8/29/12
ඔමාලි ඔබ නිවන් යන්න පෙර ලියා තැබුවෙමි
මට මතක හැටියට ඒ දවස් වල අපි නියාමක ලා. ඒ කියන්නෙ ශිෂ්‍ය නායිකාවක් කරනවාද නැද්ද කියන පරිවාස කාල සීමාව. මේ කතාව කියව ගෙන යද්දි පිස්සු කෙල්ලො ටික නිසා ඔයාලා කාටත් හිනා යන්න පුළුවන්. ඒත් මේක හුඟක් දුක් බර කතාවක්. දවස 2006 අවුරුද්දෙ නොවැම්බර් 23 වෙනිදා. මගේ මෙමරි පොත ට අනුව එහෙමයි. කොහොම නමුත් ඒ සෆියාගෙ උපන්දිනේට පස්සෙ දවස. එයාගෙ නම ඔමාලි. මට ඉතිරි ටික මතක නැහැ.
මම උදේම ඉස්කෝලෙට ගියා. නැහැ මම දිව්වා. හතයි කාලට කලින් අස්සන් කරන්න ඕනෙ නිසා. ගේට්ටුව ගාව හිටි නියාමකලාගෙ නම් දැන් මතක නෑ. නමුත් ඒ අයගෙ මුහුණු වල වෙනදා දිස්නෙ තිබ්බෙ නෑ. පිපිලා ඉස්කෝලෙට ගොඩ බැස්ස මට මේක හරස් පද ප්‍රහේලිකාවක්. මම ඒ අයට ගුඩ් මෝර්නිං කියා ගෙන පල්ලෙහා ගේට්ටුවෙ ඉඳන් උඩ ඔෆිස් එකට යන්ඩ ටැප් පේළිය ළඟ තියෙන පඩි පෙළ නැග්ගා.
පඩි පෙළේ උඩ කෙළවරේදි දුවලෙන වාගෙ ආපු ශ්‍රීමතී මිස්, මාව වැළඳ ගත්තා.
දුවේ, මං හිතුවෙ ඔයා කියලා. මම හිටියෙ හරිම බයෙන්. ඒත් කවුරු වුණත් අපේ දරුවෙක්!
ඒක මට ලොකුවට දැනුණෙ නෑ. මොකක් නමුත් සිද්ධ වෙලා කියලා හිතුණා. ඒත් මට දුක හිතෙන කිසිම දෙයක් වුණේ නැති නිසා පිපිච්ච මුහුණ ඒ වගේම තියාගෙන මම ඔෆීස් එකට දුවලා වයිස් ප්‍රින්සිපල් සෝමා මැඩම් ගෙ මේසෙ උඩ තිබ්බ නියාමක කොළේ අත්සන් කළා. එතන මැඩම් හිටියෙ නැහැ.
එළියට ආපු මම ආපහු පොන්ඩ් එක ගාව පඩි පෙළ බැස්සෙ, බෝම්බෙන් මැරිච්ච අක්කා නමට ඉදිවෙච්ච ටොයිලට් බිත්තියෙ ටැප් එකෙන් අත හෝදගෙන ධශි යි, ලෂෝ යි පිණි ජම්බු ගහ ළඟට එනවා දැකලා. මම සයන්ස් ලැබ් එකේ සිමෙන්ති ටයිල් අල්ලපු පටු පාරේ ඇවිදන් ගියෙ උන් දෙන්නා එක්ක ටිකක් කතා කරන්න. ඕලෙවල් වලින් අපි ඒ ලෙවල් වලට බෙදිලා ගියත් දවල්ට කෑවෙ බිව්වෙ, කතා බහ කළේ එකටමයි.
මම හිනාවෙලා උන්ට ගුඩ් මෝර්නිං කිව්වා. උන් මටත් කිව්වා. ඒත් ලෂෝධ්‍යා කිව්වා.
උඹ දන්නෙ නැතිව ඇති කොමස් එකේ ළමයෙක් මැරිලා. උඹලාගෙ පන්තියෙ නෙවී. දුක් වෙලා වගේ පලයන්. නැත්තම් හරි නෑනෙ කියලා.
මිස්ලාත් ඔය එහෙ මෙහෙ දුවන්නෙ බස් එකක් හොයන්න. බස් එකක් ගෙන්නලා එකොළහවසරෙදි හිටපු විදියට ග්‍රේඩ් එකම ගෙනියනවාලු. සයන්ස් කොමස් ආර්ට් තුනම.
එහෙම කීවෙ ධෂී. ඒ කාලෙ තියා අදටත් මං දන්න තරමින් අපේ ඉස්කෝලෙට බස් එකක් නෑ. ඒක ලැජ්ජාවක් නෙවෙයි. අපේ ඉස්කෝලෙට හොඳ එකවුන්ට් එකක් තියෙන නිසා.
මම පන්තියට ගියා. බෑග් එක ඉස්සරහ පෝලිමට විසි කළා.
කවුද බං මැරිච්ච ළමයා? හැමදාම මගෙ ප්‍රශ්න වලට පිළිතුරු දෙන දිල් ගෙන් ඇහුවා.
යකෝ අඬපං දිල්ෂාරා ඉස්සරහට දුවගෙන ඇවිත් කිව්වා.
අඬන්න හරි කියහං කො මැරුණෙ කවුද කියලා... හෝ ගාලා අඬන දිල් ගෙන් මම ආයෙ ඇහුවා.
මං දන්නෙත් නෑ යකෝ අඬපං ඒවෙලාවෙ ඒකි හරි කියලා මට හිතුණා. අඬන උන් මැද නාඬා ඉන්න එක ටිකක් මේ වගේ වෙලාවට ඩේන්ජර්! පස්සෙ මමත් කඳුලු පිහිද පිහිද වගේ රඟ පපා, කොරිඩෝවට ආවා. පූර්ණි අනෙක් පන්තියෙන් එළියට ආවෙ මේ වෙලාවෙ.
මොකක්ද බං එයාගෙ නම? මම පූ ගෙන් ඇහුවා. ඔමාලි බං. අනේ මා එක්ක ඊයෙත් කතා කළා. ඒක නම් පච විත්තිය මම ඉතං දන්නෙ අටේ පන්තියෙ ඉඳන්මනෙ. කොහොම හරි මම මැරිච්ච ළමයාගෙ පන්තියට ගියා. ඒක නම් මල ගෙයක් අපේ උනුත් ගිහිං උන්ව සනසන්න. සමහර උන්ට කල්පනාවත් නෑ වගේ. මේ ළමයින්ගෙ කතා බහට අනුව, ඔමාලි ඊයෙ තරම් වැඩ කරලා නැතිව ඇති කවදාවත්.ඕකෙ ඇත්ත නැත්ත දැනගන්න ආයෙ එන එකක්යැ.
කොහොමරි අපි එදා ඔමාලි ලෑ ගෙදර ගියා. කුලී බස් එකකින්. ඔමාලිගෙ මුහුණ අඳුරන්න බැහැ කියලා හුඟක් අය කිව්වා. නමුත් මට එහෙම වුණේ නෑ. මම ඔමාලිගෙ මිනිය අඳුරා ගත්තා. ජීවත් වුණ ඔමාලිව මම දැනගෙන හිටියෙ නැහැ. ඒ නිසා මම ඇඬුවෙ නැහැ.
එයා මැරුණෙ අම්මා එක්කමයි. ටිපර් එකකට යට වෙලා. එයාගෙ මුහුණ තෙල් වලට පිලිස්සිලා ටිකක් කලු වෙලා තිබුණා. මලානික මුහුණට ලිප්ස්ටික් ගාපු තොල් ගැළපුණේ නැතත්, ඒක මල් ශාලාවෙ අය තරුණ කාවත් අන්දන විදිහ වෙන්න ඇති කියලා මට හිතුණා. දම්පාට මල් පොකුරක් එයාගෙ අතින් ඒ වෙලාවෙ කවුරු හරි තිබ්බා මට මතකයි. ඒ උත්තරාද සඳමාලිද කියලා මට මතක නැහැ.
දැන් ඔමාලි මැරිලා අවුරුදු හයක් පිරෙන්න තියෙන්නෙ තුන් මාසයක් විතර. ඒත් මට තවම එයාගෙ මල සිරුර හොඳ හිටි මතකයි. ජීවත් වෙලා හිටපු ඔමාලිව ඇත්තමයි මම දන්නෙ නෑ.
Subscribe to:
Post Comments (Atom)
කෙල්ලංගේ කෝමත් බොරුවනේ තියෙන්නේ...
ReplyDeleteලෝකෙට පේන්න වැඩ...
(බනීද දන්නෙත් නෑ.. හැබැයි කොල්ලංගේ ඒ ගතිය අඩුයි..)
ඒක නම් මටත් එදා හිතුණා.
ReplyDeleteමොනවා උනත් පව් වැඩේ
ReplyDeleteඔව්! ඉතින් පුදුම වැඩක් තමා වුණේ. මම එයාව කවදාවත් දැකලා නැහැ. කවදාවත් පන්තියකදි එයා මා එක්ක වැටිලා නැහැ. පන්ති අටක් තියෙන ඉස්කෝලෙක ඔහොම දෙයක් වෙන්න බැරිත් නැහැ.
Deleteඉස්කොලෙට ආපු දවසෙම මාත් එක්ක කතා කල කෙනෙක් ඔමාලි,
ReplyDeleteඅපි 6 වසරේ එකම පන්තියේ හිට්යේ,අඩුවෙන් කතා කරපු,නිහඩව වැඩ කරපු යාලුවෙක්,සාරානාත් House එක වෙනුවෙන් නිහඩව කැප උනා,තාම මතකයි එයා school bag එක දාගෙන ස්කූල් වෑන් එක එනකම් ඉන්න විදිය...
මට කවදාවත් ඔමාලිව හමුවෙලා නෑ.
Deleteමන් නම් හිතන්නේ මිනිස්සු මළගෙවල් වල යන එක ඒ අයට කරදරයක් කියලා
ReplyDeleteඅනික් අය තනිකරම යන්නේ ආතල් ගන්න ඒ එන අයට සලකන එක මළ ගෙදර අයට තවත් වදයක්
ඒක නම් මම පිළිගන්නවා.
Deleteහම්! මරණය!
ReplyDeleteඅපේ ඔෆිස් එකේ ගර්ල් කෙනෙක් ඉන්නවා ඔමලි කියල. මම හිතුව එයාද කියල. පස්සේ කතාව කියෙව්වහම තමයි තේරුණේ පරණ කතාවක් කියල. :)
ReplyDeleteකියවා රස වින්දෙමි !
ReplyDeleteඅදමයි මේ පැත්තේ ආවේ... ඉස්කෝලේ මරදානේ ගෝතමීද කියලා අහන්න හිතුනා.... පරණ කතා කියෙව්වේ නම් නෑ... ඒත් සාරානත් හවුස් එකයි, බෝම්බෙන් මැරිච්ච අක්කයි කියලා තියෙන නිසා මට එහෙම හිතුනා... අනිත් එක ඉස්කෝලෙට කියලා බස් එකකුත් නෑ කිව්වානේ... ගෝතමී එකේදි මට මතක හැටියට 1997දි විතර කෙල්ලෙක් නැති උනා ලොරියක හැප්පිලා... කලින් දවසේ වෑන් එක එනකම් ඉන්නකොට මාත් එක්කත් කතා කළා වගේ මතකයක් තිබුනා.. හැබයි මට නම නම් දැං මතක නෑ... අපිත් හැසිරුනේ ඔය වෙග්ම තමයි... මරදානේ බෝම්බෙ සිද්ධිය නම් ඊට වඩා බලපෑවා... මොකද ඒක උනේ ස්පෝට් මීට් එක දවසේ හින්දා...
ReplyDeleteආ... ගෝතමී තමයි නේද.... මං ගිය ඉස්කෝලවලින් අදටත් ආසම කරන ඉස්කෝලේ....
ReplyDeleteහිරුහිමාවි ගෝතමීද? අපි කාටත් ඕලෙවල් වලික් තව ලොකු ඉස්කෝල ගන්න තිබ්බා. ඒත් අපි ගෝතමියෙ නැවතුණේ එතන අපිට ජීවිතයක් තිබුණ නිසා.
ReplyDeleteහිරු විතරයි.. ඔයා හොයා ගත්තනේ මාව..... මම ගියේ චිත්‍ර කරපු නිසා.... ඉස්කෝලෙටම දෙන්නයි ඒලෙවල් චිත්‍ර කරන්න හිටියේ.. මිස් ඉන්නම කිව්වා.. අපි දෙන්නට විතරක් හරි කරන්නම් කියලා.. ඒත් එහෙම කම්පිටිෂන් එකක් නැතුව අමාරු නිසා බොහොම අමාරුවෙන් තල්දෙන මැඩම්ගෙන් පර්මිෂන් අරගෙන අපි දෙන්නම අයින් උනා.... මම අනුලා ගියා.. යාලුවා දේවි ගියා... මට දුකම හිතුනේ බැඩිමින්ටන් ටීම් එකෙන් අයින් වෙන්න වෙච්ච එක... හැමදාම බී ඩිවිෂන් ෆයිනල්ස් එන්නේ ගෝතමියි අනුලයි නිසා අකමැත්තෙන් හරි බැඩිමින්ටන් අතෑරියා ගෝතමී එකත් එකක් ෆයිනල් ගහන්න බැරි නිසා....
Deleteඒ ලෙවල් වලදි සබ්ජෙක්ට් නැති කොට අපිටත් හිතුණා. ඒත් තියෙන එකක් කරං හිටියෙ ශිෂ්‍ය නායක කම් ඒ වෙනකොටත් අතේ වගේ තිබ්බ නිසා
Deleteමැරිච්ච කෙනා දන්නෙවත් නැතිව කෝමද යාලුවෝ අඬන්නේ??
ReplyDeleteමෙන්න මගෙ තාරක අයියා මගෙ බ්ලොග් එක බලන්න ඇවිත් හුරේ!!
Deleteසමහරක් වේලාවට නොදන්න මළ ගෙවල් වල යන්න වෙන එක මහා වාතයක් තමයි
ReplyDeleteමේක වාතයක් වුණේ නම් නෑ. දුක එයාව නොදන්න එක
Deleteඅනේ අම්මේ අක්කෝ..හිරු සහ හිරුහිමාවී කියන්නේ දෙන්නෙක්.මම ගෝතමී නොවෙමි.මාර කතාව..:)
ReplyDeleteමට ඉතිං හිරු දැක්කොත් ඔයාව මතක් වෙනවා සුදූ නංගියො
Deleteමට මේකෙ මාතෘකාව දැක්ක ගමන් "ඔමාලි" කියලා දැක්කාම මතක් වුනේ වෙන අක්කා කෙනෙක්ව.. ඉස්කෝලෙ ප්‍රසිද්ධ හොද චරිතයක් :) එයා තාමත් ජීවත් වෙලා ඉන්න කෙනෙක් නිසා තවත් බය වුනා...
ReplyDeleteම්ම්ම්.. ඔය කියන කාලෙදි ඔහොම සිද්ධියක් වුනා මට ඇත්තටම මතකයක් නෑ... :( ඒත් ඉතින් ගෝතමියෙ හිටිය ඕනෙ කෙනෙක්ට බෝම්බෙන් නැතිවුනු අක්කලාගෙ මරණයනම් බොහොම තදින් කා වැදිලා තිබ්බා.. යුද්ධෙ ඉවර වුනාට පස්සෙ නම් මම දන්නෙ නෑ.. ඒථ් ඉස්සර අපිට ඒක හරිම ලොකුවට දැනිලා තිබ්බා..
ගෝතමිය.... ජීවිතේ දුන්නු තැන....
අදයි ආවේ හිරුවගේ පාරෙන් :)
ReplyDeleteකතාව මරු
සුබ පැතුම් යාළු..බ්ලොග් බැනර් එක ගති