Tuesday, February 14, 2012

ප්‍රේමය නම් කිමැයි කියා

24 මිතුරු නවාතැන



අද පෙබරවාරි 14 වෙනිදා.ආදරවන්තයින්ගේ දවස. අපි ආදරය කරන්න දන්නවාද? අපි ඒ ගැන කල්පනා කරන්න ඕනෙ.අපි ආදරය කියන්නෙ මොකටද? එය කායික බැඳීමක්ද? ආධ්‍යාත්මික බැඳීමක්ද? කායික බැඳීමකින් විනිර්මුක්ත අධ්‍යාත්මික බැඳීම් වල ප්‍රේමවන්තයන් සිටිද?අධ්‍යාත්මික බැඳීම් වලින් විනිර්මුක්ත කායික බැඳීම් තුළ ප්‍රේමය ගොඩ නැගේද?

මම සොයා ගත් කරුණු අනුව ආදරය නම් සොබාදහම විසින් වාර්ගික ප්‍රජනනය උදෙසා නිර්මාණය කළ ලිංගික කර්තව්‍යන් සඳහා පොළඹවා ගැනීමට කෙරෙන අන්‍යෝන්‍ය ආකර්ෂණයකි.සියලු සත්වයන් අතර ආදරය පවතී.නමුත් අවශ්‍ය සිද්ධියෙන් අනතුරුව එම ආදරය දිගුකාලීනව පවත්වා ගැනීමට තරම් මානසික ශක්තියක් සෙසු සත්වයින්ට නැත.

බුදුරජාණන් වහන්සේ ට අනුව බුද්ධ භාෂිතයට  ළඟාවිය හැකි එකම සත්වයා වූ හෙයින්ද, බයිබලයට අනුව උප්පත්ති කතාවේදී දෙවියන් වහන්සේ විසින් දේව ස්වරූපය දී මවන ලද්දා වූ සියල්ලේ භාරකාර අපූර්ව සත්වයා  වූ හෙයින්ද, අද දින විද්‍යාව නිර්මාණය කර එයින් තම වර්ගය පිළිබඳව කළ පරීක්ෂණ අනුව ලද්දා වූ නිගමන තුළින්ද,මානසික ශක්තියෙන් පිරිපුන්ම සත්වයා.එනම් මනසින් උසස් සත්වයා මිනිසාය.

දිගුකාලීනව මතකය පවත්වා ගැනීමට ඇති හැකියාව හා සාමූහික ජීවනය ට පුරුදු වීම තුළින් වෙනත් සත්වයින්ගේ ප්‍රධාන ම අංගය වූ ආහාර ගැනීම හා ලිංගික ක්‍රියාවලිය මිනිසාට අනු අංග පමණක් විය. පරිණාමය අනුව ලිංගිකත්වයට සංස්කෘතික මුහුණුවරක් ලබා දීම හා අධ්‍යාත්මික හැඩයක් ලබා දීම නිසා, ආදරය බිහිවන්නට ඇතැයි සිතිය හැක. එය සිදුවුනේ  හෝමෝ නියැන්ඩතාර් යුගයේ විය හැකියැයි අනුමාන කළ හැක..

කෙසේ නමුත් ආදරය පුදුමාකාරය. එය නොපෙනෙන දෙවියන්ගෙන් ලැබුණු මානසික තිළිණයක් විය හැකිය.එය ඉතා ප්‍රිය ජනක බව ඔබ දන්නවා ඇත. ආදරය සාහිත්‍යට හේතු භූත වූයේ..නාට්‍යකරණයට  ලක්වූයේ සියවස් ගණනකට එපිට සිටය. ආදරය ගැන ලංකා සිනමාවේ ලියවුණු වටිනාම ගී කිහිපයක්..ඔබට තිළිණ කරන්නේ මේ ආදරවන්තයින්ගේ දිනය ට සුභාවිත රසවින්දනයක්ද එක් කරනු කැමැත්තෙනි. විචාරයක් නොව රසවින්දනයක්ම පමණි.








Sunday, February 12, 2012

කවියක් ද මන්දා නයනා!!

18 මිතුරු නවාතැන
 
 
ජපානේ ඉඳලා
යන්නට මෙහෙ ආ
නොරිකො සං ලා
සරසවිය අල්ලලා
බොහෝ කල් වෙනවා..නයනා

අපි තාම එක වසරෙ
පාස් නොවු විභාගෙක
ගැලවෙන්ට නොහැකි ලෙස
හිර වෙලා කියලා
සාමා මට කිව්වා....

පස්සෙ අවුරුද්දේ
අලුත් පොත් වල යටවී
කඩල ගොටු අස්සේ
මම හෙළු කඳුලැල්
අනේ ඔබ දුටුවාද මන්දා

උසම අත්තට නැගලා
මම කඩා දුන් සල් මල
තවම නුඹෙ සුරෙතේ
තියෙනවද කියලා
එක වරක් කියපන් නයනා..

Friday, February 10, 2012

විස්ස විද්‍යාලං බාසං අති අලංකාරං

75 මිතුරු නවාතැන

දැන් ගොඩක් ගංගිලා මල්ලිලා කැම්පස් යන්න බලන් ඇති. මේ ලිපිය ඒ අය ඇතුළු කියවන්ව කැමති අනෙක් අයට.
එදා මෙදා තුර මානවයා සත්වයා අනෙක් සතුන්ගෙන් වෙනස් බවට පත්  වීමටත්, අසීමාන්තික විශිෂ්ටත්වයට පත්වීමටත් මූලිකම  හේතුව මානවයා සතුව තිබෙන භාෂා හැකියාව බව ඔබට මම මීට කලින් දවසක අපේ හෝඩිය ගැන කතා කරද්දි කීවා. ඒ අනුව මානව සංස්කෘතියේ මූලිකාංගය වන්නේ භාෂාව බව ඔබ පිළිගන්නවා කියලා සිතනවා. සොබා දහමින් ලැබුනු දේට පටහැනි ව මිනිසා විසින් එකතු කරන ලද,වෙනස් කරන ලද, භෞතික ආධ්‍යාත්මික දේවල් වලට තමයි අපි ලෝක සමස්තයක් කියලා කියන්නෙ. ඉතින් මේ මහා සංස්කෘතිය යටතේ යම් යම් උප සංස්කෘතින් දක්නට ලැබන වග ඔබ දන්නවා කියලා හිතනවා.අහලා හරි ඇති..

ඔබ නොදන්නවා නම්, උප සංස්කෘතියක් කියලා කියන්නෙ පොදු සංස්කෘතිය තුළ තිබෙන යම් අංග පිළිගන්නා අතරේ දී ම එයින් ඉතාම පැහැදිලි ව වෙනස් වෙච්චි සිරිත් විරිත් තවත් පැහැදිළි කළොත් නොයෙක් සම්ප‍්‍රදායන්ගෙන් යුක්ත වෙච්ච ජන කණ්ඩායමක හැසිරීම් රටාව”
 
ප්‍රදේශය, භූගෝලීය තත්වය, තමන් යෙදනෙ රැකියාව, වයස, ජනවාර්ගිකත්වය, දැනුම වගේ සමාජ කාරණා මත මෙම උපසංස්කෘතීන්  ඇතිවෙනවා. මෙම උප සංස්කෘති යටතේ ස්වභාවයෙන්ම උප භාෂාවකුත් ඇතිවේ. 

ප‍්‍රාදේශීය විවිධතාව අනුව සෑදෙන උප සංස්කෘතීන් වල ඒ ඒ ප්‍ර‍දේශයට ආවේණික උප භාෂාවක් තියෙනවා. 
මාතර  දිගාමඩුළු,මොනරාගල,බස්නාහිර,නුවර බස් වහර ඔබට දැනටමත් දන්න  හොඳ උදාහරණ සපයාවි.එයත් ඔබේ මතකයේ තබාගෙනම මෙම ලිපිය ඉදිරියට අපි කියවමු.

මේ ආකාරයෙන් ප්‍රසිද්ධ උප සංස්කෘති තියෙනවා.
 
  • විශ්ව විද්‍යාල උප සංස්කෘතිය
  • භික්ෂු උප සංස්කෘතිය
  • යාචක උප සංස්කෘතිය
  • රොඩී උප සංස්කෘතිය
  • බන්ධනාගාර උප සංස්කෘතිය
  • ත‍්‍රීරෝද රථ රියදුරු උප සංස්කෘතිය

ආදී උප සංස්කෘතීන් බොහෝමයක් අපට දැකිය හැක. 

විශ්ව විද්‍යාලය හා ඒ තුළ වෙසෙන ශිෂ්‍ය ශිෂ්‍යාවෝද බාහිර ලෝකයෙන් වෙන් වූ උප සංස්කෘතියකට අයත් පිරිසක් ලෙස ඒකරාශි වී ඉන්නවා. විශ්ව විද්‍යාලය ගත් කල එහි භාෂා විලාසය හා සිරිත් විරිත් සෙසු තැන්වලට වඩා වෙනස් ස්වරූපයක් ගන්නවා. අපේ රටේ විශ්ව විද්‍යාල උප සංස්කෘතිය නම් සමාජයේ වැඩි දෙනාගේ අවධානයට ලක් වූවක්

 මහා සංස්කෘතියෙන් වෙනස් වූ උප සංස්කෘතියක් ඇතිවීම කෙරේ බලපාන හේතු කිහිපය විශ්ව විද්‍යාල අනෙක් ඉහත කියපු උපසංස්කෘතීන් වලට වඩා බොහෝ සෙයින් සම්පූර්ණ කරලා කියෙනවා..
  •  බාහිර සමාජයෙන් වෙන් ව පැවතීම.
  • එකම භූමියක වාසය කිරීම.
  • එකම වයස් පරාසයක පිරිසක් වීම.
  • සමාන අධ්‍යාපන සුදුසුකම් ලැබූ පිරිසක් වීම.
  • සමාන කාර්යයන් හී නියැලීම.
  • සමාන ගැටළු වලට මුහණ දීම.

විශ්ව විද්‍යාලය තුල තියෙන්නෙ පරිමිත භාෂා ව්‍යවහාරයකි.එනම් සමාජයේ විශේෂ වූ කාර්යයන් කීපයක් සඳහා පමණක් යෙදෙන්නකි.බොහෝවිට ප‍්‍රාදේශීය විවිධත්වය ආරක්ෂා වීමටත්,බාහිර සමාජයෙන් වෙන්වීමේ තද අවශ්‍යතාවත් මේ සිසුන්ට තිබෙන නිසාත් මෙම විශ්ව විද්‍යාල භාෂාව ඇතිවී තිබෙන බව පැහැදිළියි..

ඒ අනුව විශ්ව විද්‍යාල තුළ ව්‍යවහාර වන භාෂාව පිළිබඳ කතා කරද්දී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතියට ම ඇතැම් වචන පොදු වෙනවා. සමහර වචන විශ්ව විද්‍යාලයෙන් විශ්ව විද්‍යාලයට වෙනස් වෙනවා.

පුද්ගල නාම

  • උප කුලපති - වීසී , වීසි කාරයා, වී සී මහප්පා
  • මහාචාර්යවරයා - ප්‍රොෆා
  • දේශකයා - ලෙචා
  • ක‍්‍රෑමා - නිතරම පාඩම් කරන්නා 
  • කොක්ක - පෙම්වතා හෝ පෙම්වතිය
  • ෆ්‍රෙෂාලා හා ෆ්‍රෙෂීලා-විශ්ව විද්‍යාලයට අලූතින් පැමිණෙන්නෝ 
  • බැචා හෝ බැචී-තමන්ගේ වසරේ සිටින සිසුවා හෝ සිසුවිය 
  • රූමා -  බෝඩිමේ හෝ නේවාසිකාගාරයේ තමා සමඟ එක කාමරයේ සිටින්නා
  • ආටා හා ආටී - කලා පීඨයේ සිටින්නන් 
  •  ඉංජා හා ඉංජී- ඉන්ජිනේරු පීඨයේ සිටින්නන්  
  • මෙඩ්ඩා හා මෙඩ්ඩී - වෛද්‍ය පීඨයේ සිටින්නන් 
  • ඩොකා හා ඩොකී- වෛද්‍යවරු  
  • සයනා හා සයනී- විද්‍යා පීඨයේ සිටින අය 
  • ඩෙන්ටා හා ඩෙන්ටී- දන්ත වෛද්‍ය පීඨයේ සිටින්නේ 
  • බැජ් ටොප්- විභාගයෙන් ඉහළින්ම සමත් වන පුද්ගලයා

ක්‍රෑම යනු පොදුවේ පාඩම් කිරීමට භාවිතා වන වචනය වේ

කැලණිය විශ්ව විද්‍යාලයේ ක‍්‍රෑම වර්ග 5ක් තිබෙන වග එහි අය පවසති.
 
  • ජංගම ක‍්‍රෑම - ඇවිදිමින් එක් තැනක නොසිට පාඩම් කිරීම
  • බොග ක‍්‍රෑම - වැසිකිලියට වී පාඩම් කිරීම
  • ජංගල් ක‍්‍රෑම - එළිමහනේ ගස් යටට වී පාඩම් කිරීම
  • ගරිල්ලා ක‍්‍රෑම - අන් අයගේ සටහන් සොරකම් කර පාඩම් කිරීම
  • මෙන්ඩිස් ක‍්‍රෑම - ආත්මාර්ථකාමී ලෙස අන් අයට උදව් නොකරමින් පාඩම් කිරීම   


පේරාදෙනිය සරසවියේ එක් එක් විෂයන්ටද නම් පවතී 
  • සමාජ විද්‍යාව - සමාජ රෝග.
  • මනෝ විද්‍යාව - පිස්සු විද්‍යාව.
  • දේශපාලන විද්‍යාව - බෙල්ල කැපීම.
  • ගණිතය - මීටර් අවුල් කිරීම.
  • ඉංග‍්‍රීසි - කඞ්ඩ.
  • දර්ශනය - පිස්සු දැක්ම.
  • ආර්ථික විද්‍යාව - හූරන් කෑම.

කුප්පි දානවා- විභාග ආසන්නයේදී දක්ෂ සිසුන් අනෙක් සිසුන්ට කරුණු කියාදීම
ගිරවා දානවා - කටපාඩම් කිරීම
මීටරය -සහජ දක්ෂතා මත විභාග පාස් වන්නන්
මෝටරය- කටපාඩම් කර විභාග සමත් වන්නන්
ඇණ ගැනීම - විභාගය අසමත් වීම හෝ පෙම්වතා පෙම්වතිය අතහැරීම
රිපීට් වීම - ඊ ළඟ වසරේ නැවත ලිවීමට සිදු වීම

මේ සියල්ල ඉතා සරලව මෙන්ම නිරන්තරයෙන් ම විශ්ව විද්‍යාල තුළ සිසුවෝ දැන ගත යුතු කාරණා ලස හැඳින්වේ . මේ වා නොදැන ගැනීමද විද්‍යාලය තුළ අපහසුවට ලක් වෙන කාරණා ය.

විශ්ව විද්‍යාලය තුල දේශපාලනය සම්බන්ධ උප භාෂාවක් තියෙනවා. විශ්ව විද්‍යාලය තුල ක‍්‍රියාත්මක වන සිසු දේශපාලනය මගින් ද යම් සුවිශේෂී වචන ප‍්‍රමාණයක් නිර්මාණය වී තිබෙන බවත් කිවයුතුයි..
 
විශ්ව විද්‍යාලයේ ජනතා විමුක්ති පෙරමුණේ ක‍්‍රියාකාරී සිසුන්  ජෙප්පෝ ලෙසත් විශ්ව විද්‍යාලයේ සාරධර්ම කඩකරන පුද්ගලයන් අල වැඩ කරන්න්නන් ලෙසත්, මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා මහා ශිෂ්‍යයා ලෙසත්, හඳුන්වනවා. මීට අමතරව සෙම් අලයෝ හා සෙම් ජෙප්පෝ ද සරසවිය ඇතළෙ අනන්නත ඉන්නවා.උන් එකම පක්ෂයකටවත් නිවැරදිව සම්බන්ධ වෙලා නෑ..හැබැයි ඒ ගැන කියවනවා...

 
විශ්ව විද්‍යාලය තුල නිදහසේ පේ‍්‍රම කිරීමට වෙන්වූ ස්ථාන තියෙන වග ඔබ දන්නවානෙ..මෙන්න ඒවා...
  • මල් පාර - පේරාදෙනිය සරසවිය
  • සිරීපාදේ - කොළඹ සරසවිය
  • සයිබීරියාව - කැලණිය සරසවිය
  • හන්ටින් ඒරියා - රජරට සරසවිය
විශ්ව විද්‍යාලය හැදින්වීමටත් නෙක නෙක නම් තියෙනවා.
කොළඹ විශ්ව විද්‍යාලයට තුම්මුල්ලේ මහා විද්‍යාලය
සබරගමුව විශ්ව විද්‍යාලයට බෙලිහුල් ඔය මහා විද්‍යාලය 
රුහුණු විශ්ව විද්‍යාලයට  හුලං කන්ද මහා විද්‍යාලය වගේ නම් තියෙනවා.

පේරාදෙනිය සරසවිය ඇතුළෙ සිසුන්ගේ මරණ ගෙදරකට සහභාගී වීම  කපකට යනවා කියලා තමා කියන්නෙ. සිසුන් කරන බරපතල වැරදි වලට සැඟවී සිට පහර දීම ට යකා ගහනවා කියලාත් කියනවා.
තරුණ තරුණියන් අන් අය සමඟ කතා නොකර ආඩම්බරයට සිටින කොට ගැට්ට හෝ ලොකු එක දානවා කියලා කියන අයම උන් වැරදිලා සිනහ වුණොත් කියන්නෙ පනාව දානවා කියලා.රැග් සීසන් එකේදීම කඩ දාන එක නතර කළත් පස්සෙ
ගාලූ කඩේ,මාතර කඩය,වැනි ඒ ඒ ප‍්‍රදේශ වලට සීමා වූ කඩසරසවිය ඇතුළෙ ඕනෙතරම්.



සරසවියට එන හැම කෙනාටම කාඩ් එකක් ලැබෙනවා.යමෙක් එයට අකමැති නම් එය වෙනස් කරගැනීමේ හැකියාවත් ජපුරෙ නම් තියෙනවා.අන් අයගේ හාස්‍යයට ලක්වෙන ලෙස හැසිරෙන්නන් ගොන් පාට් දමන්නන් ලෙසත් සාමූහික කාර්යයන්ගෙන් මගහැර තම පුද්ගලික කරුණු පමණක් ඉටුකර ගන්නා පුද්ගලයන්  අපතයන් අලයන් ලෙසත් මෙහෙි හඳුන්වනවා.
සරසවි ආපන ශාලාවෙන් අඩු මුදලක් ගෙවා කෑම පිගානක් ගැනීම අඩු කෑම ලස හැඳින්වෙන අතරම,
සරසවියේ ඇති මේ උප සංස්කෘතියට විරෝධය පාන සිසුන් මැඩ පැවැත්වීමට,මඩ පෝස්ටර් ගැසීම, බ‍්‍රහ්ම දණ්ඩනය,කුණු බකට් ගැසීම ආදී දේ අනන්ත වෙනවා. ජපුරට එන කිසිම ගැහැණු ළමයෙක් නම් ත්‍රී ක්වාට කලිසම් අඳින්නෙ නෑ..එහෙම වුණොත් බිත්තර නාවනවා.
විශ්ව විද්‍යාලය තුල අභ්‍යාස පංති භාරව සිටින කෙනා ”ටියුටා”ලෙස හඳුන්වන්නෙ.කොළඹ විශ්ව විද්‍යාලය තුල යමක් නිශ්චිතව පැවසීමකදී ”අනිවා ඩෙෆා” කියලා කියනවාමයි.
පේ‍්‍රමය සම්බන්ධ උපභාෂාවක් ද කැම්පස් ඇතුළෙ තියෙනවා. කොක්කක් කියන්නෙ ප්‍රේමයට වුණත් කොකු ගොඩක් කැම්පස්වල තියෙනවා.

1. බත් කොක්ක - රස බත් ගෙන එන කෙල්ලන්ගේ බත් එකට වහවැටීම නිසා පෙම් කිරීම.
2.නෝට් කොක්ක - ඉගෙනීමට දක්ෂ කෙනෙක් ගෙන් නෝට් ඉල්ලා ගැනීම පිණිස පේ‍්‍රම
                                සම්බන්ධයක් ඇති කරගැනීම.
3.සිරා කොක්ක - සැබෑ ආදරය නිසා පේ‍්‍රමයක් හර ගැනීම.
4 ආතල් කොක්ක - ලිංගික ආශාවන් උදෙසා වන පේ‍්‍රමය

මෙය කොළඹ විශ්ව විද්‍යාලයේ ”ගොඩ යාම” ලෙසද පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ”හිච් වෙනවා” කියලා තමා කියන්නෙ.. මේ ආකාරයට විශ්ව විද්‍යාල පද්ධතිය තුල වෙනම භාෂා ව්‍යවහාරයක් දක්නට ලැබෙනවා.
පේරාදෙනිය සරසවියේ නම් විවිධ පීඨයන් හැදින්වීම සඳහාත් නම් තියෙනවාලු.
  • පින්තූර කඩේ - ශාස්ත‍්‍ර පීඨය
  • මස්  කඩේ - වෛද්‍ය පීඨය
  • දත්  කඩේ - දන්ත වෛද්‍ය පීඨය
  • යකඩ  කඩේ - විද්‍යා පීඨය
  • බයිසිකල්  කඩේ - ඉන්ජිනේරු පීඨය
  • මඩ කඩේ- කෘෂි විද්‍යා පීඨය

"හැන්ඩියට කෙල්ලො නෑ රූමන්ට ඇදන් නෑ  බ‍්‍රයිටන්ට ක්ලාස් නෑ" කියල කැම්පස් එකේ ප්‍රසිද්ද කියමනක් තියෙනවා. ඔහොම ගොඩක් තියෙනවා.



මේ උප බස තරම් ලංකාව ඇතුළෙ බැනුම් අහපු බසක් තියේ නම් ඒ ත්‍රීවිල් බස විතරයි. ඉතින් මේ කරුණු ඔබේ දැනුමට වැදගත් වුණා නේද? ඔබට වැදගත් යැයි හිතෙන වීඩියෝ කීපයක් දෙන්නත් මම හිතුවා.
ජපුර ගැන බොහෝ විස්තර මෙහි තියෙනවා.වීඩියෝව හරි නෑ. නමුත් විස්තරය හොඳයි.


 
මේ තියෙන්නෙ ප්‍රසිද්ධ සරසවි කීපයක සරසවි ගී.
ජපුර සරසවි ගීය

පේරාදෙණිය සරසවි ගීය
ඌව වෙල්ලස්ස සරසවි ගීය 

වයඹ සරසවි ගීය
රුහුණ සරසවි ගීය


ඔබ දන්න තව තොරතුරුත් තියෙනවා නම් සටහන් කරන්න. මේ සියල්ල, අන්තර්ජාලෙන් හා අත්දැකීමෙන්.

Saturday, February 4, 2012

යහපත් ආකල්ප සඳහා ඇබෑර්තු ඇත

26 මිතුරු නවාතැන


අන්ධකාරෙන් දහස් වසරෙක
මෝහයෙන් තව දහස් වසරෙක
මානයෙන් යළි පන්සියක් කල්
වසා සෑඟ වු මුත් කුවේණිය,

සැබැවින්ම ලිපිය ආරම්භ විය යුත්තේ කුවණ්ණා ගෙනි. ඇය දැනට හමු වී ඇති ජන ඓතිහාසික මුලාශ්‍ර වලට අනුව රාවණා ගේ මිණිපිරියක් බව ප්‍රකාශිතය. අපට සියලුම ලිඛිත ඓතිහාසික වාර්තා හමුවන්නේ කුවණ්නාගේ සිටය. මහාවංශය (බුද්ධ වංශය) සැමවිටම වරදක් කර ඇති වග ඔබ නොදන්නවා විය හැකිය. එනම් එවක රජයට (මාධ්‍යක් ලෙස) අති පාක්ෂික බවක් දැක්වීමයි. එහි වරද කෙසේ වෙතත්, එමගින් ඉතිහාස ගත විය යුතු බොහෝ කරුණු අතුරුදහන් කර ඇති වග අකමැතිව වුව අපට පිළි ගැනීමට සිදුවේ. කුවණ්ණා වශිකෘත වූ හෝ වශී කර ගත්තා වූ විජය දරු දෙදෙනෙකුට පීතෘත්වය ලබා දී ඔවුන් අනාථ කර දැමූ වගද, විජායි නම් ඉන්දියානු ස්ත්‍රිය රාජත්වය පිණිස විවාහ කොට ගෙන දරුවන් නොමැති වූ වගත් මහාවංශය දුක සඟවාගෙන සටහන් කර ඇත.

මුලින්ම වරද්දා ගත්තේ කුවණ්ණාය. විජයට රජකම දීම සඳහා සමූලඝාතන තැතක් (ආදරය හා යුද්ධය යන ද්විත්වයේ දී සියලු අපරාධ සාධාරණීකරණය කළහැකිය.) ගත් ඇය මා සලකන්නෙ දන්නා ඉතිහාසයේ පළමුවන පාවා දෙන්නිය ලෙසයි. ඇගෙන් පසු යක් පරපුරට ,එනම් හෙල පරපුරට අයිති වූ මේ සිහල දීපය . සිංහ ගොත්තන් හට අයත් විය. නැවත වරක් යක් සිහ පරපුර සමාදාන වන්නේ පණ්ඩුකාභය කැරැල්ලෙන් පසුවය. (මමත් අදහන සත්‍යක් නම්...එක්ටැම් ගෙට පිටින් ආ අය නිත්‍යානුකූල පියවරු වෙද්දී..නියමිත ශුකාණුව භාරකරුගේ වීමේ සම්භාවිතා වැඩිය යන්නය.) ඉතිහාසය අකමැත්තෙන් අත් හළ කොටසක් විය හැකිය.

අනතුරුව වසර 60ක් රජ කර බුදු දහමට වට පිට සකසා කලුරිය කළ මුටසීව රජ ගැන පිටු භාගයට ලඝු කොට ... පුත් දේවානම් පියතිස්ස ගැන පරිච්ඡේද ගණන් ලියා වර්ණ ලබාදුන් මහ වංශයට අනුව හා අනෙක් මුලාශ්‍ර වලට අනුව දේවානම් පියතිස්ස ගේ සොයුරු අසේල ට පසු මෙරට ප්‍රථම සොළී ආක්‍රමණය සිදු වී ඇත.

ගැමුණු රජ ද පියාගේ ව්‍යායාමය තුළින් බොහෝ වර්ණ ලාභී පුතෙකු (ඔහු වීරයෙකි) වූ වග මහාවංශය සඟවද්දී ඉතිහාසය දශක කීපයක් නිරවුල්ව ගමනේ යෙදී ඇත.

ආක්‍රමණ බර ගණනක ගොදුරක් වූ රටේ ඉතිහාසය අනුරපුර යුගයෙන් පසු පුලතිසිපුර දී ජාම බේරා ගත් නමුත් ඉන් පසු සාර්ථකත්වයට වඩා අසාර්ථක වූ වාර ගණන වැඩිය. (මේ පද ටික පරණ කැසට් පටයකින් හමු වූ එකකි. ගයන්නේ කටහඬ අනුව නම් දීපිකා ප්‍රියදර්ශණි මහත්මිය විය යුතුය.) මේ කවි පෙළ
ඡේද ගණනාවකට වඩා ප්‍රබල හෙයින් එය දක්වමි.

 යුද හරඹ, බල හරඹ
වැට කඩුළු කඩා බිඳ
ඉන්පසුව මගේ ගත
කොටස් කර බෙදාගෙන

ගම්පළින්,කෝට්ටෙන්
නුවර සීතාවකින්
රජ පදවි මාරු විය
උනුන් ඇන කොටාගෙන

සොළි කේරළ පාඬි
දෙමළ හා පෘතුගීසි
ලන්දේසි පසුපසින්
හඹා ආ ඉංග්‍රිසී

වරින් වර මෙහි පැමිණ
සටන් කළ හැම විටම
අපේ අසමගිය තුළ
ලබාගෙන ඇත වාසි

සිංහලේ අවසාන 
රජු විලස බුහුමනින්
පුදලැබූ රාජසිහ 
රජතුමා එළවමින්

ඉංගීරිසින් අතට
මාව පවරා දෙමින්
දැන නොදැන හෝ වැරදි
කළා සමහර දනන්..

1815 මාර්තු 18 වනදා කන්ද බන්දේසියේ තබා දුන් මුත්තන් ගැන මහා ලැජ්ජාවක් ඇතත්,එය හදා ගනීමට උත්සාහ කළවුන්ගේ පරපුරත් එයම වන බැවින් අකමැත්තෙන් වුව හැඟීම් නිෂප්‍රභ විය යුතුය. මාතලේ, සෙංකඩගල තෑග්ගක් විලස අතට දුන්නාම මිස ඉංග්‍රීසින්ට ලෙහෙසියෙන් අල්ලා ගත නොහැකි දේශයන් වි තිබිණි.

1848 පුරන් අප්පු දෙවියෙක් සේ කන්දට වැඩ, අවි සටන් කොට , රට බේරා ගනු නොහී නමුදු අභීතව ඉංග්‍රීසින් අතින් සුර ලොවට ප්‍රදුර්භූත වන්නේ ද අසමගි සිංහලයාට අනුකම්පා කරමින්ය.
අද වනවිට වීරයන් භාගත කරන සමාජයක ජීවත් වන අප මේ ගැන අමතක කර ඇති වග අකමැත්තෙන් වුව පිළිගත යුත්තේමය.

ඉන්  සියවසකට පසු, ඉන්දියාවට නිදහස ලබා දුන් පසු ද, අලියා නැති තැන හෙණ්ඩු කුමටදැයි සිතූ මහා රාජිණිය අපට නිදහස තෑගි දුන් නමුත්, 1972 වනතුරු අපව පැහැදිළිව රවටා ඇති වග ඔබ දන්නවා ඇත. ඉන් පසුව වුවද අපේ රටට උදා වුයේ යහපත් කාල පරිච්ඡේදයක් නොවන වග ජීවත් වූ අයට මතක ඇත.පසු උපන් උන් අසා ඇත. දකුණේ තුරුණු විරෝධයකින් අනතුරුව නැගුණු උතුරේ තුරුණු විරෝධය ජාතිබේදය යන ප්‍රබල වචනය නිසා වසර 30ක් ම රටක් ලෙස වන්දි ගෙවීමට අපට සිදුවූ බව ඔබට මතක ඇත. ඒ දශක තුන හා මේ අකුරු අමුණන මොහොත තුළද නොදන්නා නොසිතන,එක්කෝ පෙනෙන හඬක් නොනැගෙන, නැත්තම් බිය නිසා වසන් කරගත් සමහර විදෙස් කූට බලපෑම් අප වටා ක්‍රියාත්මක වේ. අද වන විට බුදු දහම ද දේශපාලනීකරණය වී ඇති ආකාරය හා සන්සන්දනයේදී ඊට වඩා සිය ගුණයක් එදා ටිබෙට් මහින්ද හිමිගෙ දේශපාලනය ජාතිවාතසල්‍යෙයන් පිරිපුන් වග මඟේ හැඟිමයි.

සහන ලැබෙන තුරු ලංකා දීපය            ට
ගහන ගැහිලි හමුවෙහි සිහ වෙසින් සි     ට
නහන රැපුන් නඟමින් යමි ඉදිරිය          ට
මහණ කමත් බණ දහමත් එයයි ම        ට


අද වනවිට නොදැනී නොදැනී අපි යළිත් ආක්‍රමණය වෙමින් සිටිමු. උතුරේ යුද්ධය භෞමිකව හා නාමිකව අවසන් ය. එහෙත් හදවත් තුළ තවම ගිනි අඟුරු නැතිවා නොවේ.. අඟරු දැවෙන විට මතුවන ගින්න නිවීම අපහසුය.යුද්ධය සිත් වලින් අවසන් කිරීමට කිසිම දවසක අපට ජාත්‍යන්තරය ඉඩක් නොදෙන වග අප තේරුම් ගත යුතු සත්‍යතාව වෙයි.හොද්ද බොර කර ඒ බොර දියේ මාළුන් සොයනා උන් අද සමාජයේ බොහෝ සිටිති.

සාගර පළන්සූරිය මහත්තයා ගෙ උතුරෙන් කව් පන්ති‍යෙ අවසන් කවි දෙක මම මෙහෙම සටහන් කරන්නෙ...මේ කවි වල විය යුත්ත පැහැදිළිව දක්වා ඇති නිසාය.

මිනිසා වෙතින් මිනිහා වෙන් කරන         රිසින්
බැඳ ඇත පවුරු පදනම් කිසි කෙනෙකු    විසින්
ඒවා කඩා බිඳගෙන එහි පිරුණු              පසින්
පාලම බැඳෙනු ඇත දවසක උතුරු        දෙසින්

පැයක දි එකට හමුවන දුර ඇත              දෙතැන
මෙය වෙන් කරනු හැකි කිසිවෙකු වෙද     කොතැන
සුරුට්ටුවට එක් වී උතුරේ                         ඔතන
බේදය පිළිස්සී හමු වේවා                        දකුණ

හෙට එළිදකින පුරන් අප්පු මුද්දරය මුද්දරයකට පමණක් සීමා නොකොට, කොඩියට , ගීයට ජාතික දිනයට ජාතික හැඟීම සීමා නොකොට රට වෙනුවෙන් සංවර්ධනයට උරදිය හැකි, ආකල්පමය වෙනසක් ඇති ප්‍රජාවක් බිහි කිරීමට ලංකාව වෑයම් කළ යුතු කාලයයි මේ. ඉතිහාසය කෙතරම් ස්වර්ණ මතක වලින් ගහණ වුවද, වර්තමානය සකසන අය අනුව අනාගතයේ ඉතිහාසය නිර්මාණය වන වග අප මතක තබා ගත යුතුය. සාහිත්‍යට කලාවට තාක්ෂණයට හා මිනිසාට සේවය කිරීමට ඇල්මක් තිබෙන සුභාවිත පරපුරකට නව ආකල්ප තුළින් දීන බව නැති කළොත් යා නොහැකි යහ සංවර්ධනයක් නැත.. සංවර්ධනය අප එනතුරු බලා සිටින වග සිහි තබා ගන්න.

ඇමරිකාව ,ඉන්දියාව ,වීනය වපර ඇස් වලින් සිනා සෙන්නේ කුමකටදැයි අප ට තවමත් ගැටලුය..සමහරවිට මේ සංවර්ධනය තවත් වසර ගණනක දී ඵල සහිත විය හැකි ය. නමුත් එය අද සිටම වේගවත් නොකළොත් අපි පසු පස්සේ තබා ලෝකය බොහෝ ඉදිරියට ගොස් සිටිය හැකියි.

අප නිදහසෙන් පසු වසර 64ක දී උපරිම ප්‍රයෝජන ගෙන නැත. නිදහසේ සියවස සමරන දිනට තව වසර 36 ක් අනාගතයට, හොඳ ඉලක්කයක් ලබා ගතහොත්, අපට අප රට යහ සංවර්ධනයකින් ලොව බැබළවීමට හැකි වනු ඇත. බතින් පිරි රටක්,දැනුමෙන් පිරි රටක්,තෘප්තියෙන් පිරි රටක්,යුද්ධ නැති රටක්,දිළිඳුන් අඩු රටක්, ලොවක් පිළිගන්නා රටක්,මිනිසුන් ආදරය කරන රටක්, රටට රටම ආදරය කරන රටක් අපට තැනිය හැකි නම්,එදිනට අප සමරන්නේ සැබෑම නිදහස යි.

මිනිසුන් නිදහසේ හිතන,නිදහස දකින රටකට අපේ රට ගෙන යන්න අපි පමා නෑ.
කෝ රාවණ ජාන? කෝ පුරන් අප්පු දරුවො? කෝ කැප්පෙටිපොළ ලේ? තව කල් නෑ මිතුරනි, යහ ආකල්ප සඳහා බොහෝ ඇබෑර්තු ඇත. ලක් මව යළි නින්දෙන් නැගිටවිය යුතු හොඳම කාලය පැමිණ තිබේ.


මුළු වැර යොදා වැඩ කරතොත් ඇතිව     සිත
පුළුවනි අපට බිඳුමට ලොකු අයගෙ           මැත
කුළු ගෙඩි පහර එක පිට එක හෙළන         මත
පළු පළු නොවන කොරසැඩි කළු ගලක්     නැත