මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

9/9/17

-299- මිනිසුන් ආගමට දක්වන බිය ඇසුරෙන් The Da Vinci Code කියවීම.


The Da Vinci Code නම් සිනමා රුව මා දකින්නේ මීට වසර කිහිපයකට ඉහතදීය. එකල්හී මම එයට ආනුභූති වූ සාහිත්‍ය කෘතිය කියවීමට අවස්ථාව නොලද්දෙමි. එබැවින් මම පෙර දැක්මකින් සහ පූර්ව සිතිවිලි වලින් මුක්තව එම සිනමා පටය නැරඹිමට ඉඩකඩ ලැබුවෙමි. එකල කතෝලික පල්ලිය මෙන්ම මාගේ ඇතැම් කතෝලික හා ක්‍රිසිතියානි මිතුරෝද මෙම චිත්‍රපටය නැරඹීම වර්ජනය කළහ. එමඟින් ක්‍රිස්තියානි ආගමික දර්ශනයේ මූලාරම්භයට කැළැලක් ඇති විය හැකි බව ඔවුහු තදින්ම විශ්වාස කළෝය. සිය ආගම පිළිබඳ වූ ගෞරවය සලකා සිනමා පටය නරඹා නොසිටින්නට ඔවුහු තීරණය කළහ. සිනමාව යනු සත්‍යම නොවන නමුත් අසත්‍යද නොවන බව දැනෙන කල්හි එවැනි සිතිවිලි ඇති වීම ඉතා සාමාන්‍ය දෙයකි. මම ඒ සිනමා කෘතිය රසවින්දෙමි. එබැවින් එය ඕනෑම අයෙකුට නැරඹීමටද නිර්දේශ කරමි.
මා පෙර කී පරිදීම එය ඉතිහාස කාරණා හා විවේචනයක් සමඟින්ම ගොඩ නැගුණත්, එම විවේචනයන් තුළ කුහක බව හෝ නිර්ධය බව කිසිලෙසකින්වත් අඩංගු වී නොතිබිණි. විවේචනශීලි බව තුළින්ම ගොඩ නැගෙන එම කාරණා මඟින් සිනමාව තුළ සිනමාත්මක කතන්දරය අනලස්ව ගලා යාමට ඉඩ කඩ සලසා තිබේ. සිනමාපටය මෙන්ම සාහිත්‍ය කෘතියටද වසර ගණනක් ගත වී ද තවමත් එල්ල වන පක්ෂ මෙන්ම අපක්ෂ විවේචන අතරින් බොහෝමයක් ඉතා කලබලයෙන් කළ ඒකාකාරී ඒවාය.
ඕනෑම නව එළිදරව්වක් යනු ගැටුමකට ඉඩ සදන භයානක අවකාශයකි. The Da Vinci Code ප්‍රස්තුතය නිර්මාණය කළේද එම වේදිකාවයි. ආගමකට සබැඳියාවක් පාන්නා වූ ඕනෑම ප්‍රපංචයක් පිළිබඳව නව එළිදරව්වක් කියා පෑම , සාමාන්‍ය කරුණක් පිළිබඳව හෝ විද්‍යාවක් පිළිබඳව හෝ කෙරෙන නව හෙළිදරව්වකට වඩා සමාජය අතිශයින් කම්පනය කරයි. එය සම්පූර්ණ සත්‍යයක් වුවත්, අසත්‍යයක් වුවත් නිල වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගැනීමට නොහැකි තලයකදී ගැටුම ආරම්භ වෙයි. ඕනෑම ආගමක් සහ දර්ශනයක් ආශ්‍රිතව මිනිස්සු දෙකොටසක් වෙසෙයි. ඉන් එක් කොටසක් එම දර්ශනය ඉස්මුදුනින් පිළිගනී. අනෙක් කොටස එම දර්ශනය සෑම අතින්ම නොපිළිගනී. ප්‍රතික්ෂේප කර දමයි. ආගමක් හෝ දර්ශනයක් සම්බන්ධව සිදු කෙරෙන නව එළිදරව් මේ දෙපිරිසටම එකහා සමානව වැදගත් වෙයි.
එම නව සොයා ගැනීම පැවති තත්ත්වයට එක් කරන වෙනස යහපත් ද, අයහපත් ද, යන සාධකය මෙහිදී එතරම් වැදගත් නොවෙයි. වැදගත් වන්නේ “වෙනස“ යන කාරණාව පමණි. අනාදිමත් කාලයක සිට ගලා ආ ධාරාව වෙනස් වීම සම්බන්ධව මිනිස් වර්ගයා තුළ නිරන්තරයෙන් පවතින අනියත බියක් වෙයි. ආගම් කෙරේ මෙම බිය වැඩි වශයෙන් පවතී. ඒ ආගම් ඉතිහාසයේ සිට ගලා එන්නේ හැඟීම් මූලික කරගෙන වීම කරණ කොට ගෙනය. අපි සරල උදාහරණයක් පිළිබඳව කතා කරමු.
බුදු හාමුදුරුවෝ උපන් දඹදිව බව ඉතිහාසයේ මූලාශ්‍ර ග්‍රන්ථ කිහිපයක මෙන්ම, කට්න් කට ආ පුරාවෘත්ත වලත් ජාතක කතා සාහිත්‍යෙය් පුර්වාපර සන්ධි ගළපන ස්ථාන වලත් සඳහන් වෙයි. ජම්බුද්වීපය නොඑසේ නෙම් මේ බුදුන් උපන් දඹදිව, වචනයක් ලෙස විසන්ධි කළ හොත් ,දඹ+ දිව ලෙස බෙදේ. ඉන් දඹ යන්න ජලයටත්, දිව යන්න ද්වීපයටත් වර නැගිය හැක. එවිට ජලයෙන් වටවූ දිවයින ලෙස සරලවම දඹදිව යන වචනය තේරුම් ගැනීමට හැකියාව ලැබේ. එහෙත් ඉන්දියාව සමස්තයක් ලෙස ජලයෙන් වටවී නොපවතින භූමියකි. අර්ධද්වීපයකි. එවිට දඹදිව යනු ඉන්දියාව විය හැකිද යන්න කාලයක් සමහරු නැගූ පැනයක්ව පැවතිණි. ඉන් අනතුරුව ඔවුහු අලුත් යෝජනාවක් ගොවෝය. ඉන්දියාව හෝ භාරත දේශය නොවේනම්, එවැනි ජලයෙන් සමස්ත ලෙස වට වූ ආසනනයේම ඇති භූමිය ලංකාදීපය නිසා ඒ දඹදිව ලංකාව යයි ගලපා ගත හැකි බවයි. දැනටත් බුදු දහම පවා පවතින හෙයින්, ඇතැම්හු අදටත් මෙම සාධක වලින් තවත් ඉදිරියට කතා නිර්මාණය කර හෝ සොයා ගෙන බුදුන් උපන් දේශය ලංකාව යැයි තර්ක කරති. එහෙත් එම තර්කයට විරුද්ධව ඉන්දියාවෙන් කිසි පැමිණිල්ලක් නොආ නමුත් ලංකා මිනිස්සු තමන්ට ඉබේ පාත් වූ ගෞරවය පිළි නොගෙන හදිසියේම කලබල වූහ. බුදුන් ඉන්දියාවට දීමට වැඩියෙන් වෙහෙස වෙන්නෙ ලංකාවේ මිනිස්සුය. එයට හේතුව කුමක් විය හැකිද?
බුදුන් උපන් දඹදිව ලංකාව යැයි සිතීම ගැන වඩ වඩා බිය වී සිටින්නේ, ඉන්දියාව සහ නේපාල සීමාවේ ලුම්බිණි සල් වනය නරඹන්නට සල්ලි ගෙවාගෙන ගිය බෞද්ධයෝය. තමාගේ විශ්වාසය බිඳී යා හැකියැයි පවතින බිය තරම් විශාල බියක් මිනිසුන්ට තවත් නැත. සියල්ල අතහරින්නට ආගමික ඉගැන්වීම තුළ ඉගැනුම් ලබන බෞද්ධයන්ට එය එසේ නම්, ලෞකිකත්වය පිළිබඳ වැඩි ඉගැන්වීමක් ඇති කතෝලික ප්‍රජාව පිළිබඳව කවර කතාද?
ඔවුහූ දෙවියන් වහන්සේ ගේ පුත්‍රයාගෙන් පසුව ඔහුගේ රුධිර ධාතුව මනු ලොව පැවතීම හා ව්‍යාප්ත වී යාම සම්බන්ධව විශාල බියක් දක්වන බව පෙනේ. එය ස්වභාවිකය. දෙවියන් පරම්පරාවක් ලෙස වර්ධනය වීම මඟින් දෙවියන් ගේ කියුම් කෙරුම් පිළිබඳව කතා කරන පුද්ගලයන් අපහසුතාවයට පත් වීම ඒ බියේ එක් ප්‍රබේදයකි. විශේෂයෙන්ම ආගම කියවන පුද්ගලයන් මත, එනම් පාදිලිවරුන් මත “ලෝක දේශපාලනයේ රැඳීම“ රැඳී පවතී.
ආගමක් පවතින්නේත් ඉදිරියට ගලා යන්නේත් මිනිසුන්ගේ බිය සහ ප්‍රාර්ථනාවන් පිරුණු හැඟීම් මතය. එම හැඟීම් ඉදිරියට අසත්‍ය හෝ සත්‍ය යන්න තහවුරු කළ හෝ නොනළ ඕනෑම දෙයක් ගෙනැවිත් පාවා දුන් කල ඇතිවන ගැටුම කිසිවෙකුටත් පාලනය කළ හැකියයි ඔබ සිතනවාද?
මරියා නැමති කන්‍යාව ගැබ් ගනු ලබන්නේ දෙවියන් වහන්සේගේ ධාතුවකිනි. ඒ ධාතුව ගෙනෙන්නේ ගේබ්‍රියෙල් නම් දේවදූතයාය. බයිබලයේ කියවෙන මේ කතන්දරයත් සෑම ආගමක්ම මිනිසුන්ට පැවසීමට උත්සාහ කරන පූජනීය කතන්දර වලින් එකක් වීමට මෙන්ම සම්පූර්ණ සත්‍ය හෝ අසත්‍යය වීමටත් එකලෙසම ඉඩ ඇත. ශාස්තෘවරයෙකුගේ පූජනීය බව උත්පත්තියේ සිටම කියාපෑමට නිර්මාණය වන කතන්දර ඕනෑම ආගමක වෙයි. උදාහරණයක් ලෙස මහමායාද පිළිසිඳගන්නේ පෙහෙවස් සමාදන් වූ දිනක තනිව සයනයේ සැතපී සිටියදී අනෝතප්ත විල අසල සුදු ඇත් පොව්වා නෙළුමක් සොඬින් ගෙන කුසට පිවිසෙන ලද සිහිනයකිනි. එය මරියා කන්‍යාවට ගේබ්‍රියෙල් ගෙනා ශුභාරංචියට වඩා විශාල වෙනසක් නැත. ආගම හෝ දර්ශනය පමණක් වෙනස් වී ඇත. කෙසේ වෙතත් පෙර කී සේම මිහි බට ශාස්තෘවරුන්ගේ පරම්පරාවන් ආරක්ෂා වීම ආගම් නිර්මාපකයන්ට විශාල තර්ජනයක් වී ඇති බව පෙනේ.
කිසිම ශාස්තෘවරයෙක් කිසිම ආගමක් නිර්මාණය කරන්නේ නැත. ක්‍රිස්තුස් වහන්සේ ක්‍රිස්තියානි ආගම නිර්මාණය නොකළ සේක. ඔහු දේශනා කළ යම් ධර්මයක් සහ ඔහුගේ අසමසම බවට දැක්වූ ගෞරවය නිසා එය නිර්මාණය කළේත් පවත්වා ගත්තේත් ඉන් පසුව පැමිණි අය විසින් ය. බුදුන් වහන්සේ පිළිබඳවත් එය එසේමය. බුදුරජාණන් වහන්සේගේ අසම සම බව පසු කාලීනව ආගමක් ලෙස නිර්මාණය වූයේ එය පවත්වාගෙන යාම සඳහාය. රාජ්‍ය අනුග්‍රහය ලැබීම තුළින් සමාජය සහ සංස්කෘතිය තුළ ඕනෑම ආගමක් මුල්බැස ගන්නා අතර ඉන් අනතුරුව ආගම වටා මිනිස්සු රොක් වෙන බැවින් සංස්තෘතිය දේශපාලනය මෙන්ම සමාජයද ආගමට අවශ්‍ය ලෙස හැසිරීමට පටන් ගනී. පසුව ආගම සියල්ලම වෙයි. එවිට නිර්මාණයකින් හෝ පවතින ධාරාව වෙනස් මඟකට හැරෙන්නට ඉඩක් ලැබෙන, තිබුණු රාමුව බිඳී වැටෙන්නට ඉඩක් ලැබෙන කුමක් හෝ යමක් සිදුවේ යැයි සැක පහළ වුවහොත් ආගම මත යැපෙන්නෝ ඊට බිය වෙති.
ක්‍රිස්තියානි ආගම් නිර්මාපකයන් මරියා මග්දලේනාට බිය වූයේ මේ නිසා විය යුතුයැයි සිය සාහිත්‍ය තුළ Dan Brown විශ්වාස කරයි. සිනමාව තුළින් එළියට පැමිණෙන්නේද එම කරුණමයි. ලියනාඩෝ ඩාවින්සි යනු එක්තරා චිත්‍ර ශිල්පියෙක් නොවේ. ඔහු ගේ නිර්මාණ සියල්ලම වාගේ කතා බහට ලක් වූ, අගය කරන නිර්මාණයන්ය. ඔහු වැන්නෙක් ගේ සිතුවමක් හරහා ගලායන කතාවට උල්පත සදා ගැනීම තුළ මෙම කතාවේ නිර්මාපකයෝ එයට අනභිබවනීය බවක් ළඟා කර දෙයි.
මරියා මග්දලේනා ගෙන් ක්‍රිස්තුස් වහන්සේ ගේ පරපුර තව දුරටත් ඉදිරියට පැමිණි බව, දක්ෂ ලෙස සාහිත්‍ය කෘතියේ මෙන්ම සිනමා පටයේත් කියා පාන්නේ සමහර ඉතිහාස සංසිද්ධි කිහිපයක් එකම සිද්ධියේ පුරුක් ලෙස යා කර ගනිමිනි. එය සාහිත්‍ය කරුගේ සහ සිනමා නිර්මාණකරුගේ දක්ෂතාවය මිස සත්‍ය ඒ ලෙසම පැවතීම නොවිය හැක. සමහර විට එය සම්පූර්ණ සත්‍යම විය හැක. එහෙත් ආගමට, සංස්කෘතියට දක්වන අසීමිත බිය නිසා රාමු ගත වීම තුළින් සිදුවන්නේ මෙවැනි නිර්මාණ පිළිබඳව කතා කිරීම අල්ප වීමයි. තහනමට ලක් වූ සියල්ල කෙසේ හෝ නරඹන මිනිසුන් වෙතත්, සිනමාව පිළිබඳ කියවීමක් නිර්මාණය නොවේ නම්, එයින් සිනමාවට සහ නිර්මාණකරුවන්ට වඩා ප්‍රේක්ෂකයන්ට සිදුවන්නේ අවැඩකි. සිනමාව කියවීම ඇරඹිය යුත්තේම එය සමාජය වෙත බලපෑම් එල්ල කරන්නට උත්සාහ කරන දිශාවට සම්මුඛව සිනමාව නැරඹීමෙනි.

1 comment:

  1. [උදාහරණයක් ලෙස මහමායාද පිළිසිඳගන්නේ පෙහෙවස් සමාදන් වූ දිනක තනිව සයනයේ සැතපී සිටියදී අනෝතප්ත විල අසල සුදු ඇත් පොව්වා නෙළුමක් සොඬින් ගෙන කුසට පිවිසෙන ලද සිහිනයකිනි. ]

    වැරදිය. එලෙස කියා නැත. සිහිනයෙන් ගැබ් ගත්තා කියා නැත. ඇයට එලෙස සිහිනයක් පෙනුනා කියා පමණක් ඇත.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.