මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

9/28/17

-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්"

12 11 10 වැලිකඩ කියවූ පසු ලියමි.
සංස්කෘතිය ආරම්භ වූයේ, තමා තනිව අල්ලා ගත් ගොදුර , ගිල දැමීමට පෙර සිය සමූහය සමඟ බෙදා ගත යුතු යැයි තීරණය කළ පළමු මානවයාගෙනි. එදා සිට අද දක්වා යුග ගණනක්, ගෙවා කාලයද සංස්කෘතියද ඉදිරියට පැමිණ ඇත. අද එම සංස්කෘතිය යනු ආර්ථිකය, දේශපාලනය හා තාක්ෂණය දරා හිඳින වේදිකාවකි. සංස්කෘතිය ගොඩ නැගෙන්නේ සමාජ තලය මතයි. සමාජය නිර්මාණය වන්නේ පොදු එකඟතා සමූහයකිනි. මේ පොඳු එකඟතාවන් බිඳින යමෙක් වේද ඔහු සමාජයෙන් බහිස්කරනය කිරීම සඳහා යුගය අනුව ක්‍රමයක් සොයා ගැනුණි. එය සැම විටම අවාසනාවන්ත වූ ද, කටුක වූද එකක් විය. කෙසේ වෙතත් උපරිමයෙන් බහිස්කරනය කිරීම ඝාතනය විය. මෙය සෑම රටකටම, සෑම යුගයකදීම අප දන්නා ඉතිහාසයේ පොදු කරුණකි. එහෙත් සංස්කෘතිය විසින් කට වහර තුළ එන හිර ගෙවල්, එසේත් නැති නම් ව්‍යක්ත වහරේ "බන්ධනාගාර " නිර්මාණය කළේ වෙනත් අරමුණක් සිහි තබාගෙනය. සමාජයට නොගැලපෙන යමෙක් වේද ඔහු පුනුරුත්ථාපනය කොට නැවත සමාජයට අවශ්‍ය අයෙක් බවට පත් කිරීම බන්ධනාගාර වල අරමුණ විය. එබැවින් වැලිකඩ හිරගෙදර, අපි නිතර පාසල් ආ ගිය සිරිධම්ම මාවත අද්දරට මුහුණ ලූ කොටසේ... "සිරකරුවෝ ද මනුෂ්‍ය යෝ ය." යැයි සටහනක් විය. එහෙත් ගැටුම පැන නගින්නේ මෙතැනිනි. අප සිරකරුවෝ මිනිස් හැඟීම් සහිත අය බව සිතන්නට මැළිවන්නට පටන් ගන්නා තැනිනි. ඔවුන්ට සිදු වුණ අසාධාරණ කම් අප අමතක කරන්නට පටන් ගත් තැනිනි. බල්ලන්ට පූසන්නට ප්‍රේම කරන අපි මිනිසුන්ට ප්‍රේම කිරීම අතපසු කරගත් තැනිනි. එහෙත් එය අතපසු නොකළ කෙනෙක් විය.
2011 වසරේ දින සති මාස අමතක දවසක, මහරගම රාවය කාර්යාලයට තරුණයෙක් පැමිණියේය. මා ඊට පෙර ඔහු දැක තිබුණේ එක වරක් පමණි. ඒ ජනමාධ්‍ය විද්‍යාලයේ ප්‍රවේශ විභාග දින ප්‍රශ්න පත්‍ර බෙදද්දීය. රාවයේ එදා තිබූ මේස සැකැස්ම දැන් එතරම් මතක නැත. කෙසේ වෙතත් මේ තරුණයා මුල් වරට ඉඳගත් තැන අසල සිටි අපේ මිත්‍රයා ලන්ච් එකේදි ඔහු පිළිබඳව පළමු ප්‍රතිචාරය දුන්නේය.
" ඌ මහ පණ්ඩිත කොල්ලෙක්"

මට රාවය බොහෝ සෙයින් මඟහැරුණි. එහි සගයන්ද යම්තාක් දුරකට මඟ හැරිණි. පණ්ඩිත කොල්ලා මිතුරෙක් වීමටත් පෙරම සම්පූර්ණයෙන්ම මඟ හැරිණි.
12-11-10 වැලිකඩ කෘතිය ලියන ලද්දේ අන්න ඒ පණ්ඩිත කොල්ලා විසිනි.
ඔහු නමින් කසුන් පුස්සෙවෙල නම් විය.
පුර්විකවකින් හා පරිච්ඡේද 42 ක් අතුළු කළ මුළු කෘතිය පුරාම සෑම දෘෂ්ටියකින්ම නිරවද්‍යම සත්‍ය නිරූපණය කිරීමට කසුන් මහත් වෙහෙසක් දරා ඇත. ඔහු 2012 වසරේ සිටම ඒ සඳහා බොහෝ මහන්සි වන්නට ඇත. මේ කෘතිය තුළ ට ඔහු කැප කළ පරිශ්‍රමය කර්තෘ භාගයකින් ලබන සෑහිමට එහා ගිය උත්තරීතර ආත්ම තෘප්තියක් වනු ඇත.
ලොව අසාධාරණය උපරිමයට රජ කරන යුගයක, උපරිම වාරණයට ලක් වූ මිනිසුන් ගැන මුව සොලවන්නටවත් බිය වූ මිනිස් කැල ළඟ, දෙවියන් දෙවොලේ පහන් හොරකම් කරන වග හඬ නගා කීමට සමත් අය ඉපදීම, භයානක භාග්‍යකි. මේ යුගය තවමත් සම්පූර්ණයෙන් කේතුමතියකට පෙරළි නොමැති අන්ධකාර සමයකි. එහෙත් මිනිසුන් නොදුටු, මිනිසුන් යම් දිනක දැනගත යුතු, සත්‍ය හෙළි කිරීම කළ යුතුවම පවතින යුගයකි. මේ යුගයට අනුව ධර්මය කුමක් දැයි මම නිවැරදිව පැවසීමට නොදනිමි. එහෙත් යම් ධර්මයක් පවතීද එය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා, සෑම යුගයක්ම, සෑම දේශයකටම මිනිසුන් ලබා දෙයි. ඒ ස්වභාව ධර්මයේ රීතියයි.
නීතිය යනු කුමක්ද? බන්ධනාගාරයක උපරිමය කුමක්ද? සිදු වූයේ කුමක්ද? අපට පෙන්වූයේ කුමක්ද? ආදී බොහෝ ගැටලු සහ පිළිතුරු මේ කෘතියේ අකුරු අතර වෙයි. ලංකාවේ මෙතෙක් ජීවත් වූ සෑම අයෙක්ම ඒ ලේ ගලන ලද වියරුවේ කතන්දරය දැනගත යුතුයි. කියවිය යුතුයි. මේ කෘතිය හුදු කතන්දරයක් හෝ වාර්තාවක් නොවන, සත්‍ය සිදුවීම් ඇඟට දැනෙන්නට ලියූ සටහනකි. සමාජයට ප්‍රේම කරන මිනිසා නිර්මාණය කිරීමට ජනමාධ්‍යවේදීන් අතින් මෙවන් දෑ උත්ථානය නොවේ නම්, අනාගතය තවත් බියකරු බවට පත්වනු නොඅනුමානය. මේ සමාජය අප්‍රමාණ අධර්මයෙන් ගොඩ නැගුනකි. ධර්මය පිහිටුවන්නට ආයෙ ක්‍රිෂ්ණා නොඑන වග අප සැවොම දන්නා නිසා සත්‍ය හෙළිදරව් කරන්නන්, සාධාරණත්වය පහදා දෙන්නන්, යුක්තිය පෙන්වා දෙන්නන් ආරක්ෂා කිරීම, සත්‍ය සාධාරණය යුක්තිය දැකීම පිළිබඳව ඇති නොතිත් ආශාවට නොදෙවෙනි කළ යුතු සාධකයකි.
...ධර්ම සංස්ථාපනාර්ථාය
සම්බවාමි යුගේ යුගේ......


-301- අපි අපි වගේ වෙමු.

මගෙ හොඳම යහළුවන්ගෙන් කෙනෙකුට උපන්දිනයට සුබ පතන්න මං පහුගිය අගොස්තුවෙ ඔහුට දුරකථන ඇමතුමක් ගත්තා. “ කොහොමද දන්නෙ, අද මගෙ උපන්දිනේ කියලා. මං ෆේස්බුක් එකෙනුත් උපන්දිනේ අයින් කළානෙ.“ 
ඔහු එක් වරම එහෙම පැවසුවා. 

සමාජ ජල වල තමන්ගෙ පුද්ගලික තොරතුරු නිරන්තරයෙන් එහා මෙහා සංසරණය වීම තවදුරටත් අනුවණ ක්‍රියාවක් යැයි සිතූ මගේ මිත්‍රයා සියල්ල ඉන් සඟවා තබන්න කටයුතු කරලා තිබ්බා. අපි අපේ සබඳතා කොයි තරම් දුරට සමාජ ජාල කරණය කරගෙන තියෙනවාද කියලා දැනෙන්නෙ මේ වගේ දෙබස් වලින්. අපි ෆේස් බුක් එකෙන්, ට්විටරෙන්, ඉන්ස්ටර්ග්‍රෑම් සහ ජී ප්ලස් වලින් අපේ තොරතුරු සැඟෙව්වාම සියලු දෙනාටම අපේ තොරතුරු සහ අපිව අමතක වෙලා යාවි කියලා අපේ හිතට සිතිවිල්ලක් එන්න තරමට අපි සමාජ ජාලෙට ඇබ්බැහි වෙලා.. හැබෑටම වෙන්නෙ ඒ විදිහටම නොවුණත්, අපේ හිත් ඒ විදිහට කාලයක් මුළුල්ලේ හැඩ ගැහිලාෙ. මෙහෙම වෙලා තියෙන්නෙ සැබෑ ජීවිතය සහ තත්‍ය අවකාශය එකක් කරගෙන අපි ජීවත අපි ඇදං යන්න පුරුදු වෙලා තියෙන හින්දාමයි.

මේ කාරණාව තහවුරු කරන්න ඔබට කියන්න මට තවත් සිද්දියක් තියෙනවා. මේ ළඟදි මගෙ හිතවන්තයෙකුගෙ ස්ටුඩියෝවකට, මං මුද්‍රණ කටයුත්තකට එහි සිටින අල්ල පනල්ලෙ තරුණ යුවලක් ආවා. ඔවුන්ට අවශ්‍ය කළේ තමන්ගෙ විවාහ දිනය සහ ඒ අදාළ කටයුතු ඡායාරූප ගත කරගන්න. මගේ මිත්‍රයාගෙ පින්තූර ගැන කල් ඉඳන්ම දැකලා හිතේ තබා ගත්ත රෙකමදාරුවකින් අනතුරුව ඔවුන් පැමිණි නිසා, ඔවුන් පැරණි ඇල්බම් ඇරලා බලන්නවත් වද වුණේ නෑ. ඉතින් මගේ මිත්‍රයා ඔහු ගාව තියෙන එක එක ආකාරයේ පැකේජ ටික ඒ දෙන්නාට පෙන්නුවේ, මිල ගණන් දැනුවත් කිරීමටයි. ඒත් යුවල එතරම් සතුටු බවක් පෙන්නුවේ නෑ. අන්තිමේදි දෙන්නා ටිකක් එකෙල මෙකෙල වෙද්දි මගේ මිත්‍රයා ඔවුන්ට තව දුරටත් අවශ්‍ය මොනවාදැයි විමසුවා. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ විවාහය දින හවසම ස්තූති පත්‍රිකාවට අමතරව ඔවුන්ගේ පින්තූර කිහිපයක සොෆ්ට් කොපි ලබා ගැනීමට බව අනතුරුව මනාලිය පැවසුවා. ඒ අවශ්‍යතාවය මගෙ මිත්‍රයාට එකවර තේරුම් ගන්න බැරි වුණාට, මට නම් තේරුම් ගියා. ඇල්බම් සීයක් ගෙදර තිබ්බත්, දැන් ඒවායෙන් ඒ තරම් පලක් නෑ. ෆේස්බුක් එකට, ඉන්ස්ටා එකට පින්තූරයක් දෙකක්ද එදා හවසම දමා ගන්න බැරි වුණොත්, එයයි විශාලම අඩුපාඩුව වන්නේ.

කොටින්ම කෙනෙක්ට සුබ පතද්දි දැන් ඉස්සර වගේ උපන්දින සුබපැතුම් පත් යවන්නෙම නැති තරම්. ඉස්සර ඉඩ කඩ ඇති වෙලාවට දවස් කිහිපයක් පුරා සීරුමාරුවට උපන්දින සුබ පැතුම් නිර්මාණය කරලා, අපි උපන්දිනේ අයිති කාරයාට එය තෑගි කරනවා. ඒත් අද පින්තූරයක් සමාජ ජාලට අප්ලෝඩ් කළාම හොඳටම ඇති. සුබ පැතුම් පතක් කෙනෙක්ට යැව්වත්  එයට වැඩි වලංගු බවක් ලැබෙන්නෙ, එ් සුබ පැතුම්පතේ පින්තූරය සමාජ ජාලෙක ගියොතින් විතරයි. ඉතිං වැරදීමකින් හරි කවුරු හරි සමාජ ජාලයකට, තමන්ට ලැබුණු කිසි තෑග්ගක, කාඩ්පතක පින්තූර දාලා නැත්තම් ඔහු හෝ ඇය අන් අයගෙන් කිසිවක් නොලබන, සමාජයේ කෙළවරකට වූ කෙනෙක් ලෙස අපිට හිතෙන්න පටන් ගන්නවා. ඒ සමාජජාල සංස්කෘතිය දැන් සමාමාන්‍යකරණය වෙලා නිසයි.

තමන්ගෙ සැමියා දරුවා එක්ක එකට ට්‍රිප් ගිහිං , යාළු මිත්‍රයන්ගෙ පාටි වලට ගිහිං, ගෙදර එක එක විදිහට සිටිමින්, කෑම පිඟන් සමඟ, මල් පෝච්චි සමඟ පින්තූර අප්ලෝඩ් නොකරන විවාහක කාන්තාවකගෙ ජීවිතේ ප්‍රශ්න වලින් පිරුණු, කටුක, අසුන්දර එකක් වෙන්නැති  කියලා ඇගේ යහළුවන්ට හිතෙන්න ගන්නවා. සතුට මනින්නෙ පින්තූර වල තරමින්.

ඡායාරූප වල පෙම්වතෙක් පෙම්වතියක් නොපෙනෙන, සෑම ගැහැණු ළමයෙකුටම, සෑම පිරිමි ළමයෙකුටම පෙම්වතෙක් හෝ පෙම්වතියක් නැතිව ඇති කියලා හුඟක් දෙනා හිතන්න ගන්නවා. කලින් කිව්ව විදිහට මේ නිසාම පුද්ගලික ජීවිත අනිසි ලෙස සමාජගත වීමේ ගැටලුව නිසා තමන්ට අදාල නොවී එහෙත්, තමන්ව බලපෑමකට ලක් කළ හැකි ව්‍යාකූලතා සමුදායකට අද තරුණ පරපුර මුහුණ පානවා.

අපි ජෙනරේෂන් විදිහට බෙදා දක්වුවොත් යුගය  මේ බලපෑමෙන් න්‍යායාත්මකව මිදිලා ඉන්නවා. ඒ අය ඩිජිටල් යුගය වැළඳ ගන්න ටිකක් විතර කම්මැලි නිසා.  Y පරපුර තමයි මේ බලපෑමේ, නිර්මාතෘවරු විදිහට සලකන්න පුළුවන්. ඒ කියන්නෙ අපේ පරම්පරාව. Z පරපුර නම්, සමාජජලා ඇතුළෙම බිහිවුණ නිසා ඒ අයට පුද්ගලිකත්වය සහ සමාජීයත්වය පිළිබඳ විශාල ප්‍රශ්නයක් නැති පාටයි. ඉන්පසුව බිහිවෙන පරම්පරාවල් වලටත් මේ සමාජජාලකරණය සාමාන්‍යයක්ම වේවි. ඒත් y පරපුරේ අපි තුළ තවමත්  පැරණි වටිනාකම් වලටත් ආශාවන් තියෙන නිසා අලුත් වටිනාකම් වැළඳ ගනිද්දි ඝට්ටනයක් මතු වෙන එක ඉතාම සාමාන්‍යයි.

ඔබේ පරපුරේ අනෙක් අය, ඔබේ සමාජ ජාල ක්‍රියාකාරකම් හරහා ඔබව මනිනවා නම්, ඉන් මානසික බලපෑමකට කල් නොවී සිටින්නට උත්සාහ කිරීමයි ඔබ කළ යුත්තේ. එවිට ඔබට අනෙක් අය වගේ වීමට වෙර දරන කාලය වගේම අනෙක් අයගෙ සිත් පුහු ලෙස සතුටු කරවීමට ඔබ ඔබේ සතුටෙන් කැප කරන වටිනා කාලය ඉතිරි කරගත හැකි වේවි. ඒත් ඔබ කැමති සහ ඔබ සතුටු වන්නේ ප්‍රදර්ශනකාරී ලෝකයට නම්, අනෙක් අය විදිහටම ජීවත් වීමට නම්, එය ඔබව සතුටට පත් කරනවා නම්, ඒ අයුරින්ම ජීවත් වන්නට ඔබට අයිතිය තියෙනවා. මම නිතරම කියනවා වාගේ කිසිවක් කිසිවකට වඩා උසස් හෝ පහත් වන්නේ නෑ. ඒත් මේ සටහන හරහා ඔබට අලුත් සිතුවිල්ලක් ඇරඹිය හැකි වේවි කියලා මං විශ්වාස කරනවා. 

9/20/17

-300- තටු හොයන සමනළී

වෙලාව හරියටම  පාන්දර දෙකහමාරයි. මාව අන්දන අක්කා එන්නෙ පහට. බ්‍රයිස් මේට්ලා ටික අල්ලපු කාමරේ කෙළ පෙර පෙර නිදි. එයාලා මගෙ යාලුවො නෙවෙයි. මගෙ යාලුවො කවුරුත් මගෙ ස්කින් ටෝන් එකට හරියන්නෙ නැති නිසා, මේ අයව හයර් කළේ අන්දවන අක්කා. එයාට මිනිස්සුන්ගෙ සල්ලි කඩා ගන්න අලුත් අලුත් පොයින්ට් ගේන්න සහජ ඥාණයක් තියෙන්නෙ. ඔව්. මං තමා මනමාලි වෙන්න ඉන්න කෙනා. ඒත් එහෙම වෙනවාද නැද්ද කියලා තීරණයක් අරගන්නවා නම්, තව පැය දෙකහමාරක් ඉතිරියි. සෙනඟ පිරුණාම හුදකලා තීරණ ගන්න ටිකක් අමාරුයි. ඊටත් වඩා බරට ඇඳගත්තාට පස්සෙ හෙල්ලෙන්න වුණත් කාගෙ හරි අත් උදව්වක් ඕනෙ. 

ආදරවන්තයා, ප්‍රේමවන්තයා, සෙනෙහෙවන්තයා කියන නාමපද වලින් හඳුන්වන්න පුළුවන් පිරිමි පරාණයක් ජනේලෙන් ඇවිත්  තමන්ව සදාකල්  ප්‍රාර්ථනා කළ ස්වර්ගීය ලෝකයට එක්ක යයි කියලා මේ වගේ අනපේක්ෂිත වෙලාවක ඕනෙම කෙල්ලෙකුට හිතෙනවා. විශේෂයෙන්ම වෙන්න යන කසාදෙ අකමැතිම ප්‍රපෝසල් එකක් වෙද්දි කොහොමත් එහෙම හිතෙනවා.

ප්‍රපෝසල් කියන්නෙ මම ජීවිතේ කවමදාවත් හතුරෙකුටවත්  ප්‍රාර්ථනා නොකරනම දෙයක්. ඒක මෙලෝ රහක් නැති මිනිස් ගනුදෙනුවක්. කොටින්ම සංස්කෘතියට මුවා වෙලා ගෞරවණිය විදිහට කරන ආත්ම හොරකමක්. ඒත් මාව කසාද බැන්දීම ඥාති සනුහරේ සාමූහික වගකීමක් කියලා, උන්නාද මලාදවත් කියලා හොයලා නොබලන නෑයොත් වද වෙන නිසා, අන්තිමේ මට ගෙදරින් ගෙනාපු, මිනිහෙක්ට කැමති වෙන්න වුණා.

ඒක ටිකක් අමුතු කතාවක්. ඒත් ඒ කතාව මතක් කර කර තලුමරන්න තරම් වටින එකක් නෙවෙයි.

කොහොම වුණත් මොනම හේතුවක් නිසාවත් මාව අරගෙන යන්න ස්වර්ගීය කැඳවුම්කරුවෙක් තියා ලෝකල් පෙම්වතෙක්වත් එන්නෙ නෑ කියලා මේ මොහොත වෙද්දි මං හොඳටම දන්නවා.  ඉතින් තීරණයක් ගන්නවා නම් ඒක ගන්න වෙන්නෙ තනියම. තනියම තීරණ ගන්න එක අමාරු වුණත්, ක්ෂණිකයි. ඒ වගේම වික්‍රමාන්විතයි. ඒත් පෙම්වතෙක් හිටියා නම් තමයි වඩා හොඳ.

මට පෙම්වතෙක් හිටියෙ නෑමයි කියලා කියන්නත් අමාරුයි. ඒක ටිකක් සංකීර්ණ තත්වයක්. එයා හුඟක් බිසී. ඒත් ඇත්තටම එයා බිසී ද කියලා කවුරුවත් දන්නෙ නෑ. උදේ වෙන, රෑ වෙන, කන බොන හැම වෙලේම කතා කරන තොරතුරු කියන විදිහෙ පෙම්වතෙක් නෙවෙයි එයා. මොකද ඒවා හරි බොළඳයි කියන නිසා එයා ඒවා කළේම නෑ. හැබැයි ඒ හින්දා අවුරුදු ගණනකින් එයා කාපු බීපු කරපු කියපු කිසිම දෙයක් හරියටම කියන්න මම දන්නෙත් නෑ.. අඩුම එයා යන්නෙ එන්නෙ කොහෙද, ආස්සරේ කරන්නෙ කාවද  වගේ දෙයක් වත් මම දැනං උන්නෙ නෑ. පම්පෝරිය සහ උජාරුව  එයාට නොවඩුවම තිබ්බ නිසා ඒවා ගැන  කතා බහ කරලා ඉවර වෙන තැනදි එයා ආයෙම බිසී වුණා.

හදිසියෙ එයාටම හිතුණොත් සතියකට දෙසැරයක් විතර   මට කෝල් කරනවා.  සමහර වෙලාවට ඒක සති දෙකකට සැරයක් වගේ කෝල් එන වෙලාවලුත් තියෙනවා. කොහොම වුණත් කතා කළාට පස්සෙ ඉතාම සුමුදුවට කතා කරලා, අලුතෙන්ම සම්බන්ධයක් ආරම්භ කරන ආකාරෙට "ඔයාට කොහොමද? " කියලා අහන්න එයාට තිබ්බ දක්ෂ කම නිසාම අපේ සම්බන්ධෙ ඇල් මැරි මැරී වුණත් එකම තැන පැවතුණා.. බිඳෙන්නෙත් නෑ. හැබැයි පහුගිය කාලෙටම දළු දැම්මෙත් නෑ.

අපි හමුවීමක් ගැන කතා කරන හැම වෙලාවෙම ඒ හමුවීම අවලංගු වෙන්න හැකි තරමෙ සාධාරණ බාධක එන එක පස්සෙ පස්සෙ එයාගෙත් මගෙත් ජීවිතේම කොටසක් වුණා. මේ නිසාම අපි අතරෙ හමුවීම් ඉතාම අඩු වුණා. අවුරුදු තුන හතරකටම කිහිපවතාවක්, පැය කිහිපයක් විතර අපි මුණ ගැහිලා තියෙනවා. ඒ හුඟක් වෙලාවල් වලදිත්, ඔහුට ඉතා දිග දුරකථන ඇමතුම් ආවා. නැත්තම් සෑහෙන කාලෙකින් මුණ නොගැහුණු යාලුවො පෝළිමට හමුවුණා.. ඉතිරි කාලෙ මඟ ඇරුණ ඕප දූප වලට වෙන් වුණා. ඒ අස්සෙ පම්පෝරිත් වැඩියෙන් තිබුණා.ඒ නිසා අපි අපි ගැන පුද්ගලයන් දෙදෙනෙක් වශයෙන් දන්න ප්‍රමාණෙ ඉතාම අල්පයි.

කොටින්ම එයා හදිසියෙ මැරුණොත්, පශ්චාත් මරණ පරීක්ෂණයට මගෙන් කටඋත්තරයක් ගන්න එක කිසිම තේරුමක් නැති ගාණට, අපේ සම්බන්ධෙ අසම්බන්ධිතයි.  කොහොම වුණත් අන්තිමේදි මේ කරුණු ඔක්කොම සලකා බලලා  එයා එක දවසක් ඉතාම වැදගත් තීරණයක් ගත්තා. "මට ඔයාව බඳින්න බෑ..අපි යාළුවො වගේ ඉමු.. හැබැයි ඔයා විශේෂ යාළුවෙක්"

විශේෂ යහලුවෙක් කියන්නෙ බඳින්නෙ නැතිව විනෝදයට ආශ්‍රය කරන කෙල්ලක් කියලා සමාජය කියන නාමපද වලින් ගෑණු පරාණෙ හිත නොරිද්දන්න, පිරිමියා විසින් අවස්ථානුකූලව නිර්මාණය කරපු කපටි වචනයක්. ඒත් අපේ සම්බන්ධෙ බිඳෙන්න ඒ වචනෙ කවදාවත් බලපෑවෙ නෑ. හැබැයි ටික ටික මට තේරෙන්න ගත්තෙ මං එයාට විශේෂ යහලුවෙක් තියා සාමාන්‍ය යහලුවෙක්වත් නොවෙන පිටස්තර කෙනෙක් විත්තිය

ඉතිං මාව අන්දන අක්කා එන්න ඉස්සරින් අරන් යන්න කෙනෙක් එන්නෙ නෑ කියලා සම්පූර්ණෙන් පැහැදිළි වෙන්න මේ හේතු ටික හොඳටම මදිද? ඒ නිසා මම තීරණයක් ගන්න තීරණේ කළා.

ටෙලිනාට්‍යක වගේ අල්මාරිය ඇරලා අතට අහුවෙන ඇඳුම් පුරවගෙන පුරවගෙන ගිහිං රහසෙම පිට වෙන එක, රොමැන්ටික් වුණාට, ප්‍රායෝගික නෑ. හැබැයි දහයාමාරට පෝරුවට නැග්ගාට පස්සෙ ලැබෙන ජීවිතේ ඒ තරම්වත් ප්‍රායෝගික නෑ කියලා දැනෙද්දි පළවෙනි විකල්පෙ ආවස්ථික පිරිවැය සෑහෙන්න අඩුයි.

ඒ නිසා මාව අන්දන අක්කා හා අනෙක් අය ඔක්කොම ඇන්දෙන්න ඉඩ ඇරලා ඕනෙම කරන දේවල් ටික පුංචි මල්ලක හිර අරන් මං බැල්කනියට කකුල තියලා.. ජනේල් පොලු වල එල්ලිලා වහලෙට නැග්ගා. හෙමින් සීරුවෙ වහලෙ දිගේ බඩ ගාගෙන වැහි පිලී අද්දරින් මුනින් තලා වෙලා මං පහළින් පෙනෙන අපේ ගෙදර දිහා බලාගෙන හිටියා. ඒ අය මගෙ කසාදෙට ලෑස්ති වෙනවා. ටෙන්ට් අදිනවා. පුටු ගෙනියනවා. මල් ගේනවා. වාහන වල දොරවල් අරිනවා වහනවා. දැන්මම සාද සභාව පටන් ගත්ත ගාණට පහළ සද්ද බද්ද වහලෙන් ඉහළටත් ඇහෙනවා. මං එහෙම්ම වහලෙට පිට දීලා ඉහළ බැලුවා.

එන්නම ඕනෙ කියලා හැමදාම හිතුවත් කවදාවත් මං මීට කලින් අපේ වහළෙ උඩට ඇවිල්ලා තිබ්බෙ නෑ. වහලෙ උඩ කපුටු බෙටිත්, වවුල් බෙටිත්  දියසෙවෙලත් එකතු වෙච්ච විසාල ගඳක් තිබුණෙ.

අද වැහි අන්ධකාරෙ නිසා තරු වැහිලා ගිහින්. මං හෙමින් සීරුවෙ උලු උඩ හිට ගත්තා. වහලය ටිකක් ලිස්සන්න ගත්තත් අපේ ගෙදර  වහලෙට ආසන්නෙම තිබ්බ අල්ලපු ගෙදර වහලෙ ට මං බැහැලා... එතනින්  ඒ තාප්පෙටත්, තාප්පෙන් බිමටත් පැන්න... මං මම දැනං හිටපු ජීවිතෙන් පැනලා දුවන්න පටන් ගත්තෙ අන්න ඒ විදිහට.

9/9/17

-299- මිනිසුන් ආගමට දක්වන බිය ඇසුරෙන් The Da Vinci Code කියවීම.


The Da Vinci Code නම් සිනමා රුව මා දකින්නේ මීට වසර කිහිපයකට ඉහතදීය. එකල්හී මම එයට ආනුභූති වූ සාහිත්‍ය කෘතිය කියවීමට අවස්ථාව නොලද්දෙමි. එබැවින් මම පෙර දැක්මකින් සහ පූර්ව සිතිවිලි වලින් මුක්තව එම සිනමා පටය නැරඹිමට ඉඩකඩ ලැබුවෙමි. එකල කතෝලික පල්ලිය මෙන්ම මාගේ ඇතැම් කතෝලික හා ක්‍රිසිතියානි මිතුරෝද මෙම චිත්‍රපටය නැරඹීම වර්ජනය කළහ. එමඟින් ක්‍රිස්තියානි ආගමික දර්ශනයේ මූලාරම්භයට කැළැලක් ඇති විය හැකි බව ඔවුහු තදින්ම විශ්වාස කළෝය. සිය ආගම පිළිබඳ වූ ගෞරවය සලකා සිනමා පටය නරඹා නොසිටින්නට ඔවුහු තීරණය කළහ. සිනමාව යනු සත්‍යම නොවන නමුත් අසත්‍යද නොවන බව දැනෙන කල්හි එවැනි සිතිවිලි ඇති වීම ඉතා සාමාන්‍ය දෙයකි. මම ඒ සිනමා කෘතිය රසවින්දෙමි. එබැවින් එය ඕනෑම අයෙකුට නැරඹීමටද නිර්දේශ කරමි.
මා පෙර කී පරිදීම එය ඉතිහාස කාරණා හා විවේචනයක් සමඟින්ම ගොඩ නැගුණත්, එම විවේචනයන් තුළ කුහක බව හෝ නිර්ධය බව කිසිලෙසකින්වත් අඩංගු වී නොතිබිණි. විවේචනශීලි බව තුළින්ම ගොඩ නැගෙන එම කාරණා මඟින් සිනමාව තුළ සිනමාත්මක කතන්දරය අනලස්ව ගලා යාමට ඉඩ කඩ සලසා තිබේ. සිනමාපටය මෙන්ම සාහිත්‍ය කෘතියටද වසර ගණනක් ගත වී ද තවමත් එල්ල වන පක්ෂ මෙන්ම අපක්ෂ විවේචන අතරින් බොහෝමයක් ඉතා කලබලයෙන් කළ ඒකාකාරී ඒවාය.
ඕනෑම නව එළිදරව්වක් යනු ගැටුමකට ඉඩ සදන භයානක අවකාශයකි. The Da Vinci Code ප්‍රස්තුතය නිර්මාණය කළේද එම වේදිකාවයි. ආගමකට සබැඳියාවක් පාන්නා වූ ඕනෑම ප්‍රපංචයක් පිළිබඳව නව එළිදරව්වක් කියා පෑම , සාමාන්‍ය කරුණක් පිළිබඳව හෝ විද්‍යාවක් පිළිබඳව හෝ කෙරෙන නව හෙළිදරව්වකට වඩා සමාජය අතිශයින් කම්පනය කරයි. එය සම්පූර්ණ සත්‍යයක් වුවත්, අසත්‍යයක් වුවත් නිල වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගැනීමට නොහැකි තලයකදී ගැටුම ආරම්භ වෙයි. ඕනෑම ආගමක් සහ දර්ශනයක් ආශ්‍රිතව මිනිස්සු දෙකොටසක් වෙසෙයි. ඉන් එක් කොටසක් එම දර්ශනය ඉස්මුදුනින් පිළිගනී. අනෙක් කොටස එම දර්ශනය සෑම අතින්ම නොපිළිගනී. ප්‍රතික්ෂේප කර දමයි. ආගමක් හෝ දර්ශනයක් සම්බන්ධව සිදු කෙරෙන නව එළිදරව් මේ දෙපිරිසටම එකහා සමානව වැදගත් වෙයි.
එම නව සොයා ගැනීම පැවති තත්ත්වයට එක් කරන වෙනස යහපත් ද, අයහපත් ද, යන සාධකය මෙහිදී එතරම් වැදගත් නොවෙයි. වැදගත් වන්නේ “වෙනස“ යන කාරණාව පමණි. අනාදිමත් කාලයක සිට ගලා ආ ධාරාව වෙනස් වීම සම්බන්ධව මිනිස් වර්ගයා තුළ නිරන්තරයෙන් පවතින අනියත බියක් වෙයි. ආගම් කෙරේ මෙම බිය වැඩි වශයෙන් පවතී. ඒ ආගම් ඉතිහාසයේ සිට ගලා එන්නේ හැඟීම් මූලික කරගෙන වීම කරණ කොට ගෙනය. අපි සරල උදාහරණයක් පිළිබඳව කතා කරමු.
බුදු හාමුදුරුවෝ උපන් දඹදිව බව ඉතිහාසයේ මූලාශ්‍ර ග්‍රන්ථ කිහිපයක මෙන්ම, කට්න් කට ආ පුරාවෘත්ත වලත් ජාතක කතා සාහිත්‍යෙය් පුර්වාපර සන්ධි ගළපන ස්ථාන වලත් සඳහන් වෙයි. ජම්බුද්වීපය නොඑසේ නෙම් මේ බුදුන් උපන් දඹදිව, වචනයක් ලෙස විසන්ධි කළ හොත් ,දඹ+ දිව ලෙස බෙදේ. ඉන් දඹ යන්න ජලයටත්, දිව යන්න ද්වීපයටත් වර නැගිය හැක. එවිට ජලයෙන් වටවූ දිවයින ලෙස සරලවම දඹදිව යන වචනය තේරුම් ගැනීමට හැකියාව ලැබේ. එහෙත් ඉන්දියාව සමස්තයක් ලෙස ජලයෙන් වටවී නොපවතින භූමියකි. අර්ධද්වීපයකි. එවිට දඹදිව යනු ඉන්දියාව විය හැකිද යන්න කාලයක් සමහරු නැගූ පැනයක්ව පැවතිණි. ඉන් අනතුරුව ඔවුහු අලුත් යෝජනාවක් ගොවෝය. ඉන්දියාව හෝ භාරත දේශය නොවේනම්, එවැනි ජලයෙන් සමස්ත ලෙස වට වූ ආසනනයේම ඇති භූමිය ලංකාදීපය නිසා ඒ දඹදිව ලංකාව යයි ගලපා ගත හැකි බවයි. දැනටත් බුදු දහම පවා පවතින හෙයින්, ඇතැම්හු අදටත් මෙම සාධක වලින් තවත් ඉදිරියට කතා නිර්මාණය කර හෝ සොයා ගෙන බුදුන් උපන් දේශය ලංකාව යැයි තර්ක කරති. එහෙත් එම තර්කයට විරුද්ධව ඉන්දියාවෙන් කිසි පැමිණිල්ලක් නොආ නමුත් ලංකා මිනිස්සු තමන්ට ඉබේ පාත් වූ ගෞරවය පිළි නොගෙන හදිසියේම කලබල වූහ. බුදුන් ඉන්දියාවට දීමට වැඩියෙන් වෙහෙස වෙන්නෙ ලංකාවේ මිනිස්සුය. එයට හේතුව කුමක් විය හැකිද?
බුදුන් උපන් දඹදිව ලංකාව යැයි සිතීම ගැන වඩ වඩා බිය වී සිටින්නේ, ඉන්දියාව සහ නේපාල සීමාවේ ලුම්බිණි සල් වනය නරඹන්නට සල්ලි ගෙවාගෙන ගිය බෞද්ධයෝය. තමාගේ විශ්වාසය බිඳී යා හැකියැයි පවතින බිය තරම් විශාල බියක් මිනිසුන්ට තවත් නැත. සියල්ල අතහරින්නට ආගමික ඉගැන්වීම තුළ ඉගැනුම් ලබන බෞද්ධයන්ට එය එසේ නම්, ලෞකිකත්වය පිළිබඳ වැඩි ඉගැන්වීමක් ඇති කතෝලික ප්‍රජාව පිළිබඳව කවර කතාද?
ඔවුහූ දෙවියන් වහන්සේ ගේ පුත්‍රයාගෙන් පසුව ඔහුගේ රුධිර ධාතුව මනු ලොව පැවතීම හා ව්‍යාප්ත වී යාම සම්බන්ධව විශාල බියක් දක්වන බව පෙනේ. එය ස්වභාවිකය. දෙවියන් පරම්පරාවක් ලෙස වර්ධනය වීම මඟින් දෙවියන් ගේ කියුම් කෙරුම් පිළිබඳව කතා කරන පුද්ගලයන් අපහසුතාවයට පත් වීම ඒ බියේ එක් ප්‍රබේදයකි. විශේෂයෙන්ම ආගම කියවන පුද්ගලයන් මත, එනම් පාදිලිවරුන් මත “ලෝක දේශපාලනයේ රැඳීම“ රැඳී පවතී.
ආගමක් පවතින්නේත් ඉදිරියට ගලා යන්නේත් මිනිසුන්ගේ බිය සහ ප්‍රාර්ථනාවන් පිරුණු හැඟීම් මතය. එම හැඟීම් ඉදිරියට අසත්‍ය හෝ සත්‍ය යන්න තහවුරු කළ හෝ නොනළ ඕනෑම දෙයක් ගෙනැවිත් පාවා දුන් කල ඇතිවන ගැටුම කිසිවෙකුටත් පාලනය කළ හැකියයි ඔබ සිතනවාද?
මරියා නැමති කන්‍යාව ගැබ් ගනු ලබන්නේ දෙවියන් වහන්සේගේ ධාතුවකිනි. ඒ ධාතුව ගෙනෙන්නේ ගේබ්‍රියෙල් නම් දේවදූතයාය. බයිබලයේ කියවෙන මේ කතන්දරයත් සෑම ආගමක්ම මිනිසුන්ට පැවසීමට උත්සාහ කරන පූජනීය කතන්දර වලින් එකක් වීමට මෙන්ම සම්පූර්ණ සත්‍ය හෝ අසත්‍යය වීමටත් එකලෙසම ඉඩ ඇත. ශාස්තෘවරයෙකුගේ පූජනීය බව උත්පත්තියේ සිටම කියාපෑමට නිර්මාණය වන කතන්දර ඕනෑම ආගමක වෙයි. උදාහරණයක් ලෙස මහමායාද පිළිසිඳගන්නේ පෙහෙවස් සමාදන් වූ දිනක තනිව සයනයේ සැතපී සිටියදී අනෝතප්ත විල අසල සුදු ඇත් පොව්වා නෙළුමක් සොඬින් ගෙන කුසට පිවිසෙන ලද සිහිනයකිනි. එය මරියා කන්‍යාවට ගේබ්‍රියෙල් ගෙනා ශුභාරංචියට වඩා විශාල වෙනසක් නැත. ආගම හෝ දර්ශනය පමණක් වෙනස් වී ඇත. කෙසේ වෙතත් පෙර කී සේම මිහි බට ශාස්තෘවරුන්ගේ පරම්පරාවන් ආරක්ෂා වීම ආගම් නිර්මාපකයන්ට විශාල තර්ජනයක් වී ඇති බව පෙනේ.
කිසිම ශාස්තෘවරයෙක් කිසිම ආගමක් නිර්මාණය කරන්නේ නැත. ක්‍රිස්තුස් වහන්සේ ක්‍රිස්තියානි ආගම නිර්මාණය නොකළ සේක. ඔහු දේශනා කළ යම් ධර්මයක් සහ ඔහුගේ අසමසම බවට දැක්වූ ගෞරවය නිසා එය නිර්මාණය කළේත් පවත්වා ගත්තේත් ඉන් පසුව පැමිණි අය විසින් ය. බුදුන් වහන්සේ පිළිබඳවත් එය එසේමය. බුදුරජාණන් වහන්සේගේ අසම සම බව පසු කාලීනව ආගමක් ලෙස නිර්මාණය වූයේ එය පවත්වාගෙන යාම සඳහාය. රාජ්‍ය අනුග්‍රහය ලැබීම තුළින් සමාජය සහ සංස්කෘතිය තුළ ඕනෑම ආගමක් මුල්බැස ගන්නා අතර ඉන් අනතුරුව ආගම වටා මිනිස්සු රොක් වෙන බැවින් සංස්තෘතිය දේශපාලනය මෙන්ම සමාජයද ආගමට අවශ්‍ය ලෙස හැසිරීමට පටන් ගනී. පසුව ආගම සියල්ලම වෙයි. එවිට නිර්මාණයකින් හෝ පවතින ධාරාව වෙනස් මඟකට හැරෙන්නට ඉඩක් ලැබෙන, තිබුණු රාමුව බිඳී වැටෙන්නට ඉඩක් ලැබෙන කුමක් හෝ යමක් සිදුවේ යැයි සැක පහළ වුවහොත් ආගම මත යැපෙන්නෝ ඊට බිය වෙති.
ක්‍රිස්තියානි ආගම් නිර්මාපකයන් මරියා මග්දලේනාට බිය වූයේ මේ නිසා විය යුතුයැයි සිය සාහිත්‍ය තුළ Dan Brown විශ්වාස කරයි. සිනමාව තුළින් එළියට පැමිණෙන්නේද එම කරුණමයි. ලියනාඩෝ ඩාවින්සි යනු එක්තරා චිත්‍ර ශිල්පියෙක් නොවේ. ඔහු ගේ නිර්මාණ සියල්ලම වාගේ කතා බහට ලක් වූ, අගය කරන නිර්මාණයන්ය. ඔහු වැන්නෙක් ගේ සිතුවමක් හරහා ගලායන කතාවට උල්පත සදා ගැනීම තුළ මෙම කතාවේ නිර්මාපකයෝ එයට අනභිබවනීය බවක් ළඟා කර දෙයි.
මරියා මග්දලේනා ගෙන් ක්‍රිස්තුස් වහන්සේ ගේ පරපුර තව දුරටත් ඉදිරියට පැමිණි බව, දක්ෂ ලෙස සාහිත්‍ය කෘතියේ මෙන්ම සිනමා පටයේත් කියා පාන්නේ සමහර ඉතිහාස සංසිද්ධි කිහිපයක් එකම සිද්ධියේ පුරුක් ලෙස යා කර ගනිමිනි. එය සාහිත්‍ය කරුගේ සහ සිනමා නිර්මාණකරුගේ දක්ෂතාවය මිස සත්‍ය ඒ ලෙසම පැවතීම නොවිය හැක. සමහර විට එය සම්පූර්ණ සත්‍යම විය හැක. එහෙත් ආගමට, සංස්කෘතියට දක්වන අසීමිත බිය නිසා රාමු ගත වීම තුළින් සිදුවන්නේ මෙවැනි නිර්මාණ පිළිබඳව කතා කිරීම අල්ප වීමයි. තහනමට ලක් වූ සියල්ල කෙසේ හෝ නරඹන මිනිසුන් වෙතත්, සිනමාව පිළිබඳ කියවීමක් නිර්මාණය නොවේ නම්, එයින් සිනමාවට සහ නිර්මාණකරුවන්ට වඩා ප්‍රේක්ෂකයන්ට සිදුවන්නේ අවැඩකි. සිනමාව කියවීම ඇරඹිය යුත්තේම එය සමාජය වෙත බලපෑම් එල්ල කරන්නට උත්සාහ කරන දිශාවට සම්මුඛව සිනමාව නැරඹීමෙනි.

9/7/17

-298- බැරියර් වලින් පැනලා පොත් කියවමු.


කුඩයක් යට හිර වෙන්නට පෙම්වතුන්ට බල කරන පොද වැස්ස  සමඟ තෙත් සහිත වටපිටාවක, නුගේගොඩ ගිලී තිබුණා. වෙලාව හවස හය පහු වෙලා සුළු මොහොතක් ගත වෙන්න ඇති . විසිතුරු කඩ සාප්පු වල හුමාලය බැඳිලා. දුවිලි පෙඟුණ වීදුරු සිපගෙන මහ මඟට ඇස් අයා ඉන්න විවිධ මාදිලියේවිවිධ හැඩතල වල  ඔරලෝසු කාලය ගෙවෙන බව ඇඟෙව්වා. මුළු දවසෙම වෙහෙස මිටියකින් තද කරලා , දහස් ගාණක් ඇණ පහරවල් වලින් හිල් වූ ලොතරයි ලෑල්ලෙන් අවසාන වාසනා පත් උදුරන මැදි වියේ ගැහැණියක්  පොද වැස්සට අත අල්ලන කුඩා දුවට බැන්නා. ඒ හැමෝම අස්සෙන් පාර පැනලා මං පොත් සාප්පුවකට ගොඩ වුණා.

රැජිණ ගෙ භාෂාවට තට්ටු තුනයි. පාඩම් පොත් වලට තට්ටුවයි. සිංහල පොත් වලට තට්ටුවයි. ඒ සිංහල පොත් තට්ටුව.
එකිනෙකා පෙරට එන්ට පොර කනවා වාගෙ පෙනෙන පොත් රාක්ක අතර මැද මඳක් සැඟවී පිහිටි රාක්කයක දෙපස සිදුවන, ඔවුන්ගේ කතා බහ මගේ නොමනා දෙකන්, ග්‍රහණය කර ගත්තෙ මෙන්න මේ වෙලාවෙ. ඔවුන් ඉතාම තරුණ දෙපළක්. සමහර විට පෙම්වතුන් වෙන්නත් පුළුවන්. පිරිමි ළමයා, බර මුහුණක් මවා ගෙන ගැහැණු ළමයා දිහාට හැරුණා.

මල් පොත් කියවන්න එපා.. ඔයිට වඩා හොඳයි පොත් නොකියවා ඉන්න එක
තමාට වඩා මඳක් වැඩිහිටි යැයි, සැලකිය හැකි සිය පෙම්වතා අත තිබූ, මඳක් සුවිසල් පොත් කිහිපය දෙස වරක් ගෑණු ළමයා බැලුවා.  පස්සෙ තමන් අතේ තිබ්බ මල් යැයි සිතිය හැකි පොත රාක්කයේ තිබ්බා.. දැන් ඇය ඔහු පස්සෙ ගමන් කරනවා. ඔහුගේ වචන මට ඇසෙන්නට ඇතැයි,  ඈ අනුමාන කළ නිසාද මන්දා  මා පැත්තෙ හැරිලා ලැජ්ජා සහගත සිනාවක් දීලා ඈ යන්න ගියා.
මල් පොත් වලට, ගැහැණුන්ට වඩා පිරිමින්ගේ විරෝධය දරුණුව නැගෙන යුගයක් මේක. ඒකට හේතුව මොකක්ද කියලා හොයන්න මං කල්පනා කළා. හේතුව දැනගත්ත නිසාම ඒ ගැන ලියන්න හිතුණා. කොල්ලො තරහ වෙයිද මන්දා. ඒත් ඇත්ත කියන්න සහ බිම ඉඳගන්න යං crowd එක බය නැති නිසා අපි කතා කරමු.  

මල් කතා පොත්  කියලා ලේබල් වදින කතන්දර වල ඉන්නෙ පරමාදර්ශී පිරිමියෙක්. ඒ පිරිමියාගේ ෆැන්ටසියට, හුඟක් ගැහැණු හේතුවක් නැතිවම අසීමිතව ආදරේ කරනවා. ඉතින් මේ ආදරය ගැන ඇති වූ ඉරිසියාව හැබෑ පිරිමියාගෙ මල් කතා විරෝධයට එක හේතුවක්. අනෙක් හේතුව තමයි, තමාගෙන් ඒ වගේ පරමාදර්ශී පිරිමියෙක් අත් දකින්නට උත්සාහ දරන සමීප ගැහැණුන් වෙතින් පිරිමියාගෙ මනසට එල්ල වෙන ප්‍රබල කරදරය. මේ කාරණා දෙකම හින්දා බහුතර පිරිමි විසින් මල් කතා පොත් තද බල විදිහට පිළිකෙව් කරනවා. එහෙම නැතිව, ඒ පොත් වල සාහිත්‍ය හරය මදි නිසා රසාස්වාදයෙ නොගැඹුරු කම නිසා තමන්ගෙ පෙම්වතියගෙ, මිතුරියගෙ බුද්ධියට හානි වෙයි කියලා බයට කරන පිළිකුල් කිරීමක්ම නෙවෙයි.

අපි කියන්නෙ නෑ. මල් කතා පොත් වල ඉන්න පිරිමි වගේ, අපේ පිරිමි ළමයි ජීවත් වෙන්න ඕනෙ කියලා.. ඒ පොත් වල පෙම්වතා අරක්කු බොන්නේත් හරිම රොමැන්ටික් විදිහට. හැබැයි  දුෂ්ටයා පිරිත් වතුර බිව්වත්  අන්තිම නරකයි. එබැවින් සමාජ යතාර්ථය හෝ ඉන් එහාට ගිය විදග්ධ සංකීර්ණ කරුණු මේ පොත් වලින් දකින්න අමාරුයි, සමාජයට යම් බලපෑමක් පොත් වලින් කරන්න පුළුවන්. කියවීම මිනිසා සම්පූර්ණ කරනවා කියලා අනාදිමත් කාලයක ඉඳලා කියන්නෙ ඒ නිසානෙ.

කොහොම වුණත්, මල් නවකතා කියන්නෙ, ඉලක්ක කණ්ඩායමක් තෝරගත්ත එක්තරා විකුණුම් ක්‍රමයක්.  විශේෂයෙන්ම අපේ ගාමන්ට් වල වැඩ කරන සොයුරියො, පාසල් සිසුවියො, නිවෙස් වල තනි වූ බිරින්දෑවරු වාගේම, දරුවො ටියුෂන් යවලා පන්තියෙන් එළියෙ කල් මරන අම්මලා මේ මල් නවකතා වල විශේෂ ගැනුම් කාරියන්. ජීවිත වල හිස්තැන් වලට පුංචි සිහිලසක් අරගන්න, අනුන්ගෙ ප්‍රේමයක් තමන්ගෙ කරගෙන අත්විඳින්න තමන්ටම කියලා මොහොතක් හදා ගත්ත මිනිස්සුන්ට ඒකෙන් මිදෙන්න බල කරන එකත් හරි නරකයි. ජීවිත පරිපූර්ණ නෑ. හැම ගැහැණියක්ම පිරිමින්ට වැඩියෙන් ආදරයට හා ආදරය වෙනුවෙන් ලැබෙන දේවල් වලට ආශා කරනවා. ඒත් එකම තැන නොරැඳී ඉදිරියක් දකින්න හැකියාව තියෙනවා නම්, ඕක හොඳ දෙයක්. ඇබ්බැහිය නරකයිනෙ. 



ඉතින් ඔයා දන්නවානෙ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙ වසරක් පුරා පැවැත්වෙන, අටෝරාසියක් ප්‍රදර්ශන පොළවල් අස්සෙ, වැඩිම පාරිභෝගික උන්මාදයක් තියෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය තව සති දෙකකින් ඇරඹෙනවා කියලා. එක දවසක් හරි ඔතනට ගොඩ වදින්නෙ නැති අය දැන් ලංකාවෙ නැතිම තරම්. හැබැයි මේ පාර  ටිකක් වෙනදා නොකියවන පොත් ටිකක් ගන්න උත්සාහ කරලා බලන්නකො. හැමදාම සංකීර්ණ පොත් කියවනවා නම් මේ පාර මල් පොතක් ට්‍රයි කරන්න. මල් පොත් ම කියවනවා නම් වෙනස් පොතක් ට්‍රයි කරන්න. මං කිසි පොතක් කැටගරි කරන්න කැමති නෑ. ඒත් අඳුනා ගන්න ඔයාට පහසුවටයි එහෙම කිවිවෙ. රසවින්දනය ට උස් පහත් බේදයක් නෑ. හැබැයි එක තැනක පල් නොවී රසවිඳීම අලුත් අත්දැකීමක් වේවි! ඔබට අනෙක් අයගෙ සිත් තේරුම් ගන්නත් එයින් පුංචි උදව්වක් සපයාවි. 

9/5/17

-297- සනම් තෙරි කසම් සහ අපේ ජීවිත


මං හින්දි චිත්‍රපටි පිස්සියක් නෙවෙයි. කොටින්ම ෂාරුක් කාන් ට ආසා කරන, එයාගෙ පින්තූර එකතු කරන කණ්ඩායමේ මං කවදාවත් හිටියෙ නෑ. ෂාරුක් ගෙ චිත්‍රපටි කලාතුරකින් නැරඹුවත් මට ඒවා ආයෙම වතාවක් නරඹන්න තරම් හිතිලාත් නෑ.. කොහොමත් ඉංග්‍රිසි කතා වලට වැඩියෙන් ආසා කරන මම  අතරින් පතර නිකමටවත් හින්දි චිත්‍රපටයක් බැලුවා නම් ඒ ඉතාම අල්ප වශයෙන් කිව්වොත් තමයි නිවැරදිම. සංජේ ලීලා බන්සාලි ගෙ චිත්‍රපටියක් තමයි ආසාවෙන් දෙතුන්වරක් බලන්නෙ. ඒකත් වැඩියෙන්ම බලන්නෙ නර්තනය සහ එහි රූප වල තියෙන ලස්සන නිසා. හැබැයි  දෙදහස් දහසයෙන් පස්සෙ මං දැකපු එක චිත්‍රපටයක් නිසා මං හින්දි චිත්‍රපට දිගටම නොබැලුවත්, මේ බලපු චිත්‍රපටය නම් සති දෙක තුනකට සැරයක් අනිවාර්යයෙන්ම බලනවා. කොයි තරම් බැලුවත් එපා නොවෙන ලස්සනක් සහ  පුදුම වේදනාවක් ඒ චිත්‍රපටයෙ පිරිලා තියෙනවා. මේ චිත්‍රපටය බලපු හැම කෙනෙක්ම ඒක එහෙම බව කියනවා මං අහලා දැකලා තියෙනවා.

චිත්‍රපටයෙ නම තමයි “සනම් තෙරේ කසම්-2016. ඒත් මං අද කතා කරන්න සූදානම් වෙන්නෙ ඒ චිත්‍රපටය ගැන නෙවෙයි. ඒ චිත්‍රපටයෙන් කියැවුණ අපි දකින්න පෙරුම්පුරන හැබැයි වැරදීමකින්වත් අපි නොදැක්ක “ආදරය“ ගැන. ඇයි ඒ ආදරය වැරදීමකින්වත් අපිට මුණ නොගැහුණේ කියන කාරණය ගැන.

ආදරය ගැන පත්තරේ හැම පිටුවක් පුරාම වගේ පිරිලා තියෙනවා. ඒත් එහෙමයි කියලා මේ සටහන තවත් එක ආදරය පිරුණ සටහනක් නෙවෙයි. ඉන්දර් පරිහාර් වගේ කොල්ලො මේ ලෝකෙ නැති කම ගැන වේදනාව හා සංකාව සමඟ සරස්වතී පර්තසාර්ථී වාගෙ කෙල්ලො මේ රටට ඕනෙ කියන අරමුණෙන් ලියන සටහනක් විදිහට මං මේ ලියවිල්ල වර නගනවා.

ලෝකය කියන්නෙ ෆැන්ටසි මායාවක් නෙවෙයි. මං ඒක පිළිගන්නවා. එහෙත් සිනමාව තුළින් ගොඩ නගන දේ ෆැන්ටසියක් කියලා පැත්තකට දාලා, අපි පවතින අයහපත තුළම ගිලෙනවා නම් සිනමාව සදාකාලෙට ෆැන්ටසියක් කියන රාමුවෙ නතර වෙලා අවසාන වෙනවා. ලස්සන ලෝකයක් ෆැන්ටසියක් වෙන්නෙ ඒ ලෝකයට සැබෑවට ළඟා වෙන්න අපිට බැරි වෙන අවස්ථාවේදි මිසක් සුන්දර ලෝකය හැබෑවටම දකින්න බැරි නිසා නොවෙයි.

ආදරය වෙනුවෙන් කැපකිරීම් කරන මිනිස්සු, මේ ලෝකෙ පුරා ඕනෙ තරම් ඉන්නවා. ඉන්දර් පරිහාර් ට නම් අන්තිම මොහොතෙ හරි ඔහුගෙ ආදරේ ඈ දැනගත්ත බව දැන ගන්න ඉඩ ලබා දෙනවා. සරස්වතී එක්ක ඉන්පස්සෙ ඔහුට හුඟකලක් ජීවත් වෙන්න නොලැබුණත්, ඉන්දර් වයසට ගිහිං මිය යන තුරුම සරස්වතී ගෙ ආදරය ඉන්දර් පරිහාර් එක්ක ජීවත් වෙනවා කියලා ඔහු දැනගන්නවා.

ඒත් හුඟක් අයට එහෙම වාසනාවක් ලැබෙන්නෙ නෑ. තමන්ම තනිවම ආදරය කරලා, දුක් විඳලා අන්තිමේ හුදකලාවෙම මැරිලා යනවා. සමහර වෙලාවට කවමදාවත් කාගෙන්වත් ආදරය ලබන්නෙ නැතිවම ජීවිත ඉවර වෙලා යන තුරු තමන් ආදරේ කරන අයගෙ පැමිණීම ඒ අයට බලා ඉන්න වෙනවා.

අපි හුඟ දෙනෙකුට තියෙන්නෙ, සරස්වතීට තියෙන ප්‍රශ්නෙ කියලා වෙලාවකට මට හිතෙනවා. ළඟම හිටියත් ආදරේ කරන අය අඳුනගන්න බැරි ප්‍රශ්නය හරි ලොකු ප්‍රශ්නයක්. සමහර වෙලාවට අපි වෙනුවෙන් කළ හැකි හැම දේම කරන, අපිට හිතා ගන්න බැරි විදිහට ආදරය කරන , සෙනෙහස පතුරවන සමහර අය අපිට මඟ හැරෙන්නෙ අපේම නොදැනුවත්කම නිසා. මං ඔයාට ආදරෙයි කියලා කටින් නොකියන මිනිහෙක්, ජීවිත කාලය පුරාවටම ඔයාට හැබෑවටම ආදරය කරනවා වෙන්න පුළුවන්.
ඉන්දර් සරස්වතීට මනමාලයො හොයන්නෙ, සරස්වතීට ආදරේ වැඩිකමටයි. සරස්වතීව බඳින්න ඉන්දර් තරම් කැමති කෙනෙක් මේ මුළු පෘථිවියෙම නැති බව ඉන්දර් හොඳින්ම දන්නවා. ඒත් සරස්වතී හොයන්නෙ තාත්තා කැමති වෙන විදිහෙ කොල්ලෙක් නිසා ඈට ඉන්දර්ව සෑහෙන කාලයක් මඟ හැරෙනවා.

ආදරේ ළඟට ඇවිත් කෙලින්ම කියන එකෙන් මේ වගේ දේවල් මඟ හැරගන්න පුළුවන් තමයි. ඒත් එහෙමයි කියලා කවදාවත් ඒක ඉස්සරහට ඇවිත් කියාගන්න බැරි විදිහෙ අවස්ථාවක් තියෙන කෙනෙක් නොඉන්නත් පුළුවන් කියලා මතක තබා ගන්න ඕනෙ. ඉතිං අපි කොහොමද අපිට ආදරේ කරන කෙනෙක්ව ඇත්තටම අඳුනගන්නෙ?
හරිම ලේසියි. ඇස් ඇරලා බලන්න වටපිටාව. හැබැයි පාට කණ්ණාඩි ගලවන්න. තමන් වෙනුවෙන් වැඩියෙන්ම වෙහෙසන, නිහඬවම තමන් ගැන සතුටු වෙන අය, තමන් වටේ ඉන්නවාද බලන්න. ඒ අය තමයි ඔයාට හැබෑවටම ආදරේ කරන්නෙ. ඔයා දෙයක් කිව්වාම ඒ දේ කරන්න අමාරු වුණත් යම් කෙනෙක් ඒක කරන්න උත්සාහ කරනවා නම්, ඔයාව අනතුරකින් ආරක්ෂා කරගන්න වෙර දරනවා නම්, ඒ අයගෙ ආදරය හරි ප්‍රබලයි. ඒක ඔයාව රකිනවා.

සමහර වෙලාවට අපි අපිට ආදරේ කරනවා කියලා හිතාගෙන ඉන්න අය එයාලා අපිට දෙන ආදරය ගැන, අපිව ආරක්ෂා කරන විදිහ ගැන ලොකු කතා කිව්වාට, පුංචි කරදරයක් වුණාම ඒ අයගෙ ආදරේ තරම අපි දකිනවා. ආදරය කියන කාරණාවේදි තමන් ආදරය කරන කෙනාට ගරු කරන කෙනෙක් ට විතරයි හොඳින් ආදරය කරන්න පුළුවන්. එයින් කියවෙන්නෙ නෑ ආදරය හංගලා පරිස්සම් කරන්න ඕනෙ කියලා. හැබෑවටම ඔයාට ආදරේ කරන කෙනෙක්, ඔයා එයාට ආදරෙයි කියලා පිළිගත්ත දාට ඒක ලෝකෙටම කෑගහලා කියන එක වළක්වන්න කොහොමත් අමාරුයි. ඒ තරම් ප්‍රීතිමත් මොහොතක් ඒ කෙනාට මුළු ජීවිතේටම නොතියෙන්න පුළුවන්. එහෙම කෙනෙක් හොයාගන්න.


-296- නම්බු පිස්සුවට අහුවෙන ඒ ලෙවල් ආතල්

චී චී චී ලැජ්ජා නැද්ද? අපේ එකෙක් කලාව කරන්න...
කවුද උඹ දිහා බලන්නෙ? විද්‍යාවයි ගණන් ගන්නෙ..
අඩු තරමේ වාණිජවත්...
ඉතිං පුතේ නම්බුවක්නෙ? ෆේල් වුණත් විද්‍යාවෙන් විභාගෙ කරලා..

මේ පේළි හතරෙ තියෙන උපහාසය මට හරියටම අඳුනා ගන්න පුළුවන් වුණේ  හතේ අටේ පන්තියෙදි එක්දවසක, සෝමලතා සුබසිංහ මැඩම් අපේ ඉස්කෝලට ඇවිල්ලා ඇගේ පරිණත හඬින් අපි වටකරගෙන මේ ගීය ගායනා කරපු වෙලාවේදියි. ඒ හඬට අපේ නිහාරි මිස් ගෙ තරුණ ජව සම්පන්න කට හඬත් එකතු වුණාම අපූරු උපහාසයක් අප ඉස්සරහ මැවුණා. සෝමලතා මැඩම් දැන් අපි අතරෙ නෑ. ඒත් ඈ කියූ කතාවෙ තාමත් වැඩි වෙනසක් නෑ. මේ දවස් වල අපි කවුරුත් දන්නවා උසස්පෙල විභාගෙ ජයටම පැවැත්වෙනවා කියලා. හැබැයි ෆේස් බුක් ස්ටේටස් දැක්කම නම් පෙනෙන්නෙ තමන් සතුටු විෂයය අධ්‍යනය කිරීමට තවමත් ගොඩ දෙනෙක්ට අවස්ථාව හිමි නොවෙනා බවයි. තවමත් සංස්කෘතිය හා දෙමව්පියො වගේම බොහෝ බලපෑම් කණ්ඩායම් විෂයයන් සම්බන්ධයෙන් තරුණ පරපුරට කරන බලපෑම නතර කරලා නැහැ. සමහරවිට තවමත් අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක් ගොඩේ ඉන්නෙ, මේ වගේ පටු සිතිවිලි තියෙන මිනිස්සු නිසා වෙන්නත් පුළුවන්. මං උසස්පෙළ හා රටේ සංවර්ධනය ගැන වෙන දවසක කියන්නම්. අද මං කතා කරන්න කැමතියි, අපිව මේ වගේ දේවල් වලට ඇදගෙන යන තත්ත්වය හෙවත් නම්බුව කියන කාරණා ගැන. ඉතිං අපි හොයගෙන යං.
විෂයයකින් විතරක් නෙවෙයි, තමන් ගිය පාසල තුළිනුත් කෙනෙක් නම්බුව ගොඩ නගාගන්නවා. ඉතිං විවාහයක් කරගනිද්දි වුණත් , ආයතනයකට කෙනෙක් ගනිද්දි වුණත් අපේ ඉස්කෝලෙ නම හරි වැදගත් වෙනවා.  අපි ගිය පාසල හෝ එයට හොඳින්ම ගැළපෙන පාසලක කෙල්ලෙක් හෝ කොල්ලෙක් එක්කම අපේ කටයුතු වෙන්න ඕනෙ කියලා සමහරු හිතනවා.

උපාධිය වුණත් ඥාණයට වඩා ලංකාව ඇතුළෙ නම්බුව හා සම්බන්ධ කාරණාවක්. ඒ නිසයි මිනිස්සු බොහෝමයක් දෙනා උපාධි නිබන්ධනය බයින්ඩ් කරන්න, ලාබම තැන හෙව්වට.. උපාධි පින්තූරෙ රාමු කරන්න හොඳම තැන හොයන්නෙ. රස්සාව වුණත් එහෙමයි. ‍‍ලොකු   තැනක රස්සාව කරන කම්කරුවො ලක්ෂ ගණන් පඩි ගද්දි, පොඩි තැනක වැඩ කරන විධායක නිලධාරියෙක් ගන්නෙ විසි දාහක් වෙන්න පුළුවන්. ඒත් තමන්ගෙ රස්සාවෙ ටයිටල් කියද්දි ලබෙන අහංකාරය සලකලා ඔහු හෝ ඇය  සෑහෙන අභිමානයෙන් සූරාකෑමට ලක්වෙමින් ඉන්නවා. 
මිනිස්සු කවුරුත් නම්බුවට ආසයි. ඉස්සර මේවා තීරණය වුණේ කුලය මත. අදටත්  

යාන්තමට එහෙම වෙන බව පෙනෙනවා. ඒක එහෙම නෙවෙයි නම් ඇයි සමහර මිනිස්සු තමන්ගෙ නම් ගම් වෙනස් කරන්න  ඔච්චරට වද වෙන්නෙ නේද? කොහොම වුණත් ආගම කුලය වගේ ඉපදෙනකොටම තිබුණ දේවල් සහ අපි හදා ගත්ත දේවල් එක්ක අපි නම්බු පිස්සුවෙ ඇලෙනවා. ගැලෙනවා.

අපි සමාජ ජාල වල හැසිරෙද්දිත් මේ නම්බුව හරි වැදගත් සාධකයක් විදිහටයි ක්‍රියාත්මක වෙන්නෙ.ඒ අවඩි අස්සෙ අපි කරපු උපාධි, ගිය පාසල් වගේම රස්සාවත් අපි පුරවලා.. අපි අපිටම ටයිටල් එකක් හදාගන්නවා. ඉන්පස්සෙ කැටගරියක් ඇතුළෙ ගුලි වෙනවා. දැන් අපි ආශ්‍රය කරන්නෙ. අපි ලයික් කරන්නෙ, අපි කමෙන්ට් කරන්නෙ.. ඒ කැටගරිය ඇතුළෙ ඉන්න සෙට් එක එක්ක විතරයි. ඒක අපිට හරි නම්බුයි.

ඔය අස්සෙ වැරදිලා හරි ඒ කැටගරියට ඇතුළත් නොවෙන කෙනෙක් එක්ක අපි ආදරෙන් බැඳුනොත් මොකද වෙන්නෙ? අපේ කොල්ලො සෙට් එක නිතර කියනවා වගේ, එහෙම වුණොත් නම් සුදෝ, බඩුම තමයි. අපි අර අහිංසක ජීවියාගෙ සරල ජීවිතේ අපේ කැටගරියට ගන්න පුදුම උත්සාහයක් ගන්නවා. අපි එක්ක ඉන්න, අපිට ළංවෙන්න ඒ කෙනාට තියන අවශ්‍යතාවය මත, එයත් අපි වගේ වෙන්න ගන්නවා. එතනදි ඒ පුද්ගලයාට මුලින්ම එයා වටේ හිටපු, එයාට ගැළපිලා හිටපු අය අහිමි වෙනවා. ඉන්පස්සෙ එයාට එයාවම අහිමි වෙනවා. හැබැයි අපිට මාර සතුටුයි. එයාව දැන් බය නැතුව අපේ යාලුවන්ට අඳුන්වා දෙන්න පුළුවන්. අපේ කෙනෙක් කියලා කියන්න පුළුවන් . මොකද එයා අපේ කැටගරියෙ. දැන් එයත් අපි දානවා වගේ, ටිකක් අයිඩියල් ස්ටේටස් දාලා, තමන්ගෙ කැටගරියෙ අයට විතරක් ලයික් කරලා , අපේ කැටගරියට විතරක් කමෙන්ට් කරලා අපේ කෙනෙක් වගේ හැසිරෙනවා. වැරදීමකින් හරි එයා පරණ වැඩක් කළොත්, අපි වහාම එයාව නිවැරදි කරනවා. කෙටියෙන්ම අපි අපේ තත්වය නිසා ඒ මනුස්සයාගෙ සතුට අහිමි කරනවා.

අපි කෙනෙක්ට ඒ කෙනා පවතින තත්වෙදි ආදරය කළා නම්, ඒක බය නැතිව සමාජය ඉස්සරහ පිළිගන්න හයියක් තියෙන්න ඕනෙ. මහා ප්‍රාඥයෙක් සාමාන්‍ය කෙල්ලකට ආදරය කළා කියලා ඒකෙන් ඒ පුද්ගලයාගෙ ප්‍රඥාවට හානියක් වෙන්නෙ නෑ. ඒත් මිනිස්සු ඒ සාධකයෙන් ප්‍රාඥයාව පහත හෙළනවා නම්, වෙනස් විය යුත්තේ මිනිස්සු මිසක් ප්‍රාඥයා නෙවෙයි. අපේ සිතැඟි වලට තත්ත්වය අපි බාධාවක් කරගන්න තුරුම, නම්බුව බාධාවක් කරගන්න තුරුම අපි ෆේල් කියලා විතරක් මතක තියා ගන්න. රටේ ලෝකෙ මිනිස්සුන් ගැන බය නොවී, තමන් තමන් විදිහට ජීවත් වෙන්න.

8/18/17

-295- විරු සිසු දිනය වෙනුවෙන් ලියූ ලියවිල්ලක්

නුඹ සිහින තුළ නුඹම කිමිදී
නිදාගත් කාලයෙන් අවදිව
බලන් සුහදේ, පිපුණු මල් අග
සුවඳ ගෙන ඇවිදින් වසන්තය...
පාළුවේ දැල්වෙන පහන් වල
ගලා යන ඉටි කඳුළු දියවී
නුඹව සැඟවූ ලොවට නිහඬව
ගයයි සියදහසක් වියෝ ගී….


දැන්වීම් ඇලවීම තහනම්  කියන දැන්වීම මඟ හරිමින් අලවා ඇති සිය ගණනක් පෝස්ටර් අස්සෙන්, අතරින් පතර රතු පැහැ පෝස්ටරයක් ඊයෙ පෙරේදා පුරාම ඉස්සිලා පෙනුණා. “ඔවුහූ ඔබට අසීමිතව ප්‍රේම කළහ “ අන්න එහෙමයි එහි ලියා තිබුණෙ.
අපි අසීමිත ප්‍රේමය කියන වචනයට ජීවිතේ එක එක වයස් වලදි, එක එක  අත්දැකීම් නිසා අටෝරාසියක් නිර්වචන දෙනවා. එහෙත් අසීමිත ප්‍රේමය කියන්නෙ මානව සංහතිය පුරාම පැතිරවිය යුතු මහඟුම උත්තම ස්නේහයක් බව අපි කොයි කවුරුත් අහලා තියනවා. එහෙව් ප්‍රේමයක් දිය හැකි මිනිස්සු මෙලොව ජීවත් වෙනවාද නොවෙනවාද කියා සැක හිතෙන කාලයක අපට අසීමිතව ප්‍රේම කළ බව කියන ඔවුන් වෙනුවෙන්  කුඩා සටහනක් තියන්නට මට ඕනෙ කළා.
ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ පළවෙනි දවසෙ, ඕපන් කැන්ටිම ඇතුළෙ දූවිලි වැකුණු බිත්තියක ඇලී සිටි අසීමිත ප්‍රේමයේ පෙම්වත්තු මට මුලින්ම මුණ ගැහුණා. පක්ෂය, දේශපාලනය, සමාජ චින්තනය, සමානාත්මතාවය ආදී දහසක් වචන බරක් කරගත්ත සමාන්‍ය මිනිස් සමාජය ඇවිල්ලා ඔවුන් සියලු දෙනා එක පැත්තකට තල්ලු කරන්න හැදුවාට, විශ්වවිද්‍යාල වල ඉගෙන ගන්න හුඟක් එවුන්ට ඔවුන්ව පෙනෙන්නෙ මහා වීරයො විදිහට. දැන් විශ්වවිද්‍යාලෙ නොහිටියත්, මටත් එයාලාව තවමත් ඒ විදිහටම පෙනෙනවා. දැනෙනවා. ඔවුන්ට ආදරය වඩන්න හිතෙනවා.
හැම ශිෂ්‍යයෙකුටම වීරයෙක් වෙන්න අමාරුයි. මතයට විරුද්ධ කෙනෙක්ව තව කෙනෙක් ඇවිත් මරා දැම්ම පලියට කවුරුවත්  වීරයෙක් වෙන්නෙ නෑ. කෙනෙක්ව විරුවෙක් කරන්නෙ, ඔහුගෙ හදවතයි.  පරාර්ථය අගය කරන පරම පවිත්‍ර සිතුවිල්ලයි. ඇතුළාන්තයෙන් නැගෙන අනෙකාගේ යහපත පතන ප්‍රහර්ෂය.
කෙනෙක්ට සුව පහසුවෙන් ජීවත් වීමට අදාළ වටපිටාව සකසන්නට, තමන්ගේ සුවපහසුව කැප කරන, කැප කළ සෑම මිනිසෙක්ම විරුවෙක්. ඔහු බාල ද, තරුණ ද, මහලු ද, යන නිර්ණායක එතැනට කිසිම බලපෑමක් කරන්නෙ නෑ.
විශ්වවිද්‍යාලෙ ඇතුළෙ වීරයො කියන්නෙ, තමන්ගෙ මතයට පක්ෂව සටන් වදින අයට පමණයි. අපි ජීවත්වෙන්නෙ උදාසීන රටක නිසා, විවිධ මතයන්ට ගරු කිරීම  ඉතා දුලබයි. ඉතිං පුංචි උද්ඝෝෂණයක් වුණත්, කඳුලු වලින් කෙළවර වෙන අවස්ථා එමටයි. අදටත් වඩා අමාරු කාලවල් ගෙවපු රටක් අපේ රට. හේතු නිසා හෝ ආහ්තුකව හෝ වස්සානයට ඉස්සර හේමන්තය වැළඳගත් තරුණ පරපුරක් අපේ රටේ හිටියා. ඔවුන් අද හිටියා නම්, මේ ලිපිය කියවන ඔයා පවා ඔවුන්ගෙ දරුවෙක් වෙන්න ඉඩ තිබුණා.
ඔවුන් ගිය  මග හරිද, වැරදිද කියලා තර්ක කරන්නට මට කිසිම ඕනෙ කමක් නෑ. ඒත් ඔවුන් කවුද කියලා හැම තරුණ තරුණියක්ම මතක තියා ගන්න ඕනෙ බව මම විශ්වාස කරනවා. යහපත් සමාජයක් කරා, සාධාරණ සමාජයක් කරා රට මෙහෙයවන්නට ඔවුන්ට සිතිවිල්ලක් තිබුණා. ඒ සඳහා ක්‍රියා කළ විදිහ නිවැරදි නොවුණත්, වැරදි වුණත් ඒ සිතිවිල්ල හරි ශක්තිමත්. ඒ තරම්ම පිවිතුරුයි.
දියේ ගිලෙන කෙනෙක් බේරා ගන්න දියට පනින කෙනෙක් ගෙ සිතුවිල්ල තරම්ම  එය ශක්තිමත්, වලකට වැටුණු මිතුරාට ගොඩ ඒමට වලට බසින කෙනෙක් ගෙ හැඟීමක් තරම්ම ඒ සිතිවිල්ල ශක්තිමත්. කෙනෙක් තමන්ගෙ පැවැත්ම අනෙකා වෙනුවෙන් අතහරින්නට තරම් නිර්භීත වීම වීර කරමකට එහා ගිය මානව ප්‍රේමයක්. ප්‍රේමය කියන්නේම මුළු හදවතින්ම සැමරිය යුත්තක්.
ඒත් වැලන්ටයින් ප්‍රේමය වගේම, විශ්වවිද්‍යාල අස්සෙ, මේ අසීමිත ප්‍රේමයත් සමරන්නෙ, ආටෝපෙටද කියලා වෙලාවකට මට හිතෙනවා.  එක දවසක්, උද්ඝෝෂණයක කෑ ගහගෙන යන මල්ලි කෙනෙක්, “ අපි යන්නේ කොයි පාරේ.. ත්‍රීමා වෙනුර ගිය පාරේ “ කියලා මහ හයියෙන් කෑ ගහන ඒ සමූහයෙන් මිදිලා, මං කෑම ගනිමින් හිටි කඩේට ආවා. වතුර බෝතලයක් ගන්න. හිතවත්කමට හා සහෝදරත්වයට මං නිකමට ඔහුගෙන් ඇහුවා කවුද මල්ලි “ත්‍රීමා“ කියන්නෙ කියලා. එතකොට ඒ මල්ලි කිව්වා, ත්‍රීමා වෙනුර කියන්නෙ හොඳ ශිෂ්‍ය වීරයෙක් කියලා. ඔහු කෑ ගහන්නෙ පුද්ගලයන් දෙන්නෙක් පිළිබඳවයි  කියලාවත් නොදන්න ඔහු කොහොමද, ඔවුන් දැක්වූ අසීමිත ප්‍රේමය හඳුනාගන්නෙ?
බකට් එකට කලිං ජෙෂ්‍යටයන්ට බයේ කට පාඩම් කළාට, ඔවුන් දුන් බව කියන  අසීමිත ප්‍රේමය ගැන ,  හැඟීමක් ඇති අය දැන් විශ්වවිද්‍යාල අස්සෙ නැති තරම්. ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය  යම් යම් පක්ෂ වල අතකොළු වෙලා, දෙපැත්තට ගහගෙන ගිය නිසා හුදු පක්ෂ න්‍යාය පත්‍ර පමණක් වර්තමානයේදීත් ක්‍රියාවට නැංවෙමින් තිබීමයි කණගාටුව. සැමරිය යුත්තේ අනෙකා උදෙසා මිනිසෙකුට කළ හැකි උපරිමය පෙන්වන මිනිසෙකුගේ හදවතයි.

වද වේදනා උහුලමින් තමා පෙනී සිටි සිතිවිලි වෙනුවෙන් නිර්භයව මරණය වැළඳගත් ඔවුන් ට හැබෑවටම අපි ගරු කළ යුත්තේත් එනිසයි. සටහන අවසාන කරන්නට මත්තෙන්, ජයවර්ධනපුර සරසවියේ  ඕපන් කැන්ටින් බිත්තියේ එකල හරි මැද  අලවා තිබූ කැළණි සරසවියේ සොඳුරු තරුණයෙකුගේ ගේ සේයාරුව සිහියට නගා ගන්නට මම ආශා කරමි. මානව හිමිකම් ගැනම කෑ ගැසූ ඔහු, මානව හිමිකම් සුරැකීමේ දිනය දා පැහැර ගෙන ගොස් මරා දැමූ බව මා අසා ඇත. සේයා රුවේ ඔහුගේ දෑසින්, මා එතෙක් මෙතෙක් දුටු උත්තරීතර ලොව්තුරු ප්‍රේමය දැක ඇත්තෙමි. ඔවුන් ඔබට අසීමිතව ප්‍රේම කළ බව එබැවින් මම විශ්වාස කරමි.


-294- ආත්මය විකුණන්න එපා ! Please

හැමෝගෙම ජීවිත වල බකට් ලිස්ට් තියෙනවා. මැරෙන්න කලින් ඒවා ඉෂ්ට සිද්ධ කරගන්න හරි ආසාවෙන් තමයි ඕනෙ කෙනෙක් ජීවත් වෙන්නෙ. ටුවෙන්ටීස් වලදි හිත පුරා ඇති කරගන්න  ලස්සන බකට් ලිස්ට් සමහර වෙලාවට තර්ටීස් වලදි චේන්ජ් වෙලා, ෆෝටිස් වලදි නැති බංග වෙලා යනවා. ඒවාට ඇති ආශාව නැති වෙලා ගිහින් වෙනස් කරනවා වගේ නෙවෙයි, කරන්න ඉඩක් නොලද කම නිසා ආශාව හංග ගන්න එක. කවුරුවත් කියන නිසා ආශාවල් වෙනස් කරන්න සිද්ධ වෙන එකම  එක්තරා පවක්. වයස ගිහිං හැමෝගෙන්ම මිදෙන දවසට ආසා කරන දේ කරන්න කාලයයි මුදලුයි දෙක තිබුණත් කවුරුත් බාධා නොකළත් ඒවා කරගන්න සවි ශක්තිය නැතිව යනවා. ඒ නිසා තමන් ආසා දේවල් ටිකක් හරි කරන්න දැන් දැන්ම උත්සාහ කරන එක තමයි හොඳම.
මේ දවස් වල තම තමන්ගෙ බකට් ලිස්ට්, හැමෝම පෝස්ට් කරන නිසා මටත් හිතුණා බකට් ලිස්ට් එකක් ලියන්න. මගේ බකට් ලිස්ට් එක දැන ගන්න එකෙන් ඔයාලාට ඇති බකට් එකක් නැති එකේ, අපි ආසා දේවල් කරන්න අපිට බැරි ඇයි කියන කාරණාව අපි අද කතා කරමු. අපේ බකට් ලිස්ට් එක අන්තිමේ බකට් එකටම සීමා වෙලා, අපිට කවදාහරි මැරිලා යන්න වෙන්නෙ ඇයි කියලා අපි කතා කරමු.
ඔයාට මතකද  පුංචි කාලෙ ඔයා මම අපි ඉස්කෝලෙ ගියා. ඉස්කෝලෙ යන කාලෙ අපි කොයි තරම් දේවල් වලට ආසා කළාද? අපිකොයි තරම් දේවල් කවදාහරි මෙන්න මෙහෙම කරනවා, අර විදිහට කරනවා කියලා ලස්සන හීන දැක්කද? ඒත් එදා අපේ ලොකු අය අපිට කිව්වෙ මොකක්ද? ලොකු වුණාම ඒ දෙවල් කරන්න පුළුවන් කියලා. දැන් ඒවා කරන්න හිතන්නවත් එපා කියලා. සාධාරණයිනෙ. අපි පොඩිනෙ. ඉතිං අපි තීරණය කලා ලොකු වෙනතුරු ඉවසන්න.
කොහොම කොහොම හරි වාසනාවට අපි ලොකු වුණා. ලොකු වෙලා අපි ආසා දේවල් අපිට කරන්න ඕනෙ වෙන කොට, අපිට වඩා තවත් ලොකු වෙච්ච අපේ ලොකු අය අපිට කිව්වෙ, “දැන්ම එපා. කවදහරි කසාදබැන්ද කාලෙක දෙන්නත් එක්කම ඕවා කරන්න කියලා.“ තටු කඩපු කුරුල්ලො වගේ බලාපොරොත්තු හා හීන එක්ක තාරුණ හිත් මඟ නතර වෙලා ඩිංග ඩිංග වයසට යන්නෙ මේ විදිහටයි.  
අපේ ලොකු අය කසාද බැඳලා එයාලාගෙ හීන ඉෂ්ට කරගත්තා කියලා මං කවදාවත් අහලා නෑ. කසාදය, ඉන්පස්සෙ දරුවො, ඉන්පස්සෙ එයාලාගෙ ජීවිත එක්ක ඔට්ටු වෙන එකට අමතරව ලොකු අයත් සතුටක් ලබලා නෑ. දිගු කාලීනව බැඳීම් එක්ක, සීමා එක්ක ඔට්ටු වෙනකොට, තමන් ඇත්තටම ඉන්නෙ සතුටින්ද දුකින්ද කියලා අවබෝධ කරගන්න තරම් ශක්තියක් හුඟක් අයට ඇති වෙන්නෙත් නෑ. හිතෙන්නෙම මේක තමයි ජීවිතේ කියලා. ඉතින් අනෙක් ජීවිතයක් ආශා කරන නිදහස සතුට ගැන දැනුම් තේරුමක් කොහෙන් ලබන්නද?
සදාචාරය, සංස්කෘතිය ඔලුව උඩ තියා ගත්ත රටක, මේ දේවල් වලට අපි තර්ක කරන එක තේරුමක් නෑ. ඒත් මේ ඒකාකාරී ජීවිතය එක්ක තරහ ගන්න සම්පූර්ණ අයිතිය තරුණ අපට තියෙනවා. රස්සාවට යනවා, කැම්පස් යනවා, ආදරය කරනවා එහෙම නැත්තං මඟුල් බලනවා , කෝල් කරනවා, කට් කරනවා.. චැට් යනවා, ස්ටේටස් දානවා.. මොකක්ද මේ ජීවිතය. අපි  ජීවිතේ ඇතුළෙම කැරැල්ලක් පටන් ගන්න ඕනෙ කරන්නෙ ඒ නිසාමයි.
අපිට ජීවිතේ ලැබුණ හැටි ඉතාම වැදගත්. ඒ ජීවිතේ ටිකෙන් ටික නිර්මාණය කළ අයත් ඒක කරපු හැටිත් හරි වැදගත්. හැබැයි කවුරු දුන්නත් දැන් මේ ජීවිතය අපේ. මගේ ජීවිතය අයිති මට. ඔයාගෙ ජීවිතය අයිති ඔයාට. ඒ ජීවිතේ තීරණ ගන්න කාටවත්ම අයිතිය දෙන්න එපා. එහෙම දුන්නොත්, රොබෝ කෙනෙකුට එහා ගිය වටිනාකමක් අපිට නෑ. අපිට අපේ ආත්මය අනුන්ගෙ සතුටකට විකුණන්න බෑ නේද? අපි පුංචි උදාහරණයකින් මේ කාරණාව තේරුම් ගන්න උත්සාහ කරමු.
පුංචි කාලෙ සමහර ගෑණු ළමයි, වැඩියෙන්ම ආසා කරන්නෙ බෝනික්කො නළවන්න. ටික ටික ලොකු වෙද්දි එයාගෙ එකම හීනෙ ලස්සන මානමාලියක් වෙලා, මහත්තයාගෙ ලෙදර ගිහින් උදේ පාන්දර නැගිටලා, මහත්තයාට බත් උයලා, එයාව රස්සාවට යවලා එයා එනකං හවස දොර එළිපත්තෙ බලා ඉන්න එක. චූටි බබෙක් නළව නළව තුරුළු කරගෙන ඉන්න එක. ඒ බබා ටිකක් ලොකු වුණාම ලස්සන ලස්සන ඇඳුම් අන්දවාගෙන මොන්ටිසෝරි එක්ක යන එක.  පස්සෙ ගොඩක් මේකප් දාං මහත්තයා එක්ක බබාගෙ පේරන්ට්ස් මීටිං යන එක, මහත්තයාගෙ කෝට් එක අතේ දාං එක එක යාළුවන්ගෙ වෙඩිං වලට යන එක,ඔය වගේ හීන කන්දරාවක් සමහර ගෑණු ළමයින්ට තියෙනවා.
ඒත් ඔය අතරෙ තව වෙනස් ගෑණු ළමයෙක් ඉන්න පුළුවන්, රටට මිනිස්සුන්ට  දෙයක් කරන්න ආශාවෙන් ඉන්න. ලෝකයම කතා කරන කෙනෙක් වෙන්න හීන දකින, හුදකලාවෙ සංචාරය කරන්න බලාපොරොත්තු වෙන, බැඳීම් නැතිව ජීවත් වෙන්න ආශා කරන. ඒ අස්සෙ ස්වාධීනව කාටවත් බරක් නොවී ආර්ථිකව කෙලින් හිටගන්න උත්සාහ කරන.
මට කියන්න, මේ දෙන්නාගෙන් හොඳ කෙනා කවුද? නරක කෙනා කවුද? ඔයාට පුළුවන්ද ඒ දෙන්නාව මනින්න. බෑ නේද?
ඒ දෙන්නා නිරපේක්ෂයි. අපි පළවෙනියාව උවමනාවෙන් දෙවනියා බවට පත් කළොත් අපි පළවෙනියාගෙ ජීවිතේ විනාශ කරනවා.  අපි දෙවනියාගෙ ජීවිතේ පළවෙනියාගෙ ජීවිතේ වගේ සකසන්න උත්සාහ කරන්න ගියොත්, අපි දෙවනියාව දූවිලි කරනවා.

ආත්ම එක්ක සෙල්ලං කිරීම තරම් නරක දෙයක් මේ ලොකේ තවත් නෑ.  වියළි කෝටු නවන්න බෑ. ඒත් ඔයා තාම අමුයි. මේ ඇත්ත හැම තැනටම පොදුයි. ඒ හින්දා තේරුම් ගන්න. අපි, අතීත සංස්කෘතික මායිම් කරපින්න ගත්ත වැඩිහිටියො නිසා දුක් වින්දත්, අපි නිසා අනාගත පරපුරට දුක් විඳින්න ඉඩ නොදී ඉමු. අපි ඔබේ ආත්මයට ආදරෙයි. ඔබත් අනාගත පරපුරේ ආත්ම රැක ගන්න.

-293- sHaRe නොවෙන ජීවිතේ අස්සෙන්

ඉස්සර මං පුංචි කාලෙ දවසක අපි කාගෙ හරි මඟුල් ගෙදරක ගියා. මනමාලි මනමාල දෙන්නා ඉන්න තැනට ඇවිත් හැමෝම ඒ අයට සුබ පතන හැටි මං බලා හිටියා. මනමාලිට හැමෝම සුබ පැතුවෙ Happy Wedded life කියලා. හැබැයි මනමාලයාට හැමෝම Congratulations කිව්වා. හරියට මනමාලයා ගමේ මැරතන් රේස් එකක් දිනලා වගේ. පස්සෙ කාලෙ ඉංග්‍රිසි සාහිත්‍ය පන්තියෙදි අපේ සාහිත්‍ය සර් කියා දුන්නා ආදරේ කියන්නෙ අරගලයක් විත්තිය. අරගලයක් කරලා දිනා ගත්ත දෙය කාන්තාවගේ ආදරය නිසා පිරිමියාගෙ ජය උදෙසා හැමෝම සුබ පතනවා කියලා. ඒ නිසාම පිරිමියාට හැමෝම ආදරය දිනාගත් දවසට Congratulation කියනවා කියලා. ගැහැණුන්ට වඩා තවමත් සමාජ සංස්කෘතිය ඇතුළෙ ප්‍රේමය දිනාගැනීමට අරගල කරන්නෙ පිරිමි. ඔවුන් අරගල කරලා කරලා  දිනා ගත්ත ගෑණු අයගෙ එකතුවට වඩා පැරදිච්ච ගෑණු අයගෙ එකතුව වැඩි වුණත්, කවුරුවත් ඒ ගැහැණුන්ට  Deepest Sympathy කියන්නෙ නැහැ. ඉතින් ඒ අය හැංගිලාම ඉන්නවා. එක අතකට ඒක ලොකු දෙයක්.
මේ දවස් වල හැම තැනම Share වෙන වෙඩිං ප්‍රපෝසල් භීතිකාව නිසාම, යං අපිට හිතුණා මේ ප්‍රේමයේ අරගලය ගැන කතා කරන්න. දස්කොන් ප්‍රමිලා ආදර කතාව, රෝමියෝ ජුලියට් ආදර කතාව සහ දෙව්දාස් පාරෝ ආදර කතාව වගේ ආදර කතා අතීතයේ සහ සාහිත්‍ය යේ ප්‍රේමයේ අරගලය ජය අරගත්තත් ජීවිත අරගලයෙන් පරාජය වුණ ජෝඩු ගොඩට අයිති වෙනවා. ඒ අස්සෙ සාලිය මාලා, ගාමිණි චිත්‍රා  වගේ අය ජීවිතයයි ප්‍රේමයයි දෙකම යම් තරමකට ගොඩ දාගත්ත ලංකා ලැයිස්තුවෙ ඉස්සරහින්ම ඉන්නවා. කොහොම වුණත් මේ හැමෝගෙම ප්‍රේමණීය අරගල ගැන ලෝකය කතා කරන්නෙ ඒ අය ප්‍රසිද්ධ වුණ නිසා කියලා ඔයාට හිතෙන්නෙ නැද්ද? රජ පවුල් වල විතරද ප්‍රේමය උදෙසා අරගල හටගන්නෙ. සාමාන්‍ය මිනිස්සු ප්‍රේමය උදෙසා කළ අරගල ගැන කොහෙවත් සඳහනක් නැති බව හැබෑව. ඒත් ඒ අය අරගල කළේ නැතිව නෙවෙයිනෙ.
තමන්ගෙ ප්‍රේමය කාටවත් නොදැනීම මිහිදන් වුණු ජීවිත ගොඩක් අස්සෙන් එකෙක් දෙන්නෙක් හරි තමන් කරන ප්‍රේමය ලෝකයට සටහනක් තියන්න උත්සාහ කරන එක වැරදියි කියලා අපිට කියන්න පුළුවන්ද? ඒක හරි කුහක සිතිවිල්ලක්. ඔවුන් ආදරය කරන්න ආසා විදිහ මුළු ලොවටම තමන් ආදරය කරන බව පෙන්වීම නම් ඒ විදිහටම ඒ අය  ආදරය කරපුදෙන්. වෛර කරනවාට වඩා වැඩියෙන්, ආදරය කිරීම උතුම්. කාමරේ හැංගිලා ඉඳලා පිහියෙන් ඇනලා මරනවාට වඩා, රෝස මල් පොකුරක්  දණගහලා දෙන එක හොඳ ලස්සන වැඩක්.
ප්‍රේමයේ අරගලය අස්සෙන් ගිලිහුණු අරගලය අස්සෙ තිබුණු ප්‍රේම කතාවක් පහු ගිය කාලෙ වෙඩිං ප්‍රපෝසල්  එක්කම ෂෙයාර් වුණා. තමන්ගෙ ආදරණීය පෙම්බරිය පොලිස් බැටන් පහරකින් රැකගන්න වෙහෙස වෙන තරුණයෙක්ගෙ සේයාරුවක් විදිහටයි ඒක අපි දැක ගත්තෙ. ඒ ගැන විශාල කතිකාවක් ගොඩ නැගුණෙ නෑ.  මහා උයනක් මැද්දෙ දඟ ගහන එක තරමට විවේචන කරන්න බැරි නිසාද මන්දා ඒ ගැන කතා නොකරම යට ගියා. හැබැයි එතැන තිබුණෙත් මහා උතුම් ප්‍රේමයක්.
ආදරේ කියන්නෙ රෝස පොහොට්ටු මිටියක්, චොක්ලට් තවරපු කේක් එකක් එක්ක පෙම්වතියගෙ  ගෙදරට ඩිලිවර් කරන එක විතරක්ම නෙවෙයි. දම්මි සුගත් ට ගෙනිච්චෙ වෙරලු, පියල් නන්දාට දුන්නෙ මෝල්ට් පිටි, ග්‍රේ ඇනස්ටේෂියාට දුන්නෙ කාර් එකක්, කැම්පස් කොල්ලෙක් තමන්ගෙ ආදරියට දුන්නෙ ඇටමැස්සා නවකතාව.  ඒක ඊයෙ විහාරමහාදේවි පාක් එකේ මං දැකපු සිද්ධියක්.
ආදරය වෙනස් වෙනවා. බෙදා ගන්න දෙන්නා මත්තෙන් ඒ අය ප්‍රේමයට අරගල කරන හැටි පවා වෙනස් වෙනවා. සමහරු අයිති කරගන්න අරගල කරද්දි, සමහරු  ඒ අයිතියෙන් නිදහස් වෙන්න අරගල කරනවා. පස්සෙ කාට හරි අයිති වෙන්න අරගල කරනවා. මුලුමහත් ප්‍රේමයම අනාදිමත් කාලෙක සිට අරගලයක්.
ඒත් එකම විදිහෙ ප්‍රේමයක් මේ අරගලය අස්සෙන් බලාපොරොත්තු වෙන්න ගියොත් අපි පරාදවෙනවා. එක එක්කෙනාගෙ ප්‍රේමය හරි වෙනස්. අවුරුදු දහසයේ දහ හතේ කෙල්ලො කොල්ලන්ගෙ ප්‍රේමයට වඩා විසි හතේ විසි අටේ තරුණ තරුණියන් ගෙ ප්‍රේම කතන්දරය වෙනස්. ඊටත් වඩා හතළිහෙ හතළිස් පහේ කෙනෙක්ගෙ ප්‍රේම කතන්දරය හුඟක් වෙනස්. හැබැයි එහෙමයි කියලා ප්‍රේමය වෙනස් වෙන්නෙ නෑ. එය පවතින්නෙ අනන්තය පොඩ්ඩක් එහායින්, දාර්ශනිකත්වයට ඩිංගක් මෙහා තැනක. ඒ නිසා පැරදුණත් දින්නත් ආදර මානස විල අස්සෙ පීනන්න ට්‍රයි කරන්න. දියට නොබැහැ පීනන්න බෑ. ගොඩ ඉන්න අයට අපිව කෝච් කරන්නත් බෑ. ප්‍රේමයේ අරගලයට ජය වේවා!!

රෝමියෝ ජුලියට් අනේ නුඹ
ආලයේ  නෙක ගායනාවෙන්
ප්‍රේමයේ මුදු වේදනාවෙන්
උමතු අනුරාගී අල්තාරේ
දැවි දැවී ඉටි කඳුලු හලනා
දුහුන් පෙම් හද මනෝ මන්දිර
මං මුලා නොකරන්...


අතීතේ කතන්දරයක කිමිදිලා
මල් වියන් යට, සඳළුතල මත
කන්තාරු රිද්මයට මතුරන
මටසිලිටි හැඟුමක් නොවෙයි
මේ ආදරේ..
රෝමියේ ජුලියට් අනේ නුඹ
දන්නෙ නෑ...
හැඟුම් හිස් කළ නිසරු පොළවක
කටු ඔටුණු බඳ
ආදරේ ගැන දන්නෙ නෑ...


වැළඳගන්නට තරම් නැති තැන
ආලයේ අඳුරෙන්ම වැළලෙන
පෙම්වතුන් හට මල් වඩම් තව ඕනෙ නෑ..
රෝමියෝ ජුලියට් අනේ නුඹ දන්නෙ නෑ
හිමිදිරිය හෙට ළඟා කරනට
රැයේ සීතල තුරුලු කරගත්
ආදරේ ගැන දන්නෙ නෑ...