12/31/09

අබා සමඟ ලබන විරුවන්ගේ වසර??....


ලංකාවේ චිත්‍රපටි ගැන කතා කළොත්......ඒක දිගට දවස් ගනණාවක් කතා කරන්න පුළුවන්.....ඒත් ලංකාව තුළම 95%ක් නිර්මාණය වු 5% ක තාක්ෂණය පිටරටින් ලැබු....ඉතා දැවැන්ත නළු නිළි පිරිවරක් දායක කරගත් අබා ඉතා වේගයෙන් 2009 වසර තුළ ජනප්‍රිය වුණා....අබාට පක්ෂ විපක්ෂ මත බේද ඕනෙ තරම් තියෙනවා.....ඒත් කලා නිර්මාණයක් ලෙස අබා සාර්ථකයි....ඒක අපි අවිවාදයෙන් පිළිගත යුතුයි..එහි ඉතිහාසමය වශයෙන් වැරදි තියෙනවා කියලා බොහෝ දෙනා කිවුවත්....ඒවා එකක් වත් නිවැරදිවම වැරදි කියලා අපිට ඔප්පු කරන්න බෑ.....මොකද අපි කවුරුවත් ඒ කාලේ ඉඳල ආවෙ නෑ.....

අපිට මහාවංශය විතරක් කියවලා ඉතිහාසය ගැන නිගමන වලට එන්නත් බෑ....මහාවංශය වුණත් ලියවිලා තියෙන්නෙ...පහු කාලීනව....අනික අපිට ජන කතා අහක දමන්නත් බෑ......ජන සම්මතයේ ඇති විශ්වාස හා ඇදහිළි..කොටින්ම කීවොත් ජන කතා....ඉතා සරළයි....ඒත්..බොහෝ විට සත්‍ය මදක් හෝ ඒ සඳහා මුහු වෙලත් තියෙනවා......අබා චිත්‍රපටියෙ අබාගෙ පිය පාර්ශවය ගැන සංවාදයක් තියෙනවා.....දෙපාර්ශවයටම සාධක ලැබෙනවා.....තාම දීඝ ගාමිණී....ඒත් අනාගතේ එ චිත්ත රාජ වුණොත්....අපිට සතුටු වෙන්න පුළුවන්....ඒකට හේතුව.....පිතෘ ඝාතක සිංහ බාහු අපේ පිය පාර්ශවයෙන් ඉවත් වෙනව....අපිට රාවණාගේ පිය පාර්ශවය උරුම වෙනවා......
මේ ච්ත්‍රපටියෙ හබරා....නිර්මිත චරිතයක්....නමුත්..ඔහු ඒ දර්ශනය පුරා කරන මෙහෙය අපමණයි

මේ චිත්‍රපටිය අපි බොහෝ දෙනා නැරඹුව වෙන්න පුළුවන්.........ඒත් හින්දි බලනවට වඩා මේක බලන එක හොඳයි.....ඒ විතරක් නෙවෙයි........අපිට ආපහු මේ ගැන සංවාද කරන්න පුළුවන්.....මෙහි අදියුරු තුමාගේ ආගම හා ඔබේ ආගම නොගැලපේවි....එව්ට ඔබට හිතේවි.....චිත්ත රාජ..ජේසු තුමා වෙලා කියලා......ඔබේ පක්ෂය ඔහු මේ දිනවල අදහන පක්ෂ සංකල්ප හා නොගැලපේවි.....ඔහුගේ දේශපාලනය එක්ක මා එකඟ නෑ....නමුත්..ඒ කලා නිර්මාණය එක්ක මා එකඟයි....කලාව ඉතිහාසයට වඩා බොහෝ නිර්මාණශීලියි.....එය ඔහු නිතර කියන අදහස හිතේ තියාගෙනම අපි නරඹමු.....ඒත්..අවසානයේ ච්ත්‍ර පටියේ කියන දේ පිළිබඳව මට පොඩි ගැටළුවක් තියෙනව.....
උරුමය දිනන තුරු යුද වදිමි.....
ඒත් ඔහු එයට දැන් අකමැතියි වගේ......ඒකට මොකද?....අබා අපි නරඹමු.....හින්දි බලනවට වඩා සිංහල දේ අගය කරන එකයි...හොඳ......මම හරිද?
ඔබට අබා ගැන තොරතුරු දැන ගන්න.....යන්න.....
http://www.aba.lk/index.htm




අවසානයට පෙර

2009 වසර මහා උත්සව මැද්දෙන් අද රෑට අවසන් ගමන් යද්දි....
.2010 ලස්සනට හෙට ඉර පායනකොට උපදීවි...
මොනා කරන්නද?
අනිත්‍ය ගැන අපි ඉගෙන ගෙන තියෙනවනෙ.....
ඒත් හිතලා බලන්න ..
අපි 2009 හොඳින් ගත කළාද කියල....
තමන් හොදින් ගත කළා කියලා කීයෙන් කීදෙනාටද හෘද සාක්ෂියට එකඟව කියන්න පුලුවන්............
අපි 2010 හොදින් ගත කරන්න උත්සාහ කරමු!!!........
අලුත් අවුරුද්දෙ අපි අලුත් වෙමු......
අපි අපි වෙමු......
අපිව හොයා ගමු!!!

කළු කපුටා සුදු වෙනතුරු, මෝල් ගහේ දළු එනතුරු

අපෙ කුස්සියෙ කළු ලිග්ගල ලියලාලා මල් එනතුරු

එකසිය විස්සට එක්දහස් විස්සක් හැමෝටම ආවඩා ආයිබෝ...



12/30/09

අපේ සිංහල පන්තිය



පොළට ඉහළින් වලේ පන්තිය
අකීකරු දරුවන් සිටිය ඒ
මකුළු වියමන් මිහිරි කළ බිම
අපේ සිංහල පන්තියයි මේ.........

හිරු කිරණ හිස තවන මොහොතක
තහඩු වහලය පෙරා ඇවිදින්
හීතලට තොල් පට ගැටෙන කළ
අහස් වැහි හිරිකඩ දුමාරෙන්...........

ලියු රචනා,කෙරූ වියරණ,
ගැයූ කවි පද කොයි තරම්
උදේ සිට ගොම්මන් වැටෙන තුරු
සිනසී සිත් ඉස්තරම්......

හෝඩියේ සිට ඉගෙන ගත් බස
රස සොයන්නට එළිය කොට ගෙන
මුළු ලොවක දුක නිවලන්නට
අහස තරමට ආදරය ගෙන....

රිද්මයක් නැති ලෝකයක් අස
තාලයක් මැවු පන්තියයි අපි
කටු අකුල් උඩ ඇවිද යන්නට
කියා දුන් යහ පරපුරයි අපි.....

දහස් අයිරා දිලෙන අසිපත්
අරන් සිරිලක් අම්මා ඉන්නේ
තොසින් යන්මන් කියන් ගිරවුනි
මන් බියයි අද වන් මෙ අරණේ....

ඉගෙනගන්නට ආස "මැණිකා"
කොළඹ ඉස්කොලෙට යවන්නට....
'සුගුණවතියට' මගුල් මුදුවක්
පළදවා හැඩ වැඩ බලන්නට......

"කියත් කොට "නිශ්ශබ්දතාවය"
ව්ඩිනවා අපි අනාගතයට
"අතීරණ" ලොව තනන්නට නොව
නැවුම් යුගයක් ගොඩ නගන්නට...

යුගාරම්භය අරුණ සොයනා
පැරණි ලොව අවසන් පුරුක් වෙමු...
සිත ඉතිරි කර 'මතක වස්තුව'
ගිහින් එන්නම් කියා කියනෙමු.

පුංචි නංගියෙ,පුංචි මල්ලියෙ
වාඩි වෙන මේ අසුන් මත්තේ...
චමරි, මාලින්, අරවින්දලා


සිටී තනියට ඔබ දෙපැත්තේ..


සිටී තනියට ඔබ දෙපැත්තේ..




12/28/09

සඳ අහපන්නේ.........

මේ උජාරුවට ඉන්න හඳට මෙන්න මෙහෙම අපි කියමු...
ඈත එපිට දුර අහසේ
හා පැටියෙක් තුරුළු කරන්
හරි ලස්සන සුදු පාටට
හැඩට දිලෙන්නේ....
වටා රැඳුණ රැස් මාලෙන්
නිල් අහසට සළු පොරවා
තරු මාලා පැළඳ සිටින
සඳ අහපන්නේ...
උදේ පටන් ගොම්මන තුරු
මෙහෙ ඉටු කර, අවමන් ලැබ
හැන්දෑවට මුහුදෙ ගිලෙන
හිරු දෙවියන්ගේ
ලොවකම එළියෙන් බබළන
රැස් දහරින් හොරකම් කළ
බිඳුවක් නේදෝ අරගෙන
සිනා පාන්නේ...

12/24/09

හදවතේ නත්තලක්















මුළු කොළඹම....පුදුමාකාර ලස්සනයි.......සුදු පාට,රතු පාට,කොළ පාට නත්තල් ගස් හැම තැනම....හැම කඩයක්ම සාප්පුවක්ම ලස්සනට සරසලා තිබ්බා....මිනිස්සු නත්තල, ලබන අළුත් අවුරුද්ද සමරන්න හිතන්....බඩු ගන්න එනවා...කඩ සාප්පු පිරිලා.නත්තල් සීයලා කඩ ඉස්සරහ.....හිටගෙන ඉන්නවා....ඒත් මෙ හැම කතාවක්ම තමන්ගෙ වෙන්නෙ මධ්‍යම පාන්තික මිනිස්සුන්ට විතරයි....ගව ලෙනක් තරම් වත් හෙවනක් නැතිව පාරෙ අගු පිල් වල නිදා ගන්නා මිනිස්සු කොයි තරම්ද?කඩ ඉස්සරහ අරුමෝසම් ඇඳුම් ඇදන් විකිණෙන නත්තල් සීයලා.....ඒ දරුවන්ට තෑගි දෙයි කියල හිතෙනවද?අපි නත්තල සමරමු......ඒත් ජේසු තුමාගෙ පැලැන්තිය මතක තියා ගමු....ලොකු ලොකු පාටි දාන අතරතුරේ..දුප්පත් මිනිස්සුන්ට කන්න ටිකක් දෙමු.....නත්තලක ලස්සන පාරේ තොටේ නෙවෙයි...හදවතේ මවා ගමු....ඒ හිතේ සතුට මේ රටට දුන්නොත්....අපෙ රට එක දවසකට හරි බෙත්ලෙහෙමක් වෙයි..

කඳුලු ලන
මිනිස් හදකින්
සොරා ගත්
සතුට
යළි පුදා
සදහටම
එකම මොහොතක්
අසදි
හද මඬල
හිනා වෙන
නත්තලක්
කරනු මැන
ඔබ උපන් බව
යළිත් පවසලා
ලෝකයට
ආදරණීය
දෙවු පුතුනි





12/17/09

තව ගීයක්.....(හීන අහුරු )....

මේ ගීතයට මං කැමතියි.....මේ ගීයත් එක් යුගයක හුඟක් මිනිස් සිත වැළඳ ගත්තා...කොටින්ම කීවොත් තරුණ හිත.....මේ ගීතයත්...ජනප්‍රිය වෙද්දි මම නව යොවුන් වියට පා තිබ්බ විතරයි.....මේ ගීය හරිම අරුමැසි වාදී....ඒ නිසා මම මේ ගීතය ප්‍රිය කරනවා.....මේ ගීතයට වේග රිද්මයක් තියෙනවා...ඒක තාරුණ්‍ය එක්ක බද්ධයි.....සොබා දහම එක්ක තරුණ අදහස් සමීප කිරීමක් කියල හිතෙනවා....ඒත්...ඒ ගීයෙ තියෙන සියලු වටිනාකම්...රූප රචනය විසින් විනාශ කරල තියෙනව..කියන හැඟීමත් මට තියෙනවා......මේ ගීතය ගුවන් විදුලියෙන් අහද්දි මට මැවෙන චිත්ත රූප එකක් වත්....මේ ගීය නරඹනකොට මට දැනෙන්නෙ නෑ.....කොහොම වුණත් මේ ගීයෙ වචන ටිකට වගේම තනුවට මං කැමතියි.....මේ ගීය අදාළ නාට්‍ය ලියා තියෙන්නෙ..සන්නස්ගල සර්...තනුව....නවරත්න ගමගේ මහතාගෙ!!!






12/14/09

මා ආසම ගීතය

"ඉවාන් පවුලූෂා" කියන මේ ගීතයට මං ගොඩක් ආසයි.....මන් දන්න කාලෙ ඉදන්ම.....මේ ගීයෙ....ආදරය, මනුස්සකම,වේදනාව,බලාපොරොත්තුව, ජීවිතය,සොබා දහම හා බද්ධ වූ මිනිස් ජීවිත වල සුසුම, කලාව,දේශපාලනය,කියන හැම දෙයම තියෙනවා.......මේ ගීය මෙතෙනට දා ගන්න උදවු වූ දුකා අයියට පින්....

"ඉවාන් පවුලූෂා" කියන්නෙ.....මට මතක විදිහට කොළඹ විශ්ව විද්‍යාලයේ පර්යේෂණයක ප්‍රතිඵලයක්....මේ ගීතය මුලින්ම අහන කාලෙ..මට අවුරුදු 10ක් විතර.....පාවෙල් කියන නමට පවුලූෂා කියල හුරතල් නාමයක් තියෙනවා කියන එක ඇත්තයි....මක්සිම් ගෝර්කි ගේ "අම්මා" කෘතියෙ වගේම නිකොලායි ඔස්ත්‍රොව්ස්කි ගේ "වානේ පන්නරය ලැබූ හැටි" කියන කෘතියෙත් ප්‍රධාන චරිතය "පාවෙල්" කියන නම ඇත්තෙක්....ඒත් මේ ගීයේ ඉන්න ඉවාන් පවුලූෂා එක චරිතයකට විතරක් අදාළ නෑ....."ඉවාන්" කියන නමත් රුසියානු පොත පතේ නිතර යෙදෙන නමක්....මේ ගීය එක යුගයක ජනප්‍රියම ගීත දර්ෂකයෙ තිබිලා තියෙනවා....ඒකට හේතුව....මේ ගීය සමස්ත වශයෙන්...මනුෂ්‍යත්වය නිරූපණය කිරීම වෙන්න ඇති...







12/7/09

හඳේ කතාව

මං මේ දැන් සහෘදයා වෙබ් අඩවියට ගියා...එයත් හඳට ගිහින්...රෑ නින්දෙදි...ඔව් අපූරු අත්දැකීමක්...මේ ලොකේ, ඒ කියන්නෙ අපි ජීවත් වෙන පෘතුවිය තරම් හඳ පරණද, නැද්ද කියලා මම දන්නෙ නෑ....එයා විද්‍යානූකූලව නම් උප ග්‍රහයෙක්....අපිට එක හඳයි.එත් සමහර ග්‍රහලෝක වල ට ගොඩක් හඳවල් තියෙනව....ඒ කියන්නෙ රෑ වෙද්දි හෙවනැළි ගොඩයි....පැටලෙනවත් ඇති....එත් එවා පටල ගන්න කවුරුත් එහෙ නෑලු....කොහොම කොහොම හරි....පෙනෙන විදියට හඳ කියන්නෙ....පුදුමාකාර දෙයක්...හඳ එකිනෙකාට බල පාන හැටි වෙනස්... අපි එකින් එක පුලුවන් තරම් කතා කරමු.... පොඩි දරුවෙක්...හඳට හරිම ආසයි..."අනේ හඳ හාමි කිරි පැණි ගෙනත් දියෝ" කියල අහස දිහා බලන් කෑ මොර දේවි.ශිෂ්‍යයෙක්...හඳ දැකපු ගමන් ඊයෙ ගුරුතුමිය දීපු හඳ සහ වඩදිය බාදිය පිළිබඳ විද්‍යාත්මක ප්‍රශ්නයට පිළිතුරු ලියන්න ඕනෙ කියල මතක් වේවි..කවියෙක්.. හඳ දැක්කොත්...කාන්තවගෙ මුහුණට සමාන කරලා කවියක් ගොතාවි.පෙම්වතෙකුට ..හඳ දැක්කොත්....තමන්ගෙ පෙම්වතිය අනිවාර්යයෙන් මතක් වේවි..මුහුණෙ ආවාට තිබ්බත් ,නැතත්...එහෙම නේද?....හඳ හැමදාම යෞවනය එක්කයි....කියලා කවුරුත් දන්නවා.අත්තම්මා හඳ දිහා බලන් හිනා වෙන්නෙ...පෝය කිට්ටු නම් හෙට අනිද්දා දිහාට සිල් ගන්න ගිහින් පරණ යෙහෙළියො ටික එක්ක එක්කහු වෙලා කයියක් දාන ආකාරය මතක් වෙලා.ඒත් හොරාට නම් හඳ පෙන්නන්න බෑ..ඇයි..කොහොමද කෙහෙල් කැනක්වත් කපන්න වත්තකට පනින්නෙ..කුරහන් මෝරන්නෙ හඳ එළියෙ..එත් කුරහන් බොන්න හඳ පාන දිගේ තුන් පත් රෑන කොයි වෙලාවෙ පාත් වෙයිද දන්නෙ නැ කියලා.....ගොවියා ඉන්නෙ බයෙන්...අද මුහුදු යන්න හොඳද නැද්ද කියල ධීවරයො හඳ දිහා බලන්නෙ..මහ සැකෙන්..නීල් ආම්ස්ට්‍රෝන් හඳ දිහා බලන්නෙ, මං ඒ හඳට පය ගැහුවා කියන ආඩම්බරෙන්... බලාගෙන ගියාම ඒකෙත් හැටි..............





12/6/09

පෙරළියක ලියමන


වැඩ වසම් ක්‍රමය
මිය ගියා.........

"අනුලා" ලොකු ආච්චි සමඟ

ධනෙශ්වරයට
ඈඳුනා........
"නන්දා" අපෙ ආච්චි
එක්ක

ගසා ගෙන ගිහින්

ඒ රැල්ලේ
"පියල්" සීයා

එක්කම

පියෙන් පිය
තබා ඉහළටම
තලා පෙලා උපයා

දුගීන් ගේ රුහිරු බී

"සවිමන්"නැමති
අපෙ තත්තා සමඟ...
..... නිමා කර යුග දෙකක්........ ........
.......
දුගීන්ගෙන් නැගී
උගත් කමින් සැදී

විකිණෙන්නට
වෙර දරන..

නමුත්

සමානතාවයට
හිස නමන

"අරවින්ද"ට තුරුළුව,
සොයන්නෙමි.....ඔබ,....

ආදර මගේ සොයුර,

සමාජ වාදය සහ
"මාලින් කබලාන"

........................

මෙයට
චමරි..(නැගණිය )


12/5/09

නුරා සිත්තම


ලොවක්ම නොදකින
ලොවක් දකින්නට
අප පින් කර ඇත
හැමට වඩා.....
පිරිය වඩන
හැමදෙයම
දකින්නට
පින් කර ඇත
අප ඊට වඩා....
සිතෙන් සිතෙන
හැම විටම
දකින්නට
හැකි වීමද
අරුමයකි ඉතා.......
අනුන් දකින දේ
දකින්න බැරිකම
එකතු කළද දුක
සිතට කුඩා...
එක මොහොතක හද
මනරම් කරවන
වෙන කිසිවක් නැත
මෙයට වඩා......
අඳුරෙහි දිළිහෙන
හිරු ලඟ හිනැහෙන
"සිහිනය"ඔබ
සිත්තමකි නුරා!!!



12/4/09

ආදර කුමාරයාට,


පාළුවෙ හමන

සුලඟින් සැලී.......

මම ගයමී ඉතින්

යළි යළී..........

හිනැහෙන

නීලදෑසේ වෙළී.......

මා ඔබගේම

මල් සමනළී.........

12/2/09

වෙසඟනගේ නිර්මල දියණියට,


ලොවේ ඇති සොඳුරුතම

ආදරය තුරුළු කොට

නීතියෙන් අවමාන කන්දරාවක් ලබා

නමුදු ඒ පිහිටෙන්ම

හුස්ම පොදරැක වැරෙන්...

ලොවේ ඇති දරුණුතම

වියරුවෙන් පණ ලබා

සදාතනිකව ලබන නින්දාව

පසෙක ලා

සියලු දෙන යනෙන මඟ

වැටී ඇති කහල කැටි

උරුමයෙන් අයිති සේ

ගිජු ලෙසින් ගිල දමා

අනික් හැමටම ඉහල

ජීවිතය හොයා ගත්

සියල් සක්වල තලේ

දියණියේ!!!!නාඬන්න........

නුඹට ඇත නුඹ වගේ

අක්කලා .......

නුඹට ඇත නුඹ වගේ

නංගිලා .....

11/20/09

හනිකට ඉණිමඟ ඉහලට

නගින්න..නගින්න
හැකි තරම් ඉහලටම..
දෙපස නගිනා එවුන්
පාගලා තලාලා..
ඇද දමා පහතටම..
උඩින් පැන
තල්ල කැඩුනාට නම්
කමක් නැත..
යටින් රිංගුවෝතින්
තිබොල් දෙපයේ ඇනෙයි..
ඒ වුනත් කමක් නැත....
පෑගිලා ගිය සිරුරු...
උඩින් පැන පැන ගියත්
පවක් නැත...

ඉහළටම ඉහළටම...
තව තවත් ඉහළටම....
නැග ගියොත් කෙළවරේ...
ඉමක් ඇත....

ඒ වුණත්... .
අප ලැබූ
ජයක් නැත..


11/18/09

නොකියවපු කවියක්........


තමන්ටම උරුම වූ...
කිසි දෙයක් නැති කලට
දුවන්නේ ඇයි ඉතින්
එකිනෙකා පරයමින්....


අනෙකාගෙ සතුට ගැන

සිතමු අපි මොහොතකට....
කවි ලියමු.....

ගී ලියමු...

උන්ට රස විඳින්නට...

පන්හිඳෙන් කුරුටු ගා

නොලිව්වත් අපේ කවි...

තනි රූලෙ කොළේ උඩ

නොපෙනුනත් අපේ කවි...

පොත් කඩේ රාක්කෙක

නොතිබුනත් අපේ කවි....


හදේ ගැඹුරුම තැනින්

පැන නැඟුනු අපේ කවි

සයිබරය සමඟ ,
එක තත්පරන් මුහු වෙලා..

දුවයි ලෝකය පුරා....

සිංහලෙන් හිතන,
සබැඳියන්ගේ හද සොයා...

සිංහලය දන්න,

සකිවරුන්ගේ නෙතු සොයා...

11/17/09

නිනූගේ රෝස වලාකුළ











එක් දහස් නවසිය අසූ නවයේ, ඒ කියන්නෙ ඉතාම තද භීෂණයකින් මුළු රටම, මේ ලංකාව වෙලා ගත්ත අඳුරු යුගයක, ශෝකයෙන් පීඩිත වුණ ඉල් මාසෙ පළවැනිදා..මළවුන්ගේ අවුරුදු දා…..ඉතාම තද වැස්සෙ…මැරී ගිය දහසක් මිනිස්සු අස්සෙන් ගිහින්, මග දිගට ටයර් සෑය වල ආදාහනය වෙච්ච දරුවන්ගෙ අම්මලා නඟන විලාප මැද්දෙන් ගිහින්….තවත් අම්මා කෙනෙක් දරුවෙක් බිහි කළා….ඒ මම.. නෙරංජි… නෙරංජි සුලක්ඛනා.

අවුරුදු හතරක් ගෙවලා මං මොන්ටිසෝරි ගියෙ ගෙවල් ළඟ ඉසුරු ළදරු පාසලට….ඊට පස්සෙ ගෙවල් ළඟ ඉස්කෝලෙට…එම් .ඩී. එච්. ජයවර්ධන විදුහල….මං ගිය පළවෙනි අවුරුද්දෙ ඉස්කෝලෙ ප්‍රින්සිපල් සර් මැරුණා..පස්සෙ ඉස්කෝලෙ දේශපාලන පන්දම් වලට එකිනෙකා අතට ගියත් ඉස්කෝලෙට හොඳක් උනේ නෑ..තුන වසරෙදි මගේ හොඳම යාළුවා…. ඒ කිවුවෙ මගෙ එහ පැත්තෙ ඉඳන් හිටපු යාළුවා..රුමැටික් උණ හැදිලා….දිව්‍ය ලෝකෙ ගියා…..මට ඒ ඉස්කෝලෙ වෙච්ච දේවල් වලින් හොඳටම මතක ඒක තමයි…..ඉංග්‍රීසි පන්තියෙදි මං වැටිලා කකුලට හුඟක් අමාරු උණා.මං ශිෂ්‍යත්වය ලිව්වෙත් කකුල කඩාගෙන…ප්‍රතිඵල එන දවසෙ උනත් ඉස්කෝලෙ යන්න බැරි වුණා….ඒත් බෙහෙත් අරන් එද්දි මට ආරංචි වුණා….ඉස්කෝලෙ පාස් වුණ දහ අට දෙනගෙන් වැඩිම ලකුණු මට කියලා…..

මං ගෝතමි බාලිකවට යන්නෙ ඒ විදිහටයි…ගෝතමි බාලිකාව තිබ්බෙ කොළඹ….මං මේ අවුරුද්ද වෙනකම් එහෙ ඉගෙන ගත්තා…යාළුවො හිටියා…..ඒත් ගොඩ දෙනෙක් හිතට තදින් හිටියෙ නෑ…එයාලා හොඳයි….කෑම බෙදා ගන්න..තනියට ටොයිලට් යන්න….සෙල්ලම් කරන්න…..බැරි වුණ පාඩමක් ගෙදර ගිහින් කරගෙන එන්න පොතක් දෙන්නෙත් එහෙමත් කෙනෙක් විතරයි.හතේ පන්තියෙදි මං විද්‍යාවට හදපු සඥා බල්බ පරිපථයට සම්පූර්ණ ලකුණු ගත්තා..පහු වෙනිදා ආපු පරීක්ෂකවරු මගෙන් ඇහුවා.. ඒක තනියෙන්ද හැදුවෙ කියලා…මං නෑ කිව්වා……..මොකද මට මාමා ඒකට උදවු කළා…එකයි එහෙම කීවෙ…..ඒත් අපේ මිස් ට …..එයාලා බැන්නා…මට ලකුණු දුන්න කියලා…මාව පෙන්න පෙන්න ටීචර්ලා කියන්න පටන් ගත්තා….අර ළමයා නිසා තමා..අපේ ඉඹුලානට ප්‍රශ්නෙ ඇති වුණේ කියලා….මට එදා ඉදන් ව්ද්‍යාව එපා වුණා…

නවයෙ පන්තියෙ ඉදන් තමයි නාට්‍ය කරන්න ගත්තෙ…..2003 සමස්ත ලංකා නාට්‍ය තරගාවලියෙ හොඳම නාට්‍ය අපි කළා….මං මුළු ලංකාවම පිළි ගන්න සහතිකයක් එදා ලැබුවා….මගේ කලා හැකියාවන් හොයා ගත්ත සෝමා මහානාම මිස් ට මම අදටත් ණය ගැතියි..මං නවය වසරෙදි ලියපු කවියක් මං ලියපු එකක් කියල එක මිස් කෙනෙක් පිළිගත්තෙත් නෑ…ඔය වගේ දේවල් ගොඩක් වුණා……..ඒත් මං ගායනයට නම් ඒ තරම් දක්ෂ නෑ…ඒත් අනික් හැම දේම මට පුලුවන්….ගොඩක් අසාධාරණ කම් වුණත්…මං ඒවා ඒ තරම් හිතට ගත්තෙ නෑ….කලාවට එන්න පුලුවන් හැම පාරක්ම මට පොඩි කාලෙ වැහුණා..එකක් පාසලේ එකම ළමයෙකුට තැන දීම…අනික අපේ අම්මලගේ නොදැනුවත් කම…. ..මං උසස් පෙළට වාණිජ්‍ය කළා අවුරුද්දක්…….එපා වුණ නිසා ඒක නවත්තල කලා කළේ…..මං ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායිකාවක් වුණා…..ඒක නිසා මට පහු කාලිනව ඉස්කොලෙ ඇතුළෙ ජනප්‍රිය වෙන්න පුළුවන් වුණා..

මං ඔය කාලෙ තරුණ සේවා සභාවෙ ජනමාද්‍ය පාඨමාලාව ඉගෙන ගත්තා….ඒකෙ හිටපු වයස අඩුම ළමයා මම…ඒ වගේම වැඩිම ලකුණු ගත්ත ළමයත් මම……..ඉතින් මට සතුටු නැද්ද?…..උසස් පෙළ කළාම….මට රජයේ විශ්ව විද්‍යාලයකට යන්න ලකුණු තිබ්බ….ඒත් කලා උපාධියකින් අද ලංකාවෙ කරන්න පුලුවන් මොනවද?……ඒ නිසා මං අද ජනමාධ්‍ය ඉගෙන ගන්නවා…මට තාමත් අවුරුදු විස්සයි…..මට ගොඩාක් දුර යන්න ඕනෙ…..ඒක කරන්න පුළුවන් කියලා මට විශ්වාසයි…..පුංචි කාලෙ ඉදන්ම මං හීන ලෝක වල ජීවත් වෙන්න ආස කළා. අදටත් වෙනසක් නෑ.මං හිතපු ලෝකෙ නෙවේ මේ හැබෑ ලෝකේ පෙනෙන්න තියෙන්නෙ…ඒ නිසයි මං හීන ලෝකෙට කැමති…ඒත් මං යථාර්ථය හොයා ගන්න මහන්සි නොවෙනව නෙවේ…..මගේ පුංචි වයසට මට ගොඩාක් අත්දැකීම් තියෙනව…..ඒවා ඔක්කොම ටිකෙන් ටික කියන්නම්….හැබැයි ඉතින් මා එක්ක ඉන්න ඕනේ…








11/11/09

කේන්ති කාර සොහොයුරාට...











අද නොවැම්බර් 11...23 වැනිදා වෙනකල් මම ආසාවෙන් බලා ඉන්නවා...
මට හරිම ආඩම්බරයි....සතුටුයි...ඒ උනත් ඒක කියන්න මට එන්න බෑ...ඔයාගෙ හිතේ පුපුරු ගහන කේන්තියෙ තරම මං හොඳටම දන්නව..... ඒක දැන දැනත් ඇයි මං ඇවිත් ඔයාගෙ සතුට නැති කරන්නෙ... මං නෑවිත් ඉන්නෙ බැණුම් අහගන්න බයට නම් නෙවේ... වරදක් නැති හින්දා .. බැණුම් අහන්න පුලුවන්....එව මට අදාළ නෑනෙ..... පොඩි දේවල් ලොකුවට අරන්...අවුල් වුණ සමාජයක මං තවත් එක පුරුකක් විතරයි.... මගෙ අතින් වරදක් වුණත්, සමාව දෙන්න බැරි තරම් දරුණු දෙවල් මං කරල නෑ... පුංචි විහිළුවක් තේරුම් ගන්න අමාරු ගැහැණු ළමයි පිරිමි ළමයිව කුප්පන එක නොවෙන්න.... අදටත් මට මගෙ සහොදරය ඉන්නව.... කමක් නෑ.... බොරුවට ආයුස නෑ... මං මල දාක හරි ඇත්ත එළිවෙයි....ඒත් කවුරුවත් අඬන්න එපා ....මං අදටත් ඉන්නෙ සදාතනික සැනසීමක.... ඉස්සර මං පාළුවට කොයි තරම් බයද?... ඒත් දැන් එහෙම නෑ... මං හැම මොහොතෙම බැලුවෙ කාව හරි සතුටු කරන්න... මං හරියට විහිළු කලා...කාවවත්කොටවන්න නම් මට හිතිලා වත් නෑ.... මගේ ජාතියට බාසාවට නිගරු වෙන වචනයක් වත් මං පාවිච්චි කරල නෑ... ඒත් මං එහෙම කලා කියල මට අපහාස කරපු අය වැඩී...කමක් නෑ... මං පෑන අතට ගත්ත...මං දිනනවා..මං සන්තකව තියෙන හැම දෙයින්ම මං ඉදිරියට එනව....මං මේ මුළු ලෝකෙටම දවසක ආදරය කියා දෙනවා...එදාට ඔයා පිළිගනීවි...කවුද හරි කියලා..
හිනාවෙන මල් සුවඳ..
මිහිරකි
සද හද මඩලේ....
එදා වාගෙම
සිනා සල සල

රැඳී යන පාරේ....

පතන්නම්....

සදාකාලික ආසිරි....

නැගණියයි.....මා

හිතාදර ඔබගේ....






ආදර සුදු සීයා,......


ආදර සුදු සීයා,......
අසඩක්...

හිතේ තියෙන දේවල්

ඔක්කොම කොහොම කියන්නද??...

එළි වැටක් , තාලයක්..

හදවතට පේන්නවත් එන්නෙ නෑ....

සමා වෙන්න
ලස්සන කවියක් නොලිය වුනාට....

හත්තල සීයත් ගිය එකේ..

ඔයාට ඉන්න තිබ්බා සුදු සීයෙ....

මේක මහ නපුරු කාලයක්....

දයාබර හෙන් රි ජයසේන සීයෙ,,,...
බොහෝ දේ සිදු වු අතීතේ
වැලලෙන්ට පෙර අන්ධකරේ
පොළෝ තලයෙන් වැසුනු බිජුවට
නැගී එන සේ දිනෙක මතු කල
අන්ධකාරෙට අනාගතයේ
රැගෙන යාමට කතා පුවතක්
අන්ධකාරේ සිට කියනු මැන....

අදත් ඔබ අප හා සිටින්නේ
හෙටත් යළි අප දෙස බලන්නේ...
දෙවු ලොවේ සිට සිනා රැළි ගෙන
අපේ කදුලළි වැල් පිසින්නේ...

යන්න ඕනෙම නම් අපිව හැර
හිඳින්නෙමු අප ඔබ එනතුරා
යෙහෙන් ගොස් යළි එනුව යහතින්
මග නොමග දෙවු සරණ ලබමින්....

සර්......වෙනුවෙන්...සර්ගෙම කවියෙන් පුංචි උපහාරයක්.....







10/25/09

මාතෘකාවක් හිතට එන්නෙ නෑ

කවියක් ලියන්න කියලා මගෙ හිත කියනව....
මේ සුමානෙම කවියක් ලීවෙ නෙ...
එත් ලියන්නෙ මොකක් ගැනද? කා ගැනද?......
මං දැන් යනව.....
හෙට ගොඩක් වැඩ තියෙනව....
බලමුකො...
හිත බරයි.......................................
....................ඒත් ඇයි?

10/14/09

අපි දවසක


අපි දවසක අහසට යමු...
වලාකුළට කතා කරමු...

අපිත් එක්ක එන්න කියමු....
පොළොවට බැහැලා....

වියළී ගිය හැම හිතක්ම
වැස්සෙන් නාවා....





10/12/09

යාළු...................













මල් යායට පිණි වැහැලා

මල් වල නම් ටික මැකිලා

හිරු ඇවිත් පිණි කැකුළු

මකා දමන්නට කලියෙන්...

දෙදුන්නෙන් පාට අරන්

මලින් මලට නම් තියන්න

ආයෙත් එන්නකො යාළු..

ආයෙත් එන්නකො යාළු..
.




10/4/09

9/30/09

මගේ ගීය




ගී දහක්
තනන්නට,
රිද්මයක්
සොයන්නට
සිත
හුදකලාවෙම
ගව් සියක්
දුර ඇවිද්දා....
කඳු මුදුනකට
නගිනා
පවන් රැල්..
හෙලේ නලියන
මිහිදුම් පටල ඉරා..
මට තාලයක් කිවුවා....

මල් යායෙ...
විසිරුණු
පුංචි මල් පෙති
වදන් ලෙස පෙරැළී..,
පදවැලක් වුවා...
මං ගහ වැලට
ඒ තාල මුහු වුනු
සත්සරය ගැයුවා...

ගඟ රැළි දමා ඇඳි,
දුහුල් සළු ලෙලවා....
මගේ ගීයේ රිද්මයට නැටුවා..