මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

9/7/17

-298- බැරියර් වලින් පැනලා පොත් කියවමු.


කුඩයක් යට හිර වෙන්නට පෙම්වතුන්ට බල කරන පොද වැස්ස  සමඟ තෙත් සහිත වටපිටාවක, නුගේගොඩ ගිලී තිබුණා. වෙලාව හවස හය පහු වෙලා සුළු මොහොතක් ගත වෙන්න ඇති . විසිතුරු කඩ සාප්පු වල හුමාලය බැඳිලා. දුවිලි පෙඟුණ වීදුරු සිපගෙන මහ මඟට ඇස් අයා ඉන්න විවිධ මාදිලියේවිවිධ හැඩතල වල  ඔරලෝසු කාලය ගෙවෙන බව ඇඟෙව්වා. මුළු දවසෙම වෙහෙස මිටියකින් තද කරලා , දහස් ගාණක් ඇණ පහරවල් වලින් හිල් වූ ලොතරයි ලෑල්ලෙන් අවසාන වාසනා පත් උදුරන මැදි වියේ ගැහැණියක්  පොද වැස්සට අත අල්ලන කුඩා දුවට බැන්නා. ඒ හැමෝම අස්සෙන් පාර පැනලා මං පොත් සාප්පුවකට ගොඩ වුණා.

රැජිණ ගෙ භාෂාවට තට්ටු තුනයි. පාඩම් පොත් වලට තට්ටුවයි. සිංහල පොත් වලට තට්ටුවයි. ඒ සිංහල පොත් තට්ටුව.
එකිනෙකා පෙරට එන්ට පොර කනවා වාගෙ පෙනෙන පොත් රාක්ක අතර මැද මඳක් සැඟවී පිහිටි රාක්කයක දෙපස සිදුවන, ඔවුන්ගේ කතා බහ මගේ නොමනා දෙකන්, ග්‍රහණය කර ගත්තෙ මෙන්න මේ වෙලාවෙ. ඔවුන් ඉතාම තරුණ දෙපළක්. සමහර විට පෙම්වතුන් වෙන්නත් පුළුවන්. පිරිමි ළමයා, බර මුහුණක් මවා ගෙන ගැහැණු ළමයා දිහාට හැරුණා.

මල් පොත් කියවන්න එපා.. ඔයිට වඩා හොඳයි පොත් නොකියවා ඉන්න එක
තමාට වඩා මඳක් වැඩිහිටි යැයි, සැලකිය හැකි සිය පෙම්වතා අත තිබූ, මඳක් සුවිසල් පොත් කිහිපය දෙස වරක් ගෑණු ළමයා බැලුවා.  පස්සෙ තමන් අතේ තිබ්බ මල් යැයි සිතිය හැකි පොත රාක්කයේ තිබ්බා.. දැන් ඇය ඔහු පස්සෙ ගමන් කරනවා. ඔහුගේ වචන මට ඇසෙන්නට ඇතැයි,  ඈ අනුමාන කළ නිසාද මන්දා  මා පැත්තෙ හැරිලා ලැජ්ජා සහගත සිනාවක් දීලා ඈ යන්න ගියා.
මල් පොත් වලට, ගැහැණුන්ට වඩා පිරිමින්ගේ විරෝධය දරුණුව නැගෙන යුගයක් මේක. ඒකට හේතුව මොකක්ද කියලා හොයන්න මං කල්පනා කළා. හේතුව දැනගත්ත නිසාම ඒ ගැන ලියන්න හිතුණා. කොල්ලො තරහ වෙයිද මන්දා. ඒත් ඇත්ත කියන්න සහ බිම ඉඳගන්න යං crowd එක බය නැති නිසා අපි කතා කරමු.  

මල් කතා පොත්  කියලා ලේබල් වදින කතන්දර වල ඉන්නෙ පරමාදර්ශී පිරිමියෙක්. ඒ පිරිමියාගේ ෆැන්ටසියට, හුඟක් ගැහැණු හේතුවක් නැතිවම අසීමිතව ආදරේ කරනවා. ඉතින් මේ ආදරය ගැන ඇති වූ ඉරිසියාව හැබෑ පිරිමියාගෙ මල් කතා විරෝධයට එක හේතුවක්. අනෙක් හේතුව තමයි, තමාගෙන් ඒ වගේ පරමාදර්ශී පිරිමියෙක් අත් දකින්නට උත්සාහ දරන සමීප ගැහැණුන් වෙතින් පිරිමියාගෙ මනසට එල්ල වෙන ප්‍රබල කරදරය. මේ කාරණා දෙකම හින්දා බහුතර පිරිමි විසින් මල් කතා පොත් තද බල විදිහට පිළිකෙව් කරනවා. එහෙම නැතිව, ඒ පොත් වල සාහිත්‍ය හරය මදි නිසා රසාස්වාදයෙ නොගැඹුරු කම නිසා තමන්ගෙ පෙම්වතියගෙ, මිතුරියගෙ බුද්ධියට හානි වෙයි කියලා බයට කරන පිළිකුල් කිරීමක්ම නෙවෙයි.

අපි කියන්නෙ නෑ. මල් කතා පොත් වල ඉන්න පිරිමි වගේ, අපේ පිරිමි ළමයි ජීවත් වෙන්න ඕනෙ කියලා.. ඒ පොත් වල පෙම්වතා අරක්කු බොන්නේත් හරිම රොමැන්ටික් විදිහට. හැබැයි  දුෂ්ටයා පිරිත් වතුර බිව්වත්  අන්තිම නරකයි. එබැවින් සමාජ යතාර්ථය හෝ ඉන් එහාට ගිය විදග්ධ සංකීර්ණ කරුණු මේ පොත් වලින් දකින්න අමාරුයි, සමාජයට යම් බලපෑමක් පොත් වලින් කරන්න පුළුවන්. කියවීම මිනිසා සම්පූර්ණ කරනවා කියලා අනාදිමත් කාලයක ඉඳලා කියන්නෙ ඒ නිසානෙ.

කොහොම වුණත්, මල් නවකතා කියන්නෙ, ඉලක්ක කණ්ඩායමක් තෝරගත්ත එක්තරා විකුණුම් ක්‍රමයක්.  විශේෂයෙන්ම අපේ ගාමන්ට් වල වැඩ කරන සොයුරියො, පාසල් සිසුවියො, නිවෙස් වල තනි වූ බිරින්දෑවරු වාගේම, දරුවො ටියුෂන් යවලා පන්තියෙන් එළියෙ කල් මරන අම්මලා මේ මල් නවකතා වල විශේෂ ගැනුම් කාරියන්. ජීවිත වල හිස්තැන් වලට පුංචි සිහිලසක් අරගන්න, අනුන්ගෙ ප්‍රේමයක් තමන්ගෙ කරගෙන අත්විඳින්න තමන්ටම කියලා මොහොතක් හදා ගත්ත මිනිස්සුන්ට ඒකෙන් මිදෙන්න බල කරන එකත් හරි නරකයි. ජීවිත පරිපූර්ණ නෑ. හැම ගැහැණියක්ම පිරිමින්ට වැඩියෙන් ආදරයට හා ආදරය වෙනුවෙන් ලැබෙන දේවල් වලට ආශා කරනවා. ඒත් එකම තැන නොරැඳී ඉදිරියක් දකින්න හැකියාව තියෙනවා නම්, ඕක හොඳ දෙයක්. ඇබ්බැහිය නරකයිනෙ. 



ඉතින් ඔයා දන්නවානෙ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙ වසරක් පුරා පැවැත්වෙන, අටෝරාසියක් ප්‍රදර්ශන පොළවල් අස්සෙ, වැඩිම පාරිභෝගික උන්මාදයක් තියෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය තව සති දෙකකින් ඇරඹෙනවා කියලා. එක දවසක් හරි ඔතනට ගොඩ වදින්නෙ නැති අය දැන් ලංකාවෙ නැතිම තරම්. හැබැයි මේ පාර  ටිකක් වෙනදා නොකියවන පොත් ටිකක් ගන්න උත්සාහ කරලා බලන්නකො. හැමදාම සංකීර්ණ පොත් කියවනවා නම් මේ පාර මල් පොතක් ට්‍රයි කරන්න. මල් පොත් ම කියවනවා නම් වෙනස් පොතක් ට්‍රයි කරන්න. මං කිසි පොතක් කැටගරි කරන්න කැමති නෑ. ඒත් අඳුනා ගන්න ඔයාට පහසුවටයි එහෙම කිවිවෙ. රසවින්දනය ට උස් පහත් බේදයක් නෑ. හැබැයි එක තැනක පල් නොවී රසවිඳීම අලුත් අත්දැකීමක් වේවි! ඔබට අනෙක් අයගෙ සිත් තේරුම් ගන්නත් එයින් පුංචි උදව්වක් සපයාවි. 

4 comments:

  1. හිතන්න දෙයක් ඉතුරු කරන මේ පෝස්ට් වලට මම කැමතියි. ස්වර්ණ පුස්තකේ දිනපු නවකතා ගැන බරසාර ටෝක්ස් දාන බොහොමයක් උදවිය හිත යටින් වඩාත්ම කැමති මල් කතා කියවන්න. නමුත් අඹ යහළුවෝ, මඩොල් දූව, තුංමංහන්දිය, හත්පණ, චරිත තුනක්, මළගිය ඇත්තෝ,ගම්පෙරලිය, කලියුගය, යුගාන්තය වගේ පොත් වලින් අපිට අපේ ජීවිතේ හැඩගස්වා ගන්නට ලැබෙන පන්නරය ඔය කියන මල් කතා පොත්වලින් ඒ
    තරමට ලැබෙන්නේ නෑ. අපේ ළමා කාලය වගේම, අනාගත පරම්පරා ගණනාවක ළමා විය ගොඩ නගන්න සිදුකරන මෙහෙය, ජීවිතය රසවත් කරන්න ඒ වගේ පොත් අපට දායාද කරලා දීල ගිහින් තියෙන දේවල්, සිහින ලෝකවල සිහින කුමර කුමරියන් එක්ක අපිව ගිල්ලවන මේ බොළඳ ප්‍රේම කතා, එහෙමත් නැත්තන් අපේ වචනයෙන් කියන මල් පොත් පොත් වලින් ලබා ගන්න බෑ. නමුත් සරලව කියවලා විඳින්න නම් මේ පොත් හොඳටම හොඳයි. ලස්සන ආරම්භයක් තියෙන වටින පෝස්ටුවක්. ජය..

    ReplyDelete
    Replies
    1. රිප්ලයි දාන්න මහන්සි වෙනවාට ස්තූතියි

      Delete
  2. වයිල්ඩ් කියල තියනව හොඳ පොත් නරක පොත් කියල වර්ග නෑ කියල
    ⁣මම කවදාවත් වර්ග කරල කියවල නෑ
    අතට අහුවෙන එක කයවනව.
    ඒත් මොනවම හරි කියවන කෙනෙකට විහිළු කරන්නෑ නැත්තං මේක විතරක් කියනහං කියන්නෑ. තව කියවන්න අනුබල දෙනව මිස. මොනවත් ම නොකියවා ඉන්නවට වඩා මොනවම හරි කියවන එක හොඳයි . අනිත් දේ තමයි මල් පොත් හොද පොත් කියල දෙ ජාතියක් නෑ. තියෙන්නෙ තමන් කැමති පොත්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාට මහේෂ්

      Delete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.