මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

12/31/13

-235- උඳුවප් අහසට හංස ගී ගයමි.



මම ගීතවත් වෙමින් සිටිමි. Skitzo කණ්ඩායමේ “අහස දිහාවට“ ගීතය සිව්වන වරටත් නොකඩවා සවන් පුරා පිරී යයි.

නුඹ අහස නිරන්තරයෙන් දැක ඇතුවාට සැක නැත. එහෙත් එකිනෙකා වෙනුවෙන් නම් කළ තාරකා පිරි සොඳුරු සුසාන භූමියක් සේ නුඹ කිසියම් දිනක අහස දැක තිබේද? කුඩා දරුවෙකුගේ අතින් බොඳවුණු අපූරු සිතුවමක් සේ ඔබ අහස දකින්නට උත්සාහ කර තිබේද? අඩුම තරමේ තමා වෙනුවෙන් තරුවක් නම් කරන්නට ඔබ අහස දෙස නෙත් යොමා තිබේද? මෙවැන්නකින් තොරව, හඳ දකින්නට, අවුවේ වේදනාවට දෙස් තියන්නට පමණක් මෙතෙක් ඔබ අහස දෙස බැලුවා නම්, ඔබ අහස දැක නැත්තෙකු බවට මතකයෙහි තබා ගන්න. 

පෙරලෙන රළ පිඬු පාසා එකිනෙකා පරයා නැගෙන ශබ්ද තරංග වල උච්චාවචනය මහා වේදනාවක ඉකිබිඳුම බව ඔබ සිතා තිබේද? සොබා දහම නම් වෛශ්‍යාව සියතින් සිදුව ඇති සියලු වැරදි මහ ශක්තියක් සේ පෙන්වමින් පස් කඳු කඩා දමන බවද, ගිනි කඳු පුපුරුවා හැර ලෝදිය මුදාලන බවද, වැහි දිය උරා ගත නොහී, තම සිරුරම විනාශ කරවමින් දිය කර හරින බවද සිතන්නට ඔබට ඉස්පාසුවක් විණිද? 

නුඹ පසු ගිය වසරේ නුඹට කුසගිනි දැනුණු විට ආහාර ගත් වාර ගණන මතකද? නුඹට නිදිමත හැදුනු විට නිදිගත් වාර ගණන මතකද? ශරීර කෘත්‍ය සඳහා එය දැනුණු විගස විසිකිලියට ගිය වාර ගණන මතකද? නුඹ එවැනි කිසිවක් කර නැති බව මට ස්ථීරව පැවසිය හැක. මන්දයත් අපි හැමෝම වැඩ කරනුයේ අනුන්ගේ ඔරලෝසුවකට බැවිනි.

සුමනදිසි බේකරියේ උණු සොසේජස් බනිසක, තැවරුණු සෝස් සහ මයෝනීස් තොල ගාමින් මම වේගයෙන් ඇදෙනා වාහන දෙස බලා සිටිමි. හැල්මේ දුවන ලෝකයේ පසෙකට වී, එය දෙස බලා සිටීමේ ප්‍රීතිය වෙනමම හැඟීමකි. කලින් දින වලදි කළ රස්තියාදු ගැසීම් වල ප්‍රීතිය තවත් එකකි.

අතීතය වෙනුවෙන්, එල්ලී මැරෙන්නට දඟලන ලෝකයක අනාගතය දෙස බැලීමම වීර ක්‍රියාවක් හෙයින්, මම දෙනෙත් දල්වා නොබියව අනාගතය දෙස බලමි. සුන්දරත්වය මා වටා කැදලි තනයි.
සංසාරයේ සියලු හමුවීම් ළඟ වේදනාව මෙන්ම නික්මීම ඇතත්, සදාතනික සොඳුරු දඩයක්කරුවන්ද හමුවන්නේ ඒ සංසාරයේදීම බව පසක් වන්නට තරම් ජීවිතය ප්‍රබල බව ඉගෙන ගත යුතුයි. 

ඉදින් මම තව ඉගෙන ගත යුතුයි.. මගේ අකුරු වල ඇමිණෙන සුවඳ හොයනා මගේ පැටි වරුන්ට ඉගැන්විය යුතුයි. හෙට ලොව දිනන අයුරු මම ඔවුන්ට ඉගැන්විය යුතුයි.. ජීවිතය සොයාගත යුතුයි. සැමවිටම අයෙක් පැවසූ පරිදි වයස යනු අවුරුදු නොවන බැවින්, මම මා සොයා ගැනීමට තවත් කල් ගත යුතුයි. 

චිත්‍රපටි, පොත් පත්, රස්තියාදුව, චොක්ලට් , සෙට් වීම් සහ අයිස්ක්‍රීම් සපිරි ඔබට ඔබ ආදරය කරන, සුන්දර නව වසරක්..

ඉතින් ඒක තමයි අවුරුද්ද කියන්නෙ.. පායන්නෙ එකම ඉර , එකම අහසෙ නම් වෙනස් වෙන්නෙ අපිම විතරයි..

ඔබේ වියන යට
ඔබේ නිවන යට
හැර යන්නද කාව
තරහ අවසරයි
අපේ අහස යට
අපි අපිමයි තාම..................





12/29/13

-234- හුදකලා රස්තියාදුවේ ආනිශංස


ඇවිද්ද පය දහස් වටී කියලා කවුදෝ බර පොතක කියලා තියෙනවා කියලා මම ඉගෙන ගත්තෙ තුනේ පන්තියේ වාක්‍ය හයේ රචනාව ලියන්න පටන් ගත්ත මුල්ම දවස් වල. කොහොම වුණත්, ඇවිදීම.. තරම් සතුටක් ජීවිතේ නැතිම තරම්. ඇවිදීම කියන දේ ප්‍රධාන කැටගරි තුනක් තියෙනවා. එක අවශ්‍යතා පිණිස ඇවිදීම, දෙක ව්‍යායාමයට ඇවිදීම. හැබැයි වැදගත්ම ඇවිදීම තමයි රස්තියාදුවට ඇවිදීම. ජීවතේ අරමුණු තියෙන්නෙ අවශ්‍යතා වලට ඇවිදීමේදී, ජීවිතයේ පැවැත්ම තියෙන්නෙ ව්‍යායාමයට ඇවිදීමේදී.. එහෙත් ජීවිත් වීම කියන කාරණාව තියෙන්නෙ රස්තියාදුවට ඇවිදීමෙදී. අන්න ඒ නිසයි ගැටවර වයසේ සිට මිය යනතුරුම රස්තියාදු ගැසීම ලිංග බේදයකින් තොරව කළ යුතු දෙයක් බව මම තරයේ විශ්වාස කරන්නෙ.

රස්තියාදුවෙදි, ඕනෙම තැනක ඔබට නතර වෙන්න පුළුවන්. ඕනෙම තැනකදි ආයෙත් ඔබට හැරෙන්න පුළුවන්.. සෑම වැසුණු දොරක් ළඟදිම සිකුරුටිවරුන් සහ වරියන් සමඟ දොඩමළු වෙන්න පුළුවන්. කෙටියෙන්ම කිව්වොත් වැසුණු දොර ගැන තරහ නොගෙන ඉන්න පුළුවන්. ක්ෂණිකව සිතුණු විගස අලුත් තැනකට යන්න පුළුවන්..

ට්‍රැෆික් එකක පවා රසය විඳින්න පුළුවන් දෙයක් තිබෙන බව ඔබ සමහර විට නොදන්නවා ඇති. නැවතුමක හිඳගෙන යන එන කාන්තාවන් සහ පිරිමින් දෙස බලා සිටීමේ ප්‍රීතිය ඔබ සමහර විට නොදන්නවා ඇති. පළතුරු කඩයක වේගයෙන් සිදුවන වෙළඳාම අතර, හුවමාරු වෙන කුණු පළතුරු ඈත සිට ගණන් කිරීමේ ප්‍රීතිය ඔබ නොදන්නවා ඇති. උයනක ලිය ගොමු වල තුරුළුව සිටින සෑම පෙම්වතුන් ජෝඩුවකටම ගීතයක් බැගින් නම් කිරීමේ ප්‍රීතිය විඳලා නැතිව ඇති.

රස්තියාදුවෙදි මේ හැම දේම ඔබට නොමිලේ ලබා ගන්න පුළුවන්.

අරමුණක් පිණිස ඇවිද්දොත්, වසා ඇති දොරවල් , ට්‍රැෆික් , දිග පෝලිම් ඔබව නිරන්තරයෙන් තරහ ගස්සනවා. කොහොම වුණත් හුදකලාවේ රස්තියාදු ගැසීමේ ආනිශංස දන්නෙ එහෙමත් කෙනෙක්ම විතරයි. කොහොම වුණත්, අද දවසේ ශේෂය ඉදිරියට ගෙනයන්න.. තැන් කිහිපයකින් සිද්ධියක් දෙකක් ඔබට කිව යුතුමයි කියලා හදවත යෝජනා කරනවා. ඒවා සුන්දර සහ අසුන්දර කියන අන්ත දෙක අතරෙ තියෙන පුදුමාකාර සිද්ධි.

පළමුවැන්න සිදුවුණේ 154 බස් රථයක් තුළදි..

ඇය මධ්‍යම පන්තියෙ, තරමක් නවීන පෙනුමක් ඇති කාන්තාවක්. මැදි විය ඉක්මවා යාමට ආසන්නව තිබුණත්, සුන්දර භාවයේ නටබුන් මුහුණේ තිබුණා. සැහැල්ලු මළු දෙකක් අතේ තිබුණත්, බසයට නැග්ගාට ඇයට එය පාලනය කරගන්න හැකියාවක් තිබුණෙ නෑ. බසයේ අසුන් සියල්ල පිරී තිබුණා. නමුත් රථය තුළ කිසිවෙක් සිටගෙන හිටියෙ නැහැ.

සැහැල්ලු ටී ෂර්ට් එකක් සහ ඩෙනිමක් ඇඳලා, අයි පොඩ් එකක් කනේ ගහගෙන හිටි මා අද්දර අසුනක හිඳ සිටි යුවතියක් ඇය කියවමින් සිටි පොත ඇගේ බෑගයට දැම්මා. අඩුම තරමේ ලිප්ස්ටික්වත් ගාලා නොහිටියත්, නාගරික බව පෙනෙන්න සාධක ඇය ළඟ තිබුණා. ඇය මේ කාන්තාව දිහා බලනවා කිසිවෙක්වත් දකින්න නැතිව ඇති. මොකද ඇය දිහාවෙ ඇහැක්වත් මේ යුවතිය නොහෙලූ නිසා. හැබැයි අනික් හැමෝම මේ මැදි වියේ කාන්තාවගේ අසමබරතාවය දෙස දිහා බලා හිටියා. තත්පර තුන හතරකින් පමණ, යුවතිය අයි පෝඩ් එක ගලවලා බෑගයට දමා ගත්තා. එක වරම නැගිටලා බසයේ හිට ගත්තා. දැන් ඇය හිඳ සිටි අසුන හිස්.. ඉතින් මැදිවියේ කාන්තාව වහාම හිස් වූ අසුනේ හිඳ ගත්තා..

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ළඟින් බොහෝ දෙනෙක් බැස ගියා. එහෙත් යුවතිය බැස ගියේ නෑ. හිස් වූ ඉදිරි අසුනක නැවත ඇය  හිඳ ගත්තා. එවිට බසයේ සියලුම දෙනාගෙ අවධානය ඇයට යොමු වුණත්, කිසිවක් නොකළ ඈ යළිත් අයි පොඩ් එක කනේ ගහගත්තා.

මැදි වියේ කාන්තාව ඉදිරියට නැවී යුවතියට තට්ටු කළා.

 “ මම හිතුවෙ ඔයා බහින නිසා නැගිට්ටා කියලා. අනේ ස්තූතියි මට මේ සීට් එක දුන්නාට.“

කාන්තාව එහෙම කිව්වා. ඉදිරි අසුනෙහි සිට මඳක් පිටිපස හැරුණු යුවතිය දෙනෙත් දල්වා හරිම හැඩට සිනාසී යළිත් ඉදිරිය බලාගත්තා.

මැදිවියේ කාන්තාව දෙනෙතේ කඳුළු පුරවා ගනුත්, අනතුරුව දෑස් පිසදමන අයුරුත් දකින්න තිබුණා. කඳුලට හේතුව සිතන්නටත් ‍පෙර ටොරින්ටන් වෙත බසය පැමිණියා. මම වගේම, යුවතියත් බසයෙන් බැස්සා. මම හීලෑ අශ්වයෝ සහ හිමාලි අක්කා හොයාගෙන යන්න අවශ්‍ය බව සිහිපත් වීමෙන්, යුවතිය ගැන සිතීම අත්හැරියා. මැදිවියේ කාන්තාවගේ කඳුළු සහ අසුන අතර සම්බන්ධයක් නැතත්, යුවතියගේ සිනහව සහ ඇගේ කඳුළ අතර සම්බන්ධයක් ඇති බව සිතන්නට මේ මොහොතේ පවා සිතිවිලි පරම්පරාව බල කරනවා.




ආර්ෆිකෝ කියන්නෙ රස්තියාදුවෙදි, නොවරදින තැන් දෙකෙන් එකක්. අනික තැන තමයි සරසවිය. මේ දවස් වල නත්තල් සිරියෙන් ඇලලිලා ගිය ආර්ෆිකෝ එකේ, චොක්ලට් අංශෙන් පොත් කියවීම වඩවන චොක්ලට් දෙකකුත් නිරායාසයෙන්ම අරගෙන මම උඩට ගියෙ ලස්සන භාණ්ඩ අතර ටිකක් තනි වෙන්න හිතාගෙනමයි.

උඩ සෙල්ලම් බඩු අංශයේ බාබි ඩෝල් කෙල්ලන් අතර එකෙල මෙකෙල වෙන අංකල් කෙනෙක් මගේ ඇස් මායිමට වැටුණා. මගේ රස්තියාදුව නිමා කරලා නැවත පහළ මැගසින් කොටසට මම එනකොට ඔහුත් එතැන ඉන්නවා මම දුටුවා.. මැගසින් එකින් එක අල්ලමින්, සුන්දර නිරූපිකාවන්ගේ රූප ඇසින් කටපාඩම් කරනවා ද කියලා හිතෙන තරමට ඔහු ඒවාගෙ ඇලී ගැලී සිටියා. එතනම ආසාන්නයේ තිබූ මුදල් අයකැමි කොටසේ යුවතියන්, වරින වර ඔහු දෙස බැලුවෙ සල්ලාලයෙක් දිහා බලන ගාණට.

කොහොම වුණත් ටික වෙලාවකට පස්සෙ එක මැගසින් එකක්වත් නොගත්ත ඔහු ස්වයංක්‍රීය දොරින් පිට වුණා.. ඒ අංකල් එහෙම කළේ ජීවීතේ සුන්දර රාත්‍රීන් සදාකාලයටම මඟ හැරුණ සොවින්ද, කලින් තිබුණත් දැන් එහෙම ලස්සන දේවල් නොපෙනීම නිසා ඇති වේදනාව හේතුවෙන්ද, නැත්තම් ඇත්තටම එහි හරය තේරුම් ගැනීමේ ඕනෙ කමින්ද කියන්න දන්නෙ නැතත්, කාන්තා රසකාමියෙක් බව නම් පෙනෙන්න තිබුණා.

අංකල් ගෙ ප්‍රශ්නෙ මොකක් වුණත්, හෙට දවසෙත් ශෘංගාරය පිළිබඳව රික්තයකින් පිරි හදවත් වල නිමාවක් නැති බව නම් අදම අවටම පෙනෙන්න තිබුණා. ටොරින්ටන් චතුරස්‍රය හරහා ඇවිදගෙන යද්දි, ලංකාවෙ ප්‍රේමණීය යෞවනයේ සාම්ප්‍රදායික වර්තමානය ගැන කියා ගන්න බැරි වේදනාවක් හදවතට කාන්දු වෙනවා. කාමරයක් සහ උද්‍යානයක් පටලා ගැනීම ට ප්‍රධානම හේතුව මුදල් ද , ආරක්ෂාවද,  පෞරාණික චාරිත්‍ර වල ප්‍රගමනය කියලා හරියට වටහාගන්න විසි හතරෙ මොළයට බැරි වුණත් ඒ හැම මුහුණකම තිබුණෙ ආදරය බලෙන් පවරාගත්තු බවක්. මහ පොකුණ අසල හිටියා මහළු වියේ කෙළවරක දෙදෙනෙක්. එවන් දෙදෙනෙක් මෙවන් තැනක දැකීමත් ප්‍රීතියක්. එහෙත් ඔවුන්ගෙ මුහුණේ තිබුණේ තෘප්තියකටත් වඩා විශාල විඩාවක්. සමහරවිට ස්වර්ණ ජුබිලියකට පෙර බලෙන් පවරාගත් ප්‍රේමයේ වේදනාව වෙන්නත් බැරි කමක් නෑ.



For once you have tasted flight you will walk the earth with your eyes turned skywards, for there you have been and there you will long to return.

Leonardo da Vinci 



12/24/13

-233- ඒක එහෙම වෙන්න ඕනෙ..

ගොඩක් මිනිස්සු ගොඩක් දේවල් කරන්නෙ ඒක එහෙම වෙන්න ඕනෙ හින්දා. එහෙම නැතිව තමන්ට ඒක කරන්න ඕනෙ නිසාම නෙවෙයි. ඒක මොකක් වුණත් මිනිස්සු පුරුදු වෙලා තියෙන්නෙ එහෙමයි. අපේ ලොකු අයට එයාලාගෙ ලොකු අයත්, එයාලාගෙ ලොකු අයට එයාලාගෙ ලොකු අයත් කියලා දීලා තියෙන්නෙ එහෙමයි. ඒකට තමයි සම්ප්‍රදාය කියන්නෙ.

තව අඩ පැයකින් නත්තල ලබනවා. එක, එක රටට රෑ දොළහ වෙන, වෙන, වෙලාවට ඒ  ඒ රටවල් වල ඉන්න කාට කාට වුණත් ළඟම පල්ලියෙ ඝාන්ඨාරය නාද කරනවා අහන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි රතිඥ්ඥා පත්තු වෙන හඬත් අහන්න පුළුවන්. ඒවා හැම නත්තලටම  එහෙම වෙනවා. කවදාවත් වෙනස් වෙන්නෙ නෑ.. හැම නත්තලටම නත්තල් ගහ වුණත් එහෙමයි... ගව ලෙනත් එහෙමයි.. වෙනස් වෙන්නෙ, විලසිතා විතරයි.

කොහොම වුණත් නත්තලට තෑගි ලැබෙන එක හොඳ දෙයක්. නුගේගොඩ බොරැල්ල කොටුව පිටකොටුව වගේ නාගරික තදාසන්න ඉසව් වල ඇවිද්දා නම් තමන්ටම පුළුවන් තමන්ට ඕනෙ කරන තෑගි මිලට ගන්න. මොකද කියනවා නම්, හරියටම වෙනින් කවුරුවත් දන්නෙ කොහොමද හරියටම අපිට ඕනෙ කරන්නෙ මොනවද කියලා. 

ඒත් අනුන් මත පවතින දේවල් වලත් සුන්දරත්වයක් නැතුවාම නෙවෙයි. මිනිස්සු ගොඩක් දෙනෙක්ගෙ අත්‍යාවශ්‍යම දෙයක් තියෙන්නෙ, අනුන් මත. මොකක්ද මේ අත්‍යවශ්‍යම දේ කියලා ඔයා දැන් හිතනවා ඇති. ඒ තමයි ප්‍රහර්ෂය. සතුට, ප්‍රීතිය ,උද්දාමය , තෘප්තිය වගේ නොයෙක් වචන දුන්නත්, ඒ හැඟීම නිර්වචනය කරන්න.. සද්ද කරන්න තියෙන ලස්සනම වචනය ප්‍රහර්ෂය.
ඒක තියෙන්නෙ ගොඩක් වෙලවට වෙන අය මත. හැබැයි පුදුමය කියන්නෙ හැඟීම අයිති අපට.

මට හැම වෙලාවෙම ඒක දැනෙන්නෙ පුංචි නිදිකුම්බා මලක් වගේ. පොළවට ඉතාම කිට්ටුවෙන් පොළවට නොගැවී.. මුලෙන් විතරක් පොළවට සම්බන්ධ වුණ .. හැම වෙලාවෙම විසිරිලා යන්න බලාගෙන ඉන්න, පුංචි ගැස්මකටත් අවිනිශ්චිත වෙන, කොළ අතර හැංගුණ පුංචි නිදිකුම්බා මලක් වගේ. 

ඒත් ඉතින් වේදනාව හරියට ඉහළ අහස වගේ.. වැඩිපුරම පේන්න තියෙනවා. මිදෙන්න අමාරු තරමටම හැම තැනකම පැතිරිලා තියෙනවා.

දැන් පුංචි ප්‍රශ්නයක් මතු වෙනවා. පුංචි නිදිකුම්බා මල් කොහොමද, මහ පොළවත් අහසත් අතර ඉඳගෙන අහසින් මහ පොළව ආවරණය කරන්නෙ කියන එක ගැන. ඇත්තටම කවදාවත් ඒක කරන්න බෑ. ඒත් අහසට වඩා සමීපයෙන් තියෙන්නෙ නිදිකුම්බා මල් බව පොළව හොඳාකාරවම දන්නවා. අනනුකම්පීය අහස කොයි තරම් විශාල වුණත්, නිදිකුම්බා මල් වල හදගැස්ම සමීපවම මහ පොළවට සදාකාලිකව දැනෙනවා..

මම දන්නවා ඒරියල් සුරදූතයා කවදාවත්, මගේ ජනේලයෙ පඩිය උඩ ඉඳගෙන මට ජීවිතේ ගැන ඔය විදිහට කියාදෙන්නෙ නැහැ කියලා. එහෙමයි කියලා ඒ ගැන දුක් වෙන්න කිසිම හේතුවක් මට පේන්න නැහැ. නත්තල් සුවඳවල් නැතත්, නත්තල් ගහක් ගෙදර නැතත්, මට තව ටිකකින් පල්ලියෙ ඝන්ඨා සද්දය අහන්න පුළුවන්.. ඒ එක්කම මට පුළුවනි, ගෝඩර් ලියපු සිසිලියාගෙයි ඒරියල් සුරදූතයාගෙයි කතන්දරය කියවන්න. ඒක හොඳ තෑග්ගක් නෙවෙයිද? නත්තලත් උපන්දිනයත් අතර ලැබුණ හොඳම පොත නිසා, ඒක උපන්දින තෑග්ගක් කියලා සතුටු වෙන්න පුළුවන් වගේම නත්තල් තෑග්ගක් කියලා සතුටු වෙන්නත් පුළුවන්... බලන්න ප්‍රහර්ෂය කොයි තරම් සැහැල්ලුද කියලා. හරියට සමනළ තටුවක් වගේ. 


“ The inner fire is the most important thing mankind possesses.” 
-Edith Sodergran-



11/21/13

-232- ඇය සහ ඇය අතර තනිවීමි




ඇයි කවදාවත් බඳින්නෙ නෑ කියලා ඔයා හිතාගෙන ඉන්නෙ?

මම ඇය ගෙන් ඇහුවා. ඇයගෙ හිනාවෙ තිබුණෙ උපහාසයක්. ඈ මගෙ යෙහෙළික්. එදා නම් ජීවිතේ ගැන අනේක විධ බලාපොරොත්තු පොදි බැඳගත්ත සුන්දර යෙහෙළියක්. පසුව ජීවිතය දිහා උපහාසෙන් හිනාවුණු යෙහෙළියක්. අද ඒ සියල්ලටම වෙනස්.. එහෙත් සමහර වැරදීම් වලින් අන්තයටම වැටුණාම, ඇයට විවාහ වෙන්න හිතෙන්නෙ නැතිව ඇති කියලා මට හිතුණා.

ජීවිතය කියන්නෙ පතන දේම නොවෙයි. ලැබෙන දේ. ඒත් ඒ දේවල් ලැබෙන්නෙ, අපේ යම්කිසි කර්ම ශක්තියකට. ඇත්තම කතාව තියෙන්නෙ එතැන. ඇය අපූරුවට ආදරය කරන්න දැන ගෙන හිටියා. ඒ නිසාමයි ඇය මේ තරම් ම ආදරය කළේ.  අවසානෙදි ඒ ආදරේ ඇයට දුකක්ම වෙලා. ඉතින් ඇය බොහොම දරදඬු තීරණයක් ගත්තා. 

ඇගේ මවු පියො , යහළු යහෙළියො කෙතරම් ඇවිටිලි කළත්, ඇය තෝරාගත්තෙ අනගාරික ජීවිතයක්. ඒත් අපි බලාගෙන හිටියා ඒක කවදාම හරි වෙනස් වෙයි කියලා. රූපෙන් හුඟක් ලස්සන ඇය මනාලියක් විදියට කුල ගෙදරින් නික්ම යායුතු බව අපි ඇදහුවා.

ඔහු ආවේ ඒ වගේ කාලෙක. ඇයට නම් ඒක හරි අපූරු කාලයක්. ඔහු ඇගේ මුළු ජීවිතේම වෙනස් කළා. ඇයගෙ සිතිවිලි වලට පියාපත් දුන්නා. මුලු වසන්තයම සිතිවිලි සිරගත කරගෙන සිටි ඇය, හේමන්තයේ සිය සිතිවිලි මුදා හැරියා. එහෙත්, අපි සිහින දුටු දේ එයද? 

ඇයි කවදාවත් බඳින්නෙ නෑ කියලා ඔයා තවමත් හිතාගෙන ඉන්නෙ?

මේ දැන් මම නැවත ඇයගෙන් ඇහුවා.


එය විතරාගී ප්‍රේමයක්. ඇය මට කිව්වා. දැන් ඈ ප්‍රේම කරන වයස සංස්කෘතියට අනුකූලව පහු කර ඇති නිසා, ඇය සියතින් සංස්කෘතිය නැමති බාධකය ජීවිතයට බලහත්කාරයෙන් වෙලාගන්වමින් හිටියා. සැමවිටම සංස්කෘතිය මෙසේ කාන්තාවට බාධා කරන්නේ කුමක් නිසා දැයි තවමත් මට පුදුමයක්.

එහෙත් හොඳම දේ දැන් ඇය ආදරය කරනවා. කඩදාසි කොළයක නම් සටහන් නොවුණත්, සුදු සාරි තැළි පැළඳ පෝරු මස්තකාරූඪ නොවුණත් ඇය දැන් ආදරය කරනවා. 

මේ සිතිවිලි එක්කම මම ඈත සුළඟේ දිව යන දහස් ගණනක් දූවිලි අංශු දෙස, බස් රථයේ ජනේලයෙන් බලා සිටිනවා. ඒ මොහොතේම නන්දා මාලනියගේ මියුරු හඬ ඝෝෂාකාරී නගරයේ කඨෝර හඬ පරදමින්,  මගේ සවන හරහා හදවත දැවටෙනවා. ගයන ඇගෙත්  මගේ යෙහෙළියගෙත් විශාල වෙනසක් ඇද්දැයි මගේ සිතිවිලි මා හා තර්ක කරමින් ගමනාන්තයට යනවා.

වසන්තේ නිදා උන්...යොවුන් කොකිලාවන්...
ගයන්නේ සුපෙම් ගීත..හේමන්තයේදී...
වසන්තේ ලපල්ලෙන් වැසී උන් කුසුම් කැන්...
නටන්නෙ පිපී දැන් හේමන්තයේදී....

විලාපෙන් විඩා වි..රැදී මංතලාවේ...
වැසී අන්ධකාරෙන්..වැටී මංමුලාවේ...
වලාවක් ලෙසින් මා.. ඇදෙද්දී අයාලේ...
ඔබෙන් නෙත් ලැබුවේ...හේමන්ත කාලේ...

සුසුම් ලා දිවා රෑ...වෙලී හුදකලාවේ...
එපා වී සියල්ලන් පලා ආ වෙලාවේ...
තුෂාරෙන් උදා වූ..සඳක් සේ නිශාවේ..
ඔබයි නෙත් සැදූවේ හේමන්ත කාලේ...

ගීතය අහන්න

11/1/13

-231- මට හමුවූ සුන්දරම යුවතිය



ඇයව මට හමුවුණේ කොහුවලදි, නිල් මල් ඉහුණු සුදු වන් රෙද්දකින් දෙදණ තෙක් වැසුණු ගැමි පන්නයෙ ගවුමකින් ඈ සැරසී සිටියා. එහෙත් ඈ අගනුවර යුවතියක් විය යුතුයැයි මට සිතුණා. සැකසු ඇහිබැමත්, ලේයර් හැඩැති හිස කෙසුත් නිසා.

මා සමඟම ඇය බසයට ගොඩ වුණා. බසයේ කොණකට ඇති ආසාවෙන් ඇය ඉක්මන් වුවත්, පුංචි දරුවෙක් ඇයව තල්ලු කළා. ඇය සුන්දරව සිනාසුනා. මේ අපූරු යුවතිය මේ දරුවාට බසයේ පෙම් මුල්ල දුන්නා. දැන් ඔවුන් බර කතාවක. අපූර්වත්වය නම් ඒ කුඩා දරුවා භාෂාවක් කතා නොකිරීමයි. ඇය කිසිම අපහසුවකින් තොරව හදිසියේ හමුවූ ඔහු හා කතා කරන විලාසය මාද ඇතුළුව බසයේ හැමෝම බලා සිටියා. ඇය එයින් අපහසු තාවයට පත් වූ බවක් දැක්කෙ නැහැ.

ඇය ගොළු යුවතියක නොවූ බව බසයම දැන ගත්තෙ, පාර වැරදුණු මිත්තණියක් බසයෙන් බස්සවන්න ඇය කොන් දොස්තරට කතා කළ වෙලාවෙ. ඒ හඬ එතරම්ම ගීතවත්.

ඇය ඉන්පසු නැවතුමෙන් බැස්සා. මේ අපූරු යුවතිය යන මඟ ගැන සොයාගන්න ආශාවක් මට තිබුණා. පාර හදන තැනකින් බැසගත් ඇය, වැඩකරන මිනිස්සු දෙස බැලුවෙ දන්නා හඳුනන අය දෙස බලනවා වගේ.

කාන්තාවක් ඇය අඳුරලා වගේ මල් දහයක් තෝරා ඇය අතට දුන්නා. නිල් මහනෙල් මල් පොකුර අතට ගත් ඇය හීන් හිනාවක් මටත් දුන්නා. මමත් මල් දෙකක් අරන් ඇය එක්කම කතාවට වැටෙන්න ඇය ළඟින් ගමන් කළා. මම කතා නොකරම ඇය කතා කරනවා.

“ පටන් ගන්න තැනම අයට බිස්නස් අඩුයි. පන්සල ගාවට වෙන්න වැඩියි. මෙතන රස්නෙ නිසා මල් ඉක්මනින් පර වෙනවා. “

මගෙන් උත්තරයක්වත් තව අලුත් කතාවක් වත් ලැබෙන්නට පෙර, ඇය දිගු පාර අසබල වෙලක ලියැද්ද ළඟ නැවතුනා. පොරි පැකට් එකක් දමාගෙන දැන් ඇය මාලු එක්ක කතා කරනවා. එතැනින් පසු ඇය කිසිම කෙනෙක් නොදුටු ගාණට තමන්ටම මුමුණමින් පන්සලට ගියා.

මේ අපූරු යුවතිය හොයන්නෙ මල් අඩු බුදුවරු. ඇය මල් තිබ්බෙ එවන් පිළිම ළඟ. මඳක් තම පිළිවෙතෙහි යෙදුණු ඇය එන්න පිටවුණා. මල් ආසනයක වියළි මල් පර වෙලා. ඇය තම ගමන පසෙක තබා මල් අසුන පිරිසිදු කරන්න පටන් ගත්තා. තරුණයො කිහිප දෙනෙක් තනි ඇයට උසුළු විසුලු කරනවා. ඇයට ඒ දෙස බලන්නටවත් වෙලාවක් නැහැ. ඇගේ කාන්සියට පැමිණි පුංචි හිතවතෙක් ඇය සමඟ ලොකු කතාවක. පුංචි පූස් හිතවතාට කන්නට දෙයක් දෙන්නට නැතිවීම ගැන නම් ඇය උන්නෙ දුකින්.

ඇය දැන් යළිත් ඇගේ ගමනේ ඇවිද යනවා. මේ අපූරු යුවතිය නිතරම කළ එකම එක දෙයක් තිබුණා. ගවුමෙ රැලි සාක්කුවෙන් දුරකථනයක් ගෙන ඇමතුමක් හෝ යමක් බලාපොරොත්තු වුනා. පුදුමය නම් එය එතෙක් වේලා නොලැබීම නොවෙයි. ඇගේ ඇස් වල දිගින් දිගටම කාන්තිය එකතු වීමයි. ඇයගේ පාර ගොඩක් දුර ඇති. එහෙත් ඇගේ ළඟ ජීවිතය තිබුණා. අපූරු ඇස් දෙකක් සහ සිනහවක් තිබුණා.

වෙහෙසට පත් නොවන දෙපයක් තිබුණා. ඇය අවසන අතරමඟ සිටි බර කිරන්නෙකුට කියා තම බර කිරවා ගත්තා.

පුංචි නෝනා 65 යි.. ඔහු කීවා..

අංකල්ට කියන්නෙ BMI එක තියෙන්නෙ නූලෙන්. 58 ට බැස්ස දාට මම අංකල්ට උළුඳු වඩේ අරන් දෙනවා..

කලු පැහැ මුහුණ තුළ රූ රාජිණියකගේ පෙනුම නැතත්, දීප්තිමත් ඇස් සහ සුන්දර හිනාව අනික් අය අතරින් ඇය ඉහළට ගෙනාවා. බර කිරන දුප්පත් මිනිසා අපිරිසිදු දත් එළියට දමා පිරිසිදු සිනාවක් පා කළා. සමහර විට ඒ දවසටම ඒ මිනිසා සිනා සුණු පළවන වතාව විය නොහැකිද?

කඩයක කූඩුවක සිටි මයිනෙකුට කතා කළ ඇයට කතා කළ අත්තම්මා කෙනෙක් පිරිත් නූලක් නිවස තුළින් ගෙනැවිත් ඇයට ගැට ගැහුවා. ඇය දකින සැම කෙනෙකු සමඟම සිනා සුනා. ඇය පසුකරමින් බුම්මාගෙන ගියෙක් නැති තරම්. සිනාසෙන මුහුණ ඇගේ ස්වාභාවයදැයි මට හිතුණා. ඇය ඈතට ගියා. අපූරු සිංදු කිරිල්ලියක්. සුන්දර යුවතියක්.
ඇයට කවදාහරි ඇය වටා සිටිනා ලෝකයටම සතුට ගෙනෙන්නට හැකි වේවා කියා මම බෝධිය දෙස බලා ප්‍රර්ථනා කළා..

අද මම ඇය ගැන ලියන බව ඇය නොදන්නවා ඇති. මට දුක නුඹට කියන්නට අවාසනාවකට ඇගේ නම අසාගන්නට බැරි වීම ගැනයි.

10/25/13

-230- දැරියක්, දරුවෙක් සහ තවත් දරුවෙක්


ඊයෙ පටන් ගත්තු research එකක අන්තිම කොටස ලියලා ඉවර වුණාම දැනෙන්න පටන් ගත්තෙ හිස් කමක් එක්ක එකතු වුණ අමුතු පාලුවක්. පුංචි පහේ හැන්දෑ රසිතියාදුවකට හිත දෙන මේ වගේ අපූරු අවස්ථාවක් මඟ හරින එක අපරාධයක් නිසා, සැහැල්ලු ඇඳුමකුත් ඇඳගෙන මම කණ්ණාඩිය ළඟට ආවා.

කණ්ණාඩියෙන් දකින මගේ මුහුණේ වෙහෙස, මට මාවම ඉක්මනට එපා කරපු නිසා අරමුණක් නැති හැන්දෑ සවාරියට හදිස්සියෙම අරමුණක් එකතු වුණා.  සැලෝන් එකට යාම නිසා මගෙ මූණ ලස්සන වීම කොහොම වෙතත්, මගෙ හිතට ඒවායෙන් සැනසීමක් දෙනවා කියලා දවසක් ඔහු කියපු දේ සිතට නැගිලා ආපු හිනාවත් එක්කම මම එළියට බැස්සා.



හන්දියෙන් හැරෙන මොහොතෙ, වයස අවුරුදු දහයක විතර දරුවෙක්, බස් රථයෙන් බැස්සා. පාසැල් ඇඳුම පිටින්. ඒ මොහොතෙ ඔහු ජංගම දුරකථනයෙන් ගේම් එකක් ගහනවා. පාරේ ගලක්, ගහක් වැලක් මනුස්සයෙක් ගැන කිසිම අවධානයක් යොමු නොකර තමන්ගෙ ජංගම දුරකථනය දෙස බලාගෙනම ගමන් කළත්, කිසි අතුරු ආන්තරාවක් නැතුව ඔහු පාර දිගේ යනවා. සෙසු දරුවන් කිහිප දෙනෙක් ඔහුව පසු කරගෙන ගියත්, ඔවුන් ගැන කිසිම තැකීමක් මේ දරුවාට තිබුණෙ නෑ. ජංගම දුරකථනය ඔහුගේ අවධානය ඒ තරම්ම ග්‍රහණය කරගත්තා. නොපෙනී යන තෙක් ඔහු දෙස බලා සිටිව මම, නැවත මගේ ගමන ආරම්භ කළා.

සැලෝන් එකේ පඩිපෙළ ළඟදි, මම වේගයෙන් ආපු දෙදෙනෙකුට ඉඩ දුන්නා. මැදිවියේ මවක් සහ වයස අවුරුදු අටක පමණ දැරියක්, හීනි පඩිපෙළේ මාව පෙරළගෙන ඉහළට ගියා. ඔවුන් පසු පසින් ගිය මමත් සැලෝන් එකට ඇතුළු වුණා.

ඒ දැරියට පාසලෙන් කොණ්ඩෙ ගොතන්න කියලා ගැමි ළඳකට ඇය අද රඟපානවලු.. කොස්ටියුම් එක ගෙදරින් එනකොට ඇඳගෙනම එන්න කියලා. ජාත්‍යන්තර පාසල් එහෙමයි තමයි. මොකද එක ළමයෙක්ව එක Item එකකට වඩා තියන්නෙ නෑනෙ. අනික ඇඳුම කලින් නිර්මාණය කරලා දුන්නාම අම්මාට තියෙන්නෙ අන්දාගෙනම එක්කගෙන එන්න.

මේ අම්මා කොණ්ඩෙ ගොතන්න දන්නෙ නැති නිසා දරුවාගෙ කොණ්ඩෙ ගොතා ගන්න සැලෝන් එකට ඇවිල්ලා. කොහොම වුණත් එහෙන් මෙහෙන් කෑලි කැපූ දැරියගෙ කොණ්ඩය සෑහෙන ප්‍රරිශ්‍රමයකින් එකතු කළ අයුරු පෙන්වලා, කොණ්ඩෙ ගොතලා රුපියල් පන්සියයක් ගන්න සැලෝන් අක්කා දිහා මම උපේක්ෂා සහගතව බලාගෙන හිටියා.

කොණ්ඩෙ ගොතන්න ඉගෙන ගැනීම ජාත්‍යන්තර පාසල් සිසුවියන්ට අත්‍යාවශ්‍ය නැති නිසා, මෙහෙම අවස්ථාවකට රුපියල් පන්සියයක් වියදම් කිරීම කොණ්ඩෙ ගොතන්න ඉගෙන ගන්නවට වඩා ලෙහෙසි ඇති බව මට හිතුණා. සල්ලිකාර මවකට, ඒක අනික සුළු දෙයක්.

ඉතින් තමන්ගෙ වැඩේ කරගෙන ඔවුන් පිටවෙලා ගියා. ඉන්පස්සෙ මට අවශ්‍ය දේවල් ටිකත් හෙමින් සීරුවෙ කරවාගෙන පැයකට දෙකකට පස්සෙ මමත් නැවත පාරට ආවා.

ගෝ එකක් ගන්න ඕනෙ කමටයි රස්තියාදු ගැසීමටයි ඇති හොඳම තැන් වලින් එකක් වෙච්ච ෆුඩ් සිටි එක ඇතුළට ඉන්පස්සෙ මම රිංගුවා.

භාණ්ඩ අතර ඇවිදිමින් එහෙත් ඒ කිසිදු දෙයක් නාල්ලමින් සිටි දරුවෙක් මගෙ ඇසට හමුවුණා. ඔහු දෙස මඳ වෙලාවක් බලා සිටිය මම , මට අවශ්‍ය මැගසින් එක අරගෙන පිට වෙනකොට..ඔහු තනියම ෆුඩ් සිටියෙන් පිට වුණා දැක්කා...වයස අවුරුදු දහයක් පමණ වූණු ඒ දරුවා මගේ පාරෙම මට සමාන්තරව දැන් මා හා ඇවිද යනවා. අවට පෝස්ටර් කියවමින්, කඩ ලෑලි අතර නවතිමින් ඉතාම විමසිල්ලෙන් එහෙත් හෙමින් ඔහු ඔහුටත් නොදැනී ඉදිරියට යනවා...

මේ මොහොතේ මගේ මග ඔහු යන මග නොවූ නිසා මම හන්දියෙන් හැරුණා. ඔහු තවත් ඉදිරියට ගියා.. ඒත් මම ඒ පාර දිගේ ගියොත් නිතරම නවතින හාවො විකුණන කඩේ ළඟ ඔහුත් බාග වෙලාවට නවතින්න ඇති කියලා මට හිතුණා.



මගේ ළමා කාලය පටන් ගත් අවධියේ ම වෙන්ව ගිය  වෙල් යාය, පිණි කැකුළු, නෙළුම් පෙති, මදටිය ගාල හෝ නීල කොබෙයියන්  ඔහු මෙන්ම පසු පරම්පරාද කිසි දිනෙකත් නොදකින බව ප්‍රත්‍යක්ෂ නිසාවෙන් එම ගීයෙන් මෙපමණක් ලියා තබමි.


ඔහුට මුවාවී...පාසල් යන්නේ.......

මා දැයි නිකමට මට සිතුනා.........

10/18/13

-229- Just Another Story


ලියන්න කියලා හදවත බල කරන අවස්ථා වල නොලියා සිටීමට මම පුරුදු වුණේ ලියන්නට පටන් ගත්ත මුල් කාලයෙ. ඒකට හේතුව මා ලියන දෙයින් මා එළියට එයි කියලා මට ම දැනෙන අස්ථානගත බයද ලැජ්ජාවද එහෙම නැත්තම් වෙන මොකක් හරි දෙයක් ද කියලා වැඩි දුර හිතන්න වුවමනාවක් තිබ්බෙම නෑ.  ඒ කොහොම වුණත් ලියන්න බල කරන හැම වෙලාවකම චිත්‍රපටියක් එහෙමත් නැත්තම් පොතක් පෙන්නලා මගෙම හිත රවට්ටලා දාන්න පුළුවන් කුරිරු හැකියාවක් සහජයෙන්ම මට ලැබිලා තිබුණා. අඩුම තරමෙ ඒ කිසිවක් විසින් මගෙ ලිවීම සම්පූර්ණයෙන් නතර කිරීම නොකළත් ඒ දේවල් වලට සෑහෙන්න හැකි වුණා මගෙ ලිවීම විකෘති කරන්න. ඒ කතාව එතැනින් ඉවරයි.

හුඟක් වෙලාවට හදවත නිදහස් කරන කෙනෙකුට තාම තුළම කල්පිත නිර්මාණය කිරීමේ සීමාව තමන් නොදන්න ඉසව්වක් කරා වේගෙන් රැගෙන යන්න පුළුවන් කියලා මම සෑහෙන්න විශ්වාස කරනවා. කෙනෙක් ඒ වාගේ මනඃකල්පිතයක් ඇතුළෙ කොයි තරම් දුර ගියත් අතරමං වෙනවා කියලා කවදාවත් මම හිතන්නෙ නෑ. ඒත් පෙරේදා හවස හතරහමාරට මගෙ ඒ විශ්වාසය බිඳුණා..

හැබැයි මෙන්න මෙහෙම ප්‍රත්‍යක්ෂයකට මම පැයක් ඇතුළෙ දි ආවා.

තමන් විසින් නිර්මාණය කරගන්නා කල්පිතමය සිතුවිලි හුයක ඕනෙකමකින් පැටලෙන කෙනෙකුට කවදාවත්, ඉන් මිදෙන්නට බැරිකමක් නෑ. ඒ ආරම්භයේ සහ අවසානයේ නිර්මාතෘ එක්කෙනෙක්ම නිසා. ඔහු හෝ ඇය එයින් මිදෙන්න අවශ්‍යද නෑ.

එහෙත් ඔබ මනඃකල්පිත ගොඩනැගීමක සිටිනා බව අනෙකෙකු දැන ගැනීම, ඔබේ කල්පිතයේ ඔබ අතරමං වී ඇති බවට අනෙකා විශ්වාස කරන ප්‍රධාන රීතියක් ඔබ වටා ගොඩ නගනවා.

තමන්ගෙ පරිකල්පනික සීමා අනෙකා සමඟ හුවමාරු කර ගැනීම නිසා තම සීමාව තමාට අහිමි වීම වගේම තව හුඟක් දේ වෙන්න පුළුවන්. ගොඩක් ඔබව පෙනෙන අයට තියෙන ගැටලුවක් මේ දෙක අතර වෙනස හඳුනා ගැනීමට ඇති නොහැකියාව. මොකද ඒ අය ඔබව දකින්නට උත්සාහ නොකරන නිසා.

යථාර්ථයේ තියෙන නරුමවාදි ගතිය සරලවම කියනවා නම් ස්වකීය ආත්මයේ තිබෙන සැර ඇත්ත බාල කරන්න අරුමැසිවාදයට පුළුවන්. හරියට අරක්කු වලට දමන සරක්කු වගේ. හැබැයි අරුමැසිවාදය එළි දැක්වීමේදි පරිස්සම් නොවුණොත්, කෙනෙක් එය අපේ යථාර්ථය ලෙස භාර ගනීවි. ජීවිතේ මිනිස්සු පරිස්සම් විය යුත්තෙත්, පරිස්සම් නොවෙන්නෙත් ඔතනදි.

ඔය වගේ හුඟක් දේවල් එක පෙළට හිත ඇතුළට ආ හැටි කල්පනා කරන මට හිතුණෙ, තමන් තුළ ගොඩ නැගෙන සිතුවිලි වල විශ්වාසය බිඳ වැටෙන හැම වෙලාවකම කළ හැකි හොඳම දේ, මෙලොව තමන්ගේ සිතුවිලි වැඩියෙන්ම තේරුම් ගෙන ඇති පුද්ගලයාට කතා කිරිම කියලයි.
සමහර විට ඇය හෝ ඔහු ඔබේ කවුරු වුණත්...
.
.
.

Please think twice before updating your life as a Facebook status. Because it will be useful to others to understand your distance of fantasy & reality.





10/14/13

-228- සුදු අප්පොගෙන් විකටර් සුරතිස්සට ලියුමක් (සෙංකොටිටං)

සෙංකොට්ටං අයිති කරු වන මහින්ද ප්‍රාසාද් මස්ඉඹුල මහතා මැවූ රිදී විට චරිත අතරින් භෞතිකව පලා ගොස් කොළඹ මුල් බැසගත් බබා හේනයා සඟවා ගත් අසූ වියැති වික්ටර් සුරතිස්සට සුදු අප්පොගෙන් ලියමනක්. 

.................

2006 සැප්තැම්බර් 30 වනදා නාගොල්ල වලව්වේ සිට,

කිඹොල්කැටියේ ඥාණවිමල හිමිගෙන් ලද තොරතුරකට ලියමි.

මේ ලිපිය ලියන මගේ නම, රවින්ද්‍ර සිරිවර්ධන යැයි පැවසුවහොත් ඔබට එය බොහෝ නුහුරු වන බැවින් නාගොල්ල වලවුවේ සුදු අප්පු ලෙස මම ඔබට පළමුව මා හඳුන්වා දෙන්නෙමි.

මම උපන්නේ නාගොල්ල වලව්වේ ය. මාගේ පියා පිල්ප් සිරිවර්ධනය. එය මගේ පියාගේ, හැබෑ නම නොවන බව දන්නා අය සියල්ලෝම පාහේ දැන් මිය පරලොව ගොස් ය. හදිසි හෘදයාබාධයකින් සැට හැවිරිදි වියේදී ඔහුද කලුරිය කළ ඇවෑමෙන්, සිරිවර්ධනවරු මිස, වහුම්පුරය පරම්පරාවේ, පෙබානිස් ගැන දන්නා අයෙක් සිටිති යැයි, මම නොඅදහමි.

මගේ පියා පෙබානිස් ය. දැන් ඔබට ඒ කවුදැයි ගැටලුවක් මතුවී ඇතැයි මම සිතමි. ඔබගේ මෑණියන්ගේ එකම නැඟණිය වන හීං රිදී හෙවත් මහ හාමිනේ පිලිප් සිරිවර්ධන වූ පෙබානිස් ගේ මව් ය. බාබානිස් හෙවත් අපේ සීයා තරුණ වියේදීම මිය පරලොව යාමෙන් පසු, මගේ අත්තම්මා වන හී රිදී තම එකම පුතු දුක සේ හදා වඩා ගත් බව මට අත්තම්මා කුඩා කල පවසා ඇත.

මගේ පියා වන පෙබානිස් වයස අවුරුදු පහළවක් තරම් කාලයේ කොළඹට පැන ගොස්, වෙළෙන්දෙක් වී ගමට පැමිණි බවත්, සින්න වීමට යමින් තිබූ නාගොල්ල වලව්ව, සිනක්කර මුදලට ගත් බවත්, වර්තමානයේ මෙහි සිටිනා බොහෝ අය නොදනිති. නාගොල්ල අප්පොලාට සිදුවන අවනම්බුවෙන් බේරීමට, ඔවුන්ගේ ඉල්ලීම පිටම, එම පවුලේ, බාල දියණිය විවාහ කරගත් මගේ පියා, පිලිප් සිරිවර්ධන වූයේ එතැන් පටන් ය. තරුණ කල නොවිදිනා දුක් විඳි හීං රිඳී අත්තම්මාද මිය පරලොව ගියේ රන් සිවි ගෙයකින් මහ හාමිනේ ලෙසය.

දැන් මට ඔබට මහප්පා කිව හැකියැයි මම සිතමි. වික්ටර් මහප්පේ මී මුත්තා ගෙනා කුඩා බෝ පැලය අද මහා වෘක්ෂයකි. නම් ගම් වෙනස් වුවද, ඒ ආවතේව කරනුයේ අපේම රුධිර ජාන මිස අන් පරම්පරාවක් නොවන බව දැන ගැනීමෙන්, ඔබ සතුටු වෙනු ඇතැයි සිතමි.

මිනිසුන් ගෙන් ගැහැට විඳගෙන , අහු කොන් වල දුක් විඳ විඳ, අනුරාධපුරයෙන් ගෙනා වීරප්පුලි හේනයාගේ බෝ පැලයට, අද තම දරුවන්ගේ විභාග සමත් කර දෙන ලෙස අඬා හැපෙනුයේ , එදා ඔබ මෙන්ම මගේ පියාටද පාසලේ දෘෂ්ටි මාත්‍රය පවා අහිමි කළ මිනිසුන්ගේ පසු පරම්පරාව මහප්පා මතක තියා ගනු ඇතැයි සිතමි.

එහෙත්, මගෙන් පරම්පරා දෙක තුනකට පසුව මෙන්ම, ඔබෙන්ද පරම්පරා කිහිපයකට පසුවද අපේ මුල් ගැන වෙනත් උන් නොව අඩුම තරමේ අපේ අය හෝ දැන ගනු ඇතැයි මට විශ්වාස කළ නොහැක.

එහෙත්, ඔවුන්ගේ ජාන වල පවතින අවිඥාණික හැඟීම් සමුදායක් ඒ අපුරු වූ සුවඳේ කතන්දරය ඔවුන්ගේ යටි හිතට ස්පර්ශ කරවනු ඇත.

මම
පුත්,
රවින්ද්‍ර සිරිවර්ධන
(නාගොල්ල වලව්වෙ සුදු අප්පො)



10/11/13

-227- හොඳම ලේලි

ඔබේ උකුලත මා නොවේ
මගෙ පුතු පමණි සුරතල් වුණේ
ඔබේ දෙතනේ එරන් කිරි
මගෙ හිමිට පමණයි හිමි වුණේ
එහෙත් ඔබ මගෙ දිවිය සරසන
මලක් මෙනි නැන්දණියනේ.................

විශාරද නන්දා මාලනියගේ හඬින් හැඩ වුණ මේ සිංදුව අහලා තියෙනවාද? මේ සිංදුව අහපු ගමන් හිතට එන්නෙ පොඩි කාලෙ ඉඳන් අපි අහපු නැන්දම්මා ලේලි ඝට්ඨනය.



අපි තවම යුවතියන් තමයි. ඒත් අපෙන් සියයට අනූ පහක් ම කවදා හරි බිරිඳක් වෙනවානෙ. ඉතින් නොමිලේම හැමෝටම නැන්දම්මලා කෙනෙක් ලැබෙනවා. හස්බන්ඩ්ගෙ අම්මා ජීවතුන් අතර නැති වුණත්, නෑනලා හෝ ඒ පාර්ශවයේ කවුරු හරි කාන්තාවක් සමඟ අපිට වසන්න වෙනවාමයි. ඒ හැමෝම නියෝජනය කරන්නෙ නැන්දම්මාව.

මේ අතර අපේ කෙනෙක් කියයි, අනේ මම නම් බැඳලාත් ඉන්නෙ අපේ ගෙදර. අපේ මහත්තයාව මගේ ගෙදර තියා ගන්නවා කියලා. එහෙම කිව්වත්, පස්සෙ එහෙම කළ හැකි වුණත්,  ප්‍රායෝගික ලෝකෙ චාරිත්‍රයට හරි ටික දවසක් මහත්තයාගෙ පැත්තෙ (මහ ගෙදර) ඉන්නම වෙනවා. අඩුම සතියක්වත්. ඒක ලංකාවෙ සාමාන්‍යයි.

නැන්දම්මා දිනා ගැනීම අමුතු කලාවක් කියලා හිතාගෙන ඉන්න අය වෙනුවෙන් ලියන්න හිතුණෙ ඒකයි. මඟුල් ගෙදර තරම්ම මේකත් මුලු ජීවිත කාලයටම වැදගත්.

බුදු හාමුදුරුවන්ගෙ කාලෙටත් කලින් ඉඳන්, නැන්දම්මා ලේලි ගැටලුව තියෙනවා. ඉතින් මේ වගේ වට පිටින් අතීතෙ පිළිබඳ සහ හිතෙන් මවා ගත්ත කතන්දර සීයක් දෙසීයක් විතර හිස පුරවගෙන තමයි අපේ යුවතියන් කුලගෙට යන්නෙ. ඒක ලොකු වරදක් වුණත්, ඒක වලක්වන්න ටිකක් අමාරුයි.
මේ ජීවත් වෙන සිස්ටම් එක එක්ක.

නුහුරු නුපුරුදු අලුත් තැනකට ගියාම සුපුරුදු ක්‍රමයෙන් මිදීමේ තෝන්තු ගතියක් ඕනෙම කෙනෙක්ට තියෙනවා. කාමර, ජනේල් රෙදි, ඇඳ රෙද්ද, මෙට්ටෙ විතරක් නෙවෙයි දොරින් දොර පවා වෙනස්. ජීවත් වෙන මුහුණුත් වෙනස්. අවට අසල් වැසියොත් වෙනස්. ඒ වගේම වටේ අය ප්‍රදර්ශන භාණ්ඩයක් වගේ හැම වෙලාවෙම බලනවා. එතන එකවරම අපේ ගෙදර කියලා නොදැනෙන්න පුළුවන්. ඒ ගෙදර පුරුදු වුණ සමහර පිළිවෙල වල් අපිට පුරුදු නැති වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්.

උදාහරණයක් හිතමු. අපි උදේට හැමදාම කිරි තේ බොන අය කියලා. හැබැයි ඒ ගෙදර හැමදාම උදේට බොන්නෙ කොළ කැඳ. ඉතින් මේ වගේ දේවල් ඇත්තටම කෙනෙක්ට ලොකු ගැටලුවක් තමයි. ඒත් ඒක නැන්දම්මාගෙ ගැටලුවක් නම් නෙමෙයි. ඒක ඒ ගෙදර අයගෙ විදිහ. මේ දේ තේරුම් ගන්න පුළුවන් නම් ප්‍රශ්න ගොඩක් අඩුයි. ප්‍රශ්නය අපි තේරුම් නොගැනීම.

නැන්දම්මා ලේලි සිත් රිදවීමට බලපාන මුලිකම හේතුව පරම්පරා ගැටුම. ඒ කියන්නෙ දෙන්නා කාලයෙන් යුග දෙකක් නියෝජනය කරනවා. එතකොට ගොඩක් දේවල් කරද්දි මත දෙකක් යුග දෙකක් නිසා ගැටෙන්න ගන්නවා. ඒ වෙලාවෙදි අවස්ථානුකූල වීම තමයි අපේ දක්ෂ කම.

ලේලි විදිහට අපි අලුත් තැනකට ගියත්, එතන පිට තැනක් නෙවෙයි. හස්බන්ඩ්ගෙ අම්මා කියන්නෙ අපෙත් අම්මා. අපෙ අම්මාගෙ පරම්පරාවමයි ඒ අම්මාත් නියෝජනය කරන්නෙ. ඉතිං අපෙ අම්මා අපිට බැන්නම අපි ආයෙ ආයෙ රණ්ඩුවට යනවාද? ගස්සනවාද? දමල ගහලා කොහෙ හරි යනවාද? නැහැනෙ.

ඇත්තම හිතුවොත් අපෙ අම්මලා තරම් නම් හස්බන්ඩ්ලාගෙ අම්මලා කවදාවත් අපිට බනින්නෙ නෑ. අපෙ අම්මලා එක්ක උයද්දි හොද්දෙ ලුණු ඩිංගක් වැඩි නම් අපි කොච්චර බැණුම් අහනවාද? ඒත් හස්බන්ඩ්ලාගෙ අම්මලා කියයි, මේකෙ ලුණු වැඩියි දරුවො කියලා. එච්චරයි. එයා පිට කෙනෙක් කියලා හිතුවාම තමයි අපිට තරහ යන්නෙ. එයා හොඳින් කියන දේ පවා ගොඩක් ඇදේට පෙනෙන්නෙ.

ගිය ගමන් ඒ ගෙදර සම්ප්‍රදාය සහ මූලිකත්වය අතට ගන්න යන එක අපේ තරුණ යුවතියන්ට වෙන ලොකු වරදක්. අපි අම්මා කෙනෙක් වුණ දවසට තමයි තේරෙන්නෙ අම්මා කෙනෙක්ගෙ ආත්මාර්ථකාමි කම. අම්මා කෙනෙක් ගෙ ආදරය හරිම ආත්මාර්ථකාමි. විශේෂයෙන් පුතාලා කෙරෙහි. ඒක කොයි තරම් ප්‍රශ්න කාරී වුණත්, ප්‍රශ්න කරන්න සංස්කෘතික අයිතියක් අපිට නෑ. ඒක අවශ්‍යයත් නෑ. අපි  ඒ නිවසට යන්න කලින් අපේ හස්බන්ඩ්ගෙ තේ එක උදේට ගිහිං දුන්නෙ එයාගෙ අම්මා නම්, ඒ දේ ඇයට දිගටම කරන්න ඉඩ දෙන්න. මොකද මවට දරුවා ගැන විශාල සංස්කෘතිකමය අයිතියක් තියෙනවා. ඒක බලෙන් බිඳින්න ගියොත් ඇයගේ වෛරය වගේම නොසන්සුන් බව තිව්ර වෙනවා. හස්බන්ඩ් වුණත් ගැටලුවට පත් වෙනවා.

සාධාරණව පිළි ගන්න ඕනෙ තමයි අපි ඒ වගේ සුළු දේවල් වලට හරිම ආසයි. ඒත් ඒ සුළු කැපකිරීම නුදුරු අනාගතයෙ ලොකු සංහිඳියාවකට මඟ පාදනවා.

අම්මා තේ එක ගෙනියනවාද? කියලා අම්මාගෙ අතට තේ කෝප්පෙ දුන්නොත්, ඇය සියයට අනුවක් දුරට.. දුවම පුතාට ගිහින් දෙන්න.. ඔයා එයාව බලා ගන්න කියලා අයිතිය ඔබටම දෙනවා. ඒ වගේම, දුන්න ගමන් පාරට්ටු නොකර වගකීම ගන්න. වැඩිය අදින්න පදින්න ගියොත් නැතිවෙන්නත් පුළුවන්. වැඩි පුර ලකුණු දාගන්න ගිහින් නා ගන්න අය ඉන්නවානෙ.

කාන්තාවක් හැම වෙලාවෙම ආසයි, අනෙක් කාන්තාව තමන්ට යටින් ඉන්නවාට. ඒත් ඒ යටින් සිටීම තුළ යට ඉන්න කෙනාට වැඩි පුර මානසික වරප්‍රසාද ලැබෙන බව මතක තබා ගන්න.

ඉවුම් පිහුම් වලදි ඇයට සහය වෙන්න. මූලිකත්වය ඇයට දෙන්න. නිවස අස් කරද්දි, සැමියාගෙ ඇඳුමක් ඔබේ ඇඳුමක් ගැන පවා ඇගෙන් අදහස් විමසන්න. එවිට ඇය සතුටු වෙනවා. සමහර වෙලාවට ඔබව හැඩ කරන්න ඇය උදව් වෙනවා. ඇයත් අම්මා කෙනෙක්නෙ.



කවදාවත්, ඇයට අඟුණයි කියලා කෑම ගෙනත් හංගගෙන නම් කන්නෙපා. අම්මා මේවා කනවාද කියලා අහන්න. ඇයව හදන්න යන්න එපා. පසු කාලිනව ඇයට හොඳ නෑ කියලා පේන්නම කෑවාට කමක් නෑ.

අපේ පෙම්වතාව සිටි අවධියේ අප සැමියාගේ නොදුටු ගුණාංග, ඔහුගෙ හැසිරීම්, රුචි අරුචි කම්, ලෙඩ රෝග ගැන පවා අපට හොඳින්ම දැන ගත හැක්කෙ නැන්දම්මාගෙන්. අනේ බැන්දට පස්සෙ සැමියා  වෙනස් වෙලා කියන බිරින්දෑවරුන්ගෙන් සියයට අනුවක්ම තම නැන්දම්මා සමඟ යහ සහ සම්බන්ධයක් නොමැති අය.

හැකි තරම් නම්‍යශීලි චරිතයක් වුණොත්, ඉන්න තැන සතුටින් ඉන්න චරිතයක් වුණොත්, අපට ඕනෙම තැනක සතුටින් හිටිය හැකි. මේ කිසිම දෙයකට අනුගත නොවන නැන්දම්මලා නැතුවම නෙවෙයි. ඉවසිල්ලෙ හිතන්න. ඇය හැම කෙනා සමඟම අඩදබර කරන, කිසිම සුමුදු බවක් නැති කතක් නම් අපට ඇය හා සාමදාන වීමට කළ හැකි දේ අල්පයි. ඒ සඳහා ස්ථානෝචිත ක්‍රමයක් ඒ මොහොතේ සිතන්නටම වෙනවා. ඉවසීමයි වැදගත් ම.

ඇගේ වැරදි පිට තැන් වල කියන්න එපා. ඇයට පිට කෙනෙක් විදිහට සලකන්න එපා. අනිත් අය ඉදිරියෙත්, තනිව සිටියදීත් ඇයට ගරු කරන්න. අපිව අත් හැරියත් මව අතහරින්න මනුස්සයෙකුට බැරි බව සැම විටම මතක තබා ගන්න. ලේලිය මේ තරම් නම්‍ය ශිලි ඉවසිලි වන්ත සුහද කෙනෙක් නම්, නැන්දම්මාට ලොකු තරඟයක් දෙන්නම වෙනවා ගෙදර තමන්ගෙ තැන රැක ගන්න. නෑනලාට වුණත් එහෙමයි. හැමෝම හොඳ වෙන්න උත්සාහ කරනකොට දියුණු වෙන්නෙත් සතුටු වෙන්නෙත් එකම ගෙදර අය. ඔබේම පවුල.

ජීවත් වීම අමුතු කලාවක් නෙවෙයි. සරල සුන්දර කලාවක්. ඔබ ඔබේ පෙම්වතාට ආදරය කරනවා නම්, ටිකක් මේ ගැන හිතන්න.. බිරිඳක් වුණ දාට මේ දේවල් වැදගත් වෙයි. නැන්දම්මා එක්ක එකතු වෙලා හස්බන්ඩ්ව පොඩි එකා කරගන්නත් බැරි වෙන එකක් නෑ.


සදා දී නිති පැතූ සෙනෙහස
දුවක මෙන් මා සරසලා
මගේ දිවියේ දෙවනි මව වී
දෙවනි වර මා බිහි කළා....


9/25/13

-226- නයිටිංගේල් කිරිල්ලියගෙ කතන්දරය


ඉර හැන්දෑවට මූහුදු පතුලින් අරගෙන බටහිර අහසට විසි කරන වර්ණාවලියෙ ලස්සනම පාට රෝස පාට කියලා පුංචි නයිටිංගේල් කිරිල්ලිය දැනගෙන හිටියා. ඒ නිසාම හරිත තුරු මුදුන් වලින් මිදිලා හැම හැන්දෑවකම අහස බලන්න ඇය වෙරළ සීමාවට එනවා. 

නයිටිංගේල් කිරිල්ලි, ජීවිතේ පුරාවටම බලාපොරොත්තුවෙන් හිටියෙ, පපුවට රෝස කටුවක් ඇනිලා සිදුවෙන අගේ වේදනාකාරී මරණය ගැන. ඒ නිසාම හැම වෙලාවකම රෝස මල් පදුරු මඟ හරින්නත් තරුණ ශිෂ්‍යයන් සහ ඔවුන්ගේ හිත ගිය පෙම්වතියන් සිටින අහලකටවත් නොයන්නත් ඇය කුඩා කල සිට තීරණය කරලා තිබුණා. 




ඒත් ආදරයක් නැතිව ඉන්න නයිටිංගේල් කිරිල්ලියටත් පුළුවන් සීමාවක් තියෙනවා. ඉර කැරකෙන කැරකෙන වාරයක් වාරයක් ගනණෙ අඩුවෙන්නෙ, ඇගේ ඉවසීම බව ඇය හොඳින්ම දැනගෙන හිටියා.

ඉතින් දවසක් තුරු මුදුනක් ළඟින් පියාඹගෙන යනකොට, කිරිල්ලිය දුටුවා, තම සුරූපිණිය හැර දමා ගිය දුකින් හඬා වැලපෙන විරූපී රාක්ෂයෙක්ව.  

මේ වෙලාවෙ පුංචි නයිටිංගේල්ට කාරණා දෙකක් නිසා පුදුම හිතුණා. රාක්ෂයන් ට අඬන්න පුළුවන් කියලා ඇය කවදාවත් දැනගෙන හිටියෙ නැහැ. මෙතෙක් වෙලා මේ භයානක රාක්ෂයා ළඟ සුරූපිණියක් හිටියෙ කොහොමද කියලත් ඇය හිතා ගන්න පුළුවන් කමක් තිබුණෙ නෑ..

නයිටිංගේල් හැමදාම අහලා තිබුණෙ, කතන්දර පොත් වල ඉන්න  ලස්සන තරුණියන් සහ කතන්දර පොත් වල ඉන්න  කඩවසම් කුමාරවරුන්ට පමණයි ආදරේ දැනෙන්නෙ කියලා. අනික කුමාරිකාවන් පැහැරගෙන යන රාක්ෂයො ගැන මිසක් ඔවුන්ට ආදරය කරන රාක්ෂයො ගැන ඈ දැනගෙන හිටියෙ නෑ.

ඒ නිසාම ඇයට විරූපී රාක්ෂයා ගැන හරියට පුදුම හිතුණා. නැති වුණ රූමතිය හොයන්න, රාක්ෂයාට උදව් කරන්න ඇත්නම් කියලා කිරිලිලියට හදිස්සියෙම හිතුණා. රූමතිය පිළිබඳව රාක්ෂයා විස්සෝප වෙන හැටි දැක්කාම නයිටිංගේල් කිරිල්ලියට ටිකෙන් ටික මේ රාක්ෂයා ගැන ප්‍රේමයක් උපන්නා. 

ඉර බහින තුරු ආයෙත් නගින තුරු රාක්ෂයාට පුංචි නයිටිංගේල් ප්‍රේම කළා.

රතු රෝස මලක් දුන්නොත් හැර ගිය රූමතිය නැවත හාද වේවි කියලා, නොහිතූ මොහොතක ඔහුගෙ මුවින් පිටවෙන තුරුම, නයිටිංගේල් කිරිල්ලිය ඔහුට ප්‍රේම කළා.


ඉර හිරිමාවට මූහුදු පතුලින් අරගෙන නැගෙනහිර අහසට විසි කරන වර්ණාවලියෙත් ලස්සනම පාට රෝස පාට කියලා පුංචි නයිටිංගේල් කිරිල්ලිය හොඳටම දන්න නිසා,සුරූපි වුණත් විරූපි වුණත්, කුමාරයා වුණත් දුෂ්ටයා වුණත්  හැම කතන්දරයක්ම එකම විදිහට අවසාන කරන එක පිරිමි ගතිය කියලාත් තේරුම් ගන්න  පුංචි නයිටිංගෙල් කිරිල්ලියට වැඩි වෙලාවක් ගියෙ නෑ.


9/23/13

-225- ජීවත් වීම පිණිස ජීවිතයට

ශරීරය සප්‍රාණිකව තබා ගැනීම, සම්පුර්ණ වශයෙන් රැඳී ඇත්තේ හුස්ම මතයැයි මම විශ්වාස කරමි. නමුත් මා කිසි දින ජීවත් වනු පිණිස හුස්ම ගත්තා දැයි මගේ මතකයන් තුළ නැත. මම දෑස පියාගෙන සබුද්ධිකව එක හුස්මක් ගනිමි. ඒ තුළ අන්ධකාරයේ මා දකින්නේ හුස්ම මත පවතින ශරීර ස්කන්ධය මුදා හැරීමේ නිදහස ද ? දෙනෙත් විවෘත කළ පසු, මා විඳිය යුතු වෙහෙසට පදනම් වූ ඛේදය ද? යන්න මට ගැටලුවකි.

මම මෙන්ම ඔබද බසයකට ගොඩ වූ විගස සොයනුයේ, කිසිවෙක් හිඳ නොගත් ආසනයක් යැයි මම සිතිමි. තව මොහොතකින් අයෙක් එම අසුනේ හිඳ ගන්නා බැව් දැන දැනම, මොහොතක නිදහස පතා මම හිස් අසුනක හිඳ ගනිමි. ක්ෂණිකව නිදහස සොයා ගැනීමේ ආහ්ලාදය මාගේ සිත තුළ ඒ මොහොතේ පිරි යන බව මම දනිමි. ඔබටත් එසේම විය හැකිය.



මම කොළඹින් පිට ලෝකය දැක ඇත්නම් ඒ ඉතා අල්ප වශයෙනි. ඒ නිසාම මා කුඩා කල සිට කොළඹ තුළ ලෝකය ගොඩ නගා ගැනීමට උත්සාහ කළෙමි.

ඒකාකාරීව දිවෙන, අමිහිරි නීරස ජීවිත, තම ජීවිතයන්ගේ සෞන්දර්ය සොයා කරනු ලබන, පැය කිහිපයක විනෝද චාරිකා දෙස, උපේක්ෂා ඇසින් බැලීමට හුරු කළේ ජනේලයෙන් එපිට ලෝකයම බව මම ඔබට කියමි.

නිදහස ඇත්තේ, ඈත ගවු සිය දුර අයාලේ ඇවිද යාම තුළ හෝ විනෝද සාද සහ චාරිකා තුළ නොවන බව මට පැවසීමට ඇති අයිතිය ගැන සමහරවිට ඔබ මගෙන් ප්‍රශ්න කරනු ඇත.

නිදහස් කළ යුත්තේ හදවතයි. හදවත නිදහස් කර දමන තැන ආත්මය සංතෘප්ත වන බව පමණක් පෙනෙන්නට තිබෙයි. මිනිස්සු තමාට ආවේණික ආකාරයන්ගෙන් ජීවිතය වින්දනය කරයි. එය දැකිය නොහැකි තැන උපන් ඉරිසියාව මඩනා හිත් ස්වකීය ආත්මයේ නිදහස පමණක් නොව බොහෝ දෙනෙකුගේ ස්වයං නිදහසට සීමා පනවා ඇතැයි මට හැඟෙයි.

නිදහස් වීමේ අවශ්‍යතාවය සියල්ලන්ටම තිබුණත්, අවශ්‍යතාවයෙන් මුක්ත වී නිදහස ගැන සිතන තුරු එය ලැබෙනු ඇතැයි, මම විශ්වාස නොකරමි.

කෝන්ක්‍රීට් වනාන්තරයක් තුළ වුවද, නිදහස සොයා ගත හැකිය. කල යුත්තේ හදවතට අත්තටු දීම පමණි.



දෙනෙත් පියාගෙන මොහොතක් කල්පනා කරන්න. නිදහස සොයා හදවතට හිම දිය නොවුණු, තුරු මුදුන් සහිත පාරවල් වල අපිට යන්නට නොහැකිද? ගලා බසින ගංගා වල සිහිල විඳින්නට නොහැකිද? පෙම්වත් මහ පොළව මත දෙපා තබා ඇවිදින හැඟීම රැඟෙන එන්නට නොහැකිද?

පරිකල්පනික ලෝකය තුළ, සොබාදහමේ සත්‍ය රූප මත හදවත විසින් නිර්මාණය කර ගත් කල්පිතයක් දිනකට වරක් හෝ දෙනෙත් පියාගත් අන්ධකාරය තුළ හදවතින්ම මසැසට ප්‍රක්ෂේපණය කළ හැකි නම්, ජීවිතය මෙතරම් වෙහෙසකාරී නොවනු ඇතැයි මම සිතමි.

විවේක ගැනීමටද මහා වෙහෙසක් දරන අද ලෝකය තුළ මම මා මේ මොහොතේ පය ගසා සිටින මහ පොළවේ කුඩා අඟල් කිහිපයට මහත් සේ පෙම් කරමි. මන්දයත් ඒ හැඟීම පමණක් මා කිසිදිනක මට යා නොහැකි වේගයකින් සුන්දර කඳු මුදුන්, දිය ඇළි, වන රේඛා වෙත මනෝමූලිකව රැගෙන යන බැවිනි.

ඒ හැඟීම නන්නාඳුනන ඇවිද යන්නන් දහස් ගණනක් කෙරෙහි මාගේ ප්‍රේමයද රැගෙන යන බැව් මම අදහමි. ප්‍රේමය යනු හුදු මුග්ධ වචනාර්ථය පමණක් නොවන බව තේරුම් ගැනීමට සොබාදහම, හුස්ම සහ ප්‍රාණියා අතර ඇති මේ ශ්‍රිතයම පමණක් ප්‍රමාණවත්ය.



Look deep into nature, and then you will understand everything better.

Albert Einstein






9/6/13

-224- කලු ලෝගු


එකිනෙකා පරයා රජ වන්නට තතනන කුහකත්වය මුසු මාවත් දිග මම ඇවිද යමි. පන්සල සහ පල්ලිය අතර පටු බිම් තීරයේ කහ ඉර මාරු වෙමි. වාතය තුළ පවා ඇත්තෙ, නොහඳුනන කඳුලකි.
තමා පිළිබඳව උපන් නොදන්නා වෛරයකි.

අවසන මම හිස් අහස දෙස බලමි. අහස වසාගත් තුඟු වෘක්ෂයෝ පියස්ස කරා ඉහළ නැඟී මිහිකත දෙස බලා සිටිති. එකී පත්‍ර වල පවා පහතින් ගමන් කරන්නවුන් පිළිබඳව උපන් අනුකම්පාව තැවරී වී ඇතැයි විටෙක මට සිතෙයි.

ප්‍රේමය සහ වෛරය අතර වෙනස වටහා ගත නොහී අතරමං වූ ජීවීත තමන්ගේ විනිශ්චය තවෙකෙකු ලබා දෙනතෙක් ඇසිපිය නොහෙළා බලා සිටිති.

සියල්ලෝම මිනිස්සු වූ කල්හී, කෙනෙක් කෙලෙස අනෙකාගේ ජීවිතය විනිශ්චය කරන්නට සුදුසු වන්නේදැයි මම තවම නොදනිමි. එකිනෙකා කෙරෙහි හටගත් සමාජ සහතිකයන් මත සිටගෙන ඔවුනොවුන් කෙරෙහි තීන්දු දෙන සමාජයෙන් මිදී මම මඳකට ඔහු දෙස බලමි.

හිනාවක් හෝ සතුටක් නොදකින එම මුහුණ මත, මම කඳුල හෝ ශෝකයද කිසි දිනක නොදකිමි. නමුත් ඒ තුළ මැදහත් බවක් ඇතැයි ඔබට කියන්නට තරම් මගේ සිත ඉඩනොදෙයි.

කෙනෙකුගේ බැල්ම, ශක්තිය සහ සුසුමද ක්ෂණිකව උරා ගත හැකි වන ලෙස තීක්ෂණ දෙනෙතකින් ඔහු ඔවුන් දෙස බලා සිටී. ඒ දෙනෙත් මත බොහෝ දෙනෙත් අවතැන්ව ගොස් පරඬැල්ව වියැකෙන අයුරු ඔහු විසින්ම නෙතින් උරා බොන කළ දැනෙන රසය කුමක්දැයි මම තවම නොදනිමි.

එනිසාම මම එතැනින් නිකම යමි. දිගු කාමර පේළි අතරින්, වට රවුම් තරප්පු පෙළ බසිමින්, බේකරි සුවඳ රජයන ආපන ශාලාව වෙත දැන් මම පිය නගමි. විත්තියටත්, පැමිණිල්ලටත් එකසේ පොදු බඩගින්න කහපාට  මේස මත, උඩ බැලි අතට නිදා සිටිනා පිඟන් මතුයේ හුරතල් වෙමින්, ඇති කෙටි ආහාර සමඟ කවලංව අතුරුදහන් වනු මම දකිමි.

අනුන්ගේ සුසුම් මැද, තම මඩිය තබා තලු මරන මිනිසුන්ගේ ආත්මයට කිඳා බසින්නට මම මඳක් වෙර දරමි. ඉදින් මම අයෙක් ළඟ නවතිමි. ඒ වෙහෙසට පත් මුහුණු පිරික්සමි. ඒවා තුළින් සටහන් තැබීමට දෙයක් ශේෂ වී ඇත්දැයි තවමත් මම නොදනිමි. එහෙත් සටහනට යමක් සොයා ගත යුතු බැවින් මම ඔවුන්ගේ වචන පිටපත් කරමි.

තවත් දවසක් අවසන හිරු මුදුනින් මම එළියට බසිමි. ඉදරියට ඇවිදිමි. ඇවිදීම කෙළවර වූ තැන පැන්නුම් පාලම දකිමි. පා වෙහෙස නොබලා එය නගිමි.

සුපුරුදු සුනඛ ධේනුව දහවල් බත් කිස නිමා කර සුව නින්දකට ගොස් ඇත. මම සෙමෙන් එතැන පසු කර යමි. රාමු කළ පින්තූර එල්ලා ඇති පහළ වීදියේ කඩ අතර, සර්ව පිත්තල ආත්මයන්ගේ වෙනසත්, කලු ලෝගු වල වෙනසත් තේරුම් ගත නොහැකිව මම වම් පස බලමි.

තවම ජීවිත දුම්රිය ප්‍රමාදය.



8/24/13

-223- පහේ ජීවිත


පුංචි නංගියෙ පුංචි මල්ලියෙ,

මේ ලියුම ලියන්නෙ ඔයාට හෙට ශිෂ්‍යත්වෙ නිසයි. ඔයාලා දාන්නවාද? මමත් මීට අවුරුදු 14 කට කලින් ශිෂ්‍යත්ව විභාගෙ ලිව්වා. අපි ලියපු කාලෙත්, ශිෂ්‍යත්ව විභාගෙට ලොකු තරඟයක් තිබුණා. අපිට ශිෂ්‍යත්ව පන්ති පටන් ගත්තෙ, 3 වසරෙ ඉඳන්. ඇත්තටම  මම නම් ශිෂ්‍යත්වෙ ලිව්වෙ ආසාවෙන් නෙවෙයි. මට එදා ඒක කරදරයක් කියලා දැනුණෙ.
ගමේ ඉස්කෝලෙන් අයින් වෙලා ටිකක් හරි හොඳ ඉස්කෝලෙකට පැන ගන්න..  තමයි අම්මලා මාව ශිෂ්‍යත්වෙට අරන් දිව්වෙ. ඒ අම්මලාගෙ හැටිනෙ.

ඔයා දන්නවාද? මම ඒ අවුරුද්දෙ අපේ ඉස්කෝලෙ වැඩිම ලකුණු ගත්තා. මම ඒ සතුට සම්පූර්ණයෙන්ම මගෙ අම්මාට දෙනවා. මොකද ඒක අම්මාගෙ විභාගයක් නිසා.

මම මේ ලියුම ලියන්නෙ මං ගැන පම්පෝරි ගහන්න නෙවෙයි. පුංචි ඔයාලාට විභාගෙට යන්න කලින් පොඩ් අවවාද ටිකක් දෙන්න.

පුංචි ඔයාට හම්බෙන ප්‍රශ්න පත්‍රයෙ විභාග අංකෙ හරියට ලියන්න . ඒක තමා වැදගත්ම දේ. නැත්තම් ඔයාගෙ ප්‍රතිඵල වෙන කෙනෙක්ට ලැබෙයි.


මුලින්ම ලේසි ප්‍රශ්න වලට උත්තර ලියලා. අමාරු ප්‍රශ්න වලට  පස්සෙ උත්තර ලියන්න. රචනාවක් ලියද්දි. මාතෘකාවට ගැළපෙන්න වාක්‍ය ලියන්න. අනේ මට ඒක බැහැයි කියලා හිතන්නවත්, එකපාරට  බය වෙන්නවත් එපා. ප්‍රශ්න පත්‍රය කියන්නෙ තවත් එක කඩදාසි කොළයක්. අනික ආදර්ශ ප්‍රශ්න පත්තර, පරණ ප්‍රශ්න පත්තර ඔයා කරලා තියෙනවානෙ. දන්නවාද? හෙටින් පස්සෙ ඔයා ලියන මේ ප්‍රශ්න පත්තරයත් තවත් එක පරණ ප්‍රශ්න පත්තරයක් විතරයි.

ඉතින් ඔයා ලංකාවෙම පළවෙනියා වෙන්න හිතාගෙන විභාගෙට ලියන්න ඕනෙ නෑ හොඳඳ. හොඳටම ලියන්න. ඔයාට පළවෙනියා වෙන්න වාසනාව තියෙනවා නම්, ඒක වලක්වන්න කාටවත්ම බෑ.

අමතක නොකර ප්‍රශ්න පත්‍රයට ලියන ඉලක්කම් පැහැදිළිව ලියන්න. ඉංග්‍රීසි දෙමළ වචන වල  D B අකුරු වල පැති මාරු කරගන්නෙපා. සිංහල අකුරුත් පැහැදිළිව ලියන්න.
කොච්චර අමාරු වුණත්, කාගෙන්වත් කොපි කරන්න යන්න නම් හිතන්නවත් එපා. විභාගෙට ලියන්න ඉඳගත්තාට පස්සෙ යහලුවො කතා කරන දේවල් අහන්න යන්නත් එපා.

විභාගෙට කලින් දවසෙ හොඳට නිදා ගන්න. පස්සෙ හොඳට පහුවදා ඇහැරිලා.. ඔයාගෙ ආගම සිහි කරලා. හොඳට ගුණ දෙයක් කාලා. ( කිරිබත් වලට නිදිමත එයි කියලා අම්මාට කියන්න. ) පරිස්සමට අම්මා හෝ තාත්තා එක්ක ගිහින් විභාගෙ ලියලා එන්න. විභාගෙට කලින් ආගම සිහි කරලා. අම්මාට තාත්තාට වැඳලා යන්න.

විභාගෙන් පස්සෙ හමුවෙන සුන්දර සෙල්ලම් කාලය ගැන, විභාගෙ වෙලාවෙ හිතන්න එපා හොඳඳ!

ඔයා හොඳට පාඩම් කළා නම් ඔයාට හෙට විභාගෙ හොඳටම ලියන්න පුලුවන්.  ශාන්ති කර්ම, කොඩිවැල්, සෙත් කවි, පූජා වට්ටි, කපු මහත්තුරු තබා දෙවියන්ට බුදුන්ටවත් බෑ ඔයාව බලෙන් විභාගෙන් පාස් කරන්න.

ඔයා පාඩම් කළ විදිහට සහ ඔයා විභාගෙට ලියන විදිහට දෙන්න පුලුවන් උපරිම ප්‍රතිඵලය ලැබෙයි. ඉතින් අපි ඒක මැදහත් සිතින් බාර ගමු. මොකද එක විභාගයක් කියන්නෙ ජීවිතය නෙවෙයි. ශිෂ්‍යත්වෙ ෆේල් ගොඩක් අය විශ්ව විද්‍යාලෙ ඉන්නවා. විශ්ව විද්‍යාලෙ නොගිය ශිෂ්‍යත්වෙ පාස් ගොඩක් අයත් ඉන්නවා. විශ්ව විද්‍යාලෙ යන්න බැරි වෙච්ච හොඳ රස්සාවල් කරන අයත් ඉන්නවා.

කොහොම වුණත් ඔයාට බුදුසරණයි!!

මීට ආදරණීය
නෙරංජි අක්කා.

8/20/13

-222- ඇහෙන මානෙකට

කාලෙකින් ලියනවා වගේ හැඟීමක් දැනුණත්, එහෙම නෑ කියලා හැඟුනෙ, සටහන් දැක්කම.
කොහොම වුණත්, කියන්න දේවල් ගොඩක් තියෙනවා. මම මගෙ සතුට වෙනුවෙන් මිසක රට හදන්න බ්ලොග් ලියන කෙල්ලෙක් නොවන නිසා මට පුලුවනි මට ඕනෙ වෙලාවට සටහනක් තියන්න.

කොහොම වුණත්, පෙරේදා..(අගෝස්තු 18) පරණ පාසල් යාලුවො හුඟක් මුණ ගැහුණා. කාලය දිග නිසා හැම අතින්ම වෙනස් වෙලා හැමෝම වාගේ.. මමත් ඒ වෙනසට අහු වෙලා. ඒත් කාටවත් කාගෙවත් වෙනස එක දවසින් (පැය කිහිපයකින්) තේරුම් ගන්න බැරි නිසා ඒ ගැන තව තවත් කතා කරලා වැඩක් නෑ. ඉතින් ඒ හැමදේම අමතක කරලා.. අපි නැටුවා. කෑවා . විනෝද වුණා. විසිර ගියා.

ඒත් කවදාවත් නොහිතපු විදිහට සංවිධාන කටයුතු වලදි, අපි කිහිප දෙනෙක්, එක බඩවැල කඩා ගෙන ආවා  වගේ හදවතට පුදුම විදිහට කිට්ටු වුණා. ඒ හැඟීම ගැන දැනෙන සතුට,හරිම ලස්සනයි. කෙටියෙන්ම කතා කළොත්. ඒ පැය කිහිපයක සාදය නිර්මාණය කරන්න අපි වෙහෙසුණ පහුගිය මාසෙ විඳපු දුක සහ සතුට තමයි... මුලු ජීවිතයටම ඒ සාදයෙන් එකතු වුණ වටිනම දේ.. හැබැයි ඒ වින්දනය අර පැය කිහිපයට ආරාධිතයො වගේ සහභාගි වුණ එක්කෙනෙකුටවත් ලැබුණෙ නෑ. මම ඒ ගැන බය නැතුව කියන්නෙ, ඒ ඉරිසියාවට ලක් වෙන්න මම වාගේම අපේ සෙට් එකම ආසයි කියලා හිතන නිසා.

ආයෙත් කියන්නෙ, මගෙ ජීවිතයෙ කැප කළ නොහැකි එකම දෙයක් තියෙනවා නම්, ඒ තමයි මගෙ සතුට. මම වැඩිපුරම සතුටු වෙන්නෙ... පුළුවන් වෙලාවට බ්ලොග් ලිවීමෙන් , බස් රේඩියෝවෙ වැඩසටහනක් කිරීමෙන්.. මොනා හරි දෙයක් ගවේෂණය කිරීමෙන්... පොත් පත් , පත්තර කියවීමෙන්... අන්තර්ජාලයෙ වුණත් මොනවා හරි කියවලා....කතා බහ කරලා.. ඇත්තටම මම සතුටු වෙනවා.

පහු ගිය කාලෙ හුඟ දෙනෙක් අහපු ප්‍රශ්නෙකට දැන් මම උත්තරයක් දෙන්නම්.

ඔයා ඔය වාගේ status දමන්නෙ ඇයි?

සමහරු ඒවාට ආසයි. සමහරු බනිනවා. සමහරුන්ට අනුව මම හරිම මෝඩයි.

ඒත් හැමෝටම මට කියන්න තියෙන්නෙ එක දෙයයි. ඒ තමයි. මම ලියන කිසි දෙයක් බොරු නෙවෙයි. හැබැයි මම ලියන කිසිම දෙයක් ඇත්තත් නෙවෙයි. මම නිර්මාණය කරන දේවල් වලින්, සත්‍ය ලෝකයේ ජීවත් වන ඔබේ මනස ... මම තත්‍ය ලෝකයේ පරීක්ෂණයකට නිරන්තරයෙන් භාජනය කරනවා. එච්චරයි. ඒකත් මගෙ ආතල් එකේ කොටසක්. මම හරියටම කවුද කියලා කවුරුවත්ම හරියටම සම්පූර්ණයෙන් දන්නෙ නැ.. ඒකයි මගෙ ජීවිතේ තියෙන ලස්සනම කොටස.
හැමෝම දන්නෙ එක පැත්තයි.

මම වගේ හැම දේම සතුටට හරවගන්න උත්සාහ කරන එක තමයි, ජීවත් වෙන්න ලේසිම විදිහ. තමන්ගෙ රස්සාව පාවා තමන්ගෙ ආතල් එක කරගන්න උත්සාහ කරන්න. එහෙම මිනිස්සු මේ ලෝකෙ තව ඉන්නවා. හැබැයි ටිකක් අඩුයි. මම එහෙම උත්සාහ කරන කෙල්ලෙක් නිසාම ඒ වාගෙ තව කෙල්ලෙක් ගැන මම ටිකක් ආඩම්බරෙන් කතා කරන්න ආසයි.

ඇය තමයි.. අපේ බස් රේඩියෝ එකේ සුන්දර සාමාජිකවක් වන අයේෂා.  මුලින්ම මම ඇය හඳුනා ගත්තෙ, ඇය රේඩියෝවට ආපු අලුතම ඇගේ රාත්‍රී වැඩසටහනකට ඇඩ් එක නිර්මාණය කරන්න සූදානම් වූ අවස්ථාවෙ...ඉන් ටික කාලෙකට පස්සෙ මම රේඩියෝවට, ස්ථිරව සම්බන්ධ වුණාම, ඇය මට ගුරු හරුකම් දෙන්න තරමට ප්‍රවීණ සාමාජිකාවක් වෙලා හිටියා. ඔය හැම දේම අතෑරියත්,
අයේෂා කියන්නෙ දැන් මගෙ හොඳම යෙහෙළියො කිහිපදෙනාගෙන් කෙනෙක්.

අයේෂා මේ ලෝකෙ වැඩිපුරම ආසා කරන දෙයක් තමයි විලාසිතා. විලාසිතා කිරීම තමයි ඇගෙ ආතල් එක. දැන් ඇය සූදානම් ඒක ඇගෙ රැකියාව කරගන්න. මට ඒ ගැන තියෙන්නෙ, පුදුම සතුටක්. ආතල් එක රස්සාව කරගත්ත කිසිම කෙනෙක්, කවදාවත් රස්සාව අතාරින්නෙ නෑ..ආතල් එක අතහැරෙන තුරු..

පොඩි ආබරණ බිස්නස් එකක් කියලා.. දැනට කියමු. තව දියුණු වෙයි. ඒකයි මගෙ පැතුම. සයිබර් අවකාශයේ, ම තමයි මේ පුංචි කඩය තියෙන්නෙ.. අපිට ඔබින සරල විදිහට ගනු දෙනු නිර්මාණය වෙලා තියෙන නිසා, මේ පුංචි කඩේ ආකර්ෂණීයයි. ඔයත් ගොඩ වෙලා බලන්න.

මෙන්න අලුත් පුංචි කඩේ




8/2/13

-221- වතුර මල



ඉස්සර අට පට්ටම කිව්වාම, අපි පුංචි කාලෙ තිබුණ ලස්සනම වැඩසටහන. නෝතේරුම් කාලෙ බලපු නමයයි පහ සහ කදමල්ල අමතකම කරවන්න අට පට්ටමට එදා පුලුවන් වුණා. එදා අට පට්ටමේ හැමදාම අලුත් අලුත් දේවල් පෙන්නුවා. ඒ නිසාම අපි නොවරදවා අට පට්ටම බැලුවා.

එක දවසක් අට පට්ටමේ හරි අපූරු වතුර මලක් පෙන්නුවා. ඒ වතුර මලේ හැම තැනින් ම එළිය විහිදෙනවා. හරියට මල් වෙඩි වගේ. ඒක ගැන අපි ඉස්කෝලෙත් සතියක් පුරාම කතා කළා. ඒ තරම්ම ඔපේට නැතත්, ඒ වතුර මලට ටිකක් හුරු වතුර මලක්, දැන් දියවන්නා උයන එකේ හදලා.
ඉතින් දවසකට වතාවක් රෑ අඳුරෙ.. උජාරුවට දිලෙන වතුර මල දැක්කාම කවි සිතිවිලිත් පහල වෙනවා.

රට පුරාම ලස්සන වතුර මල් තියෙනවා. ඒ අතර මම ළඟදි දැකපු ලස්සනම වතුර මල තියෙන්නෙ, නුගේ ගොඩ මල් කාට් එකේ. දිය ඇල්ලක් ගලනවා වාගේ, හරි අපූරුවට කෘතිමව පැතලි තහඩුවක, තට්ටු තුනක් පහළට වතුර ගලන් එනවා. හයිලෙවල් ඉඳන්, බත්තරමුල්ලට එන පැත්තෙ, ඔසුසල ළඟ බස් නැවතුමේ හිට ගත්තොත්, ඔයාට ඉස්සරහින් ඒ ලස්සන නිර්මාණය පෙනේවි.

කොහොම වුණත් අපේ රට වතුර මල් කර්මාන්තෙට රාවණා යුගයෙ ඉඳන්ම දක්ෂයි. සීගිරියෙ පළවෙනියා කුවේරද කාශ්‍යපද කියලා තාම හොයා ගත්තෙ නැතත්, සීගිරියෙ වතුර මල් ගැන දැකපු අහපු නැති අය ලංකාවෙ ඉන්නවා නම්, ඒ අත දරුවෙක්.

අද වෙනකොට උත්සව සැරසිලි වලත් වතුර සැරසිල්ලට ප්‍රධාන තැනක් ලැබෙනවා. වතුරට එක එක පාට දාලා.. ඒවාට මල් දාලා.. හරි අපූරු නිර්මාණ කරනවා.

ඒත් මේ හැම දේම කරන අතරෙ, අපිට අමතක වෙලා යනවා, අපේ මූලිකම අවශ්‍යතාවය වාතයට පස්සෙ වතුර කියලා. ලෝකයෙ මුලින්ම ජීවය බිහි වුණේ වතුරෙ. වතුර නැතුව කිසිම කෙනෙකුට ජීවත් වෙන්න බෑ. ඒත් අද සශ්‍රීක මගෙ රට වතුර ඉල්ලද්දි හුස්ම හිර කරන රටක් වෙලා.

කොළඹ වතුර මල් වල සීරාව ඒ අවට කාණු වැළඳ ගනිද්දි.. ඒ ආසන්නෙම බොන්නවත් වතුර නැති පිරිසක් ඉන්නවා කියන එක, වතුර ඉල්ලලා කෑ ගහනකොට වෙඩි තියනවාට වඩා හිතට අමාරුයි.
අද වතුර නැත්තෙ රතුපස්වලට විතරයි. හෙට කාට නැතිවෙයිද කියලා කවුද හරියටම දන්නෙ?
වතුර වීදුරුවත්, රුපියල් දාහකට විකිණෙන කාලෙ තව පරම්පරා දෙකක් වත් ඈත නෑ කියලා. මගෙ හිත කියනවා.

හිත රිදුණා නම් සමාවෙන්න.


7/29/13

-220- පැහැසර හිරුවර




අපි ගුරු ගීතය පොතට ආදරය කරන්නෙ, එහි ගුරුවරයාගේ අපූර්වත්වයට. චිංගීස් ගෙන් පසුව, ලෝකය නිරන්තරයෙන් ගුරුවරයා කොහොම කෙනෙක් විය යුතුද? ගුරුවරයා ගේ ආකෘතිය කුමක් විය යුතුද යන්න කතා කළා. පාසල් සම්බන්ධව ගුරුවරු සම්බන්ධව යුරෝපීය රටවල් වල විසි වන සියවසේ සාහිත්‍යක් පවා බිහි වුණා. ඒත් අති බහුතරයක් ගුරුවරු, ගුරුවර රූපය නවකතාවටම සීමා කළා.

ලංකාව තුළත් බොහෝ ගුරුවරු නියම ගුරුවරයා කියන සංකල්පය හඳුනා ගත්තෙ, පැන්ෂන් යන දවසෙ කරන කතාවෙදි කියලායි මට නම් හිතෙන්නෙ. සමහරු එහෙමවත් හඳුන ගන්නෙ නෑ. හැබැයි අද මම කතා කරන්නෙත් ගුරුවරයෙක් ගැන. මේ වාර්තාමය වැඩසටහන හැදුවෙ මම. ජයවර්ධනපුර සරසවියේ ජනසන්නිවේදන විෂයෙහි, රූපවාහිනී විෂය වෙනුවෙන්.

මට මේකට එදා  උදව් කළා. උෂාන්, උමන්ද අයියා, තිෂාරා අක්කා, සහ තාරක අයියා. ඒ හැමෝටම බොහොම ස්තූතියි. මේ වීඩියෝව නිර්මාණය කළේ 2012 වසරෙ මුල් භාගයෙ. ඔබට පෙන්වන්නට කල් ගියෙ, ලකුණු ලැබෙන්න පමා වුණ නිසා. ඉතිං විශිෂ්ට ලෙස මෙයට ලකුණු ලැබුණා වාගේම, මේ සඳහා තිබුණ කථන පරීක්ෂණයටත්, මට විශිෂ්ට සාමාර්ථයක් ලැබුණු බව කියන්නෙ හරිම සතුටින්.

මේ වාර්තා වැඩසටහන ගැන තවත් විශේෂ දෙයක් තියෙනවා කියන්න. ඒ තමයි,  අද වන විට එදා මෙම වැඩසටහනේ  සිටින ගුරුවරයා, සසර කලකීරී පැවිදි දිවියටත් ගිහින්. වසරක් ඇතුළත හුඟක් දේවල් වෙනස් වෙලා. වුණත්, ඔහු කළ සේවය සදාකාලිකයි. ඔහුගෙන් පසුවත් මෙවන් තරුණ ගුරුවරු බිහි වේවා යන්න අපේ පැතුමයි. ගුරුවරයා යනු සදාකාලික නාමයක්. අදටත් මේ දරුවන්, ඔහුව හොයනවාලු. ඔවුන්ට ගුරුවරයෙක් අවශ්‍යයි. ඔහුට වඩා හොඳ ගුරුවරයෙක්.

පළමුවන කොටස


දෙවන කොටස


තෙවන කොටස




බලලා ඉවර වෙලාම කියන්න සාර්ථකද කියලා.

7/10/13

-219- කජු ගහේ ජීවිත




මම මෙය ලියන්නේ කජු ගහක් ගැනම කීමටදැයි. මම නොදනිමි. නමුත්, අද දවස මතක හිටින්නට කුමක් හෝ ලියා තබන්නට සිත බල කරයි. අල්ලපු වත්තේ කජු ගහ ඊයේ එක වරම කතා දැම්මේය. එය නිවස කරගත් කුරුලු ගහණයට යන එන මං නැතිව අපේ අඹ ගසේ , සහ රණවරා ගසේ සරණාගත කඳවුරු ඉදි කරගෙන සිටිති. පූස් දුෂටයන්ද නො අඩුව, ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා දේශපාලකයන් සේ, ගස් යට බලා සිටිති. කුරුලු පැටවෙක් හෝ බිම වැටුණොත්, එය හොඳ ගොදුරක් බව දන්නා පූසෝ තනිව නොව මිතුරන්ද කැටුව එති.

කොහේදෝ සිට පැමිණි ඇන් ජී ඕ වඳුරු රැලක්, අඹගසට පැමිණ අතු හොළවමින්... අනෙකුත් ගස් වලටද පනිමින්, පළාතම දෙවනත් කරති. ඒ කලබලයට පූස් දේශපාලුවෝ ප්‍රදේශයෙන් ඉවත් වුවද, ගසට හානි වූ හෙයින් කුරුලු සරණාගතයන් සිටින්නේ ඉතා කටුක අවදානමකය.

මම ඔවුන් දෙස බලා සිටිමි. සමහර දේවල් මත අපි ශාරිරිකව හෝ මානසිකව යැපෙන්නෝ වෙමු.
ශාරීරික යැපීමට වඩා මානසික යැපීම ප්‍රබලය. ඉන් එහාට කිසිවක් කීමට මට නොහැකිය. මේ ලිපිය ලියුවේ අද දිනය සිහිපත් කිරීමට සටහනක් තබනු පිණිස මිස, කජු ගස ගැන ශෝකය පල කිරීමට නොවෙයි.

මෙතනින් එහාට නොතේරෙනවා නම් නොකියවා ඉන්න.






ඔබ කිසි දිනක සිනාසුණේ නැත. නමුත් මම සිනාසෙන හැටි බලා සිටි බව මම දනිමි. නුඹ කිසි දින දොඩමලු වූයේ නැත. නමුත් මා දොඩමලු වෙමින් සතුටු වෙන අයුරු ඔබ බලාසිටි බව මම දනිමි.
මම මිනිසුන්ට ආදරය කළෙමි. බොහෝ මිනිසුන්ව විශ්වාස කළෙමි. එය භයානක බව මට කීමට එඩිතර වූයේ නුඹ පමණි. අවසන මම නුඹ සතුරෙකු සේ දුටුවෙමි.

මම කවි ලිවීවෙමි. නමුත් නුඹ කිසි දිනෙකත් ඒ කවි නොවිඳි වග මම දනිමි. නමුත් බොහෝ අය මෙන්, ඒ පිළිබඳ බොරු කියා මා පසසන්නට නුඹ පැමිණියේ නැත. ඔබට කවි ලියන්නට පුලුවන් බවට පුරසාරම්ද ඔබ කිස දිනක දෙඩුවේ නැත. ඔබ උත්සාහ කළේ ද නැත. මම කැමති දේට අකමැති වූ නුඹ සතුරෙකු සේ දුටුවෙමි.

නුඹ ගැන තව බොහෝ දේ ලිවිය හැකිය. නමුත් මම කිසිවක් නොලියමි. මන්දයත් නුඹ මෙය කියවන්නේ නැති වග මම හොඳින්ම දන්නා නිසාය. තවද අදාළ නැති සමහරෙක්, මෙය තමන් වෙත කියන වග සිත ගන්නට ඉඩ ඇති නිසාය. එහෙත් මම මේ දේ මෙතැන ලිබා තබමි.

නුඹ මට කිසිදිනක බොරු කීවේ නැත. ලබැඳි ස්වරයෙන් තබා, කට හඬ ඇසෙන්නටවත් කතා කළේ නැත. නමුත් නුඹ මට ලියූ හැම අකුරකම සත්‍ය ගැබ් වී තිබිණි. නමුත් මම නුඹට ලියූ අකුරු වල අර්ධයක අතිශෝක්තිය ඇති බව මම පිළිගනිමි. දේශන ශාලාවේ මධ්‍යයේ හිඳ මා දෙස බලනා නුඹ මවා ගන්නට උත්සාහ කරමි. දැන් මම නුඹට ආදරය කරමි.

නමුත්, අද නුඹ දුර ඈතකට යන වග මම දනිමි. මතු දිනක හමු වීමට හැකිවේදැයි මම නොදනිමි. එහෙත් මම එක දෙයක් සක්සුදක් සේ දනිමි. මම වෙනස් වන මුත්, නුඹ වෙනස් නොවන බවය. ඉතින් සුබ ගමන්!!


6/19/13

-218- කැමරා හාමුදුරුවෝ


එකසිය හැට තුනේ බස් එක ඇතුල් කෝට්ටෙන් බත්තරමුල්ල පාරට දානවා.. හැමදාම එකම වංගුවෙන්. එතකොට දියවන්නා ඔය ඉදරියෙන් පෙනෙනවා. රෑට නම් ඒ වෙලාවට ඕනෙම වාහනයක ජනේලෙ ඇරලා තිබුණොත් කපාගෙන  පිළි ගඳ ඇතුළට එනවා. ඒ ගඳට මම ආසා කරනවා. දවල්ට නම් දැනෙන්නෙම නැති තරම්.

දැන් ඉස්සර වාගෙ නෙවෙයි. කොළයක් හැඩේට ලක්ෂ ගාණක වීදුරු දාලා හදපු, බස් නැවතුමයි. පුටු පෙළයි නිසා, එහෙ හරියට සෙනඟ ගැවසෙනවා. උදේට නම් ඇවිදින මං තීරුවෙ දුවන අය. හවසට පෙමිවතුන්. දවල්ට පාසල් පෙමිවතුන්. බෙහෝවිට ක්ලාස් කට් කළ අය. සමහර සති අන්ත වල පවුල් පිටින් පික් නික් එනවා. මිනිස්සු සතුටින් ඉන්න දර්ශනයක් ඕනෙම තැනකදි හරිම ලස්සනයි.

සිකුරාදාට එතන පටන් ගන්න මල් ප්‍රදර්ශනය නිසා දියවන්නාවට සති අන්තය හරිම කාර්ය බහුලයි. දැන් එහා පැත්තෙ නිදහස් චතුරස්‍රය හැඩේට මොකක්ද හදලා.. වතුර මල්.. රෑට හරිම ලස්සනයි.
තව මාලු ටැංකියකුත් තියෙනවා ලොකු. කොහොම කොහොම හරි මේ දවස් වල පාර හදන නිසා, බන්ට් එක මැද්දෙන් කඩලා.. පස් තට්ටු වැහි වතුර නිසා මඩ වෙලා. දියවන්නාවත් පිරිලා.. මං කියපු පරිසර විස්තරය පැහැදිළි ද මන්දා නොදකින කෙනෙකුට.

එකසිය හැට තුනේ බස් එක ඊයෙ පාරට දානකොටත්, මේ වාගෙමයි පරිසරය. ඒ වෙලාව මං දැකපු දේ තමයි, මේ ලිපියෙ අනුභූතිය.

දියවන්නාව දිහා බලාගෙන පෙනුමෙන් තරුණ වියේ හාමුදුරු නමක් ටිකක් ලොකු දුරකථනයකින් කතා කරනවා. පෙනුමෙන් ටැබ් දුරකථනයක් කියලා කියත හැකි. දැන් මට පෙනෙනවා හාමුදුරුවන්ව පැහැදිළිවම. බස් රිය නවත්වනවානෙ.. ලක්ෂ ගාණට හදපු කොස් කොළ හෝල්ට් එකේ. හාමුදුරුවන්ගෙ බෙල්ලෙ අරවින්ද ගාව තියෙන ජාතියෙ කැමරාවක් තිබුණා. කැමරාව DSLR වුණාට මම දන්නෙ නෑ ඒ තරම් දිග ලෙන්ස් ගැන කියන්නෙ කොහොමද කියලා. සයිඩ් බෑග් එකක් උරහිසෙ තිබුණා. හැබැයි ඒ උමන්දා අයියා අපිව එක්ක ගෙන ගිහින් පෙන්වපු ඇල්පිටිය පිරිවෙනේ පොඩි සාදුලාගෙ ළඟ තිබුණු රෙදි මලු වාගෙ එකක් නෙවෙයි. මේ උෂාන් කැම්පස් ගෙනියන බෑග් එක වාගේ එකක්. කොහොමත් ඒ ටික එක්ක හාමුදුරුවන්ට වඩින්න අමාරුයි. ඇවිදින්නම වෙනවා.

මේ දර්ශනය දැක්කෙ මම විතරක් නෙවෙයි. බස් රියෙ ගොඩක් දෙනා දැක්කා. දැන් හැම කෙනාගෙම කතාව බෞද්ධ ධර්මය, භික්ෂු ඇවැත්, සම්ප්‍රදාය, සංස්කෘතික සෝදාපාලුව වාගෙ බර මාතෘකා ගැන.

දැන් අපිට හාමුදුරුවන්ව පෙන්නෙ නෑ. හැබැයි බස් රථය තවමත් දොඩමලුයි.

මේ සිදුවීමට පක්ෂ විපක්ෂ සිතිවිලි සමුදායක් දැන් ඔබේ හදවතේ ගොඩ නැගෙනවා. ඒවා එක්ක මං ඔබට ආරාධනා කරනවා. මේ යතාර්ථය තේරුම් ගන්න.

ස්ව කැමැත්තෙන් කුඩා කාලේ කෙනෙක් මහණ වුනා නම්, ඒ සංසාර පුරුද්දට. නමුත් හුඟක් දරුවො මහණ වෙන්නෙ, අනික් අයගෙ වුවමනාවට. කේන්දරේට. තරුණ වෙනකොට, තමන් තුළ ගොඩ නැගෙන ස්වාධීන චරිතය ආත්මය හොයාගෙන එනවා. එතකොට ඔවුන්ගෙ ආසාව ඉදිරියට එනවා. එතකොට සම්ප්‍රදාය සංස්කෘතියට කලින් ආත්මානුකම්පාව වෙලා ගන්නවා. ඉන් පස්සෙ, තමන්ගෙ ආශාව පස්සෙ දුවනවා. ආශාව නැති කරන ගමන් මග තෝරාගත් අයම ආශාවන් පසුපස දුවනවා.

සාසනය පිරිහීම, භික්ෂු ඇවැත් සිදු වෙන්නෙ මේ විදිහට. කුඩා කාලෙ බලෙන් හෝ නොදැනුවත් කමන් අන් අයගෙ උවමනාවන් මත මහන කළත්, පස්සෙ තේරුම් ඇති කාලෙ තමන්ගෙ ජීවිතය වෙනස් මගකට ගන්න ජීවිතය වෙනස් කරගන්න චීවර ධාරී සාමනේරවරයෙක්ට හෝ හිමිනමකට වුවමනා නම් එය ඉටු කරගන්න ඔහුට තියෙන ඉඩ ප්‍රස්ථාව කොහොම එකක්ද?

ඇමති තනතුරෙන් අයින් වුණාම හිටපු ඇමති. විදුහල් පති තනතුරෙන් අයින් වූණාම හිටපු විදුහල්පති. හාමුදුරුවො?? හිටපු හාමුදුරුවො වෙනවාද?

6/13/13

-217- සෙනෙවි | Best of Me

හැමදාම උදේට ඉර එළිය අරන් එන්නෙ අපේ ගෙදර කුස්සිය. ඒ වුණාට නැගෙනහිර තියෙන්නෙ ඒ පැත්තෙ නෙවෙයි කියලා අම්මා නිතරම කියනවා. ඒත් ඉස්සල්ලාම කැම්පස් ගිය දවසෙ මං කිරිබත් කෑවෙ ඉර පායන කුස්සියෙ තියෙන ලෑලි බංකුව උඩ ඉඳගෙන. මම උදේට ගොඩක් කන්නෙ, දවල්ට කන එක නුපුරුදු නිසයි.  විජේරාමෙ පාර දිගේ ඉහළට ඕන තරම් බත් කඩ තිබුණත්, මම දවල්ට නොකන්න පළවෙනි දවසෙම තීරණය කළා.

ඒ මම ජයවර්ධනපුර ගිය පළවෙනි දවස නෙවෙයි. මං පත්තරේට සම්බන්ධ වුණේ සරසවි ප්‍රවේශය ලබන්න ඉස්සර නිසා  උද්ඝෝෂණයක විස්තර ගන්න, මං දවස් කීපයක්ම රාවය පත්තරෙන් එහෙ ගියා. ඒත් මේ දවස තමයි මම සරසවි ශිෂ්‍යයෙක් බව මට දැනුණ දවස.

පිළිගැනීමේ කතා අටෝරාසියකට පස්සෙ දහවල් විවේකය ලැබුණු තැනින් තමයි, හරි නම් මේ කතාව පටන් ගන්න ඕනෙ. ඒත් මං කවුද කියලා නොකියා කතාව කියං යන එකේ තේරුමක් නෑ. කොහොම හරි දවල් දොළහට ආසන්න වෙලාවක මමත් අනික් පිරිවර එක්ක තල්ලු වෙලා ශ්‍රී සුමංගල ශාලාවෙන් එළියට වැටුණා.. මමයි , ඒ මොහොතෙ අඳුන ගත්ත ගැහැණු යහළුවො කිහිප දෙනෙකුයි එකටම ඕපන් කැන්ටිම පැත්තට ආවා.

ඕපන් කැන්ටිම තියෙන්නෙ සුමංගල ශාලාවෙන් දකුණු පැත්තෙ. එ්කෙ ඉහළ තට්ටුවෙ තියෙන්නෙ මහා ශිෂ්‍ය සංගම් කාමරය. පහළ තියෙන්නෙ  අපි පාඩම් කරන්නයි කන්නයි හදපු කැෆටේරියා එක. ඒවා හැම දේම පස්සෙ දැන කියාගත්ත දේවල්.
එදා එතෙනදි මම මුලින්ම දැක්කෙ කොන්ක්‍රීට් බිත්තියෙ, පාට ගිය තීන්ත උඩ මුණිවත රකින රූප පේළියක්. 

ඒ රූප පෙළ හරි මැද, සරසවියෙ ඈතම කොනට ඇස් යොමාගත්ත කෙනෙක් මුල්ම වතාවට මගේ ඇස් තුරුළු කරගත්තා. මුල්ම වතාවට මම මේ ලෝකෙ ලස්සනම මන්දස්මිතය ඔහුගෙන් දුටුවා. 

එතකොටත් මගෙ පිටිපස්සෙ හිටපු මං වගේම අලුත් කෙල්ලො මට හිනා වුණා. ඔවුන්ට ඒ පින්තූර ගැන කිසිම හැඟීමක් නැති නිසා වෙන්න ඇති.  ඒත් ඒ මොහොතෙ ඈත ඉඳන් කෙනෙක් මගෙ ළඟට ආවා. පිරිමි ළමයෙක්. පස්සෙ එයා තමුන්ව අඳුන්නා ගත්ත විදිහට ජේෂ්ඨ උත්තමයන්ගෙන් කෙනෙක්.

" අඳුනන කෙනෙක්ද?" ඔහු ප්‍රශ්නය අහපු විදිහම, මාව රතු කළා. ඒත් ඔහු මඳක් කරුණාවන්ත හඬකින් මම උත්තර නොදුන් ප්‍රශ්නයට, පුංචි පිළිතුරක් එක් කළා.

"එයා ඔයාට කලින් ජීවත් වුණ කෙනෙක්"  මඳ සිනාවක් පා ඔහු කැන්ටිමෙන් පිට වුණා. අදටත් හිනාවෙන්න තරම් කාරණාවක් මගේ සරසවි ජීවිතයෙන්, මගේ යහළුවන්ට ඉතිරි වුණේ එහෙමයි.


ඒත් එදා ඒ වෙලාවෙන් පස්සෙ මම ඒ පින්තූරෙ ඉන්න කෙනා ගැන ගොඩක් කල්පනා කළා. හැබැහින් කිසි දාක නුදුටු ඒ හුරුපුරුදු තරුණයාට හැම උදේ පාන්දරකම මං ගුඩ් මෝර්නිං කියන්න පුරුදු වුණා. කවදාවත් මට උත්තර නොදුන්නත් එයා මා එක්ක කතා කරන බව ටික කාලයක් ගත වෙනකොට මට දැනෙන්න ගත්තා. බකට් එකට ඉස්සර කොකු ගහන කාලෙ එයා මගෙ හිත කවුරුවත් ළඟට යන්න ඉඩ නොදී රැක බලා ගත්තා. ඒත් බකට් එක දවස් වල ඔය පාට ගිය බිත්තියෙ එල්ලා තියෙන්නෙ විරු සිසු පින්තූර‍ෙ කියලා දැන ගත්ත දවසෙ, මම එයා එක්ක තරහ වුණා. මම ටික දවසක් එයා දිහා නොබලාම හිටියා. මං අන්තරේ එක්ක තරහින් හිටියෙ. ඉතිං එයා එක්කත් මං තරහ වුණා.

අපි ආයෙත් යාළු වුණේ, මම හුඟක් කැමැත්තෙන් හිටපු කෙනෙක් මගේ හිත හොඳටම රිදවපු දවසක. එයා ආයෙම හිනා වුණා. ඔයාට කවුරුත් මං තරම් ආදරය කරන්නෙ නෑ කියනවා වගේ, එයා හිනා වුණා. අපි තීරණය කළා දේශපාලනය ගැන කතා නොකරන්න.

එයා මිනිස්සුන්ට හුඟක් ආදරේ කළා.  හිතාගන්න බැරි තරමට, එයා විශ්වාස කළා හැම මනුෂ්‍යයෙක්ම යදම් නැති ලෝකයක ජීවත් විය යුතු බව. එයා බය වුණේම, හිත් හිර කරන ඇඩ්මන්ටයින් දම්වැල් වලට. එයාට මිනිස්සු වෙනුවෙන් කරන්න හුඟක් දේවල් හිතේ තිබුණා.  එයා කිව්වෙ හැම වෙලාවකම, එකම දෙයක්.  " මට වෙලාව මදි වුණා" කියලා.  සරසවි කාලෙ ඉවර වුණා. මට එයාගෙන් සමුගන්න වුණා. ඒත්  සතියකට දවසක් හරි හීනෙන් එන විත්තියට එයා පොරොන්දු වුණා. එයාගෙ මන්දස්මිතය නිතර හමු නොවුණත්, එයයි මමයි හැමදාම හීන වලදි මුණ ගැහුණා.

 ඒත් දෙදහස් එකොළහේ නොවැම්බර් මාසෙ අන්ධකාර එක දවසක උදේ පාන්දර අසුබ ආරංචියක් ආවා.  අපි සරසවිය ළඟට යනකොටත්,  වීර ඇස් අයාගෙන දම්වැල් බිඳින්නට තැත් කළ, විරු සිසු ප්‍රතිමාව විනාශ  කරල තිබුණා. මහා ශිෂය කාමරේ කඩා දාලා... පාට ගිය මකුළු දැල් බැඳිච්ච පින්තූර අලු කරලා තිබුණා. එයාව ඒ අලු අතරින් අඳුන ගන්න මට බැරි වුණා. දෙවනි වතාවටත් එයාව මරා දාලා තිබුණා.

එයා මගේ හිතෙන් නොමැරුණ නිසා, මං එයාව හෙව්වෙ නෑ.. ඒ නිසාම හමුවුණෙත් නෑ.. හීනෙක ඇරෙන්න පින්තූරයක්වත් හොයාගන්න තිබ්බෙ නෑ.

හැබැයි එයාව දෙවනි වතාවට මරපු දා ඉඳන් මම දේශපාලනය ගැන සහ දේශපාලකයො ගැන හිතන්න පටන් ගත්තා. ඒ ගැන විස්තර හොයන්න පටන් ගත්තා.. කාලය ගෙවිලා ගියා.

මම විවේකයෙන් හිටපු ඊයෙ, අවුරුදු එකහමාරකට විතර පස්සෙ, ආයෙත් මට එයාව මුණ ගැහුණා. පුංචි වීඩියෝ කෑල්ලකින්. මං එයාව කවදාවත් නොයන්න, මගේ ළඟට ගත්තා. කාලෙකට පස්සෙ අපි ඇත්තටම හිනා වෙනවා කියලා මට හිතුණා. ආයෙ කවමදාවත් එයාට මැරෙන්නෙ දෙන්නෙ නෑ කියලා මං පොරොන්දු වුණා. දැන් අපි සතුටින් ඉන්නවා.. අපි තවමත් හිනා වෙනවා.  ජීවත් වෙනවා.





6/5/13

-216- ත්‍රීවීල් අංකල්



ජයවර්ධනපුර සරසවියට එකසිය තිස් අටේ යන ඕනෙම කෙනෙක් විජේරාම හන්දියෙං බහිනවා.
දූවිලි පිරුණ විදූරු අස්සෙන් පැන්සල් පෙට්ටි හිනාවෙන ඡායාව පත්තර කඩේ ළඟ ඉඳන්ම පේනවා. පාරෙ බෙන්ඩ් එකක් තියෙන හින්දා, වාහන කොහොමත් එන්නෙ ටිකක් විතර හෙමින්. කොහොමත් එක පොකුරට පාර පනිනකොට කැම්පස් ළමයි කියලා දැනගෙනම, වාහන හෙමින් අරන් යනවා කියලාත් වෙලාවකට හිතෙනවා. එකෙක්ගෙ හරි ඇඟේ සයිඩ් කණ්නාඩිය හරි ගෑවෙනවා කියන්නෙ, එතන තුන්වන ලෝක යුද්ධෙ පටන් ගැනීම බව ඒ මිනිස්සුත් අපි වාගෙම ඉවෙන් වාගෙ දන්නවා.

හැමදාම උදේට පාර එකම වගෙයි. හමුවෙන්නෙත්, වෙනදා හමුවෙන අයමයි. හුළඟ වුණත් එකම පේස්ට්‍රි සුවඳයි.

ඒත් මේ කියන දවසෙ මම, ඔරලෝසුවට අනුව ටිකක් පරක්කුයි. ඒ නිසාම වෙනදා දකින පුරුදු මුහුණු පාරෙදි මම දැක්කෙ නැහැ. පෙස්ට්‍රි සුවඳත් ටිකක් විතර බැහැලා.. දවල් මස් හොද්දට තුන පහ බඳින සුවඳ වැඩියෙන් දැනෙන්න පටන් අරන්.

එකසිය තිස් අටෙන් බැස්ස ගමන් පාර පැන්නත්, අපේ සරසවිය තිබුණෙ කිලෝමීටර් බාගෙකට ආසන්න දුරින්. ඒ නිසාමයි, මම හන්දියෙ ගාල් කරපු ත්‍රීවීල් රථයකට ගොඩ වුණේ.

මට පුංචි හිනාවකින් සංග්‍රහ කරන ගමන්ම ත්‍රීවිල් අංකල් ස්ටාර්ට් කරන්න හැන්ඩල් එකේ දෙපැත්ත තද කරලා.. ඒ මැද්දෙ ගහලා තිබ්බ හඳුන්කූරූ තුන, දකුණු පැත්තෙ සයිඩ් කණ්ණාඩිය යට ගැහුවා.

හරි බරි ගැහිලා ඉඳගෙන උගුර පාදපු විදිහට, අංකල් කතා කරන්න සූදානම් බව මට තේරුණා. මම ආසයි කතා කරන්න. නමුත් කෙනෙක් පටන් ගන්නකං කතාව පටන් ගන්න මම කැමති නැහැ. කොහොම වුණත් අංකල් පාරට දානකොටම එයාගෙ හඬ අවදි කළා.

අපි කරන්නෙ මිසී, මිනිස්සු ගණන් ගන්නෙම නැති රස්සාවක් තමයි. ඒත් මේ රෝද තුන උඩත් රටේ ලෝකෙ ගණන් ගන්න මිනිස්සු යනවා. ඒත් අපිව දැක්කම සිකුරුටි උන්නැහෙලා සලකන්නෙ, මහ පොළව උඩ ඉන්න අනික් මිනිස්සුන්ට වාගේ නෙවෙයි.

ඊයේ මෙහෙ ලොකු මහත්තයෙක්ගෙ වාහනයක් නුගේගොඩ හයිලෙවල් හරියෙදි කැඩිලා. මම හයර් එකක් යන ගමන් එහෙන් දාලා ආවෙ, මෙතන අවුරුදු ගාණක් ත්‍රීවිල් පාක් කරන මට, මේ පාරෙ යන හැම මූණම වාගෙ හොඳට හුරුයි. ඉතින් මම නවත්තලා ඇයි කියලා බැලුවා. අනේ ඒ මහත්තයාට හොඳටම පරක්කුයි. ඉතින් ඔය රක්ෂණේටත් කෝල් කරලා. වාහනේ උන්ට දුන්න ගමන් මගේ වාහනේට නැග්ගා. කෙටි පාරකින් දාලා මමත් ආවා. කැම්පස් එක ඇතුළට දාන්න හදන කොටම, මොකද මේ කියාගෙන මහ සද්දෙන් කඩං පැන්නෙ,  නැද්ද සිකුරුටිලා. අර මහත්තයා එබිලා බැලුවා විතරයි. කටවල් වැහුණා.

මම තවම වචනයක්වත් කතා කළේ නෑ. අංකල් දන්නවා මම කැම්පස් එකට යන්නෙ කියලා. පාර හරි නිසා මම සද්ද නැතුව අහගෙන හිටියා.

මිසී, නීතිය තියෙන්න ඕනෙ තමා. ඒත් සල්ලි තියෙන මිනිස්සුන්ටයි, නැති මිනිස්සුන්ටයි දෙවිදිහක් ඇයි? එහෙම කරන එක හරිද? දැන් කැම්පස් එක ළඟටම ත්‍රීවීල් එක ඇවිත්. සිකුරුටි කුටිය පේන මානෙ ත්‍රීවීල් එක නැවැත්තුවා. මම බැහැලා රුපියල් පහනක් ඇද්දා. තවම අංකල් කතා කරනවා.

මම ආයෙ ඕකුන්ගෙ මූණ බලන්නෙ නෑ මිසී. 

නිල්පාට කොළය අංකල් ට දිගු කරන ගමන්, මම මෙතෙක් පැවතුණ සිනහව ටිකක් වැඩි කළා. 

“ අංකල්, අර තරාදිය අල්ලන් ඉන්න උසාවි අක්කාගෙ ඇස් දෙක බැඳලා. එයා දන්නෙ බර කිරන්න විතරයි. අංකල් ඕවා ගණන් ගන්නෙපා. මං කියනවාට අයිස් ක්‍රීම් එකක් කන්න. මේ හරි රස්නෙ දවස්.“

ඔහුගෙ තරහින් පුපුරන මුහුණට එක පාරටම හිනා රේඛාවක් ආවා. සමහරවිට ඔහුට හිතෙන්න ඇති මෙච්චර වෙලා මා එක්ක කතා කළේ අපරාදෙ කියලා. ඒත් තරහක් හෝ කහටක් හිතේ නැතුවම අංකල් මට, බුදුසරණයි දුවේ කියලා කිව්වා. අන්න ඒ වෙලාවේ, ලෙක්චරර්ලාත් එහෙමම කියනවා නම් කියලා විතරක් මට හිතුණා. ඒ එක්කම පොඩි ඇරුණ ගේට්ටුවෙන් මම ඇතුළට ගියා

හැමදාම පුරුදු විදිහටම සිකුරුටි අයියා මගෙ අයි ඩී චෙක් නොකරම හිනා වුණා. 

5/31/13

-215- පරක්කු වුණ ජීවිත


සමහර දේවල් වලට ජීවිතේ මහ ලොකු ඉඩක් දෙනකොට, තවත් සමහර වටිනා කියන දේවල් ජීවිතයෙන් ඈත් වෙලා යන්න ඉඩ තියෙනවා කියලා හිතෙන්න පටන් ගන්නවා. එහෙම හිතෙන්නෙ මහ ලොකු ඉඩ වෙන් කරපු දේ නැති වෙලා යන බව මොළයට සංඥා කරන කොට. ඒක එකක් පස්සෙ එකක් සිදුවෙන වැලක් වගේ සිදුවීම් පෙළක්. 


අපි කාලය එක්ක කොයි තරම් තරඟ කළත්, ඉස්සරහට මිසක් පස්සට යන්න කවදාවත් ඉඩක් නෑ. ඒ නිසාම අපිට අතීතයේ වුණු වැරදි නිවැරදි කරගන්න කවදාවත් ඉඩක් ලැබෙන්නෙ නෑ. එදා ඒ වෙලාවෙ එතැනදි එහෙම නොවුණා නම් කියලා ජීවිතේ එකම වතාවකදි හරි නොහිතුණ කෙනෙක්,
ඉන්නවා නම් ඒ බොහොම අඩුවෙන්.

අපි ජීවත් වෙන්නෙ වර්තමානයේ. අනාගතය නිර්මාණය කරන්නෙ වර්තමානය. ඒත් අපි ජීවත් වෙන්නෙ අතීතය විසින් නිර්මාණය කරලා දීපු වර්තමානයක නේද? එතකොට ඒක උඩ ඉඳගෙන අලුත් අනාගතයක් නිර්මාණය කරන්න, තියෙන හැකියාවෙ ප්‍රමාණය කොච්චරද? නිරායාසයෙන් කල්පනා කරලා බැලුවොත්, අතීතය තමයි හැමදේම නිර්මාණය කරන්නෙ.

අනාගතය අලුතින් හදන්න. හිත අලුත් වෙන්න ඕනෙ.. දවසක් කෙනෙක්ට හිතුණා අලුත් වෙන්න.
ඉතින් එයා අතීතයේ ආස්‍රය කළ හැම කෙනෙක්ගෙන්ම වෙන් වෙලා, ලියකියවිලි හැම දෙයක්ම විනාශ කරලා, හැම බඩු භාණ්ඩයක්ම විනාශ කරලා, අලුත්ම නමකින් අලුත්ම තැනක අලුත්ම මිනිස්සු එක්ක ජීවත් වෙන්න පටන් ගත්තා. ඒත් අතීතයෙන් මිදෙන්න බෑ. එතැන තමන් ඉන්න නිසා.


ඕනෙම මනුස්සයෙකුට අමතක කිරීම කරන්න පුලුවන් එක ප්‍රමාණයකට විතරයි. ජීවිතේ හැටි. ඒක තමයි. පුලුවන් තරම් පසුතැවිලි නොවෙන්න ජීවත් වෙමු. එතකොට අතීතෙ වැරදි, වර්තමානයේ සතුටකින් වහගෙන අනාගතේ දුක නොදිකන ලෝකයක්, කඳුලු යට කරලා උඩින් හදා ගන්න කාට කාටත් පුලුවන් වෙයි. ඒ දේ කරන්න පරක්කු වෙන්න එපා..

අපි හිරු දකින්නට වේලාසන අවදි වන කිසි විටක හිරු පායා නොතිබෙන්නට පුලුවන. එහෙත් කලින් හිරු පෑයූ දිනක ඔබ වේලාසන අවදි වී සිටීම ප්‍රයෝජනවත් වනු ඇත. මෙහෙම කිව්වෙ, රෝහණ විජේවීර මහත්මයා. දේශපාලනය කුමක් වුවත්, මේ ප්‍රකාශය සදාකාලිකව හදවතට  වලංගුයි. ඉතින් ඉක්මන් කරන්න.. අපේ අනාගතය අපි ගොඩ නගමු, අතීතය උඩින්.. වර්තමානය මැදින්.


4/25/13

-214- සිතිවිලි කොත්තුවක්!!



මට මේ දවස් වල හිතෙන එක එක දේවල් ඔක්කොම මෙතන එක දිගට ලියන්න හිතුණා. ඒ නිසා මම මේ පෝස්ට් එකට සිතිවිලි කොත්තුවක් කියලා කෙටි නමක් තිබ්බා..

ඔයාටත් දැනෙනවා ඇති, මේ දවස් වල රට ජාතිය ගැන හුඟක් දේවල් ෂෙයාර් වෙනවා. Face book එකේ.. Twitter එකේ.. කොටින්ම web වල blog වල පවා.. පුදුම ආවේගයකින්, රට ජාතිය ගැන කතා කරනවා... මත අනුව ගත්තම පක්ෂව හා විපක්ෂව මේ අදහස් ගොඩ නැගෙනවා..

මේ ලිපිය මා අතින් ලියවෙන මේ වෙලාවෙත්  මානුෂවාදී සහ ජාතිවාදී කියලා හදාගත්ත නම් දෙකකින් බෙදුණු දෙපිරිසක්, දෙපිරිසේම පහුගිය යටගියාවේ සහ වර්තමානයේ කුණු අදිමින් දෙපැත්ත වටේම ගඳ ගස්සගන්නවා.

ඔන්න ඔය ඔස්සේ මම දිගින් දිගටම කල්පනා කළා.. මම කොහොම කෙනෙක්ද කියලා....ඒ කියන්නෙ මම ජාති වාදියෙක්ද, මානුෂ වාදියෙක්ද කියලා. කල්පනා කරගෙන කරගෙන යනකොට ඔන්න.. මට හිතුණා එකපාරටම මම ජාති විදියෙක් කියලා...  ඒ වෙලාවෙ මම ඇහුවෙ මෙන්න මේ ගීතය...



එතකොට එකපාරටම මගෙ ඇඟේ ලේ වලට මහ පුදුමාකාර දෙයක් දැනුණා.. ඒ මම සිංහල නිසා වෙන්න ඇති...කියලා මට හිතුණා.



ඉන් පස්සෙ, මම ලොකු වතුර ජොග්ගුවක් බිව්වා... රත් වෙච්ච ඇඟ තත්පරෙන් තත්පරයේ, වතුර උගුරෙන් උගුරට හීතල වුණා... මට ඒ වෙලාවෙ මතක් වුණා.. දේවල් ගොඩක්.. පේළියෙන් ඵේළියට මම ඔයාට ඒවා කියන්නම්.

ඉස්කෝලෙ යන කාලෙ මට වැඩියෙන්ම ආදරේ කරපු... උදේ පාන්දර මාව හොයාගෙන දුව ගෙන එන, කොටින්ම හැම උපන්දිනේටම හැමෝටම ඉස්සල්ලා මට wish කරන මගෙ හොඳම යෙහෙළියව මට මුලින්ම සිහි වුණා. එයා ෆාතිමා සෆියා නිසාම්ඩීන්.. එයා මුස්ලිම්.. මම හිතන්නෙ, මොනම හේතුවක් නිසාවත්, මම එයාට හිරි හැර කරන එකක් නෑ.. අපේ පාසලේ මුස්ලිම් සිසුවියන් තවත් හිටියා... ඔවුන්ගෙ වරදක් මට පෙනුණෙ නෑ..

ගිය පාරට කලින් සැරේ.. මාව ඉස්පිරිතාලෙ නැවැත්තුවාම, එහා පැත්තෙ ඇඳේ හිටිය රෝගියාට මට තරම් අශක්තියක් තිබුණෙ නෑ.. එයා ඇන්දෙම සුදු.. සුව අතට හැරුණු  එයා  හැම වෙලාවෙම මගේ ළඟට ඇවිත් මොන මොනවාද හෙමින් මුමුණලා ආමෙන් කිව්වා... ටිකක්, ඇඟට පණ ඇවිත් එයා එක්ක කතා බහ කරද්දි තමා මම දැන ගත්තෙ ඇය කතෝලික සිස්ටර්වරියක් බව... ඇය කිව්වා.. දෙවියන්ට ආගමක් නැති බව.. දෙවියන් හැමටම ආදරය කරන බව.. ඉතින් මම ඇයට හිතවත් වුණා... මොනම හේතුවක් නිසාවත් මම ඇයට හිරි හැර කරන එකක් නෑ... කියලා මට හිතෙනවා.

මෙහෙම හිතද්දි මට දැනුණ එකම දෙය, තමයි.. මම මිනිසුන්ට පොදුවේ ආදරය කරනවා යන්න.. සිංහල ජාතියෙ වුණත් නොවුණත් මට ආදරේ අයට මම ගොඩක් ආදරෙයි. ඉතින් එතකොට මම මානුෂවාදියෙක්? ඔන්න ඒ වෙලාවෙ මට හිතුණා මේ සිංදුව අහන්න.. මම ඇහුවා වාගෙම ඔයත් අහන්න..



ඒත් තව මොහොතකට පස්සෙ මගේ රටට සිංහල නොවන කෙනෙක් ගෙන් විනයක් වන වග  ඇහුණොත්, මට ජාතිවාදි වෙන්න පුළුවන් වෙයි. ඒ වගේම.. ඒ වින කටින්නා සිංහලයෙක් නම් මම මානුෂ වාදී වෙයි.. මගෙ හදවතට වැඩියෙන්ම ආසන්න, හොඳ දේ කරන කොයි කෙනත් මට හොඳ අය.. කරක දේ කරන කොයි කෙනත් මට නරකයි. ඒ ක තීරණය වන්නෙ මම අනුව.

අපේ හිත නම් හරි පුදුමයි.. ඒක හිතාගන්න බැරි තරම්ම චංචලයි. ඒත් මම ඔයාට ආරාධනා කරනවා. කවුරුවත් කියන විදිහට නැතුව හිතට හිතෙන විදිහට හිතන්නට ඉඩ දෙන්න කියලා. කවුරු හරි කියන දෙයක්, ඒ ආකාරෙන්ම නැවත නැවත ස්වයංක්‍රීයව share කරන මනසක්, අද වෙනකොට අපිට ලැබිලා ඉවරයි.

දන්නවාද? මම පොඩි කාලෙ ඉඳන් පන්සල් යන්න වගේම, පල්ලියට යන්න ආසයි. මට නත්තල් ගස් හදන්න ආසයි. වෙසක් කූඩු හදන්න ආසයි. ඒ වගේම නෝම්බි අරින හැටි බලන්නත් ආසයි. ඒවායෙ දෙන කෑම කන්න ආසයි..කුර්තාටොප් අඳින්නත් ආසයි. මම කතෝලික පල්ලියක විවාහ වෙන්න ආසයි.. ඒ මුණට වේල් එක දාන්න ආසා නිසාද..අර සත්ප්‍රසාදයට දෙන, මාංශය කන්න ආස නිසාද කියලා.. ඔයාට හරියටම කියන්න මට තේරෙන්නෙ නෑ.. ඔය වගේ හිතිවිලි ගොඩක් එක්ක, මම එක එක වෙලාවට හැම දෙයටම ආස කරනවා. ඒ නිසාම සමහර වෙලාවට, මම බැනුම් අහනවා.. තවත් අයගෙන් හොඳ අහනවා.


ඔහොම ටිකක් කල්පනා කර කර ඉන්නකොට මට හිතෙනවා ඉන්දියාවෙ ජාතික ගීය අහන්න. මම ලංකාවේ ජාතික ගීයට වඩා එයට හුගක් ඇලුම් කරනවා.

ඒත් ඒ මොහොතෙම, මෙන්න මේ ගීතය.. මට ඇහුණොත්,





මට දැනෙනවා, මගේ රට ඇතුළෙ ඉන්න මම කොයිතරම් වාසනාවන්තද කියලා.. ඒ මොහොතෙම, හිම වැටිච්ච පින්තූරයක් දැක්කොත් මට එතනට යන්න හිතෙන්න පුළුවන්. හිත ඒ වාගෙයි.. ටිකක් හිතට තට්ටු කරලා බලන්න.. ඔයත් එහෙමයි.

ඒ වෙලාවෙම, හුළඟක් හමනවා.. මම මගේ පෙනහළු පුරා හුස්මක් ගන්නවා. ඒ වෙලාවෙ..මම මේ ගීය අහනවා.. මුහුණු පොතට ගිහින් අහන්නකො...

මෙතනින්


ඒ ගීතය ඇහුවාට පස්සෙ මට හිතෙනවා.. දේශපාලනික ලෙස , ජාතින් ලෙස එකිනෙකා කල්ප කාලාන්තරයකට පෙර බෙදාගත් මේ හැම රටටම වඩා.. මේ හැම රටක්ම දරා සිටින මහ පොළව හුඟක් උතුම් කියලා...වැඩිත් නොවෙන්න, අඩුත් නොවෙන්න, හැමෝටම හැමදෙයක්ම දීලා තියෙද්දි, දුන්නු දේ බෙදා ගන්න බැරිව අපි පොරකනවා කියලා.. මට හිතෙනවා මහ පොළව අපිට හිනා වෙනවා කියලා.. එතකොටම ඔන්න ලෝක මිහිතල දිනය ඇවිත්.. එතකොට මම හිතෙනවා මම පොළවට අයිති දැරියක් කියලා..

දාහක් දෙනා ප්‍රතික්ෂේප කළත්, කවදාවත්, මහපොළව අපිව ප්‍රතික්ෂේප කරන්නෙ නෑ.. කියලා... හිතාගෙන  මම මෙන්න මෙහෙම මහ පොළවට කියනවා...


ඒත්, ගහ කොළ සතා සීපාවා හොඳ අසන්නො වුණාට, ප්‍රතිචාරකයො නෙවෙයි. මම ලෑස්ති වෙන්නෙ ඔයාට දැන් ප්‍රතිචාරකයො ගැන කියන්න.. මතකද 21 අපි හමු වුණා.

අපි ඉස්සරහ හිනා වෙලා කතා කරන අය, අපි ගැන අනුන්ට කියන දේ සහ, ඒ අනුන් ගැන අපිට කියන දේත්, අහගෙන ඉඳලා, සමහරු ගැන හදවතින්ම කලකිරෙන්න එදා පුළුවන් වුණා.... සමහර අය සම්පූර්ණයෙන්ම අත්හැරිය යුතු මට්ටමක හිටියා. සමහරු තව තවත් ළං කර ගත යුතු මට්ටමක හිටියා. සමහරු මූණෙන් හිනා වෙලා, හිත යටින් එරෙව්වා... සමහරු හිත යටින් හිනාවෙලා, මුහුණින් හැඟීමක් පළ නොකර හිටියා..

ඒත් මම හැම වෙලාවෙම, නරක දාහක් තියෙන කෙනෙක්ගෙ වුණත් එක හොඳකට සලකන්න කැමතියි. මොකද මමත් වැරදි කරන, වැරදි වුණු සහ, අනාගතයේ දී වැරැද්දක් සිදුවිය හැකි කෙනෙක් නිසා.

ඔබ බලාපොරොත්තු වන සහෝදර කම් ඔබට ඔබ හා සිටින්නන්ගෙන් නොලැබෙනවා නම්, ඔබට ඔවුන්ගෙන් ඈත් වීම තුළ අලුත් සහෝදරයන් ලැබේවි. මට ඔබට ඒ ගැන කියන්න පුළුවන් එච්චරයි.

කොහොම වුණත් අපි මැරෙනකං ජීවත් වෙනවා. ඒ ජීවිත පැය ටික වෙන්නං වාලෙ ජීවත් වුණොත්, ලොකු අපරාදයක්. අපි හැම කෙනෙක්ම හැම කෙනෙක්ගෙන්ම වෙනස්. එහෙම වුණේ නැත්තම් අපි ඔක්කොම එකයි. අපි එකිනෙකාගෙ වෙනස අපි හුඟක් වෙලාවට අවබෝධ කරගන්නෙ නෑ.

මතක තියා ගන්න.. හැම කෙනාම අපි වාගෙ වෙන්න ඕනෙ නෑ.. නමුත් වැඩි නොගැළපීම තුළ මිත්‍රත්වය, ආදරය ගොඩ නැගෙන්නෙත් නෑ... නොගැළපෙන අය ටිකක් ඈතින් ඉන්න එක, ක්‍රෝධය වෛරය අඩු කරගෙන, ලේ පිරිසිදු කරගන්න ඉවහල් වෙනවා. හැබැයි.. ආත්මයෙන්, ආත්මයක් බද්ධ වෙන්න, DNA ගැළපෙන්න ඕනෙ නෑ.. සහජය සහ හුරුපුරුද්ද කියන දෙකට දැනුම ටිකක් එකතු වුණාම, අපි ට අනික් අයගෙ ජීවිත හොඳට තේරෙනවා.

කොහොම වුණත්, සිංහල බ්ලොග් කරණය ඇතුළෙ මේ විදිහට, මම අවුරුදු 4 ක් ගෙවලා නිම කරලා තියෙනවා.. මේ පස් වෙනි අවුරුද්ද, පරණම බ්ලොග් එකට ලොග් වෙන ඊමෙල් එකවත් මට මතක නෑ. හැබැයි.. මට බ්ලොග් ලිවීම මතකයි. නිසි නින්දේ වැඩුණු මගෙ සිතිවිලි මතකයි.


මම මේ බ්ලොග් එකෙන් ලබපු දේවල් හුඟක් තියෙනවා.. අද ඉන්න මගේ සහ එදා හිටි මගේ වෙනස තේරුම් ගන්නම මේ බ්ලොග් කරණය කොයි තරම් ඉවහල් වුණාද? ඒකම සතුටුවෙන්න දෙයක් හොයාගන්න හොඳටම ඇති නේද? සමාජීය හුදකලාවෙ 4 වැනි අවුරුද්ද ඉවරයි...

මම හිතන්නෙ, පස්වෙනි අවුරුද්දට නම වෙනස් වෙන්න ඕනෙ.. ඒ නීනු ගෙ බ්ලොග් වල හැටි.  හැම මාසයකටම එක පෝස්ට් එකක් හරි, අවමව මම ලිව්වා.. මොන දේ තිබුණත්, මම ලිවීම අතහරින්නෙ නෑ.. මම ලිවීමට ආදරෙයි.. මට හිතෙනකම් මම ලියනවා.. මම මැරෙනකම් මම හිතනවා..

නීනුගේ නිශාවෙන්, රෝස වලාකුළටත්, රෝස වලාකුළෙන්, සාෂා ගේ සටහන් වලටත්, සාෂාගේ සටහනින් ඉර ඇහැරෙන ඉසව්වටත් ආ.. නීනුවා, නීනු සත්‍යාංගනා, නද්යා, සාෂා, නෙරංජි සුලක්ඛනා, හෙටත් මේ බ්ලොග් එකම ලියනවා... අලුත් මුහුණුවරින්, අලුත් නම් වලින්, අලුත් විදිහකින්, එන්න එන්නම මම අලුත්... ඒ 89 ළමයින්ගෙ හැටි!!



4/13/13

-213- ඇජෙන්ඩාවක අපි



ඇජෙන්ඩා පිරුණ ජීවිතේ, අවුරුදු මාස ගත වෙනවා. අපි හුස්ම ගන්නවා..  ජීවිතේ කියන්නෙ අහම්බයක් කියලා වෙලාවකට කෙනෙක් කියනවා. කොහොම වුණත්, හැම කෙනෙක්ම පුරුදු කරපු ක්‍රමයක පැටළිලා ඇදිලා යනවා. ඉපදෙනවා මැරෙනවා.. ආදරය කරනවා.. තරහ වෙනවා.. මේවා සංසාරයේ සාමාන්‍ය දේවල්. කොහොම වුණත් තේරුම් ගන්න පුළුවන් එකම දේ, ඔයා වගේම මමත්, මම වගේම මේ හැමෝමත්, එක එක ප්‍රශ්න වලට උත්තර හොය හොය එකම රේඛාවක දුවනවා. මරණයෙන් පස්සෙවත් අපි කාටවත් විවේකයක් නෑ. කොටින්ම අපි විවේකයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ.

මම මට හිතෙන දේවල් බ්ලොග් එකේ ලියනවා. මම මට හිතෙන දේවල් රේඩියෝ එකෙන් කියනවා. 
එතකොට මට නිදහසක් දැනෙනවා. අපි හැමෝම නිදහස් වෙන්න එක එක දේවල් කරනවා. ඒත් ඒ නිදහස ඇතුළෙවත් අපි විවේකය ඉල්ලන්නෙ නෑ. අපි හිතන තරම් අපි නිදහසුත් නෑ. හැම දෙයක්ම කරන්න ඉස්සර, අපේ යට හිතට, පරම්පරාව, සංස්කෘතිය, අධ්‍යාපන මට්ටම ආදී තව හුඟක් දේ එක පෙළට එන්න පටන් ගන්නවා. අන්තිමට අපි කළ යුතු දේ තීරණය කරන්නෙ, අපි නෙවෙයි. 

ඒත් මේ තේරුම් අරගෙන අපිට ජීවත් වෙන්න බෑ. තේරුම් ගත්තත් හැකි ඉක්මනට, අපි ඒක අමතක කරනවා. ඒ අපි පුරුදු වෙලා තියෙන හැටි.

දැන් නොනැකතය. තව ටිකකින්, සිංහල අවුරුද්ද, හෙටින් පස්සෙ, ආයෙත් සුපුරුදු ජීවිත. අපි කනවා බොනවා ආදරේ කරනවා නිදා ගන්නවා ඉගෙන ගන්නවා.. මේ හැමදෙයක්ම බලෙන් පවරපු, එහෙම නැත්තම් බලෙන් පවරාගත්ත ගතියක් තියෙනවා. 

හුඟක් අයට රට ජාතිය ආගම ගැන තියෙන්නෙත්, තමන් වැඩ කරන තැන ගැන තියෙන්නෙත්, තමන්ගෙ පවුල ගැන තියෙන්නෙත්  බලෙන් පවරාගත්ත හැඟීමක් කියලා වෙලාවකට මට හිතෙනවා. හැඟීමක් නිරායාසයෙන්ම එනවා නම්, ඒ හැඟීම සදාකාලිකයි කියලා මට හිතෙනවා.
මේ ලෝකෙ වෙනස් කරන්න බැරි වුණත්, වෙනසට ගරු කරන්නවත් අපිට නම්‍යශීලි වෙන්න පුළුවන් නම් හුඟක් වටිනවා. කොහොමත් තමන්ට දෙයක් වෙනතුරු කෙනෙක්ට උපරිම සර්ව සාධාරණීය වෙන්න පුළුවන්.

කොහොම වුණත්, හැම වෙලාවකම, හිතය දැනෙන්න ජීවත් වෙන්න. මම නම් හැම වෙලේම සතුටින් ඉන්න කෙනෙක්. වෙන්න පුළුවන් නරකම දේ හොයා ගත්තාම ඒ දේ නොවීම ගැන උපරිමෙන් සතුටු වෙන්න. මං පොඩි කාලෙම ඉගෙන ගත්තා..

සතුට පිරි අලුත් අවුරුද්දක්!



මම බස්රේඩියෝවේ, සිහිනය දිගෙන් සහ Buzz Cope  වැඩසටහනෙන් ඔයාව හමුවණ නෙරංජි වුණත්, බ්ලොග් එකෙන් ඔයාව හමුවණ නීනු වුණත්, බයිස්කෝප් සිංහලෙන් සබ් දාන නෙරංජි සුලක්ඛනා වුණත් මං තුළ ඉන්නෙ කවුද කියලා හරියටම මම තවම හොයනවා. ඒ කවුද කියලා මට හමුවන තාක් කල්, ඔබට එය හොයා ගන්න බැරි බව පමණක් මම දන්නවා. ඒකයි ජීවිතේ කියන්න.



හෙටත් මේ ගඟ ගලයි මේ ලෙස
නමුත් අද ගඟ හෙට මෙතන නැත.
අලුත් ගඟ නරඹන්න එන ඔබ
පෙර දවස මෙහි සිටි ඔබම වෙද????


4/5/13

-212- අවුරුදු 6ක් ඉස්සර



මම මේ ලිපිය ලියනවා කියලා හිතුවෙ, කවදාවත් කාටවත් නොකීව, පුදුමාකාර කතාවක් එතැන තියෙන නිසයි. ඊයේ රෑ 2012 අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වුණා. අපේ නංගිත් විභාගෙ ලිව්වෙ 2012. එයා මගෙ මාමාගෙ දුව. එයා බොහොම ඉහළින් සාමන්‍ය පෙල සමත්.. ඉතින් ඔය ගැන කතා වෙවී ඉන්න අතරේ, අවුරුදු 6කට කලින් විභාගෙ කරපු මගේ ප්‍රතිඵලත් ආයෙ කතා බහට ලක් වුණා. මම සමාජ අධ්‍යනය හා ඉතිහාසය විෂයයන් කෙරෙහි දැක් වූ උනන්දුව පෙන්වලා, නංගිගෙ B එකට බනින්නත්.. එයාලා අමතක කළේ නෑ..
කොහොම කළත්, මගේ A 8 ට තාම නෑදෑයෝ අතර තැන වැඩියි වගේ... (පොර ටෝක් එකක්)

මෙතනින් එහාට කියන්න සුදානම් වෙන්නෙ.. ඉතාම සත්‍ය සිද්ධියක්. ඒක පාසලේ කවුරුවත් දන්නෙ නෑ.. හැබැයි අද දැන ගනී. මගේ හැම යාලුවෙක්ම. ගණිතය කියන්නෙ හැමදාටම සාමන්‍ය පෙළ විභාගෙ ඇතුළේ, බොහොම වටින විෂයක්. මොකද ගණං නැති වුණොත්, ඒ ලෙවලුත් නැති නිසා. දවස 2005 වසරේ දෙසැම්බර් 15 ( මතක විදිහට) එදා උඳුවප් පුර පෝය. පහුවදා ගණිතය නිසා අත්තාම්මාගේ සහ අත්තප්පාගේ වාර්ෂික දානෙට ගියෙ නෑ.. ඒත් ඊට සහභාගි වුණ අප්පච්චි, මට දානෙ ගෙදරින් බත් මුලක් ගෙනවා.

මම හරි ආසාවෙන් , ඒ බත් මුල කෑවා. පහුවදා උදේ, මට හදිස්සියෙ ආසාවක් ආවා.. පොල් රොටි කන්න. ගෙදර පිටි තිබුණෙ නෑ. අම්මා කවදාවත් නැතුව, අල්ලපු ගෙදර බැඳපු නැති ආච්චිලාගෙ ගෙදරින් පිටි ගෙනත් මට රොටි පුච්චලා දුන්නා.

මම රොටි කකා ඉද්දි ගෙදරට දුරකථන ඇමතුමක් ආවා. මාලා අම්මාගෙන්. කතා කළේ අප්පච්චිට..
" මල්ලි ඊයේ දානෙ මාලු ටිකක් හරි මදි වගේ.. පොඩි එකාට දුන්නෙ නෑ නේද? "

මොන පිස්සුද? පොඩි එකා බඩ ජාරියා වාගේ මාලු ටික කාලා. දැන් මොකක් කරන්නද? කෝකටත් කියලා අම්මා ග්‍රයිෆ්ෆෝටර්, ටිකක් දුන්නා..

දැන් බස් එකේ මරදානට වෙනකං ආවා.. පහසුවක් නැතත්, අපහසුවක් තිබුණෙ නෑ.. ඒත් බඩ නං හරි නෑ කියලා තේරුණේ, ටයර් කඩේ ගාවදි. මුලු අඟම දාඩිය දාන්න පටන් ගත්තා.. ඒක පුදුම වෙහෙසක්. මම ඉස්කෝලෙට ගිය ගමන් එක පාරක් වොෂ් රූම් ගියා. විභාගෙ 9 ට නෙ. ආයෙ. අටයි දහයටත් වොෂ් රූම් ගියා. මම පාචනයත් හැදුණ කෙනෙක් නිසා, අම්මා එදා ගේට්ටුව ළඟම හිටියා. කොහොම හරි එදා 16 වෙනිදා.

හරියටම දෙවනි පේපරේ දුන්නා. පළවෙනි ප්‍රශ්නය කොටස් 11 යි. අනිවාර්යයි. පළවෙනි ප්‍රශ්නය ඇතුළුව, ප්‍රශ්න 8 ක් කරන්න තිබුණා. ව්‍යුහය මතක වුණාට ඉලක්කම් හරිද වැරදිද කියලා දැන් මතක නෑ. අවුරුදු හයක්නෙ. (දින පොත් නොබලා ලියන්න හිතුණෙ මතකයෙන්.)

පළවෙනි ප්‍රශ්නයෙ, පළවෙනි කොටසවත් ලියන්න, හිතා ගන්න බෑ... ඒක මහ පුදුමයක්. ගාන හිතනකොට, අනිත් පැත්තෙන් යනවා. ඒ තරම්ම අසාධ්‍යයි. මට බය හිතුණා. ගඳ දැනුණොත්, මාව එතනින් ඉවත් කරයි කියලා. ලැජ්ජාවක් නෑ. ඔක්කොම ගැහැණු ළමයි. ඒත් විභාගය. මම ගණිතය හරි ආසාවෙන් ඉගෙන ගත්තා.

මට ඒ වෙලාවෙ හිතුණා, පේපරේ කොහොම හරි ලියනවා. මේක හිතලා පරිස්සමට කරන්න ගියොත්, මට කරන්න වෙන්නෙ නෑ කියලා. පෑන තද කරලා අතින් අල්ල ගත්තා. මට ඒ වෙලාවෙ, මතක් වුණා.. ගණං පන්තිය. මම ආසාවෙන්ම ගිය පන්තිය ඒක. ගණිතයට ආසා වීම වාගෙම ඒකටත් හේතුවක් තිබුණා. ( වැඩිපුර හොයලා බලන පිරිමි ළමයෙක් ඉන්න එක.. එහෙම නැතුව, ප්‍රේමයක් නම් නෙවී.)

ගණං සර්.. අපේ සීයාගෙ යාලුවෙක්. එයා මට පුදුම ආදරෙයි. සර් ළඟට ගිහිං ගණං වලට B කියන්න මට බෑ. කොටින්ම එදාට එයා එන නිසා, ඒක කොහොමත් කියන්න බෑ. අනික මේම දෙයක් වුණා කියලා, එයා දැන ගන්න එක ලැජ්ජාවක්නෙ.. කොටින්ම පොදු පාසැල් එකට ආරංචිය ගියොත්, වස විළි ලැජ්ජාවක් වෙන්නෙ. මගෙ ඇස් දෙකට කඳුලු ආවා.

දැන් පැය තුනෙන් විනාඩි 35 ක් ගිහිං ඉවරයි. මට කියන්න කිසි කෙනෙක් නෑ. මට ගාණ කියවන්නවත් බෑ. මේක ස්ට්‍රෙස් එක නෙවෙයි. මට අපහසුවෙන් හරි වැඩේ කරන්න පුළුවන්. ප්‍රශ්නෙ අනිත් පැත්තෙන් යන එක. මොළය සහ බහිස්‍රාවීය පද්ධතිය අතර ඒ තරම් සම්බන්ධයක් තියෙනවා කියලා මට හිතුණෙ එදා.

හිතට වෙර ගත්තා. පෑන අතා ගත්තා.. මම මුලු ලෝකෙම අමතක කළා... එක දිගට මම ලිව්වා... පැයක් ඇතුළත, කිසිම ප්‍රශ්නයක් අත් නොහැර අත් ඇරිය යුතු ගණන් පවා හැදුවා. ඒක කළේ හිතට ආපු ආවේගයට.. පැයක් ඔලුව ගහන් හිටියා.. බඩ පෙරළවනවා.

පේපර් එකතු කළා. වෙනදාට පේපරේ ගන්න මොහොත වෙනකං හැඩ කර කර ගණන් හදන නෙරංජි ට මොකද වුණේ කියලා ළමයි හිතන්නැති. මම කාටත් උත්තර දෙන්න ඉස්සර වොෂ් රූම් දිව්වා.. ගවුම හෝදලා තෙත ගවුමම ආයෙ ඇඳගත්තා.. පළවෙනි පේපර් එක ලිව්වෙත් ඒ විදිහටම තමයි.

මගෙ වෙනස කාටවත් තේරුණේ නෑ.. මම විඵාගෙ ඉවරවුණ ගමන්, ගේට්ටුවට දිව්වා.. අම්මා, මාව එහෙම්ම ත්‍රීවීල් එකක දාගෙන ගෙදර ආවා.. අම්මා ඒ ඇඳුම් පවා පිච්චුවා. හිතා ගන්න බැරි කාටත් ඒක නොදැනිච්ච එක. බෙහෙත් ගත්තා.. දොස්තරලාත් ඉතා කාර්යක්ෂමව හොඳ වෙන්න බෙහෙත් දුන්නා..

දන්න කියන නෑයො සහ ගෙදර අය කිව්වෙ, ගණන් ආයෙත් ගන්න වෙයි කියලා. කවුරු නැතත් අප්පච්චි කිව්වා... පුතේ, ඔයා මේ සාමාන්‍ය පෙළ ගණිතය විභාගෙන් S එකක් ගත්තොත්, ඔයා ලංකාවෙන් පළවෙනියා වුණාට වඩා ආඩම්බර වෙන්න ඕනෙ කියලා.

රිසල්ට් ආවා මේ වාගෙම අප්‍රේල් මාසයක. හිතන්න මට ගණිතය A ... මට ම පුදුමයි. මම කර්ම ශක්තිය විශ්වාස කරන්න පටන් ගත්තෙ එදා. එතෙක් මෙතෙක් නොදන්න හැම කෙනෙක්ටම, මම උපරිමෙන් දන්න දේ කියා දුන්නා. ඒ වෙනුවෙන්, මට අමාරු වුණ වෙලාවෙ විශ්වයේ ශක්තියක් මං දිහා බැලුවා...

අදටත්, මම අනික් සබ්ජෙට් අටටම ගත්ත A වලට වඩා ගණිතය A එකට ගරු කරනවා. ආදරය කරනවා. හැම සාමාන්‍යෙපළ විභාගයකදිම, මම ඒ A එක ගැන හිතලා අප්‍රමාණව සතුටු වෙනවා.
අද එයාගෙ උපන්දිනේ. මම එයාට විශ් කරන්න ඕනෙ.. එයා මේ කතාව දන්නෙත් නෑ.. අදටත් අපි හොඳ යාලුවො. දැන් එයාට වඩා මං උසයි. අවුරුදු 6ක් අපි වයසට ගිහිං

ඒත් සාමන්‍ය පෙළ විභාගය තාම තරුණයි.

මම ගණිතය A එකට හැමදාම ආදරෙයි...