12/31/14

-250- අපි ඉන්නෙ හරි සතුටින්.

 
2014 - 12 - 23  ( 171 මාර්ග අංකයේ බසයක සිට)

කොළඹට වැස්ස. පිටකොටුව වතුරෙන් සේදි සේදි තිබුණා. තමන්ව කොහේ හරි ගෙදරකට ගෙනියන තුරු පාර බලා ඉන්න නත්තල් ගස්, වැස්සෙන් තෙත් වෙලා. අනපේක්ෂිතව වහින දවසක වගේම බොහෝ දෙනෙක් බඩු භාණ්ඩ තෙමෙන්න ඇරලා දාලා තිබුණෙ, එක දිගට වහින වැස්සට විරෝධය පල කරන්න වෙන්න ඕනෙ. මහ වැස්සෙම කලුවර වුණු කොටුවෙන්, බසයක ගොඩ වුණ මම, මීදුම බැඳුණු ජනේලෙට හේත්තු වෙලා වැස්සෙන් සේදෙන මගේ රටේ අග නගරය දිහා බලාගෙන උළුඳු වඩේ කමින් හිටියෙ. ඉදරියට ඇදෙන බසය ආමර් වීදිය හරියෙදි නැවැත්තුවා, සෙනඟ නග්ගගන්න.  

එතැන පෝස්ටර් රැඳවුමක කොළඹ නගරය එදා සහ අද කියලා ලොකු බැනර් එකක් තිබුණා. අපේ රටේ අපි සංසදනයේදි කරන ප්‍රබලම වැරැද්ද මං එතැනදි දැක්කා. එදා කියලා ටයිටල් දාපු පින්තූරෙ, මඩ වෙච්ච බොහොම කැත කොළඹක් පෙනුණෙ. ඇත්ත, ඒ වැස්ස දවසක ගත්ත පින්තූරයක්. අද කියන ටයිටල් එක යට තිබුණ පින්තූරෙ, බොහොම සිත් ඇදගන්න සුලුයි.. එළියෙන් පිරිලා, ඒ වාගෙම ලස්සන ගෑණු ළමයි දෙන්නෙක් දුවනවා රතු පැහැ පදික වේදිකාවෙ. ලස්සන කොළඹක් තමයි කාට වුණත් ඒ පින්තූරෙ දැක්ක ගමන් පෙනුනෙ. හැබැයි මං ඒ වෙලාවෙ හිටියෙත් අද නමින් පෙන්වපු ඒ පින්තූරෙන් පෙනුණු කොළඹමයි.  හැබැයි මම මේ වෙලාවෙ උන්නෙ බොරලු කැට තරම් වතුර ඔටුණු මහපාරේ වැටෙන වැස්සක. මෙදා කොළඹත් වැස්ස වෙලාවට නම්, එදා වැස්සෙ කොළඹ වගේම අසුන්දරයි. කාණු පිරිලා.. මඩ වතුරෙන් පෙඟිලා. ඒ මදිවට පාරට වතුරත් ගලලා. ඇත්තටම, ඒ පොස්ටරේ සංසංදනය කරලා තිබුණෙ, එදා සහ මෙදා කොළඹද, නැත්තම් වහිනකොට සහ පායනකොට කොළඹද කියලත් මට නිකමට හිතුණා. කොහොම වුණත්, අපේ රටේ ආණ්ඩු කරන අය අපි හරිම සැපෙන් සහ සතුටෙන් ඉන්න අය කියලා  කියලා අපිටම ඒත්තු ගන්වන්න ගන්න මේ පුදුම උත්සාහය ගැන එක අතකට පුදුමත් හිතෙනවා.

 2014 - 12 - 24  ( මහජන පුස්තකාලය අසල විහාරමහාදේවි උද්‍යානයේ පුටුවක සිට)

මිනිස්සු බලයට ඇති කැමැත්ත ගැන කතා කරන්න පටන් ගන්න ප්‍රාග් ඓතිහාසික මානව යුගය තරම් දුරකට අපිට යන්න වෙනවා වුණත් එක් අයෙක් නොසෑහෙන බලයක් තියාගෙන තමන්ව ඔහුගෙ හිතුමනාපෙටම පාලනය කරන එක නරකයි කියලා පාලනය වන පීඩිත අයට අවබෝධ වුණ මුල් යුගයට යන්න ශිෂ්ටාචාරය පටන් ගත්ත තැනට ගියාම හොඳටම ඇති. ඒත් ශිෂ්ටාචාරය පටන් ගත්ත තැන කියන්නෙත්, තවමත් සාක්ෂි සාධක හමුවෙමින් පවතින නොදන්නා කාලරාමුවක්.

අතීතෙන් තොරව වර්තමානය කතා කරන්න බෑ. වර්තමානයෙන් තොර අනාගතයක් නෑ. එහෙමනම් අතීතය සහ අනාගතය අතර දරුණු සම්බන්ධකමක් තියනවා. ඒත් අතීතෙන්, පාඩම් ඉගෙන ගෙන අනාගතයට මුහුණ දෙන්න වර්තමානයේ නිසි තීන්දු ගන්න නොදන්නා මිනිස්සු ඉන්න රටකට අතීතය වර්තමානය වගේම අනාගතයත් වැඩක් නොවන කාරණා වෙන්න පුළුවන්.

ශිෂ්ටාචාරය විසින් තමයි මිනිසුන්ව බිහි කරන්නෙ. තමන් දඩයම් කරගත් ගොදුර, නැත්තම් තමා නෙළා ගත් ඵලය එම ස්ථානයේම අනුභව නොකර, තමන්ගෙ හිතවත් අයට අරගෙන යන්න ආරම්භ කරපු පළවෙනිම මොහොතෙ ඉඳන් ඩාවින් කියන විදිහට වානරයා ශිෂ්ටාචාර ගත වීම ආරම්භ කළා. ඒකියන්නෙ මනුස්සයා කියන සත්වයා බිහි වුණා. මනුස්සයා අනෙක් සතුන්ගෙන් වෙනස් වෙන්නෙ හිතන්න පුළුවන් නිසා. මනුස්සයා පරිණාමය වෙන්න බලපෑවෙත් මේ පරිකල්පන ශක්තිය..........

මම  ඒ විදිහට, මගේ නෝට් එකේ ලිව්වා.

ඈත ත්‍රීවීල් පාක් එකෙන් ටිකක් සද්දෙට ඇහුණු බහින් බස්වීමක් නිසා, මගේ නෝට් එකේ පරිකල්පනය නම් බිඳුණා. එතැන් පටන් ඔවුන්ගෙ කතාව මට නිරුත්සාහකවම ඇහෙන්න ගත්තා. . එහි හරය කෙටි කරලා ඔබට කිව්වොත්, තවමත් කලගුණ සැලකීම වගේ හොඳ පුරුදු ලංකාවෙ තියනවා වගේම තමන්ගෙ පරමාධිපත්‍ය පවා ඒ වෙනුවෙන් භාවිතා කරන අති ශිෂ්ටාචාරවත් ජන කොටසකුත් ලංකාවෙ ඉන්නවා කියලා සාරාංශ ගත කරන්න බැරි කමක් නෑ .

2014 - 12- 30 (බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී)

ටොරින්ටන් වල ඉඳගෙන පාර්ලිමේන්තු පාර පහු වෙන තුරු මග දිගට දරාගත නොහැකි සංවර්ධනයෙන් අනූන මඟ දෙපස බලමින් , මහ පාරේ මම එමින් සිටියා. ඒ මොහොතෙදි හැඟුණ දැනුන දේවල් ටිකක් මේ විදිහට  ලියා තබනවා.

ලංකාවෙ මිනිසුන්ට නැති ම දේ, තමන්ගෙ රට ගැන හැඟීම. ඒ හැඟීම බලෙන් ඇති කරවන්න බෑ. ඒ හැඟීම ඇති කරන්න රටේ සිනමාව, සාහිත්‍ය වගේම පාසල සහ ජනමාධ්‍ය දෙන දායකත්වයත් අප්‍රමාණවත්. තමන් ආසා නොකරන රටක ජීවත් වෙන මනුස්සයෙකුට , තමන් පය ගහන පොළව පස් ගොඩක් විතරයි. ජනමාධ්‍ය තුළින් වුණත් රට ගැන හැඟීම ඇති කරන්න ගන්න පුංචි උත්සාහයන් වලටත් දේශපාලඥයෙක් රිංගා ගන්නවා. අවශ්‍ය සන්නිවේදනය එතැනින් වෙන්නෙ නෑ. අපේ රටේ ඉන්න කම්මැලි ආත්මාර්තකාමි ජනතාවක්. කෙටියෙන්ම කිව්වොත් වැඩිපුරම ඒ අය කම්මැලි හිතන්නයි. දෙවනුවට කම්මැලි පවතින තත්වයෙන් වෙනස් වෙන්නයි. ඒ වගේම හිතන්නෙ තමන් සහ උපරිම තම සමීපතමයන් ගැන විතරයි. මිනිස්සුන්ගෙන් ඒ කැත පුරුදු ඒ අතරෙ ඉන්න නායකයන්ට බෝ වුණාම, රටකට කල දවස ගැන කවර කතාද?

2014 - 12- 31 (පොලීසියේදී)

අම්මාගෙ ජගම දුරකථනය නැතිවෙලා. එය තිබුණෙ මගේ නමට නිසා, මම ගියා පැමිණිල්ලක් දමන්න. පොතෙන් පොතට, පුටුවෙන් නැගිට ගිය පැමිණිලි ලියන පොලිස් නිලධාරීයා, අන්තිමේ ආයෙත් පෑනක් අරගෙන එන්න කියලා ඇතුළට ගියා. මට කල්පනා කරන්න සෑහෙන වෙලාවක් ඉතුරු වුණා. රට වෙනස් කරන්න පටන් ගන්න ඕනෙ අපෙන්. මම ඒ කල්පනාවෙ අන්තිමට හිතුවා... ඒ නිසා ඉන්න හෝ එන ඕනෙම ආණ්ඩුවකට කියන්න, මට තියනවා විසඳුම් වුවමනා කරන ඉල්ලීම් පත්‍රයක්.

ඉල්ලීම් පත්‍රය
    1. ලංකාවේ අප භාවිතා කරන ජාතික හැඳුනුම්පත, ඉස්කෝලෙ ශිෂ්‍ය වාර්තාපොත තරම්වත් ප්‍රබල නෑ. ඒ සඳහා සෑම මිනිසෙකුගේම සියලු තොරතුරු ඇතුළත්, වසර තුනකට වරක්වත් ස්වයංක්‍රීයව අයිතිකරු විසින් (පොලීසිය හරහා )  Renew කළ යුතු පරිදී ඉලෙක්ට්‍රෝනික ක්‍රමයක් හඳුන්වා දිය යුතුයි. 
    2. පොලීසිය නව තාක්ෂණය භාවිතා කර, පැමිණිලි ලිවීම, ඇතුළු සියලු දෑ පැහැදිලිව සිදු කිරීම විය යුතු අතර, අත්සන් තැබීම, ඇඟිලි සලකුණු හරහාම සිදු කළ හැකි ස්වයං ක්‍රීය උපාංග ක්‍රමවේදයක් සැලසීම මඟින් ආරක්ෂක කටයුතු කාර්යක්ෂම කළ යුතුයි.
    3. ලංකාවේ මගී ප්‍රවාහන සේවය සඳහා (දැනට නාමිකව බස් වීදුරුවේ ස්ටිකරයක් ලෙස ඇලවී ඇත.) මුදල් මඟින් රීචාර්ජ් කළ හැකි කාඩ්පත් භාවිතය ජනතාවට අනිවාර්ය කළ යුතුයි.
    4. වැසි ජලය ආරක්ෂණයට හෝ පදිකයන්ට හා වාහන වලට කරදරයක් නොවන පරිදී බැහැර කිරීමට නගර මූලිකව සැලස්මක් ක්‍රියා කළ යුතුයි.
    5. කුණු කසල බැහැර කිරීමේ නීති සම්පාදනය කළ යුතු අතර, සැලකිය යුතු දුරකින් ස්ථීර කුණු කසල බැහැර කරන ස්ථාන සවි කළ යුතුයි. 
    6. සෑම 18 ට වැඩි පුද්ගලයෙකුටම, රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාවට අනුව සැබෑ දේශපාලන ක්‍රමය, නීති පද්ධතිය සහ වර්තමාන සමාජයේ (රට තුළ ජීවත් වන විට) තමන්ගේ පැවැත්ම සිදුවිය යුතු ආකාරය සහ ආචාර ධර්ම සම්බන්ධ ක්‍රමවත් අධ්‍යාපනයක් ලබා දීමට විශ්ව විද්‍යාල හරහා ඉතා කුඩා ප්‍රමාණයේ හෝ අනිවාර්ය පාඨමාලාවක් වසර පහකට වරක් පැවැත්විය යුතුයි. සහ එය රට තුළ ජීවත් වීමට සැපිර යුතු අනිවාර්ය සහ මූලික අවශ්‍යතාවක් බවට පත් කළ යුතුයි.
    7. සංස්කෘතිය තුළ ඇති, වැදගත් කමක් නැති පුහු මත ඉවත් කිරීමට, ජනමාධ්‍ය හරහා දැනුවත් කිරීම් නිරන්තරයෙන් සිදු කිරීමට රජයන් පෙරමුණ ගත යුතුයි.
    8. තොරතුරු දැන ගැනීම් අයිතිය මීට වඩා පුළුල් කළ යුතුයි.
    9. අධ්‍යාපනයට අයවැයෙන් සැලකිය යුතු මුදලක් ලබා දෙමින්, නිබන්ධන මූලික අධ්‍යාපනය සඳහා දරුවන් මෙහෙය වීමට කටයුතු කළ යුතු අතර, සියලු විභාග ජාත්‍යන්තරීකරණය කළ යුතුයි.
    10. ස්වයං රැකියා සඳහා දිරිදීම් සිදු කළ යුතු අතර, සෑම රැකියා ස්ථානයකම සම්පත් නාස්තිය පිටුදැකීමට සහ කාර්යක්ෂම බව වැඩි කිරීමට ක්‍රමවේදයක් සැලසුම් කළ යුතුය.
    11. රටේ ණය සම්පූර්ණයෙන්ම ගෙවී, රුපියලේ අගය ඉහළ ගොස්, ආර්ථික වර්ධනයක් සැබෑවටම පෙන්වා, ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන තුරු, සියලුම ජන බදු වලින් වේතන ලබන පුද්ගලයන්ගේ සියලු අනවශ්‍ය සංචාර හා වියදම් මෙන්ම, අනවශ්‍ය සේවා පිහිටුවීම්ද කපා හැරිය යුතුයි.
    12. අවසානයේ රට ප්‍රධාන එකක කිහිපයක් යටතේ තරඟකාරීව සංවර්ධනය කිරීම ඒ ඒ පළාත්වල මහාමාත්‍ය වරුන්ට පැවරිය යුතු අතර, ඒ සඳහා දිරි දීම් සහ උසස් කිරීම් ලබාදිය යුතුය.  
    13. තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය තරමටම භාෂා අධ්‍යාපනය විධිමත් කළ යුතු අතර, ඉන්දියාව සමඟ වන සබඳතා දියුණු කළ යුතුය. (වසර තිහක යුද්ධයේ වුව, මූලිකම ගැටලුව සන්නිවේදනයේ අප සහ අනෙක් භෘෂා කතා කරන්නන් අතර පැවති දර් සන්නිවේදනයන් ය.)
මේ සියල්ල අවසානයේ ඔබට, යම් පිළිවෙලක් ඇති රටක් ලැබෙනු ඇත.

එහෙත්, මෙහෙම රටක් දකින්න අපි අලුත් පක්ෂයක් වෙනුවට අලුතෙන්ම ජනතාවක් පත් කරගැනීමයි වඩා  කාලෝචිත. අපි සිතන ආකාරය වෙනස් නොවන තුරුම, අපිට  සොඳුරු රටක් දැකීමේ සිහිනය අමතක කරන්න වෙනවා. වර්තමානයේ ඔබ වගේමම මමත් සිටගෙන සිටිනා මේ පස් ගොඩ, රටක් බවට පත්වීමට අප වෙනස් වෙමු. අපි ඉන්නෙ හරි සතුටින් බව, අපිට හැමදේම ලැබිලා බව, අපට බොරුවට පෙන්වලා අපිව රවටලා එයාලාගෙ හීන ඉටු කරගන්න දඟලන රට පාලනය කරන හා රට පාලනය අයදින නළුවන්ට නොරැවටී ඉමු. 

******
250 වැනි ලිපිය සමඟ 2014 වසර අවසන් වෙලා යනවා. ඔබ හැමට අලුතෙන් හිතන්න පුළුවන් වන, 
සුබ නව වසරක් වේවා!! 
ඇත්තම සතුට හොයා ගන්නත්, 
නියම රටක ජීවත් වෙන්නත්, 
නොරැවටෙන්නත් හැකියාව ලැබේවා. 
පරිසරය අපටත්, අපි පරිසරයටත් ආදරය කරන වසරක් අපට ලැබේවා!









11/19/14

-249- මල් වලට ගල් ගසන්නට කලින්

ලියන්නට සිත විසින් බල කරන හැඟීම්, එකිනෙක පැටලෙමින් සිත කුළම තෙරපෙයි. දැනීම උත්සන්න වූ යම් මොහොතක, ඇතුළතින් බුර බුරා නැගි කම්පනයක් ලෙසින්, එක් වර ම ඒවා වේගයෙන් එළියට පනී. ඒ හැඟීම් වල පිළිවෙළ පිළිබඳව සැබැවින්ම අවිශ්වාස වුවද, එකී හැඟීම් අකුරු ලෙස සංකේත කිරීමට හොඳම අවස්ථාව එ්වා පැන නගින අවස්ථාවම බව මම තරයේ විශ්වාස කරමි.

කුඩයක් යට හිර වෙන්නට පෙම්වතුන්ට බල කළ බව හැඟෙන, මඳ වර්ෂාවක් සමඟ තෙත් සහිත වටපිටාවක, නුගේගොඩ ගිලී තිබිණි. වෙලාව හවස හය පසුවී සුළු මොහොතක් ගත වී ඇති බව විසිතුරු කඩ සාප්පු වල හුමාලය බැඳී වීදුරු සිපගෙන මහ මඟට දෙනෙත් අයා සිටිනා විවිධ මාදිලියේ,  විවිධ හැඩතල වල පහස ලද, හෝරා යතුරු දෙස් දෙති.

සිය දවසේ වෙහෙස, සුරත මත තද කළ මිටියකින් තෙරපා දහසක් ඇණ පහර වැද හිල්ව ගිය අවාසනාවන්ත පැතලි ලෑල්ලෙන් වාසනාව උදුරා දමන මැදිවියේ කතක් කුඩයෙන් වැහි පොද හා සෙල්ලම් කරන සිය නව යොවුන් දියණියට බැන වදී. ඔවුන් අසලින්  පාර පැන, මම සරසවි පොත් සාප්පුව වෙත පියමනිමි.

ඒ තෙවන මහලයි. බිම් මහලේ අධ්‍යාපන පොත් වලටද, පළමු මහලේ මුදල් ගෙවීම් කවුන්ටර , වාර ප්‍රකාශන, සඟරා සහ විද්‍යුත් තැටි ආදියට ද ඉඩ දුන් සරසවි දේවී, දෙවන මහලට ඉංග්‍රිසී පොත් වල අයිතිය මුල් දවස් වලම පැවරීය. සිංහල පොත් සොයන අය තෙවන තට්ටුවට පිටුවහල් කරන අතර, රැජිණට හිමි කොළණි දෙකක්ම ඉන් උඩට විහිදී ඇත. ඉතින් මා දැන් සිටින්නේ තෙවන මහලේය.

එකිනෙකා පෙරට එන්ට පොරකන පොත් රාක්ක අතර මැද මඳක් සැඟවී පිහිටි රාක්කයක දෙපස සිදුවන, ඔවුන්ගේ කතා බහ දැන් මගේ නොමනා දෙකන්, ග්‍රහණය කර ගනී. ඔවුන් ඉතාම තරුණ දෙපළකි. ඔවුහූ පෙම්වතුන්යැයි මොහොතකින් අනුමාන කළෙමි. පිරිමි ළමයා, බර මුහුණක් මවා ගෙන ගැහැණු ළමයා දෙසට හැරෙයි.

“ මල් පොත් කියවන්න එපා..සරසි.. ඔයිට වඩා හොඳයි පොත් නොකියවා ඉන්න එක“

තමාට වඩා මඳක් වැඩිහිටි යැයි, සැලකිය හැකි සිය පෙම්වතා අත තිබූ, මඳක් සුවිසල් පොත් කිහිපය දෙස වරක් බලා ඇය (සරසි)  සියත තිබූ පොත ( බොහෝවිට මල් පොත) නැවත රාක්කයේ සිටුවයි. දැන් ඇය ඔහු පසු ගමන් කරයි. ඔහුගේ වචන මට ඇසෙන්නට ඇතැයි, කළ අනුමානයෙන්, මා දෙස ලැජ්ජා සහගත සිනාවක් පා කර, යළි වරක් තමා සිටවූ පොත ඇතැයි ඈ අනුමාන කළ පෙදෙස දෙස වරක් බලා ඇසිල්ලෙන් සිය පෙම්වතා ගේ, පාද රටා අනුගමනය කරයි.

මෙවන් කුඩා සිදුවීම් සිතීමට ආහාර සපයයි. වැසි දවස් වල රාත්‍රී කාලයේ යෙදෙන මෙවන් හුදකලා ගමනකදී, හදිස්සියක් නැති , සංඥා එළිද, මාර්ග තද බදයන්ද කාලයට ප්‍රබලත්වයක් එල්ල නොකරති. එවන් වේලාවට සීතීම උත්සන්න කිරීමට මන්දගාමී කාලය බල කරයි.

මල් පොත් කෙරෙහි, ගැහැණුන්ට වඩා පිරිමින්ගේ විරෝධය දරුණුව නැගෙන යුගයක ජීවත් වෙමින් සිටින මට, මෙය සිතීමකටම අනවැසි සාමාන්‍ය සිද්ධියකි. ඒ පොත් වල සිටිනා පරමාදර්ශී පිරිමියාගෙ ෆැන්ටසියට, ගැහැණු පෙම් කිරීම කෙරෙහි, ඇති වූ ඉරිසියාව ඔවුන්ගේ විරෝධයට එක හේතුවක් යැයි අනුමාන කරමි. අනෙක් හේතුව නම්, තමාගෙන් එවැන්නෙකු අත් දකින්නට වෙර දරන සමීප ගැහැණුන් කෙරෙන් පිරිමියාගෙ මනසට එල්ල වෙන ප්‍රබල කරදරය විය හැක. මෙකී කාරණා ද්විත්වය නිසාම බහුතර පිරිමි විසින් මල් පොත් තද බලව පිළිකෙව් කරනු විය හැකිය. ඒ විනා එහි සාහිත්‍ය හෝ වින්තනමය හෝ වෙනත් දෝෂයක් ගැන බහුතර පිරිමි සිතනවා යැයි මට නොහැඟේ.

මින් මා කියන්නට වෙර දැරුවේ, පිරිමි නරක බව හෝ පොත් වල සිටින උන් හොඳ බව නොවේය. පිරිමි පරමාදර්ශී විය යුතු බවද නොවේය. මින් මා  මවිසින් අත් දකින ලෝකය මට අනුව විග්‍රහ කරගත්තා ම පමණි. ඒ පොත් වල පෙම්වතා අරක්කු බොන්නේත් හොඳට වන අතර, දුෂ්ටයා පිරිත් වතුර බොන්නේත් අන්තිම නරකටය. එබැවින් සමාජ යතාර්ථය හෝ ඉන් එහා ගිය විදග්ධ කරුණු මෙකී පොත් වලින් දැකිය නොහැකි මුත්, සමාජයට යම් බලපෑමක් පොත් වලින් ඉටු නොවේ යැයි කිව නොහැක.

මිනිස්සු උපරිම සුඛ විහරණයේ දී ද, උපරිම දුක විහරණයේදීද, ඇදැහිලි හා විශ්වාසයන් ප්‍රශ්න කරති. එම ප්‍රශ්න නැගීම්, ඉතිහාසය තුළ අරගල බිහි කරති. එවන් අරගල ඇල් කර නිවාලන්නේ, මෙවන් අතිශය සරල අරුමැසිවාදී ප්‍රාර්ථනාවන්ය. එම ප්‍රාර්ථනාවන් සිහිනයන් ලෙසට ලඝුව ඔවුන්ගේ හදවත් තුළ තැන්පත්ව, දවසින් දවස සිරුරු පමණක් මහළු කරවති. අනතුරුව දිනෙක ඔවුන්ට සිය සිරුරු මහලු බව පසක් වද්දි, ඔවූහු එකී සිහිනයෙන් අනලස් ව අවදි වෙති. ඒ වන විට අරගලය ඔවුන්ගේ පරම්පරාවෙන් වියැකී ගොසිනි. මල් නවකතා ද, මෙගා නාට්‍යද, වාණිජ චිත්‍රපටද, ජාතික ලොතරැයිද, රියැලිටි සංදර්ශන ද, සමාජ ජාල ද මේ කුමන්ත්‍රණයේ ප්‍රධාන පාර්ශව කරුවන්ව සිටී.

දැන් මා මල් රසවින්දනය යැයි, මේ සියල්ලට එක නමක් පබඳිමින් යළිත් සිතීම අරඹමි.

වෙළඳ පොළ තුළ මෙම රසවින්දනයට, සරලවම මල් නවකතාවට, මෙගා නාට්‍යයට අනභිබවනීය බවක් මැද සමාජය තුළින් ලැබී තිබේ. පහළ මධ්‍යම පන්තියේ මෙන්ම ඉහළ මධ්‍යම පන්තියේ ද හදවත්, තවමත් ඒ පොත් සහ නාට්‍ය සංස්පර්ෂ කරමින් සිටී. ඒ ස්පර්ෂය ඔවුන් කෙරෙහි එතරම් මෘදුව බලාත්මක වනුයේ ත්, ඔවුන්| එතරම් ආදරයෙන් එ්වා වැළඳගනු අප දකිනුයේත් අප වෙසෙන සමාජ රාමුව තුළ පවතින ගැටලුවක් නිසාම වන්නට නොහැකිද? ගැටලුව ඇත්තේ අධ්‍යාපයේද? උපාධිධාරීන්ද සියත්ව දිවි තොර  කරගන්නා සමාජයක  ශූන්‍යතාව ඇත්තේ අධ්‍යාපනයේ ද නොවේය. අප , ඔබ , සමීපතමයන් වෙත පවා දක්වන ආදරයේ හා ස්නේහයේ ඌනතාවයන් සහ සංවේදනාවේ ඇති දුර්වලතාවයන් මේ ප්‍රබල ඛේදාන්තය හා අමිශ්‍ර බව ඔබට මට ඉඳුරාම කිව හැකිද?

10/20/14

-248- ඔහුගේ පුංචි දෙව්දූව | அவரது சின்ன தேவதை

2014 / 10/ 13
අනේ යාල් දේවී... නෑ ගමන් ගියේ නෑ.. බෝ කලකින්
හිස පළඳනාවේ තිබුණා ලියලා, කංකසංතුරේ කියලා...

සුනිල් එදිරිසිංහ මහතා ගේ හඬ මුළුතැන්ගෙයි සිට, කාමරයක් කාමරයක් පාසා පැමිණ ඇත. උදෑසනම ඒ තරම් නෑසෙන එවන් ගී ඇසෙන්නේ, අද වසර විසි හතරකට පමණ පසු යාල් දේවී යාපනේ යන නිසාම විය යුතුය. යාල් දේවී යාපනේ නොයන්නට පටන් අරගෙන මගේ වයසමය. අදින් පසු ඈ හැමදවසකම කොටුවේ සහ යාපනයේ සිල්පර අතර ඇවිද යනු ඇත. දුරකථනය නාද වෙයි. එහෙත් එය නාඳුනන මොබිටෙල් අංකයක්.

මොකද කියන්නෙ? ගෑණු දරුවා ! පැනලා යනවා නං පළවෙනි කෝච්චියෙම යන්ඩ පුළුවන්

දවස් දෙකකට පමණ පසු ඇසෙන ඒ සුපුරුදු හඬ කරන් ගේ ය. කරන් සහදේව් රාමචන්ද්‍රන් යාපනේ දෙමළය. එහෙත් ඔහු සහ මල්ලී දෙදෙනාම උපන්නේ කොළඹ ය. කරන් මෙන්ම ඔහුගේ මල්ලි ඉගෙන ගත්තේ ද උසස් සිංහල පිරිමි විදුහල් වලය . එනිසා ඔවුන්ට හොඳින්ම සිංහල පුළුවන් ය. සමහර විට ඔවුන්ගේ අම්මා සිංහල නිසා විය යුතුය. විටෙක කරන් මට වඩා සිංහල ය. නුපුරුදු අංකය ගැන  නුරුස්නා හැඟුමක් උපන් බව දනවන්නට ඉඩ දෙමින් මම ඔහුව ප්‍රශ්න කරමි. ඒ මගේ හැටි බව ඔහු දනී

මේ නම්බරේ කාගෙද?

ඔහු ගේ සිනා හඬ දුරකථනයේ එහා කෙළවර සිට ඇසෙයි. ඔහු උත්තර නොදෙමින් මා තරහ ගස්සන්නට සැරසෙයි. ඉස්සර සිටම ඒ ඔහුගේ හැටි ය. එහෙත් මම හැමදා ඒ ලගන්නා සිනා හඬට ප්‍රිය කළෙමි. වසර හතරක පමණ මේ දැනහැඳුනුම් කම මිත්‍රත්වයට එහා ගිය ප්‍රේමයදැයි හඳුනා නොගත් එක්තරා බැඳීමකි. එය ප්‍රේමය යැයි ඔහු කිසි දින කියා නැති බැවින් ප්‍රේමයක් සිතීමට මට අයිතියක් නැතැයි විශ්වාස කරමි. දැන් ඔහු මට පිළිතුරු දෙන්නට පටන් ගෙන ඇත.

මගෙ සින්න දේවදෛ බය වුණානේ.. මේ තාත්තිගෙ උපහාර පැකේජ් එක බබෝ. ඉතිං ඉතිං?

ඔහු සිනහව අතරින් පවසන්නේය. දැන් ඔහු මගේ පිළිතුරු නොපතාම කතා කරන්නට පටන් ගෙන ය. මින්පසු යාපනේ යන විට, ජීප් එකේ නොව කෝච්චියේ යා යුතු බවත්, එසේ යනවා නම් යාල් දේවියේ පළමු පන්තියේ ටිකට් පත් කලින් මිලදී ගත යුතු බවත් ඔහු පවසනු මට ඇසෙයි. තත්පර දෙක තුනක මඳ විරාමයකි. අනතුරුව නව මාතෘකාවකි. ඒ යුද්ධයෙන් පසු  ඔහු නිතර යාපනේ යන නිසා අලුත් වූ නෑකම් හා අලුත් මිතුරන් පිළිබඳ විත්ති ය. කතා කිරීමට නොහැකි වුයේ දවස් දෙකක් පමණක් වුවද  ඔහුට කීමට මාසයක පමණ දේ තිබිණි. විටෙක සිංහලෙන්ද, විටෙක ඉංග්‍රීසියෙන්ද මිසක, දෙමළ හැකි තරම් අඩුවෙන් භාවිතා කිරීමට ඔහු ප්‍රවේසම් වෙයි. ඒ ඇයි දැයි මම මෙතෙක් කිසිදිනක අසා නැත්තෙමි. මම දෙමළ කතාවට ඒ තරම් හපනියක නොවූවද, දෙමළ තේරුම් ගැනීමට සෑහෙන සමත් කම් ඇති වග ඔහු දනී. රාජ්‍ය භාෂා කේන්ද්‍රයේ පැවැත්වෙන දෙමළ භාෂා පාඨමාලාව මම අනිවාර්යෙන්ම හැදෑරිය යුතු බව එක් වරම ඔහු සඳහන් කරයි. මම ඒ ඇයි දැයි අසමි. මඳක් සිනාසී රහසක් හගවන ලීලාවෙන් සුසමක් හරින ඔහු එයට පිළිතුරු නොදීම අලුත් කතාවක ගිලෙයි.

ඉදින් දුරකථනය කන තබා ගෙනම, මම ඔහුව හැරදමා මගේ මතකයන් වෙත පැමිණෙමි.

 ***
මාලබේ තොරතුරු තාක්ෂණ අධ්‍යන ආයතනයේ නිහඬ දේශන ශාලාවක නිල් පැහැති ගවුමක් හැඳ හිඳ සිටින, මා යළිත් මවා ගැනීමට මට හැකි විය. උසස් පෙළ ප්‍රතිඵල පැමිණි විගස ඇතුළත් වුවද, මාස දෙක තුනකන්ම එපා වී ගිය පරිගණකය  හා ගණිතය පිරුණු අධ්‍යන වාරයෙන් පැන යා හැකි අයුරක් සිතමින් ඒ මොහොතේ සිටි බව දැන් මට සිහිපත් වෙයි. මේ සමුගැන්මෙන් අනතුරුව, ජීවිතය සපුරා වෙනත් මාවතක ගමන් කරවිය යුතු බව මගේ යටි සිත ඉදිරියට පැන ඒ අවස්ථාවේ අණ කරන්නට පටන් ගෙන තිබිණි. අනාගතය පිළිබඳ සිත ඇතුළෙන් අවිනිශ්චිත අරගලයන් කලහ කරද්දී එක පිට එක ඇසෙන අසාමාන්‍ය ශබ්දයකින් තැතිගැන්වුණු මම, ඔබ සාමාන්‍යයැයි පවසන ලොවට පිවිසෙමි.

ඒ 2009 වසරයි. සිංහල හින්දු අලුත් අවුරුදු නිමා වී මසක් පමණ ගත වී තිබිණි. දහ නව හැවිරිදි යුවතියක් බිය කළ හැකි තරමට එක පිට එක පිපිරූ රතිඥ්ඥා හඬට හේතුව, එහා මෙහා වේගයෙන් පසු කර යන්නන්ගේ මුවින් අහුලා ගැනීමට සමත් වූ විගස, මම ද මගේ අතින් අනාරාධිතව ඇදගත් වැඩිමහල් යෙහෙළියකගේ ශක්තියෙන් පාරට ඇදී එමි.

අපි දිනලා.

හැම තැනම රතිඥ්ඥා හඬ රැව් දෙයි. මහ පාරේ වාහන නවතා ඇත. පාර මැදට පැන ජාතික කොඩි බෙදන තරුණයෝ නගරයම අරක් ගෙන සිටියහ. එකිනෙකා බලහත්කාරයෙන් කිරිබත් කවා ගත් උද්දාමය තුළ ප්‍රීතිය මෙන්ම වෛරයක්ද ඒකාත්මිකව තිබූ බව පෙනිණි. ඒ සිතිවිලි වලින් සිත මුදවාලූයේ පසුපසින් ඇසෙන ඔල්වරසන් හඬකි. ඒ දෙස හැරී බැලුවෙමි. තුන්වෙනි හෝ හතරවෙනි අවුරුද්දේ යැයි සැලකිය හැකි තරුණයෙකු කර පිටින් ගෙන නටන කොලු රෑනකි.

ඇයි ඒ?

මම යෙහෙළියගෙන් අැසීමි.  ඇය ද පුවත් නොදැන තවත් අයෙකුගෙන් තොරතුරු විමසන සෙයකි. එතැන සිටි අය කොඳුරාගත් පරිදී ඔහු  හමුදාවේ ඉතා ඉහළ නිලධාරියෙකුගේ පුතෙකි. ඔහු ඔසවාගන්නට ඇත්තේ පියා වෙනුවෙන් සතුට ප්‍රකාශ කරන්නට විය යුතුයැයි අවසානයේ ප්‍රත්‍යක්ශ කර ගතිමි. අනතුරුව මම මගේ බෑගයද රැගෙන යෙහෙළියගෙන් මිදී බසයකට ගොඩවීමි. සැවොම ප්‍රීතියෙන් ය. මිනිස්සු සමූහයක් ලෙස නොතිත් ප්‍රීතිමත් භාවයකට වන්නේ ක්‍රීඩාවෙන් පමණක් නොවන වග  මම සිතන්නට පටන්ගත්තේ එදාය.

***
නෙත් පියාගෙන තවත් වසර එකහමාරක පමණ ඈතට සිහිනය රැගෙන ගියෙමි. ඒ 2007 වසරේ නොවැම්බර් අග දවසකි. ආර්ථික විද්‍යා පන්තිය දෙදරා කළුවර වී යනු දැණිනි. ශබ්ද නෑසුණද, කන් අඟුලු වැටුණාද යන්න අමතක වුවද ජීවිතයේ අත්විඳී අති ප්‍රබලම නිහැඬියාවේ මොහොතක් ගිලී සිටියෙමි. ඉන්පසු ඇසුණු විවිධ ශබ්ද වලින් සහ එකතු වුණු විලාපයන්ගෙන් සමහර කොටස් අදටත් මතකයට පැමිණෙයි. එ් වේදනාවන් සියැසින් දකින්නට තරම් මම අවසනාවන්ත වීම නිසා ඒවා මතකයෙන් ගිලී නොයනු ඇත. අපි මුළු ළමා කාලය තුළම කොතැන පිපිරීමක් සිදුවේදැයි දෙගිඩියාවකින් පෙළුණු අය වෙමු. ඉඳින් තරුණ වියට පා තබන මොහොතේ ඉන් මිදීමේ ප්‍රීතියෙන් උද්දාමයට පත්වීමේ වරදක් නැති බව ඔවුන් සිතනවා විය නොහැකිදැයි මට සිතිණි.

දොරින් දොර සැණකෙළි මසක් පමණ පැවතිණි. මම නැවත කිසිදින තොරතුරු තාක්ෂණ සරසවියට නොගියෙමි. සිතින් බල කළ ගමන් මග වෙනස් විය. ඒ පශ්චාත් යුද සමයයි. මා ගිය අලුත් විද්‍යාලයේ සිංහල සිසුන් ට වැඩිය සිටියේ දෙමළ සිසුන්ය. එය මගේ ජීවිතයේ සුන්දරම කාලය විය.මගේ සුන්දර විසිවයස් වල ඇරඹුම සටහන් කළේ ඔවුන්ගේ දීපවාලියෙනි. කරන් මට මුණ ගැසුණේ ඒ දීපවාලීයේදීය. කුඩා කලු තිලකයක් මගේ නළලත තැබූ ඔහුගේ මිතුරියක්, පහන් දැල්වීම ඔහුටත් මටත් බාර දී ගිය අයුරු අද මෙන් මතකය. කරන් ඉස්සරත් එහෙමය. එක දිගට දොඩමළුය.

අපි එකට ගමන් ගතිමු. ජීවත් වුණෙමු. කෑවෙමු බිව්වෙමු. කිසිම තැනක කිසිම වෙනසක් නොතිබිණි. භාෂාව එදා අපිට ගැටලුවක් විණිදැයි දැන් මට මතක නැත. බොහෝ විට අපිට දෙමළ වැටහුණාද, සිංහල ඔවුන්ට වැටහුණාද මේ දෙකම නොවේ නම් අපි සම්බන්ධීකරණ භාෂාවක් යොදා ගත්තාදැයි සැබැවින්ම මට දැන් මතක නැත. අදටත් මගේ ජීවිතයේ මාවත ඔවුන්ගෙන් සැදුම් ගෙන ඇත. ඒ මිතුරුකම් අදත් මා සමඟම ය. නිතරම කතා බහ කර දුක සැප බෙදාගන්නා ඔවුන් ගැන ඇත්තේ අපමණ ප්‍රේමයකි.

***
නෝනේ..

කරන් ගේ ආදරණීය හඬින් මම සිතිවිලි ලෝකයෙන් අවදි වෙමි. ඇඳ මත රෑ පුරා කියවූ තාරා මගේ දෙව්දුව පිටු පෙරළී ඇත. මම එය තනි අතකින් වසා දමමි.

 මම ගෙදර එන්නද?

කරන් එක් වරම ඇසීය. ඔහු ගෙදර පැමිණෙන්නේ කුමක් සඳහාද, මට එක්වර අවබෝධ නොවීය. කරන් මිතුරන් සමඟ තුන් හතර වතාවක් අපේ නිවසට පැමිණි මුත්, තනිවම කිසි දිනක පැමිණ නැත. කාරණාව අඩමානයට සිතිය හැකි බව විඥාණය පැවසූ නිසා රහසින් මෙන් ඇයි දැයි ඇසුවෙමි. උත්තර දෙන්නට ඔහු මඳක් පමා කළේය.

මට ඔයාව බඳින්ඩ ඕනෙ කියලා අම්මලාට කියන්න මං එන්නං

ජාතිවාදය ගැන හාංකවිසියක්වත් හිතට නාවද, එක්වර උපන් වික්ෂිප්ත බවකින් තිගැස්සුණෙමි. මා කුමක් කිව යුතුදැයි එවෙලේ නිසි ලෙස අවබෝධ නොවුණත්, මගේ දෙතොලෙන් එක් වරම වචන දෙකක් පිට විය. එය සිතාමතා නොකී බවත්, යටි සිතේ ප්‍රබල කම්පනයකින් මුදා හල වචනම පමණක් බවත්, මට සපථ කළ හැකිය.

අපි සිංහලනෙ.

ඒ මුදා හැරීම සමඟ, මගේ සිතට එක්වරම පැමිණියේ ඔහු කොන් කළ බවට හැඟීමකි. සිංහල දෙමළට වඩා උසස් බව ඔහුට නොකියා කීවා නොවේදැයි එක්වරම මගේ සිත මට දොස් පවරන්නට විය. සිතා ගත නොහැකි තරමට කම්පනය මුදා හළ සැණෙකින් මා බිය වීමි. බියට වඩා එය වේදනාව මුසු අතුරු හැඟීමකි. හැඟීම් අකුරු කරන්නට තවම මා අසමත් ය. හැඟීම් ඇත්තේ අකුරු වලට ඉහළිනි. එහෙත් කරන් යළිත් තම සුපුරුදු ලගන්නා සිනා හඬ නිකුත් කළේය. එහෙත් එපමණක් නොසෑහේ. එය ඔහුගේ ප්‍රහර්ෂයේ මෙන්ම අධික ඛේදයේද එකම සංකේතයයි. ඔහු කුමක් හෝ කිය යුතුය. අඩුම තරමේ මට බැනිය යුතුය. මා හා තරහ විය යුතුය. අනතුරුව මට සුසුමක් ඇසුණි. දොඩමළු බව පහව, වගකීම් සහගත හඬකින් ඔහු කතා කළේය. ඒ තුළ වූයේ ස්ථාවර බවකි. කෙටියෙන්ම කිවහොත් උපරිම පිරිමි බවකි.

සින්න දේවදෛ.. මේ අහන්නකො. මට පුළුවන් ඔයාගෙ මුළු පවුලටම වුණත් ලේ දෙන්න. ඒ මං ඕ පොසිටිව් නිසා.

දොඩමළු හඬ නතර කළ තැන ඔහු පවසන සෑම දෙයකම බර වැඩිය. ඉන් එහා කතා කරන්නට නොහැකිය. කරන් අවසානයේ තීන්දු කර ඇත. පුරුෂයන්ගේ ලෝකයට ජාතිය හරස් වන්නේ නැත. ඒ හැඟීම් මත දිවෙන ආධිපත්‍ය යේ හැටි ය. මම කිසිවක් නොකියා  යාපනය සිතින් දකින්නට වෑයම් කරමි. වසර තුන හතරකට පෙර ගිය ඒ යාපනය අද තවත් පිරී ගිය නගරයකි. අපට අලුත් කෝච්චියේම යන්නට හැකි වනු ඇත. මම පොලිතින් නොකැඩූ සීටි වල සුවඳ සිහිපත් කරමි. සිත තුළින් අවිනිශ්චිත බව පහව ආලය ඉපදෙමින් සිටියි.

මට නල්ලූර් යන්න ඕනෙ.

මම ඔහුට කියමි. මගේ සිතැඟි හඳුනාගත්තෙකු මෙන් ඔහු යළිත් ලගන්නා ස්වරයෙන් හිනැහෙයි. අවසානයේ කතා කරයි. ඒ සිනහව මුසු වචන තුළ වන්නේ කිසිවෙක් කිසිදා මා තුළින් මිහිපිට කිසිවෙක් හඳුනා නොගන්නා ප්‍රේමය හඳුනාගත්තෙකුගේ ස්ථාවරත්වය මිස ජාතිය හෝ භාෂාව නොවන බව පමණක් මම දනිමි.

ඔව් වැල්ලවත්තට වඩා එහෙ අයිස්ක්‍රීම් කොලිටි!


10/16/14

-247- කවුළු වලින් එබීමේ විපාක

 සමනල්ලු පස්සෙ දුවන කෙල්ලෙක්ව කිඹුලෙක් අරන් යයි කියලා කවුද හිතන්නෙ. ඒ වචන ටිකට මම පුදුම විදිහට බැඳිලා. 


මේ කතන්දරේ කොහොම තොතැනින් පටන්ගන්නවාද කියන එක ටිකක් විතර ප්‍රශ්නයක් තමයි. ඒත් ඉතින් කොතැනින් හරි පටන් ගන්න වෙනවා. මේ ලියාගෙන යන විදිහ වුණත් කෙනෙක්ට විදග්ධ  නෑ කියලා හිතෙනවා නං මම කියන්නෙ මින් එහාට කියවන එක ඇත්තටම එහෙම හිතන කෙනෙක්ගෙ කාලය නාස්ති කිරීමක් කියලායි. කොහොම වුණත් මම තීරණය කරනවා මෙන්න මේ විදිහට පටන් ගන්න.

මුලින්ම කියන්න කැමතියි. මේ මම ලියන්නෙ විචාරයක් නෙවෙයි. රසාස්වාදනයක් ? නෑ.. එහෙම එකක් වෙන්නත් බෑ. මම ලියනවා දෙයක්. ඒක කිට්ටු මොකකටද කියලා මට මේ වෙලාවෙ කියන්න බෑ. සමහරවිට ඉවර වෙද්දි කියන්න පුළුවන් වෙයි. ඒත් ඒක එච්චර වැදගත් නෑ. මේ පොත මම ගත්තෙ සැප්තැම්බර් 11 වැනිදා. බුක්ෆෙයාර් එකෙන්. B-100 ස්ටෝල් එකේ හිටිය හුරුපුරුදු විදර්ශන කවුන්ටර් එකේ සොහොයුරිය
( මම දන්නෙ නෑනෙ අක්කාද නංගිද කියලා) මට මේ පොත ගන්න කිව්වා. එහෙම කිව්වෙ ඒක හරියට මම ගත්තෙ නැත්තං මම අපරාධකාරියක් ගාණට වැටෙනවා වගේ මූඩ් එකකින්. “ ඔයා හැමදාම අලුත් පොත් ඉල්ලනවා. දැන් ඔන්න අලුත් පොතක් තියෙනවා අරගන්න.“   ඒකෙන් එයා අදහස් කළේ අනිවාර්යෙන්ම මම පොත ගන්න ඕනෙ ක‍ියන එක. ඔව් ඒක පිටු ගොඩක් තියෙන පොතක්. ඇත්තනේ අපි දැන් කියවන්නෙ ලොකු පොත්.

ඒත් මුලින්ම මම දැක්කෙ කවරය.

කවරෙ මඩ පාට ලේ තැවරිච්ච ගතියක් එක්ක පාවෙන ඉරිච්ච සළුවක් තිබ්බා. ඒ සළුවෙන්ම දුමාරයක් වගේ සමනල්ලු පා වුණා. ඇත්තටම උන් ලේ පාටයි. ඒ සමනල්ලු කුරුල්ලො වෙලා ඉගිලිලා ගියා. හැබැයි කුරුල්ලො ඒ පාට නෙවෙයි. නිම්නයක අහසට දෑත විහිදලා නිදහස් මුද්‍රාව තුළ ගිලුණු පිරිමියෙක්. කොපුලට කොපුල තියාගෙ සැනසිල්ලෙ ඉන්න කපල් එකක්. රතු සලුවක් දෙපා වල පැටලිච්ච කලු ඇඳුමක් ඇඳපු ගැහැණු කෙනෙක්ගෙ පසු ඉරියව්වක්. හැබැයි ඇයට උඩින් අතක් ඈතට දික් කරපු ප්‍රතිමාවක්. හරියට සැබෑ ගැහැණියක් ක්‍රමයෙන් ප්‍රතිමාවක් වෙනවා වගේ. ඒ ගෑණු ප්‍රතිමාවෙ අතේ තිබ්බ කවාකාර වලල්ල අස්සෙන් අර කුරුල්ලො පියඹලා යයි කියලා නිකමට හිතෙනවා. හැබැයි ඒකට ටික වෙලාවක් බලා ඉන්න ඕනෙ. ඒ එක්කම තව ප්‍රතිමාවක් තිබ්බා.  ඒකෙ සර්පයෙක් එතිලා. ඒ පත්තිනිද, මරිය මව්තුමීද, ඇත්තටම මම දන්නෙ නෑ. කොහොම වුණත් අර වලල්ල සළඹක් වෙන්න බැරිකමක් නෑ.

පොතේ නම කම්පියුටර් අකුරෙන් හදලා දුවනවා වගේ ඇදලා තිබ්බා. ඒ නමෙත් කුරුල්ලො පියෑඹුවා. ඒ වගේම ර අකුරෙන් ගැහැණියකට තිලක තියලා.එතන රේන්ද සමනළයෙක්. අර නිදන ඇඳුම් වල තියෙන්නෙ.  ඕක තමයි මුල් කවරෙ.

පොත ලියලා තියෙන්නෙ කෞෂල්‍ය කුමාරසිංහ. එයා තමයි කර්තෘ.  පිටිපස්ස බැලුවෙ ටික වෙලාවයි. රතු නිල් ක්ලිප් දෙකයි. කරාබු දෙක ගාණෙ දාලා පිට හරවගෙන ඉන්න ගෑණු ළමයයි. පරණ වලව් ගතිය තියෙන පිත්තල දොර අඟුලයි, උඩ යට ගහපු ටවර්ස් දෙකයි, මුහුද දිහා බලං ඉන්න කාල තුවක්කුවයි හැරෙන කොට...   නැහැ ඇයි අර කාන්තා රෑ ඇඳුම සහ ඒ අසල උන්න අනෙක් ජෝඩුව. එහා පැත්තෙ ජනේලය.. ඒ ජනේලයෙන් පෙනෙන පිටත..මම ඒ ටිකත් හොඳින්ම දැක්කා.

කතාවක් ගැන හිතන්න පිටින් පටන්ගන්න තරමට කතාව අවබෝධ වෙනවා වැඩියි. මම පොත ගෙදර ගෙනාවෙ නිකමට. තාරා මගේ දෙව්දුව කියවලා, මේ පොත කියවන්න ගත්තෙත් නිකමට. ස්තූතිය මිසක් පෙරවදන දැක්කෙ නැති නිසා කෙලින්ම මට සිද්ධ වුණේ පොත කියවන්න. ඇත්තටම සමහර පෙරවදන් කියෙව්වාට පස්සෙ කියවන්න නොහිතෙන පොත් වුණත් නැතිවම නෙවෙයිනෙ.

මේ රහස් කවුළුවෙන් එබෙන්නෙ කෞෂල්‍ය. මම හරිම කැමතියි එයා බොහොම පරාර්ථකාමී විදිහට අපිත් එක්කම එබෙන එක ගැන. එයා දකින දේ අපිට කියනවාට වඩා, අපිත් එයා එක්කම යන එකේ ගතිය වැඩියි. පොත පටන්ගත්ත විදිහට මම ඇත්තටම කැමති වුණා. ඒකෙ මම හොඳට දන්න තැනකින් පටන්ගත්ත නිසා මට කතාව දිගේ ඇවිදින්න ලේසි වුණා. ඒ වගේම මං ඇත්තට දැකපු දේවල් එකක්වත් බොරු කරන්නෙ නැතිව ලියපු එකට මම කෞෂල්‍ය ගැන පැහැදිලා හිටියෙ. එහෙම වුණාම එයාව විශ්වාස කරන්න සිද්ධ වෙනවානෙ. පොත ලියපු කෙනා විශ්වාස කළාම එයා අපේ කෙනෙක් වෙනවා. හොඳම වැඩේ තමයි එහෙම වුණාම එයා අන්තිමට මොනා කළත්, අපි හිතන දේම කරයි කියලා ඇතිවෙන හැඟීම. එහෙම වුණාම පොතේ අන්තිම හොරෙන් වත් බලන්න හිතෙන්නෙ නෑ.  මම වෙන හැම පොතම එහෙම කළා එකක් දෙකක් හැරෙන්න. කෞෂල්‍ය තමන්ට හම්බවෙන එක්කෙනෙක්වත් අත අරින්නෙ නෑ. හැම කෙනෙක් ගැනම අපි එක්ක කතා කරනවා. හැබැයි එක්කෙනෙක්ගෙවත් මනස ගැන එයා අපි එක්ක කතා කරන්නෙ නෑ. එයා කතා කරන්නෙ පිට ඉඳන්. සමහරවිට ඇත්තටම ඇතුළ හිස් නිසා වෙන්නත් බැරි කමක් නෑ.

මේ පොතේ චරිත ගොඩක් ඉන්නවා. තිවංක, කේෂානි, අසී , උවනි, නේත්‍රා, පද්මි , සඳා , කමල්, කමල්ගෙ ගෙදර අය (විශේෂයෙන් පොඩ්ඩි සහ අම්මා තාත්තා ), ටානියා, උඩින් වැටෙන ආච්චි, එයාගෙ මිණිබිරි, දසුන්, සිගරට් අහුලන ගෑණු කෙනා රාලියා , ත්‍රීවිල් කාරයා. ඇයි ටානියාගෙ මිස් ශ්‍රී ලංකා වෙන නංගි, ලෝයර් ඩිලාන්, තිවංක ගෙ නංගි, හරිනි..ටානියාගෙ මොංගල් අක්කා.. ඔව් එක සැරේ පෝලිමට හිතට එන්නෙ ඔය අය.. මේ හැමෝම එක්කෙනෙක්ට එක්කෙනෙක් මුණ ගැහි ගැහි අපූරු කතාවක් ඇතුළෙ එහාට මෙහාට පෙරලෙනවා. කතාව කියන එකෙන් කෙනෙක් පොත නොකියවන්න හිතුවොත් ඒක අපරාදයක් නිසා මම කතාව කියන්නෙ නෑ. ඒත් මට හිතෙන දේවල් කියන්න මට හරි හදිස්සියක් දැනෙනවා.

මේ කතාව අපේ වර්තමාන නාගරික සමාජය එක්ක කෙලින්ම සම්බන්ධ වෙනවා. මේ තනිකරම කොළඹ. කොළඹ කියන්නෙ හැම තැනින්ම එකතු වුණ මික්ස්චර් එකක්. ඒත් මේ හැම සමාජ සම්බන්ධයක්ම එකින් එක මුණ ගැහි ගැහි මකුළු දැලක් වගේ අපි වටේම පැටලෙනවා. . ඒ වගේම පන්තීන් අනුව අවශ්‍යතා හා වුවමනා, ප්‍රශ්න සහ ගැටලු එකිනෙකට වෙනස්. හැබැයි හැම කෙනෙක්ම අනෙකා එක්ක කොතනින් හරි සම්බන්ධ වෙලා.

දරුවන් නැති තරුණ න්‍යෂ්ටික පවුල් වටා ප්‍රධාන වශයෙන් කැරකෙන මේ කතාව ගමෙන් කොළඹට එන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගෙ ගැටලුත් ඒ අස්සෙන්ම පෙන්වනවා. නගරයේ තරුණ කාන්තාවක් තුළ නැති හැඟීමක්  ගමේ තරුණ කාන්තාවක් තුළ ගලා යනවා. ගමට නගරයට වඩා හීන තියෙනවා. ගමේ වතු වල පියා සලන සමනල්ලු, නගරයේ ඉන්නෙ පත්තර බරු අස්සෙ හිර වෙලා. නැත්තං ටීවී ඇතුළෙ. ඒත් ගමෙන් ආපු කෙනෙක්ට නගරයෙත් පියාඹන සමනළයෙක් බැලිය හැකි විරලමය ඉඩක් තියෙනවා.

අපි නොහිතන පුංචි දෙයක් හෝ කෙනෙක් අපේ ජීවිතය තුළ කොයි තරම් කලබැගෑණියක් ඇති කළ හැකිද කියන දේ මේ නවකතාව පුරාම ඇදිලා යනවා. කමල්, දසුන් වෙනුවෙන් තිබ්බ ප්‍රොටෙස්ට් එකට කඳුළු ගෑස් නොගැහැව්වා නම්, අසී හෝ කේෂුට සීඩී යන එකක් නෑ. කමල් පෝස්ටර් අලවන්න නොගියා නම්, සුදු වෑන් නොඑන්න තිබ්බා. ඔහොම ගොඩක් දේවල් මේ පොත කියවද්දි දැනෙනවා. 

කතාව ඇතුළෙ විශාල අවසානයන් නෑ. ඒත් ජීවතුන් අතර ඉන්න චරිත ඉන් එහාට මොනවා කරයිද කියලා අපි දන්නෙ නැති නිසා අවසාන කළා නම් ඒක සාධාරණයි. අනික සුදු වෑන් එකකින් අරන් ගිය  කමල්ගෙ චරිතෙ වගේ දෙයක් ගැන ඉන් එහාට කතා කරන්න බෑ කියලා  බව අපි අත්දැකීමෙන් දන්නවාන‍ෙ. කොහොම වුණත් ඉහළ හෝ පහළ මධ්‍යම පාන්තික ජීවිත ගැන කතා කරන එක තමයි මේ ලෝකෙ තියෙන අමාරුම වැඩේ. ඒ වගේ දේකට අතගහපු එක ගැන කෞෂල්‍ය නැමති ලේඛකයාට ස්තුති කරනවා.

පොත අවසන් වෙන විදිහට නම් අනිවාර්යෙන් කෞෂල්‍ය අපිට වෙනස්ම සමාජයකට ආරාධනා කරනවා කියලා මට දැනෙනවා. ආගමක් නැති සමාජයකට හෝ සර්ව ආගමික සමාජයකට. මට ඒක තේරෙන්නෙ නෑ. ඒත් දේශපානමය වශයෙන් ගෝත්‍රික සමාජයට කිට්ටු පශ්චාත් කොමියුනිස්ට් සමාජයක් වගේ එකක්ද කියලාත් හිතෙනවා. තමන්ට තමන්ගෙ බිරිඳ ගැන වුණත් අයිතියක් නොපතන විදිහෙ සමාජයක්. ඒක කිට්ටු ගෝත්‍රික සමාජයකටද කියලාත් හිතෙනවා. මොනා නමුත් ඔහු අපිට අලුතින් හිතන්න ආරාධනා කරනවා.

කොයි කොහොම වුණත්, මේ පොත කියවන්න ආසා හිතෙනවා එක හුස්මට. තව පාරක් සෝදු පත් බැලුවොත් හොඳයි කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. ඒත් මේ පොතේ නීලංකාර දර්ශන ඕනෙවට වැඩියිද  කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් ඒක කියවගෙන යද්දි නම් එහෙම දැනෙන්නෙ නෑ කියලා ස්ථිරෙට කියත හැකි. මේ පොතේ අනවශ්‍ය දේවල් නැතිම තරම්. එකකට එකක් බැඳගෙන ඉන්නෙ ජීවී අජීවි සමනළුන්ද කියලා හිතෙන තරමට මේ සොඳුරු වියමනක්. පද්මිගෙ ලිව්වා කියන කවියක් ගැන පොතේ තිබුණාට, ඒ කවියෙ එකපදයකට වඩා පොතේ තිබුණෙ නෑ. ඒ නිසා, මම ඒ කවිය සම්පූර්ණ කළා. කොහොම වුණත් මේක කියවද්දි මට බාබෙල් කියන චිත්‍රපටිය සෑහෙන වතාවක් මතක් වුණා. හනේ මංදා!

බොහොම දුර පියඹද්දි
වෙහෙසයි
මඳ සුළඟ වුණත්
හරි කටුකයි
අප දුටුව අප ද
හරි අමුතුයි
හිතට පාවෙන්න
බැරි ඒකයි!
වැස්ස දැක රඟන
තුණු මොණරු
ගල් තලා මත
සොයන නුහුරූ
ආනන්දයෙන්
පොවා මියුළු
කොහාටද යන්නෙ 
සමනල්ලු!!


10/4/14

-246- සාරා | Tousand Unknown Flowers


ලියන්නම කියලා හිත බලකළත්, ලිවිය යුතු දේ තේරුම් ගන්න බැරි තරමට හිත ඇතුළෙ සිද්ධීන් සහ හැඟීම් කැළඹිලා. ඒ කැළඹීමට එදා වගේම අදත් මම හරි බයයි. ආවේගයන් විසින් කියන ලියවන දේ, හදවතට මිසක් බුද්ධියට අනුකූල නොවෙන අවස්ථා ජීවිතේ වැඩියි. ඒ අවස්ථාවන් තම ආත්මය වගේම අන් ආත්මයන් විනාශ කිරීමේ සම්භාවිතාව ඉහළයි. ඒත් ඔබට  සාරා ගැන කිසිවක් නොකියා සිටියොත්, එය මට හමුවූ හොඳම යෙහෙළියකට කරන ලොකුම අසාධරණය වේවි.
*******
සරෝජිනී නායිදු ලියූ Indian Weavers , ඇය රිද්මයානුකූලව පන්තියටම ඇසෙන ලෙස කියෙව්වාය. අපේ පන්තිය හැර කාමර වලින් වෙන් නොවී තිබුණු අවට පිහිටි පන්ති හතරම ඇගේ හඬට ඒ මිනිත්තුව දෙක නිහඬ විය. ඒ කියුම්කාරී මා ආදරණීය යෙහෙළිය සාරා ය. ඇය කවිය කියවා අවසාන වී ලෑලි අසුනේ හිඳගනී. නින්නාද වන මගේ සිතිවිලි එකතැනකට කොටු කර මම ඇය දෙස බලමි.  අනතුරුව ඈ මගේ කනට කර මෙසේ පවසන්නීය. 

“ කණකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සළුව වියන්නේ
මිය ගිය ඇයගේ මිනිය වහන්නයි සීතල සළුව වියන්නේ“

සරෝජිනීගෙන් සේකරට, සේකරගෙන් තවත් කෙනෙක්ට ජීවිතය වගේම කවියත් පෙරළි පෙරළි ඇදෙනවා. 
ඒ තමයි ජීවිතයෙ වගේම කවියෙත් හැටි. වචනයක් දෙකක් තේරුම් කිරීම ආරම්භ වන විටම කාලපරිච්ඡේදය හමාර බව සටහන් වුණා. ඇය ඈත වැවත්, එපිටින් පෙනෙන පාලමත්, බුදු මැදුරත් දෙස හැඟීම් තේරුම් ගත නොහැකි දෙනෙතකින් බලා සිටීනවා. මේ තමයි විවේක කාලය. ‘බඩගිනියි. මම ඇයට කියනවා. ‘ පෑන් කේක් ඇති බෑග් එකේ අරගෙන කන්න. ඇය මා දෙස නොබලාම උත්තර දෙනවා. සාරා ඉස්සරට වඩා දැන් වෙනස් . තනි වුණ බොහෝ වෙලාවට ස්නායු අඩපණ වුණ කෙනෙක් වගේ හැඟීම් විරහිතව අනන්තය දිහා බලා ඉන්නවා. වැඩි වෙලාවක් එහෙමයි , සිදුවණ කිසිවක් ඇගේ මතකයේ නැහැ. සමහර දවස් වලට ඇය බසයට පවා නගින්නේ අප මතක් කළ පසුවයි. දැන් ඈ, ඈ දිහාව නෙත් නොහෙළා බලා හිඳිනා මා දිහාව බලා සිටිනවා. ‘අපි අද හවසට පත්තර සුවඳ බලන්න යමු ද?  ඈ තද දුඹුරු පැහැ ඇස් මගේ නෙත් වලට ඔබමින් මගෙන් අහනවා. ‘සුවඳක්  බලන්නෙ කොහොමද සාරා.. මම ඇයගෙන් ප්‍රශ්න කරනවා. ‘ මට පුළුවන්.. ඈ ඇගේ  කතාව ඒ කෙටි වචනයෙන් අවසාන කරනවා.

මේ ලෝකය පුරා ඇය කැමතිම සුවඳ වර්ග ලැයිස්තුවක් ගන්නට මින් පෙරදිනක මම වැර වෑයම් කළා. වතුරෙන් එන පල් සුවඳ, පරණ ගබඩා කාමර වලින් හමන සුවඳ, පත්තර තීන්ත සුවඳත , භූමිතෙල් සහ ඩෙටෝල් සුවඳ ඒ අතර ඉහළින් තිබ්බා. එහෙත් ඈ කිසිදා නොකියූ සුවඳක් ඇගේ සුවඳ ලැයිස්තුවෙ තිබුණා. “ඒක ෆර්ෆියුම් එකක සුවඳක්, ඒත් නම අහන්න එපා. ඇය බාග උත්තරයක් දීලා මාරු වෙනවා. ‘ ඇයි මම ඒක ගන්නවාට බයද? මම ඇගෙන් නෝක්කාඩුවට අහනවා. ඇය සිනා වේවී මා දිහා මොහොතක් බලා ඉන්නවා. හරියට මං ගැන දුකෙන් වගේ. ‘ ඒ සුවඳ ඔයාට ගන්න බෑ. මොකද ඒ සුවඳ එන්නෙ ෆර්ෆියුම් එකෙන් විතරක් ම නෙවෙයි. ඈ මා නොදන්න ඈ හඳුනන සුවඳ ගැන එහෙම කියලා මාව සනසවනවා.

සාහිත්‍ය සමිතියේ ඉදිරිපත්කිරීමේ නම් ලැයිස්තුව අතින් අත එනවා මට පෙනෙනවා. ‘ නම ලියන්නද? පුටුවකට හේත්තු වී කපුටු ජෝඩුවක් දෙස බලා සිටිනවා යැයි සැක කළ හැකි ඉසව්වක දිහා දෑස් රැඳුණු සාරා ගෙන් මං අහනවා . ඈ කිසිවක් නොකියා මා දිහාව එක පාරක් බලලා ආයෙ ඇස් ඇරගෙන භාවනාවෙ. එහෙත් ඈට අනිවාර්යෙන් ම ගායනාවක් කරන්නම වෙනවා. පළවැනිම දවසෙ ඇගේ ගායනාවෙන් වසඟ වූ සාහිත්‍ය අනුශාසක ගුරුතුමා හැමදාම අැගෙන් ගීයක් ඉල්ලනවා. ඉතින් මං හැමදාමත් ඇගේ නම ලයිස්තුවෙ ලියනවා.

ඉතිරි කාල පරිච්ඡේද කිහිපයම ඈ අපි එක්ක නොඉඳ, වෙන ලෝකෙක හිටිය බව මට දැණුනා. සිරුර විතරක් එහා පුටුවෙ ඔහේ තිබුණා. වෙලාවකට දිලිසෙන තව වෙලාවකට කඳුළු පිරෙන ඒ ඇස් දුටුවේ මා පමණකැයි මං විශ්වාස කරනවා. ලුවිස් ලෝරන්ස් නම් කිවිඳිය එයාගෙ පෑනට අමුණපු , Children of the dust  නවකතාවේ ඉන්න සාරා , මගේ හිතවත් සාරාගෙන් මං මවා ගන්නවා.  කාමරයක හිර වෙලා තමන් එක්ක  ජීවත්ව වෙන අයගෙ අනාගතය , ආරක්ෂාව ගැන හිත හිත ඒ අයට කොන්දේසි රහිතව ආදරේ කරපු සාරා මට මතක් වෙනවා. ඒ සුන්දර මිනිස් දියණිය සාරා මේ මොහොතේ සිනා කඳුලු සහ වේදනාව මෙන්ම ජීවිතය හිරවුණ සාරාගේ නෙත් තුළින් මම දකිනවා.

මගේ දැහැන බිඳගෙන සාහිත්‍ය සමිතියේ පුරුදු හඬක් සාරා ට කතා කරනවා. ඈ දෙනෙත් බිමට හරවා නැගිටිනවා. නැවත ඇගේ දෙනෙත් මට පමණක් නොව අප හැමෝටම සැණෙකින් හමුවනවා. ඈ අප හැමට ඉදිරියෙන් අපට මුහුණලා අපේ මුහුණු දෙස බලා ඉන්න හැටි මට පෙනෙනවා. දැන් ඒ නෙත් වල බලාපොරොත්තුවම විතරක් දිලිහෙනවා. ඈ හරිම  සෞම්‍ය හඬකින්..  අද ඔක්තොම්බර් 4 බව අපි හැමටම කියනවා. කැලැන්ඩරෙත් ඒ බව පෙනෙනවා. හැමෝම ඒ බව දන්නවා. ඒ නිසාම පුදුමයෙන් අපි ඈ දිහා බලනවා. ඒ ඇයිදැයි කිසිවෙක් ඇසුවේ නෑ වගේම, අපිට හේතුවක් කියන්නට වුවමනාවක් ඈට තිබුණෙත් නෑ. දැන් ඇය ගායනා කරනවා. අපේ පන්තියද, අවට පන්තිද හමා යන හුළඟ සමඟ ඇගේ ගායනයට ඒකාත්මික වෙනවා. ඈ වටා දහසක් නොදන්නා මල්ද, ඉටිපන්දම්ද මවා ගන්නට මම උත්සාහ කරනවා. 

********
Edelweiss, Edelweiss
Every morning you greet me
Small and white, 
Clean and bright
You look happy to meet me
Blossom of snow may you 
bloom and grow,
Bloom and grow 
forever
Edelweiss, Edelweiss
Bless my homeland forever

9/30/14

-245- රෝස වලාකුළු

දොවා කඳුලින් මලක් ඉකිලන
වසා පෙම්බර නිල් නුවන්
දමා හැර යන හිතාදර
බඹරිඳුනි මේ කවි පද අසන්..

අහස මත තවමත් විසුල
සුදු වලාකුළකින් මඟ අසන්
නුඹ නමින් පණ අදින
අසරණ මල් සිඟිත්තිය සොයා එන්..

ඇගේ දුක් බර සිහින හිනැහෙන
ජීවිතෙන් බිඳුවක් අරන්
පාට වේවා මේ වලාකුළු
රෝස පාටින් සෑම කල්..

2014 සැප්තැම්බර් 30

-----
රෝස වලාකුළ ලියන්න අරගෙන අදට හරියටම අවුරුදු හයක් ගෙවිලා ඉවරයි. කියවපු අයට ස්තූතියි.

8/8/14

-244- ආදරණීය තුවක්කුකරු | Dear Gunman

“අහස“. අකුරු තුනක, හරි පුංචි වචනයක්. ඒත් ඉහළ බැලුවම, පුංචි නෑ කියලා කෑ ගහල අඬන්න හිතෙන තරමට මහා විශාලත්වයක් ඒ අපූර්ව අහසට තියනවා. අහස තරමටම නැතත් පොළවත් ඒ තරම්ම විශාල ඇති කියලා හිතන්න, ලිහිණියන්ට දැනුමක් තිබුණා.

තමන්ට කවදාවත් එකතු වෙන්න බෑ කියලා දැනගෙන හිටි අහසෙයි පොළවෙයි උහුල ගන්න බැරි ආදරයට මොහොතකට එක්වෙන්න ඉඩක් දෙන්න පුංචි වැස්සක්  අහඹු සිප වැළඳ ගැනීමක් අරගෙන සැරින් සැරේ කඩා වැටුණා.

මේ ආදර පණිවිඩය හැමෝටම ඇහෙන්න ගායනා කිරීම , වැහි ලිහිණියන්ගෙ පාරම්පරාවේ රාජකාරිය.

මෙරු පිරිස  ඔය කාරිය  බලෙන් පවර ගන්න නිතරම උත්සාහ කළා. ඒත් සර්ව සාධාරණ දෙවියන් වහන්සෙ තමන්ගෙ තීරණය කිසිම වෙනස් කළේ නෑ.

හැම වැහි ලිහිණියකටම මේ ආදර කතාව කියන්න, සහකාරයෙක් ලැබෙනවා. ඒත් අනුන්ගෙ ආදර කතාවක් තමන්ගෙ කරගෙන ගායනා කරන එක කොයි තරම් අමුතු, එපා කරපු  කම්මැලි වැඩක් ද කියලා ඒ හැමෝටම හිතුණෙ නෑ. සමහරවිට හිතුණත් ඒක ඔල්මොරොන්දං සිතිවිල්ලක් කියලා කාටවත් නොකියා හංග ගන්න ඒ අය පුරුදු වුණා. කුරුල්ලො වුණාම ගී ගයන එක නම් කොහොමත් සිද්ධ වෙන්නම එපැයි.

මුහුදට කිට්ටුව, කිඳුරු ගීත ඇහෙන මානෙ ගල් දෙබොක්කාවෙ පුංචි කූඩුවක හැදුණු සුන්දර වැහි ලිහිණියක් උන්නා. හැම වෙලාවෙම ඇය ගොඩ නැගුවෙ එයාගෙම කතාවක්. ඒවා වැඩියෙන් කිට්ටු සුරංගනා කතා වලටද නැත්තම් ඇත්ත කතා වලටද කියලා හිතන්න ඇයට වගේම වෙනින් කාටවත් උවමනාවක් තිබු‍ණෙත් නෑ. ගල් දෙබොක්කාවෙන් මුලින්ම දොරට වඩපු දවසෙදි ලිහිණි කුරුල්ලො ඇයව වට කරගන්න තුරුම.

කොයි ලිහිණියා එක්කද තමන් පාරම්පරික ගීතය ගයන්නෙ කියලා තෝරාගැනීමක් කරන්න ඇයටත් සිද්ධ වුණා. රසත් එක, ප්‍රමාණයත් එකම වගේ ටොෆි ගොඩකින් කැමති ටොෆිය තෝරනවා වගේ මහ අප්‍රභංශ කම්මැලි එපා කරපුම වැඩක් වුණත්. ඒක නියතියක්. අහඹු ලෙස තෝරා ගත්ත එක ලිහිණියෙක් ඇයට හොඳයි කියලා නිකමට හිතුණා. එක්කො සමහර විට හොඳයි කියලා හිතන්න ඈ උත්සාහ කළා.

කොහොමහරි ටික දවසක් යද්දි ගීත ගයන සෙල්ලම ඉක්මනටම ලිහිණි කිරිල්ලියට එපා වුණා. එකම වගේ අය වුණත්, එක වගේ දේවල් වලින් සතුටු වෙන්නෙ නෑ කියලා දැන ගත්ත පුංචි වැහි ලිහිණිය තනියම කාලය ගත කරන්න පටන් ගත්තා. කාලය කියන්නෙත්, ගත වෙන දෙයක්නෙ. ඉතිං තත්පර, පැය, දවස් අවුරුදු එකතු වෙලා ටික ටික කාලය ගත වුණා. ටිකෙන් ටික පාරම්පරා ගීතයත් වැහි ලිහිණියට අමතක වුනා. එක්කො ඇය අමතක කළා වෙන්නත් පුළුවන්..

මම මේ කතන්දරය කියන ඔයාට කියන දවසෙ, ඉර නිදියනවද නැද්ද කියලා අහසෙ ගැට්ටට වෙලා කල්පනා කරන වෙලාව. අලුත් ගීතයක් හොයාගෙන, නමක් නොදන්න මුහුදු කරයේ ඈත ඈත ගල් පර අස්සෙ, ඉගිල ගිය පුංචි වැහි ලිහිණි කිරිල්ලි, පැතිරුණු විරල රතු පැහැයක් දැක්කා. අහස වතුරට දිය කරන දේදුනු පාටින් මතුවෙන රත් පැහැයට වඩා අමුතු තද පැහැයක් මේ රතු පාට ඇතුළෙ පෙනෙන්න තිබුණා. ළඟට එනවිට ඒ සුන්දර දසුන බොහොම අසුන්දරව ඇගේ ඇස් වෙලා ගත්තා. ලේ වැකුණු පියාපත් ගල් තලාව පුරාම විසිරිලා තිබුණා.

වට පිට විමසිල්ලෙන් බලද්දි, පැත්තක වෙහෙස කාරී මුහුණෙන් ඉන්න තුවක්කු කරුවෙක් දකින්න ඇයට වැඩි වෙලාවක් ගියෙ නෑ. ඈ පියඹා නොගිහින් තුවක්කුකරු දිහා බලා හිටියා.. මුලින්ම පුදුමයෙන්...ඉන්පස්සෙ බියෙන් අවසානයේ කුතුහලයෙන්. මොහොතකින් ඇය ඔහු ළඟටම ගියා.

තුවක්කු කරුගෙ නිශ්ශබ්ද දුඹුරු පැහැති ඇස් වල අප්‍රමාණ නිශ්චලත්වයක් තිබුණා. හැඟීමක් දැනෙන නොදැනෙන සේයාවක ඔහු අතරමං වෙලා හිටියා වගෙයි. ඈත පෙනෙන රළ නැගෙන මුහුද දිහා ඔහු එක එල්ලේම බලං හිටියාද, එහෙම නැත්තං මුහුදත් ඔහුත් පමණක් දන්නා රහසක්, මුහුද සමඟ නිහඬව ම ගිල ගනිමින් හිටියාද කියලා තේරුම් ගන්න ඇයට අපහසු වුණා.

ඔහුගේ තුවක්කුවෙන් පැමිණි එකම උණ්ඩයක්වත් ඒ කිසිම පියාපතක් දැවටිලා තිබුණෙ නෑ කියලා පෙනී යන්න වැඩි වෙලාවක් ගියෙ නෑ ඇයට . එක එක සෘතූන් වලදි වැහිලිහිණියො විහින්ම කොටලා, ඈත ගල් පර අස්සෙ මිහිදන් වුණ වැහි ලිහිණි කිරිල්ලියන්ගෙන්,තවත් කිහිපදෙනෙක් විතරයි මේ. වැහි ලිහිණි කිරිල්ලියන් වෙනුවෙන්, උපන්න කඳුලක්  තුවක්කු කරුගෙ දෙනෙත් වලින් හිර වෙලා ඇතුළට ගිලුණා. ඒ දීප්තිය දිහා රෑ ගෙවෙනකම් බලා ඉන්න තරම් හිතුවක්කාර ආසාවක් ඇයට දැනුණා. රෑ පුරාම එතැනින් පියාඹා යමින් අනතුරු අඟවන ලිහිණියො ගැන තවත් කුමට ඇය විශ්වාසය තියන්නද?

තවත් උදෑසනක් ඉර අරගෙන ආවා. පුංචි වැහිලිහිණි දරුණු වෙඩික්කාරයෙකුට ආදරය කරන්න පටන් අරගත්තා කියලා එදායින් පස්සෙ ධීවර ගම්මාන වල කට කථා ඇති වුණා.

ඇත්තම කතාව ගැන තමන් දන්න බව කියන ගොඩක් අය  කියන්නෙ, වැහි ලිහිණියො මෝඩයි කියලායි.   ඒත් පහුගිය කාලෙ පුරාවටම ඈත මුහුදෙ නගින බහින ඉර ළඟ රෝස පැහැ වලාකුළු මවන රටා දිහා නිවී හැනහිල්ලෙ බලාගෙන ඉද්දි මට හිතුණෙම තුවක්කුකාරයාගෙ තුවක්කු බඳත් වැහි ලිහිණි කිරිල්ලත් අතර කවුරුවත් නොදන්න ප්‍රීතිමත් “ජීවිතය“ තියෙනවා කියලායි. කොහොම වුණත් ආදරය කියන්නෙ මේකමයි කියලා හරි නිර්වචනයක් කොතැනකවත් නැති නිසා, වෛරයක් නොවන ඕනෑම ළෙංගතු කමක් ආදරයයි කියලා හිතන්න කාටවත් බැරි කමක් නෑ කියලා පුංචි කාලෙ ඉඳන්ම මට විශ්වාසයක් තියෙනවා.

7/25/14

-243- වාසනාවන්තයන් අතර සිටිමි

"අද මළවුන් පිදීමත් විලාසිතාවකි. එක පෙළට එක එක කණ්ඩායම් පැමිණ බලහත්කාරයෙන් තාප්ප වල ගිල්ලූ පොස්ටර් දෙස බලමින් ඉදිරියට ඇවිදගෙන යන අතර මට සිතුණි. මේ ජූලි මාසයයි. පින්තූර , නවකතා , පත්තර ලිපි සහ ගෙදර අය නිසා දැනගත් යමක් හැරෙන්නට, මම කළු ජූලිය දැක නැත. එය එක් අතකට වාසනාවකි. එහෙත් මා යුගයෙන් යුගයට ඒ පිළිබඳව සම්ප්‍රේෂණය වූ වේදනාවකත් ඛේදයකත් විවිධ තලයන්ගෙන් දැක තිබුණි. සෑම මිනිසෙක්ම යළිත් එවැන්නක් නොවන්නට ගෝත්‍රගත සිතිවිලි වලින් අනාගතය එළියට  ඇදිය යුතු කාලයක් උදාවෙමින් තිබේ."

පෙරේදා ඉතාම කුඩා වෙලාවක් විහාරමහාදේවි එළිමහන් රඟහලේ  එකෙල මෙකෙල වූ මට එසේ සිතුණු බවට මම ඊයේ කළ සටහන නැවත වරක් කියවා බැලීමි. හදිසියේ එකිනෙකා පරයන වේගයෙන් පැමිණි එකසිය හැත්ත හත සිය සගයාට ඉදිරියෙන් තිරිංග තද කළේය. දැන් බසය නෙළුම් පොකුණ අසලය. ඉන් බැසගත් මම, වේගයෙන් ඇදෙන බසය කලා භවනට දුමාරයක් මුදා හැර වේගයෙන් කොල්ලුපිටිය දෙසට යන අයුරු බලා සිටියෙමි.  නෙළුම් පොකුණේ වීදුරු හිරු එළිය සමඟ ආලිංගන කරමින්, එහි ප්‍රහර්ශය පොළවට මුදාලමින් රටා මවයි. එහි ශ්‍රී විභූතිය දරා ගැනීමට නොහැකිව හිරුට තමා නොපෙනෙනු පිණිස තුරු අතරට මුවා වූ විහාරමහාදේවි එළිමහන් රඟහලෙහි ගල්බැම්ම මූසල පෙනුමකින් දිස්විය. කපුටන් ගේ වසුරු පිස හමා එන සුළඟට එකතු වූ කැපුණු තණකොළ සුවඳ මිහිර අමිහිර අතර වෙනස්ම තැනකට සිතිවිලි රැගෙන යයි.

උදෑසන සිටම පුරුදුකාරයන් අල්ලාගත් ආසන අතර ක්ශේෂ වූ පුටුවක් හොයන යුවලක් දෙස අනුකම්පාවෙන් බලා සිටි යාචකයෙක් තමා හිඳ සිටි පුටුවෙන් නැගිට පදික වේදිකාවට ආවේ මේ මොහොතේය. කකුලේ තුවලයක් මත දැමූ බැන්ඩේජ් පටියත්, දුහුවිලි වැකුණු ඇඳුම් සහ ටින් බෙලෙක්කයත්, ඔහු පරිපූර්ණ යාචක රූපයක් බවට කර තිබුණි. යාචකයන් ගේ හිඟා කෑමද විලාසිතවකි. තමාටම අනන්‍ය වූ ප්‍රතිරූපයක් ඇති හිඟන්නන් බොහෝ දුලබය. එකසිය තිස් අටට නගිනා  මල් සකසන හිඟන්නා ඒ අතර අනන්‍යතාවක අැති චරිතයක් බව මගේ මතකයේ ඇත.

මම මහජන පුස්තකාලය දෙසට ගියෙමි. ඒ මගේ එක් ගමනාන්තයකි.අද එහි පොත් ප්‍රදර්ශනයකි. එය බොහෝ පොත් ඇති, අනර්ඝ වට්ටම් ඇති, සෙනඟ නැති පොත් ප්‍රදර්ශනයකි. පොත් කියවීම විලාසිතාවක් වන්නේ සැප්තැම්බර් මාසයේ බැවින්, මේ දින වල ජනතාව පොතපතින් ඈත් වූවා විය යුතුය. සැප්තැම්බර් මාසය පොත් කියවන්නන්ගේ නොව පොත් එකතුකරන්නන්ගේ මාසය යැයි දැන් මම මටම පැහැදිළි කර ගනිමි.  එයට ආසන්නම හේතුව, සරසවි පොත් හලේ ලොකු බැනරයේ ලියා තිබූ පරිදී කොටි දියණියකගේ පාපෝච්චාරණය ප්‍රකාශයට පත් කළ දිනම ඉතා වේගයෙන්  අලෙවි වීමත්, තවමත් සැලකිය යුතු ලෙස අලෙවි වෙමින් පැවතීමත් ය. බොහෝ සමාජ සංවේදනා සහ මිනිස් දුරුවලකම් ගැන ලියවුණු මෙවන් පොත්, නිරන්තරයෙන් ජනප්‍රිය වීමත්, ඒවා පාඨකයන් සමඟ ගෙදර යාමත් හා එවන් පාඨකයන්ගේම සමාජ ක්‍රියාකරකම් ද, දෘෂ්ටිකෝණයන්ගේද, ඇති විපරීතභාවය මට පුදුමයකි. එබැවින් පොත් කියවීමක් සිදු වී නැති බවත්, පොත් රැගෙන යාම පමණක් සිදු වෙමින් පවතින බවත්, මට හැඟෙයි.

මා අවට සිදුවන සෑම දෙයකම බලෙන් පටවාගත් විලාසිතාවක් ඇත. පොත් කියවීම පමණක් නොව ගීත ඇසීම, චිත්‍රපට විඳීම මෙන්ම අද පෙම් කිරීම ද විලාසිතාවකි. විලාසිතාවන් තමන්ගේ හදවතින් පැමිණෙන්නේ නම් ඒවා ඉතාම සොඳුරුය. එහෙත් බලහත්කාරයෙන් විලාසිතාවන් බැඳ දැමූ අධ්‍යාත්මයන් තමා තුළම සිරගතව දුක් විඳින අයුරු ඉතාම ශෝචනීය ය. බලහත්කාරයෙන් කිසිවකට අනුගත නොවී, එය ඔබේ හදවතට ම ඇතුළු වූ පසු එයට ඇබ්බැහි වුවහොත් ඒ ඇබ්බැහිවීමේත් සුන්දරත්වයක් ඇත. අවසානයේ කිව යුත්තේ, තම විලාසිතවන්ගේ නිර්මාණකරු තමා ම විය යුතු බවයි. එවිට විලාසිතාවට පැවැත්මක් තිබේවී. ජීවිතයටත් අර්ථයක් තියේවි. අඩුම තරමේ, ඔබට ඔබව හමු වේවී. අනෙකා සෙවීමට පෙර විය යුත්තේ එය යැයි, මම සිතමි. එබැවින් මම වාසනාවන්තයෙක්මි.






6/19/14

-242- ස්නේහයේ නගරය


ඒ ඇයගෙ සොභාවික කොණ්ඩය නෙවෙයි. මම එහෙම කියන්නෙ කොණ්ඩෙ කොටසක් පාට කරලා තිබුණ හින්දාම නෙවෙයි. ඕනෑවට වඩා පිළිවෙලට තිබ්බ හින්දා. ඇය කතාකරන කොට ඇගේ කොණ්ඩය දෙපසට පැද්දුණා. පෝනි ටේල් කියන වචනය ඒ විලාසිතාවට කොයි තරම් ගැළපෙනවාද කියලා මට දැනෙන්න පටන් ගත්තා. ඇය වේගයෙන් කතා කළා. සැරෙන් කතා කළා. හැමෝටම ඇහෙන්න කතා කළා. ඇය ඉදිරිපිට හිටිය පිරිමි ළමයාට කඩාගෙන පැන්නෙ පුදුම තරහකින්.

ප්‍රේමය වෙලාවකට හරිම දරදඬුයි. ඉල්ලීම් වලින් පිරිලා. තහංචි වල ගිලිලා. නීති වලින් යට වෙලා. හේතුව මොකක්ද කියලා හරියටම නොදන්නවා වුණත් පිරිමි ළමයා තමයි මේ වෙලාවෙ නම් චූදිතයා. දැරිවි ගෙ වචන බ්‍රසීල ටීම් එකේ ෆුට් බෝලයක් වගේ වේගයෙන් ඉලක්කය හඹා ගියා. පිරිමි ළමයා සෑහෙන්න අසාර්ථක ගෝල් කීපර් කෙනෙක් වුණු නිසා ම, පැය භාගයෙන් ඒ අයගෙ කතාව නිමා වුණා. ලවර් එකේ විකුණන රුපියල් එකසිය අනූ නවයයි සත පනහෙ මුද්දක් වේගයෙන් ළඟ පාත ඩෝනට් එකක් කමින් හිටි මගේ දෙපා මුලට රෝල් වුණා. රත්තරං නෙවෙයි නිසාද මන්දා පිරිමි ළමයාවත් ඒ දිහා බැලුවෙ නෑ. මේ මොහොතෙ ඒ ප්‍රේමය එතැනින් ඉවර වුණා.මම ඔවුන් දිහා වගේම මගේ දෙපතුල ළඟ තිබුණු මුදුව දිහා බැලුවා. ඒක ඇගේ සිහින් සුදු අතට දාපු දවස කොහොම එකක් වෙන්න ඇතිද කියලා මම හිතන්න උත්සාහ කළා.

මම කාර්යබහුල නුගේගොඩ නගරය දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා. මට රෑ වෙන්න තව ටිකක් වෙලාව ඉතිරියි. හිත ඩිංගක් හිතුවක්කාර වුණු නිසාම අසනීප සිතිවිලි මොහොතකට පැත්තක තියලා මම නුගේගොඩ ඉඳන් රාජගිරිය පැත්තට හෙමින් පයින් ඇවිදගෙන ගියා. නාන කාමර කට්ටල තරඟයට විකිණෙන්න බලාගෙන විදුරු කාමර වලින් එබීගෙන ඉන්න පාර දිගේ දවස් ගණනකින් හිසට දියපහරක් නොලද දූවිලි වැකුණු කොණ්ඩයක් ඇති මනුස්සයෙක් මාව පහු කරගෙන ගියා. වයස හැටකට එහා සීමාවෙ හිටිය ඒ මනුස්සයාත් කවදා හරි දවසක කාට හරි ආදරය කරලා ඇති කියලා මට හිතුණා. ඇය කොහොම වෙන්න ඇතිද? අද බුලත් කෙළ කහටින් වැහැරුණු නිකටකින් දිරච්ච දත් වලින් හැදුණු ඔහුගෙ රූපය එදා මීට කඩවසම්ව තියෙන්න ඇති කියලා මට හිතුණා.

පන්තියක් ඇරුණු තරුණ නංගිලා මල්ලිලා ටිකක් මා එක්කම වාගෙ යමින් හිටියා. ඒ රංචුවෙ උන්නු ගෑණූ ළමයෙක් හුරුබුහුටි පිරිමි ළමයෙක්ව තද කරගෙන අල්ලගෙන ඔහුගෙ උරහිසේ හිස තියා ගෙන යන්න වෑයම් කළා. ඒත් ඔහුගෙ ඇස් තිබු‍ෙණ කටවුට් එකක හිටපු නතාෂාගෙ වීදුරු ඇස් දිහාවට. මට ඒ නංගි ගැන වගේම මල්ලි ගැනත් මොහොතකට දයාවක් ඇති වුණා. හිනා නොයන හිනා යන කතන්දර වලට හිනාවෙමින් හිටි ඔවුන් ගෙ යහළු පිරිසට ව ඔවුන් ගැන ලොකු අවධානයක් තිබ්බෙ නෑ. මම ඒ අය පහු කරගෙන උයන පැත්තට ආවා.

මහත ඇඟ කෙට්ටු කරන්න කියලා හිතාගෙන දුවන ඇන්ටිලාට වඩා මට මේ උයන් වල සතුට අරන් එන්නෙ හුඟාක් වයසක ජෝඩු. ඒ සමහර වෙලාවට ඒ අය මට ක්‍රීම් ක්‍රැකර් කන්න ආරාධනා කරන නිසාම ම නෙවෙයි. ඒ අය තරුණයි වගේ එකිනෙකාට තුරුළු වෙලා ඇහෙන්න නෑහෙන්න කතා කරන හැටි දකින කොට මගෙ හිතට දැනෙන සතුට නිසා.

එකා පසු පස එකා දුවන මන්තීරුවක, පැත්තක තිබුණු එකම හිස් සිමෙන්ති බංකුවෙ මම ඉඳගත්තා. තද දුඹුරු ඇස් ඇත්තියක් මගේ ළඟ පාතින්ම ඉඳගත්තා. ඈ අතේ කලු කවරයක් දාපු මහත පොතක් තිබ්බා. ඇගේ ගවුමෙ ලස්සන මල් වැලක් තිබ්බා. එහෙත් වැදගත් ම දේ ඇගේ ඇස්වල හිර වෙච්ච කඳුළු ගුලියක් තිබ්බා.  මම උත්සාහ කළා ඇය එක්ක හිනා වෙන්න. ඇයට නම්  එයට වුවමනාවක් තිබ්බෙ නෑ. ඇය පුංචි පෑනක් ගවුම් සාක්කුවෙන් අරන් එළියට ගත්තා. ඈ මේ කිට්ටු පාත කෙනෙක් වෙන්න ඕනෙ කියලා මට නිකමට හිතුණෙ, එයා අතේ පෑනටත් පොතටත් අමතරව කිසි දෙයක් නොතිබුණු නිසා.  ඈත බිල්ඩිං ඇස් දෙකෙන් ගිලගන්න වගේ බලාගෙන හිටිය ඈ ඉන් ටිකකට පස්සෙ මගේ දිහා සුහද විදිහට බැලුවා.
" බය වෙන්න එපා ඔයාගෙ එක්කෙනා ආවාම මම මෙතන ඉඩ දෙන්නම්"
ඇගේකතාවට මට ඇත්තටම හිනා ගියා.
" මම ගන්න හුස්ම හැර මෙතෙැනට මම වෙනුවෙන් එන්න කිසිම කෙනෙක් නෑ. නංගි කැමති තරම් වෙලා ඉඳලා යන්ඩ."
මම ඇහෙන නෑහෙන ස්වරයෙන් ඇයට කිව්වා.

අගේ මුහුණෙ ආයාසයෙන් රඳවාගෙන හිටි සිනහව වියැකිලා ගියා. ඒත් ඒ එක්කම පහලට ගලන්න ඔන්න මෙන්න වගේ කඳුළු ගුලි පිරුණු ඇස් ඇතුළට ගිලිලා වේලිලා ගියා. ඈ දිහාවෙ අවසාන වතාවට හිනාවක් පා කරලා මම එතැනින් නැගිට්ටා. ඒ වෙද්දි මට රෑවෙන්න පටන් අරන් තිබුණා. 176 බස් කිහිපයක් වේගයෙන් ඇදී ගියා. ගුණදාස කපුගේ මහත්තයාගෙ හඬින් ඒ මොහොතෙත් දවසේ ඉතිරි ස්විප් ගලවා ඇණ එකතු කරමින් හුන් ලොතරැයි කූඩුවක් ගීතවත් වුණා.

“ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා, බුදු හාමුදුරුවනේ! “


5/11/14

-241- මට ඔබේ හඬ ඇහෙනවා!



රත්නපුර ඉඳන් පලාබද්දල වෙනතුරු මහා මාර්ගයෙන් පැමිණෙන බැතිමතුන් එහි පිහිටා තිබෙන කීර්ති ශ්‍රී රාජසිංහ රාජ මහා විහාරස්ථානයේ ඉඳන් පටන්ගන්න රජ මාවත දිගේ පාගමනින් ම සිරිපාදය  කරුණා කරන්න පටන් ගන්නවා. ඒ අයට මුලින් ම මුණගැහෙන්නෙ පවනැල්ල. එතන අම්බලමක් තියෙනවා. ඊළඟට ලිහිණියා හෙළ. 

ලිහිණියා හෙළේදී ලිහිණි අක්කාට ඩිංගක් කථාකරලා ඇයව සිහිපත් කරන්න කවුරුවත් අමතක කරන්නෙ නෑ. ඒ වගේම ලිහිණියා අම්බලමෙත්, හැම කෙනෙක් ම වාගෙ තවමත් ඩිංගක් හරි නවාතැන් ගන්නවා. ලිහිණියා හෙළට හයියෙන් කෑ ගැහැවුවාම නැවත හෙළෙන් උඩට විසි කරන සද්දය තමන්ගෙ කට හඬේ දෝංකාරය බව දැන දැනත් 

“ ලිහිණි අක්කේ අපි යනෝ.. ගියාට ආයෙත් එනෝ“ 

කියලා බාල තරුණ මහලු , කිරිකෝඩු දඬුකෝඩු ඇතුළු සියලු නඩ වල ඈයො කෑ ගහනවා සිරීපාදෙ නගින අය දැකලා ඇති. කොයි කවදා ඉඳන් හරි ඒක සම්ප්‍රදායක් වෙලා

ලිහිණි අක්කා ජනප්‍රවාදයක්. මෙතෙක් ඇයව දුටුව කවුරුවත් නැහැ. ඒ කියන්නෙ, ඇය හිටියෙ මීට ගොඩක් අතීතයෙ කියන එකද, නැත්තම් කවමදාවත් නොහිටි කෙනෙක් කියන එකද, කියලා කවුරුවත් ම හොයන්න වෙහෙසිලා නැතත්  මේ තරමට කතන්දරයක් හැදෙන්න මොනා හරි වෙන්නත් එපැයි කියලා හිතන්න පුළුවනි. 

එක්කො ලිහිණි අක්කා හෙළට වැටුණාද? නැත්තම් කවුරු හරි ඇයව තල්ලු කළාද? ඒ දෙකම නෙවේ නම්, ඇය හිතාමතාම හෙළට පැන්නාද?  ලිහිණි අක්කා සහ හෙළ අතර කතාව සම්පූර්ණ බොරුවක් නොවේ නම් මේ තුනෙන් එක් සිද්ධියක් අනිවාර්යයෙන් ම වෙලා තියෙනවා.  මට හිතෙනවා, වෙන්න ඇත්තෙ තුන්වෙනි එක. ඒත් ඒකට බොහෝ අය බල පාලා ඇති.

ජීවිතය සමනළ කන්ද නම් ලිහිණි අක්කාගෙ ජීවිතය අතරමං වූයේ මහ ගිරි දඹේ දී. අවසානය සහ සැනසීම පෙනි පෙනී අතර මගදී .ඇත්තමයි. මහ ගිරි දඹය කාටත් අමාරුයි. එහෙත් එහිදී මං මුලා වෙන අය නැති තරම්. ඒ පාර කෙලින් නිසයි. එහිදීත් අතරමං වෙනවා නම් එය මහා පවක්. බොහෝ විට සංසාරික පවක්. එසේ අතරමං වූ ඇගේ ශෝකී රාවය අනන්තය තෙක් විහිදෙන හෙළ පතුළෙන් නිකමෙන හැටි, සිරිපා කරුණා කරන ඔබට ඔබ තුළින්ම ඇහෙනවා. ඒත් ඒ වේදනාව මැන ගන්න ඔබ ළඟ මිම්මක් නැහැ.

ඇය කාන්තාවක්. ඇගේ පාර වැරදුණා. සංස්කෘතිය තුළින් හෝ පවුල තුළින් හෝ ඇයට සිදු වූ‍ණේ කුමක් වෙන්න පුළුවනිද? අපි හරියටම දන්නෙ නැහැ.

ලිහිණි අක්කා හෙළ සමඟ තනිවන්නේ, අපේ සංසාරයේ මුලදී . දැන් යුග ගණනාවක් ගෙවිලා... ආත්ම ගණනක් ගිහිං. ලිහිණි අක්කාගෙ කාලෙ හිටපු අපි මැරිලා, අලුත් අපි ඉපදිලා. දැන් ලිහිණි අක්කා කතන්දරයක් විතරයි. ඇය දන්න කියනා අය යනවා ඇති දැනුත් මේ සිරිපාදෙ කරුණා කරමින්. ඒ වගේම ලිහිණියා අම්බලමේ ගිමන් නිවා ගන්නවා ඇති මේ දැනුත්. හැබැයි ලිහිණි අක්කා තවමත් හෙළ පතුලෙ. ලිහිණි අක්කා හිටපු අතීතයේ සමහරවිට, මෙතැනට එන අයගෙ තව තව වෙහෙසවල්, නිවන්න ලිහිණි අක්කාට සිද්ධ වුණා වෙන්න ඇති. හෙළ සහ ලිහිණි අක්කා අතර කතන්දරයට, මෙතැනට ආපු කෙනෙක් සම්බන්ධ නැහැමයි කියන්න අපිට බැහැ. සමහර විට එහෙම නොවෙන්නත් ඇති. දැන් ඒ ගැන මොනවා කරන්නද? 
සිරිපා කවි කියද්දි, හිතට නිවනයි. ලිහිණි අක්කාටත් ආයෙ අපි එක්ක කවි කියන්න පුළුවන් නම් හොඳයි.
සීත ගඟුලේ දිය වැල් ගලන්නේ හිමේ වරුණාව කියන්න වගේ. ඒත් එදා මහගිරි දඹේදී වූණු වේදනාත්මක මං මුලාවීම නිසා ලිහිණි හැලූ කඳුලු සීත ගඟුලට දියවෙලා ගියෙ නැහැමයි කියලා කෙනෙක් කොහොමද තර්ක කරන්නෙ.. අද සබරගමුව පතලෙන් ඔබ ගොඩ ලන නිල් මැණික් ඇගේ වේදනාවේ උත්කර්ෂයෙන් උපන් ත්‍යාගයන් නෙවෙයි කියලා හරියටම කියන්න පුළුවන් කාටද? නුඹ ඒ වේදනාවෙන් පල දැරූ මැණික් ගොඩගත්තත්, ඇය තවමත් ගොඩ නොඑන මහ දුකක ගිලිලා ඉන්නවා.
මහගිරි දඹේදී අතරමං වුණාම, පෙනි පෙනිත් සිරීපාදෙ මඟ හැරෙනවා. සිරිපතුලට හිස තියන්නෙ නැතිවම ඇය හෙළට පැන්නා වෙන්න ඇති.
සිය දිවි හානි කරගැනීම සතර අපා දුක් විඳිනා පාපයක් බව ඒ දවස් වල ලිහිණි අක්කා දැන නොහිටින්ට ඇති..
.
තුමුල සමනොළ පෙනි පෙනී පෙනී
ජීවිතේ මහ ගිරි දඹේදී
පාර වැරදි මං මුලා වුණ 
ලිහිණි අක්කේ
හෙළ අනන්තේ තනි වෙලා ඔබ
මට ඔබේ හඬ ඇහෙනවා...

හිමේ කරුණා කරන්නට යන
දෙනෝදාහක් පින්වතුන් අතරේ
දන්න කියනා උදවියත් ඇති
උන් ගමන ගිම් නිවා ගන්නැති 
ලිහිණි අම්බලමේ...
වරෙන් සිරිපා කවි කියන්නට
ලිහිණියේ ආයේ...

හිමේ වරුණා කියන්නට එන
සීත ගඟුලේ දිය කඳුරු දහරේ
ඔබේ කඳුළුත් දිය වෙලා ඇති
ඒ කඳුළු නිල් මැණික් වෙන්නැති
සබර ගං පතලේ ..
හෙළෙන් පැන්නද ඇත්තටම ඔබ
නොවැඳ සිරි පද්මේ....

පද රචනය - අසංක රුවන් සාගර
සංගීතය - ජානක ෆොන්සේකා
ගායනය - ඉන්දිකා උපමාලි.

4/2/14

-240- සිසිලියාගේ ශිශිර තරණය

JOSTEIN GAARDER ගෙ THROUGH GLASS DARKLY හී
සිංහල පරිවර්තනය වන රාණි සේනාරත්න ගේ “අඳුරු පළඟු තල මැදින් “
කියවා නිම කළෙමි.



ඒරියල් කවදාවත් නොඑන්න මම හැමදාම අසනීප වෙලා ඉන්න ඉඩ තිබුණා. වෙන කවුරුවත් ළඟදි නොදැනෙන සනීපයක් එයා ළඟදි මට ඇත්තටම දැනෙනවා. අම්මා, තාත්තා, අත්තම්මා විතරක් නෙවෙයි හුඟක් අය  හැම වෙලාවෙම හිතුවෙ මම අසනීපෙන් කියලා. ඒ අය හිතුවා මම එක තැනකම ඉන්න ඕනෙ කියලා. ඒත් මට හැමවෙලාවෙම ඕනෙ කළේ ඇවිදින්න. ලස්සන හිම කඳු වල, තණ බිමි වල, පිණි පිරුණු සුන්දර මිටියාවත් වල ඇවිදින්න. දුවන්න. පනින්න.

මම ආසා කරන හැම තැනකම ඇවිදින එක තරම් ප්‍රීතියක්, දේවල් අත්විඳලා දැනගන්න, ඉගෙන ගන්න එක තරම් සන්තෝසයක් මේ ජීවිතේ තවත් නැහැයි කියලා හැම වෙලාවකම මම හිතුවා. ඒරියල් ආවෙ මට එයා වගේ කෙනෙක්ව ඕනෙම කරපු ඒ වාගේ හේමන්ත නත්තල් රාත්‍රියක.

එයා හුඟක් දේවල් දන්නවා. හැබැයි මට වෙලාවකට තරහ යනවා එයා පණ්ඩිත වැඩිද කියලා. මොකද සමහර දේවල් එයා ඕනෑවට වඩා පහදගෙන කලකිරෙන එකට මම අකමැතියි. ආරක්ෂක දූත මෙහෙය කරන හැම සුර දූතයෙක්ම එයා වගෙයි කියලා මට හිතෙන්නෙම නැහැ. ඒත් එයා හැම වෙලාවෙම කියනවා. දෙවියන්ගෙ මැවිල්ලෙ හොඳම දෙයක් තමයි මම කියලා. එයා “මම“ කියන්නෙ, ඇත්තටම මේ මම ගැන.

කොහොම වුණත්, ජීවිතේ පුරාම ඒරියල් මහ ලොකු පෙරළියක් කළා. අපි හුඟක් දේවල් ගැන කතා කළා. ජීවත්වීම ගැන, මරණය ගැන, විශ්වය ගැන, ඉන්ද්‍රීන් ගැන, මිනිස්සු ගැන, මතකය ගැන, අපි මේ හැම දේ ගැනම කතා කළා. ඔව් අපි දැනුත් කතා කරනවා. කතා කරලා ඉවර කරන්න බැරි තරමට, අපිට කතා කරන්න දේවල් තියෙනවා. මම එයාගෙන් ප්‍රශ්න අහනකොට එයා මට උත්තර දෙනවා. එයා මගෙන් ප්‍රශ්න අහනකොට මම එයාට උත්තර දෙනවා. වෙනස තියෙන්නෙ, මම උත්තර දෙනකොටත් එයා කොහොම හරි ඒවා දැනගෙන ඉඳලා තියෙන එකයි. ඒක අමුතු නැත්තෙ, එයා මට වඩා ගොඩක් කල් ජීවත් වෙලා තියෙන නිසයි.

මම දන්නවා එයා කවදාවත් නොමැරෙන බව. ඇත්තටම මම එහෙම හිතන්නෙ එයා මැරෙනවාට මම කොහෙත්ම කැමති නැති නිසා වෙන්න පුළුවන්. එයා සුර දූතයෙක් නිසා මට ඒ ගැන බය නැහැ. ඒත් මම හැමවෙලාවෙම කැමතියි එයා සාමාන්‍ය මනුෂ්‍යයෙක් වෙනවාට. හරියටම කිව්වොත්, අර සයිකල් පදින වෛද්‍යවරියට පෙම් කරන, City of Angels චිත්‍රපටියෙ සුරදූතයා වගේ. මනුෂ්‍යයෙක් වීමේ දැනීම සහ හැඟීම කොයි තරම් මිහිරිද කියලා ඕනෑම සුර දූතයෙකුට හිතෙන්න නම්, එයාට ඒ චිත්‍රපටයෙ විදිහටම පීච් ගෙඩි කන්නත්, මුහුදෙ සර්ෆිං කරන්නත් සිද්ධ වෙනවාමයි.

ඇඳක් උඩ නිදියගෙන ඉන්නකොට බඩ උඩින් ගෑණු ළමයෙක් කකුලක් දාලා තුරුළු වෙනකොට දැනෙන කිතිය නොදැනෙන එක සුර දූතයන්ට දෙවියන් වහන්සෙ මැවිල්ලෙදි කරපු අසාධාරණයක්.
ඒත් දෙවියන් ඉන්නෙ මම තුළ නම්, මගේ මැවීම මම යි. එතකොට.. ඒරියල්?

ඒරියල්ට මනුස්සයෙක් වෙන්න කියලා මම හෙවත් සිසිලියා ආරාධනා කළොත්, සමහර විට එයා නොකර ඉන්න එකකුත් නෑ. ඇත්තටම කියනවා නම්, වල්ග තරුවක එල්ලිලා වේගයෙන් රොකට් පදින එකටත්, ග්‍රහයක ඉඳගෙන මහන්සි අරින එකටත් වඩා, මුහුදෙ ලවණ මිශ්‍ර වතුරෙ වේගයෙන් එහාට මෙහාට ඇදෙනකොට දැනෙන හැඟීම පුදුම සහගතයි කියලා වගකීමෙන් කියන්න පුළුවන්නෙ.

ඇහැ දකින දේවල් වල ලස්සන විඳගන්න තරම් ප්‍රීතිමත් මනසක් අපිට තියෙනවා නම්, ඒක තමයි මේ ලෝකෙ දෙවියන් විසින් අපිට ලබා දුන්නු හොඳම තෑග්ග. හැම කෙනෙකුටම මනසින් සුරදූතයෙක් එක්ක සමාන වෙන්න පුළුවන්. ඒ කියන්නෙ, බිත්ති හරහා යන්න පුළුවන්.. අහසෙ පාවෙන්න පුළුවන්, නොදැක්ක ඕනෙම දෙයක් ඒ මොහොතෙම දැක බලා ගන්න පුළුවන්, අවශ්‍ය ඕනෙම දෙයක් කරන්නත් පුළුවන්. හැම වෙලාවෙම දුකින් නොඉන්න අපිට ලස්සන හීන පෙන්වන්න, නින්ද ලබා දෙන්නෙ ඒ නිසා වෙන්න බැරිද? ඒක තමයි දෙවියන්ගෙ සුන්දරම මැවීම.

මම කැමතියි ඒරියල් හැම වෙලාවෙම මගෙ ළඟ ඉන්නවාට. ඒත් එයා ඉන්නෙ කණ්ණාඩියෙන් එහා පැත්තෙ නිසා, මෙහා පැත්තට එන්නෙ සහ එයාව දකින්න සලස්වන්න ඕනෙම කරන වෙලාවට විතරයි. හරියටම කිව්වොත් ඉන්ද්‍රජාලිකයෙක් මවන මායාවී සිහිනයක් වගේ. ඇහැරෙන්න බල නොකරන දිග හීනයක් වගේ. ඒ ආරක්ෂක දූත මෙහෙයෙ හැටි. සමහර විට ඒ ආදරයෙ හැටි වෙන්නත් බැරි නැහැ.

නැත්තම් ඔහු හැම වෙලාවෙම කියන්නෙ නැහැනෙ, මම දෙවියන් වහන්සෙගෙ අතින් පියාඹගෙන ආව ලස්සන සමනළියක් වගෙයි කියලා..




ප. ලි

සුරදූතයෙකුට ආදරය කරන්න උත්සාහ කරන්න. එතකොටයි දැනෙන්නෙ පරිපූර්ණත්වය. ඒක හරියට සතුටත් දුකත් අතර ඉගිල්ලෙනවා වගේ බොහොම වින්දනීය හැඟීමක්.

3/22/14

-239- සහෝදර කෝපි කොප්පය



ඔහු ආයෙත් ලියන්න පටන් ගත්තා. පැයක් දෙකක් පුරා නිහඬව කඩදාසියක සටහන් කළ පුංචි ඉරි කෑලි කිහිපය ගැන කිසිම අර්ථයක් නොතේරුණත්, ඇය ඒ දිහා බලාගෙන හිටියා. ඈ පිළිබඳ සිතිවිලි මාත්‍රයකවත් හැඟීමක් ඔහුට නැති බව කියා පාන්නා වගේ, ඔහු එකම සිතිවිල්ලක හිරවෙලා, දිගින් දිගටම ලියනවා. එය ප්‍රේමය ගැන දිගම දිග ලියවිල්ලක්. බිඳෙන් බිඳ ලියවෙන අපූරු ලියවිල්ලක්. ඇඳ පසෙක නිදා ඉන්න සිය ආදරිය දෙස බිඳක්වත් නොබලා ඔහු පෙම් කතාවක් ලියනවා. ඔව්! ඒක පෙම් කතාවක්.

***

සුපුරුදු විදිහටම දෙවනි කෝපි කෝප්පයත් ඉවරයි. ඒ එක්කම මේසයට සිහින් තට්ටුවක් සමඟ, නුහුරු බසක හුරු ගීයක මුණු මුණුවක්. තව කෝපි කෝපයක් අවශ්‍යය බව කියනා මෘදු සංඥාව දැන් ඇයට හොඳටම හුරුයි. ශබ්ද නොනැගෙන්නට පියෙන් පිය තබා යහනතින් මිදෙන ඈ, මේසය මත ඇති හුරු පුරුදු සහෝදර කෝපි කෝප්පය අතට ගන්නවා. හඬක් පිට නොවෙන්නට අඩවන් කළ දොරින් එළියට නික්මෙනවා.

දැන් ඇය නිදහස්. අඩිය පොළවෙ තියන්න පුළුවන් පමණට නිදහස්. හුස්ම ළය පුරා පිට කළ හැකි පමණට නිදහස්. දිගැටි පිඟන් ගඩොල් මේසය අද්දර කවුළු තිර, නිල් අඳුරේ පාවෙලා එන සීත සුළං රැලි සමඟ පුංචි පහේ හාද කතාවක. මේසය කෙළවරේ පුංචි තනි ලිප දැල්වෙන්නට ආසාවෙන් මඟ බලාගෙන. තව මිනිත්තු පහකින්, හයකින් යමැස්සේ වෙලෙන මිදෙන කවුළු තිර දික්කසාද කරන හීන් සුළං රැළි කේතලේ දෙයදර සිපගනිමින් ඉහළ නගින බව ඇය හොඳටම දන්නවා.  කේතලේ ප්‍රේමය කවුළු තිරයේ ප්‍රේමය තරම්ම, නිහඬ නැතත්, මේ මොහොතේ විශ්වය මත පවතින හැම දෙයක්ම අතිශයින්ම පෙම්වත් නිසා කෝපි කෝප්පයටත් ආදරය නොඅඩුව ලැබෙනවා. කරාමය කෙමෙන් කෙමෙන් එකම අයුරේ දිය තලයක් මුදාලමින් කෝප්පය පැරණි ප්‍රේමයෙන් මුදාලනවා. තව මොහොතකින් අලුත් ප්‍රේමයක්.. 


කෝප්පය වෙනස් නොවුණත්, මේ අලුත් කෝපි. 


ඔහු තවම ලියනවා.


උණු වතුර සීනි සහ කෝපි. එකම කෝප්පයක තද දුඹුරු පැහැයෙන් තරඟයට කලවම් වෙනවා. මේ ඔහු කැමතිම කෝපි කෝප්පය නෙවෙයි. එහෙත් මේ මොහොතේ කෝපි, ඔහුගෙ අවශ්‍යතාවයක්. කෝපි කෝප්පය ප්‍රාර්ථනාවක් වුණු බොහෝ වෙලාවට ඔහු සුපුරුදු කෝපි අවන් හලට යනවා. අන්තර්ගතය නොදන්නවා වුණත්, ඇය හදන කෝපි කෝප්පයට වඩා ඒ රසට ඇයත් කැමතියි. 


ඒක එහෙම හැඟෙන්නෙ, මේ කෝපි කෝප්පය ඔහුට විතරක් නිසා වෙන්නත් පුළුවන්. 


තුන්වෙනි කෝපි කෝප්පය පිළිගන්වන්න නැවතත් ඇය දොරෙන් කාමරයට එබිකම් කළා. ඇඟිලි තුඩු වලටත් බර නොදී සුපුරුදු තැනින් අංශකයකවත් හෙලවීමක් නොකර කෝපි කෝප්පය ස්ථානගත කෙරුවා. 


ඇත්තටම කෝපි කෝප්පය සුන්දර වන්නෙ ඔහුගෙ දෑත මත ඇගේ දෑත තබා ඔහුගේ නෙත් දිහාවෙ එක එල්ලේ බලා හිඳීමෙන්. ඔහුගේ නොනවතින ආලවන්ත වැකි සීරු මාරුවෙන් දරා හිඳීමෙන්. සුන්දර සහ මෘදු හාදු වැස්සක කිමිදීමෙන්. 


මේ වෙලාව එහෙම කෝපි කෝප්පයකට අයිති නෑ. ඒ බව තේරුම් ගන්න දැන් ඇය දන්නවා. ඇය යහන මත එකම ඉරියව්වක හිඳ ඔහු දෙස බලා ඉන්නවා. ඔහු තවමත් ලියනවා. 


අද රෑ තව හුඟක් දිගයි. එහෙත් හෙට උදෑසන කෙටියි. සිහින තව සෑහෙන දුරයි. ඈ පිළිබඳ සිතිවිලි මාත්‍රයකවත් හැඟීමක් මේ මොහොතේ ඔහුට නැති බව සහෝදර කෝපි කෝප්පයටත් පැහැදිළියි. ඔහු එකම සිතිවිල්ලක ලියනවා. එය ප්‍රේමය ගැන දිගම දිග ලියවිල්ලක්.  සෑහෙන දුරක් නිමා කළ ලියවිල්ල තවමත් බිඳෙන් බිඳ ගළපන්න ඔහු වෙහෙසබර දෙනෙතින් වෙර දරනවා. යහනේ කෙළවර නිදා සිටිනා සිය ආදරිය දෙස බිඳක්වත් නොබලා ඔහු පෙම් කතාවක ලියනවා.


අඳුනන ආදරියකගේ නන්නාඳුනන ප්‍රේමයත්, නාඳුනන ආදරියකගේ දන්න හඳුනන ප්‍රේමයත් සම සමව ඒ සුන්දර ලියවිල්ලේ අවසානයට ගැබ් වන බව ඇය දන්නවා. 


හැම ආදර කතාවක්ම එක වගේ කියලා, නම අමතක ලේඛකයෙක්, කොහේදෝ පොතක පළමුවැනි පරිච්ඡේදයෙ අගම පෙළ ලියලා තිබුණු බව පමණක් සිහිපත් වෙලා, ඇයගෙ මුහුණට සිනා රැල්ලක් වඩිනවා.. ඒ මොහොතෙම, විදුලි පවන් පත් එක්ක හෙමි හෙමින් රෑ ගවුම දඟ කරනවා..


කුමක් කරන්නද? ඔහු තවම ලියනවා.



2/22/14

- 238 - "18 - " ලෝකයේ සිට අමතමි



පෙරේදා උදේ අහස කලු කරගෙන වැස්ස මතක් කරන්න වාගේ රත් වෙච්ච දකුණු කොළඹ පොළව නොසෑහෙන්න රැව්ට්ටුවා. වෙලාව උදේ හතහමාරට විතර ඇති. කොහුවලෙ ඉඳන් නුගේගොඩටම තියෙන ලොකුම පත්තර කඩේ ඉස්සරහ බස් එක හයියෙන් බ්රේක් පාරක් ගැහැව්වා. අවට පරිසරයේ හඬ අහන්න තියෙන කැමැත්තට මම හැන්ඩ් ෆ්‍රී දෙක ගලවලා බෑග් එකේ පිට සාක්කුවට එබුවා. බස් එකෙන් බැස්ස ගමන් පදික වේදිකාවෙ පයට පෑගෙන්න නොපෑගෙන්න ඕනෑවට එපාවට තබා තිබුණු රන් තැඹිලි කැන් දෙක දිහා රස්නෙ වැඩිකම නිසාම මමත් බැලුවෙ තරමක පෙරේත ඇසකින්. රුපියල් හතළිහකට ඇටි තැඹිලි ගෙඩියක් කපාගෙන කඩේ අංකල්ට කියලා බෝතලේකට දාගත්තෙ රස්නෙ නිසා ඉස්කෝලෙට ගිහිල්ලාම නිදහසේ බොනවා කියලා හිතාගෙන.

උදේ පාන්දරම ඇවිත් සිරිකතක් ඇදලා ලංකාදීපෙ උඩට දාලා ගියා කියලා, ලංකාවෙ කාන්තාවකට බනින්න තියෙන උපරිම සැර වචන භාවිතා කරමින්, එතැනින් පාර පැනලා ගිය කලු මල් ගවුමක් ඇඳපු තලතුනා ඇන්ටි කෙනෙකුට පත්තර අංකල් බනින්න පටන් ගත්තා. ඒ හින්දාම මගෙන් වෙනදාට අහන පත්තර ප්‍රශ්න අහන්න ඔහුට අමතක වුණා. ඕනෙ කරපු පත්තර දෙකත් අරගෙන මමත් ලහි ලහියෙ කලර් ලයිට් වලට දුවගෙන ආවෙ මාර්ග නීති සහ කාලය අතර කවදත් තියෙන්නෙ රේඛීය ගැටුමක් හින්දමයි.

තව වෙලාව තියෙනවා වගේම, බඩෙත් ඉඩ තියෙන නිසා සුමනදිසියෙන් ඩෝනට් එකකුත් අරගෙන
පත්තර වලට හිර වෙලා තිබුණු බෑග් එක ඉහළින් එබුවා. මේ වෙලාවෙ බෑග් එක හරියට පාර්ලිමේන්තුව වගේ. එකකට එකක් නොගැළපෙන, අනවශ්‍ය වැඩක් ඇති සහ වැඩක් නැති දේවල් පිරිලා. අහක බලාගෙන පඩිය නැග්ග නිසා, ඇඟේ වැදුණු ලස්සනට ඇඳපු අක්කා කෙනෙකුගෙ රැවුමකට සිනාවකින් සංග්‍රහ කරලා..මම ඉක්මනින් පාර මාරු වුණා.

ලෝකෙ හැම තැනම නරක විදිහට වෛරය පිරිලා තියෙනවා. බස් එකේ. පත්තර කඩේ. බත් කඩේ. කෝච්චියෙ. ඉස්කෝලෙ මේ හැම තැනකම අපි අපිම අතර වෛරය පැටව් ගහලා. මට එහෙම හිතුණෙ බස් එකේ එක සීට් එකක ඉඳගෙන කතා කර කර හිටපු පාසල් යන යොවුන් දැරියක් සහ දරුවෙක් දැකීමෙන්. ඒ දෙන්නාගෙ  තමන්ගෙ අවධානය සම්පූර්ණයෙන්ම යොදවලා හිටපු වැඩිහිටියො කිහිප දෙනෙක්ගෙ කතා බහට සවන් සහ දෑස් යොමා සිටි පිළිකුල් සහගත හැඟීම් උල්ප්පපු වැඩිහිටි මුහුණු කිහිපය තාමත් මතක්වෙද්දි මගේ කම්බුල් ඇදිලා යනවා. ඉගෙන ගනිද්දි, වැඩක් කරද්දි හැම වෙලාවකම බෝධිසත්ව සිද්ධාර්ථ කුමාරයාගෙ චරිතෙ ආදර්ශෙට ගන්න කියලා බල කරන අපේ වැඩිහිටියො ප්‍රේමය කියන කරුණෙදි විතරක් ඒ සියල්ල අමතක කරනවාද මන්දා. සිද්ධාර්ථ කුමාරයා අවුරුදු දහසයෙන් විවාහ වුණා කියලා දහම්පාසල් පොතේ වගේම ඉස්කෝලෙ බුද්ධාගම පොතෙත් තිබුණා. එහෙව් එකේ, අවුරුදු දහසයක දැරියක් දරුවෙක් කතා කර කර යාම දිහා අපුල විදිහට බලන එක ටිකක් පරස්පරයි. ඒත් එහෙම හිතන්න පුරුදු වෙච්ච ලෝකෙ වෙනස් කරන්න යන්න මට කිසිම ඕනෙ කමක් නැහැ. හොඳම දේ මම වෙනස් වීම. ඒ විදිහට ලෝකෙම හිතයිද නැද්ද කියන එක මම දන්නෙ නැහැ. ඒක මට අදාළත් නෑනෙ.

මම එකසිය විස්සෙ ජනේලයක් ඇරුණු ආසනයක නිදහසේ හුළඟ එක්ක කතා කරන්න ඉඳගත්තා. 
ළමා අධ්‍යාපනය සහ ළමා මනෝවිද්‍යාව ගැන හදාරන්න ඕනෙ තරම් උපාධි සහ පාඨමාලා අපේ රටේ වගේම පිට රටවලත් තියෙනවා. හිස් හිතක් පිරවීමේ කාරිය ලේසි නෑ කියලා එතැනට එන අය උගන්වනවා. ඒක හරි. පොඩි දරුවන්ගෙ හිත් වල වැඩි හරියක් හිස්. ඒවා නිවැරදි දෙයින් පුරවන්න අනිවාර්යෙන් පැහැදිළි විධිමත් ඉගෙනීමක් ඕනෙමයි. 

ඒකනෙ මොන්ටිසෝරි වගේම ප්‍රාථමික ඉස්කෝල වලටත් ගුරුවරු ගනිද්දි ඒ ඉගෙනීමට  අදාළ ඩිප්ලෝමා වගේම උපාධි වගේ දේවල් ඉල්ලන්නෙ. ඒත් පස්සෙන් පහු අධ්‍යාපන රටාව ඇතුළට බලහත්කාරෙන් පුරවන උපාධි ගුරුවරුන්ට මේ ගුරු මානසික අධ්‍යාපනය විධිමත්ව ලැබෙනවාද කියන්න මම දන්නෙ නෑ. මේ ගුරුවරු නරකයි කියලා නම් කොහෙත්ම කියන්න බෑ. ඒ අයට හොඳ උගත්කමක් තියෙනවා. ඒත් ඒ අය ළමයාව තේරුම් ගන්නවාද කියලා පොඩි ගැටලුවකත් මට තියෙනවා.

හැමෝම හිතන්නෙ දරුවෙක් රැකබලා ගැනීම ගැන සම්පූර්ණ අවධානය දෙන්න ඕනෙ ප්‍රාථමික සහ ළදරු අවධියෙ කියලනෙ. ඒත් මම නම් හිතන්නෙ, දරුවන්ට වැඩි අවධානයක් ඕනෙ කරන්නෙ අවුරුදු දොළහ ඉඳන් දහ අට වෙනතුරු කියලයි. දොළහ වෙනකොට දරුවාගෙ මොළේ කියන පොට් එකේ සැලකිය යුතු කොටසක් පිරිලා. ඒ වෙද්දි එයා විහින් මත ගොඩ නගා ගන්න පටන් අරන්. ඒ වෙලාවෙ එයා පොට් එකේ තියෙන සැලකිය යුතු ප්‍රමාණෙන් එයාට අනවශ්‍ය ටික හලලා දාන කාලෙ.. අලුත් දේවල් තියෙනවා නම් ඒවාට තමන්ගෙ මතයට සමරූපිව එකතු වෙන්න දෙන කාලෙ. මේ කාලෙදි එයාලගෙ මොළයට බලෙන් දෙයක් පුරවන්න හරි අමාරුයි. ඒක හරියට මල් වාස් එකක් තියෙන අනුන්ගෙ මේසයක් උඩට අපේ මල් වාස් එකක් තියලා ලස්සන බලන්න හදනවා වගේ වැඩක්නෙ. ඒ හින්දා ගුරුවරු සූක්ෂම වෙන්න ඕනෙ. නැතිනම් අත්‍යාවශ්‍ය වටිනකම් මේ කාලෙදි පුරවන්නෙ නැතිව, දහ අටෙන් පස්සෙ ඵලය පොට් එකේ තියෙන්නෙ ගොම කියලා දැනගෙන ඇඬුවට වැඩක් වෙන එකක් නෑ.

උපන්න ගමන් අර එන්නත, මේ එන්නත දෙන්න දුවන, පළවෙනි දත එන දවස, අඩිය පොළවෙ ගහන දවස පින්තූරත් එක්ක මතක පොත් වල සටහන් කරන, අපේ රටේ බහුතරයක් අම්මලා, අවුරුදු දහ හතරක් පහළවක් ගිය දරුවො දත් මැද්දද කියලාවත් බලන්නෙ නෑ. ඒත් ඒක හරි සාධාරණයි. තමන්ගෙ කකුල් දෙක හෝදගන්නවත් වෙලාවක් නැතිව දූවිලි පිරි දෙපයින්, සාරි ඉනේ පටලාගෙන , අවුල් හිස කෙස් වනාගෙන රැකියාවට දුවන මැදිවියේ අම්මලා බර දරන ආර්ථික ප්‍රශ්න ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. ඒත් ඕනෙ කරන වෙලාවෙ ඕනෙ කරන දේ නොතිබුණොත් වැඩකුත් නෑ. 



අද අපේ රටවල්වල අම්මලා තාත්තලාගෙ සංස්කෘතික මුග්ධ භාවය ලොකු යුග පරතරයක් දෙගොල්ලො අතර ඇති කරමින් සිටිනවා. ඒ නිසාම දරුවො තමන්ගේ යුගයේ අයට ආකර්ෂණය වෙන එක ආරම්භ වෙනවා. ඒ වගේම දරුවන්ගෙ ඥාණය තිබෙන්නෙත්, විචක්ෂණශිලි මට්ටමෙන් ටිකක් ඈත නිසා, එයාලා හිතන විදිහ කොයි අතට හැරෙයිද කියලා පූර්ව නිගමන කරන්නත් බැහැ. ඒ අයට සමීප වෙන්න අපි හදවතින් තරුණ වෙන්න ඕනෙ. යොවුන් වයසෙදි ඇති වෙන විරුද්ධ ලිංගික ආකර්ෂණයට සියවස් ගාණක් පුරා දැඟලුවත් තිත තියන්න බැහැ වගේම, ඕනෙත් නෑ.. ඒක අවශ්‍ය නිසයි සොබා දහම ඒ දේ දීලා තියෙන්නෙ. සොබාදහම වෙනස් නොකර අපි බුද්ධිමත් වුණාම හරියටම හරි. 

දරා ගන්න හැකියාව සහජයෙන් ලැබිලා නැතිනම්, ඒ ශක්තිය දරුවන්ට දෙන්න ඕනෙ අපි. එයාලා තනිවෙලා නෑ කියන දේ එයාලාට පහදලා දෙන්න ඕනෙ අපි හැම ගුරුවරයෙක්ම අල්තිනායි ගැන කියවන්න දරන වෙහෙසම එලිසබත් ඇලන්, පොලියානා, ටොට්ටො චං, ඈන් ගැනත් කියවන්න දරනවා නම්, නව යොවුන් ජීවිත වල වටිනාකම ඥාණ සම්භාරය මීට වඩා ඉහළ යාවි..ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ අද ගුරුවරු අල්තිනායිව වත් නොදැනීමනෙ.  මම හුළඟට නිකමට නිකමට හිනැහුණා.

ලොකු ක්‍රිකට් බෑග් එකකුත් අරගෙන තමන්ගෙ දරුවාව එක අතකින් ඇදගෙන ගමන් කරන බස් එකෙන් පනින්න හදන කලබලකාරි අම්මෙකුට, ඩ්‍රයිවර් කෑ ගහන හඬින් මම ඒ කල්පනාවෙන් මිදුණා.



It is not enough for the teacher to love the child . She must first love and understand the universe. She must prepare herself and truly work at it.

Maria Montesoori 

x


2/5/14

-237- ජීවිතයට Title (නො)සොයනු පිණිස



උදේ පාන්දර බස් එකට ගොඩ වෙලා බලෙන්ම පත්තරයක් ඇඟේ ගහපු කහ පාට මල්ලි, ඉරි ටී ෂර්ට් එකක් ඇඳලා හිටපු අංකල් ට පුදුමාකාර වදයක් බව පසුපස ආසනේ ඉඳගෙන හිටපු මට දැනුණා. ඔහුට ඒ වදකාර හැඟීම උත්සන්න වෙන්න ඇත්තෙ, හිර වෙච්ච අසුනක පත්තරයක් කොහොම වෙතත්, පුංචි කඩල ගොට්ටක් දිග හරින්නවත් නිදහසක් නැති බව, අත්දැකීමෙන් දන්න නිසා වෙන්න ඇති. කොහොම වුණත්  පත්තරේ සීට්ටු ගණනට නවාගෙන, මුලින්ම ලග්න පිටුව පෙරළ ගන්න අංකල් සමත් වුණා.

ඔහුගෙ ලග්නෙ මොකක් වුණත්, බලහත්කාරයෙන් ඉදිරියේ පෙරළා තිබූ පිටුවෙන් නිරායාසයෙන් මම මගේ ලග්නෙ කියවන්න පටන් ගත්තා. 

“ ඉවසීමෙන් වැඩ කළොත් කටයුතු සාර්ථක කර ගත හැකියි.“

සමහර වෙලාවට එකපාරට කේන්ති ගියත්, දිගු කාලීනව පුරුදු කරපු එකම දේ ඉවසීම නිසා, මට ඒ වාක්‍යයෙන් ලොකු බලපෑමක් වුණේ නෑ. 

කොන්දොස්තර මහත්මා ලීලාවෙන් නොදී අමතක කළ, රුපියල් පහක් ගැන කට කියවමින් විඳවන අත්තම්මා ගැන සිතෙහි උපන් ප්‍රබල අනුකම්පාවත්, පෙරදැරිව මම කොහුවලින් බැහැ ගත්තා.
නැවත වරක් පය නොගසන්නට තීරණය කළ පත්තර කඩේ අසලින්, ඉදිරියට ගිහින්, කලර් ලයිට් ගාව හිටගෙන ඉන්න මිනිස්සු අතරට මමත් එකතු වුණා. වාහනයක් දෙකක් අතරින් හොරෙන් පනින්න උත්සාහ කරන මැදිවියේ ඇන්ටි කෙනෙක් දෙන්නෙක් හැර, දැන් හුඟක් අය මාර්ග නීති වලට අවනතයි.

කොහුවලින් එකසිය විස්සක ගොඩවෙද්දි, බස් එකේ පෙම් මුල්ලත්, පොදු දර්ශන මුල්ලත් දෙකම බුක් වෙලා. කතාව හරියටම පටන් ගන්නෙ මෙතැනින්. පෙම් මුල්ලෙ හිටියෙ, මැදිවියේ පෙම් යුවලක්..  පොදු දර්ශන මුල්ලෙ හිටියෙ පන්ති යන දෙන්නෙක්. ඉස්සල්ලා නැගපු මැදිවියේ දෙපළ පෙම් මුල්ල කොල්ල කා ඇති නිසා, පන්ති යන යුවළට අනාරක්ෂිතව පොදු දර්ශන මුල්ලට වෙන්න සිද්ධ වෙලා. දෙගොල්ලොම සෑහෙන්න ආදරණීයයි.. ඒත් බස් එකේ හැමෝම වගේ පෙම් මුල්ලට අමාරුවෙන් ඇහැ දාලා නිල් චිත්‍රපටියක් වාගේ මැදි වියේ ආදර දසුන රසවිඳින්න පටන් අරන්. 

යුවළට ඒක අපහසුවක් වුණත්, මිනිස්සු දිහා හොරෙන් බල බල, දොඩමළු වෙන ඒ දෙන්නා දකිද්දි, මට ඇත්තටම දැනුණෙ දුකක්. මම බස් එකෙන් බැස්සෙ, පිටිපස්සෙ දොරින්. මට ඕනෙ වුණා. ඇගේ අත දැක ගන්න. මම හිතුවා හරි, පාළු නෑ.. රත්තරන් රවුමක් හිර වෙලා තියෙනවා. එහෙත් මේ ඇගේ සැම්යා විය නොහැකියි කියලා මට යන්තමට හිතුණා. ප්‍රති ආදේශකයක් නැති කෙනෙක් තෝරා ගන්න ඇයට බැරි වෙන්න ඇති. ඒ ඇරියස් එක පිරි මහන්න, තව ආදරේකට ළං වෙන්න ඇති. පරම පිවිතුරු ආදරේ, තවමත් හොයා ගන්න බැරි වුණු නිසා ඒ ගැන නොහිතා ඉන්න මම හිතුවා.

මම ඉන්ස්ටිටියුට් එකට ගියා. එඩියුකේශන් ඇන්ඩ් ඩිවලොප්මන්ට් එකේ, මට හිමි අගුල අහිමි, ලොකර් එකට, බෑගය හිර කරලා.. පුටුව උඩ ඉඳගෙන හුස්මක් ගන්න හැදුවා.. එතකොටම ස්ටුඩනට් කවුන්සිලිං එකෙන් කෝල් එකක් ආවා. අපේ ආයතනයේ වැඩිපුරම ඉන්නෙ, සල්ලි ගොඩක් තියෙන, ඒ වාගෙම ප්‍රශ්න ගොඩකුත් තියෙන ළමයි. මගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න තව කෙනෙක් ඕනෙ වුණත්, ළමයින්ගෙ ප්‍රශ්න වලට උත්තර මම දන්න නිසා..මගේ දවසෙ සැලකිය යුතු කාලයක් එතැන ගෙවෙනවා.

හිමිදිරි පාන්දර ආවෙ කොහොම ප්‍රශ්නයක්ද කියලා හිතා ගන්න බැරි වුණත්, ඒ දිලාෂ් නොවන බව මම දැනගෙන හිටියා.. උස මහත මහ දරුණු, මට වඩා වයසින් වසර හයක් බාල දිලාෂ්ගෙ අම්මා භූමිකාවත්, අක්කා භූමිකාවත් දෙකම මම රඟපාන්න පටන් ගත්තෙ ගිය මාසෙ ඉඳන්. දිලාෂ් මම එන විට ඉන්ස්ටිටියුට් එකේ උන්නා නම්, මගේ පස්සෙන් එන බව මම දන්නවා. මම එයාට පොරොන්දු වෙලා තියෙනවා. කලින් දවස හොඳට හිටියොත්, පසුවදා උදේට එයාට හග් එකක් දෙන බව. මේ මාසෙම එයාගෙන් කවුරුවත් ගුටි කෑවෙ නෑ.. ඒ වගේම වේගවත් අධ්‍යාපන වර්ධන වේගයකුත් පෙනෙන්න තියෙනවා. 

ඉතිං ප්‍රශ්නෙ මගෙ පුංචි දිලාෂ් නිසා වෙන්න නම් කොහෙත්ම බෑ.. 

මිලන ගේ හිතේ වේදනාවත් ඊයෙ ඉඳන් අඩු වෙන්න පටන් අරන් ... එයාගෙ තාත්තාගෙ දෙවන විවාහය මිලන ගේ ලෝකෙ ගිනි බත් කරලා. සුන්දර ජපන් යුවතියක් වන අලුත් කුඩම්මා, මිලනව රුස්සන්නෙ නෑ වගේම, මිලනටත් ඇයව රුස්සන්නෙ නෑ. ඒ හිත හදන්න  බත් කටවල් සැලකිය යුතු තරමක් වගේම, පුංචි කැමරාවකුත් ගොඩක් උපකාරි වුණා. ට්‍රිප් එක යද්දිත් මට වෙන ගුරුවරියන්ගෙන් ඈත් වෙලා මිලන ළඟ ඉඳගන්න වුණා. 

ඉතිං දැන් සියල්ල හොඳ තත්වෙක නිසා ප්‍රශ්නෙ මගේ පුංචි මිලන වෙන්නත් බෑ..



මම දොරෙන් ඇතුළු වුණා. මම ඇයව දැක්කා. ඇත්තටම මම පුදුම වුණා. ඔව් ඒ ඇය තමයි. ඈ මගේ දිහා මොහොතක් හැඟීම් විරහිත, විසල් දෑසින් බලා සිටියා. ඉන් පස්සෙ හඬ අවදි කළේ, ඉදිරිපිට අසුනේ සිටි උපදේශන අංශයේ වැඩ බලන උපදේශකවරයාට. 

“ මම ආවෙත්, මේ මිස් ආපු බස් එකේ. මට බහින්න යද්දි වැරදුණා“

බහින තැන පමණක් නොවේ. ඇගේ ජීවිතය කිහිපපොළකින්ම වැරදිලා බව, මට දැනුනත් නිහඬව මම මට හිමි අසුනේ හිඳ ගත්තා. මගේ අසුන තියෙන්නෙ, සම්මුඛව වුණත් මඳක් දකුණට බරව.. ඇයගේ දෙනෙත් අධ්‍යනයයි මේ මොහොතේ මට පැවරෙන රාජකාරිය.. දිග කතාවක් අප ඉදරියෙ දිග හැරුණා.. ඒ අෂිනි ගෙ අම්මා. හෙළිකළ කොටසෙන්, නිර්මාණය කළ කොටස සහ, හැංගු කොටස් සියල්ල පසෙක දමලා සාරංශයේ සත්‍ය ගත්තොත්, තව සුමාන දෙකකින්,  ස්වාමියා හැර දාලා... ඔහු එක්ක ඈ ඉතාලි යනවා. 

එතකොට අෂිනි සහ ඇගේ අක්කා තනි වෙනවා. දැනටත් දුරුවල අෂිනි, තවත් කඩා වැටෙන්න පටන් ගනීවි කියන මහා බය මගේ හදවතේ දෝංකාර දෙන්න ගත්තා. හැමෝම තම තමන්ගෙ ජීවිත හොයා ගනිද්දි, වටේ පිටේ එල්ලුණු ආත්ම අතහැරෙන බව හිතන්න පෙළඹෙනවා නම් කියලා මට හිතුණා...අම්මා ගැන තරහක් මට ආවා.. ඉවසන්න කියලා පත්තරෙත් කියලා තිබුණු නිසාම මම ඇයට පිළිතුරු දුන්නෙ නෑ... ලෝකෙට අණ කරන්න අපිට බෑ.. අපිට අයිතියකුත් නෑ..

අෂිනිගෙ හෙට දවස සනසන්න, මිලන ගෙ ක්‍රමයවත් , දිලාෂ් ක්‍රමයවත් වැඩක් වෙන එකක් නැති නිසා, අලුත් ක්‍රමයක් හිතමින් මම කාමරෙන් එළියට ආවා.. මා පසුපස පැමිණි ඇය, මා දෙස යටැසින් බලා, ඇගිල්ලට හිර වූ මුද්ද ලිහිල් කරමින්, පඩිපෙළ බැස්සා. ඒ මුද්ද ඇඟිල්ලට හිර බව මෙවර මම හොඳින්ම දැක්කා. 

1/25/14

-236- ආදර ගෝතමීය



ජීවිතේ ලස්සනම කාලය මොකක්ද කියලා කෙනෙක් ඇහුවොත් අදටත් හෙටටත් මට දෙන්න තියෙන එකම සහ හැබෑම උත්තරය, නවය වසරෙ ඉඳන් උසස්පෙළ නිම වනතුරු ඉස්කෝලෙ ගත කළ කාලය කියලා කියන එක. අදටත් කෙරෙන සමහර විහිලු, ඔච්චම්, රැවිලි ගෙරවිලි වල ඉස්කෝලෙ අලගිය මුලගිය තැන් වල ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන නොසෑහෙන්න තියෙනවා. තාමත් පරණ කරපු වැඩ වලට හිනා වෙන අතරෙම, එදා දැකපු දඟකාර ඇහැට වඩා මව්වත් ඇහැකින් ඉස්කෝලෙ පෙනෙන්න අරන්.

අපේ ආරම්භක දිනය සිහිපත් කෙරෙන්නෙ, ජූනි මාසෙ 17 වෙනිදා. මීට අවුරුදු 67 කට කලින් 1946 අවුරුද්දෙ නිදහස් අධ්‍යාපනයේ පියා වුණු ඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගර මහත්මයාට කාන්තා පාසල් පටන් ගන්න වුවමනා වුණා. මුලින්ම මේ භූමියෙ රාජකීය කාන්තා පාසල ආරම්භ කරන්න කතිකා කෙරුණත් එවකට තිබුණු ඉංග්‍රීසි ප්‍රමුඛ අධ්‍යාපනය සලකලා, රජයේ ඉංග්‍රීසි බාලිකා විදුහල යන නමින් අපේ පාසල ආරම්භ කළා. ග්ලැඩියස් පෙරේරා නෝනමහත්තයා සමඟ, ගුරුවරු තුන්දෙනෙකුත් , ගැහැණු ළමයි පහළොවකුත් මුලින්ම ඉස්කෝලෙ හිටියාලු. ඉස්සරම පාට පාට ඇඳුම් ඇඳන් ආවාට පස්සෙ ටයි පටියක් සහිත යුනිෆෝම් එකක් තිබුණූ බව, අතීත කතා පුවත් වල අහන්න ලැබෙනවා. සෝමා ප්‍රේමරත්න මැඩම් හිටපු කාලෙ තමයි, අපේ ඉස්කෝලෙ සිංහල මාධ්‍යට හැරෙන්නෙ..එදා ඉස්කෝලෙ නම වෙනස් කරනවා. ඒ වගේම වර්තමාන පවතින නිල ඇඳුමටත් වෙනස් වෙනවා.. ඒ ඉස්කෝලෙට තෝරාගැනුණ නම තමයි.. ගෝතමී.



ගෝතමී කියන වචනය සිංහල වචනක් ලෙස අපේ භාෂාව තුළ භාවිතා නොවෙන තරම්. ගෝතමී යනු ඉන්දියානු වචනයක්. එහි අර්ථය බාලිකාවන් යන්නයි. කොහොම වුණත් ඉතිහාසයේ අමතක කළ නොහැකි ගෝතමියන් දෙදෙනෙක් නාමිකව සිටිනවා. එක් අයෙක් මහා ප්‍රජාපති ගෝතමි. අනෙකා කිසා ගෝතමී. ඒ නම් දෙක සිහිකරන වාරයක් පාසා යටි හිතට ආරෝපණය වන්නේ පුදුමාකාර ආඩම්බරයක්.

මහා ප්‍රජාපතී ගෝතමිය, අනුන්ගේ දරුවෙකුට මවක් වූ තැනැත්තියක්. බුද්ධ මාතා ලෙස ලොවම පිළිගත් තැනැත්තියක්. නොසැලෙන වීර්යෙන් අන්තිම මොහොත දක්වාම උත්සාහය අත් නොහළ තැනැත්තියක්. තම අවශ්‍යතා වෙනුවෙන් සියල්ල කැපකළ කාන්තාවක්. අවසන බුදුන්ගෙන්ද පසු ගමන් ලත් කන්තාව සහ එකම කාන්තාව.

කිසා ගෝතමිය, මහා පුරුෂයෙකුට අරමුණක් දෙනු පිණිස නිබ්බුත පද කී ගැහැණියක්, අප්‍රමාණ මාතෘ ස්නේහය උදෙසා දරුවාගේ මලකුණ පවා රැගෙන බෙහෙත් සොයා ගිය ගැහැණිය. උපරිම වීර්යෙන් අවසන් මොහොතේ සත්‍ය පසක් වන තුරු බලාපොරොත්තු අත් නොහැරි මවක්. කාන්තාවකගේ සිතක පවතින ශක්තිය පෙන්නූ අපූර්ව ස්ත්‍රියක්.

ඉඳින් දයාබර ගෝතමිය, ඔබට ආදරය නොකර කොහොමද?

ගෝතමියෙ අපි හැමෝම ගොඩක් දුරට එක වගෙයි. හුඟක් ගති ගුණ සමානයි. එහෙම වුණේ කොහොමද කියලා හිතා ගන්න බැරි වුණත්, ඒක එහෙම තමයි. ඒ සමහරවිට අපිව හැදු වැඩූ හර පද්ධතිය වෙන්න පුළුවනි. අපි අපේ ඉස්කෝලෙ තියෙන තැන ගැන හිනාවුණු සමහර අයට,
“අපි මරදානෙ තමයි“ කිව්වෙ හරි ආඩම්බරයෙන්. ඒක එදාට අදට වාගෙම හෙටටත් එහෙමයි. අපි මරදානෙන් ඉගෙන ගත්ත ගොඩක් දේවල් තිබුණා. ඒ දේවල් වෙන තැනක හිටියා නම් අපිට ඉගෙන ගන්න ඉඩ නොලැබෙන්න තිබුණා. අපි ඉතිරි කරන්න පුරුදු වුණේ, ලෝකයටම ආදරය කරන්න පුරුදු වුණේ, සරළ ජීවිතය පුරුදු වුණේ අපේ ඉස්කෝලෙන්. ගින්දර මහ පොළව උඩ පැවතෙන්න ඉගෙන ගත්තෙ, වේදනාව දරන්න ඉගෙන ගත්තෙ අපේ ඉස්කෝලෙන්.


මුළු ලෝකෙටම වුණත් ගුරුවරියක්, මවක් වෙන හැටි, දුරුවලයන්ටත්, වැඩ්ඩන්ටත් සමානව ආදරය කරන හැටි අපි ඉගෙන ගත්තෙ මේ අපූරු ඉස්කෝලෙන්. සොබාදහම අහස පොළව එක්ක අපිත් හිනාවෙනවා අපිත් අඬනවා කියලා අපි දැනගත්තෙ ඉස්කෝලෙන්. මුළු ලෝකෙම තමන් ඉස්සරහ රඟපානවා නම් ඒ හැමෝටම වඩා හොඳට රඟපාන්න අපි තේරුම් ගත්තෙ ඉස්කෝලෙන්. ඒකයි මම මගේ ඉස්කෝලෙට මෙච්චරටම ආදරේ.

කවදාහරි මට දුවක් උපන්නොත් ඇය මේ ලෝකෙ හොඳමයි කියලා නම් දරණ පාසල් සියයක් ඉස්සරහදි වුණත්, ගෝතමිය තෝරාගන්නා බවට මහා අධිතක්සේරුවක් මට තියෙනවා. මම ඇයට බල කරන්නෙ නෑ. නමුත් ඇය එහෙම කරාවි. ඔබ ඒ ගේට්ටුවෙන් එක වරක් ඇතුළට ගිහින් තියෙනවා නම්, එකම එක දවසක් හරි, එහෙම කරන්න ඇයට ඇති හේතුව හොයා ගන්න පුළුවන්..



ටැම්පිට පිහිටි වැඩ හිටින බුදු හාමුදුරුවන්ගෙ සිවුරු එළියෙන් නික්මෙන රන් පැහැයත්, මරදන් අහසේ වලාකුළක පහසක් වත් සිඟා නොයදින හිරුත් එක් වර ඒ බිමට අරුණෝදය ගෙන එනවා. රළු බොරළු වැල්ලේ එක්වර පිපෙන තුන්දහසකට ආසන්න දැරියන්ගේ පුංචි පා සලකුණු  ඇහැල මල් සුවඳින් සහ නොනිමි සෙනෙහසකින් හැමදාම දිලෙන හැටි ඔබ එක් වරක් හරි දකින්නම ඕනෙ. ඔව් ඔබ ඒ සුන්දරම පාසල දකින්නම ඕනෙ.

She always produce well mannered young ladies who are enriched with wisdom and knowledge for the well being of motherland.

හිමගිර දැහැනට සම වැදිලා මෙනි
කලබලයක් නැත දිස්වන්නේ...
මේ මගෙ පාසල මට මගෙ පුදබිම
භක්ත්‍යාදරයෙන් නමදින්නේ...