ඔහුගෙ ලග්නෙ මොකක් වුණත්, බලහත්කාරයෙන් ඉදිරියේ පෙරළා තිබූ පිටුවෙන් නිරායාසයෙන් මම මගේ ලග්නෙ කියවන්න පටන් ගත්තා.
“ ඉවසීමෙන් වැඩ කළොත් කටයුතු සාර්ථක කර ගත හැකියි.“
සමහර වෙලාවට එකපාරට කේන්ති ගියත්, දිගු කාලීනව පුරුදු කරපු එකම දේ ඉවසීම නිසා, මට ඒ වාක්‍යයෙන් ලොකු බලපෑමක් වුණේ නෑ.
කොන්දොස්තර මහත්මා ලීලාවෙන් නොදී අමතක කළ, රුපියල් පහක් ගැන කට කියවමින් විඳවන අත්තම්මා ගැන සිතෙහි උපන් ප්‍රබල අනුකම්පාවත්, පෙරදැරිව මම කොහුවලින් බැහැ ගත්තා.
නැවත වරක් පය නොගසන්නට තීරණය කළ පත්තර කඩේ අසලින්, ඉදිරියට ගිහින්, කලර් ලයිට් ගාව හිටගෙන ඉන්න මිනිස්සු අතරට මමත් එකතු වුණා. වාහනයක් දෙකක් අතරින් හොරෙන් පනින්න උත්සාහ කරන මැදිවියේ ඇන්ටි කෙනෙක් දෙන්නෙක් හැර, දැන් හුඟක් අය මාර්ග නීති වලට අවනතයි.
කොහුවලින් එකසිය විස්සක ගොඩවෙද්දි, බස් එකේ පෙම් මුල්ලත්, පොදු දර්ශන මුල්ලත් දෙකම බුක් වෙලා. කතාව හරියටම පටන් ගන්නෙ මෙතැනින්. පෙම් මුල්ලෙ හිටියෙ, මැදිවියේ පෙම් යුවලක්.. පොදු දර්ශන මුල්ලෙ හිටියෙ පන්ති යන දෙන්නෙක්. ඉස්සල්ලා නැගපු මැදිවියේ දෙපළ පෙම් මුල්ල කොල්ල කා ඇති නිසා, පන්ති යන යුවළට අනාරක්ෂිතව පොදු දර්ශන මුල්ලට වෙන්න සිද්ධ වෙලා. දෙගොල්ලොම සෑහෙන්න ආදරණීයයි.. ඒත් බස් එකේ හැමෝම වගේ පෙම් මුල්ලට අමාරුවෙන් ඇහැ දාලා නිල් චිත්‍රපටියක් වාගේ මැදි වියේ ආදර දසුන රසවිඳින්න පටන් අරන්.
යුවළට ඒක අපහසුවක් වුණත්, මිනිස්සු දිහා හොරෙන් බල බල, දොඩමළු වෙන ඒ දෙන්නා දකිද්දි, මට ඇත්තටම දැනුණෙ දුකක්. මම බස් එකෙන් බැස්සෙ, පිටිපස්සෙ දොරින්. මට ඕනෙ වුණා. ඇගේ අත දැක ගන්න. මම හිතුවා හරි, පාළු නෑ.. රත්තරන් රවුමක් හිර වෙලා තියෙනවා. එහෙත් මේ ඇගේ සැම්යා විය නොහැකියි කියලා මට යන්තමට හිතුණා. ප්‍රති ආදේශකයක් නැති කෙනෙක් තෝරා ගන්න ඇයට බැරි වෙන්න ඇති. ඒ ඇරියස් එක පිරි මහන්න, තව ආදරේකට ළං වෙන්න ඇති. පරම පිවිතුරු ආදරේ, තවමත් හොයා ගන්න බැරි වුණු නිසා ඒ ගැන නොහිතා ඉන්න මම හිතුවා.
මම ඉන්ස්ටිටියුට් එකට ගියා. එඩියුකේශන් ඇන්ඩ් ඩිවලොප්මන්ට් එකේ, මට හිමි අගුල අහිමි, ලොකර් එකට, බෑගය හිර කරලා.. පුටුව උඩ ඉඳගෙන හුස්මක් ගන්න හැදුවා.. එතකොටම ස්ටුඩනට් කවුන්සිලිං එකෙන් කෝල් එකක් ආවා. අපේ ආයතනයේ වැඩිපුරම ඉන්නෙ, සල්ලි ගොඩක් තියෙන, ඒ වාගෙම ප්‍රශ්න ගොඩකුත් තියෙන ළමයි. මගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න තව කෙනෙක් ඕනෙ වුණත්, ළමයින්ගෙ ප්‍රශ්න වලට උත්තර මම දන්න නිසා..මගේ දවසෙ සැලකිය යුතු කාලයක් එතැන ගෙවෙනවා.
හිමිදිරි පාන්දර ආවෙ කොහොම ප්‍රශ්නයක්ද කියලා හිතා ගන්න බැරි වුණත්, ඒ දිලාෂ් නොවන බව මම දැනගෙන හිටියා.. උස මහත මහ දරුණු, මට වඩා වයසින් වසර හයක් බාල දිලාෂ්ගෙ අම්මා භූමිකාවත්, අක්කා භූමිකාවත් දෙකම මම රඟපාන්න පටන් ගත්තෙ ගිය මාසෙ ඉඳන්. දිලාෂ් මම එන විට ඉන්ස්ටිටියුට් එකේ උන්නා නම්, මගේ පස්සෙන් එන බව මම දන්නවා. මම එයාට පොරොන්දු වෙලා තියෙනවා. කලින් දවස හොඳට හිටියොත්, පසුවදා උදේට එයාට හග් එකක් දෙන බව. මේ මාසෙම එයාගෙන් කවුරුවත් ගුටි කෑවෙ නෑ.. ඒ වගේම වේගවත් අධ්‍යාපන වර්ධන වේගයකුත් පෙනෙන්න තියෙනවා.
ඉතිං ප්‍රශ්නෙ මගෙ පුංචි දිලාෂ් නිසා වෙන්න නම් කොහෙත්ම බෑ..
මිලන ගේ හිතේ වේදනාවත් ඊයෙ ඉඳන් අඩු වෙන්න පටන් අරන් ... එයාගෙ තාත්තාගෙ දෙවන විවාහය මිලන ගේ ලෝකෙ ගිනි බත් කරලා. සුන්දර ජපන් යුවතියක් වන අලුත් කුඩම්මා, මිලනව රුස්සන්නෙ නෑ වගේම, මිලනටත් ඇයව රුස්සන්නෙ නෑ. ඒ හිත හදන්න බත් කටවල් සැලකිය යුතු තරමක් වගේම, පුංචි කැමරාවකුත් ගොඩක් උපකාරි වුණා. ට්‍රිප් එක යද්දිත් මට වෙන ගුරුවරියන්ගෙන් ඈත් වෙලා මිලන ළඟ ඉඳගන්න වුණා.
ඉතිං දැන් සියල්ල හොඳ තත්වෙක නිසා ප්‍රශ්නෙ මගේ පුංචි මිලන වෙන්නත් බෑ..
මම දොරෙන් ඇතුළු වුණා. මම ඇයව දැක්කා. ඇත්තටම මම පුදුම වුණා. ඔව් ඒ ඇය තමයි. ඈ මගේ දිහා මොහොතක් හැඟීම් විරහිත, විසල් දෑසින් බලා සිටියා. ඉන් පස්සෙ හඬ අවදි කළේ, ඉදිරිපිට අසුනේ සිටි උපදේශන අංශයේ වැඩ බලන උපදේශකවරයාට.
“ මම ආවෙත්, මේ මිස් ආපු බස් එකේ. මට බහින්න යද්දි වැරදුණා“
බහින තැන පමණක් නොවේ. ඇගේ ජීවිතය කිහිපපොළකින්ම වැරදිලා බව, මට දැනුනත් නිහඬව මම මට හිමි අසුනේ හිඳ ගත්තා. මගේ අසුන තියෙන්නෙ, සම්මුඛව වුණත් මඳක් දකුණට බරව.. ඇයගේ දෙනෙත් අධ්‍යනයයි මේ මොහොතේ මට පැවරෙන රාජකාරිය.. දිග කතාවක් අප ඉදරියෙ දිග හැරුණා.. ඒ අෂිනි ගෙ අම්මා. හෙළිකළ කොටසෙන්, නිර්මාණය කළ කොටස සහ, හැංගු කොටස් සියල්ල පසෙක දමලා සාරංශයේ සත්‍ය ගත්තොත්, තව සුමාන දෙකකින්, ස්වාමියා හැර දාලා... ඔහු එක්ක ඈ ඉතාලි යනවා.
එතකොට අෂිනි සහ ඇගේ අක්කා තනි වෙනවා. දැනටත් දුරුවල අෂිනි, තවත් කඩා වැටෙන්න පටන් ගනීවි කියන මහා බය මගේ හදවතේ දෝංකාර දෙන්න ගත්තා. හැමෝම තම තමන්ගෙ ජීවිත හොයා ගනිද්දි, වටේ පිටේ එල්ලුණු ආත්ම අතහැරෙන බව හිතන්න පෙළඹෙනවා නම් කියලා මට හිතුණා...අම්මා ගැන තරහක් මට ආවා.. ඉවසන්න කියලා පත්තරෙත් කියලා තිබුණු නිසාම මම ඇයට පිළිතුරු දුන්නෙ නෑ... ලෝකෙට අණ කරන්න අපිට බෑ.. අපිට අයිතියකුත් නෑ..
අෂිනිගෙ හෙට දවස සනසන්න, මිලන ගෙ ක්‍රමයවත් , දිලාෂ් ක්‍රමයවත් වැඩක් වෙන එකක් නැති නිසා, අලුත් ක්‍රමයක් හිතමින් මම කාමරෙන් එළියට ආවා.. මා පසුපස පැමිණි ඇය, මා දෙස යටැසින් බලා, ඇගිල්ලට හිර වූ මුද්ද ලිහිල් කරමින්, පඩිපෙළ බැස්සා. ඒ මුද්ද ඇඟිල්ලට හිර බව මෙවර මම හොඳින්ම දැක්කා.
පවු ඒ ළමයි... !!!
ReplyDeleteඅම්මා කෙනෙක් උනහම තමන්ගේ ආසාවල් වලට වඩා දරුවන් ගැන හිතන්න ඕන. ඔන්න තනිකඩ ගෑනු කෙනෙක් නං කමන් නෑ.. ඒකෙන් මේකෙන් අර ගෑනු දරුවෝ දෙන්නා අනාත වෙනවා. :(
ජීවිතයේදි අපිට වෙලාවකට අපි අපිම බව අමතක කරලා තීරණ ගන්න වෙනවා.එතනදි ගොඩක් අසරනයි.www.amuthusithuwili.wordpress.com
ReplyDeleteහිත ඔල්මොරොන්දන් වෙලා ගියා නිනූ මේව කියවන කොට......
ReplyDeleteමටත් දුක දරුවෝ ගැන.. අනේ මන්දා..
ReplyDeleteනිතර ඇස නොගැටුනු පිටුවක්... බොහොම සංවේදී කතා පෙළක් කියෙව්වා. ඔබත් දරුවන්ගේ හිත හඳුනන කෙනෙක් බව වැටහුනා. බොහොම ආත්මාර්ථකාමී සිතුවිලි අරක් ගත්තු මිනිස්සු එක්ක ගැවසෙන්න වෙච්චි සමාජයක ඔහොම තනිවුනු පැටව් ඕනෑ තරම් නේරංජි, බොහෝ දරුවන්ගේ ජීවිත දෙකඩ තුන්කඩ වෙලා තියෙන්නේ දෙමාපියන්ගේ ආසාවල් පස්සේ ලුහුබඳින හිත් නිසා. අන්තිමට ඔවුන් අත්තම්මෙක් හරි නැන්දෙක් ලොකු අම්මෙක් හරි ළඟ තනිවෙනවා. මේ සමාජ ක්‍රමයේ ආචාරධරම පෙරළියෙන් පසු..මිනිස්සුන්ගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු වෙන්නත් බෑ...බොහොම දුක හිතෙන කතාවක්.!
ReplyDelete