Showing posts with label ඉස්කෝලෙ විත්ති. Show all posts
Showing posts with label ඉස්කෝලෙ විත්ති. Show all posts
1/25/14
-236- ආදර ගෝතමීය
ජීවිතේ ලස්සනම කාලය මොකක්ද කියලා කෙනෙක් ඇහුවොත් අදටත් හෙටටත් මට දෙන්න තියෙන එකම සහ හැබෑම උත්තරය, නවය වසරෙ ඉඳන් උසස්පෙළ නිම වනතුරු ඉස්කෝලෙ ගත කළ කාලය කියලා කියන එක. අදටත් කෙරෙන සමහර විහිලු, ඔච්චම්, රැවිලි ගෙරවිලි වල ඉස්කෝලෙ අලගිය මුලගිය තැන් වල ඉලෙක්ට්රෝන, ප්රෝටෝන නොසෑහෙන්න තියෙනවා. තාමත් පරණ කරපු වැඩ වලට හිනා වෙන අතරෙම, එදා දැකපු දඟකාර ඇහැට වඩා මව්වත් ඇහැකින් ඉස්කෝලෙ පෙනෙන්න අරන්.
අපේ ආරම්භක දිනය සිහිපත් කෙරෙන්නෙ, ජූනි මාසෙ 17 වෙනිදා. මීට අවුරුදු 67 කට කලින් 1946 අවුරුද්දෙ නිදහස් අධ්යාපනයේ පියා වුණු ඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගර මහත්මයාට කාන්තා පාසල් පටන් ගන්න වුවමනා වුණා. මුලින්ම මේ භූමියෙ රාජකීය කාන්තා පාසල ආරම්භ කරන්න කතිකා කෙරුණත් එවකට තිබුණු ඉංග්රීසි ප්රමුඛ අධ්යාපනය සලකලා, රජයේ ඉංග්රීසි බාලිකා විදුහල යන නමින් අපේ පාසල ආරම්භ කළා. ග්ලැඩියස් පෙරේරා නෝනමහත්තයා සමඟ, ගුරුවරු තුන්දෙනෙකුත් , ගැහැණු ළමයි පහළොවකුත් මුලින්ම ඉස්කෝලෙ හිටියාලු. ඉස්සරම පාට පාට ඇඳුම් ඇඳන් ආවාට පස්සෙ ටයි පටියක් සහිත යුනිෆෝම් එකක් තිබුණූ බව, අතීත කතා පුවත් වල අහන්න ලැබෙනවා. සෝමා ප්රේමරත්න මැඩම් හිටපු කාලෙ තමයි, අපේ ඉස්කෝලෙ සිංහල මාධ්යට හැරෙන්නෙ..එදා ඉස්කෝලෙ නම වෙනස් කරනවා. ඒ වගේම වර්තමාන පවතින නිල ඇඳුමටත් වෙනස් වෙනවා.. ඒ ඉස්කෝලෙට තෝරාගැනුණ නම තමයි.. ගෝතමී.
ගෝතමී කියන වචනය සිංහල වචනක් ලෙස අපේ භාෂාව තුළ භාවිතා නොවෙන තරම්. ගෝතමී යනු ඉන්දියානු වචනයක්. එහි අර්ථය බාලිකාවන් යන්නයි. කොහොම වුණත් ඉතිහාසයේ අමතක කළ නොහැකි ගෝතමියන් දෙදෙනෙක් නාමිකව සිටිනවා. එක් අයෙක් මහා ප්රජාපති ගෝතමි. අනෙකා කිසා ගෝතමී. ඒ නම් දෙක සිහිකරන වාරයක් පාසා යටි හිතට ආරෝපණය වන්නේ පුදුමාකාර ආඩම්බරයක්.
මහා ප්රජාපතී ගෝතමිය, අනුන්ගේ දරුවෙකුට මවක් වූ තැනැත්තියක්. බුද්ධ මාතා ලෙස ලොවම පිළිගත් තැනැත්තියක්. නොසැලෙන වීර්යෙන් අන්තිම මොහොත දක්වාම උත්සාහය අත් නොහළ තැනැත්තියක්. තම අවශ්යතා වෙනුවෙන් සියල්ල කැපකළ කාන්තාවක්. අවසන බුදුන්ගෙන්ද පසු ගමන් ලත් කන්තාව සහ එකම කාන්තාව.
කිසා ගෝතමිය, මහා පුරුෂයෙකුට අරමුණක් දෙනු පිණිස නිබ්බුත පද කී ගැහැණියක්, අප්රමාණ මාතෘ ස්නේහය උදෙසා දරුවාගේ මලකුණ පවා රැගෙන බෙහෙත් සොයා ගිය ගැහැණිය. උපරිම වීර්යෙන් අවසන් මොහොතේ සත්ය පසක් වන තුරු බලාපොරොත්තු අත් නොහැරි මවක්. කාන්තාවකගේ සිතක පවතින ශක්තිය පෙන්නූ අපූර්ව ස්ත්රියක්.
ඉඳින් දයාබර ගෝතමිය, ඔබට ආදරය නොකර කොහොමද?
ගෝතමියෙ අපි හැමෝම ගොඩක් දුරට එක වගෙයි. හුඟක් ගති ගුණ සමානයි. එහෙම වුණේ කොහොමද කියලා හිතා ගන්න බැරි වුණත්, ඒක එහෙම තමයි. ඒ සමහරවිට අපිව හැදු වැඩූ හර පද්ධතිය වෙන්න පුළුවනි. අපි අපේ ඉස්කෝලෙ තියෙන තැන ගැන හිනාවුණු සමහර අයට,
“අපි මරදානෙ තමයි“ කිව්වෙ හරි ආඩම්බරයෙන්. ඒක එදාට අදට වාගෙම හෙටටත් එහෙමයි. අපි මරදානෙන් ඉගෙන ගත්ත ගොඩක් දේවල් තිබුණා. ඒ දේවල් වෙන තැනක හිටියා නම් අපිට ඉගෙන ගන්න ඉඩ නොලැබෙන්න තිබුණා. අපි ඉතිරි කරන්න පුරුදු වුණේ, ලෝකයටම ආදරය කරන්න පුරුදු වුණේ, සරළ ජීවිතය පුරුදු වුණේ අපේ ඉස්කෝලෙන්. ගින්දර මහ පොළව උඩ පැවතෙන්න ඉගෙන ගත්තෙ, වේදනාව දරන්න ඉගෙන ගත්තෙ අපේ ඉස්කෝලෙන්.
මුළු ලෝකෙටම වුණත් ගුරුවරියක්, මවක් වෙන හැටි, දුරුවලයන්ටත්, වැඩ්ඩන්ටත් සමානව ආදරය කරන හැටි අපි ඉගෙන ගත්තෙ මේ අපූරු ඉස්කෝලෙන්. සොබාදහම අහස පොළව එක්ක අපිත් හිනාවෙනවා අපිත් අඬනවා කියලා අපි දැනගත්තෙ ඉස්කෝලෙන්. මුළු ලෝකෙම තමන් ඉස්සරහ රඟපානවා නම් ඒ හැමෝටම වඩා හොඳට රඟපාන්න අපි තේරුම් ගත්තෙ ඉස්කෝලෙන්. ඒකයි මම මගේ ඉස්කෝලෙට මෙච්චරටම ආදරේ.
කවදාහරි මට දුවක් උපන්නොත් ඇය මේ ලෝකෙ හොඳමයි කියලා නම් දරණ පාසල් සියයක් ඉස්සරහදි වුණත්, ගෝතමිය තෝරාගන්නා බවට මහා අධිතක්සේරුවක් මට තියෙනවා. මම ඇයට බල කරන්නෙ නෑ. නමුත් ඇය එහෙම කරාවි. ඔබ ඒ ගේට්ටුවෙන් එක වරක් ඇතුළට ගිහින් තියෙනවා නම්, එකම එක දවසක් හරි, එහෙම කරන්න ඇයට ඇති හේතුව හොයා ගන්න පුළුවන්..
ටැම්පිට පිහිටි වැඩ හිටින බුදු හාමුදුරුවන්ගෙ සිවුරු එළියෙන් නික්මෙන රන් පැහැයත්, මරදන් අහසේ වලාකුළක පහසක් වත් සිඟා නොයදින හිරුත් එක් වර ඒ බිමට අරුණෝදය ගෙන එනවා. රළු බොරළු වැල්ලේ එක්වර පිපෙන තුන්දහසකට ආසන්න දැරියන්ගේ පුංචි පා සලකුණු ඇහැල මල් සුවඳින් සහ නොනිමි සෙනෙහසකින් හැමදාම දිලෙන හැටි ඔබ එක් වරක් හරි දකින්නම ඕනෙ. ඔව් ඔබ ඒ සුන්දරම පාසල දකින්නම ඕනෙ.
She always produce well mannered young ladies who are enriched with wisdom and knowledge for the well being of motherland.
හිමගිර දැහැනට සම වැදිලා මෙනි
කලබලයක් නැත දිස්වන්නේ...
මේ මගෙ පාසල මට මගෙ පුදබිම
භක්ත්යාදරයෙන් නමදින්නේ...
4/5/13
-212- අවුරුදු 6ක් ඉස්සර
මම මේ ලිපිය ලියනවා කියලා හිතුවෙ, කවදාවත් කාටවත් නොකීව, පුදුමාකාර කතාවක් එතැන තියෙන නිසයි. ඊයේ රෑ 2012 අපොස සාමාන්ය පෙළ ප්රතිඵල නිකුත් වුණා. අපේ නංගිත් විභාගෙ ලිව්වෙ 2012. එයා මගෙ මාමාගෙ දුව. එයා බොහොම ඉහළින් සාමන්ය පෙල සමත්.. ඉතින් ඔය ගැන කතා වෙවී ඉන්න අතරේ, අවුරුදු 6කට කලින් විභාගෙ කරපු මගේ ප්රතිඵලත් ආයෙ කතා බහට ලක් වුණා. මම සමාජ අධ්යනය හා ඉතිහාසය විෂයයන් කෙරෙහි දැක් වූ උනන්දුව පෙන්වලා, නංගිගෙ B එකට බනින්නත්.. එයාලා අමතක කළේ නෑ..
කොහොම කළත්, මගේ A 8 ට තාම නෑදෑයෝ අතර තැන වැඩියි වගේ... (පොර ටෝක් එකක්)
මෙතනින් එහාට කියන්න සුදානම් වෙන්නෙ.. ඉතාම සත්ය සිද්ධියක්. ඒක පාසලේ කවුරුවත් දන්නෙ නෑ.. හැබැයි අද දැන ගනී. මගේ හැම යාලුවෙක්ම. ගණිතය කියන්නෙ හැමදාටම සාමන්ය පෙළ විභාගෙ ඇතුළේ, බොහොම වටින විෂයක්. මොකද ගණං නැති වුණොත්, ඒ ලෙවලුත් නැති නිසා. දවස 2005 වසරේ දෙසැම්බර් 15 ( මතක විදිහට) එදා උඳුවප් පුර පෝය. පහුවදා ගණිතය නිසා අත්තාම්මාගේ සහ අත්තප්පාගේ වාර්ෂික දානෙට ගියෙ නෑ.. ඒත් ඊට සහභාගි වුණ අප්පච්චි, මට දානෙ ගෙදරින් බත් මුලක් ගෙනවා.
මම හරි ආසාවෙන් , ඒ බත් මුල කෑවා. පහුවදා උදේ, මට හදිස්සියෙ ආසාවක් ආවා.. පොල් රොටි කන්න. ගෙදර පිටි තිබුණෙ නෑ. අම්මා කවදාවත් නැතුව, අල්ලපු ගෙදර බැඳපු නැති ආච්චිලාගෙ ගෙදරින් පිටි ගෙනත් මට රොටි පුච්චලා දුන්නා.
මම රොටි කකා ඉද්දි ගෙදරට දුරකථන ඇමතුමක් ආවා. මාලා අම්මාගෙන්. කතා කළේ අප්පච්චිට..
" මල්ලි ඊයේ දානෙ මාලු ටිකක් හරි මදි වගේ.. පොඩි එකාට දුන්නෙ නෑ නේද? "
මොන පිස්සුද? පොඩි එකා බඩ ජාරියා වාගේ මාලු ටික කාලා. දැන් මොකක් කරන්නද? කෝකටත් කියලා අම්මා ග්රයිෆ්ෆෝටර්, ටිකක් දුන්නා..
දැන් බස් එකේ මරදානට වෙනකං ආවා.. පහසුවක් නැතත්, අපහසුවක් තිබුණෙ නෑ.. ඒත් බඩ නං හරි නෑ කියලා තේරුණේ, ටයර් කඩේ ගාවදි. මුලු අඟම දාඩිය දාන්න පටන් ගත්තා.. ඒක පුදුම වෙහෙසක්. මම ඉස්කෝලෙට ගිය ගමන් එක පාරක් වොෂ් රූම් ගියා. විභාගෙ 9 ට නෙ. ආයෙ. අටයි දහයටත් වොෂ් රූම් ගියා. මම පාචනයත් හැදුණ කෙනෙක් නිසා, අම්මා එදා ගේට්ටුව ළඟම හිටියා. කොහොම හරි එදා 16 වෙනිදා.
හරියටම දෙවනි පේපරේ දුන්නා. පළවෙනි ප්රශ්නය කොටස් 11 යි. අනිවාර්යයි. පළවෙනි ප්රශ්නය ඇතුළුව, ප්රශ්න 8 ක් කරන්න තිබුණා. ව්යුහය මතක වුණාට ඉලක්කම් හරිද වැරදිද කියලා දැන් මතක නෑ. අවුරුදු හයක්නෙ. (දින පොත් නොබලා ලියන්න හිතුණෙ මතකයෙන්.)
පළවෙනි ප්රශ්නයෙ, පළවෙනි කොටසවත් ලියන්න, හිතා ගන්න බෑ... ඒක මහ පුදුමයක්. ගාන හිතනකොට, අනිත් පැත්තෙන් යනවා. ඒ තරම්ම අසාධ්යයි. මට බය හිතුණා. ගඳ දැනුණොත්, මාව එතනින් ඉවත් කරයි කියලා. ලැජ්ජාවක් නෑ. ඔක්කොම ගැහැණු ළමයි. ඒත් විභාගය. මම ගණිතය හරි ආසාවෙන් ඉගෙන ගත්තා.
මට ඒ වෙලාවෙ හිතුණා, පේපරේ කොහොම හරි ලියනවා. මේක හිතලා පරිස්සමට කරන්න ගියොත්, මට කරන්න වෙන්නෙ නෑ කියලා. පෑන තද කරලා අතින් අල්ල ගත්තා. මට ඒ වෙලාවෙ, මතක් වුණා.. ගණං පන්තිය. මම ආසාවෙන්ම ගිය පන්තිය ඒක. ගණිතයට ආසා වීම වාගෙම ඒකටත් හේතුවක් තිබුණා. ( වැඩිපුර හොයලා බලන පිරිමි ළමයෙක් ඉන්න එක.. එහෙම නැතුව, ප්රේමයක් නම් නෙවී.)
ගණං සර්.. අපේ සීයාගෙ යාලුවෙක්. එයා මට පුදුම ආදරෙයි. සර් ළඟට ගිහිං ගණං වලට B කියන්න මට බෑ. කොටින්ම එදාට එයා එන නිසා, ඒක කොහොමත් කියන්න බෑ. අනික මේම දෙයක් වුණා කියලා, එයා දැන ගන්න එක ලැජ්ජාවක්නෙ.. කොටින්ම පොදු පාසැල් එකට ආරංචිය ගියොත්, වස විළි ලැජ්ජාවක් වෙන්නෙ. මගෙ ඇස් දෙකට කඳුලු ආවා.
දැන් පැය තුනෙන් විනාඩි 35 ක් ගිහිං ඉවරයි. මට කියන්න කිසි කෙනෙක් නෑ. මට ගාණ කියවන්නවත් බෑ. මේක ස්ට්රෙස් එක නෙවෙයි. මට අපහසුවෙන් හරි වැඩේ කරන්න පුළුවන්. ප්රශ්නෙ අනිත් පැත්තෙන් යන එක. මොළය සහ බහිස්රාවීය පද්ධතිය අතර ඒ තරම් සම්බන්ධයක් තියෙනවා කියලා මට හිතුණෙ එදා.
හිතට වෙර ගත්තා. පෑන අතා ගත්තා.. මම මුලු ලෝකෙම අමතක කළා... එක දිගට මම ලිව්වා... පැයක් ඇතුළත, කිසිම ප්රශ්නයක් අත් නොහැර අත් ඇරිය යුතු ගණන් පවා හැදුවා. ඒක කළේ හිතට ආපු ආවේගයට.. පැයක් ඔලුව ගහන් හිටියා.. බඩ පෙරළවනවා.
පේපර් එකතු කළා. වෙනදාට පේපරේ ගන්න මොහොත වෙනකං හැඩ කර කර ගණන් හදන නෙරංජි ට මොකද වුණේ කියලා ළමයි හිතන්නැති. මම කාටත් උත්තර දෙන්න ඉස්සර වොෂ් රූම් දිව්වා.. ගවුම හෝදලා තෙත ගවුමම ආයෙ ඇඳගත්තා.. පළවෙනි පේපර් එක ලිව්වෙත් ඒ විදිහටම තමයි.
මගෙ වෙනස කාටවත් තේරුණේ නෑ.. මම විඵාගෙ ඉවරවුණ ගමන්, ගේට්ටුවට දිව්වා.. අම්මා, මාව එහෙම්ම ත්රීවීල් එකක දාගෙන ගෙදර ආවා.. අම්මා ඒ ඇඳුම් පවා පිච්චුවා. හිතා ගන්න බැරි කාටත් ඒක නොදැනිච්ච එක. බෙහෙත් ගත්තා.. දොස්තරලාත් ඉතා කාර්යක්ෂමව හොඳ වෙන්න බෙහෙත් දුන්නා..
දන්න කියන නෑයො සහ ගෙදර අය කිව්වෙ, ගණන් ආයෙත් ගන්න වෙයි කියලා. කවුරු නැතත් අප්පච්චි කිව්වා... පුතේ, ඔයා මේ සාමාන්ය පෙළ ගණිතය විභාගෙන් S එකක් ගත්තොත්, ඔයා ලංකාවෙන් පළවෙනියා වුණාට වඩා ආඩම්බර වෙන්න ඕනෙ කියලා.
රිසල්ට් ආවා මේ වාගෙම අප්රේල් මාසයක. හිතන්න මට ගණිතය A ... මට ම පුදුමයි. මම කර්ම ශක්තිය විශ්වාස කරන්න පටන් ගත්තෙ එදා. එතෙක් මෙතෙක් නොදන්න හැම කෙනෙක්ටම, මම උපරිමෙන් දන්න දේ කියා දුන්නා. ඒ වෙනුවෙන්, මට අමාරු වුණ වෙලාවෙ විශ්වයේ ශක්තියක් මං දිහා බැලුවා...
අදටත්, මම අනික් සබ්ජෙට් අටටම ගත්ත A වලට වඩා ගණිතය A එකට ගරු කරනවා. ආදරය කරනවා. හැම සාමාන්යෙපළ විභාගයකදිම, මම ඒ A එක ගැන හිතලා අප්රමාණව සතුටු වෙනවා.
අද එයාගෙ උපන්දිනේ. මම එයාට විශ් කරන්න ඕනෙ.. එයා මේ කතාව දන්නෙත් නෑ.. අදටත් අපි හොඳ යාලුවො. දැන් එයාට වඩා මං උසයි. අවුරුදු 6ක් අපි වයසට ගිහිං
ඒත් සාමන්ය පෙළ විභාගය තාම තරුණයි.
9/26/12
කට වහගෙන සිටීම සහ මගේ ශිෂ්යත්වය
ඒ දවස් වල මට ඇවිදින්න බැහැ. දුවන්න ගිහිං වැටිලා කකුල කැඩිලා.. ඒ කාලෙ මම ඉස්කෝලෙ ගියෙත් නෑ.. ශිෂ්යත්ව පන්තියට ගියෙත් නෑ.. අප්රේල් මාස විතර ඉඳලා. යන්තං පොළවෙ අඩිය ගහන්න පුළුවං වුණා විතරයි.. ශිෂ්යත්වය ලියද්දි... හැමෝම පාස් වෙන්න කියලා කිව්වත්, ඒක මට සැක නිසා මම කට වහගෙන හිටියා..
විභාගය වෙලාවෙදි නැගෙන හැම ප්රශ්නයක්ම සුපයිසර්ට කියන්න කියලා ටීචර්ලා අපට කිව්වා.. මට මතකයි.. මම ශිෂ්යත්වෙ ලිව්වෙ කේන්තියෙන් කියලා. සුපයිසර්ට හිටපු ටීච ළඟ පාසලක. එයා පුද්ගලික ශිෂ්යත්ව පන්ති කළා.. එයාගෙ පන්තියෙ ළමයි තුන්දෙනෙක් ඒ ශාලාවෙ හිටියා. එයා ළමයින්ට උත්තර සංඥා කළා.. පොඩි වුණත් මට ඒක දැනුණා. අසාධාරණයට විරුද්ධව කෑ ගහන්න ඕනෙ කියන හැඟීම ආවත්, අනේ මගේ කෑ ගැහීම ඇහිය යුත්තා එයා ම හින්දා මම කට වහගෙන හිටියා..
ඉන් විනාඩි කීපයකට පස්සෙ ඒ සුපයිසර් මං ගාවට ආවා.. මම ලියන විදිහ එයාට මැජික් එකක් වුණා.. වටේම හිටපු සුපයිසර්ලා එක එක්කෙනා ගෙන්නලා, මම ලියන විදිහ ඒ අයට පෙන්වන්න පටන් ගත්තා.. කට්ටියම මගේ ඉහට උඩින් එබෙනවා... මට හුස්ම ගන්නත් බෑ... ඒ මදිවට කලුවරයි.. කාට කියන්නද සුපයිසර්ටම මිසක්. ඒ නිසා මම කට වහගෙන හිටියා..
එක ප්රශ්න පත්රයක් ඉවර වෙලා අනික් එකට ඉස්සර පුංචි විවේකයක් ලැබුණා.. සෙල්ලං කරන්න නොලැබුණ නිසා ඉන්ටර්වල් එකක් නෙවෙයි.. මම බනිස් ගෙඩියක් කෑවා.. එහා පැත්තෙ ඉඳගෙන හිටියෙ මන්තිල. එයාගෙ තාත්තා මුද්රණ සංස්ථාවෙ. මන්තිල අතට එයා කොළයක් දුන්නා.. මන්තිල ඒක කමිස සාක්කුවෙ දා ගත්තා.. එයා ඒ කොළය ශාලාවට අරන් ගියා. ශාලවට පිටින් කොළ ගෙනියන්න තහනම්. මම ඒ බව දන්නවා. ඒත් ඔහු සුපයිසර්ගෙම ගෝලයා නිසා මම කට වහගෙන හිටියා...
ශිෂ්යත්වය ඉවර වුණා. ටික කාලයකට පස්සෙ ටොයිලට් එකක් අස්සෙන්, ළමයෙක් බාගෙට ලියපු ප්රශ් පත්රයක් හමුවුණා.. ළමයා කවුද කියලා දැන ගත්තත් ඒ ඉස්කෝලෙම ඉහල වසරක ටීචර් කෙනෙක් පුතෙක් නිසා, හැමෝම කට වහගෙන හිටියා...
මාස දෙකක් විතර ගෙවුණා.. මට ඇවිදින්න පුළුවන් දැන්. ඒ නිසා පත්තු බඳින්න යන දවසක්. අම්මා එක්ක මම පල්ලෙ වෙල ගියා.. මම ඇඳගෙන හිටියෙ, කහපාට ඇඳුමක්. සායකුයි ටීෂර්ට් එකකුයි.. කොස්වත්තෙන් බහිනකොට, ගැහැණු කෙනෙක් හමුවුණා. ඇය අම්මා කී විදිහට හයේ දරුවෙකුගෙ මවක්. වැඩිම ලකුණු 161 යි. ශිෂ්යත්ව ලකුණු මේ දැන් ආවා.. ඇය කිව්වා.. අපි එදා ඒක එන බව කලින් දන්නෙ නැති නිසා.. ඇත්තද කියලා අහගෙන, හෙමින් හෙමින් කන්ද ඇද්දුවා. අම්මාට විශ්වාසයක් තිබුණෙ නෑ..මම පාස් කියලා..මට විශ්වාසයක් තිබුණෙත් නැහැ. ඒ නිසා මම කට වහගෙන හිටියා.
චුට්ට දුරක් යනකොට තව හතරෙ නංගි කෙනෙක් ගෙ අම්මා කෙනෙක් ආවා... ඔයාගෙ දුව කළා නේද? මේ පාර 135න් පාස් කරලා තියෙන්නෙ.. ඉස්කෝලෙ පළවෙනියා හීනැටිකුඹුර පැත්තෙලු.. අම්මා එතකොට හිත හදා ගත්තා මතකයි .. ඉස්කෝලෙන් වැසිකිලියෙ තිබිලා හම්බවුණ ප්රශ්න පත්රයෙ අඩුව හොඳට පුරවපු තව ප්රශ්න පත්රයක් දෙපාර්තමේන්තුවට යන්න ඇති කියලා.. අම්මාගෙ ඇස් වල වේදනව දැකලා මම කටවහන් හිටියා...
ඉස්කෝලෙ ගේට්ටුව ගාවදි, ඉස්සරහට එන එන අම්මලා, මගෙ දිහා බලන්න, මුමුණන්න ගත්තා. වෙනදා හිනා නොවෙන අය මා එක්ක හිනා වෙනවා කියලා දැනුනා... කොහේදෝ ඉඳලා කුසුම් ටීච ඇවිත්, කවදාවත් නැතුව මගෙ ඔලුව අතගෑවා.. පුතේ ඔයා මේ පාර, මගේ නම්බුව බේරුවා... ඔයා තමයි ශිෂ්යත්වෙන් අපේ ඉස්කෝළෙ වැඩිම ලකුණු.. වෙනදා කතා නොකරපු ටීචර්ලා මාව තුරුලු කර ගත්තා... වෙනදා මම ආසාවෙන් කතා කරන්න ගිහින්, මාව ගණන් නොගත්ත යෙහෙළියො මට සුබ පතන්න ආවා.. අම්මා සතුටු වෙනවා දැක්කා.... ඉස්කෝලෙ රැස්වීමෙදි මාව හිටවලා, අප්පුඩි ගැහුවා.. මගේ පින්තූරෙ ලොකු කරලා රාමු කරලා.. බිත්තියෙ එල්ලුවා... සිද්ධ වුණ දේ හරිම පුදුමාකාර නිසා මම කට වහගෙන හිටියා...
මට අලුත් ඉස්කෝලයක් ලැබුණා. ඒ ගෝතමිය. මගෙ ලකුණු ගණනට ලැබුණේ ඒ පාසල.. මම ඒකට යන්න අස් වෙන දවසෙ, හුඟක් අය මට සුබ පැතුවා... දන්න තැන් වල තකතීරු කම් සහ කෛරාටික කම් මෙහෙම නම් නොදන්න තැනක් කොහොම වේවිද කියලා හිතා ගන්නවත් බැරි නිසා, කථික තරඟ හැම එකෙන්ම පළවෙනියා වුණත් මම අවසාන වරටත්, ඒ ඉස්කෝලෙදි ඒ වෙලාවෙදි කට වහගෙන හිටියා...
8/29/12
ඔමාලි ඔබ නිවන් යන්න පෙර ලියා තැබුවෙමි
මට මතක හැටියට ඒ දවස් වල අපි නියාමක ලා. ඒ කියන්නෙ ශිෂ්ය නායිකාවක් කරනවාද නැද්ද කියන පරිවාස කාල සීමාව. මේ කතාව කියව ගෙන යද්දි පිස්සු කෙල්ලො ටික නිසා ඔයාලා කාටත් හිනා යන්න පුළුවන්. ඒත් මේක හුඟක් දුක් බර කතාවක්. දවස 2006 අවුරුද්දෙ නොවැම්බර් 23 වෙනිදා. මගේ මෙමරි පොත ට අනුව එහෙමයි. කොහොම නමුත් ඒ සෆියාගෙ උපන්දිනේට පස්සෙ දවස. එයාගෙ නම ඔමාලි. මට ඉතිරි ටික මතක නැහැ.
මම උදේම ඉස්කෝලෙට ගියා. නැහැ මම දිව්වා. හතයි කාලට කලින් අස්සන් කරන්න ඕනෙ නිසා. ගේට්ටුව ගාව හිටි නියාමකලාගෙ නම් දැන් මතක නෑ. නමුත් ඒ අයගෙ මුහුණු වල වෙනදා දිස්නෙ තිබ්බෙ නෑ. පිපිලා ඉස්කෝලෙට ගොඩ බැස්ස මට මේක හරස් පද ප්රහේලිකාවක්. මම ඒ අයට ගුඩ් මෝර්නිං කියා ගෙන පල්ලෙහා ගේට්ටුවෙ ඉඳන් උඩ ඔෆිස් එකට යන්ඩ ටැප් පේළිය ළඟ තියෙන පඩි පෙළ නැග්ගා.
පඩි පෙළේ උඩ කෙළවරේදි දුවලෙන වාගෙ ආපු ශ්රීමතී මිස්, මාව වැළඳ ගත්තා.
දුවේ, මං හිතුවෙ ඔයා කියලා. මම හිටියෙ හරිම බයෙන්. ඒත් කවුරු වුණත් අපේ දරුවෙක්!
ඒක මට ලොකුවට දැනුණෙ නෑ. මොකක් නමුත් සිද්ධ වෙලා කියලා හිතුණා. ඒත් මට දුක හිතෙන කිසිම දෙයක් වුණේ නැති නිසා පිපිච්ච මුහුණ ඒ වගේම තියාගෙන මම ඔෆීස් එකට දුවලා වයිස් ප්රින්සිපල් සෝමා මැඩම් ගෙ මේසෙ උඩ තිබ්බ නියාමක කොළේ අත්සන් කළා. එතන මැඩම් හිටියෙ නැහැ.
එළියට ආපු මම ආපහු පොන්ඩ් එක ගාව පඩි පෙළ බැස්සෙ, බෝම්බෙන් මැරිච්ච අක්කා නමට ඉදිවෙච්ච ටොයිලට් බිත්තියෙ ටැප් එකෙන් අත හෝදගෙන ධශි යි, ලෂෝ යි පිණි ජම්බු ගහ ළඟට එනවා දැකලා. මම සයන්ස් ලැබ් එකේ සිමෙන්ති ටයිල් අල්ලපු පටු පාරේ ඇවිදන් ගියෙ උන් දෙන්නා එක්ක ටිකක් කතා කරන්න. ඕලෙවල් වලින් අපි ඒ ලෙවල් වලට බෙදිලා ගියත් දවල්ට කෑවෙ බිව්වෙ, කතා බහ කළේ එකටමයි.
මම හිනාවෙලා උන්ට ගුඩ් මෝර්නිං කිව්වා. උන් මටත් කිව්වා. ඒත් ලෂෝධ්යා කිව්වා.
උඹ දන්නෙ නැතිව ඇති කොමස් එකේ ළමයෙක් මැරිලා. උඹලාගෙ පන්තියෙ නෙවී. දුක් වෙලා වගේ පලයන්. නැත්තම් හරි නෑනෙ කියලා.
මිස්ලාත් ඔය එහෙ මෙහෙ දුවන්නෙ බස් එකක් හොයන්න. බස් එකක් ගෙන්නලා එකොළහවසරෙදි හිටපු විදියට ග්රේඩ් එකම ගෙනියනවාලු. සයන්ස් කොමස් ආර්ට් තුනම.
එහෙම කීවෙ ධෂී. ඒ කාලෙ තියා අදටත් මං දන්න තරමින් අපේ ඉස්කෝලෙට බස් එකක් නෑ. ඒක ලැජ්ජාවක් නෙවෙයි. අපේ ඉස්කෝලෙට හොඳ එකවුන්ට් එකක් තියෙන නිසා.
මම පන්තියට ගියා. බෑග් එක ඉස්සරහ පෝලිමට විසි කළා.
කවුද බං මැරිච්ච ළමයා? හැමදාම මගෙ ප්රශ්න වලට පිළිතුරු දෙන දිල් ගෙන් ඇහුවා.
යකෝ අඬපං දිල්ෂාරා ඉස්සරහට දුවගෙන ඇවිත් කිව්වා.
අඬන්න හරි කියහං කො මැරුණෙ කවුද කියලා... හෝ ගාලා අඬන දිල් ගෙන් මම ආයෙ ඇහුවා.
මං දන්නෙත් නෑ යකෝ අඬපං ඒවෙලාවෙ ඒකි හරි කියලා මට හිතුණා. අඬන උන් මැද නාඬා ඉන්න එක ටිකක් මේ වගේ වෙලාවට ඩේන්ජර්! පස්සෙ මමත් කඳුලු පිහිද පිහිද වගේ රඟ පපා, කොරිඩෝවට ආවා. පූර්ණි අනෙක් පන්තියෙන් එළියට ආවෙ මේ වෙලාවෙ.
මොකක්ද බං එයාගෙ නම? මම පූ ගෙන් ඇහුවා. ඔමාලි බං. අනේ මා එක්ක ඊයෙත් කතා කළා. ඒක නම් පච විත්තිය මම ඉතං දන්නෙ අටේ පන්තියෙ ඉඳන්මනෙ. කොහොම හරි මම මැරිච්ච ළමයාගෙ පන්තියට ගියා. ඒක නම් මල ගෙයක් අපේ උනුත් ගිහිං උන්ව සනසන්න. සමහර උන්ට කල්පනාවත් නෑ වගේ. මේ ළමයින්ගෙ කතා බහට අනුව, ඔමාලි ඊයෙ තරම් වැඩ කරලා නැතිව ඇති කවදාවත්.ඕකෙ ඇත්ත නැත්ත දැනගන්න ආයෙ එන එකක්යැ.
කොහොමරි අපි එදා ඔමාලි ලෑ ගෙදර ගියා. කුලී බස් එකකින්. ඔමාලිගෙ මුහුණ අඳුරන්න බැහැ කියලා හුඟක් අය කිව්වා. නමුත් මට එහෙම වුණේ නෑ. මම ඔමාලිගෙ මිනිය අඳුරා ගත්තා. ජීවත් වුණ ඔමාලිව මම දැනගෙන හිටියෙ නැහැ. ඒ නිසා මම ඇඬුවෙ නැහැ.
එයා මැරුණෙ අම්මා එක්කමයි. ටිපර් එකකට යට වෙලා. එයාගෙ මුහුණ තෙල් වලට පිලිස්සිලා ටිකක් කලු වෙලා තිබුණා. මලානික මුහුණට ලිප්ස්ටික් ගාපු තොල් ගැළපුණේ නැතත්, ඒක මල් ශාලාවෙ අය තරුණ කාවත් අන්දන විදිහ වෙන්න ඇති කියලා මට හිතුණා. දම්පාට මල් පොකුරක් එයාගෙ අතින් ඒ වෙලාවෙ කවුරු හරි තිබ්බා මට මතකයි. ඒ උත්තරාද සඳමාලිද කියලා මට මතක නැහැ.
දැන් ඔමාලි මැරිලා අවුරුදු හයක් පිරෙන්න තියෙන්නෙ තුන් මාසයක් විතර. ඒත් මට තවම එයාගෙ මල සිරුර හොඳ හිටි මතකයි. ජීවත් වෙලා හිටපු ඔමාලිව ඇත්තමයි මම දන්නෙ නෑ.
1/3/12
වසරක් වෙහෙසී මෙවන් අගනා උපහාරයක් ලබන්න ඔබත් කැමතිද?
වසරක් අවසාන වුණා.. ඉතින් මට හිතුණා වසර අවසානය හා සම්බන්ධ වූ ලස්සන පුංචි පාසල් මතකයක් සිහිපත් කරන්න.කථික හා විවාද සංගමය කියන්නෙ අපේ පාසලේ තියෙන විශිෂ්ටතම සංගමය කියලා කීවොත් පාසලේ කවුරුත් මා එක්ක අමනාප වෙන එකක් නෑ...
කොහොමත් ඉස්කොලෙ හොඳටම වැඩ කරපු සංගම් ටික (අපි ඉන්න කාලයෙ)
- කථික හා විවාද සංගමය
- නාට්ය සංගමය
- මාධ්ය කවය
- සිංහල සාහිත්ය සංගමය
- විද්යා සංගමය
තව නා නා විධ සංගම් තිබ්බා... මේවාට අමතරව මමයි යාළුවොයි තව ඒවායෙත් හිටියා...අපි බොක්කෙන් බැහැලා හිටිය සංගම් හතර පහ තමා ඔය මම උඩ කිව්වෙ....
කලින් කීවානෙ ඔය සංගම් වල නිල තල එහෙම අපි දරපු පිළිවෙල. ඔය සංගමි වල නිලධාරී රැස්වීම් බොහෝමයක් තියෙන්නෙ කැන්ටිමේ,ටොයිලට් එකේ, බත් කොලේ උඩ .....
සාමාජික රැස්වීම් නම් සෝමා ප්රේමරත්න අනුස්මරණ ශාලාවෙ තමා තියන්නෙ...ඒකෙ පිරිස වැඩියි.. අහ් දැන් මගේ පාසල් පම්පෝරිය නිකං පොරී සෙට් එකක් වෙන්න යනවා කියලා ඔයාලා හිතයි...දැං ටිකක් ලැජ්ජා බයට හිටියා වුණාට,ඒකාලෙ එහෙම දේවල් අපි දන්නෙවත් නෑ...
මම අද කියන්න යන්නෙ අපේ කථික හා විවාද සංගමය ගැන පුංචි සොඳුරු කතාවක්.
අපි හැම වසරෙම සංගමෙන් සංවිධානය කරනවා සුනේත්රා තල්දෙන අභියෝග ශූරතා කුසලානය... අපේ ඉස්කෝලෙ ඇතුලෙමයි ඕක තියන්නෙ.. ඉන්විටේෂන් දෙන විදිහ ඉතින් හරිම කාර්යාලීයයි... ආනන්දෙටයි ,නාලන්දෙටයි විතරක් එන්න ඕනෙ ගනන දාන්නෙ නෑ.. අසල් වැස්සන් නෙ... සංග්රහ කරන එක ඉතින් අඩු පාඩුවක් නැතිව කරන්න...කවදාත් අපේ කෙවිනි දක්ෂයි. ඒ නිසා කට්ටිය කොයි තරම් වැඩි වුණත් කෑම පාර්සල් ටික ගාණට යවලා...මහන්සි වෙලා අන්තිමට එන අපේ සෙට් එකට කන්නත් හොඳවයින් පංඟුව කෙවිනි හංගලා තියන්නෙ හරියට අම්මා කෙනෙක් වගේ..
ඒ විතරක්ද, එක එකා ගෙනාපු පිඟන් ගැට්ටක්වත් නොකැඩෙන්න කෙවිනි පරෙස්සම් කළා වගේම, ඉස්කෝලෙ ඕනෙම ඔය වාගෙ දිනයක් තියෙන දාට කෙවිනිලැයි ගෙදර ඇත්තෙ කන්න ගන්න පිඟන් ටික විතරයි කියන එක,ඉස්කෝලෙම දන්න දෙයක්.
දවසක් කෙවිනි පිඟන් බෑග් එකට දාන කොට තාත්තා කන පිඟානත් ගෙනත් බෑග් එකට දාලා
“ අනේ පුතේ...මේ හතර විතරක් ගෙදර තියන් මක් කරන්නද? මේකත් අරන් යන්න කියලා“
ඒකි ට ලැජ්ජා හිතිලා.....පස්සෙ අපි කට්ටියම ට්ක ට්ක බඩු ගෙනත් හෝම් සයන්ස් කාමරේ තියලා තිබ්බා...ඩේ ඔක්කොම ඉවර වුණාම අරන් යන්න.... මගේ මතකෙ හැටියට අම්මාගෙ කොළ මපාය ජොග්ගුවයි ,ලස්සන වීදුරු 6 යි..බී බී 6 යි තාම ඉස්කෝලෙ.....අවුරුද්දකට සැරයක් වීදුරු අල්මාරි අස් කරනකොට අම්මා තාම බනිනවා....දැනට තුන් වතාවයි..... තව ඉස්සරහට..........මට බැරියෝ....
ඒ කතාව ඉවරයි...තවම නියම එක කීවෙ නෑ..ඔන්න බලන්න මම කියන්න ගත්තාම වැඩියෙන් කියන්නෙ වල් පල් ...ඒත් මේවා වල් නෑ නේද?
ඔන්න දැන් තමා කතාව... හැම අවුරුද්දෙම සියලුම වැඩ කටයුතු ඉවරවුණාම අපි ඉතිරි වන සල්ලි වලින් පුංචි උපහාර උත්සවයක් තියෙනවා...ඒක විශේෂ වෙන්නෙ ඒක දෙන්නෙ ගුරු වරුන්ට නෙවී....ළමයින්ට නිසා...හැම වසරකම අය අපට උදව් කරනවා..6 වසරෙ ඉඳන් 13 වසර වෙනකන් ම එක වගේ.... අපිට සමරුවට ඕනෙ කරන වෙළඳ දන්වීම්, ශ්රම සහය හුඟක් අයගෙන් ලැබෙනවා..එයින් ලොකුම කැපවීම් කළ අය තමා උපහාර ලබන්නේ....
උපහාර උත්සව කතාවත් වැදගත් -
ගුරුමැණිවරුනි, ඔබේ අතින් මේ ආශිර්වාදාත්මක උපහාර ලබන්නෙ අපේම සොයුරියො, මේ සඳුනි නංගි වැඩ කරද්දි අපට හිතුණෙ නැහැ...එයා හය වසරෙ කියලා...ඒ තරම් අප සමඟ උරෙන් උර ගැටෙමින් වැඩ කළා...රු 9000 ක වෙළඳ දැන්වීම් අපට හොයලා දීලා...අපේ කථක සංගමයට ලබා දුන්නෙ සුළු පටු උපකාරයක් නොවෙයි... ආදරණීය නංගියේ ඔබට ගොඩක් ස්තූතියි...ඔබේ මේ උනන්දුව මේ විදිහටම ඉදිරියට ගෙන යන්න..මේ වගේ අනාගත පරපුරක් සිටිද්දී පාසලේ අනාගතය ගැන අපි බිය විය යුතු නැහැ ගුරු මැණීවරුනි...
අද මේ උපහාර ලබන සියලු දෙනාම...සෙසු ඔබට ආදර්ශයක්....ඔවුන් මේ වටිනා ලෙස පිදුම් ලබන්නේ ....මේ අනගි තෑගි ලබන්නේ...ඔවුන් වසරක් පුරා කළ ඒ අපූර්ව මෙහෙයට ලබන ධෛර්යක් ලෙසයි...වැඩ කරන්න නංගියේ...සතුට ලබන්න....මෙසේ පිදුම් ලබන්න ඔබත් වැඩ කරන්න..
ධෂිකාගේ හඬ සභාව පුරා නින්නාද වෙද්දී අරුණි රූප රාජිණියක පරිදි ත්යාග බහාලු මංජුසා රැගෙන ශ්රීමති මිස් පසෙක සිට ගෙන සිටී. තෝරාගත්තෝ ත්යාග ලබති...සෙස්සෝ ඉරිසියාවෙන අත්පොලසන් දෙති.ලබන වර තෑග්ග ලබන්නෙමයැයි ප්රතිඥා දෙති....අවසන සභාපතිතුමිය තෙක්ම මිස්ගෙන් මැඩම්ලා ඉදිරියේ වැඩ්ඩෝ උපහාර ලබා අවසන...අරුණීද උපහාර ලබති....
සියලු දෙනා නිවෙස් වලට ගොස් ත්යාගය දිග හරිති....
![]() |
| තේ බොන මග් රාජයා |
කිසිවෙක් මෙතෙක් දොස් නගා නැත. වැඩ නොකර සිටියේද නැත..උනන්දුව අඩු වූයේ නැත...වසර ගණනකට මෙම තෑග්ග වෙනස් වූයේද නැත.මෙය කිසිඳු විහිලුවකට ලක් වූයේද නැත...අපගේ සතුට අඩුවූයේ ද නැත... අපේ ගෙදරත් මේ වන විට මට ලැබුණ 10ක් පමණ ඇත...
ප.ලි - දැනට නිවසේ සියලු දෙනා තේ බොන්නේ මම වසරක් වෙහෙසී ගෙන ආ උපහාර වලය
ප.ප.ලි - තවත් උපහාර කිහිපයක් වීදුරු අල්මාරියේ තිබේ.
ප.ප.ප ලි - උපහාර සියල්ලම බොරැල්ල පේමන්ට් එකෙන් ගත් ඒවා නිසා වසරකට තවත් මේවා 11 ක් ගත් ඕනෑම අයෙකුට දුසිමක් නිර්මාණය කරගත හැක..
අපි අපූරු නොවේද?
10/24/11
චූ දැමීමට ගිය කෙල්ලෝ
එදා සිකුරාදා දවසක්... මතක හැටියට හොඳටම වැස්ස..වැස්ස ට සමානුපාතිකව මුත්රා පිටවීම වැඩියි කියන එක බොහෝ දෙනෙක් දන්න කරුණක් නෙ... මගෙ ඉස්කෝලෙ මොකද්ද කියලාත් අපේ කට්ටිය දන්නවානෙ..ඔව් ඔව් ඔබ හිතුවා හරි මේ අපේ ඉස්කෝලෙදි සිදුවුණ පුංචි සිද්ධියක් තමයි..
අපිට හිටියා කෙල්ලො ගැන්සියක්.. එකෙක්ට එකෙක් දෙවෙනි නැති කටවල්...සහ චණ්ඩි කම් කරපු. (සියලු දෙනාම පස්සෙ අවුරුද්දෙ කථික සංගමේ මුල් පුටු ) අනික් සංගම් ඔක්කොම රන් කළෙත් මේ කට්ටිය මාරු වෙලාම තමයි...පොඩි පොඩි වෙනස් කම් තිබ්බෙ.. ඒ කියන්නෙ.. ඒකේ කැටේ ..මේකේ සභාපති.. එකේ සභාපති මේකේ රයිටර්.. වගේ තමා...ශිෂ්ය නායිකාවොද? අහ් ඒ අයම තමයි... ඒ පුරාජේරුව පොඩ්ඩක් පැත්තක තියමුකො..
ඔන්න අපි හැමෝම දැන් 11 පන්තියෙ.. අනික් උන් ඔක්කොටම 16 පිරිලා තිබ්බා.. මට 15 යි..(අයිඩින්ට්ය නැති නිසා “බාල වයස්කාරයා“ කියන විරුධාවලියෙන් මම පිදුම් ලබලා හිටිය කාලෙ...ෂික්... චාටර් නේද? ) මම තැපැල් අයි.ඩි එකෙන් සා .පෙළ ලිව්ව වග දන්නෙ ඔයාලා විතරයි හොඳඳ? කාටවත් කියන්න එපා.. ආයෙත් පුරා ජේරුව..
ඔන්න දැන් තමා කතාව... වැස්ස නිසා නිතරම කට්ටිය පොඩ්ඩ පොඩ්ඩ ටොයිලට් යනවා.. හැබැයි යන උන් එන්න ටිකක් පරක්කුයි..එක්කො මුන් කැන්ටිම ගාව නතර වෙනවා. එහෙමත් නැත්තම් දෙළුං,පිනි ජම්බු කඩනවා..(වැස්ස කියලා ගාණක් නැහැ.ඉතින් .කොල්ලො වගේ නෙවීනෙ..කෙල්ලෝ කොතෙනට ගියත් මල් මල් කුඩ ගේනවානෙ)
හරි ආයෙත් පිට ගියා..දැන් නැවත කතාව
අපේ පන්තිය බාර වෙලා තිබුණෙ අපේ ඉංග්රීසි මිස්ට.. අල්ලපු පන්තියට සමාජ අධ්යනය කරපු මිස් ට තමා ඒ පන්තිය බාර.. අපි 11 වසර එෆ් කියමුකො.. එතකොට අල්ලපුවො 11 වසර ජී... අපේ මේ අල්ලපු පන්තිය බාර මිස් ගෙ නම ...නන්දා... අපේ පන්තියට කිසි දවසක උගන්වන්නෙ නැතත්..නිතරම අපේ පන්තියෙ වැරදිමයි හොයන්නෙ.. විශේෂයෙන්ම අර උඩ කිව්ව කෙල්ලො සෙට් එකේ වැරදි...ඒ නිසාම අපි ඇයට කීවෙ “නැන්දා “ කියලා...ආදරේට
ඔන්න දැන් පන්තියෙ ළමයි බොහෝ දෙනා වැහි වෙලාවෙ නැහැ... පන්තියෙ මොනා නැතත් කාලෙකට පස්සෙ අපි ටික හිටියා..සංගම් වැඩ නැති නිසා ඒ දවස් වල..
මෙන්න එතන වුණු දෙබස -
මේනකා - මචං.........නැන්දා නැන්දා.... නදී.. බහනවා යකෝ මේසෙන්...
ඔන්න දැන් කට්ටියම හරිම උපශාන්තයි.. නන්දා මිස්ට සතුටු හිතෙන්න ඇති... අයියෝ නෑ.. මේ පැන්නෙ ඇඟට..
නන්දා මිස්- කෝ මේ පන්තියෙ ළමයි..
අපි හමෝම බැලුවෙ කලු ලෑලි බිත්තිය දිහා... ළමයි තිහක්ම බැහැර ගිහින්...
නන්දා මිස්- ළමයි 30කට වඩා බැහැර ගිහින්.. මේ කොයි බෑරක්ද අපි දන්නෙ කොහොමද?.. පැහැදිලිව ගිය තැන ගිය හේතුව ලියන්න...අනික මෙහෙ ඉන්නෙ ළමයි නෙවීනෙ.ළමයි කියන්නෙ දෙගොල්ලෝ.මෙතන ඉන්නෙ ස්ත්රී පාර්ශවය විතරයි...ඒ විදිහට වැඩ කරන්න.ස්ත්රීන් විදිහට..මම ඊළඟ පාර එනකොට මේක පිළිවෙළක් කරනවල්ලා...
අපිත් ඔළුව නවාගෙන හිටියා... මිස් ගිය ගමන් නදීරා ක්රියාත්මක වුණා... අයෙ වහාම “බැහැර ගිය ළමයි “ කියන මතෘකාව සැණින් මකා දැම්මා..ඒ වෙනුවට “ චූ දැමීමට ගිය කෙල්ලෝ“ කියලා වෙනස් කළා... ස්ත්රී පාර්ශවය කියන එකත් හැඟවෙනවානෙ දැන්... ඔන්න ටිකකින් නන්දා මිස් නැවතත් එනවා..
නන්දා මිස්- ෂික්.. මෙහෙමත් ළමයි..මීට වඩා සභ්ය වචනයක් තිබ්බෙම නැද්ද? ඉන්නවකො මම මේ පන්තිය මිස් හම්බුණාම කියන්න.. වෙනස් කරනවල්ලා ඕක..ලැජ්ජා නැති හැටි... ඔයිට වඩා හොඳයි“ චූ කෙල්ලෝ“ කළා නම්..
මුහුණෙ තරහකුත් මවා ගෙන මිස් ගියා...ඉන් පස්සෙ ක්රියාක්මක වුණෙ ධෂිකා....ධෂි කොහොමත් පඬියා...ධෂිගේ ඉඳිකට්ට අරුණි.. කෙවිනි,ධෂී,අරුණි,මම,මල්ෂා,මේනූ එකට කන්නෙ...හරි ඉතින් ධෂී මෙහෙම කීවා..
ධෂිකා- ඇත්තනෙ බං..මේක සභ්ය නැහැනෙ ..අපි මෙහෙම ලියමු “ මුත්රා කිරීම පිණිස වැසිකිලියට ගිය ගැහැණු ළමයි“ දැන් කොහොමද? එළ නේ...උඹලාටත් මමම ඉන්න ඕනේ...
දැන් මාතෘකාව එලෙස වෙනස් විය . ඔය අතර අනෙක් ළමයින් වැසිකිලියෙන් පන්තියට නැවත පැමිණීම්ද , තවත් අය වැසිකිලිය වෙත පිටවීම්ද සිදු විය.. නැවතත් නන්දා මිස් පන්තියට පැමිණියාය.. අගේ මුහුණ මෙවර පෙරට වඩා දරුණු වූයේ ධෂීගේ මුහුණේ දුකක් ද ,පරාජයද සටහන් කරමිනි..
නන්දා මිස්- ෂිකේ මේ ළමයි ට නම් කිසිම රහක් නැහැ... ඔක්කොම මෙතන ලියලානෙ...
පන්තිය වෙනුවෙන් මම ඉදිරිපත් වීමි..
මම- මිස් ම නෙ මිස් හේතු ඇතුව ලියන්න කියුවෙ..ඒකනෙ අපි මෙහෙම කළේ..?
කවදාවත් මම ආදරේ කෙනෙකුට මම ඉස්සරහ බනින්න මගෙන් ඉඩක් නැහැ..ඒ නිසාම මම ඒ වෙනුවෙන් ඉදිරිපත් වුණා..ධෂිකාට බනින්න දෙන්න බැහැනෙ..ඒකී මගෙ ෆිට් එක...
නන්දා මිස් එවර ආවේගශීලී බව මඳක් බැහැර කළාය..
නන්දා මිස්- මෙහෙමම ලියන්න එපා..පොඩ්ඩක් ව්යංගය භාවිතා කරන්නවකො...සිංහල සාහිත්ය සංගමේ ලබන අවුරුද්දෙ බාර ගන්න නේද කට්ටිය දැන් බලා ඉන්නෙ.. හනේ මන්දා...මෙහෙම ගියොත්.
ඇය යන්න ගියාය... දැන් මොකද කරන්නෙ කට්ටියටම බර හර පැනයකි....
මේ අතර පොඩි කළණි වහාම.. “අනේ මට නම් තවත් මේ බර උහුලං ඉන්න බෑ“ කියා වැසිකිලියට ගියාය...
ඇගේ වචනය නිසාම ව්යංගයෙන් උපන්..උත්ප්රේක්ෂයක් මට හදිසියේම පහළ විය..
මම මේනකා අත තිබූ හුණු කූර උදුරා ගතිමි.. කලු බිත්තිය වේගයෙන් මැකිණි... “බාර ඔප්පු කිරීමට ගිය ළඳුන්“ ලෙස එහි මගේ අතින් සටහන් විය..
අප සියලු දෙනා සිනාසුනෙමු..උඩ පැන පැන හිනා වුණෙමු..කඳුලු එනතුරු හිනා වුණෙමු...දැන් වැස්ස පායා ඇත..කළණි හැරෙන්න සියලු දෙනා පන්තියේය..නම් බොහෝමයක් කලු ලෑල්ලෙන් මැකී ඇත....අපේ සිනාවේ සැර මැකී යන්න ප්රථම කළණි හැරුණු විට එළියට ගිය අන්තිමයාද පැමිණෙන ලදි..
අපේ සද්ද ඇසී නැවතත්...
හම්.. හිතුවා නේද? නන්දා මිස් ම එයි කියලා.. නෑ ආවෙ අනුලා මිස්...අනුලා මිස් කියන්නෙ බෞද්ධ සංගමේ අනුශාසක මිස්..
අනුලා මිස්- ළමයි අපේ සංගමේ ඔයාලාගෙ පන්ති නියෝජිත කළණි නේද? කෝ මේ කළණි..
අපි උත්තර දෙන්නත් ප්රථම ඇයට කලු බිත්ති ලෑල්ල ක්ෂණිකවම ඇස ගැටිණි..
අනුලා මිස්- මොකක්? බාරයක්? බාර ඔප්පු කරන්න ගියා... මොන බාරද මේ මහ වැස්සෙ..අනික කොයි දෙයියන්ට වුණ බාරද?
මෙසේ කියමින් අපෙන් පිළිතුරක් හිතා ගන්නත් මත්තෙන් අනුලා මිස් තමන්ටම මුමුණමින් පන්තියෙන් නික්ම ගියාය..
ඉන් පැය භාගෙකින් පමණ පසු කළණි නැවතත් පන්තියට මාරාවේශයෙන් එනුද, අපි ඇගේ දරුණු යකඩ ෆයිල් කවරයේ මාරාන්තික පහරින් බේරීමට මේස උඩින් පුටු උඩින් පනිමින් සිටිනුද ..ඉන්පසු ආරක්ෂාව පතා සදාකාලික අපගේ අධි ආරක්ෂක බංකරය වූ මාධ්ය ඒකකයේ කාමරය වෙත පලා යනුද ඒ අවස්ථාවේ පන්තිය අසලින් ගමන් ගත් සියල්ලෝම දුටු වග පසුව තැන් තැන් වලදී ප්රකාශයට පත්විය.
3/19/11
ෆාර්ම්ස් අත්තේ වික්රමය | අනූ නවයෙන් බේරුණු අනූ නව වන ලිපිය
පාසල කියන්නෙ කාටවත් අමතක කරන්න බැරි මතකයන් ගොඩ ගැහුණු තැනක්...තාමත් මාගේ පාසල් කාලය ඉවර වෙලා වසර තුනක් ගතවෙලා නැහැ.මම පාසලෙන් සමු ගත්තෙ 2009 දි.ඒත් පාසල් කාලෙ වෙච්චි දේවල් මතක් වෙද්දි තවමත් හිනා යනවා.
අනූ නවයෙන් බේරුණු කතාවක් ගැනයි මේ කියන්නෙ..
මම කොළඹ ගෝතමි බාලිකාවෙ..නොයෙක් අනවර්ථ නාම තිබ්බත් අපේ ඉස්කෝලෙට අවට අයගෙ හොඳ ගරුත්වයක් තිබුණා..අපේ ඉස්කෝලෙ මතක් වෙනකොට ඒත් එක්කම මතක් වෙන්නෙ ආනන්දියන්ස්ල සහ නාලන්දියන්ස්ලා ...ඉස්සරහ gate එකෙන් යද්දි ආනන්දෙ ...පිටිපස්සෙ gale එකෙන් ගියොත් නාලන්දෙ ...
පාසලේ සුන්දරම කාලෙ තමයි උසස් පෙළ පන්තිය.ඒක කවුරුත් කියනවානෙ..මේ සිද්ධිය උසස්පෙළ කාලෙ වුණේ...මේකට පුරුෂ කවුරුත් සම්බන්ධ නැහැ..අපේ කෙල්ලො සෙට් එකේ වැඩක් ....
හැම බාලිකාවකටම ශිෂ්ය නායිකාවො ඉන්නවා..අපේ බාලිකාවෙත් එහෙම ටිකක් හිටියා..මාත් අන්න එයින් එක්කෙනෙක්...ශිෂ්ය නායිකාවක් වෙන්න පදක්කමක් දෙනවානෙ.ඔන්න අපේ ඉස්කෝලෙත් ඕකට චාම් කියලා ලොකු උත්සවයක් ගන්නවා.
ඒක මතක් වෙද්දිත් ආසයි. හරිම ලස්සනයි..කවුරුත් දන්නවද දන්නෙ නැහැ.. ටැම්පිට බුදුමැදුරක් තියෙනවා අපේ ඉස්කෝලෙ.ඒක මම හිතන්නෙ ලංකාවෙ පාසලක පළවෙනියාට හදලා තියෙන්නෙ අපේ ඉස්කෝලෙ.ඉස්සෙල්ලාම කඨින පින්කමක් කරපු පාසලත් අපි නේ...
ශිෂ්ය නායිකාවක් වෙනවා කියන්නෙ ටිකක් අමාරු වැඩක්..තෝරලා තෝරලා තමයි දෙන්නෙ.ශිෂ්ය නායිකාවක් වෙන්න ඉතින් හැම අතින් ම හොඳ වෙන්න ඕනේ. ( වහෙන් ඔරෝ කීවෙ මමත් හොඳයි කියලා තමයි ).
ඉතින් මේ තෝර ගත්ත අයට පදක්කම් දෙන්නෙත් එක විදිහකට..සියලුම ශිෂ්යනායිකාවෝ ආර්ය සිංහල යුවතියන්ගෙ ඇඳුම වන ළමා සාරියෙන් සැරසෙනවා. කොණ්ඩ කරල් දෙකට සුදු රිබන් ගැට ගැහුවාම තියෙන අපූරුව දහම් පාසල් ගිය අයට මතකයිනෙ.මේ අපූරුවට මල් මැදි කරපු පහනකුත් අතට ලැබෙනවා.ශිෂ්ය නායිකාවො දෙන්න දෙන්නා...මුළින් විදුහල්පති මැණියන් දල්වපු චිරාගතව පැවතෙන පොල් තෙල් පහනෙන් තමන්ගෙ පහන් පත්තු කරගෙන නිල ලාංඡනය ලබා ගෙන පිළිවෙළින් ටැම්පිට මැදුරට ගිහින් බුදු ගුණ සිහිපත් කරලා...නැවත මළුවට එනවා...මළුවේදි සියලු දෙනා අඩ කවයට සිට ගන්නවා..සියලු දෙනා නිල ලාංඡන පැළඳවූ පසු ප්රතිඥාවක් දෙනවා..ඒ සාම්ප්රදායික උත්සවය .ඉන් පසුව තියෙන්නෙ ප්රධාන ශාලාවෙ නිල උත්සවය.
මම මේ කියන කතාව අදාළ වෙන්නෙ මෙන්න මේකට...
ඕනැම උත්සවයකදි සැරසිලි වලට ප්රමුඛතාවයක් ලැබනවා නෙ..අපෙත් ලොකු තැනක් සැරසිලි සංග්රහ වලට ලැබෙනවා.. ඔන්න සැරසිලි කරන්න සොබා සෞන්දර්ය යොදා ගන්න අපි හිතුවා. අපේ ශිෂ්ය නායිකාවො අතර ශිෂ්ය භට මානවිකාවො තුන් හතර දෙනෙකුත් හිටියා...ඒ අයට තමයි..මේස වල පිළිවෙළ සහ අනෙකුත් කෙලින් එන්න ඕනේ වැඩ බාර....ඉතින් මේස සරසන්න පොල් ලෙලි එකතු කරලා ගැට ගහලා වාස් හැදුවා...ඒ වගේ වැඩ වලට ඔය හමුදා වැඩ නොකළාට නීනු හරි ආසයි...ඉතින් ඒ වාස් වලට නෙලුම් පොට්ටු රෝස හැඩයට කපලා දාලා තමයි සංග්රහ මේසෙ සැරසුවෙ..බිත්ති වලටත් ලස්සන පොල් ලෙලි පොල් අතු එක්ක ෆාර්ම්ස් අතු සැරසිල්ලක් තමයි කළේ...
ෆාර්ම්ස් හොයන්න ටිකක් වෙහෙස කරයි...සාපේක්ෂව විනාශයත් වැඩියි. ගෙනාපු ටික අපිට හොඳටම මදි වුණා..අන්තිමට අපි එකා වන්ව තීරණය කළා ඉස්කෝලෙ ෆාර්ම්ස් ගස් වලින් අත්ත අත්ත කප්පාදු කරන්න...ඒත් ඉතින් කප්පාදු කරන්නෙ හොඳ අමු අතු නිසා..ළමයි ඔක්කොම යනකං හිටියා..පෙනුමෙ හැටියට ගුරුවරුත් ගිහින්..අපි හෙමින් සීරුවෙ අතු ටිකත් කපලා කෝකටත් කියලා කපපු තැන් වල වැලිත් ගාලම අතු ටික ඇදගෙන ආවා...මෙන්න ඉස්සරහට එනකොටම අපේ මිස් කෙනෙක්... මේ මිස් ට අපි කොහොමත් බයයි...
පාසලේ ඉන්න ගුරුවරුන් කොටස් දෙකයි...අම්මලා වගේ ගුරුවරු, නැන්දම්මලා වගේ ගුරුවරු..නැන්දම්ම්ලා වගේ ගුරුවරු බාලිකාවන්ගෙ වැරදි තමයි හොයන්නෙ..ඒ හරිම ආදරෙන්.එදා ඒක තේරුනෙ නැතත් අද නම් තේරෙනව. ඉතින් ඔන්න මිස්ට අපිව සැකයි...
"කොහෙන්ද මෙච්චර ෆාර්ම්ස් අතු?"
"හොයා ගත්තා මිස්"
"ඉස්කෝලෙන් නේද කැපුවෙ?"
"ගෙදරින් ගෙනාපු ෆාර්ම්ස් අතු තියනවා මිස්"
"කෝ ඒවා?"
"මේන් හෝල් එකේ කට්ටිය සරසනවානෙ මිස්"
"එතකොට මේ ෆාර්ම්ස් අතු?"
"ඒ විදිහටම කපපුවා තමයි මිස්"
" කෝ බලමු ඉස්කෝලෙ ෆාර්ම්ස් ගස් ටික"
ඔන්න මිස් ෆාර්ම්ස් යායට ගියා...දැන් කට්ටියගෙම මුහුණු ජම නාරං වගේ...මිස් හැම අත්තක්ම සියුම් ව පරික්ෂා කළා.
"හොඳටම විශ්වාසද මේ වායෙන් කැපුවෙ නැහැ කියලා.."
"මේවාගෙන් කපන්න තහනම් නෙ මිස්"
"එහෙනම් මේ අතු වල පස් මොකද?"
"වහිද්දි උඩ තියෙන මඩ පහල ගස් වල තැවරෙනවා ඇති මිස්"
මිස් ටික වෙලාවක් බලං ඉඳලා අමුතු බැල්මක් දාලා යන්න ගියා.. ඒත් අපිව ගැහෙනවා..මේකත් ඇති නියාමක බැජ් එක ගලවලා දාන්න.අද නියාමක බැජ් එක ගැලෙව්වොත් හෙට ශිෂ්ය නායකයො වීම සුන්...
උප සම්පදා වෙන්න කලින් සාමණේර ඉන්නවා වගේ මාස තුන හතරක් හැමෝම නියාමක ඉන්නවා.නියාමක කාලෙ අන්තිම දවසෙ වෙච්චි මේ දෙය තැති ගැනීමක් වුණත්, පොඩ්ඩක් යට ගියා...
පරිසර බට කණ්ඩායමේ ගුරුවරියක් නිසාම අපි ටිකක් නෙවෙයි හුඟාක් බිය වෙලා හිටියෙ. සංග්රහය වෙලාවෙත් මිස් සැරසිලි දිහා ගොඩාක් බැලුවා.ඒත් මුකුත් කිව්වෙ නැහැ...මිස් දන්නවා අපේ හොරේ... මිස් හිතින් අපිට සමාව දෙන්න ඇති.අපිත් දහස් වාරයක් මිස්ගෙන් සමාව ගත්තා හිතින්.
Subscribe to:
Posts (Atom)








