මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

3/22/14

-239- සහෝදර කෝපි කොප්පය



ඔහු ආයෙත් ලියන්න පටන් ගත්තා. පැයක් දෙකක් පුරා නිහඬව කඩදාසියක සටහන් කළ පුංචි ඉරි කෑලි කිහිපය ගැන කිසිම අර්ථයක් නොතේරුණත්, ඇය ඒ දිහා බලාගෙන හිටියා. ඈ පිළිබඳ සිතිවිලි මාත්‍රයකවත් හැඟීමක් ඔහුට නැති බව කියා පාන්නා වගේ, ඔහු එකම සිතිවිල්ලක හිරවෙලා, දිගින් දිගටම ලියනවා. එය ප්‍රේමය ගැන දිගම දිග ලියවිල්ලක්. බිඳෙන් බිඳ ලියවෙන අපූරු ලියවිල්ලක්. ඇඳ පසෙක නිදා ඉන්න සිය ආදරිය දෙස බිඳක්වත් නොබලා ඔහු පෙම් කතාවක් ලියනවා. ඔව්! ඒක පෙම් කතාවක්.

***

සුපුරුදු විදිහටම දෙවනි කෝපි කෝප්පයත් ඉවරයි. ඒ එක්කම මේසයට සිහින් තට්ටුවක් සමඟ, නුහුරු බසක හුරු ගීයක මුණු මුණුවක්. තව කෝපි කෝපයක් අවශ්‍යය බව කියනා මෘදු සංඥාව දැන් ඇයට හොඳටම හුරුයි. ශබ්ද නොනැගෙන්නට පියෙන් පිය තබා යහනතින් මිදෙන ඈ, මේසය මත ඇති හුරු පුරුදු සහෝදර කෝපි කෝප්පය අතට ගන්නවා. හඬක් පිට නොවෙන්නට අඩවන් කළ දොරින් එළියට නික්මෙනවා.

දැන් ඇය නිදහස්. අඩිය පොළවෙ තියන්න පුළුවන් පමණට නිදහස්. හුස්ම ළය පුරා පිට කළ හැකි පමණට නිදහස්. දිගැටි පිඟන් ගඩොල් මේසය අද්දර කවුළු තිර, නිල් අඳුරේ පාවෙලා එන සීත සුළං රැලි සමඟ පුංචි පහේ හාද කතාවක. මේසය කෙළවරේ පුංචි තනි ලිප දැල්වෙන්නට ආසාවෙන් මඟ බලාගෙන. තව මිනිත්තු පහකින්, හයකින් යමැස්සේ වෙලෙන මිදෙන කවුළු තිර දික්කසාද කරන හීන් සුළං රැළි කේතලේ දෙයදර සිපගනිමින් ඉහළ නගින බව ඇය හොඳටම දන්නවා.  කේතලේ ප්‍රේමය කවුළු තිරයේ ප්‍රේමය තරම්ම, නිහඬ නැතත්, මේ මොහොතේ විශ්වය මත පවතින හැම දෙයක්ම අතිශයින්ම පෙම්වත් නිසා කෝපි කෝප්පයටත් ආදරය නොඅඩුව ලැබෙනවා. කරාමය කෙමෙන් කෙමෙන් එකම අයුරේ දිය තලයක් මුදාලමින් කෝප්පය පැරණි ප්‍රේමයෙන් මුදාලනවා. තව මොහොතකින් අලුත් ප්‍රේමයක්.. 


කෝප්පය වෙනස් නොවුණත්, මේ අලුත් කෝපි. 


ඔහු තවම ලියනවා.


උණු වතුර සීනි සහ කෝපි. එකම කෝප්පයක තද දුඹුරු පැහැයෙන් තරඟයට කලවම් වෙනවා. මේ ඔහු කැමතිම කෝපි කෝප්පය නෙවෙයි. එහෙත් මේ මොහොතේ කෝපි, ඔහුගෙ අවශ්‍යතාවයක්. කෝපි කෝප්පය ප්‍රාර්ථනාවක් වුණු බොහෝ වෙලාවට ඔහු සුපුරුදු කෝපි අවන් හලට යනවා. අන්තර්ගතය නොදන්නවා වුණත්, ඇය හදන කෝපි කෝප්පයට වඩා ඒ රසට ඇයත් කැමතියි. 


ඒක එහෙම හැඟෙන්නෙ, මේ කෝපි කෝප්පය ඔහුට විතරක් නිසා වෙන්නත් පුළුවන්. 


තුන්වෙනි කෝපි කෝප්පය පිළිගන්වන්න නැවතත් ඇය දොරෙන් කාමරයට එබිකම් කළා. ඇඟිලි තුඩු වලටත් බර නොදී සුපුරුදු තැනින් අංශකයකවත් හෙලවීමක් නොකර කෝපි කෝප්පය ස්ථානගත කෙරුවා. 


ඇත්තටම කෝපි කෝප්පය සුන්දර වන්නෙ ඔහුගෙ දෑත මත ඇගේ දෑත තබා ඔහුගේ නෙත් දිහාවෙ එක එල්ලේ බලා හිඳීමෙන්. ඔහුගේ නොනවතින ආලවන්ත වැකි සීරු මාරුවෙන් දරා හිඳීමෙන්. සුන්දර සහ මෘදු හාදු වැස්සක කිමිදීමෙන්. 


මේ වෙලාව එහෙම කෝපි කෝප්පයකට අයිති නෑ. ඒ බව තේරුම් ගන්න දැන් ඇය දන්නවා. ඇය යහන මත එකම ඉරියව්වක හිඳ ඔහු දෙස බලා ඉන්නවා. ඔහු තවමත් ලියනවා. 


අද රෑ තව හුඟක් දිගයි. එහෙත් හෙට උදෑසන කෙටියි. සිහින තව සෑහෙන දුරයි. ඈ පිළිබඳ සිතිවිලි මාත්‍රයකවත් හැඟීමක් මේ මොහොතේ ඔහුට නැති බව සහෝදර කෝපි කෝප්පයටත් පැහැදිළියි. ඔහු එකම සිතිවිල්ලක ලියනවා. එය ප්‍රේමය ගැන දිගම දිග ලියවිල්ලක්.  සෑහෙන දුරක් නිමා කළ ලියවිල්ල තවමත් බිඳෙන් බිඳ ගළපන්න ඔහු වෙහෙසබර දෙනෙතින් වෙර දරනවා. යහනේ කෙළවර නිදා සිටිනා සිය ආදරිය දෙස බිඳක්වත් නොබලා ඔහු පෙම් කතාවක ලියනවා.


අඳුනන ආදරියකගේ නන්නාඳුනන ප්‍රේමයත්, නාඳුනන ආදරියකගේ දන්න හඳුනන ප්‍රේමයත් සම සමව ඒ සුන්දර ලියවිල්ලේ අවසානයට ගැබ් වන බව ඇය දන්නවා. 


හැම ආදර කතාවක්ම එක වගේ කියලා, නම අමතක ලේඛකයෙක්, කොහේදෝ පොතක පළමුවැනි පරිච්ඡේදයෙ අගම පෙළ ලියලා තිබුණු බව පමණක් සිහිපත් වෙලා, ඇයගෙ මුහුණට සිනා රැල්ලක් වඩිනවා.. ඒ මොහොතෙම, විදුලි පවන් පත් එක්ක හෙමි හෙමින් රෑ ගවුම දඟ කරනවා..


කුමක් කරන්නද? ඔහු තවම ලියනවා.