12/27/15

-262- කෙටි කලබල සිහින සහ පුම්බන ලද සබන් බෝල

මම ඒ තරම් කවි ලියන්නට රුසියෙක් නොවෙමි. එහෙත් කවි කියවීමට මා රුසියෙකි. එබැවින් ඉතා කෙටි කලබල සිහින කියවමි. මට ඒ සුන්දර කවි උත්සවය මඟහැරිණි. බසු වෙස් මුහුණද, බුක් මාර්ක් ද අහිමි විණි. කෑමට දුන්නේ මොනවාදැයි මම මෙත්මලීගෙන් අසමි. මෙත්මලී සිටින්නේ බෙර ගසන තැනක බැවින් ඇයට මා කියන දේ ඇසෙන්නේ නැත. කෙසේ වෙතත් පොත සජීව ලෙස පිටුවෙන් පිටුව පෙරළීමේ ශංගාරාත්මක අවස්ථාව මඟහැර ගැනීම ගැන මට මා ගැන ඇත්තේ සියුම් කෝපයකි. එහෙත් නොමිලේම රචිකාවගෙන් ම විද්‍යුත් කොපිය ලැබීමට තරම් භාග්‍යවන්ත වීමි. නීතිවිරෝධී දේ කවදත් ප්‍රිය කරන මම ජංගම දුරකථනයෙන් කෙටි කලබල සිහින මේ මොහොතේ රසවිඳිමින් සිටිමි. සහන් පද්ම සංඛ ඇඳපු පිට කවරයෙන් පටන් ගනිමි. මම පිට කවර කියවීමට කැමැත්තෙමි. රැළි ගහන මුහුද අනිත් පැත්තට හරවා ඒ මත සවිකළ මලකඩ කෑ දම්වැල් ඇති වික්ටෝරියා පාර්ක් සම්ප්‍රදායේ ඔන්චිල්ලාවක් පදින මේස් සපත්තු දැමූ මොන්ගෝලියානු නව යොවුන් දැරියකි. ඈ වට පහලින් ගොඩනැගිලි හා මහාමාර්ග වලින් ගහණය වූ වෙරළබඩ නගරයකි. ඒ කොළඹ දැයි, මට කුඩා පින්තූර වලින් තේරුම් ගත නොහැක. එය කොළඹ වුවත්, වරායේ උඩින් චෛත්‍ය නොපෙනේ නම් මම එය කොළඹ යැයි පිළි ගන්නේ නැත. ඉතින් කෙසේ වෙතත්, එය සංවර්ධනයේ උත්කර්ෂයට පත් නගරයකි. සංවර්ධනය කියන්නේ ගොඩනැගිලි නම්, මහ මාර්ග සහ යටිතල පහසුකම් නම් එවන් සංවර්ධනයක ඉහළම හිනි පෙත්තේ, සාගරය කණපිට හරවා ඔන්චිලි පදින යුවතිය කුමක් බලාපොරොත්තු වෙනවා විය හැකිද? ඒ බලාපොරොත්තු “කෙටි කලබල සිහින “ වන්නට ඇත. රළ පෙළ මෙන් කලබලෙන් , කෙටි වෙලාවකින් ස්වේත රේඛාවක කිමිද නොපෙනී යනවා විය හැක.

පින්තූරය ගත්තේ Asian Mirror අඩවියෙනි.

නමින් “කෙටි“ යන වචනය දුන්නාට, ඒවාට ගැළපෙන්නට තරම් “කෙටි කවි“ අඩු යැයි මට සිතේ. නමුත් බොහෝ කවි කලබලෙන් ලියා ඇති බව නම් දැනෙයි. සමහර කවි කූඨප්‍රාප්තියෙන් එහා බොහෝ දුර යාම නිසා කවියේ රසය අඩු වී තිබේ. හැඟීම් වලට ලෝබ වීමෙන්, කවි අනවශ්‍ය තරමට ගලාගෙන යාමට ඉඩ දීම බොහෝ හොඳ කවියෝ කරන වරදක් යැයි මම සිතමි. කවිය ලියන්නේ ඔබ නම්, නරක ලෙස, දරුණු ලෙස ඔබේ කවියට විරුද්ධ වී කවිය නතර කරන්නට කවි කාරයන්ට බැරි ඇයිදැයි මම අසමි. කවියන් වචන වලට බය විය යුතු නැත. කවියන් හැම විටම තාලය ගැන සිතා වද විය යුතු නැතැයි මම සිතමි. කවි ලස්සන වන්නේ හොඳම පිළිවෙලට වචන යෙදීමෙන් මිස, තාලය අල්ලා ගැනීමට අකුරු හා සක්ක පද යෙදීම තුළින් නොවේ. බස්සි ලස්සනට ලියයි. එහෙත් මෙවැනි දේ මට අනුව ඒ ලස්සන මඳක් නතර කරයි.

උපුටා ගැනීම 1 - (පිටුව 24)
පෙරදිගම මුතු ඇටය මේකය.
උපුටා ගැනීම 2 - (පිටුව 23)
මහත කොන්දොස්තරා වරක් දෙවරක් උඩ පැන

“මුතු ඇටේ දැන් කාකි පාටය“ කවිය, මම බස්සිගේ ඉතා කැමති කවි අතර වෙයි. එහෙත් ඒ කවිය ඉවර විය යුතු තැනින් එහාට බස්සි දන්නා සම්පූර්ණ සිද්ධිය කවියෙන් කියන්නට යෑමේ වරද බස්සි කරයි. සමහර වචන වලින් ඒ වචන වලින් දනවන තරම් දෙයක් හදවතට නොදැනෙයි.

උපුටා ගැනීම 3 -(පිටුව 25)
“ අන්න ඒක (ලු) ලොකුම පාපය“

මෙහි “ලොකුම“ යන වචනය නැති වුණා නම්, මාගේ හදවත මීට වඩා රිද්මයානු කූලව කම්පනය වනු ඇත. මේ සෑම දෙයක්ම මා පවසන්නේ මට අනුවය. එය තව කෙනෙකුට වෙනස් විය හැක. “පාපය“ යන වචනය බයිබලය ආශ්‍රය කරගෙන වර නැගෙන ආකාරය තුළ මට “බට්ටී“ ගෙන් කුසලානය දරන මේරි මැග්ලන්ඩ් ව පෙනෙයි. මට පුදුම අපේ බස්සී රිද්මය නිසඟයෙන් එන තැන් බලහත්කාරයෙන් විනාස කර, රිද්මයක් නැති තැන් වලට බලයෙන් රිද්මය ඔබ්බවන්නේ ඇයි කියා ය. ඒ බස්සිගේ හුරුබුහුටි කම විය හැකිය.

“කොමන්ඩෝ පෙම්වතා ගේ සුරතාන්තය “ ගැන බසු ඇස දකින වෛරයට මම අකමැත්තෙමි. එහෙත් බස්සී කැමති ලෙස දකින්නට බස්සීට හැකිය. මම වෛරයට අකමැති, වෛරී කවි වලට අකමැති කෙනෙක් නොවෙමි. මේ මොහොතේ මම වෛරයට අකමැති වෛරය විසින් එකී කවියේ කවිත්වය යටපත් කරන නිසයි. මේ කවිය වෛරය පසෙක දා ලිව්වා නම්, බස්සී මීට වඩා වෙනස් ප්‍රවේශයක් සහිතව ලියන බව මට සහතිකය.

රබන් තලන ආච්චිලාගේ කවි නිමිත්ත, මම බස්සි ගැන ආඩම්බර වන කවි නිමිත්තකි. එහෙත් ඒ වචන පිළිබඳව මීට වඩා කල්පනා කාරී විණි නම්, බස්සි අනර්ඝ කවියක් බිහි කරනු ඇතැයි මම විශ්වාස කරමි. බස්සි තවත් බොහෝ මුවහත් විය යුතුය. බස්සිට මට වඩා සිහින ඉපදෙන්නට තරම් වාසනාවන්ත නිසා බස්සි අක්කා මුවහත් විය යුතුය. බස්සිගේ කවි වල වෙන කවියන්ගේ සුවඳ මට සමහර තැන් වලදී දැනුණත් එය මම ගණනකට නොගනිමි. කවියන් ආභාසය ලද පමණින් කුකවියන් යැයි කිව හැකි නොවේ. අපි දොහොත් මුදුන් තබන කවියන් පවා, සිය මුල් කවි වලදී තමන් අදහන කවියන්ගේ ආදරය කවි තුළට එබීමට ලෝබ වෙයි. මම එය කවියන්ගෙන් කවියන්ට ආත්මීයව ප්‍රේරණය වන ආදරය යැයි අදහමි.

බස්සි අක්කා තාමත් හත් පෙති මල අදහයි. සමනළයන් විශ්වාස කරයි. එබැවින් ඇයගේ ලෝකය ට බර සාර විචාරයන්ට වඩා සහෘද විචාර ඕනෑ කරයි. බස්සිට නිතර තර්ජනය කරන, බනින මෙන්ම ආදරේ කරන මම කියූ දේ බස්සිගේ කවි ලෝකයට හොඳක් කරත්වායි මම පතමි. බස්සි තව බොහෝ දුර යන්නට නම්, බොහෝ කවි කියවිය යුතුය. බස්සිගේ ආත්ම ප්‍රකාශනය කවිය නම්, කවි ලියන්න බස්සි උගත යුතුය.

හදිසි සුන්දරත්වයකින් එකවරක් හෝ ඔබ මුසපත් කිරීමට තරම් බසු කවියට හැකියාව ඇති බව ඔබ තේරුම් ගත යුතුයි . එය හරියටම පුම්බන ලද සබන් බෝලයක් වැනිය. ඔබ වටා දෝලනය වෙමින්, ඔබව ඒ තුළට ගනිමින් පවතින ලෝකය පුංචි සුන්දරත්වයකින් පෙන්වා අවසානයේ පුපුරා යයි. බසු කවිය කියවන්න. සුබ අනාගතයක් බස්සි අක්කේ.






මීට,
ස්ටෝබේරි කිරි සහ කෝන් ෆැලැක්ස් සමඟ
රෝස වලාකුළු වල සිටින මම
2015-12-21

12/24/15

-261- හීන කාණුව

“වැඩියෙන්ම අමාරු එයා ළඟ නිදා ගන්න එක නෙවෙයි. එයාගෙ පරණ ගෑණු අයගෙ උජාරුව අහන එක“ මේ දවස්වල තමන්ගෙ පෙම්වතා ගැන ශානිකා මට කිව්වෙ එහෙමයි.

ශානිකාව මම අඳුන ගත්තෙ ගාමන්ට් එකේ වැඩට ආපු පළවෙනිම දවසෙ. එදා මා එක්ක මුලින්ම කතා කළේ එයා. මේ වෙද්දි ගාමන්ට් එකේ ගෑණු ළමයි අතර මට අනික් අයට වඩා ටිකක් ඉහළ තැනක් තියෙනවා. ඒ සුපයිසර් මට කැමති නිසා. ගෑණු ළමයි කවුරුත් මට දුක කියනවා. එයාලා හිතන්නෙ මගේ බහට එයාලාට වැඩිපුර ඕ ටී සාලිය සර් ගෙන් හම්බවෙයි කියලයි. ඒත් සාලිය සර් නෙවෙයි ඕ ටී දාන්නෙ, ජානකී නෝනා. ජානකී නෝනාව යාලු කරගන්ඩ කාටවත් බෑ. ජානකී නෝනා හරි උඩයි. එයා දෙවනි බොස් ගෙ ස්පෙයාර් වීල් එකක් කියලා ශානිකාමයි මට කිව්වෙ. ඉතින් මට කරන්න පුළුවන් දෙයක් නැතත්, උන්ට ඕනෙ උන්ගෙ හිත රවට්ට ගන්න නම්, මට මොකෝ..

“බෝඩිමේ කුලිය දීලා දවසට දෙවේල කෑවම ගෙදරට යවන්නවත් කීයක්වත් ඉතිරි වෙන්නෙ නෑ අනූ“ ජයන්ති තේ කෝප්පෙ මේසෙ උඩට තල්ලු කළා. කැන්ටිමේ ෆෑන් එකක් නෑ. ෆෑන් එකක් තිබ්බොත් වැඩි වෙලාවක් එතන රැඳෙයි කියලා, පර්සනල් එක බයයි. ජයන්තිගෙ බඩට දැන් මාස හයයි. ඒ නිසා දාඩිය දානවත් වැඩියි. ජයන්ති පව්!

එයා තාමත් නීතියෙන් බැඳලා නෑ. ජයන්ති යාලු වුණ ත්‍රීවිල් අයියා දැන් ඒකිව මඟ අරිනවා. ත්‍රීවිල් අයියාට සැකලු දරුවා ගැන. පිරිමි ඔක්කොම වගේ ඔහොමයි. කරද්දි කිසි ප්‍රශ්නයක් නැතිවට, එතනින් පස්සෙ ආත්ම ගෞරවය, සංස්කෘතිය, රටේ සංවර්ධනය ඔක්කොම ගැන සෑහෙන හිතනවා. එහෙම නැත්තං ජින්ටෙක් එකටත් වඩා ඩී එන් ඒ ප්‍රශ්න එයාලාට තියෙනවා. ජයන්ති නං දැන් හිතෙන් ඒවා අතෑරලා තියෙන්නෙ. ආවොත් බඳිනවලු. නැත්තං ලබන මාසෙ එකතු කරගත්ත ටිකත් අරන් කොහේ හරි ඈත පළාතකට යනවලු. ආයෙ ගමේ යන්නෙත් නෑලු.

හැමෝටම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. අපේ බෝඩිමම තනිකරම ප්‍රශ්නයක්. පුංචි කොල්ලන්ට විස්ස විස්ස දීලා ලෑලි බිත්තියෙ ගුල් හදවන මාටින්ගෙ සෙට් එක රෑට රෑට අපි ඇඳුම් මාරු කරන කොට ඒ ගුල් වලින් බලා ඉන්නවා . අපි කරන්නෙ පෝස්ටර් අලවලා හවසටම ඇතුළෙන් හිල් වහන එක. එකම කාමරෙන් දෙපාරක් කුලී ගත්තාට මොකද සිරිලා අක්කාටත් අපි ගැන කිසි කැක්කුමක් නෑ. එකම වෙලාවට ෂිෆ්ට් එක මාරු වෙන කට්ටි දෙකකට එකම බෝඩිම රෙන්ට් කරලා ඒ ගෑණි ඩබල් හොයනවා.

මේ ලෝකෙ හරිම පුංචියි. අපි දකින්නෙ ඊටත් වඩා පුංචි ලෝකයක්. ගාමන්ට් එකයි.. කුණු ලේන් එකයි, ලෑලි බෝඩිමයි,කඩ පේළියි විතරයි අපේ ජීවිතේ. දවල් බාගෙට කාලා පිඟන් වල ඉතුරුකරලා ගිය මස් කෑලි, ආයෙ රෑ කොත්තුවෙ ගහලා දවල්ටත් වඩා වැඩි ගාණට විකුණන නානා වගේ අපිත් එකම තැන පල් කරන ජීවිතේ ආයෙ චුට්ටක් සුවඳ ගස්සලා අලුත් දවසකට ගෙනියනවා. කාගෙවත් ප්‍රශ්න ගැන ඕනෑවට වඩා කාටවත් දුක්වෙන්න බෑ. තේරුමකුත් නෑ. මට වඩා පස්සයි පපුවයි තියන කෙල්ලෙක් ආවොත් සාලිය සර් ඒකි එක්ක යාලු වෙයි කියලා මට වුණත් නිතරම හිතෙනවා.

දැන් වහින්න පටං අරං.. කුඩේ අමතක වෙන තැනින් පටන් ගන්න ප්‍රශ්න තමයි හුඟක් භයානක කියලා බැඳපු නැති ලොකු අක්කා ගමේ ගිය දවසක කියනවා මං අහගෙන. මැහුම අස්සෙන් රංගිකා හොරෙන් හොරෙන් ඔඩොක්කුවෙ තියාගත්ත ෆෝන් එකට එබෙනවා. මම මැෂිම පෑගුවා. ජීවිතෙත් හරියට ජුකී මැෂිම වගේ... කොච්චර කැරකුණත් එකම තැන.

අපේ හැම කෙල්ලෙක්ගෙම හීනෙ ලස්සන ෆෝටෝ අරං ෆේස්බුක් යන්න පුළුවන් ෆෝන් එකක්. ඒවායෙ ඉන්න ජාතියෙ රට දැයට ලැදි, එහෙමත් නැත්තං ඒ ඔක්කොටම පලු යන්ඩ බනින තාලෙ හොඳ හැටියට සල්ලිකාර ජේත්තු කොල්ලෙක් පල්සර් එකක නැගලා කවදාහරි එයි කියලා උන් හිතා ඉන්නවා. උන් ඒ ගැන හීන දකිනවා. ඒත් ඒ හීන වලට මේ වැස්ස ඇළ දොළ ගංගා දිගේ මහ මුහුදට තුරුළු කරන වතුර කඳ තරම් ඈතට ඇදිලා යන්න වරම් නෑ.. අපේ හීන වත්තෙ කුණු වතුර කාණුවෙ වතුර වගේ. පල් වෙච්ච ඇල එහා වගුරෙන් හැම දාම නතර වෙනවා.

9/2/15

-260- සුළඟට ඇරුණු සටහන

මහජන පුස්තකාලයේ අසල හිඳ නිදි ගත් නාඳුනන යුවතියකගේ සටහන් පොතකින් පිටපත් කරගතිමි.
ඇයත් නොදැනම මේ පිටුව සුළඟට දිග හැරී තිබිණි.



නවකතාවල විත්‍රපටි වල තියෙන දේවල් ජීවිතය වෙන්නෙ නැතිවට, එයින් බිංදුවක තරම් දෙයක් වත් හැබෑ ජීවිතේදි අත් විඳින්න ලැබෙනවා නම්, මිනිස්සු හරි වාසනාවන්තයි. සමහර විට ඒ නළු නිළියොවත්, තමන් රංගනය තුළ වින්ද ජීවිතය එක දවසක් වත් ඇත්තට විඳලා නැතිව ඇති. මිනිස්සු නළු නිළියන්ට ආදරය කරන්නෙ, ඔවුන්ගෙ රූප වල තියෙන කාන්තියටම නෙවෙයි. තමන්ට තමන් කැමති දේ විඳ ගන්න දැක ගන්න ඔවුන් විසින් ඉඩ ලබා දෙන කොට දැනෙන කෘතඥ්‍යතාවයට.

මේ ලෝකෙ වැඩියෙන් පොත් විකිණෙන ලේඛකයො අතරෙ කෙනෙක් තමයි ස්පාර්කල්ස්. එයා ලියන්නෙම ආදර කතා. ආදරය ලබා ගන්න ආසා කරන අයගෙ කතා. ඒක මඟ හැරෙනකොට සටන් කරන අයගෙ කතා. කොහොම නමුත් අන්තිමේ දී හැම කතාවකම ඉතිරිය ආදරය. මාත් කවදා හරි ඒ වගේ කෙනෙක් වෙන්න ඕනෙ. ආදරය ගැන ලියන කෙනෙක්. ආදර කතා හැම වෙලාවෙම මල් කතා නෙවෙයි. අපිට ඒවා මල් කතා වගේ පේන්නෙ අපි ආදරේ ගැන හරියටම නොදන්න නිසයි.

මම ආදරේ කියන වචනෙ කොයි තරම් බරද මායාවී ද කියලා මුලින්ම ඉගෙන ගත්තෙ, මම ආදරේ කරන කෙනා එයාගෙ ඉපැරණි පෙම්වතියකට ලියපු පරණ ලියුමක් කියවලා. මට කවමදාවත් එයා ඒ වගේ ලියුමක් එවලා නැති නිසා මට ඒ තරම් ආදරේද කියලා මං දන්නෙ නෑ. හැබැයි මං ඒක ප්‍රශ්න කරන්න යන්නෙ නෑ. ඒක තේරුමක් නැති දෙයක්. සමහරක් දාට මම මටම කියලා ලියුමක් ලියාගෙන හංගලා තියලා අකුරු අමතක වුණ දාට ආයෙම කියවනවා. ඒකෙන් මම ලියුමක් එනතුරු බලාගෙන ඉන්නවා කියවෙන්නෙ නෑ. මට ලියුමක් ගැන කිසිම හැඟීමක් නෑ. ඒත් එකපාරටම ලියුමක් මට ඔහුගෙන් ලැබුණොත් මං කොයි තරම් සතුටු වෙයිද කියලා මම දන්නෙත් නෑ. ඔහු දැන් ඒ පෙම්වතියට ආදරය කරපු කාලෙට වඩා වැඩිමහල් වෙලා නිසා සමහර විට ලියුම් කියන්නෙ බොරු දෙයක් කියලා හිතනවා ඇති. එහෙමත් නැත්තම් ලියුම් ලියන්න ආසා කළත්, ලියුමක් ලියන්න තරම් ආදරයක් මං ගැන නැතිව ඇති.ස්පාර්කලස් ගේ Longest Ride එකේ රූත් ලියපු ලියුම් පෙට්ටිය වගේ එකක් මටත් හම්බෙනවා නං ඇත්තටම මට කවමදාවත් මටම ලියුම් තැපැල් කරගන්න ඕනෙ නැති වෙයි.

Walk to Remember වල ජෙම් සුලිවැන් ගෙයි, මගෙයි තියෙන එකම වෙනස එයා ට ලියුකේමියාව තියෙන එකයි. මට පෙනහලු වල නාල හීනි එකයි විතරයි. ඉතින් මමත් කාටර් වගේ කෙනෙක් එනතුරු බලා ඉන්න එක වැරදිද. ඒ වගේ අය ඇත්ත ලෝකෙ ඇත්තේම නැද්ද? එහෙම මම මගෙන්ම අහන වෙලාවට මට හිතෙනවා හැමෝම නවකතා පොත් වල, චිත්‍රපටි වල  චරිත වගේ වෙන්න  උත්සාහ දරන්නෙ ලෝකෙට පෙනෙන්න විතරයි කියලා. මට හමුවෙලා තියෙන සිය දහස් ගාණක් අය අතරෙ කාටර් වගේ කෙනෙක් මම දැකලා තියනවා නම් ඒ  තවත් නවකතාවකම විතරයි.

හැම වෙලාවකම......

එතැනින් එහාට ඒ පොත හුළඟට පෙරලුණේම නෑ..  ඈ ඇහැරුණා. ඉන්පස්සෙ මට පොතට එබෙන්න බැරි වුණා.

7/31/15

-259- රැඳීම!


පැරණි මතකය රැඳුණු තැන් වල
ආයෙ අලුතින් ඇවිදින්න යමි...
ඒ දවස් වල ආව ගිය අය
කොයි කොහේ සැගවුණිද විමසමි..

වේගයෙන් ප්‍රේමයෙ බැඳුණු අය
සෙමින් වෙන් වී දෙතැන නැවතී..
වෙනත් අය හා අතින් අත ගෙන
අලුත් කවියක අකුරු අහුලති..

දෙපාරක් ගලනා ගඟක් නැති
දෙපාරක් දකිනා කෙනෙක් නැති
ඒ දවස් වල ආව ගිය අය
කොයි කොහේදැයි කුමට විමසමි..

6/30/15

-258- සටහනක් ලියා තබමි




ඒ වෙලාවෙ මම හිටියෙ ඔබ්සවේෂන් රිපෝට් එක ලියමින්. වෙලාව රෑ අටට කිට්ටුයි. දවසේ මුල්ම වතාවට මොබයිල් එක නාද වුණා.
“ එක ළඟ ට්‍රිප් දෙකක් යන්න දෙන්න බෑ කියලා අම්මා ජන්ගල් බීච් ගමන යන්න එපා කිව්වා බං“
අමාලිගෙ කට හඬේ දුකත් කේන්තියත් තැවරිලා තිබුණා.

ඒ ගමන ගැන මුල ඉඳන්ම කිසිම ආසාවක්වත් ඕනෑකමක්වත් නොතිබ්බ හින්දාම ඒ වචන වලින් මට ෆීල්  වුණේ නෑ.. යන්නයි කියලාවත් වුවමනාවක් නොතිබ්බ ගමනක් තව කෙනෙක් ගියත්, නැතත් මට මොකද. එ් අනනුකම්පීය ගතිය නෙවෙයි. සමාන්‍යයෙන් මගෙ හැටි.

“ මට හරි පාලුයි කෙල්ල. හෙට ඉස්කෝලෙ ඇරුණාම හයිලෙවල් එකට වරෙන්.. මට උඹ එක්ක ටිකක් කතා කරන්න ඕනෙ.“ ඈ ඇගේ කෙටි දුරකථන ඇමතුම එතැනින් අවසන් කළා.

පාළුව කියන්නෙ කාටත් දැනෙන දෙයක්. මට දැනුමක් තේරුමක් ඇති කාලෙ ඉඳන් මං දැනන් හිටිය එකම දේ ත් පාළුව. ඒ නිසාම මට ඒ ගැන හරිම ලොකු හුරුවක් තිබුණා. ඒ වෙලාවට පොතක් කියවන්න. චිත්‍රපටියක් බලන්න.. වෙන මොනාම හරි දෙයක් කරන්න මං ටිකෙන් ටික හුරු පුරුදු වුණා. වෙන අයගෙ පාළුව තේරුම් ගන්න පුළුවන් වුණත් ඒවාට දෙන්න විසඳුම් මං ළඟ තිබුණෙ නැත්තෙ එක එක්කෙනාගෙ හැඟීම් එක එක්කෙනාට වෙනස් බව මම දන්න නිසා. ඒත් මං පාළුව හුදකලාව ගැන යාළුවො කියන දේවල් අහගෙන ඉන්න කෙනෙක් බවට පත් වුණේ, වදයක්  වගේම වාදයකුත් නොකර කියන ඕනෙම දෙයක් අහගෙන ඉන්න හුරු පුරුද්ද සහජයෙන්ම මට ලැබිලා තිබුණු නිසායි.

ඉතින් අද හවස ඉස්කෝලෙ ඇරිලා ඈ කියපු විදිහටම මං ඈව මුණ ගැහුණා. KFC එක පුරාම ඉන්න නා නාප්‍රකාර සෙනඟ අතර දවල් කෑමට අපිත් නිදහස් තැනක් බලලා ඉඳ ගත්තා. පුරුද්දට යන කෑම කඩයක් නොවුණත්, මං KFC කෑම වලට ටිකක් කැමතියි. ඒ නිසා උණු දිවා ආහාරය එක්ක ඕනෙම නීරස කතාවකට සවන් දීමේ පහසුවක් මට ලැබුණා.    

“  හුඟක් කොල්ලො තමන්ගෙ කෙල්ලො එක්ක දවසට පැය දෙකක්වත් කතා කරනවා. ඇයි එයාට බැරි මා එක්ක දවසකට විනාඩි දහයක් කතා කරන්න. “ ඈ  දුක් කෝච්චියෙ පළවෙනි පෙට්ටියට නැගලා සෑහෙන දුරක් යන්න ස්ටාර්ට් එක ගත්තා. ඈ කියන දේ ඇහුණත් මම ඇස් තිබ්බෙ එහා මේසයේ උන්නු සුදු පැහැ ස්ලීව්ලස් ටොප් එකකින් සැරැහුණු හීන්දෑරි ගැහැණු ළමයා දිහාවට.

ඈ තමා ඉදිරියේ ඉන්න පිරිමි ළමයා දිහාවෙ නිකටට අත තියාගන මේසෙට වාරු වෙලා බලන් ඉන්නවා.. ඔහු හිටියෙ දිගම දිග දුරකථන ඇමතුමක. ඒක කාටද කින්ද මන්ද කියලා නොදන්නවා වුණත් විනාඩි පහළොවක් විතර ඇදුණා.

“ ෆෝන් එක කියන්නෙ මහ පුදුම දෙයක් අමාලි.. අපි ළඟ ඇත්තටම ඉන්න මිනිස්සුන්ගෙන් අපිව වෙන් කරලා..දුර ඉන්න අයට ළං කරන්න පුළුවන් මැජික් එකක්."
මම අමාලිට කිව්වා.
ඒකෙන් ඇගෙ හිත හැදෙන දෙයක් කියන්න අවශ්‍ය උත්සාහයට ස්ටාර්ට් එක නොමිලේම ලැබුණා.

“ තමන්ට ලැබිලා තියන දේට සතුටුවෙන්න, එයා දවසකට වතාවක් හරි කතා කරනවානෙ කියලා ඔයාගෙ හිත හදන කුහක කම මට නෑ. ඒත් ෆෝන් එක වයිබ්‍රේට් වෙන පාරට දුවගෙන ගිහින්, ඩයලොග් එකෙන් එවන ඇලට් මැසේජ් එකක් දකිනවාට වඩා, දවසකට එයාගෙන් මැසේජ් දෙක තුනක් වත් එන එක සෑහෙන ලොකු දෙයක් නෙවීද? “

මගේ කතාවට ඈ විරුද්ධ වුණේ නැතත් සෑහිමකට පත් වුණු බවක් තිබුණෙ නෑ.. මම සද්ද නැතිවම බැදපු කරපිංචි කොළයක් හැපුවා. එහා පැත්තෙ මේසෙ දැරිවිගෙ ඉවසීමේ රතු කට්ට පැනලා තිබුණා. තව ටිකකින් දෙබස් ටිකක් සද්දෙට ඇහෙන්න පුළුවන්. KFC, MacDonald කියන්නෙ කෑම කන අතර කතා කරන්න ඉඩ පහසුව තිබ්බාට, ප්‍රේම කරන්න හෝ ප්‍රේමය විමසන්න හොඳ තැන් නොවෙන බව අපේ රටේ අය තවමත් තේරුම් අරන් නැති කම ගැන මට ටිකක් දුක හිතුණා. ගොඩක් දුක හිතනවා නම් තව කොයි තරම් දේ තියෙනවාද? කියලා හිතලා මම පෙප්සි උගුරුක් බිව්වා.

හැම කෙනෙක්ටම තමන් හොයන තමන්ගේ පරිකල්පනික සිහින කුමාරයා හෝ කුමාරිය ලැබෙන්නෙ නෑ. ලැබුණත් ඒ රූප සහ ගුණ වල පැවැත්ම ගැන සදාකාලික වගකීම් සහතිකයක් තියෙනවාද? ඒ තවත් කෙනෙක් විතරයි. හැම මනුස්සයෙක්ම තමන්ටම කියලා  ප්‍රතිරූපයක් ගොඩ නගා ගන්න උත්සාහ කරනවා. ඒත් ඒ හැම කෙනෙක් ඇතුළෙම සහජ චරිතයක් තියෙනවා. කෙනෙක් මුලින්ම අපිට පෙන්වන්නෙත්, අපි  මුලින්ම දකින්නෙත් ප්‍රතිරූපය. ඇඳුම් පැළඳුම්, කතා බහ , හැසිරීම සහ ලියවිලි වල පවා තියෙන්නෙ කෙනෙක් තමන්ට අනන්‍ය ලෙස ගොඩ නගපු ප්‍රතිරූපය.  අපි සමහරු එක්ක හිතවත් වෙලා සමහරුන් එක්ක අමනාප වෙන්නෙ මේ ප්‍රතිරූප වලට තියෙන පුද්ගලික කැමැත්ත අකමැත්ත නිසා. ප්‍රතිරූපය නිරන්තරයෙන් චරිතයට බද්ධ වුණූ දෙයක් නොවුණු නිසා ඇතැමෙක්ගෙ චරිතයයි ප්‍රතිරූපයයි අතර සෑහෙන දුරක් තියෙන්න පුළුවන්. තමන්ගෙ සහජයට කොහෙත්ම නොගැළපෙන ප්‍රතිරූප මේන්ටේන් කරන එක හරිම තාවකාලිකයි. ඒ නිසාමයි මිනිස්සු එක්ක සැබෑවට ජීවත් වෙන්න ඕනෙ.

කෙනෙක්ව නිරන්තරයෙන් දකිද්දි, ආස්‍රය කරද්දි, කතා බහ කරද්දි අපි එක්ක වැඩිපුරම මුණ ගැහෙන්නෙ චරිතයක්. ප්‍රතිරූපයට සැබෑව හා නිරන්තරය තුර වෙනස්ම විදිහට පැවතෙන්න අමාරුයි. නිර්මාණාත්මක වෙන්නත් අමාරුයි.

අමාලිට මේ ටික කියන්න මට ඕනෙ කළේ කාලෙක ඉඳන්. ඒ කොහොම වුණත් අමාලිගෙ හිත හදන්න මට සෑහෙනම අමාරු වුණා. ප්‍රේමය ඇතුළෙ විඳවීම කිසිම තේරුමක් නෑ. අප අවට ඉන්න පුද්ගලයො වගේම ජීවිතයත් හරිම අවස්ථාවාදියි.  මට වඩා වැඩිමහල් වුණත් අමාලිට ඒක තේරුම් කරවන්න කවමදාවත් බැරි නිසා මම මගේ පෙනහළු වලට වෙහෙස කර කර වදන වෙනුවෙන් ඔක්සිජන් එකතු කරන එක අතෑරලා දැම්මා.






5/30/15

-257- මැයි මතක සටහන්


සදාකාලයේ සිට

නුඹ නාඳුනන නිම්නයන් ගැන දැනගත යුතුය. මන්ද යත්, ඒවා මැදින් පුංචි ගංගා ගලා යන බැවිනි.  එම ගංගා දෙපස අඳුනන මල් පිපිය හැකි බැවිනි. ඉතින් මා නුඹට කෙතරම් ආදරය කරනවා දැයි පැවසීමට, ඒ මල් සියල්ලේම සුවඳ මා සොයා ගත යුතුව ඇත. හදිසියේ ඇතිවන ආදරය හිර වූ විදුලියක තරම් අහම්බය ඇදැහිය හැකි නොවේ නම් ඔබට, ඔබ මේ ආදරය විශ්වාස නොකරාවි.. සැබැවින්ම. අවිශ්වාස කරනා සියල්ලම බොරු නොවන බැවින්, ඔබට එය විශ්වාස කිරීමට හැකියි. දන්නවාද? නැහැ මම පෙමින් බැඳුණේ, ඔබෙ කිසියම් දෙයකට, ඔබ විසින් පෙන්වූ දෙයකට හෝ ඔබගෙයි කියන ලද දෙයකට. මා පෙම් කරන්නේ ඔබ තුළ සිටින ඔබට. ඔබේ සිතිවිලි ඔබ අපට පෙන්වන සුන්දරත්වයට නොව, ඒවා ගලා යන ඔබේ සිතිවිල්ලේ අලංකාරයට. සෑම නිම්නයක්ම අඳුරු නොවන නිසා ඔබ ද ආලෝකය දැක ඇතුවාට සැක නැත. සමහර විට ඔබ ඔබටම අයත් ආලෝකයේ කිරණ මත සිටිනවා විය හැකිය. එවිට ඔබට අලුත් ආලෝකයක් නොපෙනෙන්නටත් ඉඩ ඇත. එහෙත් මෙහි ආලෝකය ඕනෑතරම් ඇති බව ඔබට කිව යුතුය.

පාර සොයා ගැනීමට අවැසි නම්, එහෙ මෙහෙ වැටුණු පුංචි මල් වල සුවඳින් අසා දැන ගත හැකිය. ඒ ඔබමදැයි සැක හැර දැන ගැනීමට, කිසිවක් ම නොසිතා, නුඹේ සිතිවිල්ලේ ගැඹුරටත් අද්දරත්  යා වන තැන සිට ගත යුතුය. ඉතින්, ඉර ඇහැරෙන ඉසව්වෙන්ම වස්සානය පැමිණෙන්නේ බොහෝ කලාතුරකිනි.

මැයි 25
උදෑසන හයයි පහළොවේ සිට හයයි විසි පහ පමණ වන විනාඩි දහය කොස්වත්ත හන්දිය අදත් හරිම කලබලය. මිනිත්තුවෙන් මිනිත්තුවට සිසු සැරි ලංගම බස් ආරම්භ වන්නේ පොදු පාසල් සේවයෙනි. සෑම ජාතික පාසලකටම අයත් බස් රථ ඉතාම වේගයෙන් ගසාගෙන යයි. හැකි ඉක්මනින් ඔවුන් අයත් තාප්ප අතර ගාල් කිරීම අත්‍යාවශ්‍ය බව කොන්දොස්තර හා රියදුරු මහතුන් සිතනවා වැන්න. කුඩා නැවතුමකදී පවා නොසරුප් වදනකින් හන්දියේ තනිවම සිටගෙන සිටිනා පාසල් සිසුවියකට අඩත්තේට්ටම් කිරීම නවයොවුන් කොලුකම දැයි සිතෙන තරමට සුලබ දසුනක් වී ඇත. ඒ වදන් වල විහිලු නොව සැම විටම ගැබ්ව ඇත්තේ අපහාසයයි.
එතැන් සිට මා මගේ මතකය වසර කිහිපයක ආපස්සට රැගෙන යමි. ඉස්සර පොදු පාසල් බසය හයයි පහට පමණ කොස්වත්තෙන් හඹා යන අතර හයයි විස්සට අප මරදානෙන් බසින බව මට මතකය. බසයෙන් බසින විටම අප පාර පන්වන්නට ඉදිරිපත් වූ රිය නියාමක අයියලා හා පොලිස් මාමලාගේ මුහුණු තාමත් විදුලි මෙන් හිත තුළ ඇඳී මැකී යන ඡායාවන් ය. මුතු ඇමුණුවා වාගේ මුතු පොටකට ආදී ලෙස බසින්නට බැරි වුණත්, එකා පිට එකා පෙරලාගෙන බැස්සත් අපිට ඒ බස් තුළ ගමනානන්තය දක්වා අපමණ ආරක්ෂාව තිබිණි. පොදු පාසැල් බසයේ පා පුවරුව අසල යන අයියලා ඉතා කරුණාවන්ත මෙන්ම සැර ගතියක් පෙන්වූ සමහර විට ශිෂ්‍ය නායක අය වූ නිසා බස් රථය සාමකාමී නොවූවද සැම විටම ගෞරවය ආරක්ෂා වන තැනක් විය. කුඩා මල්ලියාගේ සිට අයියා දක්වාම සෙනෙහෙබර සහෝදරකම් දරා සිටි බව මගේ මතකයේ ඇත. මම මේ කතා කරන්නේ ඈත අතීතයක් ගැන නොවන මුත් අද වන විට තත්වය මෙතරම් කනපිට හැරෙන්නට තරම්
ළමා කාලය ළමයින්ගෙන් ද, නව යෞවනය යෞවනයන්ගෙන්ද උදුරා ගන්නේ කවුරුන්ද? කුමන බලවේගයකින්ද?

මැයි 23
ප්‍රේමයේ උපදින්නේ කොතැනදැයි මම කිසි දිනෙක කිසිවෙකුගෙන් නොඅසමි. නුඹ කෙරෙහි, නුඹ නොදැනම උපන් ප්‍රේමය පිළිබඳව මා දැනගත් දින සිට ඒ පැනයට පිළිතුරු සෙවීම මා නතර කර දැමුවෙමි. තමන් වෙත කිසිවක් නොකළ මිනිසෙකු ගැන හදිසියේ ප්‍රේමයක් දෙවියන් හට වත් ඇති නොවන බව දැනීමෙන්, එවැන්නක් හටගත හැකිදැයි නුඹ මගෙන් ප්‍රශ්න කිරීම ඉතා සාධාරණය. එහෙත් ප්‍රේමය යනු විශ්වාසයක් මිස, ගනුදෙනුවක් නොවන බව මා ඉගෙනගත් දින සිට ඉන් ගැටලුවක් පැන නොනැග්ගේය. නැවත නැවතත් හැඟවිය යුත්තේ මෙකී පෙම මා හඳුනා ගත්තේ රුවකින් අකුරකින් ගොඩ නගන ලද පෞරුෂයකට නොව ඔබ තුළින් ඔබව දැකගැනීමට ලැබීමේ ප්‍රහර්ෂයෙන් බවයි. ඉතින් මා ප්‍රේමවන්තය, මා නොහඳුනන ඔබට මා මෙසේ කියමි. සැමවිටම දේව දූතයන් ප්‍රේමය ගෙන ඔබ බලාපොරොත්තු වන ස්වරූපයෙන්ම පැමිණෙන්නේ නැත.

මැයි 12
සිදු කරන ලද ඕනෑම දරුණු අසාධාරණයක් සඳහා අති සාධාරණ හේතු පවතින එකම ප්‍රපංචය ආදරයයි.

මැයි 7
නැවතුමක් නොමැතිවම
පෙළින් පෙළ ගලා යන
සෙනහෙබර දඟකාර
කට හඬක් අහන්නට
බොරු හේතු හදාගෙන
අමතනා එක තමයි
සෑහෙන්න වෙහෙසකර..
නැද්ද ලාබෙට ගන්න
අලුත් හේතුවක් මට ?

මැයි 2

බොරැල්ල කනත්ත මත ඇවිද යන ඕනෑම කෙනෙකුට දැකිය හැක්කේ කළු සුදු හා අලු පැහැති සොහොන් කොත් පමණි. ඒ පැහැයන්ගේ එකතුව මලානික හැඟුම් ගණනාවක් හිතේ ඇති කරයි. සොහොන් කොත් මලානික විය යතු නැත. ඒවා තැනෙන්නේ මිය ගිය අයට නොව ජීවත් වෙන අයට ය. මිය ගිය අයගේ මතකය සිත තුළින් මිය යාම වළක්වනු පිණිසයි. එබැවින් පෙර මතකයන් හී වර්ණ සොහොන් කොත් මත තැවරිය යුතුය. ඒවා පාට කළ යුතුය!!

අප්‍රේල් 23
කල්පයක් සිත පෙරම් නොපිරූ
කාලයේ වැලි අතර නොවැලූ
ප්‍රේමයක් විය හැකිද ලොව තුළ
ඇසිල්ලක මතු වූ...

ආල හැඟුමේ ගිලී නැහැවෙන
පෙම් මලින් සිත් යහන සරසන
සෙනහෙසක් විය හැකිද ලොව තුළ
ඇසිල්ලක මතු වූ.... ?


4/9/15

- 256 -ආදරය උගැන්වූ මරදාන



ඒ පුවතේ තිබුණේ එක්තරා පරසිඳු බාලිකා පාසලක විදුහල්පතිනියක ගේ අකුරට වැඩ කිරීමේ ප්‍රතිපත්තියෙන් තැලෙන විශේෂ අවශ්‍යතා ඇති දියණියක් පිළිබඳවය. ඇගේ පන්තිය තෙවන මහලේ බැවින් රෝද පුටුව තෙවන මහලට රැගෙන යාම අපහසුය. ගැහැණු පාසලක් බැවින් පියාට දියණිය රැගෙන යාමට අවසරද නැත. දියණිය රැගෙන යද්දී මව පඩිපෙළෙන් වැටී ඇත. දැන් ඒ දැරියට තුන් මසක් පුරා පාසල් යාමට නොහැකි වී ඇත.

මේ පුවත දකින අය අතරින් අනුකම්පාව මත ක්‍රමවේදය ලිහිල් නොකරන විදුහල්පතිතුමියට එක් පාර්ෂවයක් දොස් කියනු මම දුටුවෙමි. තවත් අය දැරිය විශේෂ අවස්ථා හඳුනාගත් අධ්‍යාපන ආයතනයකට නොයන්නේ ඇයිදැයි කල්පනා කරති. දැරියගේ පියා මානව හිමිකම් පිහිට පතන බවද පුවත් වල සඳහන් වෙයි. කෙසේ වෙතත් අවසානයේ මේ කිසිම කතා බහකින්, බොහෝ දේ කාලාන්තරයකට වෙනස් නොවන බව පමණක් පැහැදිළි වෙයි.

අවසානයේ විදුහල්පතිතුමිය දොස් පරොස් වලින් තව තවත් කිපී, වෛරය වපුරනු ඇත. දැරිය වත්මන් සුපිරි බාලිකා පාසල  අත් හැර අලුත් තැනකට එක් වර අනුගත වීමට ද අකමැති වනු ඇත. දැරියගේ පියා සාම්ප්‍රදායික මානව හිමිකම් කර්යාලයේ පෝලිම් වල හිඳ සිටම හෙම්බත් වනු ඇත.

එහෙත් මෙවන් සරළ ප්‍රශ්නයක් මෙතරම් දුර ගියේ ඇයි දැයි  නිකමට සිතා බැලිය යුතු නොවේද? ඒ සුපිරි බාලිකාවට නාමිකවම බැන වදින තැන්ද මම දුටුවෙමි. එය ඒ පාසලේ ආදී වත්මන් අනාගත සිසුවියන්ට ද කෙරෙන අපහාසයකි. මෙවන් ගැටලු වලට සරළ විසඳුම සහයෝගයම නොවේද? ඉතින් මට දැන් සහයෝගය මට මෙන්ම මගේ සොයුරියන්ටද ඉගැන්වූ මගේ පාසල කෙරෙහි ආඩම්බරයක් දැනීම අසාධාරණද?

මම ඉගෙන ගත් මරදානෙ පිහිටි, මගේ ආදරණීය ගෝතමිය කිසිදිනෙක අපට සාරධර්ම ඉගැන්වූයේ නැති වීම ගැන අද මම සතුටු වෙමි. එමෙන්ම අපේ පාසලට පැමිණියේ බොහෝ හයි ෆයි ළමයි නොවීම ගැනද මම සතුටු වෙමි.

බොහෝ පාසල් වල වරද දරුවන්ට සාරධර්ම කටපාඩමින් ඉගැන්වීමයි. සාරධර්ම යනු, නිර්වචන තුළින් හා පොත් පත් තුළින් ලියා පුහුණු වන දෙයක් විය යුතුද? හොඳම දෙය සාරධර්ම නොව යහපත් ජීවිතය ක්‍රියාවෙන් පුරුදු කිරීම ම නොවේද? ආදරය හා සහයෝගය එකිනෙකා තුළ වැපිරවීම තුළින් මෙවන් ප්‍රශ්නකාරී සිද්ධි ගණනාවක්, සරලව විසඳිය හැකි නොවේද? අවශ්‍ය වන්නේ කුඩා සෙනෙහසක් ම පමණි.

මෙවන් විශේෂ අවශ්‍යතා සහිත දැරියක් අපේ පාසලේ වූයේ නම්, තට්ටු පහක් උඩට හෝ සිය මිතුරිය, සොයුරිය ඔසවාගෙන යාමට හැකි සොයුරියන් මිතුරියන් පිරිසක් බිහිවෙයි. නැගණියන් කුඩා නම්, එය අක්කලාගේ රාජකාරියක් බවට පත්වෙයි.  ඒ  ශක්තිය විසින්ම,  සිය පන්තිය පහල තට්ටුවට නොව ගේට්ටුව අසලටම ගෙන ඒමට තරම් නිහඬවම විදුහල්පතිනියට ආයාචනා කරනු ඇත. තම දැරිය පාසලේ ශක්තිය තුළ ආරක්ෂිත බව දැනගත් දෙමාපියන්ද එවිට  සැනසේවි. පාසලේ ගේට්ටු තාප්ප අතරදී දැනෙන ඒ ආරක්ෂාව ආදරය සහයෝගය දරුවා සවිමත්ව අනාගතයට රැගෙන යන බැවින්, සියලු දරුවන් තුළ ආදරය පුහුණු කිරීම වැදගත් නොවේද? අක්කලා නංගිලාගේ ශක්තියෙන්  ඇය පන්තියට පමණක් නොව, සමහරවිට ක්‍රීඩා පිටියටද යනු ඇත. නාට්‍ය ද රඟපානු ඇත. අවසන තෑගි ගැනීමට වේදිකාවටද නගිනු ඇත. ඒ සියල්ලටම වඩා ඇය වෙනුවෙන් පෙනී සිටින , ඇයව පසුපසින් දිරි ගන්වන ශක්තිය දැක ඇය සතුටු වෙනු ඇත.

ජීවිතය ඔබ සිතනවාට වඩා සරලයි.. මඳක් සෙනෙහස බෙදන්න.. ආදරය ෆෑන්ටසියක් නොවන්නට, සැබෑවට ලෝකයට ආදරය කරන්න. මම ආදරය ඉගෙන ගත්තේ මරදානෙනි.. එහෙත්  කුරුඳුවත්ත හෝ බම්බලපිටිය ආදරයෙන් මුක්ත කලාපයක් බව එයින් කිසිවිටකත් නොකියවේ.


3/31/15

-255- චානක ගේ උදෑසන

 
හුළං කවුළුවෙන් පෙරිලා එන ඉර එළිය තීරුවක් හැමදාම මේ වෙලාවට හරියටම ඇස් දෙක උඩ හිටගන්නවා.මම හරිම අමාරුවෙන් ඇස් ඇරියෙ.

හෙමිහිට හිරි ඇරලා, පුංචි ඉණිමගෙන් බහින්න කලින්ම  පෙනෙන්නෙ යට නිදියගෙන ඉන්න කනිෂ්කයාගෙ කුණු කෙළ මූහුණ. උගෙ මූණ දකිද්දිත් මට හරි කේන්තියි. ඊයෙ මගෙ බිත්තරේ මම අහක බලනකං ඉඳලා මූ ගිල්ලානෙ. දැන් හොඳට නිදා ඉන්න හැටි විතරක්.  දැක්කම මට උගෙ බෙල්ල මිරිකන්න හිතෙනවා අනිත් පැත්තටම. මම කනිෂ්කට වගේම ජයංග ට කැමතිත් නෑ.

ඒත් මෙහෙදි කාටවත් කැමති අකමැති වෙලා වැඩක් නෑ. මාසෙකට වතාවක් ඇඳන් මාරු කරද්දි අපේ මැඩමම්මා එක එක අතට අපි කට්ටියවම මාරු කරනවා.

තවම උදේ තේ බෙල් එක ගහන්න වෙලාව තියෙනවා.

රංගයා වගේම නුවනුත් ලෑස්ති වෙලා ඉවරයි. දැන්ම ගියොත් වතුර නවත්තන්න කලින් නා ගන්න පුළුවන්. රංගයා තමයි අපේ නිවාසෙ දක්ෂම එකා. ඌ ගිය පාරත් පන්තියෙ 14 වැනියා. ඌ ශිෂ්‍යත්වෙ පාස් වෙයි කියලා තමයි මැඩමම්මා කියන්නෙ. මම කළේ ගිය අවුරුද්දටත් කලින් අවුරුද්දෙ. මම ෆේල්. ලකුණු 67 නෙ තිබ්බෙ. පේපරේකට ලකුණු 30 ට වඩා අරන් නිසා, මට නම් ඒ ඇති. වෙන ළමයින්ට තරම් අපිට ඒ ප්‍රශ්නෙ නෑ. හැම දෙමාපිය රැස්වීමටම මැඩමම්මා එන්නෙ නෑ. එයා එන්නෙ වාරෙකට සැරයයිනෙ. එතකොට ප්‍රින්සිපල් අපි හැමෝගෙම ෆයිල් බලලා කියනවා. ලකුණු අඩු වුණාට ගුටි නොකෑවට, අලාබ හානි ගැන ෆයිල් එකේ තිබ්බොත් නං එදා රෑට කෑමත් නෑ. ඒත් අපි ජනේල් දෙක තුනක් , බංකුවක් පුටුවක් නොකඩපු වාරයක් නැති තරම්.

පිටින් වෙන කවුරුවත් නැති වෙලාවට එයාට අපි මැඩම් කියලා කතා කරනවා. පිට කවුරුවත් ඉන්නකොට, අම්මා කියන්න කියලායි උගන්වලා තියෙන්නෙ. හැබැයි අපි එයා නැති වෙලාවට, දෙකම එකතු කරලා මැඩමම්මා කියනවා.

කුස්සියෙ උයන, බෝධිපාල අයියා මරු පොර. දෙකක් දාගත්තාම තව හොඳයි. රේඩියෝ එකේවත් නොයන සිංදුනෙ කියන්නෙ. ඒත් මේ හැම දේම මම ළඟදිම දාලා යනවා.  අවුරුදු දොළහ සම්පූර්ණ වුණාට පස්සෙ මෙහෙ තියාගන්නෙ නෑ.

අද පෝය දවස. ඉස්කෝලෙ නිවාඩුයි වගේම, අද කොහෙන් හරි දානෙත් ලැබෙන්න ඉඩක් තියෙනවා. දානෙ අපට පිඟානට බෙදලාම යන එකට නිවාසෙ අපි කවුරුත් කැමතියි. බඩු මුට්ටු දීලා ගියාම, ඒවායෙන් කවදාවත් අපේ බත් ඉදෙන්නෙ නෑ. ඒත් දානෙ අරන් එන අය බත් බෙදලා කාලා ඉවර වෙනතුරු කටවල් දිහා බලාගෙන ඉන්න එකට වඩා නම්, හැමදාම කන හොද්දයි බතයි හොඳයි..  රංග තමයි හොඳටම පින් දෙන්නෙ, ඒ නිසා රංගට හාමුදුරු පුටුව වගේ ලොකු පුටුව ලැබෙනවා... රංග වුණත් කොයි කාටත් දෙන්නෙ එකම පින් ටේප් එක.

"අද උපන්දිනය සමරන හිස්තැනක් බබාට,  නිදුක් නිරෝගි සුව ලැබේවා. අපිට දුන් මේ දානයේ බලයෙන්. හොඳින් ඉගෙනීමට හැකි වේවා. පවුලේ සැමගේ සියලු කටයුතු ඉටුවීමට අවශ්‍ය වාසනාව ධෛර්යය ලැබේවා. " හිස් තැනට අදාළ බබාගෙ නම දාලා අපි හැමදාම ඔය ටික තමයි කියන්නෙ. උපන්දිනේට දානයක් දුන්න පලියට විභාග පාස් වෙනවාද කියලා මං දවසක් බෝධි අයියාගෙන් ඇහුවා. ඒ යකා මට තෙල් හැන්දෙන් ඇන්නා.. ඒක අහන්න නරක දෙයක් වෙන්නැති.

අපි ඉස්සරහ අයිසිං කේක් කපලා.. එයාලාට එයාලාම කවාගන්න කට්ටිය එන්නෙ හවස තේ වෙලාවට.. එයාලා අයිසිං කාලා අපිට දෙන්නෙ බටර් කේක් එක්ක තේ. මං එහෙම අයට නම් කැමතිම නෑ. ඇයි අපිට අයිසිං කේක් කෑවොත් කැවෙන්නෙ නැද්ද!! මාව දාලා ගිය අම්මා තාත්තාව මම නොදන්න නිසා මං එයාලට දොස් කියන්නෙ නෑ.. ඒත් මෙහෙම උපන්දින වලට අපේ නිවාස වලට ඇවිත් අපි ඉස්සරහ තමන්ගෙ දරුවන්ගෙ උපන්දින ජයට ගන්න අම්මලා තාත්තලා ගැන මට තියෙන්නෙ තරහක්.

අපිට මොකටද එයාලාගෙ උපන්දින.. එයාලා කරන්නෙ එයාලාගෙ සතුට අපට පෙන්නලා යන එක විතරයි.. අපිව සතුටු කරන එක නෙවෙයි.. ඒත් පිටින් ලැබෙන ඕනෙම කෑමකින්, බෝධි අයියාගෙ කෑම වලට වඩා බඩ සතුටු වෙන නිසා, ලැබෙන ඕනෙම දානෙකට මං කැමතියි...

 කණිෂ්ක ගෙ කුණු කෙල පෙරෙන මූණට පයින් එකක් ඇනලා මං මේ දැන් ඇඳෙන් බැස්සා.. තව ටිකකින් බෙල් එක වදීවි. ඊයෙ රෑ බත් කෝප්පෙන්, බාගයක් ධේනුකයා උදුරගෙන ගිල්ල නිසා මට හරිම බඩගිනියි.



2/28/15

-254- හීන තට්ටුව | Dreamy Floor


වහලෙ ඉඳන් ටයිල් පොළවටම ඈඳුණ වීදුරුවකට හේත්තු වෙලා, ගිනිපෙට්ටි පෝලිමක් වගේ පහල තාර පාර බදාගෙන එහාට මෙහාට යන වාහන බලා ඉන්න එකට වඩා කළ හැකි යමක්, මේ වගේ ග්‍රීස්ම හවස් වරුවකට නැතිම තරම්. හරිම පිළිවෙලට මට ඕනෙ විදිහට අස් කරන්න පුළුවන් ,  ඔහුගෙ පුංචි සාලෙ ලී බඩු වලට තියෙන්නෙ, බොහොම සරල අමුතු පන්නෙ හම් පුටු කට්ටලයකුයි , ටී වී ස්ටෑන්ඩ් එකකුයි විතරයි. එහි දෙවැනි තලය උඩ තියෙන ප්ලේයරය එයා ආසාම සිංදු වලින් එකක් නිස්කලංකෙ වාදනය කරනවා. මගේ සුදු මහත්තයා ආසා, භාෂාව නොතේරෙන හදවතට තේරෙන සිංදු වලට විතරමද කියලා  මට හිතෙන වාර අනන්තයි. මේ වෙලාවෙ එයාගෙ නොතේරෙන භාෂාවෙ ගීය අහන්න මා එක්ක සාලෙ ඉන්නෙ, ගල් වලින් කැටයම් කරපු දෙවිවරු කිහිප දෙනෙක් විතරයි. තාම මගෙ සුදු මහත්තයා මඟ ඇති. මම ඇවිත් ඉඳියි කියලා නිකමටවත් එයා හිතන්නෙ නැති බව මම පුරුද්දෙන් දන්නවා.

සාලෙට පෙනෙන, ඔහුගෙ නිදන කාමරේ පොත් මේසෙ එහෙ මෙහෙ වුණු කඩදාසි, පිළිවෙලක් කරන්න කියලා පාළු හිත කීපවතාවක්ම කිව්වත්, ඕනෑවට වඩා වැඩ කරලා බැනුම් අහගන්න එක පුරුද්දක් කරගන්න නරකයි. පොත් මේසෙ ඉහල බිත්තියෙ එල්ලපු සුදු ලෑල්ලෙ, කපපු නැති හැම පැවරුමක්ම අද රෑ එයා කරන්න හිතාගෙන තියෙන ඒවා නම්, අද මට වෙන්නෙ පැත්තකට වෙලා නිදාගන්නයි. ඒ ගැන හිතද්දිත්, මේ වගේ දවසකම එන්න නිදහසක් ලැබෙන විදිහට වැඩ සිද්ද කරපු එක ගැන මට තරහක් එන්නෙ මගෙ හස්බන්ඩ් එක්ක.

අද හස්බන්ඩ් ගෙදර එන්නෙ නෑ.  හෙට එන එකකුත් නෑ. එයා අවුටිං ගියාම, ගෙදර එන්න ඒ තරම් කලබලයක් ඇති කෙනෙක් නෙවෙයි. එයා හැම වෙලාවෙම පිටට යන්නෙ එයාගෙ සෙකට්‍රි එක්ක. මං එයාව දැකලා තියෙනවා ඔෆීෂියල් පාටිස් වලදි කිහිප වතාවක්ම. මීට සතියකට කලින් මගෙ ෆෝන් එකට කෝල් කරපු නාඳුනන කටහඬින් කියපු විදිහට ඒ ලේඩි කරේ දාගෙන ඉන්න චේන් එක, අපේ හස්බන්ඩ් එයාට දුන්න උපන්දින තෑග්ගක්ලු. එදා පාටි එකේදි මම ඔය කියන චේන් එක ළඟටම දැක්කා. ඒකෙ ලස්සන හාට්ස් දෙකක් එකතු කරපු පෙන්ඩන්ට් එකකුත් තිබ්බා. ඔක්කොම පවුම් දෙකක් විතර ඇති. ඒක කොහොමත් එයාගෙ බෙල්ලට හොදට ගැලපෙනවා. එයාගෙ බෙල්ල කොටයි. කොහොමත්, මම ඒ චේන් එකේ විදිහට නම් කැමතිම නෑ. අපේ හස්බන්ඩ් ඒක මට දුන්නා නම්, අකමැත්තෙන් වුණත්, එයාට පෙන්න වැදගත් තැන් වලදි ඒක දාන්න සිද්ධ වෙන නිසා, සෙක්‍රටි ට දුන්න එකමයි හොඳ කියලා මට නම් කීපවතාවක්ම හිතුණා.

මගෙ සුදු මහත්තයා නම් රත්තරන් බඩු වලට ඒ හැටි කැමත්තක් නෑ. ඒ සල්ලි යන නිසාම නෙවෙයි. එයා ආසා අමුතු එක්සෝටික් බඩු වලට. එයා ආසා ඒවා එහෙම ලේසියට හොයාගන්නත් බෑ. මම දැන් අතේ දාගෙන ඉන්න පබලු වලල්ලත්, එයා මීට මාස ගාණකට ඉස්සර බැටික්ලෝ ට්‍රිප් එකක් ගිය වෙලාවෙ ගෙනත් දීපු එකක්.

මගෙ හස්බන්ඩ්ට ලොකු ගෙයක් තියෙනවා. එයා මාව බඳිනකොටත්, ඒ ගේ හදලා තිබුණෙ. ලී බඩු වලින් පිරුණු, තට්ටු දෙකක ගෙදර ඇතුළෙ උදේ ඉඳන් රෑ වෙනතුරු තියෙන පාලුවට වඩා, මේ පාලුවෙ සුන්දර බවක් තියෙනවා. සමහර විට ඒ මම මඟ බලාගෙන ඉන්න නිසා වෙන්න පුළුවනි.  තාර පාරෙන්, නිවාස සංකීර්ණයට ඇතුළු වෙන ගිනි පෙට්ටි අතරින්, හුරු පුරුදු තද නිල් පැහැ පුංචි කාර් එක මං හොඳටම අඳුනනවා. ඒකෙන් බහින්නෙ මේ ලෝකෙ මගෙ හිත වැඩි පුරම සුවපත් කරන දොස්තර මහත්තයා. දොර අස්සෙ හැංගිලා ඉදලා පුංචි කලබලයක් කරන්න කියලා හිත කිව්වත්, මේ වෙලාවෙ එයා ඉන්නෙ කොහොම  හිතිවිල්ලකද කියලා නොදැන ඒ අවදානම ගන්නත් බයයි. ලිෆ්ට් එක ඇරෙන සද්දෙ ඇහුණා. ඒ හෙමින් තියන බර පා හඬ ඔහුගෙයි. අඩවල් දොර හෙමින් අරින්නෙ,  කවුරු හෝ ඇතුළෙ ඉන්නවා කියන අවබෝධයෙන්මයි. ඒ මට හොඳින් හුරු පුරුදු දොර හැරීමක්.

වීදුරුවට හේත්තු වෙලා ඉන්න මං දිහා එක බැල්මක් බලලා.. හිනාවකුත් නොවන එහෙත් තරහකුත් නොවන හැඟීමකින් හෙමිහිට ඔහු මං ඉස්සරහට ආවා.. මම ඔහු ඉස්සරහ නොදැනීම හිට ගත්තා. ඒ මූණේ කවමදාවත් වෙන් නොවෙන හුදකලාව තරම් මට දුකක් අරන් එන වෙන කිසිම දෙයක් මේ වගේ වෙලාවක නැතිම තරම්.  ඒත් කිසිම අදහසක් නැතිව මගේ ඇස් අල්ලගෙන ඉන්න ඒ තද දුඹුරු පාට ලස්සන ඇස් දිහා බලාගෙන මට නිහඬව ඉන්න බැහැ. 

බාබර් ට කතුර අනිවාර්යයි. ගොවියාට උදැල්ල අනිවාර්යයි. මැකෑනික්ට අර ලොකු අඬුව අනිවාර්යයි වගේ, ආදර කතා ලියන කෙනෙක්ට හුදකලා මූණක් අනිවාර්යයද? ඉතින් මං ඔහුගෙන් ඇහුවා. එවිට ඔහු කවදාවත් නැති තරමෙ බැරෑරුම් මුහුණක් මවාගෙන . “ඇත්තටම මේ හුදකලාව නෙවෙයි. නිදමත. මට හරිම නිදිමතයි. කියලා මගේ උරහිස උඩින් හිස තියා ගත්තා.

හීන පෙනෙන නින්දක් හොයාගෙන ආදර කතා කියවන ලෝකයක, නිදි මරා ගෙන ආදර කතා ලියන කෙනාගෙ නිදිමත ගැන හිතන්න අමතක වෙන එකත් වෙලාවකට ටිකක් විතර කුරිරුයි කියලා ඒ වෙලාවෙ මට හිතුණා. 

ප.ලි

හැම මනුස්සයෙක්ම, තමන්ව නිදහසේ නිදිකරවන්න පුළුවන් අයටත්, නිදහසේ නිදා ගන්න සලස්වන තැනටත් ආදරය කරනවා. ඒ තමයි මනුස්සකම.

1/22/15

-253- තවත් ආදර කතන්දරයක්


මම ඇගේ නර්තනය දෙස බලා සිටිමි. පළමුව ඈ කවුදැයි හඳුනා ගත් ප්‍රීතියෙන්ද, දෙවනුව ඈ සුපුරුදු ලෙසින් නර්තනයේ යෙදෙනා සෞන්දර්ය දැකීමේ ආහ්ලාදයෙන් ද මම ඇය දෙස බලා සිටිමි. පහළොස්වැනි හෝ දහසයවැනි සියවස් අතර දවසක, ඉතාලියේ යම් තැනක උපත ලද, බැලේ නර්තනයට පෙරදිග ලාස්‍යයන් මුසු කර තැනූ ඇගේ රිද්මයන් හා වසඟයට පත්වනු වෙනුවට, විදුලි සංගත තැටියකින් වාද්‍ය වන ඒ සංගීතය පසුබිමෙහි තබා ඇගේ අතීතය පිළිබඳ ව මොහොතක් නෙත් පියා ස්මරණය කරමි.

අෑ අප අතර සිටි අමුතු යෙහෙළියක් යැයි මගේ මතකයේ ඇත. නිරන්තරයෙන් විහිලු කරමින් සෑම දෙනාම සතුටට පත් කළ අයෙක් ලෙසද, විටෙක නිහඬව සහ තැන්පත්ව, යමක් සඟවාගෙන මිදී පලා යන්නට තැත් කළ අයෙක් ලෙසද  ඈ මගේ සිත තුළ තැන්පත්ව හිඳී. ඇය සංවෘත බවක් කිව නොහැකි තරමටම, සියල්ල අප හා බෙදා හදා ගත් බවද, විවෘත නැතැයි හැඟෙන තරමටම බොහෝ දේ අපෙන් සැඟ වූ බව ද සිහිපත් කරමින්, මම දෙනෙත් හරිමි.

ඈ හැඳ සිටිනා සුදු දුහුල් පුහුණු ඇඳුමේ, රැළි අතරින් වේගයෙන් පෙනී නොපෙනී යළි පෙනෙන ඇගේ දඟ යුග්මය මෙන්ම ඇගේ සිතිවිලි තුළද පෙනුණු නොපෙනුණු බොහෝ දේ තිබුණු බව අද මම දනිමි. ඇගේ නර්තනය අවසන් බව පසුබිමින් ඇසෙනා සංගීතය නිමා වූ හඬින් පෙනී ගිය බැවින් මම යළිත් පියවි ලොවට අවතීර්ණ වෙමි.

කුඩා ගමන් බෑගයක් සහ තුවායක් අතට ගත් ඈ, විජාතික මිතුරියක් හා සෙමෙන් කතා කරමින් ඉදිරියට පැමිණෙමින් සිටියි. ඈ හා කතා කිරීමේ ප්‍රබල ආශාවක්  මා තුළ හට ගත්තත්, එක්වර උපන් ලැජ්ජාවකින් පසු බා සිටියෙමි. අපි හමු වූ මුල් දවස් වල පැය හා දවස් වලින් ගෙවුණ කාලය, අපි හමු නොවූ කාලය තුළ වසර වලින් ගෙවී ගිය බැවින් ඈ මා හඳුනා නොගනිතැයි මගේ සිත කියන්නට පටන්ගෙනය. එහෙත් නිරායාසයෙන් මොහොතකින් මා ඇගේ මඟ හරස්කොට ඉදිරියේ සිට ගමි.

ගංගා?

මම ඈ අමතමි. ඈ ආලේපන නොතවරා ම පෙරට වඩා  පැහැපත් ව සිටියාය. පුදුම බවක් හැඟවූ මුහුණින් මා දෙස වරක් වේගයෙන් බැලුවාය. කලකින් දුටු මිතුරියක් හඳුනාගත් ප්‍රීතියෙන් දෙවනුව ඈ මා වැළඳ ගත්තාය. ඇගේ නොවෙනස් සිනහව අද ද මා වටා පිපුණු බැවින් මා ඇගෙන් නෙත් අහකට නොගෙනම, දෙවැනි පැනයද තල්ලු කරමි.

ඉස්කෝලෙන් අයින් වුණාට පස්සෙ අදයි දැක්කෙ?  ඒකත් මේ අහම්බයෙන්! කොහෙද මේ?

ඈ සිනාවෙන්ම, මා ඇදගෙන අසල පුටු පේළියේ ඉඳගනී.. අපි හඳුනන්නෝ බව ඉඟියෙන් දත් ඇගේ විජාතික සුදු මිතුරිය අතින් සන් කර සිනාවක් පා අප පසු කරයි.

කෙල්ල මහත් වෙලා..ඔයා මෙහෙ ආවා කියලා දන්නෙවත් නෑ. පුතු ලොකුද දැන්?

ඈ ගැන කිසිත් නොපවසාම ඇය මගෙන් විමසයි. ඉස්සර මටත් වඩා මහත ඇය, දැන් මඳක හීන්දෑරි නිසා, මගේ පිරුණු බව වැඩියෙන් දැනෙනවා විය යුතුය. අප එකට පාසලේ උගන්වන දවස් වල මට තිබූ රූ සපුව ගැනත්, මා නිතර පළඳින උස් අඩි පාවහන් ගැනත් ඇය ඉතා අගේ කොට සැලකූවාය. කිසි දිනෙක ඈ උස අඩි සෙරෙප්පු නොපැළැන්දාය. ඒවාට ආසා කරමින් ඒවා නොපළඳින්නට තරම් හේතුවක් ඇයට තිබිණි. ඒ ඇය ඔහුට වඩා උස යන්නට තිබූ අකමැත්ත නිසාය. ඇගේ නොඉවසිලිමත් නෙත් මේ මොහොතේ මා වෙත බැවින් මගේ මතක මත තැවරෙන්නට තවත් ඉස්පාසුවක් නොලැබිණි.

දැන් පුතා ලොකුයි අවුරුදු හතක්. තව ටික දවසකින් ඉලංදාරියෙක්.එයාව මෙහාට එක්කගෙන තමයි මේ ආවෙ.

ඇගේ නෙත තෙතකින් පිරෙයි. ඇයට විහඳුව අමතක වන්නට ඉඩක් නැත. ඈ ගැයූ ගී වල මතකය විහඳුට අද නැති වුවද, අදත් ඔහුගේ රසවින්දනයට මුල් පදනම වැටුණේ ඈ හරහා බව මම විශ්වාස කරමි. මා ඇගේ නිවස දැන සිටියත් කිසි දිනක එහි යන්නට නොහැකි වූයේ එකල කුඩා පුතු සමඟ මා ගත කළ වෙහෙස කර ජීවිතය නිසයි. එහෙත් ඈ නිතර මා බලන්නට එමින් , කවි ගීත ගයමින් කුඩා පුතු හා කාලය ගත කළේ සැබවින්ම කුඩා දැරියක විලසිනි.

 අනේ මට දකින්නත් ආසයි අමලි.. පුතුට දැන් මාව මතක නැතිවත් ඇති.

ඈ හෘදයාංගමව මගේ අත තද කොට ගත්තාය. මම මගේ විස්තර ඇයට කියන්නට ඉක්මන් වෙමි. ඇගේ විස්තරද ඉක්මනින් දැන ගත යුතු නොවේද මම? ඇය නැවත සුදු මිතුරිය පැමිණයහොත් ඉක්මනින්ම යනු ඇතැයි ක්ෂණික හැඟීමක් මා තුළ මෝදු වෙයි. ඉතින් මම කලබල වෙමි.

අපි දැන් ඉන්නෙ මෙල්බර්න් වල ඉන්නෙ. මහත්තයා නම් පී ආර් පිට. මං නං සිටිසන් ගත්තා. අපිට දැන් පුංචි දුවෙකුත් ඉන්නවා.. එයාට තුනයි තාම. ගෙදර තියලා ආවෙ.


ඇගේ නෙතේ ප්‍රීතියක් ඇඳෙයි. මේ, කාලාන්තරයකට පසු මම ඇගේ තොරතුරු දැනගන්නා වෙලාවයි.
ඈ දුටු අවසන් දිනය තවමත් මගේ මතකයේ තිබෙයි. ගෙදරින් එක දිගට හොයන විවාහ යෝජනා කෙරෙන් පීඩිතවද, සිය ආදරයෙන් හා ඒ තුළින් නොලද ජීවිතයෙන් හෙම්බත්ව ද සිටි ඇය අවසන ජීවිතයට වෙන ඕනෑම දෙයක් ගැන හිත හදා ගත් බව පමණක් අපට සිනා මුසු මුහුණින් කීවාය. සාම්ප්‍රදායිකව ඇයට සුබ පැතුවද, ඇගෙන් අනාගතයක සේයාවක් නොදැනෙන වග  ඈ ගිය පසු ද අපි කතා වීමු. ඉන් පසු ඈ පාසල් පැමිණියේ නැත. දවස් දෙක තුනකට පසු, ඇගේ නොපැමිණීම දැනගන්නට අප ඇය දුරකථනයෙන් ඇමතීමු. එම දුරකථනය පවා අක්‍රීය වී තිබීම ගැන අප බෙහෝ කණගාටු වීමු. හදිසි සම්මුඛ පරීක්ෂණයකින් පැමිණි අලුත් ගුරුවරියකගෙන්, ඇගේ පන්තියද හිස් අසුනද පිරෙන්නට ගියේ එක් සතියකි.ඇගේ නිවසට යන ලිපිනය දැනගෙන සිටියද, ඒ මොහොතේ අප සැවොම සමව පෙලූ යොවුන් කාර්යබහුලත්වය, විසින් ඈ සෙවීම නිරන්තරයෙන්  මඟ හැරුණු වැඩ අතරට දමා පසුව අපගේ සිත් වලින්ද අමතක කළ මතකයන් අතරට තල්ලු කෙරිණි.

එදා සොයාගත නොහැකි වූ ඈ ඉතින් දැන් මා ඉදිරියේ ය. ඇගේ තොරතුරු ඇසීමට මගේ දෙකන් වලට ඉස්පාසුවක් නැත. එහෙත් ඒ හදිසිය ඇයට නැත. මම නොඉවසිලිමිත් තරහකින් වෙලෙමි. ඈ සියුම් කල්පනාවක නිමග්නව සිටී. සමහරවිට කිසිවක්, අමතක නොවන්නට පිළිවෙලින් වසර කිහිපයකට පෙර ගෙවුණු අතීතය පෙළගස්වනවා විය හැකිය. එබැවින්, නිහඬ බවින් නොතිත් බව රඳවාගෙන මම වැරෙන් ප්‍රස්වාස නොකර බලා සිටිමි.

- එකහමාරට ඉස්කෝලෙ ඇරිලා ක්ලාස් එකේ ළමයි ඔක්කොම අම්මලාට බර දුන්නාට පස්සෙ, මං ස්ටාෆ් රූම් එකට ආවා. ඔයාලා හිටියෙ නෑ. කවුරුත්ම. ඉතිං මං බෑග් එකත් අරන් ගෙදර එන්න ආවා. බෝ ගහ කිට්ටුවට එනකොට, ගමේ කඩේට ගිහිං පෘට් ජූස් එකක් බොන්න ඕනෙ කියලා ආසාවක් ආවා. මම ක්‍රොස් කරලා රාජිගිරිය පැත්තට යනකොට අහම්බෙන් වගේ, එහා පැත්ත බැලුණෙ. වෙයා හවුස් එකේ එයාගෙ ඡායාවක් වගේ මම දැක්කා.. මාස ගාණකින් එක පාරටම මං එයාව දැක්කෙ. මට පුදුම සතුටක් දැනුණා. මට මතකයි මං එයාව මඟ ඇරෙන්න ඉස්සර පාර පැන්නා..
 
ඒ දවස් වලත් ඇය එහෙම ය. වැසි වසිනකොට, වැස්ස දෙස බලා.. ඔහු එළියෙදැයි කල්පනා කරයි. සාප්පු ගිය විට ඔහුට ගන්නට ඇඳුම් ආයිත්තම් තෝරයි. ඔහු සමඟ යන විට උස වැඩිවෙතැයි බියෙන්, අඩි උස පාවහන් නොපළඳියි. එහෙත් කිසි දිනක ඈ සමඟ අපි ඔහු දැක නැත.  ඈ ආදරය කළ ඔහු, ඇයට ආදරය කළ බව අපි නොදන්නා තරමට ඇගේ ආදරය සාමාන්‍ය අපට ආගන්තුක එකක් විය. ඔහු එදා ආවා විය හැකිදැයි යන පුදුමයෙන් මම ඈ දෙස බලමි.

මට ඊට වඩා මුකුත් ම මතක නෑ. මට මතක මගේ ඔලුවෙ ලොකු රිදිල්ලක් එක්ක මම නැගිටිනවා විතරයි. වටේ කිහිප දෙනෙක්ම ඉන්න බව දැනුණත් ඉන්පස්සෙ  ආයෙත්, හැම දේම කලුවර වුණා.. මම එක දවසක් ඇහැරෙද්දි, මං හිටියෙ මෙහෙ ආර් එම් එච් එකේ.. මුලින්ම මම දන්නෙ නෑ කොහෙද කියලාවත්, ඒත් පුදුමෙකට වගේ, මට අමුතු සීතලක් දැනුණා.. කවදාවත් නැති වෙනස් බවක්. ඈත පෙනෙන බිල්ඩිං වුණත් අමුතු ගතියක්. ඒත් මම ඒ හීනයක්ම කියලා හිතුවෙ, බැල්කනියෙ ඉඳගෙන ආපු තිවංකව දැක්කාම. එයා මට සනීප වෙනතුරු මගෙ ළඟම ඉඳලා. ඒක මම කවමදාවත් හිතපු නැති දෙයක්.. ඉතිං මට පුදුම හිතුණා. මං හැමදාම දැක්කෙ එහෙම හීනයක්. ඒ දවස් වල කිව්වා.. හීන වලට මිනිස්සු ආදරේ කරන්නෙ, ඒවා හැබෑවෙන්නත් ඉඩක් තියන නිසා කියලා.. එයා හරි..

ඇගේ දෑස් වල ආලෝකය විහිදිලා පැතිරුණා. පළමු වතාවට ඇය ඔහුගෙ නම ඒ තරම්ම සුන්දරව කිව්වෙ අද. දැන් මගේ නොතිත් ආසාව, අද ඇගේ ජීවිතය ගැන දැනගන්නයි. එය ඉවෙන් වටහා ගත්තාක් මෙන් සිනාසී ඈ මගේ දෑත් සියුම්ව තද කළා.

එයා එම්බසි එකේ වැඩ වගයකට ගියා. පුතාවත් අරන් එයි මාවත් පික් කරන්න තව ටිකකින්. 

ඔහු දිගින් දිගටම ඈ සමඟ රැඳීම ගැන මම නිරාමිස ප්‍රීතියකින් තුටු වෙමි. ඈ පැතූ ජීවිතය ඇය සන්තකව තිබීම කෙතරම් සතුටක්ද? පුතා ගැන ඇසූ විට පුදුමය මුසු ආහ්ලාදයක්ද මා වෙලා ගනී.

ඔයාට පුතෙක්? 

ඉතින් මම පුදුමය මුදා නොගෙනම අසමි


ඔව්නෙ. අභිමන්‍යු ඉපදුනානෙ.. ඉතිං  දවසක අපේ ගෙදරත් එන්න. දැන් අපි ආයෙත් නිතරම හමුවේවි. ලබන සුමානෙ මෙහෙ ඩාන්සිං ෂෝ එකට එනවානෙ..ටිකට් ගන්න එපා... මං ඔයාටයි ඔයාගෙ හස්බන්ඩ්ටයි ඉන්විටේෂන් දෙකක් ගන්නම්.. බබාලාට ඕනෙ නෑනෙ.. ආ.. ඒක නෙවී..  මගෙ නම්බර් එක මාරු කළානෙ.. ඔයාගෙ නම්බර් එක කියන්න.. මං රින්ග් කරන්නම්..

ඈ සතුටින් තව තවත් තොරතුරු එක පෙළට ගයයි. මට ඇරයුම් කරයි. උපදෙස් දෙයි. හිනැහෙයි. දුක සහ සතුට අතර ඇති රේඛාව ගැන තවත් පුදුම වෙමින්, මම ඇයට මගේ අංකය කියමි. එදා ඇයට ඒ රිය අනතුර නොවුණා නම්, එතැන සිටියෙ ඔහු නොවුණා නම්, ඔවුන් එක් නොවුණා නම්, කුමක් වන්නට තිබිණිද? ඔවුන්ගේ එක් වීම දෙවියන් විසින් පතන ලද්දක්මද? මා මගේ සිත කල්පනාව තුළ කිමිද යාම මුදවා ගන්නට අපමණ වෙර දරමි.

පුංචි වාහනයක නළා හඬ සමඟ.. ළඳරු සිනා හඬකින් පිටත ටෙරාසෝ කළ පෝටිකෝව දෙස හැරී බලමි.. රියදුරු අසුනේ උන් දේහධාරි පිරිමි දෑසක්ද, අනෙක් අසුනේ ඔහුගේම කුඩා සංස්කරණයක් වැනි මගේ කුඩා දියණියගේ වයසට සමාන බව පෙනෙන පුතෙක්ද ඇගේ උණුසුම බලාපොරොත්තුව සිටියි. ඉතින් දැන් ඈ ගේ සුන්දරව සිනාවට හේතු මම සියැසින් දකින්නට තරම් වාසනාවන්ත වෙමි. ඒ සිනාව සියල්ල අත්පත් කරගත් අවසානයේ ගැහැණියකගෙන් නැගෙන අප්‍රමාණ වූ උත්තරීතර සිනාව බව පමණක් මම දනිමි. හඳුනමි.

2015- 01- 22
ඕස්ට්‍රෙලියාවේ මෙල්බර්න් නුවර දී
-අමලි දිසානායක-


1/12/15

-252- ඔහුට පුංචි තෑග්ගක්



මගේ යෙහෙළියො හැමෝම හරිම සුන්දරයි. ඒ අතරින් ඇය හැමටම වඩා සුන්දරයි. කෙනෙක් දෙවරක් හැරී බලන ඇගේ සොඳුරු රුව දකින පිරිමි ළමුන් ඈට ඉතා වේගයෙන් ආකර්ෂණය වෙනවා. මේ නිසාම ඇගේ හිතේ ඈ ගැන කුඩා අහංකාරයකුත් නොතිබුණාම නෙවෙයි. ඇය පෙම්වතියක් වුණේ එකොළහ වසරෙදි. ඒ කාලෙ මං ඇයව දැනන් හිටියෙ නැතත් දැන් ඇය මගේ හොඳ ම යෙහෙළියක්. ඈ ජනාධි.

මම කියන මේ කතාව සිද්ධ වෙන්නෙ මීට සතියකට උඩ දවසක, සතියකට උඩ දවසකදි වුණු මේ කතාව අද කියන්නෙ, අද සිදු වුණු දෙයක්, මට පෙර සිදුවීම රිදව රිදවා මතක් කරන නිසා. ඇගේ නම සාරා. ඇය මා දන්නෙ කුඩා කල පටන්මයි. දෙවරක් හැරී බලන සුන්දරත්වයක් නැතත්, ඈ ළඟ ඉන් එහා ගිය කුමක්දෝ සෞන්දර්යක් තිබෙනවා කියලා මම කුඩා කල පටන්ම  විශ්වාස කරනවා. ඈ පිරිපුන් යුවතියක්. පහුගිය දවස් කිහිපයේ සාරා  හිටියෙ දුකින්. සාරා ඇඟිලි ගැන්නා ඇයට දුරකථන ඇමතුමක් එනතුරු. ඒ ඇමතුම ඈ බලාපොරොත්තු වෙන්නෙ ඇගේ පෙම්වතාගෙන් නෙවෙයි.

සාරාට පෙම්වතෙක් නෑ. ඇයට පෙම පෙන්වන හැමෝම, කුමක් හෝ අවශ්‍යතාවක් වෙනුවෙන් ඇය වටා ගැවසුණු අය නිසාම ඇය කාටවත් ළං වුණේ නෑ. කුලය, මුදල, ශරීරය පතමින් ඈ වටා සැරිසරන බඹරුන්ට ඈ බයයි. ඈ ආදරය කළ කවුරුත් ඇගේ පෙම්වතුන් වුණේ නැත්තෙ ඇයි කියලා මට පුදුමයි. ඈ ඒ තරමටම ආදරණීයයි. ඇයට ඕනෙ වුණේ ආදරයක්. ඇය ගැන සොයා බලන රැකවරණයක් දැනෙන තරම්, සුන්දර ආදරයක්. ඇය කවමදාවත්ම නොවින්ඳෙත් එයයි..  සාරා ට තිබ්බා ලස්සන ප්‍රාර්ථනා මල්ලක්. ඒත් අපි කවුරුත් දැනගෙන හිටියෙ නෑ . එ් ඇගේ අවසාන කැමැත්ත කියලා. ඒ වගේම මේ කාර්ය බහුල ජීවිතේ අපිට ඒවා ගණන් ගන්න තරම් හේතුවක් වත් වෙලාවක් වත් තිබ්බෙත් නෑ. ඈ ආසා කළා ඔහු ළඟට වෙලා කෝච්චියෙ යන්න. ඈ ආසා කළා ඔහුට තුරුළු වෙලා ඔහු ගයන ගීයක් අහන්න. ඈ ආසා කළා ඔහුගේ අතේ එල්ලිලා ඇවිදින්න. ඔය වගේ පුංචි ලස්සන ආසාවල් ඈ පුරා පිරිලා තිබුණා. ඒත් ඈ ආදරය කළේ ඇයට ආදරේ නොකරන අයට නිසා ඒ හැම දේම පැතුම් විදිහටම ඇගේ හිත ඇතුළෙ හැංගුණා.

ගිය සතියෙ, ඉස්කෝලෙ ගේට්ටුව ළඟ, දන්න හඳුනන පිරිමි ළමයෙක් කැරකුණා. ඔහු අවිශ්ක. අවිශ්ක කියන්නෙ ජානාධිගෙ පෙම්වතා. සරා ළඟ ඉඳන් එකපාරට ජනාධි ළඟට මම පීලි මාරු කළේ ජනාධිගෙ කතාවට වඩා සාරාගෙ කතාව ලස්සන නිසයි. ඉස්සල්ලා නරක දේ අහලා,පස්සෙ හොඳ දේ අහන්න කැමති එක ගෑණුන්ගෙ ගතිය. අවිශ්කව මට මුණ ගැහුණා. ජනාධිට කෝල් කරන්න හොඳටම හැකියාව තියෙද්දිත්, පාසල ඇරිලා තියෙද්දිත් ගේට්ටුව ගාවට වෙලා ඉන්න හේතුව මම අවිශ්කගෙන් ඇහුවා. එයා එන වෙලාවක ආපුවාවේ... අවිශ්කගෙ පිළිතුර වුණේ ඒක. මට තේරුම් ගන්න  බැරි වුණා. වෙනදට යන්න හදිස්සි අවිශ්ක මෙතන ටැග් ගැහෙන්නෙ ඇයි කියලා.. ඉතාම කෙටියෙන් අවිශ්ක මට කතාවක් කිව්වා. අද ඔහුගෙ උපන්දිනය. ඔහු වෙනුවෙන් ඇය, පුංචි උපන්දි සුබ පැතුම්පතක් හදනවා කියලා ඇගේ මල්ලිගෙන් ඔහු දැනගෙන, ඔහුට ඕනෙ ඈ ඔහු සොයා එන්න කලින්, ඈ ළඟට ඇවිත් ඇය එය ඔහු අතට දෙනතුරු බලා ඉන්න. “ මට කවියක් වත් ලියාගන්න බෑ. මට පේපර් කියුලිං තියා චිත්‍රයක් අැඳගන්නත් බෑ. මගේ ඇඟේ කලාවක් පිහිටලාම නෑ.. මට එයාට දෙන්න වෙන්නෙ හැමදාම කවුරු හරි හදපු දේක මගේ නම ගහලා.. මොන දේ දුන්නත්, මම ආසා කරන දේ දීගන්න මට බෑ.. එයා මේ කරන පුංචි දේ වෙනුවෙන් මං මගේ කාලෙ කැප කරන්නෙ ඒ දේට පුංචි හරි ගෞරවයක් ආදරයක් එකතු කරන බව එයාට දැනෙන්න.. මෝඩ වැඩක් වගේ පෙනෙනවා ඇති. ඒත්.. එයා එදාට සතුටින් ඉන්නෙ..“

මම සිය දහස් වතාවක් දුක් වුණා.. ඇහැට කඳුළු එන තරමටම... ඔහුට කවියක් ලියාගන්නට බැරි වීම ගැන මම දුක් වුණා. ඇයට දෙන්නට කවියක් ඔහුට ලියන්න පුළුවන් වුණා නම්, ඔහුගෙන් කොහොම කවියක් ලියවේවිද? කියලා හිතන්න මම උත්සාහ කළා. ඒ කවිය තුළ කොපමණ ආදරය තියේවිද? ඒ ඇත්තම ආදරයක් ද කියලා මම හිතින් තර්ක කළා. ඒ ආදරය නොනැසෙන්නට මම ඔවුන්ට තුන් හිතින් සුබ පැතුවා..

මම හැමදාම දුක් වුණේ සාරා ට ලස්සනට හිතන්න පුළුවන් වීම ගැන. සාරාට ලස්සන දේ හිතන්න බැරි වුණා නම්, සාරා මෙච්චර දුක් වෙන්නෙ නෑ. සාරා ඔහු වෙනුවෙන් සකසපු කාඩ් එක පුංචි නෑ. සාමාන්‍ය උපන්දින සුබ පැතුමකට වඩා ටිකක් ලොකුයි.. හොඳම එක හදන්න.. ඇය කීවතාවක් හැදූ සුබ පැතුම් පත් විනාශ කළාද කියලා මට මතකයි. මං ඈ ළඟ සිටි නිසා.. ඔහුගෙ උපන්දිනයෙන් මාස හතක් ගත වෙලත්, ඒ සුබ පැතුම් පත, සාරා ගෙ පුංචි පුංචි තෑගි අරන් යන්න.. ඔහු ආවෙ නෑ..ඔහුට වෙලාවක් තිබ්බෙ නෑ.. ඔහුට අවශ්‍ය වුණෙත් නෑ.. ඔහු සාරාගෙ පෙම්වතා නෙවෙයි. ඔහුට සාරාගෙ පෙම් හැඟුම් වටින්නෙත් නෑ. ඇයට හා ඇගේ ආදරයට වඩා ඔහුට වෙනත් වටින බෙහෝ දේවල් තිබුණ නිසා පහුගිය  මාස හත අටකට පුංචි කාලයක්වත්  ඈ වෙනුවෙන් දෙන්න ඔහුට ලෝබ හිතෙන්න ඇති.

ඔහුගෙ උපන්දිනේ දවසෙ, ඈ ඔහු එනතෙක් බලා සිටිය බව, මට තවම මතකයි. ඔහුට එන්නට නොවෙන බව ඈ මා හා පවසද්දි, නෙත් තුළම උපන්න කඳුලක් නෙත් තුළටම ගිලුණෙ මහ කරුමක්කාර විදිහට. ඔයාට ආදරේ කරන කෙනෙකුට ආදරේ කරන්න. මම ඇගෙන් සිය දහස් වර ඉල්ලුවා. එහෙත් ඈ ආදරේ කළේ ඔහුටම විතරයි.  තමන්ට ආදරය නොකරන බව පැහැදිළිවම කියන කෙනෙකුට ආදරේ කරන හේතුව මම ඇගෙන් ඇහුවා.

එයාගෙ නිදහස තුළින් එයා ආදරේ දකිනවා. මට නොලැබුණත්, මං දෙන ආදරය, වෙන කාට හරි එයා හරහා ලැබෙනවා ඇති. මේක තාවකාලික ගමනක්. අපි දේවල් දෙනවා විතරයි. ඔයාමනෙ මට කිව්වෙ, අපි සුරංගනාවියො වෙමු කියලා.. ඈ සිනාසුණා පමණයි. මම හිතන විදිහට ඈ සතුටින් ඉන්නා බව හැඟවීටම ඈ නිරන්තරයෙන් සිනාසීම පුරුද්දක් කරගත්තා වෙන්න පුළුවන්.

අන්තිමට මා දකිද්දි, මගේ යෙහෙළිය සාරා උන්නෙ ඇඳ උඩ. සාරාට සනීප නෑ. වෛද්‍යවරු ඇගේ නොදන්න රෝගය සොයමින් හිටියා. මට හුස්ම ගන්න අමාරුයි.. සිහින් කෙඳිරියකින් සාරා මට කිව්වා. ගෙනයන්නට නො ආ නිසාම ඈ දවස් කිහිපයකට පෙර ඔහුට තෑගි තැපැල් කරලා.  පණිවිඩ පිට පණිවිඩ කිහිපයක් යැව්වත්, එයට ඔහු පිළිතුරු නොදුන් බව. දුන්නත් ඕනෑවට එපාවට බව. ඈ මට කිව්වෙ කෙඳරියෙන් එහෙත් සිනාසෙන දෑසකින්. තේරුම් ගත නොහැකි ගුප්ත බවක් එහි තිබ්බා.

මට ඔහුව ඇගේ හිතෙන් ඉවත් කරන්නට ඕනෙ වුණා. ඒ නිසාම මට හිතුණා ජනාධි ගැන ඇයට කියන්න. ඇය අසා සිටියා. තෑගි ගන්නට මඟ බලා සිටින ආදරවන්තයන් ට අපහාස නොවන්නට අතට තෑගි නොදී තැපැල් කළ එක , රැගෙන යන්නට නාවාට ඔහුට හොඳ දඬුවමක් බව කියමින් අපහසුවෙන් ඈ හිනා වුණා. එහෙත් අවසානයේ මෙහෙම කිව්වා.

 ඒ අය ආදරවන්තයො. මම ඔහුට ආදරේ කළත්, මට ආදරය නොකරන එයාට මාව බලන්න එන්න හේතුවක් ඇත්තෙම නෑ. මං මේ යවපු තෑගිත්, එයාට නොවටින තවත් එක් හං කෑලි, කඩදාසි කෑලි ටිකක් වෙන්න පුළුවන්. ආදරයයි දරකෝටුවකට වුණත් ප්‍රතිමාවක වටිනාකම දෙන්නෙ. ඒ ගැන දුක් වෙන්න එපා. ඔයාට ආදරේ නොකරන අයට දෙන්න පුළුවන් හොඳම දඬුවම ඒ අයට ආදරේ කරන එක. ඈ මට කිව්වා..

වේදනාකාරීව පීඩා විඳින ඇගේ දෑස් දිහා බලන් ඒ කෙඳිරිලි හඬට මගේ ප්‍රශ්නය එකතු කරන්න මට අමාරුයි. ආදරේ නොකරන කෙනෙක්ට, අපි ආදරේ කරන බව දැනෙන්නෙ නැත්තම්, කොහොමද දඬුවමක් නිර්මාණය වෙන්නෙ කියලා මට සාධාරණ පැනයක් තවම හිත තුළ තියෙනවා.

මං කියපු කතාවලින් කෙනෙක්ට දුක හිතෙන්නෙ දෙවනි කතාවට වෙන්න පුළුවන්. ඒත් මං සතුටු වෙන්නෙ දෙවනි කතාවටයි. සාරා ගැන කතාවටයි.  පළවන කතාව, ඒ කියන්නෙ ජනාධිගෙ කතාව කොයිතරම් ලස්සන වුණත්, කවදා හරි දවසක දෙවන කතාව බවට එය නොහැරෙන්නම පුළුවනි කියලා, සදාකාලයටම සර්වශුභවාදී වෙන්න මට පුළුවන්ද?මට සැකයි. ආදරය කියන හැඟීම ම විටින් විට සැක සහිතයි. එය නොදුටු අයට.

සාරා.. අවසාන වතාවට මා එක්ක හිනා වුණා. “මට එයාව පේනවා.“ සාරාගේ හඬින්, ඇගේ දුර්වල වූ දෑස මත එළියක් විහිදුණා. “එයා මාව බලන්න ඇවිත්..එයා මාව එක්ක යන්න ඇවිත්“ ඇගේ සිනාවෙන් මම දොර දිහා බැලුවා. වාට්ටුවේ එහෙ මෙහෙ යන හෙදියන් මිස, මම වෙනත් කිසිවක්ම දුටුවෙ නෑ. සාරාගේ අත මගෙ අතින් ලිහිල් වුණා. දෑස් දොර වෙත අයාගෙනම ඈ හුළඟ සමඟ එක්වුණා. සැනසීමක මන්දස්මිතයක් ඇගේ දෙතොල් මත ඉතිරි වෙලා තිබුණා.

මට ඇගේ සමු ගැනීමෙන් මම කම්පනය වුණත් මේ කතාව ගැන මට දුකක් නැත්තේ, ආයෙ සාරාට මේ ආත්මෙ, කවුරුත් එනතුරු බලා ඉන්න ඕනෙ නැති නිසයි. දුක් විඳින මිනිසුන්ව ඉක්මනට දෙවියන් ළඟට ගැනීම ගැන, මම දෙවියන්ට ස්තූති වන්ත වන නිසා. සාරා දෙවියන්ටයි උරුම. බොහෝ කල් ජීවත් විය යුත්තේ, සතුට හිමි මිනිසුන්, ආදරය හා තම ආදරයට ගෞරවය ලැබෙන මිනිසුන් පමණයි කියලා මට හිතුණා.

ඕෂෝගෙ පැරණි කියමනක්, සාරා ඇතුළු ආදරේ නොදකින නාඳුනන පෙම්වතියන් වෙනුවෙන් මගේ සිත පතුලෙන් ප්‍රශ්නකාරීව එළියට පැන්නා. ඕෂෝ දවසක් කියනවා ආදරය නිම්නයක් වගේ කියලා. අපි ගයන විට එය දෝංකාරයක් වගේ අපිටම ඇහෙනවා කියලා. ආපිට ලැබෙනවා කියලා. ඒත් එහෙම දෝංකාරය නෑසෙන නිම්න ඕනෙ තරම් තිබෙන වග ඕෂෝ කිව්වෙ නෑ. ඒකම වෙන්න ඇති, ඇත්තටම තමන්ට ආදරය කරන කෙනෙක් හිරු යට දී මුණ ගැහෙනතුරු  රෑ කෙවිලියන් තරු වළල්ලට ගී ගයන බව, එකෝමත් කාලෙ ඉඳලාම කතන්දරයක් විදිහට, සාහිත්‍ය පත පොත් වල අකුරු වෙලා තියෙන්නෙ.

Nightingale sings to stars  until she finds a true lover under the sun 


1/5/15

-251- Beyond the Title | මාතෘකාවෙන් ඉක්බිති

2015 අවුරුද්ද ආරම්භ වෙන්නෙ ජනාධිපතිවරණ උණුසුම එක්කමයි. දේශපාලනය නම් තේමාව අද වන විට හැම තැනම කතාවෙනවා. හැබැයි අද රෑ දොළහෙන් පස්සෙ, ජනාධිපතිවරණය හෝ අපේක්ෂකයන් ගැන කතා කිරීම සියලු ජන මාධ්‍ය තුළින් හා සන්නිවේදනයන් තුළින් නීත්‍යානුකූලව අවසන් වෙන්න ඕනෙ. එහෙත් සමාජ ජාල වලට නම් මෙම නීතිය බලපවත්වන්න අමාරුයි. ඒ තොරතුරු ප්‍රකාශ කරන්නන් ස්වාධීන වීම නිසා සහ නියමිත මෙහෙයවන්නෙක් නැති නිසා. ඒත් නීතියට අනුකූලව ජනාධිපතිවරණය ගැන කතා කිරීම අද මැදියම් රැයෙන් නවතිනවා නම්, එය ඉතාම වටිනවා. මිනිසුන්ට හිතන්න කාලය ඕනෙ කියලා මම විශ්වාස කරන්නෙ නෑ. ඒත් සිතිවිලි වෙන් කරගන්න කාලයක් ඕනෙ. අද මැදියම් රැයේ ඉඳන්, 8 වෙනිදා පාන්දර වෙනතුරු අතර මැද දවස් දෙකේ, දැනුවත් අයට පුළුවනි නම් කියාදෙන්න" මිනිස්සුන්ට රට ගැන, දේශපාලනය ගැන, මෙතෙක් පැවති ඉතිහාසය ගැන, ලෝකය ගැන, සමාජයට ආර්ථිකයට දේශපාලනයට ජනාධිපතිවරණයක තීන්දුව බලපාන ආකාරය ගැන, එයයි වැදගත්ම මාධ්‍ය කාර්යභාරය වන්නේ.

8 වෙනිදා කුමන අපේක්ෂකයා දිනාවිද කියලා, තවමත් අපි දන්නෙ නෑ. ඒ එය තව දවස් දෙකකට එහා අනාගතයේ පැවැත්වෙන සිද්ධියක් නිසා. එහෙත් අද වෙනකොට ජෝතීර්වේදීන්, එක් එක් අපේක්ෂකයාගේ ජයග්‍රහණය අනිවාර්යෙන්ම සිදු වන බවට දෙපිල බෙදිලා මත පළ කරනවා. අද වෙනකොට ශ්‍රී ලංකාවෙ සමාජය පවතින ස්ථානය ගැන විවෘතව සලකා බැලුවොත් ජෝතිර්වේදියෙක්ගෙ මතයකට රටේ විශාල සිවිල් බලයක් තියෙනවා. බලන්න අද ලංකාවේ පුවත් පත් දිහා. එක පෙළට පිටු වල කොටු කර කර හිර කරමින් දැමූ නීච කුල වශී බන්ධන කරන යකැදුරන් ගැන දැන්වීම් අපි කෙතරම් දැක තිබෙනවාද? හැම ඉරිදා පත්තරයකම වගේ, ලග්න පලාපල වලට සහ භූතයන්ට වෙන්වුණු පිටුවක් හෝ කිහිපයක් තියෙනවාමයි. සමහර පුවත්පත් සමඟ වෙනම ජෝතිෂ්‍ය අතිරේකත් ලැබෙනවා. ජෝතිෂ්‍ය කියන්නෙ ගණිතයක්. එය ග්‍රහ තාරකා අනුව මිනිස් පදනම් කරලා කරපු එක්තරා ගණිත ක්‍රමයකින් තුන්කල් දැකීමක්, අනෙක් බලි බන්ධන ආදියෙ ත්, සත්‍ය අසත්‍යතාව අඩු වැඩි වශයෙන් ඇති. නමුත් මේ හැම අනාවැකියකින්ම කියවෙන්නෙ පවතින තත්වයක් මිස නිර්මිත තත්වයක් නෙවෙයි. නිර්මාණය කරන්නෙ මිනිසායි. මිනිසාගේ තීරණයයි. ජෝතිෂ්‍යට හෝ ජනාධිපතිවරණ ප්‍රචාරණ වැඩසටහන් වලට හෝ අපේ සිතීමේ ශක්තිය මොට කරන්නට දිය යුතුද?

දේශපාලන ප්‍රචාරණ කලාවක් නිර්මාණය විය යුත්තේ ෆැන්ටසිය මතින් හෝ හුදු වෛරය මතින් නොවෙයි. ඒවා නිර්මාණය විය යුත්තේ කරුණු හා ප්‍රපංචයන් පදනම් කරගෙනයි. මෙවර දුසිමකට අධික ව සිටින ජනපති අපේක්ෂකයන් අතර වැඩි ජනප්‍රියත්වයට පත් අපේක්ෂකයන් දෙදෙනා අතර තරඟය පමණයි මාධ්‍ය වලින් පවා අපට පෙනෙන්නේ.  එය ඕනෑම රටක සාමාන්‍යය ලෙස සිදුවන බව උපකල්පනය කරමු. එහෙත්, එහෙත් ඇතැම් අපේක්ෂකයෙක් ප්‍රචාරණය කරන දැන්වීම් තුළ තමන්ගේ ප්‍රතිපත්ති සම්බන්ධව බොහෝවිට දකින්නට ලැබෙන්නෙ නෑ. රූකඩ නැටවීම්, ආඬි හත්දෙනාගෙ කැඳ හැලිය ආදී කතන්දර වලින් එකිනෙකාට අපහාස කරමින් එක් අයෙක් තම ප්‍රචාරණය මෙහෙයවනවා. මෙවන්, අපහාස නූගත් සමාජයක් අවරණය කිරීමට යොදාගන්නා උපක්‍රම මිස බුද්ධිමත් දේ නෙවෙයි.  

නූගත් සමාජය තවමත් වෙසෙන්නේ, පශ්චාත් යටත් විජිත යුගයේ. උදාහරණයක් ලෙස, ඔවුන් තවමත් ප්‍රවේණි දාස මානසිකත්වය හිතෙන් අත්හැර නෑ. එවන් මිනිසුන් තවමත් බලාපොරොත්තු වන්නේ, සුද්දාට දොස් කියන, සරම අඳින, වෙලට බහින , උඩ රැවුල වවන  රජෙක්. ශ්‍රී ලංකාවේ රාජ පාලනය ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් අවසන් වෙනවා. අද වෙනකොට ලෝකයත් රජවරු කියන සංකල්පය සම්ප්‍රදාය තුළට මිස පාලනය තුළ ප්‍රතික්ෂේප කර අවසානයි. වර්තමානය වනවිට, ප්‍රජාතන්ත්‍රවාදය නැමති සංකල්පය මෙතරම් ප්‍රශ්නකාරී වීමට, වර්තමාන පාලකයන් පොළඹවන ලද්දේත්, අප තුළම පවතින සහ පැවති මේ “ මහරාජාණනි මානසිකත්වයමයි. වර්තමානයේ නායකයෙක් පත්කර ගැනීමේදී, පුද්ගලයන්ගෙ පුද්ගලික ප්‍රතිරූප කෙරෙහි විශ්වාසය තැබීමට අප ගන්නා මෝඩ තීන්දු යම් දවසක ඔවුන්ට සහ ඔවුන් නියෝජනය කරන කල්ලි වලට බලය අභාවිත කරන්න උදව්වක් වෙනවා. ඒ නිසා සැමවිටම පුද්ගලයන්ට වඩා ක්‍රමවේදය ගැන විශ්වාසය තැබිය යුතුයි. වැඩි සංවිධාන ගණනක එකමුතුවක් සැමවිටම පුද්ගල ඒක බල කේන්ද්‍රයකට වඩා ප්‍රබල වන්නේ මේ න්‍යාය නිසයි. 

පුද්ගලයෙකුට ඇති ප්‍රබල කැමැත්ත හෝ අකමැත්ත නිසා පරමාධිපත්‍ය වැනි තීන්දුවක් ලෙහෙසියන් ගන්නා අපට, නිවීසැනසිල්ලේ දුක් විඳින්නට වෙන බව අප මතක තබාගත යුතුයි. අපි කෑමක් කනකොට, පිරිසිඳු මිල අඩු හොඳම කඩය හොයනවා. ඇඳුමක් ගන්නකොට, ඇඟට නියමිත, තැනට ගැළපෙන හොඳම ඇඳුම ගන්න උත්සාහ කරනවා. ඒ ද්‍රව්‍ය. අපි සේවාවන් ගැන හිතමු. අපිට ගුරුවරයෙක් වුවමනා නම්, නීතිඥයෙක් වුවමනා නම්, වඩු බාස් කෙනෙක්, කොන්තරාත්කරුවෙක් වුවමනා නම් අපි ඒ ගැන කොයිතරම් හිතනවාද?  කොයිතරම් හොයනවාද? අපේ තාත්තාගෙ මේසෙ හදපු වඩු බාස් ගෙ පුතා වඩුවෙක් කියලා ඔහුට කියලා අපේ  මේසය අනිවාර්යෙන් හදවා ගන්නවාද?  නැහැ නේද? එහෙම නම් ඇයි දේශපාලනය වෙනුවෙන් පමණක් අපි වගකීම් රහිත තීරණ ගන්නෙ? එක පාරක්වත් අන්ධ විදිහට ලකුණු කරන පරම්පරා ඡන්දයෙන් වෙනස් වෙන්න අපි බය ඇයි?

අපි වෙනස් වෙන්න බය ඇයි? මේ බය අපේ ජාන හරහාම දිගින් දිගටම අපි එක්ක ආපු සාපයක්. රජුන්ගෙන් සුද්දාට යද්දි අපි ඒ වෙනසට බය වීම සාධාරණයි. ඒත් සුද්දාගෙන් අපට බලය එද්දිත් ඒ වෙනසට බය වුණ මිනිස්සු ලංකාවෙ හිටියා. අපි හැම වෙනසකටම බයයි. පවතින සම්ප්‍රදාය වෙනස් වෙනවාට මේ තරම් අපිව බය කරන්න මාධ්‍යත් ලොකු කාර්ය භාරයක් ඉටු කළා. වෙනස් වීම් නිසා දුක්ඛදායක ඉරණම් වලට පත් රටවල් සහ ඒ ආස්ථා අපිට පෙන්වලා අපි බය කරන්න ඔවුන්ට හැකි වුණා. එහෙත් ඔවුන් අපිට නොපෙන්වූ යහපත් වෙනස්වීම් වුණු රටවල් සිය ගණනක් තියෙනවා. අවස්ථා දහස්ගණනින් තියෙනවා. ක්‍රමවේදය සැමවිටම ප්‍රශ්න කරන්න තරම් නිර්භය ජනතාවක් ඉන්නවා නම් ඇයි වෙනස්වීම් වලට බය වෙන්නෙ? මිනිස්සු දේශපාලනිකව නූගත් වෙන තරමට, නොසැකිලිමත් වෙන තරමට ආණ්ඩු මිනිස්සුන්ව නටවනවා. 

ආණ්ඩු තියෙන්නෙ වැඩකරන්න. පාරවල් හැදීම, පාලම් හැඳීම, පාසල්, රංග ශාලා, වරාය ,ගුවන්තොටුපොළ මේ කොයි දේ හැදීමත්, ආණ්ඩුවක සාමාන්‍ය කාර්යභාරය. ඒවා ඡන්දයකට කොහෙත්ම ආදාළ නෑ. මෙතෙක් පැවති ක්‍රමවේදයේ ප්‍රශ්නය තිබෙන්නේ, අත්‍යාවශ්‍ය දේ අවශ්‍ය තැනට, දූරින් අවශ්‍ය වන බොහෝ දේ ලබා දීමයි. උදාහරණයක් විදිහට, අපි හොඳටම බඩගින්නේ ඉන්න වෙලාවක, අපිට ඕනේ ආහාර මිසක් ලස්සන මල් බඳුනක් තියපු මේසයක් නෙවෙයි. සංවර්ධනනය වෙමින් පවතින රටක, පුංචි පුංචි අක්කර කිරිපයක තැන් කිහිපයක් සංවර්ධිත රටක හුරුවට හදනවාට වඩා, මූලික අවශ්‍යතා මුලින්ම ඉටු කිරීම කොයිතරම් වටිනවාද? ලංකාවෙ මිනිස්සුන්ට දේශපාලනිකව, සමාජීයව , ආගමිකව වෙනස් වීම සහ අන්‍ය මත ගරු කිරීම ඉගැන්විය යුතු තත්වයකයි ලංකාව තිබෙන්නෙ.  මේ සඳහා පත්වෙන ආණ්ඩුවලත්, පත්කරන ජනාතාවගේත් දෙපිරිසේම මනා උනන්දුව ලැබෙන්න ඕනේ. 

කොහොමවුණත්, යුද්ධය ඉවර වුණ බව අපි විශ්වාස කළත්, අපේ රට ආරක්ෂිත නෑ. යුද්ධය ඉවර කළාට ඉන් එහා ජාතික සමගිය සහ ඉතිරි සාධාරණතා ගොඩ නැගිලා අක්‍රමිකතා අඩු කරන්න තවමත් ක්‍රියාත්මක වෙලා නෑ. සමහරවිට එය තවත් ප්‍රබල අර්බුදයක අත්තිවාරම වෙන්න පුළුවන්. සිංහල අවුරුද්දට, චිත්‍රපට දෙකතුනකට, ඇඩ් හතර පහකට පෙන්වන ෆැන්ටසිවාදී ජාතික සමගියට එහා ගිය ගැටලුවක් මේ රටේ තියනවා. තවම මේ රටේ ප්‍රබලව භාෂා ප්‍රශ්නය තිබෙනවා. ඉඩම් ප්‍රශ්නය තිබෙනවා. මහ ජාතිය හා සුළු ජාතිය කියන වෙනස තිබෙනවා. හැමවිටම අනෙකා යැයි, වෙනත් ජාතින් කෙරෙහි අඩුවක් අපි කරනවා. නැහැ. මේ සිල්ලම අපි. වෙනස් විය යුත්තේ පාලකයන් නොවෙයි අපියි. අපි පාලකයන්ට බිය විය යුතු නෑ. පාලකයන් බිය විය යුත්තේ අපටයි. අපේ බදු මුදල් වලින් ඔවුන් කරන සියල්ල දැනගැනීමේ අයිතිය අප සතුයි. ඒවා විවේචනයේ අයිතිය අපි සතුයි. අපට අවශ්‍ය දේ ලබා ගැනීම් අයිතිය අප සතුයි. සැවොම එක් වී අවශ්‍ය සමාජය නිර්මාණය කරගතහොත්, ජාතීන් ලෙස කිසිවෙකුටත් වෙන වෙනම යුතුකම් ඉටුකරවා ගැනීමට අවශ්‍ය නොවේවි. 

මහ බලයක් එක් තැනකට සංකේන්ද්‍රණය වීම වලක්වා, බලය විභජනය කර සෑම දෙනාම (මහ ජනතාවද ඇතුළුව) වගකීමක් සහිතව වැඩ කරන තරමට, අපේ රට නියමිත සහ සැබෑ සංවර්ධනයක් කරා ගෙන යන්නත්, ඒ සංවර්ධිත රටේ , සැබවින්ම සංවර්ධනය වූ පුද්ගලයෙක් ලෙස හැසිරෙන්නටත්, ඔබට හැකිවේවි. ඔබ 8 වෙනිදා ගනු ලබන තීරණය කුමක් වේවා, එය ඔබේ ඉදිරි වසර 6 හෝ 8 පිළිබඳවම තීරණය කරාවි. ඔබේ වයස ගණන් කර බලන්න. ඔබ තරුණ වියේ නම්, ඒ වන විට මැදිවියට කිට්ටු වී ඉඳීවි. ඔබ මැදි වියේ නම්, මහලු වියට කිට්ටු වී ඉඳීවි. ඔබ මහලු නම් සමහර විට මේ ඔබේ අවසාන ඡන්දය වේවි.  අපි තීරණය ගත යුත්තේ, හෙට තරුණයක් වන, ළමයින් වෙනුවෙනුයි. තවමත් කුස තුළට පවා නොපිවිසි බිළිඳුන්ගේ හෙට දවස වෙනුවෙනුයි. ඔබේ ශක්තිමත් තීරණය වෙනුවෙන් ඔබේ පරමාධිපත්‍ය භාවිතා කිරීම ඔබ සතුයි. දේශයක පාලනය සහ දහම්පාසල් පොත පටලවා ගැනීමෙන්, අප අපට මෙන්ම රටට ද කරමින් සිටින සහ කරන්නට නියමිත අගතිය සුළුපටු නොවන වග පමණක් අපි මතක තබාගනිමු. නූඹේ තීරණය අවසාන තීරණයයි.