මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

3/31/13

-211- අපමණ සතුටින් දන්වන වග නම්!!



මෙය ලියා තැබිය යුතු යැයි අදහස් කරමි. එමෙන්ම පබ්ලිෂ් කළ යුතු යැයිද අදහස් කරමි. මේ වන විට මම නිහඬවම සමාජ ජාල තුළින් බොහෝ දේ ඉගෙන ගෙන ඇත්තෙමි. ඒ ඉගෙන ගත් හැම දෙයකම පරීක්ෂණයක් අන්තර්ගත වූ අතර, ඒ සියල්ලම සහභාගී පරීක්ෂණ බව මම සතුටින් කියමි.

පසු ගිය කාල වකවානුව අතරතුර යමෙක් ගේ සිත් තැවුලට හේතුවෙන මොන යම් හෝ දෙයක් මා අතින් විණි නම් සමා වුව මැනවි. මම බ්ලොග් ලිවිල්ලටත්, වඩා මෙම සියලු සමාජ රටා අත්හදා බැලුවේ, මුහුණු පොතෙන්මය. එය අති සාර්ථක බව මට අද වන විට පසක් වී ඇත. වසර දෙකකට ආසන්න කාලයක් ක්‍රම ක්‍රමයෙන් සිදු කළ සියලුම කටයුතු වලින් අද එක්වරම මිදීමට තීරණය කළෙමි. එයට හේතුව, පරීක්ෂණ සියල්ලම නිමා වී තිබියදීත්, මසක් පමණ අධ්‍යනයෙන් ම පසුවීමයි. තවදුරටත් එය මට අනවශ්‍යය. වෙහෙස කරය. එහෙයින් නිමා කරමි.

මම දැන්, යළි මා තුළට පැමිණීම ඇරඹිය යුතු කාලය පැමිණ තිබේ.


හොයාගත් දේවල් වචනෙන් දෙකෙන් සාරංශ කරන්නම්, පොතක් ලෙස එය බිහිවීමට තව බොහෝ කල් ඉල්ලා සිටියි. අකුරු බුද්ධියට බර වැඩිය. තවමත් නිසි නින්දේ හදවත වැඩෙයි.

සමාජ ජාල භාෂාව -

යම් දිනෙක ඔබ සමාජ ජාලයේ පෙනී සිටින භාෂා ශෛලිය වෙනස් කර තිබේද? මම එය ක්‍රමයෙන් වෙනස් කර බැලිමි. රස්තියාදුකාර භාෂාවක් එක්වරම ඔබ භාවිතා කළහොත්, ඔබගේ මිතුරු පිරිස එක්වර වෙනස් කළ හැකිය. ඔබට වඩා ළංවී සිටින්නෝ ඈත්විය හැකි අතර, ඈත් වී සිටින යමෙක් ළං විය හැකිය. ක්‍රමයෙන් වන ක්‍රියාදාමයකදී මෙය සිදු වන්නේද ක්‍රමක්‍රමයෙනි. නුඹ නොතේරෙන දේවල් කියන කල තේරෙන බව පෙන්වා සිටින සමහරු, නුඹ ඒ දේම වැටහෙන බසින් කිවහොත් ඔබව අත්හැර යනු ඇත.

සමාජ ජාල මිතුරන් -

සාමාන්‍ය සමාජයට වඩා අතිශයින් භයානකය. ශරීරය සහ ආත්මය පරස්පරවිරෝධීය. නුඹ වර්චුවල් දකින ප්‍රතිරූපයට වඩා සැබෑ ප්‍රතිරූපය සම්පූර්ණයෙන් වෙනස් විය හැක. කෙළින් නොකියන පිට කොඳු නැති අයගේ සම්භාවිතාව වැඩි නමුත්, වැටෙන තුරු බලා සිටිනා බව හඟවන ප්‍රතිශතය ඉතාම ඉහළය. පිරිමි ළමුන් සමඟ හිතවත්ව කතා කිරීම තුළ නම කැත විය හැකි අතර, ගැහුණු  වේශයෙන් සිටින පිරිමි අධිකය. වැරද්ද අවම නම්, ප්‍රයිවට් මැසේජ් වලින් එවන අතර, වැරැද්ද විශාල නම් ප්‍රසිද්ධියේ ලැජ්ජා කිරීමට උත්සාහ කරති. පුද්ගලික ජීවිතය හා සමාජ ජාල ජීවිතය අතර වෙනසක් ඇතිබව තේරුම් ගත් අයට වඩා නොගත් අය වැඩි බැවින් ප්‍රශ්න නිරන්තරව මතු වෙයි. බොහෝ දෙනා තම මනස ක්‍රියා කරවන ආකාරය , අනුන්ගේ මනස ක්‍රියා කරන ආකාරය යයි වටහාගෙන ස්වයං තීන්දු වලට එළඹී කරන ක්ෂණික ප්‍රකාශ වලින් මිතුරන් නැතිකර ගනිති. සමාජ ජාල භාවිතාව තුළ ඉවසීම තදින්ම වර්ධනය විය යුතු සිද්ධාන්තයකි. මේ සියල්ල සමහරෙකුට පමණක් අදාළ නොවන අවස්ථාද ඇත. හැකි නම් නුඹ සියලු දෙනා මිතුරන් කර ගෙන බලන්න, නුඹට මිතුරන් වැඩි වන තරමට අනවශ්‍ය අපවාද වැඩි වනු ඇත. නමුත් තොරතුරු ද වැඩිවනු ඇත.

සමාජ ජාල ට්‍රෙන්ඩ්-

ට්‍රෙන්ඩ් පැමිණීම, නැගීම, බැසීම සහ මියයාමද, තවෙකෙක උපතද, සාමාන්‍ය සමාජයට අනුරූපව සිදුවෙයි. නමුත් බොහෝ දෙනා ස්වයං කැමැත්තෙන්, ආරෝපණය වී ඇත්තේ, නොදන්නා බළල් හස්තයන්ගේ දේශපාලන ක්‍රමවේද වලටය. එය වටහා ගන්නා දින ට්‍රෙන්ඩ් එක නිමා වන අතර අලුත් පැමිණීම, යට ගියාව ගැන සිතීම අමතක කරයි. අවශ්‍ය දෙයක් සඳහා නුඹට කිසි දිනෙක සමාජ ජාලයකින් පිළිතුරු ලබා ගැනීමට ස්ටේටස් හෝ ප්‍රසිද්ධ කිසිවක් භාවිතා කළ නොහැක. පුද්ගලික බව තුළ එන පිළිතුරට වඩා ප්‍රසිද්ධ බව තුළ එන පිළිතුර වෙනස් වන්නේ, එකිනෙකා නුඹ සමඟ පවත්වන සම්බන්ධය ලොවට පෙන්වීමට වෙර දරන ක්‍රමවේදයේ ලක්ෂණ වලට අනුරූපීවය.
නුඹ සමඟ පොදුවේත්, පුද්ගිකවත් සමාන ඇසුරක් පවත්වන්නෝ සැබවින්ම හොඳ සමාජ ජාල මිතුරන් බව මතක තබා ගන්න.

සමාජ ජාල වීරයෝ-

වර්චුවල් සමාජයෙන් සහ සත්‍ය සමාජයෙන් තොරතුරු ගෙන තම චරිතයකට ආරෝපණය  හිට්ස් උදෙසා මවා ගන්නා ඊනියා වීරත්වය ඔවුනොවුන් විසින්ම ඉතාම අකාරුණික ලෙස ඝාතනය කරගනී.
යළි එය ලබා ගනු වස් කරන්නා වූ ක්‍රියා වලිය තුළද ඔවුන් පෙර රසවිඳි අය අතරමං වනු ලබයි. එවිට අලුත් වීරයන් බිහිවීම මන්ද ගාමී වන අතර පැරණි වීරයන් අලුත් වීරයන්ගේ ගමනට කුහක ලෙස බාධා පමුණවයි. නමුත් සියලු දෙනාම ඊනියා වීරයන් බැවින් සියලුම මාර්ග අනතුරේ බව රසවින්දක ආතුරයෝ නොදනිති. පරණ වීරයෝ යම් අවස්ථා වල අලුත් වීරයන් බිහි කරති. නමුත් පරණ වීරයන්ගේ අවශ්‍යතා, සඳහා අලුත් වීරයන් නොගැළපෙන කළ හෝ, ඔවුන් අතින් ඒවා ඉටු නොවන කළ, එළි බහින කුහකත්වය ඉතාම දරුණුය.

තව බොහෝ දේ කියන්නට ඇතත්, ඒ සියල්ල ඔබට යම් දවසක පහදා දීමට වෙර දරමි. මේ ලබා දුන් තොරතුරු ඔබට ඉදිරි සමාජාල ජීවිතයට වැදගත් නොවනු ඇත. මන්දයත් නුඹත් මේ වන විට පවතින රාමුවේ එක්ක අංශුවක් පමණක් බැවිනි.

නුඹ මතක තබා ගත යුතු දෙයක්, නුඹට සිහිපත් කරන්නේ හැබෑම සෙනෙහසිනි. නුඹ මිතුරන් හඳුනා ගත් මාර්ගය කිසිවිටක වැදගත් නැත. නමුත් නුඹ මිතුරා තේරුම් ගත් ක්‍රමය ඉතා වැදගත්ය. ලොව හොඳ හෝ නරක යන සියල්ල, සාපේක්ෂය.  කෙනෙක් ගේ ඔබට වැදගත් වන්නේ, ඔබ සමඟ සම්බන්ධතා පවත්වන ක්‍රමය ඇසුරෙන් පමණක් හෙයින්, සියල්ලන්ම ආස්‍රය කරන්නට කැමති නම් හැකියාව ඇත.. එමෙන්ම ඔවුන් පුද්ගලික ජීවිතයට සම්බන්ධ කරගන්නා ප්‍රමාණය තීරණය කිරීමද ඔබේ බුද්ධියට අනුකූලය.

නමුත් සියලු වර්චුවල් සබදතා, සැබෑ මිතුරුකම් ලෙස පටලවා ගැනීම හෝ නොගැනීම හෝ එහි පරිධිය තීරණය කිරීම ඔබ සතුය. සියල්ල අවසන එක් දෙයක් ප්‍රත්‍යක්ෂව කියමි. වර්චුවල් සමාජයට කළ හැකි දේ සාමාන්‍ය සමාජයට කළ හැකි දේට වඩා ප්‍රබලය. නමුත් එය යහපත් කාර්යයන් උදෙසා යොදාගන්නේ, ඉතාම සුළුතරයකි. අසනීපයට පත් අය සුව කිරීමට, පාසල් සඳහා උදව් කිරීමට කැපවන මෙවන් කණ්ඩායම් ඉහළින් අගය කෙරෙන අතරම
නොයෙක් මව් පක්ෂයන්ගේ බළල් හස්ත ලෙස නොදැන ක්‍රියාත්මක වන බොහෝ දෙනා කෙරෙහි, අනුකම්පාවද ප්‍රබලව හිමි විය යුතුය.

වෙනස් වන ලෝකයේ වෙනස් නොවනා එකම දෙය වෙනස් වීම බව තේරුම් ගත්තෙමි. මම ජයග්‍රහණය කර ඇත. මන්ද මම සමාජ ජාලය තුළින් බොහෝ ඉගෙන ගතිමි. ඔබ ජයග්‍රහණය කර තිබේද? නැත්නම් පරාජය වී තිබේද? එසේත් නැත්තම් තවමත් ගන්ධබ්බ සීමාවේ දෝලනය වන්නේද?





3/8/13

-210- අපි අපි ගැන නොලියා ඔබ ගැන ලියන්නෙමු


අද අපේ දිනය යැයි, එක්සත් ජාතින් ගේ සංවිධානය නම් කළ නිසාද, අපි අපූර්වයැයි කියන නිසාද, අද කාන්තා සංවිධාන වෙනුවෙන් බොහෝ දෙනා පෙළපාලි උත්සව පවත්වමින් කාන්තාවන් ගැනම කියන නිසාද, දවස් තුන්සිය හැට හතරේදී අයිතිවාසිකම් නොපතන ඔබ ගැන ලිවිය යුතුයයි මම සිතමි.

ලොව සියලු පිරිමින් වෙනුවෙන්, මෙසේ කාන්තා දිනය දා ලියා තබමි.

කඳුලු දෑසින් පිරී ඉතිරී
ගිලී යලි හදවතට පැන නැග
ළය පලා සුසුමකින් වෙර ගෙන
අවට ලොව වෙත සිනා සෙන සඳ

අතීතය සහ අනාගතයක
සරණ දෙනෙතක බර දරා
වර්තමානය දිවි ගෙවයි ඔබ
සහක් දොස් කන්දක් ආසා..

පැතුමකට ඉඩ නොමැති දිවියක
හීන කන්දක් වල දමා
සද්දන්ත ජීවිතය මිරිකා
විඳියි සහසක් වේදනා...

වටාපත මත කඩුව සඟවා
පවුල රට දැය සමය රකිනා
සහක් පරපුර ලොවට දෙන්නට
මුල් අණුව ගැහැණියට පුදනා

නොලද විවරණ නොදුටු පැසසුම්
අතර පරපුර හිසින් දරනා
ලොවක කරුමය ලොවක උරුමය
සැණයකින් දෙනෙතකින් කියනා

විනිසුරෙකි ඔහු,

පියෙකි.. සැමියෙකි.. සොහොයුරෙකි... පුතෙකි
සතුට දුක සම හදැති මිත්‍රයෙකි...

3/1/13

-209- අපිට පිස්සු ඕයි!!!!



පෝස්ට් එක දාන්න පරක්කු වුණාට සමා වෙයං ඕයි...!
ඊයෙ දවසම මූදෙ නෑව නිසා මේක දාන්න බැරුවුණා ඕයි!!

මගෙන් මුලින්ම පිස්සුද? කියලා ඇහුවෙ සිහින
අපි කවුරුත් එක්තරා ආකාරයක පිස්සො නිසා
මමත් පිස්සන් කොටුවට ජොයින් වුණා ඕයි..!

කඳුලු හිනාව කියන හැම දේම එක්ක
ජීවිතේ ගත කරන අපි වගේ උන්ට පිස්සුද කියලා
ජීවිතේ මඟහරින එවුන් සෑහෙන ගාණක්
අපෙන්ම අහන එක හරිද ඕයි!!

ලිෂාන් ගෙන් ඕන මැන්ටල්ගෙන් පටන් ගත්තාම
ජීවිතේ මල්ටත් පිස්සු හැඳුණා නම්
මට පිස්සු හැදෙන එක අහන්න දෙයක් ද? ඕයි!!

පින්තූරෙ මාරු කරපු ගමන් හැමෝම පිස්සුද කියලා ඇහුවාට
ඇත්තම කතන්දරේ, උන්ට අපිට වඩා පිස්සු ඕයි!!

පිස්සෙක් විදියට අපි එක්ක ඇඩ්මිට් වෙන්න ලැජ්ජා එවුන්
ඉන්නවා නම්, උන්ට කියන්න තියෙන්නෙත්
ඒකත් පිස්සුවක්ම තමයි කියලා ඕයි..!!

ආදරය කරන එක, කෑම කන එක, හැම දේකින්ම නිදහස් වෙන එක,
කොටින්ම ලෝකෙනම මිදිලා මුහුදෙ නාන එක, මේ හැම දේකට කාලය හොයා ගන්න එක
කොටින්ම කිව්වොත්, අපිට ගැළපෙන මිත්‍රසමාගමක් හොයාගන්න එකත් පිස්සුවක් නෙවෙයිද?

මගෙ ඡන්දෙ කාට වුණත්, අනේ මංදා දැං හිතෙන විදිහට
මේවා ගැන හිතලාම, හෙට විභාගෙ මතක්වෙලා

මට පිස්සු වගේ ඕයි!!
වගේ නෙමේ ඕයි!!
හොඳටම පිස්සු ඕයි!!

අපේ පිස්සො සෙට් එක -
ජීවිතේ මල් ලිෂාන් ඕනෙයා සිහින අවංක පැට්ටා ආගන්තුකයා රනා මුචලින්ද පසන් බුල්ටෝ සෝඩා ගුණේ සුදු පූසා නචියා සංජු පලාමල්ල අෂාන් හිතුවක්කාර කෙල්ල රුචක හසී බීටල් මගේ සඳ මකුළුවා