මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

9/30/10

නීනුගේ රෝස වලාකුළට අවුරුද්දයි...


බොහොම ස්තූතියි කියවපු හැමෝටම..
ඉදිරියටත්  රෝස වලාකුළ ඔබට එපා නොවේවි කියලා හිතනවා...මගේ හුඟාක් අදහස් බෙදා ගන්න, සමහර වෙලාවට පාලුව මග හරවා ගන්නත්...මේ බ්ලොග් එක මට උදව් වුණා...මට මේ බ්ලොග් කෙරුවාවට ගොඩක් අය උදව් කළා....අක්කණ්ඩි,මංජුල අයියා,කාලිංග අයියා, ඉන්දරේ අයියා, ශාකුන්තල අයියා, ගයන්ත ,කනිෂ්ක අයියා,අන්තිමයා,ගෙහාන් අයියා,දුකා අයියා,රාමචන්ද්‍ර,තමීර තවත් ගොඩාක් අය මේ බ්ලොග් කෙරුවාවෙදි, උදව් කළා. මිත්‍ර වුණා.වචනෙකින් හෝ උදව් කළ ඔබ හැමටම ගොඩ්ඩක් ස්තූතියි.මට මතක් කරන්න බැරි වුණ අයගෙන් සමාව ඉල්ලන්නත් ඕනේ.ආ..අමතක වුණා..මට නීනු කියන නම තියපු අපේ රුක්ෂාන් මල්ලිවත් මතක් කරන්න ඔනේ...

මම රෝස වලාකුලේ ලියපු දේවල් දෙකක් විතර පත්තරෙත් ගියානේ..නව මාධ්‍යය ගැන ඉගෙන ගන්නත් බ්ලොග් එක ලොකු උදව්වක් වුණා.සිංහල බ්ලොග් සංසදයයි, බූන්දියයි ත් මම මතක් කරනවා..ආදරයෙන්!

ඉතින් දැනට ආයුබෝවන්!!!

9/23/10

පොත් ප්‍රදර්ශනයේ අතුරු කතාවක් හෙවත් පිටු පනහක් රුපියල් දහයට...

මේ වන විටත් බණ්ඩාරනායක පරිශ්‍රයේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණය පැවැත්වෙනවා.අති විශාල ජනකායක් මේ සඳහා ඇදී එනවා.ඔවුන් පොත් බොහෝ ප්‍රමාණයක් මිලට ගන්නවා.ඒවා අතර විවිධ විෂයන්ගේ පොත් තිබෙනවා.විවිධ භාෂාවන්ගේ පොත් තිබෙනවා.පාරිභෝගික ජනතාවට, විශාල වට්ටමක් ලැබෙනවා සේම වෙළඳ පිරිසට විශාල ලාබයක් ලැබෙනවා. මේ වසරේ නිකුත් වූ පොත් පහක් නිර්දේශ කිරීමෙන් අනතුරුව ඉන් එක් පොතකට ස්වර්ණ සම්මාන ලැබෙනවා.පොත් ගණනාවක් පර්ශ්‍රය මැද පිහිටි වේදිකාව උඩ ඒ ඒ දින වල දොරට වඩිනවා. මේ හැම වරම මේ පොත් ප්‍රදර්ශනය පිළිබඳ අප කරන සාමාන්‍ය කතා බහයි.

අද මීට වඩා වෙනස් පැතිකඩක් ගැන සොයා බලාන්න මම තීරණය කළා.ලංකාවේ ඉහල පෙළේ නම් දිනූ ආයතන බොහෝමයක් මෙහි වෙළඳ කුටි ලබා ගන්නවා...ඔවුන් පොත් පත් විකුණනවා.ප්‍රකාශණය කරනවා. ඒ සම්බන්ධයෙන් ගැටළුවක් නැහැ.නමුත් වටිනාකම් බාල්දු කිරීම සුදුසුද යන්න පිලිබඳ ගැටළු පවතිනවා... මහගම සේකරගේ පොත් රුපියල් දහයට අලවි වෙනවා...තවත් තැනක පොත් 10 ම සියයයි.මේ ඔක්කොම කලා කෘතීන් .මෙය ඉතාම වාසි දායකයි. දුප්පත් කලාවට ආදරේ කරන අයට ඒවා රැගෙන යාමට හැකි වීම ගැන සැබැවින්ම මට සතුටුයි.එහෙත් මෙතරම් ශ්‍රේෂ්ඨ ග්‍රන්ත වල මිල මෙතරම් බාල්දු කරන්නේ ඇයි?..ඉතාම නොවටිනා දේ වැඩි මිලට එළි දකින කාලයක සේකරයන්ගේ කවි පිටු පනහක් රැපියල් දහයට අලෙවි වෙද්දී මට සැබැවින්ම දුක සිතිණි.මේ පිළිබඳව කළ හැක්කක් නැතත් ඒවා අඩුමිලට හෝ කියවන්නනන් ගේ අතට යනු ඇතැයි සතුටු වීමි....එහෙත් කඩල මුදලාලිලගෙ අතින්ද මහගමසේකර ගෙදර ගිය බව මට දැක ගත හැකි විය.මම එලියට පැමිණ කඩල ගොටුවක් අතට ගතිමි. එහි මෙසේ සඳහන් විය


බුද්ධිය ඔබ තමයි එදා
පාර කියා දුන්නේ...
(මැකී ඇත. )
නුඹේ බහට රැවටීලයි
සිදාදියට ආවේ..
(මැකී ඇත. )
අම්මේ මට ගමට එන්න
පාර කියාපන්නේ..

9/19/10

පාඨකයන් දෙදෙනාගේ කතාව

මම තීරණය කළා, මේ ලිපිය අදම දාන්න ඕනේ කියලා.අනගාරික ධර්මපාල තුමාගේ දිනය වෙනුවෙන් මම හදාපු වොයිස් කට් එකත් නියමිත දවසට අප්ලෝඩ් කරගන්නත් බැරි වෙචිචි එකේ මේකවත් වෙලාවට කරන්න එපායැයි..

ඔන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඊයේ බණ්ඩාරනායක අනුස්මරණ ශාලා පරිශ්‍රයේදී ඇරඹුණා.හැමෝම දන්නවානේ මේ දවස් වල ඒක හදනවා..ඉතින් සිරිමාවෝ පරිශ්‍රයෙයි එලියේ ටෙන්ට් කූඩු ඇතුලෙයි තමයි පොත් තියෙන්නේ...

තද බදයත් වැඩියි ටිකක්..වෙනදාට වඩා..

ඔන්න කලින් කතා කරගත්ත විදිහට අන්තිමයි මමයි පොත් ගන්න ගියා කියමුකෝ!!...අන්තිමයා මගේ නෑ කෙනෙක්..අන්තිමයා සෞන්දර්යෙ කියලාත් කියමුකො ...එයාට ඕනේ කරන්නේ නාට්‍ය ගැන තියෙන පොත්.....ඒවා හොයන අස්සෙ සිංහලයෙන් සිංහල බලන ශබ්ද කෝෂයක් හොයන්නත් රට පෙරළුවා.. මම ඉතින් ජන සන්නිවේදනය කරනවයි කියමුකෝ....ඔන්න මමත් සාහිත්‍ය,දේශපාලන පොත් ටිකක් හොය හොය ඉස්සරහට ගියා...ඔහොම යනකොට තියෙනවා ලොකූ ශාලාවක් ඇතුළ හොඳටම හීතලයි...ඔක්කොම වට කරලා...හරියට මෝචරියක් වගේ....අපි දෙන්නත් ඇතුළට ගියා...ඉතින් ඔක්කොම මහා විසාල ඉංග්‍රීසි පොත්..අන්තිමයගෙයි මගෙයි දෙන්නාගෙම ඉංග්‍රීසි දැනුමෙ අඩු පාඩු කම් තිබ්බාට කඩ්ඩ කෙටීම බැරිකමක්මත් නෑ.. ඒත් ඒ පොත් නම් දෙන්නාටම ටිකක් බර වැඩියි....

ඔය අස්සෙ රාක්කෙක තිබ්බා.. පොත් වගයක් ඒකේ නම "බ්ලොග් මේකින්ග්"..අන්තිමයා ගිහින් ටග්ගාලා පොත් ගොඩෙන් පොතක් අරගත්තා...
අරගෙන එක පාරටම ඒ පොත රාකෙට දැම්මා...
මම ඉතින් ඇහුවා ඇයි ඒ කියලා?
එතකොට අන්තිමයා කිව්වා.... එයාට ඒ පොතේ තියෙන හැම දෙයක්ම වගේ පුළුවන් ලු....එයාගේ භාෂාවෙන් කිව්වොත් "ආ...ඕවත් පොත් ද?" කියලා කිව්වා...
අනේ ඉතින් මට පුදුම හිතුණා.. මමත් ඒ පොත අතට ගත්තා... අපි බ්ලොග් හැදුවාට මොකද ...ඒකේ තියන ඩේවල් බෑලූ බැල්මට නම් අප්‍රභංශ වගේ....ඒත් මට පුළුවන්ද? අන්තිමයාට පරාද වෙන්න...මමත් කිව්වා ඒ පාර "ඕවත් පොත් ද?"..කියලා... ඒ පාර එක පාරටම අන්තිමයා අහනවා.. ඔයාට ඇත්තටම ඒ පොතේ ඔක්කොම පුළුවන්ද කියලා...එතකොටයි නීනුට කරණාව තේරුණේ...අන්තිමයාටත් ඒ පොතේ කිසි දෙයක් තේරිලා නෑ....


අන්තිමයා ඕක විශ්ව විද්‍යාල නාට්‍යයකටත් කරයි මගේ හිතේ....කොහොම වුණත් එයා ගත්තු ශබ්ද කෝෂේ නම් වටිනවා... නොදන්න වචන අහගන්න පුළුවන් දැන් එයාගෙන් ඔනේ කෙනෙක්ට...වචනෙට රුපියලයි...මම මේ පණිවිඩේ ඔයාලාට කිවුවම, එයාගෙන් ඔයාලා අහන වචන දහයකට රුපියල ගානේ මට අන්තිමයා ගෙවනවා කිව්වා....අන්තිමයාට මේක ඇහුණානම් ඉතාම උපේක්ෂා සහ ගතව මෙන්න මෙහෙම කියාවි

"මැස්සෙක් ගිය උඩ?"

9/8/10

දෙදහස් දහයේ සැප්තැම්බර් මස අට වෙනි දින සිහි වීම පිණිසයි!



අද ලංකවට විශේෂ දවසක්..අද දහ අටවෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් වුණා.මේ වෙනකොට ඡන්ද 161ක් පක්ෂව ලැබී එය සම්මත වී තිබෙනවා.. ..ඒ වෙනුවෙන් හුඟාක් ජනතාව එක එක ප්‍රදේශ වලින් කොළඹට ආවා.18 වෙනි සංශෝධනය ගැන ආඩම්බරයෙන් ඔවුන් කතා කළා..සහය පළ නොකරන අයට සහය පළ කරන්න කියලා විශාල උද්ඝෝෂණත් කළා. නමුත් අපි ඔවුන් සියලු දෙනා ගෙන් අහඹු ලෙස විවිධ වෘත්තීන්ගෙ යෙදෙන සිය දෙනෙක් අරගෙන එක ප්‍රශ්නයක් අහමු...
18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට ඔබ සහය පළ කරන්නෙ ඇයි?
මම හිතන්නෙ නැහැ ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට ඒ පිළිබඳව දිය හැකි සාර්ථක පිළිතුරක් ඇතියි කියලා.
මිනිස්සු මේ ගැන නොදැනුවත්.වගන්ති වල අන්තර්ගතය තබා අඩුම තරමෙ ඔවුන් සංශෝධනයේ එක වාක්‍යකවත් හරි හැටි තේරුම අරන් තියෙනවාද යන්න සැක සහිතයි.
මිනිස්සු බොහෝ දෙනා තමන් පාලනය වන ආකාරය කුමක්දැයි දන්නේ නැත. එකිනෙකා විසින් කුප්පවනු ලැබූ කළ ඒ ඒ පැත්තට හූ මිටි තැබීම ලංකාවේ බහුතරයේ සාමාන්‍ය ක්‍රමවේදයයි...ලංකාවේ සියලුම පක්ෂ තම තමන්ගේ උවමනා එපාකම් අනුව ජනයා හසුරවනවා මිසෙක ජනතාවගේ විමුක්තිය ගැන සිතනවාදැයි තවමත් ගැටළු සහගතය.

සෝදා පාළුවේ පාළු මකන අපේ රටේ මීඩියාද මේ ක්‍රමයට අනුගත වී ඇති සෙයකි.ඔවුන්ගේ පුවත් වල බොහෝ ඉඩක් ගන්නේ කොළඹ නගරයයි. ආර්ථික මරමස්ථාන තුළ පුවත් මැවෙන නිසා එය සාධාරණයැයි මොහොතකට සිතමු. නමුත් පුවත් තුළ හැමදාම හිට් වන්නේ එකම පිරිසකි.වැදගත් දේ නොව හිට් වන දේ පෙන්වන වර්තමාන නාලිකාද ජනතාවගේ මොළ තුළ පවතින නොදැනුවත්කම ගැන වගකිව යුතුය.

තමන් පාලනය වන්නේ කොහොමද? කියා වත් හරි හැටි නොදන්න මිනිසුන් ලෝකය තුළ ජීවත් වීමේ පලක් ඇත්ද?වැදගත් වන්නේ දැනුවත් වීම නොවේද?... පෞද්ගලිකව මට පෙනී යන පරිදී 18 වෙනි සංශෝධනයේ කිසිම අවශ්‍යතාවයක් ශ්‍රී ලංකාවට ඇති බවක් පෙනෙන්නේ නැත...එයින් සිදුවන්නේ එක් පුද්ගලයෙකු තුළට විශාල බලයක් කේන්ද්‍ර ගත වීමක් බව පමණක් මට කියමි.. දැනීමක් නැතිව ඇයි අපි කවුරුත් කියන පළියට ඕනෙම දෙයකට එකඟ වෙන්නෙ ? එහෙමත් නැත්තම් විරුද්ධ වෙන්නේ?..

ආදරණීය මිනිසුනේ..ආදරෙන් කියන්නේ...ඔබ දැනුවත් වෙන්න...ඔබ දැනුවත් නොවුණොත් ඔබව ආරක්ෂා කරන්න කාටවත් බැරි වේවි...ඒත් මගේ ආයාචනය කියවන්න අන්තර්ජාලයට එන්නෙ ඔබෙන් කීයෙන් කීයද?..එයිනුත් මේ බ්ලොග් එක කියවන්නේ කීයෙන් කීයද? කමක් නැහැ... දන්න හැමෝටම කියන්න...ජීවත් වෙන වාලේ ජීවත් නොවී තමන් ජීවත් වන රටේ තත්වයට බුද්ධිමත්ව මුහුණ දෙන්න කියලා..නැත්තම් කවදා හරි අසරණ වෙන්නේ ඔබේ දරුවො! හරියට අපි වගේ...

9/3/10

පුංචි සටහනක්

දින ගනණාවකට පස්සෙ ඔන්න ආපහු බ්ලොග් එක පැත්තේ ආවා... ඉස්පිරිතාලෙ හිටියා දවස් හයක් ...ඒත් තව ඉන්ජෙක්ෂන් ගහන්න තියෙනවා. ඒ ටික ගහන තුරු ඇඳ උඩ සිටිය යුතුයිලු..පරිගණක කටයුතු නම් ගැටළුව්ක් නෑ..ඒත් අම්මා කියන්නෙම විවේක ගන්න කියලා...මට පොඩි පොඩි උවමනාවල් ටිකක් තියෙනවා..ඉටු කර ගන්න. මම හිතුවා..ඒකට සින්ඩි ෆ්‍රෙන්ඩ්ස්ලා ගෙන් පුංචි අදහස් ටිකක් ගන්න....

1. රෝස වලාකුළු වලට එන ගොඩක් අය කියනවා. ඒක හරිම හුරතල් නමක් කියලා... ඒ ගැන ඔබ මොකද හිතන්නෙ?

2.නමක් මාරු කරනවා නම්, හොඳයි කියලා හිතෙන නම මොකක්ද?

මට මේකට අපේ සින්ඩි යාලුවන්ගෙන් උදව් ලැබෙයි කියලා හිතෙනවා....

රෝස වලාකුළට අවුරුද්දක් පිරෙන්නෙ හරියටම මේ මාසෙ අගදි... ඒකත් මේ දැන් මතක් වුණේ....මම දැන් යනවා මගේ අනික් බ්ලොග් එක දිහාට...ඒකට ලිව්වාම අපේ ඉස්කෝලෙන් ලකුණුත් හම්බෙනවා...ඔයාලත් ඒක බලන්න එන්න... මතක ඇතිව.