ඔන්න යාලුවෙ ලෝක විනාසය
research එක කරන්න ගිහින් ටිකක් කම්මැලි හිතුණ නෙරංජි ආපහු මඟුල්
research එක පැත්තට හැරුණා... ඒකත් එක අතක විනාසයක් කියලා හිතෙන්න පටන් ගනීවි ඔබට අද මාතෘකාව සාකච්ඡාවෙන් පස්සෙ. මගෙ බ්ලොග් ලිපි සෑහෙන ඩොමැස්ටික් කරණය වෙලා කියලා මගෙ සමහර සොයුරියන් චෝදනා නගනවා.. ඒත් මේ ලිපි පෙළ කෙනෙක්ට විහිලුවක් වුණත්, තව කෙනෙක්ට වැඩක් නැති වුණත්, මම උත්සාහ කරන්නෙ, පත්තරේ ටීවී එක ආදී ප්‍රබල ජන මාධ්‍ය වලින් (සමහර වෙලාවට කියන්න අවශ්‍ය වුණත්) කියන්නට බැරි වුණ සමහර ඇත්ත දේවල් ඔබට සරලව වටහා දෙන්න..
ටීවී එකටවත් පත්තරේටවත් මේ තරම් ඇත්ත කියන්න බෑ.. කොටින්ම ඒ ශිල්පීන් කියන කිසි දේකට එහෙම නැත්නම් ඒ ආයතන කියන කිසිම දෙකට වැඩසටහන ඇතුළෙ විවාදාත්මක ස්වරූපයක් ඇති කරවන්නවත් බෑ. ඒ මොකද දන්නවද? ඔය වැඩසටහන් වල සෙග්මන්ට් එකක් ගන්න ඒ ශිල්පියා විසින්ම ඒ ආයතනය විසින්ම විශාල මුදලක් ගෙවලා අනුග්‍රහකත්වය ලබා ගන්න නිසා...
යාලුවෙ අද මම මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ, එක කාරණාවක් ගැන පමණයි. ඒකට හේතුව ඒ කාරණාව හරිම සංකීර්ණයි... සමහර විට එක ලිපියකුත් මදි වෙයි. අපි අද කතා කරමු මනමාලියන්ට අන්දන එක සම්බන්ධව. අපි දැනගත යුතු හැම කරුණක්ම වගේ..මට බැරි වෙන හා මඟ හැරෙන ඒවා මේ ලිපිය කියවීමෙන් පසුව
හිරූ අක්කා නිවැරදි කරයි ඔබ වෙනුවෙන්. එයා කලින් ලිපි වලදිත් මට උදව් කළානෙ...
මේ ලිපියට එක සැරේ එන එක මාන්දමිකයි වගේ නම්
අපි බඳිමුද? අපි කාවද බඳින්නෙ?
එන්ගේජ්මන්ට් එක ලාබෙට කරමු රෙජිෂ්ට්රේෂන් ගන්න හැටි. වෙඩිං පළමු පියවර වෙඩිං එක සරසමු....කියන ලිපි වාගෙම කමෙන්ටුත් බලලා එන්න..
හරි. එහෙනම්, ඉස්සර නම් සුදු සාරියක් ඇඳලා... අරලිය මල් කිණීත්තක් අරන් ගිය වැඩේ අද වෙනකොට සෑහෙන්න සංකීර්ණ වෙලා..කොටින්ම මේක අවුරුද්දක විතර ලොකු කාරියභාරයක්.. ලොකු ලොකු වැඩසටහන් වල ට එන ලොකු මිනිස්සු නම් කියන්නෙ, මනමාලියක් අන්දන්න භාරගන්නෙ මාස හයකට කලින් කියලා. ඒ තමයි ඒ අයගෙ අවම කාලය. වසරකට කලින් එනවා නම් ඒ අය වඩා කැමතියිලු.. හදිසි විවාහ වලට නම් ඉතින් අන්දන්න ලොකු මුදලක් ගන්නවාලු.
මේ වෙලාවට ඉතින්, එක දවසක් අන්දගන්න මාස හයකට කලින් ගිහින් කියලා එන්නෙ අහවල් එකටද කියලා අපේ කුඩා මොළේට ප්‍රශ්නයක් එනවා තමයි.. ඒත් ඒ අය මෙහෙම දේවල් කියනවා..
- මනමාලි මහත නම් හැකි තරම් කෙට්ටු කරවන්න.
- කුරුලෑ පිරුණු කෙනෙක් නම් ට්‍රීට් මන්ට් කරන්න
- ෆේෂල් කිහිපයක් කරන්න
- පෙඩිකියු මැනිකියු කරන්න
- රෝම කූප වැක්ස් කරන්න
- සාරි තෝරන්න සහ ඒවාට ජැකට්ටු මහන්න
- මල් බොකේ හදන්න
- කොණ්ඩෙ හදන්න සහ හිස් හැරසිලි ගැන හොයන්න..
- අවශ්‍යය රියසල් කරන්න...( ඇන්දීම සහ ඇවිදීම සම්බන්ධ ඒවා පමණයි)
මෙන්න මේ හැම එකටම අදාලව ඒ අය ගිය විගසම මනමාලිට කාල සටහනක් දෙනවා.. ඉතින් ආදරණීය යෙහෙළියෙ. මම 23 ක තවම බැඳලා නැති කෙල්ලක් වුණත් යම් හැකියාවකින් හොයාගත් දේවලින් ප්‍රමාණික දැනුමක් ඇති කෙනෙක් නිසා... ඔබ , මම මේ කියන දේ අහලා ඒ ගැන මඳක් හිතයි කියලා මම හිතනවා.. යෙහෙළියෙ ඔබ විවාහ වෙන්න මාස හයකට කලින් බියුටීෂියන් ළඟට දුවන්න ඉස්සර කරුණාකරලා ඉස්සෙල්ලාම යන්න ඕනෙ වෛද්‍යවරයෙක් ළඟට. ලෙඩක් ඇතත් ...නැතත්.. මේ පියවර අනුගමනය කරන්න.. ඔබට වරදින්නෙ නෑ...
ඔය බියුටිෂීයන් ගෙ ඇන්දීම එක දවසයි. ඒත් ඊට වඩා හුඟක් වැදගත් දේ තියෙනවා..
- ඔබගෙ ශරීරයේ ඇති කොලොස්ට්‍රෝල් සහ සීනී මට්ටම පරීක්ෂා කරන්න
- ශරීරයේ තයිරොක්සීන් ඌණතාවයක් තිබේදැයි පරීක්ෂා කරන්න ( මන්ද තයිරෝඩීතව දරුවන් මන්ද බුද්ධික කරවයි)
- කුඩා කළ රුබෙල්ලා එන්නත විද නැත්තම්, එය විද්දවා ගන්න (විවාහයට අවම මාස හයකටවත් පෙර)
- පැපොළ සඳහා නියමිත එන්නත ලබා ගන්න ( මොන බියුටි කචල කළත්, ඔය මාස හය ඇතුළෙ ඔය ලෙඩේ හැදුණොත් කෙල්ලනේ, කැලලි වහන්න හරි අමාරුයි.)
- ඔබගේ රුධිරය වර්ගය ඔබ නොදන්නවා නම් එය පැහැදිළිව දැන ගන්න.
- ඔබ සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයක් කරගන්නවා නම් තමයි වඩා හොඳ. නියමිත එන්නත් සියල්ල ලබාගෙන.
- ඔබේ දත් ටිකත් මතක ඇතිව දන්ත වෛද්‍යවරයෙක් ලවා ශුද්ධ කරවන්න. ෆ්ලෝරයිඩ් ට්‍රීට්මන්ට් එකත් වැදගත්.
පිරිමි ළමයිත් වෛද්‍ය පරීක්ෂණයක් කළා කියලා නරකක් වෙන්නෙ නෑ.. හරි යාලුවෙ ඉන් පස්සෙ සල්ලි තියෙන තියෙන විදියට ඔය කුමන බියුටීෂියන් ළඟට ගියත් වරදක් නෑ... මේ ටික ඔබේ රූපය වෙනුවෙන්,කියන්නෙ...මතක තබා ගන්න. සුමානෙකට සැරයක් තැම්බුං හොද්දක් බොන්න. හැකි තරම් වතුර බොන්න. පැණි රස සහ තෙල් කෑම ඒ මාස හයේ හැකි තරම් අඩු කරන්න. දවසකට පැයක් සිංදු දාගෙන නටන්න... වෙනිවැල් ගැට උරච්චි කරලා... කෝමාරිකා ටිකක් සුදු හඳුන් ටිකක් බෙහෙත් කඩේකින් ගෙනත් නාන්න කලින් මුණේ විනාඩි දහයක් විතර ගාගෙන ඉන්න... පුලුවන් නම් කඩල පිටිත් නියමයි... අයිස්ක්‍රීම් කන්න එපා.. ඒත් යෝගට් කන්න. බෙලිමල්, රණවරා, පොල්පලා කැඳ ටිකක් බොන්න. තෙබු කොළ සම්බෝලයක් දවස් තුනකට සැරයක් හෝ සුමානෙකට සැරයක් හරි කමක් නෑ ආහාරෙට ගන්න.. ඔයා ලස්සන වෙනවා..ස්ථිරයි...
ඒත් ඉතිං බියුටීෂීයන්ලා පෙති කඩලා මූණේ ගන්න කියයි. කරල් ගලවලා කොණ්ඩෙ ගාන්න කියයි. බඩට බොන්න පෙතිත් දෙයි. ටී පැකට් වාගේ ඖෂධ පැකට් එහෙමත් දෙයි... බඩට බොන පෙති ගැන නම් ටිකක් පරිස්සමෙන්.. ඉස්පිරිතාලෙ හිටියා එහෙම බීලා ලෙඩ වුණ අය..( මම ඉස්පිරිතාල ගැන හොඳට දන්නවා...බේත් ගන්න යනවානෙ.)
හරි දැන් මම කියා දෙන්නම්.. අන්දන වැඩේ ඇන්දෙන්නෙ නැතිව කරගන්න හැටි. මම මේ විස්තර ඔක්කොම දැනගත්තෙ සැලෝන් වලින්මයි. අයිබ්‍රෝස් හදා ගන්න ගියාම ඒ අතරෙ, හදිස්සියෙ යාළුවො එක්ක යනවා.. මම ගියාම ඒ ළමයි ව කතාවට අල්ලගන්නවා. ඒක වෙනම කලාවක්. ඔය ළමයි රහස් රකින්නම පුරුදු කරපු අය. ඒත් මිනිස්සුන්ගෙ හිත එළියට අඳින්න..අහැකි කෙනෙක්ට ඕක බොහොම සරල දෙයක්. මං මේ කියන දේවල් අනුගමනය කළොත් ඔයාට ඇන්දෙන්නෙ නැතිව හිටිය හැකි.
සැලෝන් එකකට ගිය ගමන්ම එක පාරම කියන්න එපා මගෙ වෙඩිං එක කරගන්නයි ආවෙ කියලා. ඉස්සල්ලා දවසෙ ඇහිබැම පොඩ්ඩක් හදවාගන්න.. ඒක හරි නැත්තං ඉතින් එයාට ඔයාගෙ වෙඩිං එක තරම් ලොකු ප්‍රෙජෙක්ට් එකක් කරන්න කොහොමටවත් ඔයා දෙන්නෙ නෑනෙ.. එහෙම නේද? පොඩ්ඩක් බලන්න එයා අන්දපු මනමාලියන්ගෙ ඇල්බම්ස් ටිකක්. ඒවා මේස උඩ දාලා තියෙනවා. දැන් රැවටෙන්න එපා නිලියන්ව මොඩල්ස්ලාව අන්දලා තියෙන ඒවාට. හැම වෙලාවෙම සමාන්‍ය අයට අන්දපුවා බලන්න... ඒ ක්‍රම වලට ඔබ ට ප්‍රියක් උපදිනවාද බලන්න. එහෙමනම් clean up එකක් කරගන්න. එතකොට ඒ සත්කාරය ඔබට දැනෙනවා නම් ඔබට මේ තැන ගැන යහපත් අදහසක් ඇති වෙයි.. හැබැයි යාලුවෙ, මේ ක්‍රියාවලිය හොඳටම සාර්ථක වෙන්න නම් ඔබ එතනින් Normal dressing එකක් කර ගන්නම ඕනෙ.. මොකද එතකොට ඒ අය ඔබ එක්ක ගැටෙන ක්‍රමය ඔබට හැඟෙනවා. යාලුවා හොඳට ඇන්දුවා කියලා එයාටම ඔබේ වෙඩින් එක දෙන්න යන මෝඩ ගැහැණු ළමයින්ට කියන්නෙ, ඔබ ටිකක් මොළේ පාවිච්චි කරන්න කියලයි. Normal dressing එකක් කරලා ඔබට ඔබ ලස්සනයි කියලා හිතුණ තැනකට පමණක් ඔය වෙඩිං වැඩේ බාර දෙනවා නම් තමයි වඩා හොඳ.
නොර්මල් ඩ්‍රෙසිං කරද්දිම , clean up කරද්දිම ඔබට තේරෙයි ඒ අයගෙ හිත වැඩ කරන හැටි. ඒ අනුව මම ඒ අය කොටස් කරනවා මෙන්න මෙහෙම.
- තමන්ගෙ කස්ටමර්ගෙ හිතේ තියන දේට ප්‍රමුඛතාවෙ දීලා ඒක ඉෂ්ට කරන අය.
- තමන්ගෙ හිතේ තියෙන දේ සහ කස්ටමර්ගෙ හිතේ තියෙන දේ විශ්ලේෂණය කරලා අන්තිමට තමන්ගෙ දේම හොඳයි කියලා කස්ටමර්ගෙ ඔලුවෙ ස්ථාවර කරවන අය
- තමන් සහ කස්ටමර් දෙන්නාගෙම අදහස් වල සුසංයෝගෙකින් වැඩේ කරන අය..
- කස්ටමර්ට ඕනෙ කුදයක් කියලා ෆිනිෂ් එක තමන්ට ඕනෙ විදියට කරන අය
- තමන්ට සල්ලි ලැබෙන නිසා කස්ටමර් කියන ඕනෙ එකක් කරන අය.
ඔතනින් පළවෙනි කට්ටිය සහ තුන්වෙනි කට්ටිය පමණයි ඔබ තෝරා ගතයුතු... අනෙක් අය ඉන්නෙ අත්හළ යුතු ඉසව්වෙ. ඒත් සමහර විට හදිස්සියෙ ඔබට ඔවැනි ගැහුණු මිනිසුන්ව තෝරාගන්න බැරි වෙන්න පුලුවන්. පුලුවන් වෙන්න පුලුවන්. ඔය මොකාට අහුවුණත් බේරිලා තමන්ගෙ වැඩේ කරගන්න Method එකක් තියෙනවා... දැන් ඒක මම කියනවා..
පළවෙනියටම රූපලාවන්‍ය කියන දේ ගැන ඔබ මුලින්ම දැනුවත් වෙන්න. මහලොකු දෙයක් නෙවෙයි ඒක. සමහර වෙලාවට ඔය කට්ටිය අපිව අල්ලන්න භාවිතා කරන්නෙ අපි නොදන්න, එයාලාගෙ පාරිභාෂික කඩ්ඩ. මෙතනදි අපි ඉංග්‍රීසි දැනගත යුතුයි කියලාම නෙවෙයි මම කියන්නෙ. රූපලාවන්‍ය වලදි භාවිතා වන ඉංග්‍රීසි වචන දැනගන්න...ඊළඟට..සාරි වල සමාන්‍ය මිල ගණන්. ස්වාභාවික මල් වල සාමාන්‍ය මිල ගණන් දැන ගන්න.
ඒ වාගෙම ඔබ වෙනුවෙන් ඔවුන් දරණ පිරිවැය සහ ඔවුන් ඒ උදෙසා ලබන ලාබය අතර, වෙනස ගැන අවබෝධයක් ඔවුන්ගෙන්ම ලබා ගන්න.. ඔන්න දැන් කට්ටිය නෙරංජිට බනිනවා.. කොහොමද යකෝව් නෙරෝ උන් අපිට ඕවා කියායිද???? අනේ පිස්සුද? උන් කියන්නෙ නෑ.. අපි හොයනවා.. ගන්න පැකේජ් එක අතට.. ඒකෙ අඩංගු දේ බලන්න. ඒකෙ ඇඳුම මහන්න, අන්දන්න සහ මල් බොකේ එක නිර්මාණය කියන දේට අමතරව අඩංගු සියලු දේ වෙනම ලියන්න. ඔය ටිකම ඒ ආයතනය වෙන වෙනම එන සාමාන්‍ය අයට කරනවානෙ. ඒ ගණන් මිමි ටික හොයා ගන්න.. එවිට ඒ ගණන් එතුතු කරලා පැකේජ් එකෙන් අඩු කරලා අත් හැරියාම ඉතිරි වෙන මුදල, ඔබට අන්දන+ ඇඳුම් මහන + මල් බොකේ නිර්මාණය + ඔවුන්ගෙ ලාබය.. දැන් ඔබට අනුමාන කරන්න පුලුවන්නෙ සාමාන්‍යයෙන්... ඇඳුම් මහන්න, බොකේ හදන්න, අන්දන්න යන වියදම ගැන .... එවිට ඔබට ඔවුන්ගෙ ලාබය නිකංම හිතත හැකි. ඉතින් ඔබ වෙනුවෙන් දරණ පිරි වැය අතර හා එයාලාගෙ ලාබය අතර ලොකු වෙනසක් තියේ නම් එතෙනට යන්න එපා. ඔබට එය පාඩුවක්. (ඇති වෙන්න සල්ලි තියෙන අය ට නෙවෙයි මේ කිව්වෙ.. සල්ලි තියේ නම් ඕනෙ තැනක යන්න..)
ඊළඟට මතක ඇතුව, ඔය වැඩ වලට අම්මා එක්ක යන්න.. කොල්ලා එක්ක යන්න එපා.. කොල්ල ගිය ගමන් සැලෝන් ලොක්කා කොල්ලාව මේසෙට ඉන්දව ගෙන, කෙල්ලව මුහුණ චෙක් කරවන්න පොඩි එවුන්ට භාර දෙනවා.. ඉන්පස්සෙ අර කොල්ලාට පොවනවා මාර පෙවිල්ලක්. පර්ස් එක හින්දන තරම් උන්ගෙ විටමිනුයි...පේස් වොෂුයි, ස්ක්‍රබ් වගේ දේ ගැන..කොල්ලා කෙල්ලට තියෙන ආදරේ මේ අය සමාජය ඉස්සරහ පරීක්ෂාවට ලක්කරවන විදිහෙන් කෙරන ඔය කුමන්ත්‍රණයට මධ්‍යම පාන්තික කොල්ලො හරියට අහු වෙනවා.. (සිව් වතාවක් ඔවැනි සිදුවීම් දෑසින් දුටුවෙමි.)
ඉතින් කොල්ලනේ, කෙල්ල සැලෝන් යන්න කතා කළොත් ආදරෙන් මේ ටික පහදලා, අම්මා එක්ක යවන්න. ඔය වෙළඳ ගැටේට අහු වෙන්න එපා..කොල්ලා යනවා නම්, අනිවාඩෙෆා මනමාලිගෙ මල්ලි කෙනෙක් හරි එක්ක ඒ එක්ක යන්න. කෙල්ලගෙ අම්මා ගියාට වැඩකුත් නෑ...මොකද අම්මාවත් කෙල්ල එක්කම යවනවා... තේරුණානෙ.
බෙස්ට් මන් කෙනෙක් ගනිද්දි මනමාලයාට වඩා කොට, කෙට්ටු කෙනෙක් ගන්න එකෙන් මනමාලයාගෙ පෞර්ෂත්වය කැපී පෙනෙනවා.. ඒක තමා වෙන්න ඕනෙ.. ඒත් එහෙම කියලා මනමාලියො ගන්නෙත්, තමන්ට වඩා කෙට්ටු, පුංචි යෙහෙළියො..ඒක මෝඩ වැඩක්.. අනේ හැකි තරම් ඔබ බ්රයිස්මේට්ලා තෝරනකොට, ඔබට වඩා මහත අය ගන්න.. බ්‍රයිස් මේට් මනමාලිට වඩා අඟලක් උස වුණත් හොඳයි.. පාට අඩු කෙනෙක් ගන්නකක..මොකද මනමාලි පුංචි ලා බාල පැහැපත් තැනත්තියක් කියලා හැඟුණාමයි නේද?ලස්සන. ඒ වාගෙම ඔබ උඩ රට ඇඳලා තුන් තැල්ල දානවා නම්, ජීවිතේට තනි තැල්ල බ්‍රයිස් මේට්ලාට දාන්න එපා... මොකද තනි තැල්ල තමයි හුඟක්ම ලස්සන. තුන් තැල්ලෙන් කරන්නෙ තනි තැල්ලෙ ලස්සන මකලා එයින් එන ඇස්වහ කටවහ දුරු කරවන එක. ඔබගෙ බියුටීෂියන් සමහර විට බ්‍රයිස් මේට්ලාට තනි තැල්ල දාන්න දඟලයි. ඒකට ඉඩ දෙන්න එපා. බ්‍රයිස් මේට්ලාගෙ වර්ණ. වෙඩිං තීම් එක එක්කම යන්න ඔබ ම තෝරන්න. ඒ අය කැපී පෙනෙන විදිහෙ වර්ණ තෝරන්න දෙන්න එපා. මොකද මේ ඔබේ දවස. ඔබ ලාබාලව. ඔබ හැකි තරම් හැඩට සිටිය යුතු දවස. ඔබ නොදන්නවා වුණාට, ඔබට වඩා ඉලක්ක ගත ලස්සනක් බ්‍රයිස් මේට්ලාට දෙන්න, සමහර සැලෝන් වල බියුටීෂීයන්ලා උත්සාහ කරනවා. බ්‍රයිස් මේට්ලාගෙ නම්බර්ස් පුද්ගලිකව අරන් ඔවුන්ට වෙනම දවස් වල කෝල් කරලා, ඔවුන්ට වෙනම ට්‍රීට්මන්ට් කරන්න එන්න කියනවා. ඔබ ගැන ඔවුන්ගෙ හිත බිඳව බිඳව, ඔවුන්ව ඔබේ දිනයේ දී ඔබේ මුදලින් ලස්සන කරන්න උත්සාහ කරනවා. අර පිරිවැය සහ ලාබය අතර වෙනස බලන්න කිව්වෙ ඔන්න ඔය හින්දා යාලුවෙ.. ඇයි මේ අය එහෙම කරන්නෙ. ඔබේ වෙඩිං එක ඕකෙන් ඉවරයි.. ඒත් අර බ්‍රයිස් මෙට් වෙඩිං..තව ඉස්රහට නේද? එයාලාට එයාලාගෙ දවසෙ හම්බෙන්නෙත් ඔය සාම්බාරුවම තමා..එදාට ලස්සන වෙන්නෙ එයාගෙ බ්‍රයිස් මේට්ලා..මේ තමා මාර්කට් එක ( මේ හැම දේම මම හොයා ගත්තෙ, ඔය තැන් වලට එන දුරකථන ඇමතුම් ඇසුරින්, වැඩ කරන ගැහැණූ ළමයිගෙන් ප්‍රශ්න අහලා... ඒවා මම ඇහෙන් දැක්කා.. මේ දේවල් සියල්ල සත්‍යයි. ඔබට කැමති නම් පිළිගන්න...)
මේ බ්රයිස්මේට් ගැටලුවට හොඳම විසඳුක් දෙන්න අද මම ලැහැස්තියි.. ඇයි? ඔබ බ්රයිස්මේට්ලා ගන්නෙ...ඒකෙ තේරුම මොකක්ද? ඇයි ඔබ බෙස්ට්මන් ගන්නෙ,මොකක්ද ඒකෙ තේරුම... ඔය බටහිරදි බ්‍රයිස් මේට්ව ගන්නෙ මොකටද? මනමාලිගෙ වේල් එක උස්සන් යන්න. අනික මනමාලි පල්ලියෙදි දෙවියන්ට වඳිද්දි බොකේ එක තියන් පැත්තක ඉන්න...මනමාලියි මනමාලයයි යද්දි ඒ යන මඟ ඔවුන්ට මල් ඉහින්න.. පෙරදිගට ඕවා ආවෙ එකදහස් අටසිය ගණන් වලත් මැදදි.. ජනප්‍රිය වුණේ එක් දහස් නවසිය ගණන් වලදි. සිංහල මනමාලියන්ට ඔය දෙවනි මනමාලිව තිබ්බෙ ඇස් වහ දුරු වෙන්න... පෝරුවෙදි ඇඟේ මල් කළඹ අරන් සහය වෙන්න.. පොටෝ වලට පාලු මකනවා මිසක් අද වෙන කිසිම දෙයක් දෙවනි මනමාලියො නිසා වෙන්නෙ නෑ..
බටහිර දි මනමාලයාට යහලුවෙක් හිටියෙ අවශ්‍ය වෙලාවට මඟුල් මුද්ද දෙන්න සහ, අල්තාරය අසල ඉන්න මනමාලයා සහ පල්ලියෙ පසු පුටු වල ඉන්න නෑයන් අතර සන්නිවේදයක් කරන්න වුවමනා නම් ඒ සහයට... ඉතින් ඕක ලංකාවට ආවෙ කොහොමද?
ඒ කාලෙ අපේ රටවල යෝජිත විවාහ වලදි, මනමාලයා මංගල්ලෙට එනකොට මනමාලි කලින් දා රෑ යාලු වුණ කොල්ලා එක්ක පැනලා ගිහින් තිබුණ අවස්ථා එමටයි.. ඉතින් මනමාලයාගෙ වේදනාව නොපෙන්නා.. ඒ බව දැන ගෙන පිට පාරෙන්ම හැරිලා යන්න....මඟුල් ගෙදරට කලින් මඟුලට එවපු නියෝජිතයෙක් හිටියා. ඒ තරුණයා එදා ආවෙ හිස් අතේ එන්න බැරි නිසා සුදු මල් කිණිත්තක් අරගෙනයි.. ඔන්න ඔය සංකල්පය බටහිර බෙස්ට්මන් සංකල්පය එක්ක බද්ද වෙලා තමයි ලංකාවට බෙස්ට් මන්ලා ආවෙ.
දන්නවාද සමහරු ඔය දෙවනි මනමාලි වෙද්දි බය කරනවා නේද මනමාලිට මොනාහරි වුණොත් දෙවනි මනමාලිව තමා මනමාලයා කැන්දන් යන්නෙ කියලා.. ඕකට වෙනම විද්‍යාත්මක පසුබිමක් තියෙනවා.. මනමාලි ඔය කාලෙට දෙවනි මනමාලි එක්ක බොහොම හිතවත් වෙනවා. හැම දේම ඈට කියනවා. මනමාලි යම් තරුණයෙක් සමඟ රහසක් සබඳතාවක් තියේ නම් එයත් දෙවනි මනමාලියට කියනවා.. දෙවනි මනමාලිව කලින්ම බය කළාම, කවදාවත් තරුණයෙක් සමඟ හඳපානේ යන චේතනාවක් මනමාලිට තියෙනවා නම්, ඒක ඉටු කරවන්න දෙවනි මනමාලිගෙන් රුකුලක් නෑ.. ඒ වාගෙම එය දැන ගත් විගස ඇය විසින් මනමාලි ගැන වැඩිහිටියෙකුට දන්වනවා...
ඉතිං අද මෙහෙම බර සාරෙට වෙන මඟුල් වල, ඔහොම දේ වෙන්නෙ නැති තරම්නෙ.. ඉතිං මොකටද ඔය සල්ලි නාස්ති කරලා බ්‍රයිස් මේට්ලා ගන්නෙ... පල්ලි විවාහෙකට නොවෙයි නම්, සිංහල බෞද්ධ විවාහෙට බ්‍රයිස් මේට්ලා ඕනෙම නෑ.. බෙස්ට්මන්ලාත් ඕනෙ නෑ.. දැන් කොහොමත් ගෙදරින් උදේම යන්නෙ සැලෝන් එකටනෙ. සැලෝන් එකෙන් යන්නෙ පොටෝ ෂූට් එකටනෙ.. මට අනුව මනමාලිට මල් කළඹ දෙන්න සුදුසුම කෙනා තමයි.. මනමාලයා...ඇයි ඔක්කොම කොරන්න හොඳ නම් ඕක දෙන්න නරකද?
බ්රයිස්මේට්ලා නැත්තම්, ඔබව විතරනෙ අන්දන්න තියෙන්නෙ. කොයි තරම් සරල වැඩක්ද? ඔබට පාලුයි කියලාම හිතෙනවා නම් අවුරුදු 6ක විතර පුංචි මල්කුමාරියක් මල් කුමාරයෙක් ගන්න ඔබේ සහයට..හිතේ කුහක කම ඉරිසියාව මුකුත් නැති පුංචි දරුවො... මේකප් ඕනෙත් නෑ ලොකුවට..
ඔබට දාන මේකප් එක පැය දහයක්වත් තියෙන හොඳ එකක් වෙන්න ඕනෙ.. ඔබ යන දවසෙම බියුටීෂියන්ගෙන් අහන්න ඕනෙ, නෝමලර්ල් ඩ්‍රෙසිං එකක මේකප් එකට වඩා මේක වැඩි වෙන පියවර මොනවාද කියලා.. ඒවා දැනගන්න ඔබට අයිතියක් තියෙනවා..ඒවා හංගනවා නම් ඒ අය බොහෝ විට වංචාවක් කරන්නෙ..පියවර දැනගත්තොත්, ඒවා මතක තියාගෙන නිවසට ආ විගසම ඒ ටික කොහේ හෝ ලියන්න.. වෙඩිං එක කලි දවසෙ ආයෙ මතක් කරගන්න.. තමන් හොඳ සිහියෙන් මේකප් එක කරද්දි ඉන්න.. අතපසු වීම් වුණොත් කේන්ති ගන්න නම් එපා..බොහොම කරුණාවෙන් ඇයට පහදන්න... යාප්පුවෙන් වැඩේ ගත්තා කියලා පාඩුවක් නෑ.. මේකප් සහ ඔය ෆේෂල් ආදී ට්‍රීට්මන්ට් වර්ග එක්ක ඉන්න අය සමඟ යම් තරහක් ඇති වුණොත් ඉන් පස්සෙ ඔවුන් එක්ක කිසිම ෆේෂල් එකකටවත්, මේ කප් එකකටවත් යන්න නම් එපා.. කෙමිකල් භාවිතාවෙන් කරන වැඩ නිසා පුංචි හරි තරහකට පළිගැනීමක් සිද්ධ කළොත් ඒක ඔබේ ජීවිතයටම බලපායි...
ඔය සමහර බියුටීෂියන්ලා කලු මනමාලියන්ට සමහර වර්ණ ගැළපෙන්නෙ නෑ කියලා කියනවා. ඒත් ඔබට ඕනෙ වර්ණය ඔබ අඳින්න ඉල්ලන්න..මොකද ඔබ අසතුටින් ඇඳගෙන ඉන්නවාට වඩා සතුටින් අඳින ඕනෙම දේකට ඔබ ලස්සනයි..ඇඳුම් මෝස්තරයත් ඒ වාගෙමයි.. සමහරු ඉන්නවා ගොයිං අවේ වේල් දාන්න ආසා අය...වෙඩිං උඩ රට ඇඳලා, ඕනෙ නම් හවසට වේල් දාන්න... ඒකෙ ලොකු ප්‍රශ්නයක් නෑ.. සමහර බියුටීෂියන් ලා කම්මැලි කමට බෑ කියනවා. ඒත් පොඩි වේල් එකක් දාන එක හරිම සරලයි... ගොයිං අවේ අඳිනවා නම් ඒකට පැය එකහමාරක් දෙන්න ඕනෙ.. මනමාලි කොහොමත් වැඩිය කන්නෙ නෑනෙ... ඉතිං ඒ පැය එකහමාර ලන්ච් එකෙන් අල්ලත හැකි.. අනෙක් අය කනකං මනමාලිට ඇන්ද හැකි... මනමාලයාට ඉතිං ටග් ගාලා මාරු කරන්න පුලුවන්. නිළමෙ ඇඳුම ගලවන කෙනා ඒවා ගැන දන්නවා... බීම නම් ඕනෙම නෑ කිව්වාට, වෙඩිං වලදි පොඩි පිස්සුවක් කරන්න යාලුවො හරි ආසයි...මනමාලිව වඩා ගන්න කියයි.. මේස උඩ නටන්න කියයි ... විල්බැරැක්කෙ දාගෙන යන්න කියයි.. ටික දුරක් බයික් එකක යන්න වෙයි .. ඇත්තටම ඕවාට මුලු ඇඳුම වත්, කාර්තිය දාපු ඔසරියවත් (පත්තිනි ඇඳුම) ගැළපෙන්නෙ නෑ...ඒ නිසා ගොයිං අවේ එකකට ගියාට කමක් නෑ... ඒත් මුදල් අනවශ්‍ය ලෙස වියදම් කරන්න බැරි නම්, නොකර හිටියා කිසි ගැටලුවක් නෑ.. ඒත් මඟුල් ඇඳුමෙ ගෞරවය ගැන අමතක කරන්න එපා...
මනමාලියෙකුට දැන් දවස් දෙකටම අන්දවන්නෙ එකම කෙනා.. ඉතින් මනමාලයා දෙන සාරියත් මනමාලිටම තමයි තෝරා ගන්න වෙන්නෙ...ඉතින් ඒක මනමාලිගෙත් කැමැත්තට තෝර ගත්තාම හරි.. වැඩියෙන් මිලට වඩා ලස්සනට හුරුබුහුටියට සහ දුර්ලභ කම ප්‍රමුඛත්වය දීලා තමයි සාරි ගන්න ඕනෙ.. සමහර වෙලාට දෙවනි දවසෙ මනමාලිය අඳින සාරියම, මඟුල් ගෙදරට ඇඳන් එන කාන්තාවො ඇඳලා ඇවිත් තියෙනවා මම දැකලා තියෙනවා.. තවත් ගොඩක් දේවල් මේ වෙලාවෙ මතකයට එනවා.. ලිපිය දිග වැඩියි.. ඉතින් තව පොස්ට් එකක් ලියන්න වෙනවා ඉතිරිය ලියන්න....ඇන්දීම ගැන කොයි තරම් දේවල් තව තියෙනවාද? එහෙනං ඉක්මනින්ම ඒ පෝස්ටුවෙන් හමුවෙමු...