිල්ලක්

නුඹ සිහින තුළ නුඹම කිමිදී
නිදාගත් කාලයෙන් අවදිව
බලන් සුහදේ, පිපුණු මල් අග
සුවඳ ගෙන ඇවිදින් වසන්තය...
පාළුවේ දැල්වෙන පහන් වල
ගලා යන ඉටි කඳුළු දියවී
නුඹව සැඟවූ ලොවට නිහඬව
ගයයි සියදහසක් වියෝ ගී….


දැන්වීම් ඇලවීම තහනම්  කියන දැන්වීම මඟ හරිමින් අලවා ඇති සිය ගණනක් පෝස්ටර් අස්සෙන්, අතරින් පතර රතු පැහැ පෝස්ටරයක් ඊයෙ පෙරේදා පුරාම ඉස්සිලා පෙනුණා. “ඔවුහූ ඔබට අසීමිතව ප්‍රේම කළහ “ අන්න එහෙමයි එහි ලියා තිබුණෙ.
අපි අසීමිත ප්‍රේමය කියන වචනයට ජීවිතේ එක එක වයස් වලදි, එක එක  අත්දැකීම් නිසා අටෝරාසියක් නිර්වචන දෙනවා. එහෙත් අසීමිත ප්‍රේමය කියන්නෙ මානව සංහතිය පුරාම පැතිරවිය යුතු මහඟුම උත්තම ස්නේහයක් බව අපි කොයි කවුරුත් අහලා තියනවා. එහෙව් ප්‍රේමයක් දිය හැකි මිනිස්සු මෙලොව ජීවත් වෙනවාද නොවෙනවාද කියා සැක හිතෙන කාලයක අපට අසීමිතව ප්‍රේම කළ බව කියන ඔවුන් වෙනුවෙන්  කුඩා සටහනක් තියන්නට මට ඕනෙ කළා.
ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ පළවෙනි දවසෙ, ඕපන් කැන්ටිම ඇතුළෙ දූවිලි වැකුණු බිත්තියක ඇලී සිටි අසීමිත ප්‍රේමයේ පෙම්වත්තු මට මුලින්ම මුණ ගැහුණා. පක්ෂය, දේශපාලනය, සමාජ චින්තනය, සමානාත්මතාවය ආදී දහසක් වචන බරක් කරගත්ත සමාන්‍ය මිනිස් සමාජය ඇවිල්ලා ඔවුන් සියලු දෙනා එක පැත්තකට තල්ලු කරන්න හැදුවාට, විශ්වවිද්‍යාල වල ඉගෙන ගන්න හුඟක් එවුන්ට ඔවුන්ව පෙනෙන්නෙ මහා වීරයො විදිහට. දැන් විශ්වවිද්‍යාලෙ නොහිටියත්, මටත් එයාලාව තවමත් ඒ විදිහටම පෙනෙනවා. දැනෙනවා. ඔවුන්ට ආදරය වඩන්න හිතෙනවා.
හැම ශිෂ්‍යයෙකුටම වීරයෙක් වෙන්න අමාරුයි. මතයට විරුද්ධ කෙනෙක්ව තව කෙනෙක් ඇවිත් මරා දැම්ම පලියට කවුරුවත්  වීරයෙක් වෙන්නෙ නෑ. කෙනෙක්ව විරුවෙක් කරන්නෙ, ඔහුගෙ හදවතයි.  පරාර්ථය අගය කරන පරම පවිත්‍ර සිතුවිල්ලයි. ඇතුළාන්තයෙන් නැගෙන අනෙකාගේ යහපත පතන ප්‍රහර්ෂය.
කෙනෙක්ට සුව පහසුවෙන් ජීවත් වීමට අදාළ වටපිටාව සකසන්නට, තමන්ගේ සුවපහසුව කැප කරන, කැප කළ සෑම මිනිසෙක්ම විරුවෙක්. ඔහු බාල ද, තරුණ ද, මහලු ද, යන නිර්ණායක එතැනට කිසිම බලපෑමක් කරන්නෙ නෑ.
විශ්වවිද්‍යාලෙ ඇතුළෙ වීරයො කියන්නෙ, තමන්ගෙ මතයට පක්ෂව සටන් වදින අයට පමණයි. අපි ජීවත්වෙන්නෙ උදාසීන රටක නිසා, විවිධ මතයන්ට ගරු කිරීම  ඉතා දුලබයි. ඉතිං පුංචි උද්ඝෝෂණයක් වුණත්, කඳුලු වලින් කෙළවර වෙන අවස්ථා එමටයි. අදටත් වඩා අමාරු කාලවල් ගෙවපු රටක් අපේ රට. හේතු නිසා හෝ ආහ්තුකව හෝ වස්සානයට ඉස්සර හේමන්තය වැළඳගත් තරුණ පරපුරක් අපේ රටේ හිටියා. ඔවුන් අද හිටියා නම්, මේ ලිපිය කියවන ඔයා පවා ඔවුන්ගෙ දරුවෙක් වෙන්න ඉඩ තිබුණා.
ඔවුන් ගිය  මග හරිද, වැරදිද කියලා තර්ක කරන්නට මට කිසිම ඕනෙ කමක් නෑ. ඒත් ඔවුන් කවුද කියලා හැම තරුණ තරුණියක්ම මතක තියා ගන්න ඕනෙ බව මම විශ්වාස කරනවා. යහපත් සමාජයක් කරා, සාධාරණ සමාජයක් කරා රට මෙහෙයවන්නට ඔවුන්ට සිතිවිල්ලක් තිබුණා. ඒ සඳහා ක්‍රියා කළ විදිහ නිවැරදි නොවුණත්, වැරදි වුණත් ඒ සිතිවිල්ල හරි ශක්තිමත්. ඒ තරම්ම පිවිතුරුයි.
දියේ ගිලෙන කෙනෙක් බේරා ගන්න දියට පනින කෙනෙක් ගෙ සිතුවිල්ල තරම්ම  එය ශක්තිමත්, වලකට වැටුණු මිතුරාට ගොඩ ඒමට වලට බසින කෙනෙක් ගෙ හැඟීමක් තරම්ම ඒ සිතිවිල්ල ශක්තිමත්. කෙනෙක් තමන්ගෙ පැවැත්ම අනෙකා වෙනුවෙන් අතහරින්නට තරම් නිර්භීත වීම වීර කරමකට එහා ගිය මානව ප්‍රේමයක්. ප්‍රේමය කියන්නේම මුළු හදවතින්ම සැමරිය යුත්තක්.
ඒත් වැලන්ටයින් ප්‍රේමය වගේම, විශ්වවිද්‍යාල අස්සෙ, මේ අසීමිත ප්‍රේමයත් සමරන්නෙ, ආටෝපෙටද කියලා වෙලාවකට මට හිතෙනවා.  එක දවසක්, උද්ඝෝෂණයක කෑ ගහගෙන යන මල්ලි කෙනෙක්, “ අපි යන්නේ කොයි පාරේ.. ත්‍රීමා වෙනුර ගිය පාරේ “ කියලා මහ හයියෙන් කෑ ගහන ඒ සමූහයෙන් මිදිලා, මං කෑම ගනිමින් හිටි කඩේට ආවා. වතුර බෝතලයක් ගන්න. හිතවත්කමට හා සහෝදරත්වයට මං නිකමට ඔහුගෙන් ඇහුවා කවුද මල්ලි “ත්‍රීමා“ කියන්නෙ කියලා. එතකොට ඒ මල්ලි කිව්වා, ත්‍රීමා වෙනුර කියන්නෙ හොඳ ශිෂ්‍ය වීරයෙක් කියලා. ඔහු කෑ ගහන්නෙ පුද්ගලයන් දෙන්නෙක් පිළිබඳවයි  කියලාවත් නොදන්න ඔහු කොහොමද, ඔවුන් දැක්වූ අසීමිත ප්‍රේමය හඳුනාගන්නෙ?
බකට් එකට කලිං ජෙෂ්‍යටයන්ට බයේ කට පාඩම් කළාට, ඔවුන් දුන් බව කියන  අසීමිත ප්‍රේමය ගැන ,  හැඟීමක් ඇති අය දැන් විශ්වවිද්‍යාල අස්සෙ නැති තරම්. ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය  යම් යම් පක්ෂ වල අතකොළු වෙලා, දෙපැත්තට ගහගෙන ගිය නිසා හුදු පක්ෂ න්‍යාය පත්‍ර පමණක් වර්තමානයේදීත් ක්‍රියාවට නැංවෙමින් තිබීමයි කණගාටුව. සැමරිය යුත්තේ අනෙකා උදෙසා මිනිසෙකුට කළ හැකි උපරිමය පෙන්වන මිනිසෙකුගේ හදවතයි.

වද වේදනා උහුලමින් තමා පෙනී සිටි සිතිවිලි වෙනුවෙන් නිර්භයව මරණය වැළඳගත් ඔවුන් ට හැබෑවටම අපි ගරු කළ යුත්තේත් එනිසයි. සටහන අවසාන කරන්නට මත්තෙන්, ජයවර්ධනපුර සරසවියේ  ඕපන් කැන්ටින් බිත්තියේ එකල හරි මැද  අලවා තිබූ කැළණි සරසවියේ සොඳුරු තරුණයෙකුගේ ගේ සේයාරුව සිහියට නගා ගන්නට මම ආශා කරමි. මානව හිමිකම් ගැනම කෑ ගැසූ ඔහු, මානව හිමිකම් සුරැකීමේ දිනය දා පැහැර ගෙන ගොස් මරා දැමූ බව මා අසා ඇත. සේයා රුවේ ඔහුගේ දෑසින්, මා එතෙක් මෙතෙක් දුටු උත්තරීතර ලොව්තුරු ප්‍රේමය දැක ඇත්තෙමි. ඔවුන් ඔබට අසීමිතව ප්‍රේම කළ බව එබැවින් මම විශ්වාස කරමි.


8/14/17

-289- අසීමිත ප්‍රේමය කොතැනකද?

අසීමිත ප්‍රේමය හරියටම පටන් ගන්නෙ කොතනින්ද? ඒක මට පුංචි දවස් වල ඉඳං තිබුණු ලොකු ප්‍රශ්නයක්. මුලින්ම මං හිතා හිටියෙ, ඒක අපි නිතර දකින හින්දි චිත්‍රපටියක ජවනිකාවක් වගේ රොමෑන්ටික් දෙයකින් පටන් ගන්නවා ඇති කියලා.
නමුත් ටිකෙන් ටික යොවුන් වයසට එළැඹෙද්දි කොල්ලො කෙල්ලන්ගෙ අනුරාගය පිරිච්ච ආදරේ අසීමිත ඇති කියලා මං හිතන්න පුරුදු වුණා. තත්පර හැටේ වේගෙන් එස් එම් එස් ගහන, පැය තුනෙන් තුනට කෑම දිරවන්නත් ඉස්සර වෙලා ආයෙම කෑවාද? බිව්වාද කියලා අහන එක අසීමිත ආදරයක් කියලා තමයි ඒ දවස් වල හුඟක් අය කිව්වෙ. ඒත් ටුවෙන්ටීස් වල මැද හරියට එද්දි හුඟක් අයගෙන් ඇහුණෙ වයසට ගිය ශරීරයෙන් දිරාපත් වෙච්ච, ආච්චි කෙනෙක් සීයා කෙනෙක් තමන්ගෙ පරණ මතක ගැන කතා කරමින් ගෙවා දමන කාලය තරම් කිසිම ආදරයක් අසීමිත නෑ කියලා.
ඒ වගේ රූප රැගත් පෝස්ට් දෙක තුනක් වත් දවසකට එෆ් බී ටයිම් ලයින් එක පුරා උඩට පහළට යන නිසා, ඒ අය හරි කියලා හිතන්න මටත් හිතුණා.
ඒත් කවුරුත් කියන දේ පිළිගන්නෙ නැති හිතුවක්කාරියක් නිසා, මං අසීමිත ප්‍රේමය කුමක්දැයි තනිවම හොයන්න තීරණය කළා.  එහෙම නං මා එක්ක ඔයත් අසීමිත ප්‍රේමය හොයං යං. ඒ ගැන ප්‍රශ්න නැති කෙනෙක් ඉන්න විදිහක් නෑ.
එක එක අය ආදරය ගැන එක එක වයස් මට්ටම් හා අධ්‍යාපන මට්ටම් වලදි එක එක විදිහෙ තර්ක ගොඩ නඟනවා. විවිධ විදිහට තමන් දුටුව දේ හා තමන් විඳින්නට ආශා කළ දේ ගැන කිව්වා මිසක් ඒ කවුරුවත් අසීමිත ප්‍රේමය නිර්වචනය කිරීමක් කෙරුවෙ නෑ කියලා මුලින්ම ඔයාට කියන්නම්.

පළවෙනි කාරණාව නම් අසීමිත ප්‍රේමයට ලිංග බේදයක් නෑ. පිරිමියෙක් පිරිමියෙක්ට අසීමිතව ප්‍රේම කරනවා වෙන්න පුළුවන්.  ඒක සමාජය හිතන විදිහ කුමක් වුණත්, සම්මතයට කොයි තරම් පටහැණි වුණත්, නොවුණත් අසීමිත ප්‍රේමයකට එය අදාළ නෑ. ගැහැණියක් ගැහැණියකට, ගැහැණියක පිරිමියෙකුට අසීමිතව ප්‍රේම කරනවා වෙන්න පුළුවන්. අසීමිත ප්‍රේමයකට නැතිම දේ සීමාව. මායිම. ඉර හඳ යට ඕනෑම තැනක සිටින ඕනෑම පාර්ශව දෙකකට, ළංව සිටියත්, නොහිටියත් අසීමිතව ප්‍රේම කරන්න පුළුවන්. නියමිත වයසක්, ජාතියක් තියා එයට  සමහර වෙලාවට භාෂාවක් වත් නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට ප්‍රේමය ගොඩ නැගෙන්නෙ, සතෙක් සහ මිනිහෙක් අතරෙ වෙන්න පුළුවන්. බර්ලින් තාත්පයට ආදරය කරපු ගැහැණු අයත් හිටිය ලෝකයක් මේක.
ආදරේ පවතින රූපය කුමක් වුණත්, ඒ තුළ එයටම අනන්‍ය සුන්දරත්වයක් තියෙනවා. එය සොයා ගන්නේ එය දකින්නේ ඒ ආදරයට ආදරය කරන අයෙක්ම පමණයි.
ප්‍රේමය ඉවසනවා. ප්‍රේමය පාරට්ටු නොකර ඉන්නවා. එහි දෙවියන්ද වැඩ ඉන්නවා, ප්‍රේමය සැකයෙන් තොරයි කියලා බයිබලේ කොරින්ති දහතුනේ තියෙනවා. ප්‍රේමය කියන්නේ අතහැරීම, නිදහස් කිරීම මිස අයිති කර ගැනීම නොවෙයි කියලා ඕෂෝ කියනවා. මේ හැම දෙයින්ම හැඟෙන්නෙ ප්‍රේමය අසීමිතව පූජනීය බව. අසීමිත ප්‍රේමයකට වඩා, මුළු මහත් ප්‍රේමය අසීමිත විය යුතු වග
එය, පෞද්ගලිකවම එක් අයෙක් ගැන  හොයා බැලීමට වඩා  වැඩි බරපතල මිනිස් හැඟීමක් කියන තර්කය මට බොහෝවෙලාවට දැනෙනවා. මැච් එකක්, තරඟයක්, යුද්ධයක් දිනද්දි නැගෙන සතුට වුණත් නැගෙන්නෙ යම් පාර්ශවයක් හෝ එවන් පිරිසක් කෙරේ මොහොතකට හෝ නැගෙන අසීමිත ප්‍රේමයෙන්.
ඒ කෙනා අයිති කර ගැනීමට වඩා වැඩි දෙයක්  ඒ ප්‍රේමය තුළ ගැබ් වෙනවා. අපේ කියන හැඟීම මිසක්, මේ මගේ දෙයක් කියලා ආත්මාර්ථයක් ගොඩ නැගෙන්නෙ නැති තරම්.
ඒ වගේම මිනිස්සු වෙනුවෙන් යහපතක් කරන්න උත්සාහ කරන සහ කරපු අය ළඟ අසීමිතව ප්‍රේමය තියෙනවා කියලා මගෙ හිතේ විශ්වාසයක් තියෙනවා. සමහර වෙලාවට ඒ අය ප්‍රාර්ථනා කරපු යහපත සමාජයට ඉටු නොවුණා වෙන්නත් පුළුවන්. කවදාහරි දවසක ඉටු වෙනවා වෙන්නත් පුළුවන්. ඒත් ඒ මෙහෙවර ඇතුළෙ හිර වෙච්ච අසීමිත ප්‍රේමය හරිම වටිනවා.
ගසාගෙන යන කෙනෙක් බේරන්න වතුරට පනින කෙනෙකුගේ නිර්භය සිතුවිලි වල තැවරී තියෙන්නෙ, අසීමිත ප්‍රේමයක්. මුලින්ම හදවතට නැගුණු මානව ප්‍රේමය සීමා බිඳගෙන යන එක් ක්ෂණයකදි ඔහුගෙ හිතට නිර්භය බව ළඟා වෙනවා. එයයි ඔහුව වතුර තල්ලු කරන අප්‍රමාණ ශක්තිය බවට හැරෙන්නෙ.
අනෙකාගේ දිවිය යහපත් කිරීමේ කාර්යය උදෙසා තමන් විශ්වාස කල මාර්ගය තෝරා ගත්ත තරුණ තරුණියො දහස් ගණනක් වස්සානෙට ඉස්සර හේමන්තය වැළඳ ගත්ත රටක අපි අදත් ජීවත් වෙනවා. ඔවුන්ගේ මාර්ගය ගැන තර්ක තිබුණත්, අනෙකාගේ පැවැත්ම උදෙසා තමන්ගෙ පැවැත්ම අත අරින්න තරම් ශක්තියක් ගොඩ නැගෙන්නෙ හදවතින් පැන නගින අසීමිත ප්‍රේමයම නිසා පමණයි. ඒ නිසා එවන් ප්‍රේමයක් සැමරිය යුත්තේද සදාතනික ප්‍රේමය ලැගුම් ගත් හදවත් තුළින් පමණයි. අපි අපේ තාරුණ්‍යයට වෛරය ඉගැන්වීම නතර කරන දින,  ආදරය ඉගැන්වීම ද නතර කළ හැකියි. ජුනි විසි වැනිදා යං අපේ පැතුම එයයි.



7/8/12

ආශාවෝ සහ මිනිස්සු


ඇත්ත නම් ගම් වලින් ලියන්න පුලුවන් දේවල් වගේම බැරි දේ නැතිවා නෙවෙයි. ඒත් මේ කතාව නොලියා ඉන්න බැහැ. බොරු නමක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා කියලා. එයා, ඔයා මම අතරෙ ඉන්න නිසා සමාවෙන්න මට එයාගෙ ඇත්ත නම ඔයාට කියන්න බැහැ. ඒ නිසා මම එයාට ආශා කියලා කියනවා. මම ඒ නම එයාට දමන්නෙ නිකමට හිතට ආපු නිසා නෙවෙයි. ආශාව නිසා තැලෙන පොඩිවෙන ජීවිත වගේම නැගෙන සැනසෙන ජීවිතයකටත් එයා හොඳම උදාහරණයක්.

මේ පුංචි රටේ මඳක් පිටිසර ගමක එයා ඉපදුණා. උපතින්ම ගෙනා ලස්සන එයාට කවදාහරි හොඳ ආභරණයක් වෙයි කියලා එයාගෙ දෙමව්පියො හිතුවා. සමහරවිට ඒ අය අදටත් එහෙම හිතන් ඇති. මමත් එහෙම හිතනවා. පුංචි සමනළියක් වගේ ආශා පාසල ඇතුළෙ පියාසලන්න ඇති. ඒත් ගමේ ටිකක් බලපුලුවන්කාර මිනිහෙක්ගෙ ඇල්ම බැල්ම ඒ සිරුරට වැටෙනකම් විතරයි ඒ අහිංසකාවි පියා සැලුවෙ. ඒ මනුස්සයා දෙමව්පියන් පවා නොදැනුවත්ව මේ ගැහැණු ළමයාව වරදට පෙළඹුවා. එදා ආශාව නිසා ඇයට වැරදුණා. මිනිහෙක් කාන්තාවකට දිය හැකි උපරිම ශාරීරික වදයට ඇය යටත් වුණා කියලා මම ඔබට කීවොත් ඔබ පිළිගනීද මන්දා.

ඔය අතරෙ ඇය දහ දුක් මැද්දෙ ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගන්නතියෙන ආසාව නිසා. උසස් පෙළ පන්තියෙදි ආයෙ වැරදුණා. උසස් පෙළ පන්ති ඉවර වෙලා නම ගිය ගුරුවරයෙක්ගෙ අතකොලුවක් වෙන්න ඇයට සිද්ධ වුණා. ආදරයට කරපු ආසාව නිසා ඇයට දෙවනි වතාවෙත් වැරදුණා.

ඒ වැරදීමත් එක්ක ඇය සරසවි ගියා. ඇය ඇත්තටම ආදරය කරන්න පටන්ගත්තා. ඒ ආදරේ හරිම මිහිරියි. අන්තිමට ආදරය කරපු කෙනා ඇගෙන් බලාපොරොත්තු වුණේ ඇගේ සිරුර විතරයි කියලා දැනගත්ත දවසෙ ඇය මානසිකව අන්තයටම වැටුණා. ඇය ඒ ගැන අදත් අඬනවා. ඒත් තාම හිතේ තියෙන ශක්තියෙන් ඇය උපරිමය කරනවා.

ඇයගෙ එකම ආශාව දැන් රටේ නමගිය කෙනෙක් වෙන එක. මම හිතනවා එහෙම වෙන එක හොඳයි. ළමා අවදියේම ගැහැණියක වීම ඇගේ කරුමය නොවන්නට ඇය රටම දන්නා, ප්‍රතික්ෂේප කළ නොහැකි චරිතයක් වියයුතුයි.

අපි කල්පනා කළ යුත්තේ ඇත්තටම මේ ගැන නොවෙයි. අද රටේ මෙවන් ත්ත්ව වලට මුහුණ දෙමින් සිටන, මුහුණ දුන් ළමයින් කොපමණ ඇත්ද යන්නයි. එසේ නම් මෙවන් සිදුවීම් නොවන්නට රටක් ලෙස අප කළ යුත්තේ කුමක්ද?

ගිය හකුරට අඬමින් තියෙ හකුරත් විනාශ කරන්නට දෙන සමාජයක හිඳ වැදි බණ කියා පලක් නැතත්, සමාජය අපේ පරපුරෙන් හැදුණොත් වර්තමානය කෙසේ වෙතත් අනාගතයේ මෙවන් දේ දුලබ වූ සමාජයක් අපට දැකගතහැකිවේවි නේද?

ආශාට සිදු වූ දෙය තව කී දෙනෙකුට ඉදිරියේදී සිදුවීමට නියමිතදැයි අප කිසිවෙකුත් නොදනිමු. ආශාගේ මවුපියන් පවා ආශා මේතරම් ගැටලු වලට මුහුණ දුන් බව නොදනී. අද කොයිතරම් දෙමව්පිය පිරිසක් සිටිනවා විය හැකිද? තම දූ වරුන් අපචාරයේ යෙදෙනවග නොදත්, වයස දහ අටක් වූ පමණින් සියල්ල වැටහෙන දරුවෙක් බිහි නොවන වග විශේෂයෙන් අද දෙමව්පියන් දැනගත යුතුයි.

මේ ලිපියේ අරමුණ බොරු බයට දූ වරුන් නිවෙස් වල හිර කර තැබීම කියා ඔබ සිතනවා නම් වහා එය නිවැරදි කරගන්න. ඔබ දියණියව පෙර පාසලේ සිට එළියට දමන්න. ඒ ඒ වයසට ඇය දැන ගත යුතු මට්ටම තේරුම්ගෙන ඇයට අවබෝධය ලබාදෙන්න. මව්පියනි ඔබ විචක්ෂණශීලිව ජීවිතය දකින්න.


ආශා අද සියල්ල අමතක කොට ඉගෙන ගත්තත්, ඇයට යළිත් වැරදිය හැකි තැන් ඇත. මුලින් එය නිවැරදි නොකිරීමෙන් පසු එයට සිදුවන්නේ පිරියම් කළ බිත්තියක් ජරා වූවාට පසු වේගයෙන් සෙවෙල බැදෙන්නා සේ සිදුවීමකි. ඉතින් කල්පනාකාරී වන්න.


5/1/12

මැයි කවිය


පාන්දර කලුවරට
එකතු කර රන් පාට
රතුපාට මවන ඉර
කතාවක් කියන්නට
සුදු මලක් තනියෙන්ම හොයනවා..

අරන් අහසේ පිපුණ
ගිනි ඉහින රතුපාට
තවරගෙන ඇඟ පුරා
සුවඳ ගෙන නුගිනුරා
පාවෙන්න නටු අගින් ගැලවිලා..

සොයනු උදෙසා මෙදා
දැවෙන හිරුගෙන් එදා
ගිනි පුලිඟු සොරාගත්
සත නිසා ජිවිතෙත්
දන් දුන්න පළමුවැනි ජීවියා...

හමුවේවි දම්වැලක
එතී ඇති ඔහු සිරුර
ලේ අතුණු බහන් රස
විඳින ගිජුලිහිණි රොත
රතු දෙනෙත් කෑදරෙන් හැරපියා

යළිත් ඔහු පණ ලබන
දිනක් එනතුරාවට
ඔහු අසල වැතිරෙන්න
පරවෙලා
පිපෙන්නට අලුත් දවසක් බලා...



2/1/12

මලගිය අනාගතය හා අහිංසකයන්ගේ‍ ආරාමය



 මා මෙය ලියන්නට සිතුවේ මීට පෙර වුවත් තාලයක් කල්පනා වනතුරු සිටියෙමි.හැබෑවටම මම අහිංසකාරාමයට බොහෝ ප්‍රිය කළෙමි.එහි ඉතිහාසය මම තරමක් දුරට ප්‍රිය කළෙමි.නමුත් මම අහිංසකාරාමයට  ආශා කළේ එය සමාජ ඛේදවාචකයක කලාත්මක ප්‍රති මූර්තියක් වූ නිසා‍වෙනි.මම කුඩා කළ එය හදනවා දුටුවෙමි.. 2000 වසරේ මම අලුත් ඉස්කෝලෙ යන විට එය කිරි පාටට දිලෙන ලස්සන තැනකි...මම පාසල් ගොස් අවසන් වන විට එහි දිය සෙවල බැඳුණත්,ළඟදී එය යළිත් ලස්සනට දිළෙන්නට විය..මල් තවානෙන් පසු එය වැසිකිලියට ගත් වග සියැසින් දිනපතා දුටු අය අතර මම සිටිමි...කලිසම් වනා දැමූ අහිංසකාරාමය සිහි කළේ ඉතා පහත් මට්ටමේ තුවා රාක්කයකි.
එය බිඳ දැමීම ගැන එක එක මතවාද කොතරම් තිබුණත් මම සිටින්නේ නිගරුවට වඩා විනාශය යහපත් යන මට්ටමක..ඒ අතින් මේ මොහොතේ සංවර්ධනය ගත් තීන්දුව සැබවින් ම යහපත්...සාමාන්‍ය මල් කරුවන්ගේ පොදු වැසිකිළිය වීමට වඩා එය වටිනවා නේද? නැවත වරක් කුඩාවට එය ගොඩ නගනවා නම් පැලවත්ත ජනකලා කේන්ද්‍රයටත් වඩා ඇඹිලිපිටිය ඊට සුදුසුයි...අඩුම තරමෙ ඒ දරුවන්ගෙ අම්මලා ඒ ගැන බලාගනිවී..මම දන්නෙ එච්චරයි..මොකද පැළවත්තෙ සමාජ විෂමතාව වෙනුවෙන් ලොකුවට කතා කරන අය ලොකු බිල්ඩිං ගහං හිටියාට මේ තරම් ළඟ තිබිලාත් මේක ගැන බැලුවෙ නැත්තම්..ජනකලාවට ගියත් ඔය සැලකිල්ලම තමා!!

තාලයක් නැති ගීතය

අතීතය Part | 1


එදා දුටු උස් පවුර 
සම කරනු පිණිස නැගි
හද පෙළක් මිහිකුසේ
කඳුලු මැද ලැගුම් ගති


අතීතය Part | 2

අව් දූලි හුළං වැද
වැහි වැටුණු සිමෙන්තිය
පාසි බැඳ වහන් කළ
තාලයක් නැති කවිය

කරදාසි කොළ වලට
සිතින් පිටපත් කරන්
අම්මාට කියවන්න
එක් කරන් යන හිතින්

පැන නැගුණු හදවතක්
මග බලන සඳ මගට
හිර කෙරූ හීනයක්
ආයෙ යන්නට ගමට

වර්තමානය  Partner

එදා දුටු උස් පවුර 
සම බිමක් වූ අයුර
අපූරූද කොයි තරම
බලන් සකි එහි මහිම


අනාගතය ?????????????????


එදා ඩෝසර් කෙරූ
රුහිරු පිරි සිරුරූ
අදත්  මතකයන්
ඩෝසර් ව ඇති අයුරූ


මේ ටික අගින් එක් කරන්නෙ ඔබේ දැනුමට- (සියල්ල අන්තර්ජාලයෙන් බාගත කළ ඒවා)
අහින්සකයන්ගේ ආරාමය නිර්මාතෘ
ජගත් වීරසිංහ මහතා








විශාරද නන්දා මාලනීය හා මහාචාර්ය සුනිල්  ආරියරත්නයන් විසින් එක් කළ පුවරු





අහිංසකාරාමයේ කැඩුණු බිඳුණු ස්වරූපය 
ඩොසර් කිරීමට එන හැටි

දරුවන් ගණන සිහි කරන කනු (මෙහි හිස් ගලවා තිබිණි)
හිතැත්තන් ගේ කව් සටහන් මැටි පුවරු වී

ප.ලි

වර්ෂ 1988 – 91 අතර කාලයේ දී ඇඹිලිපිටිය ඇතුළු රටපුරා ඇති වූ භීෂණ තරුණ මරණ වෙනුවෙන්, පාර්ලිමේන්තු වට රවුම ඉදිරිපිට ‘අහිංසකයන්ගේ ආරාමය’ ඉදිකළේ 2000 වසර දී ය‍. දහස් සංඛ්‍යාත මවු පියවරුන්ගේ දෑතින් මිරිකුන මැටි පිඩවල් මෙහි ඇති අතර මෙය ස්මාරකයක් ලෙස වසර 12ක් පැවතුණි


11/12/10

ප්‍රාර්ථනාවක කේන්ද්‍රයේ දී.....



මම ජේ වී පී කාරයෙක් නෙවෙයි....අපේ රට තුළ හරි සමාජවාදයක් නෑ...ඒක ක්‍රියාත්මක කරන අයත් නැහැ...මම බය නැතිව කියනවා....ඒත් මම ඔවුන්ට ආදරෙයි....ඒ ඔවුන් හරි කියා හිතා ගත් අරමුණක් වෙනුවෙන් ජීවිතය පූජා කරපු නිසා...මගේ උපතටයි ඔවුන්ගෙ විපතටයි එකම වයස.... හැම ඉල් මහටම මට වයස පිරෙනවා වගේ...ඔවුන්ගේ මරණයත් අතීතයට එක්වෙනවා...ඔව් විසි එකක් කියන්නෙ ලොකු කාලයක්...දශක දෙකයි ...තවත් අවුරුද්දක් ....1989 අවුරුද්දෙ අළු වලින් වැහුණු නොවැම්බරය මතක් වෙද්දි තවමත් කඳුළු උණනවා කියලා... කෙනෙක් කියාවි......

ඔවුන් සටන් කළේ ආසවටද? ඔවුන්ට වෙන කරන්න විකල්පයක් තිබ්බද? ඔවුන්ට තිබූ ගැටළු වලට සියලු විසඳුම් ආණ්ඩුව සතුව තිබුණාද? අද මේ වගේ ගැටළු නැද්ද?..තියෙනව නම් ඇයි අපි සටන් නොකරන්නේ?...සටන් කළොත් බන්දේසියේ තියලා හම්බ වේවිද?...එහෙනම් මොකද්ද කරන්නනේ.....දත නියවීමද?මේ හැම ගැටළුවක්ම අද දවසේ අපේ තාරුණ්‍යයේ ඉදිරිපස තියෙනවා.....මිය ගිය වුන්ට ශාන්තියක් ලැබෙන්නට නම් මේ සියල්ල අපි විසඳ ගත යුතු නොවේද?........විසි එක් වෙනි ඉල් විරු සමරුව වෙනුවෙන් මේ ගැනත් එක් වරක් සිතන්න......


කාලයෙන් අන්ධකාරෙන්
වසා අඟුරු කළ
මතකයන් හිතේ ඉකි ගසනවා....
පාර තොට පිච්චිච්ච
ටයර් කොට කැබලි ළඟ
තවම රතු පාට මල් පිපෙනවා....
අහිංසක ආරාමේ
කුරුටු ගී විලාපෙට
අදත් අළු අහස් කුස හඬනවා...
වසර විසි එකක් කල්
හැංගිච්ච හීනයක්
රටක් වැහි කඳුළුයෙන් තෙමනවා...


(වසර දහ අටකට පසු 2010.11.11 ඇදහැළුණු විශාල වර්ෂාවෙන්...දියවන්නාව අසල විරු තරුණයන් වෙනුවෙන් සාදන ලද අහිංසකාරාමය නැමති කුරුටු ගී ස්මාරකය යට වී ගිය අයුරු දැක ලියවිණි...)

10/11/10

චේ ගැන අද ලියපු පිටපත

එක්දහස් නවසිය හැට හතේ ඔක්තොම්බර් මාසයේ නව වෙනිදා සමාජවාදි ඉතිහාසයට කළු පැල්ලමක් එකතු වුණා.ඒ චේ ග්වාරා ඝතනය සමගින්..මේ වසරේ යෙදෙන්නේ හතළිස් දෙවන චේ ගුණ සමරුවයි...


අර්නෙස්ටෝ ග්වාරා ලින්ච් ට දාව සීලියා ද ලා සර්නා එක්දහස් නවසිය විසි අටේ ජූනි දා හතර වන දා ආජන්ටිනාවේ රොසාරියෝහී දී තම කුළුදුල් දරුවා බිහි කළා.
අර්නෙස්ටෝ ග්වාරා ද ලා සර්නා ඔහුගේ උප්පත්ති නාමය බවට පත් වුනා..පියාගෙන්
ටේටේ යන සුරතල් නාමය ලත් ග්වරා කුඩා කල සිටම ඇදුම රෝගයෙන් පීඩා වින්දා.
මේ නිසා මූලික අධ්‍යාපනය නිවසේම අධ්‍යාපනය හැදැරන්නට ඔහුට සිදු වුණා ..
ග්වාරා වාමාංශික නැඹුරුතාවයකින් යුතු පවුලේ,සීලියා, රොබර්ටෝ, ඇනා මාරියා සහ ජෝන් මාර්ටින් යන සොයුරු සොයුරියන්ගේ දෙටු සොහොයුරා බවට පත් වුණා...
පසුව කෝර්ඩෝබාවේ උසස් විදුහලෙන් අධ්‍යාපනය හදාරන ඔහු තුළින්,කඩිසර, කලබල කාරී,සම්ප‍්‍රදායන් ප‍්‍රශ්න කරන, අයුක්තියට හිස නොනමන නිර්භීත තරුණයෙකු බිහි වෙනවා..
ඇදුම රෝගය තිබියදීම ක‍්‍රීඩාවේ නියැලෙමින් අනාගතයේදී තමන්ට මුහුණ පාන්නට වෙන අභියෝගයන් උදෙසා අධ්‍යාත්මික ශක්තිය එක් රැුස් කල්ළා.
වයස 18 ක් පමණ වූ පසු ග්වාරා ආජන්ටිනියානු නීතියට අනුකූල ව අනිවාර්ය යුද හමුදා සේවය සඳහා ලියාපදිංචි වුණත්, පරීක්ෂණ වලින් පසු හමුදා වෛද්‍යවරු ඇදුම රෝගය නිසා ඔහු කිසිදු අන්දමක හමුදා සේවයක යොදා ගැනීමට නුසුදුසු බැව් නිර්දේශ කළා.
ගණිතයට දක්ෂ ග්වාරා ගෙන් මිතුරෝ හා දෙමව්පියෝ ඉන්ජිනේරුවරයෙක් බලා පොරොත්තු වුනත් ඔහු චර්ම රෝග විශේෂඥ වෛද්‍ය වරයෙක් ලෙසයි තම උපාධිය අවසන් කළේ....
සංචාරයට ප‍්‍රිය කළ ග්වාරා ,සුන්දර දේශයන් හා දුක් විඳින මිනිසුන් ගෙන් සිය ආත්මය පුරවා ගත්තා.
එක් දහස් නවසිය පනස් එකේ දෙසැම්බර් විසි නව වන දා, අර්නෙස්ටෝ ග්වාරා, ඇල්බර්ටෝ ග්‍රෙනාඩෝස් සමග මෝටර් සයිකලයේ නැගුනේ, දීර්ඝ වූ ද වෙහෙසකර වූ ද, පසු කලෙක ලෝක ප‍්‍රකට වූ දෙ මෝටර්-සයිකල් චාරිකාව අරඹනු පිණිසයි. තරුණ අර්නෙස්ටෝ ග්වාරා, පසුව ලෝකය හඳුනාගත් චේ ග්වාරා නම් වූ විප්ලවවාදියා බවට රූපාන්තරණය කළ හැරවුම් ලක්ෂ්‍යය බවට මේ ගමන පත් වුණා.
විවිධ මිනිසුන්, විවිධ ගම් බිම් පසු කළා, ඔහු ලාඳුරු රෝගීන් සමග ක‍්‍රීඩා කළා...මිනිසුන් විඳින දුක් වෙනුවෙන් රජයට බලපෑම් කරන්නට හැමිතුරන්ට ඔහු කියා සිටියේ,එක වෙඩිල්ලක්වත් නොතියා විප්ලව කළ නොහැකි බවයි.
එක්දහස් නවසිය පනස් හයේදී කියුබන් වරුන් සමග එක් වුණු ඔහු බැටිස්ටාගෙන් කියුබාව මුදවා ගන්නට අනුපමේය සහයක් පිදෙල් කැස්ත්‍රෝට ලබාදුන්නා.
කියුබාව නිදහස් කර ගැනීමෙන් පසුව ඔහු එහි රැදෙමින් කර්මාන්ත ඇමති ලෙසත් මහ බංකුවේ අධිපති ලෙසත් සේවය කළා.එක්දහස් නවසිය හැට හයේ කියුබාවට සදහටම සමුදෙමින්,බොලිවියාව නිදහස් කර ගැනීමට සහය වීමට ඔහු තීරණය කළා. 1967 වසරේ දී ඇමරිකානූ රේන්ජර් කණ්ඩායමක් අතින් මරු දකින තුරුම සමාජවාදය හා මනුෂ්‍යත්වය උදෙසා මේ විශිෂ්ට මිනිසා කළ සේවාව අනුපමේයයි...

8/22/10

ව්‍යාකූල සටහනක්? නැහැ සටනක්?

මේ නිකිණි මාසයයි....
අපිට එනම් ශ්‍රී ලංකාවට දළදා ආශිර්වාදය ලැබෙන මාසයයි...
පෙරහැර ලකේටම පැවැත්වෙයි...
අවසාන රන්දෝලිය අනිද්දා වැඩම කරනු ඇත.
දැන් බය සැක නැතුව එහෙ මෙහෙ යන්නට පුළුවන.ඒ දැන් ත්‍රස්ත බිය නැති හෙයිනි..ත්‍රස්ත බිය දුරු වී වසරක් ගෙවී ගිය බව කියමින් අප උදම් ඇනූ බව ඔබට මදක් හෝ මතක ඇතැයි සිතමි.නමුත් අපි සිටින්නේ තවමත් එදා සිටි තැනම නේදැයි තවම ගැටළුවක් පවතී. මගේ සහෘද ලාංකිකයන්ගේ මතකයේ අඩුපාඩුව පිළිබඳව කණගාටු වෙමින් මම ලංකාවෙන් මදක් ඔබ්බට යමි.

මේ අති රමණීය ජර්මනියයි...මීට දශක ගනනාවකට පෙර නිම වූ යුද්ධයක අලු මතින් තැනුණු රාජ්‍යයයි...මම සිතින් ගෑස් කාමර ගණනාවක් පසු කළෙමි....ඇයව සොයා ගැනීමට මට වුවමනා විය...

මීට වසර හතකට පෙර ..එනම් මට වයස දහ තුනේදී මම ඇය දැන හැඳින ගතිමි...මාගේ ජීවිතය පුරා මේ තාක් ඇය බොහෝ බලපෑ චරිතයක් විය....ඇය කිසි දෙනෙකත් මට සොයා ගත නොහැක.ඒ ඇය මා විසින් සොයා ගන්නා විටත් මලවුන් අතර සිටි නිසාවෙනි...

ඇය උපන්නේ 1929 සයවන මාසයේදීය... මා උපන්නේ 1989 එකොළොස් වන මාසයේදීය.මට වඩා අවුරුදු 60කට වඩා ඇය වැඩි මහළු වුණත්..මා එදා ඇය කියවූයේ ඈ මගේ සොයුරියකැයි සිතාය....ආදරණීය ඈන් ෆ්‍රෑන්ක්.මට ඔබව අමතක් වන්නේ නෑ...ඔබ මිය ගියේ වයස දහ තුනේදී...මම ඔබව කියෙව්වෙත් වයස දහතුනේදී..අපි දෙන්නාගෙම සිතුවිලි තිබුණෙ එකම වයසෙ...ඔයා එදා හිටියෙත් අඳුරු යුගයක...මම එදා හිටියෙ අවිනිශ්චිත යුගයක.....ඔයා ඇඳුරු යුගයක් එක්කම යන්න ගියා....ඒත් ඔයාව කියවපු මම තාම ඉන්නවා.සංකේතාත්මකව අපේ අඳුරු යුගය ඉවර වුණත්, පුංචි ගැටළුවක් තියෙනවා.කළු වලාකුළක් ඈත එනවා පේනවා....කරත්ත රෝදයක් පෙරළෙනවා වගේ....මම හිතන්නෙ නෑ යුදෙව්වෝ වෙච්චි පළියට නාසිවරු ඔයාලාව මැරුවා වගේ ඒ පාට තුනේ අන්ධකාරය අපිව මරා දමාවි කියලා ....හැබැයි අපේ ලොකු ලොකු අය කියන ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය නම් ඒ කරත්ත රොදේට පෑගේවි....සමහරක් විට...
ආදර ඇන්,
බෑන්කි මූන් මහත්තය මේ අගෝස්තු හය ජපානෙට ගියා...නිකන් නෙමෙයි...හිරෝශිමාවෙ කඳුළු වලට මල් අරන්.....ලංකාවෙ කටයුතු දැන් ඒ වගේමයි....මුළු ලෝකෙම එක වගෙයි....හිනා වෙනවද ?අඬනවා ද ? කියලා හිතා ගන්න බෑ.. දිව්‍ය ලෝකෙම ඉන්න ඔයා ...මෙහෙ එන්න එන්නම ව්‍යාකූලයි....

දැනට ආයුබෝවන්

7/27/10

ආදරණීය ප්‍රෙම් අංකල් වෙතටයි......

මට තාමත් මතකයි....අපි පුංචි කාලෙ දොස්තර හොඳ හිත බලන්න...ටීවී එක ළඟට ආසාවෙන් දුවගෙන ආපු හැටි.ඒ දවස් වල මගේ ප්‍රියතම ගීතය "බෑ කියලා බෑ..."..ටිකක් ටිකක් ලොකු වෙද්දි මට දැන ගන්න ඕනේ වුණා.ඒ ගීතය ලිව්වෙ කවුද කියලා..
මම හිතුවා ඒ ගීතයෙ අයිති කාරයා ලොකු දැන මුත්තෙක් කියලා....අපේ අම්මාගෙන් මම ඇහුව....එතකොට අම්මා කිව්වා...ප්‍රේමකීර්ති අල්විස් කියලා කෙනෙක් තමයි.. ඒ ගීතය ලිව්වෙ කියලා...ඉතින් මට ඇත්තටම ප්‍රේම් අංකල් ව දකින්න ආසා හිතුණා.ඒත් මම ඉපදෙන්නත් ඉස්සර දවසක කට්ටියක් ඇවිත් අංකල්ව මරා දාලා. 
ඉස්කෝලෙ දේශණ වලදි, මාධ්‍ය කවයේ රැස්වීම් වලදී අපිට උගන්නන්න ආපු ගොඩාක් දෙනා, අංකල් ගැන සිහි කළා.ඒත් රූපවාහිනි නාලිකා වල අංකල්ගෙ වැඩසටහන් ගියෙ අඩුවෙන්..හුඟක්ම අඩුවෙන්...ඒකත් ජූලි මාසෙ මේ දවස් වලට විතරයි.ප්‍රේම් අංකල් ලියපු ගීත හුන්නාක් අදත් ප්‍රචාරය වෙනවා. ඒත් දැන් ගායකයාගෙ නම වත් නොකියවෙන සංස්කෘතියක එයාලා අංකල්ගෙ නම කියන්නෙ නෑ. සමහර අලුත් අය ඒවා ලිව්වෙ අංකල් ද කියලා දන්නෙවත් නෑ...සමහරු අංකල්ගෙ නමවත් දන්නෙ නෑ.ඒත් මේ දවස් වල ලංකාවේ සමාජ රටාව අමුතු වෙනස් කමක් වෙමින් පවතිනවා...එක එක අදහස් නියෝජනය කරන නෙක විධ පුද්ගලයන්, ප්‍රේමකීර්ති අල්විස් කියලා කෙනෙක් ගෙන නොයක් විදිහේ ගුණ කථන කරනවා... ඒවා ගොඩක්ම කෙරෙන්නෙ ආකර්ෂණයටද කාලයේ තාලයට ද කියලා කියන්න මම දන්නෙ නැහැ අංකල්...හැබැයි මේ කාලෙට එයාලා අංකල්ගෙ නම නැවතත් උපද්දනවා කියලා නම් පැහැදිළිව කියන්න පුළුවන්...


කවුරු හරි ඔබතුමාව මරලා දැම්මෙ මොනවා බලාපොරොත්තුවෙන් වෙන්න ඇතිද?එයාලාට එහෙම කරන්න කියලා කිව්වෙ කවුද?...එයාලා අංකල්ව මරලා මොනාද ලබා ගත්තෙ?...මට ඔහොම ප්‍රශ්න ගොඩාක් තියෙනවා....අපේ කාටූන් ගීත දැන් අංකල් ලියපුවා ත්‍රම් ලස්සන නෑ... ඉස්සර වගේ සම්භාව්‍ය ප්‍රහසන
ගීත කලාවකුත්ජ් දැන් අපිට නෑ...ඒවා කොහොම වුණත් තිස් එක් වෙනිදාට කිහිප පොළකම අංකල් වෙනුවෙන් ගුණ අනුස්මරණ තියෙයි....ඒවාගෙ ගොඩාක් අය අංකල් ගැන කතාකරාවි....අනේ ආදරණීය ප්‍රේම් අංකල්, ඉන්න ලෝකෙක සතුටින් ඉන්න.මෙහෙට එන්න හිතන්නවත් එපා...එදා අංකල්ව මරපු අයගෙ පහු පරම්පාරාවලුත් අද ප්‍රේම් අංකල්ට ආදරෙයි...ඒත් මේ හිත් කොයි වෙලේ හරි වෙනස් වුනොත්...ආපහු මහා විනාසයක් වෙයි....කොහොම වුණත් ඉතුරු කරලා ගිය ටික , ඒ කලා කෘති වල වටිනාකම් අපේ කලා ලෝකය හැඩ ගස්සවන්න ප්‍රම්මණවත්...අංකල්ට මේ කවිය මතක නම්,පොඩ්ඩක් හරි සතුටු වෙන්න පුළුවන්..ඔබේ මරණයෙන් පස්සෙ උපන් අළුත් පරම්පරාව ඔබ ගැන නොදන්නවා නොවේ කියලා....


මල් පිපුණේ සුවඳ දෙන්න බෑ කියලා බෑ..
තටු ලැබුණේ පියාඹන්න බෑ කියලා බෑ..
අත් ලැබුණෙ වැඩ කාරන්න බෑ කියලා බෑ..
මේ ලෝකේ කිසිම දෙයක් බෑ කියලා බෑ..


අපි හැදුණේ රට රකින්න බෑ කියලා බෑ..
රට වෙනුවෙන් වැඩ කරන්න බෑ කියලා බෑ..
යුතුකම් රැස ඉටු කරන්න බෑ කියලා බෑ..
නගේ මලේ කිසිම දෙයක් බෑ කියලා බෑ..
                         (ප්‍රේම් මාමා)


මීට ආදරණීය නොදුටු දුවක්
නීනු සත්‍යා

5/20/10

වීරයා සෙවීම


ඔබට වීරයෙක් සිටීද?
සමහරක් විට ඔබ එයට "ඔව්" කියා පිළිතුරු දෙනු නියතය.
නමුත් එම වීරයා කවුද?
මහත්මා ගාන්ධි,චේ ගෙවාරා ,ලියනාඩෝ ඩාවින්චි,ඇල්බට් අයින්ස්ටයින් වැනි අයද ඔබගේ වීරයා...
එසේත් නැතිනම් හැරීපෝටර්,සුපෙර්මෑන්,හර්කියුලිස්,සෝරෝ,රොබින්සන් කෲසෝ.....
එහෙම කෙනෙක්ද? සමහරක් විට ෂාරුක් ඛාන්,රිතික් රෝෂන්,ශකීරා වගේ කෙනෙක්ද?
නැහැ ඔබ විදෙස් චරිත ප්‍රිය කෙනෙක් නෙවෙයි වෙන්න පුළුවන්.
රාවණා,ගැමුණු,විජයබා වගේ රජෙක් ද ඔබේ වීරයා.
ඔය කවුරුත් නොවන ඔය වර්ගීකරණයට අයත් නොවෙන කෙනෙක්ද?
.....ඇත්තටම ඔබ සොයා ගෙන වීරයා යැයි සිතා සිටින වීරයා නිවැරදිද?
ඔබ ඔහු හෝ ඇය ඔබේ වීරයා ලෙස තෝරා ගත්තේ කුමන පරමාර්ථයකින්ද?
ඔහු හෝ ඇයට ඔබ ජීවිතය තුළ කෙතරම් බලපෑමක් කළ හැකි වීද?
සොයා බලන්න. සිතා බලන්න.
ඒ වීරත්වය ගැන ඔබට හැඟෙන හැම දෙයක්ම කියන්න. අපි වීරයා හොයාගමු.