මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

6/20/18

-303- ලියුමක්.

2018-06-20
ආදරණීය ගැමුණු,

 ඔයා කොහෙ හරි මාව ඇහෙන මානෙක ඉන්නවා නම් අද දවසටත් හිනා  වෙනවා ඇති .අද පබ් එකේ ඔයාලාව Exhibit කළා. ඊයෙ නුගේගොඩ ආනන්ද සමරකෝන් පීඨෙ ඉඳන් පදික වේදිකාවෙන් මහ පාරට වෙනකල්, ඔයාලා පෝලිමට පින්තාරු වෙලා හිටියා. මට බහින්න හිතුණා. මං බැස්සෙ නෑ. අද මට පබ් එකට ගිහිං ඔයාව බලන්න හිතුණා. මං ගියෙ නෑ. සැමරුමක් පවා දෙකකට බෙදෙන තරමට දැන් ඒවා හරි ප්‍රදර්ශනකාරී. ත්‍රීමා අයියා, සීරු මාරුවට ඇඳපු පෝසටර් වල පරණ කවි අලුත් කරලා rotate කෙරුවට, ඒ අකුරු  වල වේදනාව මැද්දෙන් ගලපු සුන්දර කම මේ පෝස්ටර් එකකවත් මං දැක්කෙ නෑ. ඒ කාලෙ දේශපාලනේ කරපු කවුරුවත් දැන් දේශපාලනය කරන්නෙත් නෑ.

එයාලා ගාව තියන පින්තූරෙට වඩා ඔයාගෙ ගොඩක් පැහැදිළි පින්තූරයක් මං ගාව තියෙනවා. ඒ එකම පින්තූරෙ හැම විරු සමරුවකදිම දකිනවා. ඔයාගෙ පරණ අයිඩින්ටි පින්තූරයක් ඒක. අවුරුදු දාහතක් දහ අටකට වැඩි නෑ. මං හරියටම දන්නෙ නෑ. ඔයාගෙ ඩොකියුමන්ට් ඔක්කොම වූට් ඉන් එකේ මෙට්ටෙ අස්සෙන් අරන් ගිනි තිබ්බාට පස්සෙ, ඉතිරි වුණේ ඔච්චරයි කියලා මට ඔය පින්තූරෙ දුන්න කෙනා කිව්වෙ.

කෝම වුණත් හැම දවසකම ඔයා ගැන පහුගිය කාලෙ මොකක්ම හරි අලුත් ආරංචියක් ලැබුණා. ඔයා ආදරේ කරපු අය ගැන. ඔයාට ආදරේ කරපු අය ගැන. ඔයා කළ කී දේවල් ගැන ටික ටික හරි මතකයට නගා ගන්න තරම් තොරතුරු මට දැන් ලැබෙනවා. මට සතුටුයි ඔයා මැරෙන්න ඉස්සරලා දෙවනි අවුරුද්දෙ විභාගෙ ලියලා ඉවර කළාට. ඒකත් හරියටම මගේ උපන්දිනේ දවසෙ වුණ එකට මං කැමතියි.

ඒ ඉපදුණේ මම ම නොවුණත්, ඒ කාලෙ වගේම මං අදත් ඔයාව දන්න එකට, මට අදත් ඔයාව දැනෙන එකට, මම අදත් ඔයාව දකින එක ගැන මට පුදුමාකාර සතුටක් තියෙනවා. ජීවිතය ගලායනවා. ඒත් අසම්පූර්ණ ගතියක් දැනෙනවා. ඔයාගෙ තත් කැඩුණු ගිටාර් එක ලෝකෙ කොහෙ හරි තැනක මොකක් හරි විදිහකින් පවතිනවා නම්, ඒ අසම්පූර්ණත්වයෙ ඉතිරි ටික එතැන ඇති. අපි ආයෙ හමුවෙන්නෙ කවදාද කියලා නොදන්නවා වුණත්, පුංචි හරි බලාපොරොත්තුවක් එක් කරන්නෙම, අපි කවදා හරි මැරෙනවාය කියන හැඟීම විතරමයි. ඉන්න තැනක හොඳින් ඉන්න. ඔයාට හුඟක් අය පින් දෙනවා.

ධාරා.