චී චී චී ලැජ්ජා නැද්ද? අපේ එකෙක් කලාව
කරන්න...
කවුද උඹ දිහා බලන්නෙ? විද්‍යාවයි ගණන්
ගන්නෙ..
අඩු තරමේ වාණිජවත්...
ඉතිං පුතේ නම්බුවක්නෙ? ෆේල් වුණත් විද්‍යාවෙන්
විභාගෙ කරලා..
මේ පේළි හතරෙ තියෙන උපහාසය මට හරියටම
අඳුනා ගන්න පුළුවන් වුණේ හතේ අටේ
පන්තියෙදි එක්දවසක, සෝමලතා සුබසිංහ මැඩම් අපේ ඉස්කෝලට ඇවිල්ලා ඇගේ පරිණත හඬින් අපි
වටකරගෙන මේ ගීය ගායනා කරපු වෙලාවේදියි. ඒ හඬට අපේ නිහාරි මිස් ගෙ තරුණ ජව සම්පන්න
කට හඬත් එකතු වුණාම අපූරු උපහාසයක් අප ඉස්සරහ මැවුණා. සෝමලතා මැඩම් දැන් අපි අතරෙ
නෑ. ඒත් ඈ කියූ කතාවෙ තාමත් වැඩි වෙනසක් නෑ. මේ දවස් වල අපි කවුරුත් දන්නවා
උසස්පෙල විභාගෙ ජයටම පැවැත්වෙනවා කියලා. හැබැයි ෆේස් බුක් ස්ටේටස් දැක්කම නම් පෙනෙන්නෙ
තමන් සතුටු විෂයය අධ්‍යනය කිරීමට තවමත් ගොඩ දෙනෙක්ට අවස්ථාව හිමි නොවෙනා බවයි.
තවමත් සංස්කෘතිය හා දෙමව්පියො වගේම බොහෝ බලපෑම් කණ්ඩායම් විෂයයන් සම්බන්ධයෙන් තරුණ
පරපුරට කරන බලපෑම නතර කරලා නැහැ. සමහරවිට තවමත් අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක්
ගොඩේ ඉන්නෙ, මේ වගේ පටු සිතිවිලි තියෙන මිනිස්සු නිසා වෙන්නත් පුළුවන්. මං උසස්පෙළ
හා රටේ සංවර්ධනය ගැන වෙන දවසක කියන්නම්. අද මං කතා කරන්න කැමතියි, අපිව මේ වගේ
දේවල් වලට ඇදගෙන යන තත්ත්වය හෙවත් නම්බුව කියන කාරණා ගැන. ඉතිං අපි හොයගෙන යං.
විෂයයකින් විතරක් නෙවෙයි, තමන් ගිය
පාසල තුළිනුත් කෙනෙක් නම්බුව ගොඩ නගාගන්නවා. ඉතිං විවාහයක් කරගනිද්දි වුණත් ,
ආයතනයකට කෙනෙක් ගනිද්දි වුණත් අපේ ඉස්කෝලෙ නම හරි වැදගත් වෙනවා. අපි ගිය පාසල හෝ එයට හොඳින්ම ගැළපෙන පාසලක
කෙල්ලෙක් හෝ කොල්ලෙක් එක්කම අපේ කටයුතු වෙන්න ඕනෙ කියලා සමහරු හිතනවා.
උපාධිය වුණත් ඥාණයට වඩා ලංකාව ඇතුළෙ
නම්බුව හා සම්බන්ධ කාරණාවක්. ඒ නිසයි මිනිස්සු බොහෝමයක් දෙනා උපාධි නිබන්ධනය
බයින්ඩ් කරන්න, ලාබම තැන හෙව්වට.. උපාධි පින්තූරෙ රාමු කරන්න හොඳම තැන හොයන්නෙ.
රස්සාව වුණත් එහෙමයි. ලොකු තැනක රස්සාව
කරන කම්කරුවො ලක්ෂ ගණන් පඩි ගද්දි, පොඩි තැනක වැඩ කරන විධායක නිලධාරියෙක් ගන්නෙ
විසි දාහක් වෙන්න පුළුවන්. ඒත් තමන්ගෙ රස්සාවෙ ටයිටල් කියද්දි ලබෙන අහංකාරය සලකලා
ඔහු හෝ ඇය සෑහෙන අභිමානයෙන් සූරාකෑමට
ලක්වෙමින් ඉන්නවා.
මිනිස්සු කවුරුත් නම්බුවට ආසයි. ඉස්සර
මේවා තීරණය වුණේ කුලය මත. අදටත්
යාන්තමට
එහෙම වෙන බව පෙනෙනවා. ඒක එහෙම නෙවෙයි නම් ඇයි සමහර මිනිස්සු තමන්ගෙ නම් ගම් වෙනස්
කරන්න ඔච්චරට වද වෙන්නෙ නේද? කොහොම වුණත් ආගම කුලය වගේ ඉපදෙනකොටම තිබුණ
දේවල් සහ අපි හදා ගත්ත දේවල් එක්ක අපි නම්බු පිස්සුවෙ ඇලෙනවා. ගැලෙනවා.
අපි සමාජ ජාල වල හැසිරෙද්දිත් මේ
නම්බුව හරි වැදගත් සාධකයක් විදිහටයි ක්‍රියාත්මක වෙන්නෙ.ඒ අවඩි අස්සෙ අපි කරපු
උපාධි, ගිය පාසල් වගේම රස්සාවත් අපි පුරවලා.. අපි අපිටම ටයිටල් එකක් හදාගන්නවා.
ඉන්පස්සෙ කැටගරියක් ඇතුළෙ ගුලි වෙනවා. දැන් අපි ආශ්‍රය කරන්නෙ. අපි ලයික් කරන්නෙ,
අපි කමෙන්ට් කරන්නෙ.. ඒ කැටගරිය ඇතුළෙ ඉන්න සෙට් එක එක්ක විතරයි. ඒක අපිට හරි
නම්බුයි.
ඔය අස්සෙ වැරදිලා හරි ඒ කැටගරියට
ඇතුළත් නොවෙන කෙනෙක් එක්ක අපි ආදරෙන් බැඳුනොත් මොකද වෙන්නෙ? අපේ කොල්ලො සෙට් එක
නිතර කියනවා වගේ, එහෙම වුණොත් නම් සුදෝ, බඩුම තමයි. අපි අර අහිංසක ජීවියාගෙ සරල
ජීවිතේ අපේ කැටගරියට ගන්න පුදුම උත්සාහයක් ගන්නවා. අපි එක්ක ඉන්න, අපිට ළංවෙන්න ඒ
කෙනාට තියන අවශ්‍යතාවය මත, එයත් අපි වගේ වෙන්න ගන්නවා. එතනදි ඒ පුද්ගලයාට මුලින්ම
එයා වටේ හිටපු, එයාට ගැළපිලා හිටපු අය අහිමි වෙනවා. ඉන්පස්සෙ එයාට එයාවම අහිමි
වෙනවා. හැබැයි අපිට මාර සතුටුයි. එයාව දැන් බය නැතුව අපේ යාලුවන්ට අඳුන්වා දෙන්න
පුළුවන්. අපේ කෙනෙක් කියලා කියන්න පුළුවන් . මොකද එයා අපේ කැටගරියෙ. දැන් එයත් අපි
දානවා වගේ, ටිකක් අයිඩියල් ස්ටේටස් දාලා, තමන්ගෙ කැටගරියෙ අයට විතරක් ලයික් කරලා ,
අපේ කැටගරියට විතරක් කමෙන්ට් කරලා අපේ කෙනෙක් වගේ හැසිරෙනවා. වැරදීමකින් හරි එයා
පරණ වැඩක් කළොත්, අපි වහාම එයාව නිවැරදි කරනවා. කෙටියෙන්ම අපි අපේ තත්වය නිසා ඒ
මනුස්සයාගෙ සතුට අහිමි කරනවා.
අපි කෙනෙක්ට ඒ කෙනා පවතින තත්වෙදි ආදරය
කළා නම්, ඒක බය නැතිව සමාජය ඉස්සරහ පිළිගන්න හයියක් තියෙන්න ඕනෙ. මහා ප්‍රාඥයෙක්
සාමාන්‍ය කෙල්ලකට ආදරය කළා කියලා ඒකෙන් ඒ පුද්ගලයාගෙ ප්‍රඥාවට හානියක් වෙන්නෙ නෑ.
ඒත් මිනිස්සු ඒ සාධකයෙන් ප්‍රාඥයාව පහත හෙළනවා නම්, වෙනස් විය යුත්තේ මිනිස්සු
මිසක් ප්‍රාඥයා නෙවෙයි. අපේ සිතැඟි වලට තත්ත්වය අපි බාධාවක් කරගන්න තුරුම, නම්බුව
බාධාවක් කරගන්න තුරුම අපි ෆේල් කියලා විතරක් මතක තියා ගන්න. රටේ ලෝකෙ මිනිස්සුන්
ගැන බය නොවී, තමන් තමන් විදිහට ජීවත් වෙන්න.
+++++
ReplyDeleteසම්පූර්ණ ඇත්ත..
ReplyDeleteනිහාරි මැඩම් කිව්වේ නිහාරි වික්‍රමාරච්චි මැඩම්ද?
ඔව්.. වේදිකා නාට්‍ය වල රඟපෑවෙ
Delete