3/22/14

-239- සහෝදර කෝපි කොප්පය



ඔහු ආයෙත් ලියන්න පටන් ගත්තා. පැයක් දෙකක් පුරා නිහඬව කඩදාසියක සටහන් කළ පුංචි ඉරි කෑලි කිහිපය ගැන කිසිම අර්ථයක් නොතේරුණත්, ඇය ඒ දිහා බලාගෙන හිටියා. ඈ පිළිබඳ සිතිවිලි මාත්‍රයකවත් හැඟීමක් ඔහුට නැති බව කියා පාන්නා වගේ, ඔහු එකම සිතිවිල්ලක හිරවෙලා, දිගින් දිගටම ලියනවා. එය ප්‍රේමය ගැන දිගම දිග ලියවිල්ලක්. බිඳෙන් බිඳ ලියවෙන අපූරු ලියවිල්ලක්. ඇඳ පසෙක නිදා ඉන්න සිය ආදරිය දෙස බිඳක්වත් නොබලා ඔහු පෙම් කතාවක් ලියනවා. ඔව්! ඒක පෙම් කතාවක්.

***

සුපුරුදු විදිහටම දෙවනි කෝපි කෝප්පයත් ඉවරයි. ඒ එක්කම මේසයට සිහින් තට්ටුවක් සමඟ, නුහුරු බසක හුරු ගීයක මුණු මුණුවක්. තව කෝපි කෝපයක් අවශ්‍යය බව කියනා මෘදු සංඥාව දැන් ඇයට හොඳටම හුරුයි. ශබ්ද නොනැගෙන්නට පියෙන් පිය තබා යහනතින් මිදෙන ඈ, මේසය මත ඇති හුරු පුරුදු සහෝදර කෝපි කෝප්පය අතට ගන්නවා. හඬක් පිට නොවෙන්නට අඩවන් කළ දොරින් එළියට නික්මෙනවා.

දැන් ඇය නිදහස්. අඩිය පොළවෙ තියන්න පුළුවන් පමණට නිදහස්. හුස්ම ළය පුරා පිට කළ හැකි පමණට නිදහස්. දිගැටි පිඟන් ගඩොල් මේසය අද්දර කවුළු තිර, නිල් අඳුරේ පාවෙලා එන සීත සුළං රැලි සමඟ පුංචි පහේ හාද කතාවක. මේසය කෙළවරේ පුංචි තනි ලිප දැල්වෙන්නට ආසාවෙන් මඟ බලාගෙන. තව මිනිත්තු පහකින්, හයකින් යමැස්සේ වෙලෙන මිදෙන කවුළු තිර දික්කසාද කරන හීන් සුළං රැළි කේතලේ දෙයදර සිපගනිමින් ඉහළ නගින බව ඇය හොඳටම දන්නවා.  කේතලේ ප්‍රේමය කවුළු තිරයේ ප්‍රේමය තරම්ම, නිහඬ නැතත්, මේ මොහොතේ විශ්වය මත පවතින හැම දෙයක්ම අතිශයින්ම පෙම්වත් නිසා කෝපි කෝප්පයටත් ආදරය නොඅඩුව ලැබෙනවා. කරාමය කෙමෙන් කෙමෙන් එකම අයුරේ දිය තලයක් මුදාලමින් කෝප්පය පැරණි ප්‍රේමයෙන් මුදාලනවා. තව මොහොතකින් අලුත් ප්‍රේමයක්.. 


කෝප්පය වෙනස් නොවුණත්, මේ අලුත් කෝපි. 


ඔහු තවම ලියනවා.


උණු වතුර සීනි සහ කෝපි. එකම කෝප්පයක තද දුඹුරු පැහැයෙන් තරඟයට කලවම් වෙනවා. මේ ඔහු කැමතිම කෝපි කෝප්පය නෙවෙයි. එහෙත් මේ මොහොතේ කෝපි, ඔහුගෙ අවශ්‍යතාවයක්. කෝපි කෝප්පය ප්‍රාර්ථනාවක් වුණු බොහෝ වෙලාවට ඔහු සුපුරුදු කෝපි අවන් හලට යනවා. අන්තර්ගතය නොදන්නවා වුණත්, ඇය හදන කෝපි කෝප්පයට වඩා ඒ රසට ඇයත් කැමතියි. 


ඒක එහෙම හැඟෙන්නෙ, මේ කෝපි කෝප්පය ඔහුට විතරක් නිසා වෙන්නත් පුළුවන්. 


තුන්වෙනි කෝපි කෝප්පය පිළිගන්වන්න නැවතත් ඇය දොරෙන් කාමරයට එබිකම් කළා. ඇඟිලි තුඩු වලටත් බර නොදී සුපුරුදු තැනින් අංශකයකවත් හෙලවීමක් නොකර කෝපි කෝප්පය ස්ථානගත කෙරුවා. 


ඇත්තටම කෝපි කෝප්පය සුන්දර වන්නෙ ඔහුගෙ දෑත මත ඇගේ දෑත තබා ඔහුගේ නෙත් දිහාවෙ එක එල්ලේ බලා හිඳීමෙන්. ඔහුගේ නොනවතින ආලවන්ත වැකි සීරු මාරුවෙන් දරා හිඳීමෙන්. සුන්දර සහ මෘදු හාදු වැස්සක කිමිදීමෙන්. 


මේ වෙලාව එහෙම කෝපි කෝප්පයකට අයිති නෑ. ඒ බව තේරුම් ගන්න දැන් ඇය දන්නවා. ඇය යහන මත එකම ඉරියව්වක හිඳ ඔහු දෙස බලා ඉන්නවා. ඔහු තවමත් ලියනවා. 


අද රෑ තව හුඟක් දිගයි. එහෙත් හෙට උදෑසන කෙටියි. සිහින තව සෑහෙන දුරයි. ඈ පිළිබඳ සිතිවිලි මාත්‍රයකවත් හැඟීමක් මේ මොහොතේ ඔහුට නැති බව සහෝදර කෝපි කෝප්පයටත් පැහැදිළියි. ඔහු එකම සිතිවිල්ලක ලියනවා. එය ප්‍රේමය ගැන දිගම දිග ලියවිල්ලක්.  සෑහෙන දුරක් නිමා කළ ලියවිල්ල තවමත් බිඳෙන් බිඳ ගළපන්න ඔහු වෙහෙසබර දෙනෙතින් වෙර දරනවා. යහනේ කෙළවර නිදා සිටිනා සිය ආදරිය දෙස බිඳක්වත් නොබලා ඔහු පෙම් කතාවක ලියනවා.


අඳුනන ආදරියකගේ නන්නාඳුනන ප්‍රේමයත්, නාඳුනන ආදරියකගේ දන්න හඳුනන ප්‍රේමයත් සම සමව ඒ සුන්දර ලියවිල්ලේ අවසානයට ගැබ් වන බව ඇය දන්නවා. 


හැම ආදර කතාවක්ම එක වගේ කියලා, නම අමතක ලේඛකයෙක්, කොහේදෝ පොතක පළමුවැනි පරිච්ඡේදයෙ අගම පෙළ ලියලා තිබුණු බව පමණක් සිහිපත් වෙලා, ඇයගෙ මුහුණට සිනා රැල්ලක් වඩිනවා.. ඒ මොහොතෙම, විදුලි පවන් පත් එක්ක හෙමි හෙමින් රෑ ගවුම දඟ කරනවා..


කුමක් කරන්නද? ඔහු තවම ලියනවා.



21 comments:

  1. ඇත්ත වෙන්නෑති එහෙනම්..,
    පූර්ව ස්වරයකට අවනත නැති මනුස්සයෙක්ගේ සම්බන්දතා වලට ලෝප සන්ධියක් තියෙන්න විදියක් නෑලු. තාවකාලික ආලවන්තකම් පාන අය, ඇතුලේත් සමහර වෙලාවකට ප්‍රේම පූජාසන තියෙන්න හැකියි, ඒක දැනගන්න වත් මේ යෝධයා කතා කරන එකක් යැයි? කොතරම් කෝපි කෝප්ප හිස් කර කර ඈ දෙසවත් නොබලා ඔහු දිගටම ලියනකොට..
    මොන හිතකින් නවත්තන්නද????
    .
    පසු ලියමන: උඹ මේක ඉඳලා හිටලා හරි ලියනවා නේහ් ;)

    ReplyDelete
    Replies
    1. ;) ඔව් අයියා ඉඳලා හිටලා පබ්ලිෂ් කරනවා.

      Delete
  2. මේකේ ලියන්නානම් මම වගේමයි කියලා එක වෙලාවකට හිතුනා.. මටත් ලියන්න ගත්තම ඔහොමයො.. හැබැයි කෝපි හදලා දෙන්න කෙනෙක් තමයි නැත්තේ.. හැබැයි එහෙම ඒ කෙනා ලඟ ඉන්නදාට, ලිවිම නම් මේ වගේ නොවේවි..

    කතාවට මුසු කරන නොහදුනන ආදරියගේ ප්‍රේමයට වැඩිය මං නම් දන්න හදුනන ආදරීගේ ප්‍රේමය හොයාගෙන යනවා.. මොකද ඒක හැම දේකටම වැඩිය සුන්දරයි කියලා දන්න හන්දා..

    කතාව නියමයි නෙරංජියෝ..

    ReplyDelete
    Replies
    1. හැම ආදර කතාවක්ම එක වගේ.. ස්තූතියි

      Delete
  3. අනික් අයට ආදරේ උගන්වන මිනිස්සුන්ට තමන්ගෙ ආදරේ අමතක වෙනව ... ඒක සහතික ඇත්ත...
    අනික් දේ තමයි.. ආදරේ ලියන අය ඒ තමන්ගේ ආදරෙන් ස්වයං වින්දනයකට ලක් වෙනව.. එතකොට ගැහැණු පාර්ශවීය ආදරයයි පිරිමි පාර්ශවීය ආදරයයි හිත තුල ගොඩ නැගුනාම... තනිව ජීවත් වෙන ජීවියෙක් වෙනව..
    මොකද ආදරේ අඩු නැති නිසා..
    විවාහ වෙලා පවුල් කන එක වෙනමම අත්දැකීඹක් ඒක තාම මට නෑ...
    එත් අර ලියවිල්ල ගැන නම් මම දන්නව.. !
    අපි ආදරේ හොයන්නෙ ආදරේ අඩු වුණාම.. එත් ලියන්නෙක්ට පුලුවන් දෙපාර්ශවීය ආදරය හිත තුල ගොඩ නාගාගෙන ජීවත් වෙන්න..
    බාගදා අනික් පාර්ශවයට ඉඩක් නොලැබෙන්නත් පුලුවන් .. ඒ තමාගෙ හිතතුල තියෙන ආදරෙ ්විනාශ වෙයි කියන බයට..
    අනික මම දන්න ගොඩක් ලෝකප්‍රසිද්ධ පුද්ගලයින් .. විද්‍යාඥයින්, පරීක්ෂකයින්.. බහුතරයක් තනිකඩයො !

    ReplyDelete
    Replies
    1. මහා පුරුෂයෙකුට බිරිඳක්ව වගේ කෘති අකුරු කෙරෙන්න ඇත්තෙ ඔය නිසාම වෙන්නැති.

      Delete

    2. ඔය ගැන කියනව අයින්ස්ටයින්, දවසක් සුරූපි නිළියක් ඇවිල්ල කියනව අයින්ස්ටයින්ට අපි දෙන්න විවාහ වෙමු.. විවාහ වෙලා ළමයි හදමු....
      අයින්ස්ටයින් - කියනව නෑ මම කැමති නෑ
      ඇයි ඒ... ! අපි හදමු මගේ රූපෙයි ඔයාගෙ මොළෙයි තියෙන ළමයෙක් එතකොට එයා ලෝක ප්‍රසිද්ධ වේවි.. !
      අයින්ස්ටයින් අහනව එතකොට - බැරි වෙලා හරි මගේ රූපෙයි ඔයාගෙ මොළෙයි ලැබුනෝත ඒ ළමයට මොකෝ වෙන්නෙ !!!

      Delete
    3. අයින්ස්ටයින් නෙවෙයි බන්, බර්නාඩ් ෂෝ ට ඕක කියන්නෙ ඉසදෝරා ඩන්කන්.

      Delete
  4. මේකේ ආදර කතා තුනක් යනවා. එකක් ලියන පෙම් කතාව.. අනික ඒ දෙන්නගේ සැබෑ පෙම් කතාව. අනික ලේඛකයා කෝපි කෝප්පයට බැදි ආලය..

    මේ කතාවේ සංකේත බොහෝ දුරට ඈතට පෙනෙන තරු වගේ.. හරිම අගෙයි.. මං කැමතියි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශකයා... කතා තුනක් පෙනීම ගැන සතුටුයි.. :)

      Delete
    2. දැං දැක්කේ හාන්ස්ගේ The Little Sea-maid කතාවේ මුල මේ බ්ලොගේ මුලත් තියෙනවා කියලා.. සන්තේසයි. මොකද මට හාන්ස් හරිම වටින කෙනෙක්..

      Delete
  5. කෝපි කෝප්පය පිරිල තියෙන්නෙ තනිකරම හැඟීම් වලින්... කොහොමත් අනාගතේ වෙන්න තියෙන දේට පෙර සූදානමක්, හිත හදාගැනීමක් වගෙත් පේනවා... කතාව නම් අන්තිම වැදගත්. හැමතැනම වෙන්නෙ ඕක තමයි.... නොදන්න එකාට කොහොමත් ජීවිතේ මග ඇරෙනවා, දන්න එකාට අරුන් වෙනුවෙන් ජීවිතේ මග අරින්න සිද්ධ වෙනවා...

    ReplyDelete
  6. ඔහුට ඇයගෙ ආදරේ මදි වගේ හිතෙනව ඇති..!!
    ලස්සනයි..

    ReplyDelete
  7. ලියන අය ලියනවා වැඩ කරන අය වැඩ කරනවා..හැබැයි එයාලගේ ආදරේ බෝම පරිස්සමට ගැට ගහලා පපුව අස්සේ අරන් තියලා තියනවා... එත් කෝපි කෝප්පේ අරගෙන ගිය වෙලාවටවත් ඉද හිටලා හරි ඒ ගැට ගහලා පරිස්සම් කරන ඉන්න ආදර පොදිය ලිහලා ආදරේ ඇබින්දක් ඇගිලි තුඩට අරගෙන මිට මෙලෙවුවානම් කොච්චර හොදද කියලා වෙලාවකට හිතෙනවා... නැතිනම් කාටත් නොදැනීම පරිස්සමට අරන් තිබ්බ ආදරේ ඈලියාවට යාවි ...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම වෙනවනම් කොයි තරම් හොඳද? ඒත් කෝපි කෝප්පයකට ලැබෙන සෙනෙහසින් ඩිංගිත්තක්වත් නොලැබෙන එකනෙ වැඩේ... ඒත් එහෙමයි කියල ආදරේ අඩුවෙන්නෙත් නැහැනෙ...

      Delete
  8. මම හිතන්නේ නෙරා අක්කිට මේකට උත්තරේ මම චැට් එකේදිම දිලා පස්සේ ස්ටෙටස් දැම්මා. මතක ඇති :) 

    ReplyDelete
  9. මේ කතාව කියෙව්වට පස්සේ මොනවා කමෙන්ට් කරන්නද මන්දා ! කතාව නං ලසනයි නංගි

    ReplyDelete
  10. එල එල අද තමා අවේ මුලිනම මතක විදිහට

    ReplyDelete
  11. කතාව ඉස්තරම්ය උත්කෘස්ටය පස්ටය සුපිරිය.

    ReplyDelete
  12. පෙම්වත් කෝපි කෝප්පයක උණුහුම සමඟ තනිවෙන්නට ලැබෙන දින කවදාද? නැද්ද නංගා...

    ReplyDelete
  13. අයිෂ් :* නෙරෝ !!! මම ආසයි මේ කතාවට.. මේක මාර ගති :D

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.