මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු
Showing posts with label හිතේ පිපෙන කතන්දර. Show all posts
Showing posts with label හිතේ පිපෙන කතන්දර. Show all posts

8/18/17

-294- ආත්මය විකුණන්න එපා ! Please

හැමෝගෙම ජීවිත වල බකට් ලිස්ට් තියෙනවා. මැරෙන්න කලින් ඒවා ඉෂ්ට සිද්ධ කරගන්න හරි ආසාවෙන් තමයි ඕනෙ කෙනෙක් ජීවත් වෙන්නෙ. ටුවෙන්ටීස් වලදි හිත පුරා ඇති කරගන්න  ලස්සන බකට් ලිස්ට් සමහර වෙලාවට තර්ටීස් වලදි චේන්ජ් වෙලා, ෆෝටිස් වලදි නැති බංග වෙලා යනවා. ඒවාට ඇති ආශාව නැති වෙලා ගිහින් වෙනස් කරනවා වගේ නෙවෙයි, කරන්න ඉඩක් නොලද කම නිසා ආශාව හංග ගන්න එක. කවුරුවත් කියන නිසා ආශාවල් වෙනස් කරන්න සිද්ධ වෙන එකම  එක්තරා පවක්. වයස ගිහිං හැමෝගෙන්ම මිදෙන දවසට ආසා කරන දේ කරන්න කාලයයි මුදලුයි දෙක තිබුණත් කවුරුත් බාධා නොකළත් ඒවා කරගන්න සවි ශක්තිය නැතිව යනවා. ඒ නිසා තමන් ආසා දේවල් ටිකක් හරි කරන්න දැන් දැන්ම උත්සාහ කරන එක තමයි හොඳම.
මේ දවස් වල තම තමන්ගෙ බකට් ලිස්ට්, හැමෝම පෝස්ට් කරන නිසා මටත් හිතුණා බකට් ලිස්ට් එකක් ලියන්න. මගේ බකට් ලිස්ට් එක දැන ගන්න එකෙන් ඔයාලාට ඇති බකට් එකක් නැති එකේ, අපි ආසා දේවල් කරන්න අපිට බැරි ඇයි කියන කාරණාව අපි අද කතා කරමු. අපේ බකට් ලිස්ට් එක අන්තිමේ බකට් එකටම සීමා වෙලා, අපිට කවදාහරි මැරිලා යන්න වෙන්නෙ ඇයි කියලා අපි කතා කරමු.
ඔයාට මතකද  පුංචි කාලෙ ඔයා මම අපි ඉස්කෝලෙ ගියා. ඉස්කෝලෙ යන කාලෙ අපි කොයි තරම් දේවල් වලට ආසා කළාද? අපිකොයි තරම් දේවල් කවදාහරි මෙන්න මෙහෙම කරනවා, අර විදිහට කරනවා කියලා ලස්සන හීන දැක්කද? ඒත් එදා අපේ ලොකු අය අපිට කිව්වෙ මොකක්ද? ලොකු වුණාම ඒ දෙවල් කරන්න පුළුවන් කියලා. දැන් ඒවා කරන්න හිතන්නවත් එපා කියලා. සාධාරණයිනෙ. අපි පොඩිනෙ. ඉතිං අපි තීරණය කලා ලොකු වෙනතුරු ඉවසන්න.
කොහොම කොහොම හරි වාසනාවට අපි ලොකු වුණා. ලොකු වෙලා අපි ආසා දේවල් අපිට කරන්න ඕනෙ වෙන කොට, අපිට වඩා තවත් ලොකු වෙච්ච අපේ ලොකු අය අපිට කිව්වෙ, “දැන්ම එපා. කවදහරි කසාදබැන්ද කාලෙක දෙන්නත් එක්කම ඕවා කරන්න කියලා.“ තටු කඩපු කුරුල්ලො වගේ බලාපොරොත්තු හා හීන එක්ක තාරුණ හිත් මඟ නතර වෙලා ඩිංග ඩිංග වයසට යන්නෙ මේ විදිහටයි.  
අපේ ලොකු අය කසාද බැඳලා එයාලාගෙ හීන ඉෂ්ට කරගත්තා කියලා මං කවදාවත් අහලා නෑ. කසාදය, ඉන්පස්සෙ දරුවො, ඉන්පස්සෙ එයාලාගෙ ජීවිත එක්ක ඔට්ටු වෙන එකට අමතරව ලොකු අයත් සතුටක් ලබලා නෑ. දිගු කාලීනව බැඳීම් එක්ක, සීමා එක්ක ඔට්ටු වෙනකොට, තමන් ඇත්තටම ඉන්නෙ සතුටින්ද දුකින්ද කියලා අවබෝධ කරගන්න තරම් ශක්තියක් හුඟක් අයට ඇති වෙන්නෙත් නෑ. හිතෙන්නෙම මේක තමයි ජීවිතේ කියලා. ඉතින් අනෙක් ජීවිතයක් ආශා කරන නිදහස සතුට ගැන දැනුම් තේරුමක් කොහෙන් ලබන්නද?
සදාචාරය, සංස්කෘතිය ඔලුව උඩ තියා ගත්ත රටක, මේ දේවල් වලට අපි තර්ක කරන එක තේරුමක් නෑ. ඒත් මේ ඒකාකාරී ජීවිතය එක්ක තරහ ගන්න සම්පූර්ණ අයිතිය තරුණ අපට තියෙනවා. රස්සාවට යනවා, කැම්පස් යනවා, ආදරය කරනවා එහෙම නැත්තං මඟුල් බලනවා , කෝල් කරනවා, කට් කරනවා.. චැට් යනවා, ස්ටේටස් දානවා.. මොකක්ද මේ ජීවිතය. අපි  ජීවිතේ ඇතුළෙම කැරැල්ලක් පටන් ගන්න ඕනෙ කරන්නෙ ඒ නිසාමයි.
අපිට ජීවිතේ ලැබුණ හැටි ඉතාම වැදගත්. ඒ ජීවිතේ ටිකෙන් ටික නිර්මාණය කළ අයත් ඒක කරපු හැටිත් හරි වැදගත්. හැබැයි කවුරු දුන්නත් දැන් මේ ජීවිතය අපේ. මගේ ජීවිතය අයිති මට. ඔයාගෙ ජීවිතය අයිති ඔයාට. ඒ ජීවිතේ තීරණ ගන්න කාටවත්ම අයිතිය දෙන්න එපා. එහෙම දුන්නොත්, රොබෝ කෙනෙකුට එහා ගිය වටිනාකමක් අපිට නෑ. අපිට අපේ ආත්මය අනුන්ගෙ සතුටකට විකුණන්න බෑ නේද? අපි පුංචි උදාහරණයකින් මේ කාරණාව තේරුම් ගන්න උත්සාහ කරමු.
පුංචි කාලෙ සමහර ගෑණු ළමයි, වැඩියෙන්ම ආසා කරන්නෙ බෝනික්කො නළවන්න. ටික ටික ලොකු වෙද්දි එයාගෙ එකම හීනෙ ලස්සන මානමාලියක් වෙලා, මහත්තයාගෙ ලෙදර ගිහින් උදේ පාන්දර නැගිටලා, මහත්තයාට බත් උයලා, එයාව රස්සාවට යවලා එයා එනකං හවස දොර එළිපත්තෙ බලා ඉන්න එක. චූටි බබෙක් නළව නළව තුරුළු කරගෙන ඉන්න එක. ඒ බබා ටිකක් ලොකු වුණාම ලස්සන ලස්සන ඇඳුම් අන්දවාගෙන මොන්ටිසෝරි එක්ක යන එක.  පස්සෙ ගොඩක් මේකප් දාං මහත්තයා එක්ක බබාගෙ පේරන්ට්ස් මීටිං යන එක, මහත්තයාගෙ කෝට් එක අතේ දාං එක එක යාළුවන්ගෙ වෙඩිං වලට යන එක,ඔය වගේ හීන කන්දරාවක් සමහර ගෑණු ළමයින්ට තියෙනවා.
ඒත් ඔය අතරෙ තව වෙනස් ගෑණු ළමයෙක් ඉන්න පුළුවන්, රටට මිනිස්සුන්ට  දෙයක් කරන්න ආශාවෙන් ඉන්න. ලෝකයම කතා කරන කෙනෙක් වෙන්න හීන දකින, හුදකලාවෙ සංචාරය කරන්න බලාපොරොත්තු වෙන, බැඳීම් නැතිව ජීවත් වෙන්න ආශා කරන. ඒ අස්සෙ ස්වාධීනව කාටවත් බරක් නොවී ආර්ථිකව කෙලින් හිටගන්න උත්සාහ කරන.
මට කියන්න, මේ දෙන්නාගෙන් හොඳ කෙනා කවුද? නරක කෙනා කවුද? ඔයාට පුළුවන්ද ඒ දෙන්නාව මනින්න. බෑ නේද?
ඒ දෙන්නා නිරපේක්ෂයි. අපි පළවෙනියාව උවමනාවෙන් දෙවනියා බවට පත් කළොත් අපි පළවෙනියාගෙ ජීවිතේ විනාශ කරනවා.  අපි දෙවනියාගෙ ජීවිතේ පළවෙනියාගෙ ජීවිතේ වගේ සකසන්න උත්සාහ කරන්න ගියොත්, අපි දෙවනියාව දූවිලි කරනවා.

ආත්ම එක්ක සෙල්ලං කිරීම තරම් නරක දෙයක් මේ ලොකේ තවත් නෑ.  වියළි කෝටු නවන්න බෑ. ඒත් ඔයා තාම අමුයි. මේ ඇත්ත හැම තැනටම පොදුයි. ඒ හින්දා තේරුම් ගන්න. අපි, අතීත සංස්කෘතික මායිම් කරපින්න ගත්ත වැඩිහිටියො නිසා දුක් වින්දත්, අපි නිසා අනාගත පරපුරට දුක් විඳින්න ඉඩ නොදී ඉමු. අපි ඔබේ ආත්මයට ආදරෙයි. ඔබත් අනාගත පරපුරේ ආත්ම රැක ගන්න.

8/14/17

-288- හැම පුංචි දෙයක්ම විඳීම වෙනුවෙන්

ඉස්සර ඉස්කෝලෙ යන දවස් වල ආදර කතන්දර තියෙන නවකතා පොත් වලට තිබුණෙ ලොකු ඉල්ලුමක්. එකෙක් පොතක් ගෙනාවාම මේසෙ අස්සෙ තියාගෙන පන්තියම මාරුවෙන් මාරුවට ඒ පොත කියවනවා. දිනේෂ් කොළඹගේ ගෙ“ සුළඟ වගේ ඇවිදින් “, චන්දි කොඩිකාර ගෙ “ නිකිණි සිහිනය“ එහෙම අපේ පන්තිය වටේම ගිය පොත් දෙකක්.
සමහරු පොත කියවන අතරෙ, තවත් සමහරු ආස කරන්නෙ පොතේ කතන්දරේ කාගෙන් හරි අහා දැනගන්න.  කතාව කියන කෙනා ටිකක් විතර Creative නම් , පොතේ තියන කතාවට එහා ගිය  සිනමා කකතන්දරයක්  අතින් කෑලිත් එකතු කරලා අනෙක් අයට අහගන්න පුළුවන්. මේ අස්සෙ පාඩම් පොතකට එහා නවකතාවක් නොකියවපු, නවකතා කියවීම ආනන්තරිය පාප කර්මයක් විදිහට සලකපු කෙනෙක් දෙන්නෙක් වුණත් අතරින් පතර නොහිටියාම කියලා කියන්න අමාරුයි.
හැබැයි මේ අතරෙ, තවත් කොටසක් හිටියා. ඒ අය කියවන්නෙත් නෑ. නොකියවා ඉන්නෙත් නෑ. කියවන්නත් කලියෙන්ම,  මල් නවකතා කියලා ප්‍රේමය තිබෙන නවකතා සම්පූර්ණයෙන් ඒ අය බැහැර කරනවා. සුමට නවකතා පොත් කියවීම අගෞරවයක් විදිහට සලකපු එහෙම අයත් තමන් ඒ පොත් නොකියවන  බව තමන් අවට ඉන්න අයට පෙන්වන්න, “අම්මා “ , “වේලාසන කොක්කු ඇවිත් “ වගේ පොත් මේසෙ උඩ තියන් හිටියා. සාමාන්‍ය පොත් කියවන අය තමන්ගෙ මිතුරු සමාගම් වලින් පවා ඈත් කළා. ඒත් සම්භාව්‍යයි කියලා හිතපු පොත් කියවපුවාම තමයි  දැනෙන්න ගත්තෙ ඒවායෙත් අඩුවැඩි වශයෙන් ප්‍රේමය අන්තර්ගත වෙලා තිබුණා කියලා. එකම වෙනස සංකීර්ණ භාෂාව විතරයි.
කොහොම වුණත්  වර්තමානය වනවිට, කියවීම බොහෝ දෙනෙකුට හරිම ප්‍රදර්ශනකාරී දෙයක් බවට පත්වෙලා බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. කියවලා හිතට ගන්න දේට වඩා, රසාස්වාදනය කරන දේට වඩා   තමන් එය කියවූ බව අනෙක් පෙන්වන විදිහයි හුඟක් අයට දැන් දැන් වැදගත් වෙන්නෙ. ඒ සඳහා දැන් දශක භාගයක පමණ සිට, facebook එකෙන් වෙන්නෙත් ලොකු උදව්වක්. පොත ගැන යමක් විචාරය කරනවාට වඩා, පොතේ පින්තූරයක් හෝ පොත එක්ක ගත්ත පින්තූරයක් සමාජ ජාලා අඩවියක දැමීමෙන් බොහෝ කියවන අය ප්‍රීතිමත් වෙනවා.
පොත් කියවීම ෆැන්ටසියක් බව පෙන්වන්න, කරන මෙවන් උත්සාහ අතරෙ, හැබෑවටම පොත කියවෙනවාද කියන කාරණාව නම් හරිම අපැහැදිළියි. ඒ වගේම කියවන අය අතර, තමන්ගෙ තත්වය තියා ගන්න අවශ්‍ය නම් එවන් කෙනෙක් කියවිය යුතු පොත් ලෙස නිර්දේශ වුණු පොත් පවා සමාජ ජාල සංවාද තුළින් අද වෙද්දි සොයාගන්න පුළුවන්. එහෙත් හැබෑවටම කියවන්නට ආශා කරන කෙනෙක්, ඒ තරමටම තෝරා බේරාගෙන කියවනවා කියලා මං හිතන්නෙ නෑ. ඔහු හෝ ඇය තමන්ට දැනෙන යම් පරාසයක පොත පතට  ආශා කරනවා වෙන්න පුළුවන්.
සමහර වෙලාවට, කොමික් පොත් වලට,  මල් නවකතා කියා හංවඩු ගසන ලද සාමාන්‍ය ආදර නවකතා වලට, මහ පරිමාණ සම්භාව්‍ය මට්ටමේ පොත් කියවන අය වුණත් ආශා කරන අවස්ථා මං දැකලා තියෙනවා. ඒ වගේම ඒවා කියවන්නත් බොහොම කැමැත්තක් දක්වනවා. ඒත් තමන් එවැන්නක් කියවූ බව අනෙක් අයගෙන් හංගන්නත් ඒ අතරෙ එයින් බොහෝ දෙනෙක් උත්සාහ කරනවා. එයින් ඔවුන් අදහස් කරන්නේ, තමන්ගේ තත්වයට අඩුපාඩුවක් වීම වලක්වා ගැනීමයි. ඒත් තමන් යමක් රසවිඳිනවා නම් එය හැංගීම තමන්ගෙ හෘද සාක්ෂියට කොතෙක් දුරට එකඟ ද? අප සතුටු වෙන දෙයක් අපේ තත්වයට නොගැළපෙන නිසා හංගන්නෙ කුහක කම නිසා නේද?
හැම කතාවක්ම රසවිඳින්න අපි කාටත් පුළුවන් කියලා මං විශ්වාස කරනවා. පොත් හරියට මිනිස්සු වගේ. මිනිස්සු එක එක්කෙනා විවිධයි.  විවිධ මිනිස්සු ලියපු පොත් වුණත් විවිධයි. පොත් කියවීම මිනිස්සුන්ගෙ හිත් කියවීමක්. සමහර මිනිස්සු සුමටයි බොළඳයි. සමහර මිනිස්සු සංකීර්ණයි. ඒ වගේම, පොත් වුණත් බොළඳ වෙන්නත් සංකීර්ණ වෙන්නත් පුලුවන්. හැම වෙලාවෙම සංකීර්ණ පොත් ම කෙනෙක් කියවිය යුතුයි කියලා නීතියක් කොහෙවත් ඇත්තෙ නෑ.
සරල සමහර දේවල් වලින් මැවෙන රසවින්දනය, සංකීර්ණ දේවල් වලින් දැනෙන රසයට වඩා බොහෝ මිහිරි වෙන්න පුළුවන්. ඒ වගේම පුංචි සරල දෙබසකින්, මහා පොතකම හරය මිහිරිව කියවෙනවා වෙන්න පුළුවන්. ඒ නිසයි අප සෑම කුඩා දෙයක්ම අගය කළ යුත්තේ.
පොඩි කාලේ කියවූ ළමා කතාවක් වුණත්, අද කියවද්දි, ඉන් දැනෙන්නෙ වෙනස් මිහිරක්. එදා අපිට නොතේරුණු යමක් අද ඒ පොතින්ම අපට  අවබෝධ වෙන්න පුළුවන්. කුඩා කල මහ විශාල දෙයක් ලෙස පෙනුණු යමක්, වර්තමානයේ ඉතා සාමාන්‍ය දෙයක් සේ පෙනෙන්න පුළුවන් වෙන්නෙ අපි තරාතිරම නොබලා සෑම දේම කියෙව්වොත් පමණයි.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා අනාදිමත් කාලෙක ඉඳන් කියන කියමන පොත් කියවීම කියන කාරණයටම පමණක් ලඝු වෙලා නෑ වගේම, විදග්ධ පොත් කියවීමට පමණක්ම සීමාවෙලාත් නෑ කියලා මතකයේ තියා ගන්න. අහුවෙන හැම අකුරක්ම රසවිඳින්න ඒ හැඟීම උපකාරී වේවි.

1/22/15

-253- තවත් ආදර කතන්දරයක්


මම ඇගේ නර්තනය දෙස බලා සිටිමි. පළමුව ඈ කවුදැයි හඳුනා ගත් ප්‍රීතියෙන්ද, දෙවනුව ඈ සුපුරුදු ලෙසින් නර්තනයේ යෙදෙනා සෞන්දර්ය දැකීමේ ආහ්ලාදයෙන් ද මම ඇය දෙස බලා සිටිමි. පහළොස්වැනි හෝ දහසයවැනි සියවස් අතර දවසක, ඉතාලියේ යම් තැනක උපත ලද, බැලේ නර්තනයට පෙරදිග ලාස්‍යයන් මුසු කර තැනූ ඇගේ රිද්මයන් හා වසඟයට පත්වනු වෙනුවට, විදුලි සංගත තැටියකින් වාද්‍ය වන ඒ සංගීතය පසුබිමෙහි තබා ඇගේ අතීතය පිළිබඳ ව මොහොතක් නෙත් පියා ස්මරණය කරමි.

අෑ අප අතර සිටි අමුතු යෙහෙළියක් යැයි මගේ මතකයේ ඇත. නිරන්තරයෙන් විහිලු කරමින් සෑම දෙනාම සතුටට පත් කළ අයෙක් ලෙසද, විටෙක නිහඬව සහ තැන්පත්ව, යමක් සඟවාගෙන මිදී පලා යන්නට තැත් කළ අයෙක් ලෙසද  ඈ මගේ සිත තුළ තැන්පත්ව හිඳී. ඇය සංවෘත බවක් කිව නොහැකි තරමටම, සියල්ල අප හා බෙදා හදා ගත් බවද, විවෘත නැතැයි හැඟෙන තරමටම බොහෝ දේ අපෙන් සැඟ වූ බව ද සිහිපත් කරමින්, මම දෙනෙත් හරිමි.

ඈ හැඳ සිටිනා සුදු දුහුල් පුහුණු ඇඳුමේ, රැළි අතරින් වේගයෙන් පෙනී නොපෙනී යළි පෙනෙන ඇගේ දඟ යුග්මය මෙන්ම ඇගේ සිතිවිලි තුළද පෙනුණු නොපෙනුණු බොහෝ දේ තිබුණු බව අද මම දනිමි. ඇගේ නර්තනය අවසන් බව පසුබිමින් ඇසෙනා සංගීතය නිමා වූ හඬින් පෙනී ගිය බැවින් මම යළිත් පියවි ලොවට අවතීර්ණ වෙමි.

කුඩා ගමන් බෑගයක් සහ තුවායක් අතට ගත් ඈ, විජාතික මිතුරියක් හා සෙමෙන් කතා කරමින් ඉදිරියට පැමිණෙමින් සිටියි. ඈ හා කතා කිරීමේ ප්‍රබල ආශාවක්  මා තුළ හට ගත්තත්, එක්වර උපන් ලැජ්ජාවකින් පසු බා සිටියෙමි. අපි හමු වූ මුල් දවස් වල පැය හා දවස් වලින් ගෙවුණ කාලය, අපි හමු නොවූ කාලය තුළ වසර වලින් ගෙවී ගිය බැවින් ඈ මා හඳුනා නොගනිතැයි මගේ සිත කියන්නට පටන්ගෙනය. එහෙත් නිරායාසයෙන් මොහොතකින් මා ඇගේ මඟ හරස්කොට ඉදිරියේ සිට ගමි.

ගංගා?

මම ඈ අමතමි. ඈ ආලේපන නොතවරා ම පෙරට වඩා  පැහැපත් ව සිටියාය. පුදුම බවක් හැඟවූ මුහුණින් මා දෙස වරක් වේගයෙන් බැලුවාය. කලකින් දුටු මිතුරියක් හඳුනාගත් ප්‍රීතියෙන් දෙවනුව ඈ මා වැළඳ ගත්තාය. ඇගේ නොවෙනස් සිනහව අද ද මා වටා පිපුණු බැවින් මා ඇගෙන් නෙත් අහකට නොගෙනම, දෙවැනි පැනයද තල්ලු කරමි.

ඉස්කෝලෙන් අයින් වුණාට පස්සෙ අදයි දැක්කෙ?  ඒකත් මේ අහම්බයෙන්! කොහෙද මේ?

ඈ සිනාවෙන්ම, මා ඇදගෙන අසල පුටු පේළියේ ඉඳගනී.. අපි හඳුනන්නෝ බව ඉඟියෙන් දත් ඇගේ විජාතික සුදු මිතුරිය අතින් සන් කර සිනාවක් පා අප පසු කරයි.

කෙල්ල මහත් වෙලා..ඔයා මෙහෙ ආවා කියලා දන්නෙවත් නෑ. පුතු ලොකුද දැන්?

ඈ ගැන කිසිත් නොපවසාම ඇය මගෙන් විමසයි. ඉස්සර මටත් වඩා මහත ඇය, දැන් මඳක හීන්දෑරි නිසා, මගේ පිරුණු බව වැඩියෙන් දැනෙනවා විය යුතුය. අප එකට පාසලේ උගන්වන දවස් වල මට තිබූ රූ සපුව ගැනත්, මා නිතර පළඳින උස් අඩි පාවහන් ගැනත් ඇය ඉතා අගේ කොට සැලකූවාය. කිසි දිනෙක ඈ උස අඩි සෙරෙප්පු නොපැළැන්දාය. ඒවාට ආසා කරමින් ඒවා නොපළඳින්නට තරම් හේතුවක් ඇයට තිබිණි. ඒ ඇය ඔහුට වඩා උස යන්නට තිබූ අකමැත්ත නිසාය. ඇගේ නොඉවසිලිමත් නෙත් මේ මොහොතේ මා වෙත බැවින් මගේ මතක මත තැවරෙන්නට තවත් ඉස්පාසුවක් නොලැබිණි.

දැන් පුතා ලොකුයි අවුරුදු හතක්. තව ටික දවසකින් ඉලංදාරියෙක්.එයාව මෙහාට එක්කගෙන තමයි මේ ආවෙ.

ඇගේ නෙත තෙතකින් පිරෙයි. ඇයට විහඳුව අමතක වන්නට ඉඩක් නැත. ඈ ගැයූ ගී වල මතකය විහඳුට අද නැති වුවද, අදත් ඔහුගේ රසවින්දනයට මුල් පදනම වැටුණේ ඈ හරහා බව මම විශ්වාස කරමි. මා ඇගේ නිවස දැන සිටියත් කිසි දිනක එහි යන්නට නොහැකි වූයේ එකල කුඩා පුතු සමඟ මා ගත කළ වෙහෙස කර ජීවිතය නිසයි. එහෙත් ඈ නිතර මා බලන්නට එමින් , කවි ගීත ගයමින් කුඩා පුතු හා කාලය ගත කළේ සැබවින්ම කුඩා දැරියක විලසිනි.

 අනේ මට දකින්නත් ආසයි අමලි.. පුතුට දැන් මාව මතක නැතිවත් ඇති.

ඈ හෘදයාංගමව මගේ අත තද කොට ගත්තාය. මම මගේ විස්තර ඇයට කියන්නට ඉක්මන් වෙමි. ඇගේ විස්තරද ඉක්මනින් දැන ගත යුතු නොවේද මම? ඇය නැවත සුදු මිතුරිය පැමිණයහොත් ඉක්මනින්ම යනු ඇතැයි ක්ෂණික හැඟීමක් මා තුළ මෝදු වෙයි. ඉතින් මම කලබල වෙමි.

අපි දැන් ඉන්නෙ මෙල්බර්න් වල ඉන්නෙ. මහත්තයා නම් පී ආර් පිට. මං නං සිටිසන් ගත්තා. අපිට දැන් පුංචි දුවෙකුත් ඉන්නවා.. එයාට තුනයි තාම. ගෙදර තියලා ආවෙ.


ඇගේ නෙතේ ප්‍රීතියක් ඇඳෙයි. මේ, කාලාන්තරයකට පසු මම ඇගේ තොරතුරු දැනගන්නා වෙලාවයි.
ඈ දුටු අවසන් දිනය තවමත් මගේ මතකයේ තිබෙයි. ගෙදරින් එක දිගට හොයන විවාහ යෝජනා කෙරෙන් පීඩිතවද, සිය ආදරයෙන් හා ඒ තුළින් නොලද ජීවිතයෙන් හෙම්බත්ව ද සිටි ඇය අවසන ජීවිතයට වෙන ඕනෑම දෙයක් ගැන හිත හදා ගත් බව පමණක් අපට සිනා මුසු මුහුණින් කීවාය. සාම්ප්‍රදායිකව ඇයට සුබ පැතුවද, ඇගෙන් අනාගතයක සේයාවක් නොදැනෙන වග  ඈ ගිය පසු ද අපි කතා වීමු. ඉන් පසු ඈ පාසල් පැමිණියේ නැත. දවස් දෙක තුනකට පසු, ඇගේ නොපැමිණීම දැනගන්නට අප ඇය දුරකථනයෙන් ඇමතීමු. එම දුරකථනය පවා අක්‍රීය වී තිබීම ගැන අප බෙහෝ කණගාටු වීමු. හදිසි සම්මුඛ පරීක්ෂණයකින් පැමිණි අලුත් ගුරුවරියකගෙන්, ඇගේ පන්තියද හිස් අසුනද පිරෙන්නට ගියේ එක් සතියකි.ඇගේ නිවසට යන ලිපිනය දැනගෙන සිටියද, ඒ මොහොතේ අප සැවොම සමව පෙලූ යොවුන් කාර්යබහුලත්වය, විසින් ඈ සෙවීම නිරන්තරයෙන්  මඟ හැරුණු වැඩ අතරට දමා පසුව අපගේ සිත් වලින්ද අමතක කළ මතකයන් අතරට තල්ලු කෙරිණි.

එදා සොයාගත නොහැකි වූ ඈ ඉතින් දැන් මා ඉදිරියේ ය. ඇගේ තොරතුරු ඇසීමට මගේ දෙකන් වලට ඉස්පාසුවක් නැත. එහෙත් ඒ හදිසිය ඇයට නැත. මම නොඉවසිලිමිත් තරහකින් වෙලෙමි. ඈ සියුම් කල්පනාවක නිමග්නව සිටී. සමහරවිට කිසිවක්, අමතක නොවන්නට පිළිවෙලින් වසර කිහිපයකට පෙර ගෙවුණු අතීතය පෙළගස්වනවා විය හැකිය. එබැවින්, නිහඬ බවින් නොතිත් බව රඳවාගෙන මම වැරෙන් ප්‍රස්වාස නොකර බලා සිටිමි.

- එකහමාරට ඉස්කෝලෙ ඇරිලා ක්ලාස් එකේ ළමයි ඔක්කොම අම්මලාට බර දුන්නාට පස්සෙ, මං ස්ටාෆ් රූම් එකට ආවා. ඔයාලා හිටියෙ නෑ. කවුරුත්ම. ඉතිං මං බෑග් එකත් අරන් ගෙදර එන්න ආවා. බෝ ගහ කිට්ටුවට එනකොට, ගමේ කඩේට ගිහිං පෘට් ජූස් එකක් බොන්න ඕනෙ කියලා ආසාවක් ආවා. මම ක්‍රොස් කරලා රාජිගිරිය පැත්තට යනකොට අහම්බෙන් වගේ, එහා පැත්ත බැලුණෙ. වෙයා හවුස් එකේ එයාගෙ ඡායාවක් වගේ මම දැක්කා.. මාස ගාණකින් එක පාරටම මං එයාව දැක්කෙ. මට පුදුම සතුටක් දැනුණා. මට මතකයි මං එයාව මඟ ඇරෙන්න ඉස්සර පාර පැන්නා..
 
ඒ දවස් වලත් ඇය එහෙම ය. වැසි වසිනකොට, වැස්ස දෙස බලා.. ඔහු එළියෙදැයි කල්පනා කරයි. සාප්පු ගිය විට ඔහුට ගන්නට ඇඳුම් ආයිත්තම් තෝරයි. ඔහු සමඟ යන විට උස වැඩිවෙතැයි බියෙන්, අඩි උස පාවහන් නොපළඳියි. එහෙත් කිසි දිනක ඈ සමඟ අපි ඔහු දැක නැත.  ඈ ආදරය කළ ඔහු, ඇයට ආදරය කළ බව අපි නොදන්නා තරමට ඇගේ ආදරය සාමාන්‍ය අපට ආගන්තුක එකක් විය. ඔහු එදා ආවා විය හැකිදැයි යන පුදුමයෙන් මම ඈ දෙස බලමි.

මට ඊට වඩා මුකුත් ම මතක නෑ. මට මතක මගේ ඔලුවෙ ලොකු රිදිල්ලක් එක්ක මම නැගිටිනවා විතරයි. වටේ කිහිප දෙනෙක්ම ඉන්න බව දැනුණත් ඉන්පස්සෙ  ආයෙත්, හැම දේම කලුවර වුණා.. මම එක දවසක් ඇහැරෙද්දි, මං හිටියෙ මෙහෙ ආර් එම් එච් එකේ.. මුලින්ම මම දන්නෙ නෑ කොහෙද කියලාවත්, ඒත් පුදුමෙකට වගේ, මට අමුතු සීතලක් දැනුණා.. කවදාවත් නැති වෙනස් බවක්. ඈත පෙනෙන බිල්ඩිං වුණත් අමුතු ගතියක්. ඒත් මම ඒ හීනයක්ම කියලා හිතුවෙ, බැල්කනියෙ ඉඳගෙන ආපු තිවංකව දැක්කාම. එයා මට සනීප වෙනතුරු මගෙ ළඟම ඉඳලා. ඒක මම කවමදාවත් හිතපු නැති දෙයක්.. ඉතිං මට පුදුම හිතුණා. මං හැමදාම දැක්කෙ එහෙම හීනයක්. ඒ දවස් වල කිව්වා.. හීන වලට මිනිස්සු ආදරේ කරන්නෙ, ඒවා හැබෑවෙන්නත් ඉඩක් තියන නිසා කියලා.. එයා හරි..

ඇගේ දෑස් වල ආලෝකය විහිදිලා පැතිරුණා. පළමු වතාවට ඇය ඔහුගෙ නම ඒ තරම්ම සුන්දරව කිව්වෙ අද. දැන් මගේ නොතිත් ආසාව, අද ඇගේ ජීවිතය ගැන දැනගන්නයි. එය ඉවෙන් වටහා ගත්තාක් මෙන් සිනාසී ඈ මගේ දෑත් සියුම්ව තද කළා.

එයා එම්බසි එකේ වැඩ වගයකට ගියා. පුතාවත් අරන් එයි මාවත් පික් කරන්න තව ටිකකින්. 

ඔහු දිගින් දිගටම ඈ සමඟ රැඳීම ගැන මම නිරාමිස ප්‍රීතියකින් තුටු වෙමි. ඈ පැතූ ජීවිතය ඇය සන්තකව තිබීම කෙතරම් සතුටක්ද? පුතා ගැන ඇසූ විට පුදුමය මුසු ආහ්ලාදයක්ද මා වෙලා ගනී.

ඔයාට පුතෙක්? 

ඉතින් මම පුදුමය මුදා නොගෙනම අසමි


ඔව්නෙ. අභිමන්‍යු ඉපදුනානෙ.. ඉතිං  දවසක අපේ ගෙදරත් එන්න. දැන් අපි ආයෙත් නිතරම හමුවේවි. ලබන සුමානෙ මෙහෙ ඩාන්සිං ෂෝ එකට එනවානෙ..ටිකට් ගන්න එපා... මං ඔයාටයි ඔයාගෙ හස්බන්ඩ්ටයි ඉන්විටේෂන් දෙකක් ගන්නම්.. බබාලාට ඕනෙ නෑනෙ.. ආ.. ඒක නෙවී..  මගෙ නම්බර් එක මාරු කළානෙ.. ඔයාගෙ නම්බර් එක කියන්න.. මං රින්ග් කරන්නම්..

ඈ සතුටින් තව තවත් තොරතුරු එක පෙළට ගයයි. මට ඇරයුම් කරයි. උපදෙස් දෙයි. හිනැහෙයි. දුක සහ සතුට අතර ඇති රේඛාව ගැන තවත් පුදුම වෙමින්, මම ඇයට මගේ අංකය කියමි. එදා ඇයට ඒ රිය අනතුර නොවුණා නම්, එතැන සිටියෙ ඔහු නොවුණා නම්, ඔවුන් එක් නොවුණා නම්, කුමක් වන්නට තිබිණිද? ඔවුන්ගේ එක් වීම දෙවියන් විසින් පතන ලද්දක්මද? මා මගේ සිත කල්පනාව තුළ කිමිද යාම මුදවා ගන්නට අපමණ වෙර දරමි.

පුංචි වාහනයක නළා හඬ සමඟ.. ළඳරු සිනා හඬකින් පිටත ටෙරාසෝ කළ පෝටිකෝව දෙස හැරී බලමි.. රියදුරු අසුනේ උන් දේහධාරි පිරිමි දෑසක්ද, අනෙක් අසුනේ ඔහුගේම කුඩා සංස්කරණයක් වැනි මගේ කුඩා දියණියගේ වයසට සමාන බව පෙනෙන පුතෙක්ද ඇගේ උණුසුම බලාපොරොත්තුව සිටියි. ඉතින් දැන් ඈ ගේ සුන්දරව සිනාවට හේතු මම සියැසින් දකින්නට තරම් වාසනාවන්ත වෙමි. ඒ සිනාව සියල්ල අත්පත් කරගත් අවසානයේ ගැහැණියකගෙන් නැගෙන අප්‍රමාණ වූ උත්තරීතර සිනාව බව පමණක් මම දනිමි. හඳුනමි.

2015- 01- 22
ඕස්ට්‍රෙලියාවේ මෙල්බර්න් නුවර දී
-අමලි දිසානායක-


10/20/14

-248- ඔහුගේ පුංචි දෙව්දූව | அவரது சின்ன தேவதை

2014 / 10/ 13
අනේ යාල් දේවී... නෑ ගමන් ගියේ නෑ.. බෝ කලකින්
හිස පළඳනාවේ තිබුණා ලියලා, කංකසංතුරේ කියලා...

සුනිල් එදිරිසිංහ මහතා ගේ හඬ මුළුතැන්ගෙයි සිට, කාමරයක් කාමරයක් පාසා පැමිණ ඇත. උදෑසනම ඒ තරම් නෑසෙන එවන් ගී ඇසෙන්නේ, අද වසර විසි හතරකට පමණ පසු යාල් දේවී යාපනේ යන නිසාම විය යුතුය. යාල් දේවී යාපනේ නොයන්නට පටන් අරගෙන මගේ වයසමය. අදින් පසු ඈ හැමදවසකම කොටුවේ සහ යාපනයේ සිල්පර අතර ඇවිද යනු ඇත. දුරකථනය නාද වෙයි. එහෙත් එය නාඳුනන මොබිටෙල් අංකයක්.

මොකද කියන්නෙ? ගෑණු දරුවා ! පැනලා යනවා නං පළවෙනි කෝච්චියෙම යන්ඩ පුළුවන්

දවස් දෙකකට පමණ පසු ඇසෙන ඒ සුපුරුදු හඬ කරන් ගේ ය. කරන් සහදේව් රාමචන්ද්‍රන් යාපනේ දෙමළය. එහෙත් ඔහු සහ මල්ලී දෙදෙනාම උපන්නේ කොළඹ ය. කරන් මෙන්ම ඔහුගේ මල්ලි ඉගෙන ගත්තේ ද උසස් සිංහල පිරිමි විදුහල් වලය . එනිසා ඔවුන්ට හොඳින්ම සිංහල පුළුවන් ය. සමහර විට ඔවුන්ගේ අම්මා සිංහල නිසා විය යුතුය. විටෙක කරන් මට වඩා සිංහල ය. නුපුරුදු අංකය ගැන  නුරුස්නා හැඟුමක් උපන් බව දනවන්නට ඉඩ දෙමින් මම ඔහුව ප්‍රශ්න කරමි. ඒ මගේ හැටි බව ඔහු දනී

මේ නම්බරේ කාගෙද?

ඔහු ගේ සිනා හඬ දුරකථනයේ එහා කෙළවර සිට ඇසෙයි. ඔහු උත්තර නොදෙමින් මා තරහ ගස්සන්නට සැරසෙයි. ඉස්සර සිටම ඒ ඔහුගේ හැටි ය. එහෙත් මම හැමදා ඒ ලගන්නා සිනා හඬට ප්‍රිය කළෙමි. වසර හතරක පමණ මේ දැනහැඳුනුම් කම මිත්‍රත්වයට එහා ගිය ප්‍රේමයදැයි හඳුනා නොගත් එක්තරා බැඳීමකි. එය ප්‍රේමය යැයි ඔහු කිසි දින කියා නැති බැවින් ප්‍රේමයක් සිතීමට මට අයිතියක් නැතැයි විශ්වාස කරමි. දැන් ඔහු මට පිළිතුරු දෙන්නට පටන් ගෙන ඇත.

මගෙ සින්න දේවදෛ බය වුණානේ.. මේ තාත්තිගෙ උපහාර පැකේජ් එක බබෝ. ඉතිං ඉතිං?

ඔහු සිනහව අතරින් පවසන්නේය. දැන් ඔහු මගේ පිළිතුරු නොපතාම කතා කරන්නට පටන් ගෙන ය. මින්පසු යාපනේ යන විට, ජීප් එකේ නොව කෝච්චියේ යා යුතු බවත්, එසේ යනවා නම් යාල් දේවියේ පළමු පන්තියේ ටිකට් පත් කලින් මිලදී ගත යුතු බවත් ඔහු පවසනු මට ඇසෙයි. තත්පර දෙක තුනක මඳ විරාමයකි. අනතුරුව නව මාතෘකාවකි. ඒ යුද්ධයෙන් පසු  ඔහු නිතර යාපනේ යන නිසා අලුත් වූ නෑකම් හා අලුත් මිතුරන් පිළිබඳ විත්ති ය. කතා කිරීමට නොහැකි වුයේ දවස් දෙකක් පමණක් වුවද  ඔහුට කීමට මාසයක පමණ දේ තිබිණි. විටෙක සිංහලෙන්ද, විටෙක ඉංග්‍රීසියෙන්ද මිසක, දෙමළ හැකි තරම් අඩුවෙන් භාවිතා කිරීමට ඔහු ප්‍රවේසම් වෙයි. ඒ ඇයි දැයි මම මෙතෙක් කිසිදිනක අසා නැත්තෙමි. මම දෙමළ කතාවට ඒ තරම් හපනියක නොවූවද, දෙමළ තේරුම් ගැනීමට සෑහෙන සමත් කම් ඇති වග ඔහු දනී. රාජ්‍ය භාෂා කේන්ද්‍රයේ පැවැත්වෙන දෙමළ භාෂා පාඨමාලාව මම අනිවාර්යෙන්ම හැදෑරිය යුතු බව එක් වරම ඔහු සඳහන් කරයි. මම ඒ ඇයි දැයි අසමි. මඳක් සිනාසී රහසක් හගවන ලීලාවෙන් සුසමක් හරින ඔහු එයට පිළිතුරු නොදීම අලුත් කතාවක ගිලෙයි.

ඉදින් දුරකථනය කන තබා ගෙනම, මම ඔහුව හැරදමා මගේ මතකයන් වෙත පැමිණෙමි.

 ***
මාලබේ තොරතුරු තාක්ෂණ අධ්‍යන ආයතනයේ නිහඬ දේශන ශාලාවක නිල් පැහැති ගවුමක් හැඳ හිඳ සිටින, මා යළිත් මවා ගැනීමට මට හැකි විය. උසස් පෙළ ප්‍රතිඵල පැමිණි විගස ඇතුළත් වුවද, මාස දෙක තුනකන්ම එපා වී ගිය පරිගණකය  හා ගණිතය පිරුණු අධ්‍යන වාරයෙන් පැන යා හැකි අයුරක් සිතමින් ඒ මොහොතේ සිටි බව දැන් මට සිහිපත් වෙයි. මේ සමුගැන්මෙන් අනතුරුව, ජීවිතය සපුරා වෙනත් මාවතක ගමන් කරවිය යුතු බව මගේ යටි සිත ඉදිරියට පැන ඒ අවස්ථාවේ අණ කරන්නට පටන් ගෙන තිබිණි. අනාගතය පිළිබඳ සිත ඇතුළෙන් අවිනිශ්චිත අරගලයන් කලහ කරද්දී එක පිට එක ඇසෙන අසාමාන්‍ය ශබ්දයකින් තැතිගැන්වුණු මම, ඔබ සාමාන්‍යයැයි පවසන ලොවට පිවිසෙමි.

ඒ 2009 වසරයි. සිංහල හින්දු අලුත් අවුරුදු නිමා වී මසක් පමණ ගත වී තිබිණි. දහ නව හැවිරිදි යුවතියක් බිය කළ හැකි තරමට එක පිට එක පිපිරූ රතිඥ්ඥා හඬට හේතුව, එහා මෙහා වේගයෙන් පසු කර යන්නන්ගේ මුවින් අහුලා ගැනීමට සමත් වූ විගස, මම ද මගේ අතින් අනාරාධිතව ඇදගත් වැඩිමහල් යෙහෙළියකගේ ශක්තියෙන් පාරට ඇදී එමි.

අපි දිනලා.

හැම තැනම රතිඥ්ඥා හඬ රැව් දෙයි. මහ පාරේ වාහන නවතා ඇත. පාර මැදට පැන ජාතික කොඩි බෙදන තරුණයෝ නගරයම අරක් ගෙන සිටියහ. එකිනෙකා බලහත්කාරයෙන් කිරිබත් කවා ගත් උද්දාමය තුළ ප්‍රීතිය මෙන්ම වෛරයක්ද ඒකාත්මිකව තිබූ බව පෙනිණි. ඒ සිතිවිලි වලින් සිත මුදවාලූයේ පසුපසින් ඇසෙන ඔල්වරසන් හඬකි. ඒ දෙස හැරී බැලුවෙමි. තුන්වෙනි හෝ හතරවෙනි අවුරුද්දේ යැයි සැලකිය හැකි තරුණයෙකු කර පිටින් ගෙන නටන කොලු රෑනකි.

ඇයි ඒ?

මම යෙහෙළියගෙන් අැසීමි.  ඇය ද පුවත් නොදැන තවත් අයෙකුගෙන් තොරතුරු විමසන සෙයකි. එතැන සිටි අය කොඳුරාගත් පරිදී ඔහු  හමුදාවේ ඉතා ඉහළ නිලධාරියෙකුගේ පුතෙකි. ඔහු ඔසවාගන්නට ඇත්තේ පියා වෙනුවෙන් සතුට ප්‍රකාශ කරන්නට විය යුතුයැයි අවසානයේ ප්‍රත්‍යක්ශ කර ගතිමි. අනතුරුව මම මගේ බෑගයද රැගෙන යෙහෙළියගෙන් මිදී බසයකට ගොඩවීමි. සැවොම ප්‍රීතියෙන් ය. මිනිස්සු සමූහයක් ලෙස නොතිත් ප්‍රීතිමත් භාවයකට වන්නේ ක්‍රීඩාවෙන් පමණක් නොවන වග  මම සිතන්නට පටන්ගත්තේ එදාය.

***
නෙත් පියාගෙන තවත් වසර එකහමාරක පමණ ඈතට සිහිනය රැගෙන ගියෙමි. ඒ 2007 වසරේ නොවැම්බර් අග දවසකි. ආර්ථික විද්‍යා පන්තිය දෙදරා කළුවර වී යනු දැණිනි. ශබ්ද නෑසුණද, කන් අඟුලු වැටුණාද යන්න අමතක වුවද ජීවිතයේ අත්විඳී අති ප්‍රබලම නිහැඬියාවේ මොහොතක් ගිලී සිටියෙමි. ඉන්පසු ඇසුණු විවිධ ශබ්ද වලින් සහ එකතු වුණු විලාපයන්ගෙන් සමහර කොටස් අදටත් මතකයට පැමිණෙයි. එ් වේදනාවන් සියැසින් දකින්නට තරම් මම අවසනාවන්ත වීම නිසා ඒවා මතකයෙන් ගිලී නොයනු ඇත. අපි මුළු ළමා කාලය තුළම කොතැන පිපිරීමක් සිදුවේදැයි දෙගිඩියාවකින් පෙළුණු අය වෙමු. ඉඳින් තරුණ වියට පා තබන මොහොතේ ඉන් මිදීමේ ප්‍රීතියෙන් උද්දාමයට පත්වීමේ වරදක් නැති බව ඔවුන් සිතනවා විය නොහැකිදැයි මට සිතිණි.

දොරින් දොර සැණකෙළි මසක් පමණ පැවතිණි. මම නැවත කිසිදින තොරතුරු තාක්ෂණ සරසවියට නොගියෙමි. සිතින් බල කළ ගමන් මග වෙනස් විය. ඒ පශ්චාත් යුද සමයයි. මා ගිය අලුත් විද්‍යාලයේ සිංහල සිසුන් ට වැඩිය සිටියේ දෙමළ සිසුන්ය. එය මගේ ජීවිතයේ සුන්දරම කාලය විය.මගේ සුන්දර විසිවයස් වල ඇරඹුම සටහන් කළේ ඔවුන්ගේ දීපවාලියෙනි. කරන් මට මුණ ගැසුණේ ඒ දීපවාලීයේදීය. කුඩා කලු තිලකයක් මගේ නළලත තැබූ ඔහුගේ මිතුරියක්, පහන් දැල්වීම ඔහුටත් මටත් බාර දී ගිය අයුරු අද මෙන් මතකය. කරන් ඉස්සරත් එහෙමය. එක දිගට දොඩමළුය.

අපි එකට ගමන් ගතිමු. ජීවත් වුණෙමු. කෑවෙමු බිව්වෙමු. කිසිම තැනක කිසිම වෙනසක් නොතිබිණි. භාෂාව එදා අපිට ගැටලුවක් විණිදැයි දැන් මට මතක නැත. බොහෝ විට අපිට දෙමළ වැටහුණාද, සිංහල ඔවුන්ට වැටහුණාද මේ දෙකම නොවේ නම් අපි සම්බන්ධීකරණ භාෂාවක් යොදා ගත්තාදැයි සැබැවින්ම මට දැන් මතක නැත. අදටත් මගේ ජීවිතයේ මාවත ඔවුන්ගෙන් සැදුම් ගෙන ඇත. ඒ මිතුරුකම් අදත් මා සමඟම ය. නිතරම කතා බහ කර දුක සැප බෙදාගන්නා ඔවුන් ගැන ඇත්තේ අපමණ ප්‍රේමයකි.

***
නෝනේ..

කරන් ගේ ආදරණීය හඬින් මම සිතිවිලි ලෝකයෙන් අවදි වෙමි. ඇඳ මත රෑ පුරා කියවූ තාරා මගේ දෙව්දුව පිටු පෙරළී ඇත. මම එය තනි අතකින් වසා දමමි.

 මම ගෙදර එන්නද?

කරන් එක් වරම ඇසීය. ඔහු ගෙදර පැමිණෙන්නේ කුමක් සඳහාද, මට එක්වර අවබෝධ නොවීය. කරන් මිතුරන් සමඟ තුන් හතර වතාවක් අපේ නිවසට පැමිණි මුත්, තනිවම කිසි දිනක පැමිණ නැත. කාරණාව අඩමානයට සිතිය හැකි බව විඥාණය පැවසූ නිසා රහසින් මෙන් ඇයි දැයි ඇසුවෙමි. උත්තර දෙන්නට ඔහු මඳක් පමා කළේය.

මට ඔයාව බඳින්ඩ ඕනෙ කියලා අම්මලාට කියන්න මං එන්නං

ජාතිවාදය ගැන හාංකවිසියක්වත් හිතට නාවද, එක්වර උපන් වික්ෂිප්ත බවකින් තිගැස්සුණෙමි. මා කුමක් කිව යුතුදැයි එවෙලේ නිසි ලෙස අවබෝධ නොවුණත්, මගේ දෙතොලෙන් එක් වරම වචන දෙකක් පිට විය. එය සිතාමතා නොකී බවත්, යටි සිතේ ප්‍රබල කම්පනයකින් මුදා හල වචනම පමණක් බවත්, මට සපථ කළ හැකිය.

අපි සිංහලනෙ.

ඒ මුදා හැරීම සමඟ, මගේ සිතට එක්වරම පැමිණියේ ඔහු කොන් කළ බවට හැඟීමකි. සිංහල දෙමළට වඩා උසස් බව ඔහුට නොකියා කීවා නොවේදැයි එක්වරම මගේ සිත මට දොස් පවරන්නට විය. සිතා ගත නොහැකි තරමට කම්පනය මුදා හළ සැණෙකින් මා බිය වීමි. බියට වඩා එය වේදනාව මුසු අතුරු හැඟීමකි. හැඟීම් අකුරු කරන්නට තවම මා අසමත් ය. හැඟීම් ඇත්තේ අකුරු වලට ඉහළිනි. එහෙත් කරන් යළිත් තම සුපුරුදු ලගන්නා සිනා හඬ නිකුත් කළේය. එහෙත් එපමණක් නොසෑහේ. එය ඔහුගේ ප්‍රහර්ෂයේ මෙන්ම අධික ඛේදයේද එකම සංකේතයයි. ඔහු කුමක් හෝ කිය යුතුය. අඩුම තරමේ මට බැනිය යුතුය. මා හා තරහ විය යුතුය. අනතුරුව මට සුසුමක් ඇසුණි. දොඩමළු බව පහව, වගකීම් සහගත හඬකින් ඔහු කතා කළේය. ඒ තුළ වූයේ ස්ථාවර බවකි. කෙටියෙන්ම කිවහොත් උපරිම පිරිමි බවකි.

සින්න දේවදෛ.. මේ අහන්නකො. මට පුළුවන් ඔයාගෙ මුළු පවුලටම වුණත් ලේ දෙන්න. ඒ මං ඕ පොසිටිව් නිසා.

දොඩමළු හඬ නතර කළ තැන ඔහු පවසන සෑම දෙයකම බර වැඩිය. ඉන් එහා කතා කරන්නට නොහැකිය. කරන් අවසානයේ තීන්දු කර ඇත. පුරුෂයන්ගේ ලෝකයට ජාතිය හරස් වන්නේ නැත. ඒ හැඟීම් මත දිවෙන ආධිපත්‍ය යේ හැටි ය. මම කිසිවක් නොකියා  යාපනය සිතින් දකින්නට වෑයම් කරමි. වසර තුන හතරකට පෙර ගිය ඒ යාපනය අද තවත් පිරී ගිය නගරයකි. අපට අලුත් කෝච්චියේම යන්නට හැකි වනු ඇත. මම පොලිතින් නොකැඩූ සීටි වල සුවඳ සිහිපත් කරමි. සිත තුළින් අවිනිශ්චිත බව පහව ආලය ඉපදෙමින් සිටියි.

මට නල්ලූර් යන්න ඕනෙ.

මම ඔහුට කියමි. මගේ සිතැඟි හඳුනාගත්තෙකු මෙන් ඔහු යළිත් ලගන්නා ස්වරයෙන් හිනැහෙයි. අවසානයේ කතා කරයි. ඒ සිනහව මුසු වචන තුළ වන්නේ කිසිවෙක් කිසිදා මා තුළින් මිහිපිට කිසිවෙක් හඳුනා නොගන්නා ප්‍රේමය හඳුනාගත්තෙකුගේ ස්ථාවරත්වය මිස ජාතිය හෝ භාෂාව නොවන බව පමණක් මම දනිමි.

ඔව් වැල්ලවත්තට වඩා එහෙ අයිස්ක්‍රීම් කොලිටි!


9/25/13

-226- නයිටිංගේල් කිරිල්ලියගෙ කතන්දරය


ඉර හැන්දෑවට මූහුදු පතුලින් අරගෙන බටහිර අහසට විසි කරන වර්ණාවලියෙ ලස්සනම පාට රෝස පාට කියලා පුංචි නයිටිංගේල් කිරිල්ලිය දැනගෙන හිටියා. ඒ නිසාම හරිත තුරු මුදුන් වලින් මිදිලා හැම හැන්දෑවකම අහස බලන්න ඇය වෙරළ සීමාවට එනවා. 

නයිටිංගේල් කිරිල්ලි, ජීවිතේ පුරාවටම බලාපොරොත්තුවෙන් හිටියෙ, පපුවට රෝස කටුවක් ඇනිලා සිදුවෙන අගේ වේදනාකාරී මරණය ගැන. ඒ නිසාම හැම වෙලාවකම රෝස මල් පදුරු මඟ හරින්නත් තරුණ ශිෂ්‍යයන් සහ ඔවුන්ගේ හිත ගිය පෙම්වතියන් සිටින අහලකටවත් නොයන්නත් ඇය කුඩා කල සිට තීරණය කරලා තිබුණා. 




ඒත් ආදරයක් නැතිව ඉන්න නයිටිංගේල් කිරිල්ලියටත් පුළුවන් සීමාවක් තියෙනවා. ඉර කැරකෙන කැරකෙන වාරයක් වාරයක් ගනණෙ අඩුවෙන්නෙ, ඇගේ ඉවසීම බව ඇය හොඳින්ම දැනගෙන හිටියා.

ඉතින් දවසක් තුරු මුදුනක් ළඟින් පියාඹගෙන යනකොට, කිරිල්ලිය දුටුවා, තම සුරූපිණිය හැර දමා ගිය දුකින් හඬා වැලපෙන විරූපී රාක්ෂයෙක්ව.  

මේ වෙලාවෙ පුංචි නයිටිංගේල්ට කාරණා දෙකක් නිසා පුදුම හිතුණා. රාක්ෂයන් ට අඬන්න පුළුවන් කියලා ඇය කවදාවත් දැනගෙන හිටියෙ නැහැ. මෙතෙක් වෙලා මේ භයානක රාක්ෂයා ළඟ සුරූපිණියක් හිටියෙ කොහොමද කියලත් ඇය හිතා ගන්න පුළුවන් කමක් තිබුණෙ නෑ..

නයිටිංගේල් හැමදාම අහලා තිබුණෙ, කතන්දර පොත් වල ඉන්න  ලස්සන තරුණියන් සහ කතන්දර පොත් වල ඉන්න  කඩවසම් කුමාරවරුන්ට පමණයි ආදරේ දැනෙන්නෙ කියලා. අනික කුමාරිකාවන් පැහැරගෙන යන රාක්ෂයො ගැන මිසක් ඔවුන්ට ආදරය කරන රාක්ෂයො ගැන ඈ දැනගෙන හිටියෙ නෑ.

ඒ නිසාම ඇයට විරූපී රාක්ෂයා ගැන හරියට පුදුම හිතුණා. නැති වුණ රූමතිය හොයන්න, රාක්ෂයාට උදව් කරන්න ඇත්නම් කියලා කිරිලිලියට හදිස්සියෙම හිතුණා. රූමතිය පිළිබඳව රාක්ෂයා විස්සෝප වෙන හැටි දැක්කාම නයිටිංගේල් කිරිල්ලියට ටිකෙන් ටික මේ රාක්ෂයා ගැන ප්‍රේමයක් උපන්නා. 

ඉර බහින තුරු ආයෙත් නගින තුරු රාක්ෂයාට පුංචි නයිටිංගේල් ප්‍රේම කළා.

රතු රෝස මලක් දුන්නොත් හැර ගිය රූමතිය නැවත හාද වේවි කියලා, නොහිතූ මොහොතක ඔහුගෙ මුවින් පිටවෙන තුරුම, නයිටිංගේල් කිරිල්ලිය ඔහුට ප්‍රේම කළා.


ඉර හිරිමාවට මූහුදු පතුලින් අරගෙන නැගෙනහිර අහසට විසි කරන වර්ණාවලියෙත් ලස්සනම පාට රෝස පාට කියලා පුංචි නයිටිංගේල් කිරිල්ලිය හොඳටම දන්න නිසා,සුරූපි වුණත් විරූපි වුණත්, කුමාරයා වුණත් දුෂ්ටයා වුණත්  හැම කතන්දරයක්ම එකම විදිහට අවසාන කරන එක පිරිමි ගතිය කියලාත් තේරුම් ගන්න  පුංචි නයිටිංගෙල් කිරිල්ලියට වැඩි වෙලාවක් ගියෙ නෑ.