ඇවිද්ද පය දහස් වටී කියලා කවුදෝ බර පොතක කියලා තියෙනවා කියලා මම ඉගෙන ගත්තෙ තුනේ පන්තියේ වාක්‍ය හයේ රචනාව ලියන්න පටන් ගත්ත මුල්ම දවස් වල. කොහොම වුණත්, ඇවිදීම.. තරම් සතුටක් ජීවිතේ නැතිම තරම්. ඇවිදීම කියන දේ ප්‍රධාන කැටගරි තුනක් තියෙනවා. එක අවශ්‍යතා පිණිස ඇවිදීම, දෙක ව්‍යායාමයට ඇවිදීම. හැබැයි වැදගත්ම ඇවිදීම තමයි රස්තියාදුවට ඇවිදීම. ජීවතේ අරමුණු තියෙන්නෙ අවශ්‍යතා වලට ඇවිදීමේදී, ජීවිතයේ පැවැත්ම තියෙන්නෙ ව්‍යායාමයට ඇවිදීමේදී.. එහෙත් ජීවිත් වීම කියන කාරණාව තියෙන්නෙ රස්තියාදුවට ඇවිදීමෙදී. අන්න ඒ නිසයි ගැටවර වයසේ සිට මිය යනතුරුම රස්තියාදු ගැසීම ලිංග බේදයකින් තොරව කළ යුතු දෙයක් බව මම තරයේ විශ්වාස කරන්නෙ.
රස්තියාදුවෙදි, ඕනෙම තැනක ඔබට නතර වෙන්න පුළුවන්. ඕනෙම තැනකදි ආයෙත් ඔබට හැරෙන්න පුළුවන්.. සෑම වැසුණු දොරක් ළඟදිම සිකුරුටිවරුන් සහ වරියන් සමඟ දොඩමළු වෙන්න පුළුවන්. කෙටියෙන්ම කිව්වොත් වැසුණු දොර ගැන තරහ නොගෙන ඉන්න පුළුවන්. ක්ෂණිකව සිතුණු විගස අලුත් තැනකට යන්න පුළුවන්..
ට්‍රැෆික් එකක පවා රසය විඳින්න පුළුවන් දෙයක් තිබෙන බව ඔබ සමහර විට නොදන්නවා ඇති. නැවතුමක හිඳගෙන යන එන කාන්තාවන් සහ පිරිමින් දෙස බලා සිටීමේ ප්‍රීතිය ඔබ සමහර විට නොදන්නවා ඇති. පළතුරු කඩයක වේගයෙන් සිදුවන වෙළඳාම අතර, හුවමාරු වෙන කුණු පළතුරු ඈත සිට ගණන් කිරීමේ ප්‍රීතිය ඔබ නොදන්නවා ඇති. උයනක ලිය ගොමු වල තුරුළුව සිටින සෑම පෙම්වතුන් ජෝඩුවකටම ගීතයක් බැගින් නම් කිරීමේ ප්‍රීතිය විඳලා නැතිව ඇති.
රස්තියාදුවෙදි මේ හැම දේම ඔබට නොමිලේ ලබා ගන්න පුළුවන්.
අරමුණක් පිණිස ඇවිද්දොත්, වසා ඇති දොරවල් , ට්‍රැෆික් , දිග පෝලිම් ඔබව නිරන්තරයෙන් තරහ ගස්සනවා. කොහොම වුණත් හුදකලාවේ රස්තියාදු ගැසීමේ ආනිශංස දන්නෙ එහෙමත් කෙනෙක්ම විතරයි. කොහොම වුණත්, අද දවසේ ශේෂය ඉදිරියට ගෙනයන්න.. තැන් කිහිපයකින් සිද්ධියක් දෙකක් ඔබට කිව යුතුමයි කියලා හදවත යෝජනා කරනවා. ඒවා සුන්දර සහ අසුන්දර කියන අන්ත දෙක අතරෙ තියෙන පුදුමාකාර සිද්ධි.
පළමුවැන්න සිදුවුණේ 154 බස් රථයක් තුළදි..
ඇය මධ්‍යම පන්තියෙ, තරමක් නවීන පෙනුමක් ඇති කාන්තාවක්. මැදි විය ඉක්මවා යාමට ආසන්නව තිබුණත්, සුන්දර භාවයේ නටබුන් මුහුණේ තිබුණා. සැහැල්ලු මළු දෙකක් අතේ තිබුණත්, බසයට නැග්ගාට ඇයට එය පාලනය කරගන්න හැකියාවක් තිබුණෙ නෑ. බසයේ අසුන් සියල්ල පිරී තිබුණා. නමුත් රථය තුළ කිසිවෙක් සිටගෙන හිටියෙ නැහැ.
සැහැල්ලු ටී ෂර්ට් එකක් සහ ඩෙනිමක් ඇඳලා, අයි පොඩ් එකක් කනේ ගහගෙන හිටි මා අද්දර අසුනක හිඳ සිටි යුවතියක් ඇය කියවමින් සිටි පොත ඇගේ බෑගයට දැම්මා. අඩුම තරමේ ලිප්ස්ටික්වත් ගාලා නොහිටියත්, නාගරික බව පෙනෙන්න සාධක ඇය ළඟ තිබුණා. ඇය මේ කාන්තාව දිහා බලනවා කිසිවෙක්වත් දකින්න නැතිව ඇති. මොකද ඇය දිහාවෙ ඇහැක්වත් මේ යුවතිය නොහෙලූ නිසා. හැබැයි අනික් හැමෝම මේ මැදි වියේ කාන්තාවගේ අසමබරතාවය දෙස දිහා බලා හිටියා. තත්පර තුන හතරකින් පමණ, යුවතිය අයි පෝඩ් එක ගලවලා බෑගයට දමා ගත්තා. එක වරම නැගිටලා බසයේ හිට ගත්තා. දැන් ඇය හිඳ සිටි අසුන හිස්.. ඉතින් මැදිවියේ කාන්තාව වහාම හිස් වූ අසුනේ හිඳ ගත්තා..
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ළඟින් බොහෝ දෙනෙක් බැස ගියා. එහෙත් යුවතිය බැස ගියේ නෑ. හිස් වූ ඉදිරි අසුනක නැවත ඇය හිඳ ගත්තා. එවිට බසයේ සියලුම දෙනාගෙ අවධානය ඇයට යොමු වුණත්, කිසිවක් නොකළ ඈ යළිත් අයි පොඩ් එක කනේ ගහගත්තා.
මැදි වියේ කාන්තාව ඉදිරියට නැවී යුවතියට තට්ටු කළා.
“ මම හිතුවෙ ඔයා බහින නිසා නැගිට්ටා කියලා. අනේ ස්තූතියි මට මේ සීට් එක දුන්නාට.“
කාන්තාව එහෙම කිව්වා. ඉදිරි අසුනෙහි සිට මඳක් පිටිපස හැරුණු යුවතිය දෙනෙත් දල්වා හරිම හැඩට සිනාසී යළිත් ඉදිරිය බලාගත්තා.
මැදිවියේ කාන්තාව දෙනෙතේ කඳුළු පුරවා ගනුත්, අනතුරුව දෑස් පිසදමන අයුරුත් දකින්න තිබුණා. කඳුලට හේතුව සිතන්නටත් පෙර ටොරින්ටන් වෙත බසය පැමිණියා. මම වගේම, යුවතියත් බසයෙන් බැස්සා. මම හීලෑ අශ්වයෝ සහ හිමාලි අක්කා හොයාගෙන යන්න අවශ්‍ය බව සිහිපත් වීමෙන්, යුවතිය ගැන සිතීම අත්හැරියා. මැදිවියේ කාන්තාවගේ කඳුළු සහ අසුන අතර සම්බන්ධයක් නැතත්, යුවතියගේ සිනහව සහ ඇගේ කඳුළ අතර සම්බන්ධයක් ඇති බව සිතන්නට මේ මොහොතේ පවා සිතිවිලි පරම්පරාව බල කරනවා.
ආර්ෆිකෝ කියන්නෙ රස්තියාදුවෙදි, නොවරදින තැන් දෙකෙන් එකක්. අනික තැන තමයි සරසවිය. මේ දවස් වල නත්තල් සිරියෙන් ඇලලිලා ගිය ආර්ෆිකෝ එකේ, චොක්ලට් අංශෙන් පොත් කියවීම වඩවන චොක්ලට් දෙකකුත් නිරායාසයෙන්ම අරගෙන මම උඩට ගියෙ ලස්සන භාණ්ඩ අතර ටිකක් තනි වෙන්න හිතාගෙනමයි.
උඩ සෙල්ලම් බඩු අංශයේ බාබි ඩෝල් කෙල්ලන් අතර එකෙල මෙකෙල වෙන අංකල් කෙනෙක් මගේ ඇස් මායිමට වැටුණා. මගේ රස්තියාදුව නිමා කරලා නැවත පහළ මැගසින් කොටසට මම එනකොට ඔහුත් එතැන ඉන්නවා මම දුටුවා.. මැගසින් එකින් එක අල්ලමින්, සුන්දර නිරූපිකාවන්ගේ රූප ඇසින් කටපාඩම් කරනවා ද කියලා හිතෙන තරමට ඔහු ඒවාගෙ ඇලී ගැලී සිටියා. එතනම ආසාන්නයේ තිබූ මුදල් අයකැමි කොටසේ යුවතියන්, වරින වර ඔහු දෙස බැලුවෙ සල්ලාලයෙක් දිහා බලන ගාණට.
කොහොම වුණත් ටික වෙලාවකට පස්සෙ එක මැගසින් එකක්වත් නොගත්ත ඔහු ස්වයංක්‍රීය දොරින් පිට වුණා.. ඒ අංකල් එහෙම කළේ ජීවීතේ සුන්දර රාත්‍රීන් සදාකාලයටම මඟ හැරුණ සොවින්ද, කලින් තිබුණත් දැන් එහෙම ලස්සන දේවල් නොපෙනීම නිසා ඇති වේදනාව හේතුවෙන්ද, නැත්තම් ඇත්තටම එහි හරය තේරුම් ගැනීමේ ඕනෙ කමින්ද කියන්න දන්නෙ නැතත්, කාන්තා රසකාමියෙක් බව නම් පෙනෙන්න තිබුණා.
අංකල් ගෙ ප්‍රශ්නෙ මොකක් වුණත්, හෙට දවසෙත් ශෘංගාරය පිළිබඳව රික්තයකින් පිරි හදවත් වල නිමාවක් නැති බව නම් අදම අවටම පෙනෙන්න තිබුණා. ටොරින්ටන් චතුරස්‍රය හරහා ඇවිදගෙන යද්දි, ලංකාවෙ ප්‍රේමණීය යෞවනයේ සාම්ප්‍රදායික වර්තමානය ගැන කියා ගන්න බැරි වේදනාවක් හදවතට කාන්දු වෙනවා. කාමරයක් සහ උද්‍යානයක් පටලා ගැනීම ට ප්‍රධානම හේතුව මුදල් ද , ආරක්ෂාවද, පෞරාණික චාරිත්‍ර වල ප්‍රගමනය කියලා හරියට වටහාගන්න විසි හතරෙ මොළයට බැරි වුණත් ඒ හැම මුහුණකම තිබුණෙ ආදරය බලෙන් පවරාගත්තු බවක්. මහ පොකුණ අසල හිටියා මහළු වියේ කෙළවරක දෙදෙනෙක්. එවන් දෙදෙනෙක් මෙවන් තැනක දැකීමත් ප්‍රීතියක්. එහෙත් ඔවුන්ගෙ මුහුණේ තිබුණේ තෘප්තියකටත් වඩා විශාල විඩාවක්. සමහරවිට ස්වර්ණ ජුබිලියකට පෙර බලෙන් පවරාගත් ප්‍රේමයේ වේදනාව වෙන්නත් බැරි කමක් නෑ.
For once you have tasted flight you will walk the earth with your eyes turned skywards, for there you have been and there you will long to return.
Leonardo da Vinci
බොහොම හොදින් හැම අංශයක් කෙරෙහිම මැදිහත් සිතින් විමසා බලා තිබෙනවා ඔබ. ඔය සිතුවිල්ලෙන් හැම දෙනාම ලෝකය දකින දවසක් ආවොත් මොන තරම් සතුටුද,
ReplyDeleteමෙහෙම දකින ගොඩක් අය ඉන්නවා. අපි ඒ අය එකතු කරලා රස්තියාදු සංගමයක් හදන්න ඕනෙ.
Deleteරස්තියාදු ගහන්න හිතෙන අහිකුන්ඨික හිතක් ලැබෙන්නෙත් පිනකට වෙන්න ඕනි...මොකද මිනිස්සු අහේතුකව තනි වෙන්න බයයි...ඇවිදින්නත් තව කෙනෙක් ඕනි කියලා හිතෙනවා..තනියෙන් ඇවිද්දොත් මොනා හරි හිතයි මට කරදරයක් වෙයි පිස්සු කියලා හිතයි වල් ගෑණියෙක් කියලාහිතයි ඔන්න ඔය වගේ නා නා ප්‍රකාර හිතුවිලි වලින් හිතටයි ගතටයි නිදහසේ පාවෙලා යන්න තියන ඉඩ අහුරනවා..ඒත් එකම එක දවසක් මේ හිතුවිලි පාලනය කරන් එලියට ඇවිදින්න පුලුවන් උනොත් අන්න එදාට ඕන මනුස්සයෙක් ඇතුලෙ ඉන්න හිපියා අහිකුන්ඨිකයා එහෙමත් නැත්නම් බොහේමියානුවා එලීයට එනවා... ඊට පස්සෙ කෙනෙක්ට රිසි පරිදි රස්තියාදු ගහන්න පුලුවන් ..කඩපිල් වල , පාරවල් වල නාට්‍යශාලා වල කෞතුකාගාර අස්සේ ඔහේ ඇවිදිමේ ප්‍රීතිය අත්විදින්න පුළුවන්.. මේ දැන් නෙරා විදිනවා වගේ
ReplyDelete//තනියෙන් ඇවිද්දොත් මොනා හරි හිතයි මට කරදරයක් වෙයි පිස්සු කියලා හිතයි වල් ගෑණියෙක් කියලා හිතයි //
Deleteමම හිතන්නෙ නෑ මිනිස්සු එහෙම හිතයි කියලා. අනික හිතුවත් අපිට පාන් යෑ :)
මේ ලගදි කෙනෙක් මට වම් මොළයයි දකුණු මොළයයි ගැන කියලා දුන්නා. මට ඒ දේශනය පැහැදිලි වුණු විදියට නම් අක්කාගේ මොළ දෙකම නියමෙට වැඩ. අවාසනාවට මගේ වැඩ දකුණු මොළය විතරලු (එයා කියන විදියට)
ReplyDeleteමේ ඉර මුදුන් වෙන වෙලාවෙ බය කරන්න එපා නංගි.. :D
Deleteකාලෙකට පස්සෙ බ්ලොග් එකක් කියෙව්වෙ.. රස්තියාදුව කියන වචනෙ තමයි මාව ඇදලා ගත්තෙ. :D
ReplyDeleteමමනම් කැමති ඉර බැහැගන යන හැන්දෑවෙ රස්තියාදු ගහන්න. මිනිස්සු වැඩ ඉවර වෙලා කලබලෙන් ගෙවල් වලට දුවන වෙලාවට!...
කොහොම උනත් අර විස්තර කරලා තියන ගෑනු ලමයා එක්ක හිත ආදරෙන් වෙලෙන එක නවත්තන්න පුලුවන් උනේ නෑ මට. අපූරු චරිතයක්..
ඔය වගේ ගැහුණු ළමයි නිතර මුණ ගැහෙනවා. හැබැයි එකවරයි.. ආයෙත් හමු වෙන්නෙ නෑ..
Deleteරස්තියාදුවට ඇවිදින එකේ පොඩි ප්‍රභේදයක් තියනවා. කාලේ කන්න ඇවිදින එක. ඒ කියන්නේ කෙනෙක් එනකල් තැනකට වෙලා බලාගෙන ඉන්න එක මට එපාම වෙන වැඩක්. ඒ වෙලාවට දන්න කියන පාරක උණත් රවුම් ගහද්දී කාලේ යනවා දැනෙන්නේ නෑ
ReplyDeleteයමෙක් පොරොත්තුව සිටීම අරමුණක් පිණිසයි. මම කියන්නෙ එළියට බහිනකොට කිසිවෙක් බලාපොරොත්තු වෙන්න එපා.
Deleteගොඩක් උන් ඉන්නවා දවසම පොත අතේ, නැත්තන් අත පොතේ. මම දැන් මේ කොමෙන්ට් එක දාන වෙලාවෙත් මේසෙ කෙලවරේ එකෙක් පාඩම් කරනවා. ඌ 1st shy එකෙත් ඔහොමම පාඩම් කරා. ඒත් ඌ CSS. මෙලෝ වැඩක් නොකරපු මම CCS. අපි හැමෝටම වඩා පාඩම් කරපු කෙල්ලෙක් ABB. ඒත් එයට මෙඩිසින් යන්න බැරි උනා කියල ආයෙත් ක්ලාස් යනවා. එයාගෙයි මගෙයි වෙනස මොකද්ද? එයත් 2nd shy මාත් 2nd shy. ඒත් අපි 1st shy එකේ ජීවිතෙ වින්ඳා. ඇති වෙනකන් රස්තියදු ගැගුව. ටවුන් එකේ තියෙන හැම වැලි කැටයක්ම අපි පාගලා ඇති.
ReplyDeleteවැඩ පාඩුවක් නොවෙන්න රස්තියාදු ගහන එකයි හොඳම
Deleteමම මේ බ්ලොග් එකට කලින් ආව. ඒත් පෝස්ට් වල දාලතියෙන බර වචන දැක්කම මට ඉබේටම පිළිකුල් වුණා... ඒත් අද මේ "රස්තියාදුව" වචනෙ, නෙරංජි අක්කගෙ මේ වචන, අත්දැකීම් දැකල අහක බලන් යන්න යන සිතුවිල්ල හිතෙන් අතුගාලම දැම්ම. පුළුවන් හැම වෙලාවකම මේ අදහස් වලට මගේ කාලය වෙන් කරමි.
ReplyDelete"රස්තියාදුව" මමත් කැමති වැඩක්. මම ඒකටම කියල ගත්ත බයිසිකල් කට්ටකුත් මට තියෙනව. හවස් වෙලා සැහැල්ලුවට ඇඳගෙන කීයක් හරි සාක්කුවෙ දාගෙන මමත් යනව හිතුණ හිතුණ තැන් වල, පාරවල් වල. පිට්ටනි වගේ තැන් වල. ඒ අතරතුර නොකරන නොබලන දෙයක් නැති තරම්. එක තැනක පල් වෙන හිතක් පොඩි වෙලාවකටහරි වෙනස් කරන්න පුළුවන් දෙයක් මේක. ඒ ඒක හරි විදිහට කරනවනම්. ඒත් හිතට දුක දෙයක් තියෙනව. ඒ දාඩියෙන් තෙමිල මම බයිසිකලෙන් පාරෙ යනකොට බස් හෝල්ට් වල රස්තියාදු වෙන ඔෆිස් ඇරිල ගෙදර යන අය මං දිහා අමුතු විදිහට බලන එක.
//දාල තියෙන බර වචන දැක්කම මට ඉබේටම පිළිකුල් වුණා... // තමන්ට යමක් නොතේරෙනකොට එය පිළිකුල් කරන එකද, තේරුම් බේරුම් කරගන්න එකද හපන් කම.
Deleteතනියම රස්තියාදු ගහන එකේ ආතල් එක දන්නේ එහෙම රස්තියාදු ගහපු කෙනෙක්ම විතරයි... සොඳුරු හුදෙකලාව කියන්නේ එහෙම අත්විඳින්න පුළුවන් රසවත්ම දෙයක්...
ReplyDeleteඅනිවාර්යෙන්ම සිතූ
Deleteසොඳුරු හුදෙකලාව කාලයක් තදින්ම වින්ද හන්දා මේ හැඟීම් නම් තේරුම් ගන්න එක එච්චර අමාරු නෑ.. රස්තියාදුව කියන්නේ ජීවිත පොතේ වෙනමම පැතිකඬක්..
ReplyDeleteඔව් දිනේෂ් අයියෙ රස්තියාදුවක් නැති ජීවිතේ වැඩක් නෑ
Deleteතනියම රස්තියාදුවක් ගහන එකත් මරු !
ReplyDeleteමාත් සමහර දවස්වල ඔහොම රස්තියාදු ගහනවා... ඒ කොයි වෙලාවකවත් කොළඹ නම් එන්නේ නෑ.. මේ කොළඹ අහස මට වහ කදුරු වාගේ !
කොළඹ හැර අපි කොහේ යන්නද?
Deleteඅපුරුයි.. රසතියාදුවට වැඩිය සංචාරක ඇහැකින් ලෝකේ දැකලා තියෙනව. තව ලියන්න දිගටම :)
ReplyDelete