1/12/15
-252- ඔහුට පුංචි තෑග්ගක්
මගේ යෙහෙළියො හැමෝම හරිම සුන්දරයි. ඒ අතරින් ඇය හැමටම වඩා සුන්දරයි. කෙනෙක් දෙවරක් හැරී බලන ඇගේ සොඳුරු රුව දකින පිරිමි ළමුන් ඈට ඉතා වේගයෙන් ආකර්ෂණය වෙනවා. මේ නිසාම ඇගේ හිතේ ඈ ගැන කුඩා අහංකාරයකුත් නොතිබුණාම නෙවෙයි. ඇය පෙම්වතියක් වුණේ එකොළහ වසරෙදි. ඒ කාලෙ මං ඇයව දැනන් හිටියෙ නැතත් දැන් ඇය මගේ හොඳ ම යෙහෙළියක්. ඈ ජනාධි.
මම කියන මේ කතාව සිද්ධ වෙන්නෙ මීට සතියකට උඩ දවසක, සතියකට උඩ දවසකදි වුණු මේ කතාව අද කියන්නෙ, අද සිදු වුණු දෙයක්, මට පෙර සිදුවීම රිදව රිදවා මතක් කරන නිසා. ඇගේ නම සාරා. ඇය මා දන්නෙ කුඩා කල පටන්මයි. දෙවරක් හැරී බලන සුන්දරත්වයක් නැතත්, ඈ ළඟ ඉන් එහා ගිය කුමක්දෝ සෞන්දර්යක් තිබෙනවා කියලා මම කුඩා කල පටන්ම විශ්වාස කරනවා. ඈ පිරිපුන් යුවතියක්. පහුගිය දවස් කිහිපයේ සාරා හිටියෙ දුකින්. සාරා ඇඟිලි ගැන්නා ඇයට දුරකථන ඇමතුමක් එනතුරු. ඒ ඇමතුම ඈ බලාපොරොත්තු වෙන්නෙ ඇගේ පෙම්වතාගෙන් නෙවෙයි.
සාරාට පෙම්වතෙක් නෑ. ඇයට පෙම පෙන්වන හැමෝම, කුමක් හෝ අවශ්‍යතාවක් වෙනුවෙන් ඇය වටා ගැවසුණු අය නිසාම ඇය කාටවත් ළං වුණේ නෑ. කුලය, මුදල, ශරීරය පතමින් ඈ වටා සැරිසරන බඹරුන්ට ඈ බයයි. ඈ ආදරය කළ කවුරුත් ඇගේ පෙම්වතුන් වුණේ නැත්තෙ ඇයි කියලා මට පුදුමයි. ඈ ඒ තරමටම ආදරණීයයි. ඇයට ඕනෙ වුණේ ආදරයක්. ඇය ගැන සොයා බලන රැකවරණයක් දැනෙන තරම්, සුන්දර ආදරයක්. ඇය කවමදාවත්ම නොවින්ඳෙත් එයයි.. සාරා ට තිබ්බා ලස්සන ප්‍රාර්ථනා මල්ලක්. ඒත් අපි කවුරුත් දැනගෙන හිටියෙ නෑ . එ් ඇගේ අවසාන කැමැත්ත කියලා. ඒ වගේම මේ කාර්ය බහුල ජීවිතේ අපිට ඒවා ගණන් ගන්න තරම් හේතුවක් වත් වෙලාවක් වත් තිබ්බෙත් නෑ. ඈ ආසා කළා ඔහු ළඟට වෙලා කෝච්චියෙ යන්න. ඈ ආසා කළා ඔහුට තුරුළු වෙලා ඔහු ගයන ගීයක් අහන්න. ඈ ආසා කළා ඔහුගේ අතේ එල්ලිලා ඇවිදින්න. ඔය වගේ පුංචි ලස්සන ආසාවල් ඈ පුරා පිරිලා තිබුණා. ඒත් ඈ ආදරය කළේ ඇයට ආදරේ නොකරන අයට නිසා ඒ හැම දේම පැතුම් විදිහටම ඇගේ හිත ඇතුළෙ හැංගුණා.
ගිය සතියෙ, ඉස්කෝලෙ ගේට්ටුව ළඟ, දන්න හඳුනන පිරිමි ළමයෙක් කැරකුණා. ඔහු අවිශ්ක. අවිශ්ක කියන්නෙ ජානාධිගෙ පෙම්වතා. සරා ළඟ ඉඳන් එකපාරට ජනාධි ළඟට මම පීලි මාරු කළේ ජනාධිගෙ කතාවට වඩා සාරාගෙ කතාව ලස්සන නිසයි. ඉස්සල්ලා නරක දේ අහලා,පස්සෙ හොඳ දේ අහන්න කැමති එක ගෑණුන්ගෙ ගතිය. අවිශ්කව මට මුණ ගැහුණා. ජනාධිට කෝල් කරන්න හොඳටම හැකියාව තියෙද්දිත්, පාසල ඇරිලා තියෙද්දිත් ගේට්ටුව ගාවට වෙලා ඉන්න හේතුව මම අවිශ්කගෙන් ඇහුවා. එයා එන වෙලාවක ආපුවාවේ... අවිශ්කගෙ පිළිතුර වුණේ ඒක. මට තේරුම් ගන්න බැරි වුණා. වෙනදට යන්න හදිස්සි අවිශ්ක මෙතන ටැග් ගැහෙන්නෙ ඇයි කියලා.. ඉතාම කෙටියෙන් අවිශ්ක මට කතාවක් කිව්වා. අද ඔහුගෙ උපන්දිනය. ඔහු වෙනුවෙන් ඇය, පුංචි උපන්දි සුබ පැතුම්පතක් හදනවා කියලා ඇගේ මල්ලිගෙන් ඔහු දැනගෙන, ඔහුට ඕනෙ ඈ ඔහු සොයා එන්න කලින්, ඈ ළඟට ඇවිත් ඇය එය ඔහු අතට දෙනතුරු බලා ඉන්න. “ මට කවියක් වත් ලියාගන්න බෑ. මට පේපර් කියුලිං තියා චිත්‍රයක් අැඳගන්නත් බෑ. මගේ ඇඟේ කලාවක් පිහිටලාම නෑ.. මට එයාට දෙන්න වෙන්නෙ හැමදාම කවුරු හරි හදපු දේක මගේ නම ගහලා.. මොන දේ දුන්නත්, මම ආසා කරන දේ දීගන්න මට බෑ.. එයා මේ කරන පුංචි දේ වෙනුවෙන් මං මගේ කාලෙ කැප කරන්නෙ ඒ දේට පුංචි හරි ගෞරවයක් ආදරයක් එකතු කරන බව එයාට දැනෙන්න.. මෝඩ වැඩක් වගේ පෙනෙනවා ඇති. ඒත්.. එයා එදාට සතුටින් ඉන්නෙ..“
මම සිය දහස් වතාවක් දුක් වුණා.. ඇහැට කඳුළු එන තරමටම... ඔහුට කවියක් ලියාගන්නට බැරි වීම ගැන මම දුක් වුණා. ඇයට දෙන්නට කවියක් ඔහුට ලියන්න පුළුවන් වුණා නම්, ඔහුගෙන් කොහොම කවියක් ලියවේවිද? කියලා හිතන්න මම උත්සාහ කළා. ඒ කවිය තුළ කොපමණ ආදරය තියේවිද? ඒ ඇත්තම ආදරයක් ද කියලා මම හිතින් තර්ක කළා. ඒ ආදරය නොනැසෙන්නට මම ඔවුන්ට තුන් හිතින් සුබ පැතුවා..
මම හැමදාම දුක් වුණේ සාරා ට ලස්සනට හිතන්න පුළුවන් වීම ගැන. සාරාට ලස්සන දේ හිතන්න බැරි වුණා නම්, සාරා මෙච්චර දුක් වෙන්නෙ නෑ. සාරා ඔහු වෙනුවෙන් සකසපු කාඩ් එක පුංචි නෑ. සාමාන්‍ය උපන්දින සුබ පැතුමකට වඩා ටිකක් ලොකුයි.. හොඳම එක හදන්න.. ඇය කීවතාවක් හැදූ සුබ පැතුම් පත් විනාශ කළාද කියලා මට මතකයි. මං ඈ ළඟ සිටි නිසා.. ඔහුගෙ උපන්දිනයෙන් මාස හතක් ගත වෙලත්, ඒ සුබ පැතුම් පත, සාරා ගෙ පුංචි පුංචි තෑගි අරන් යන්න.. ඔහු ආවෙ නෑ..ඔහුට වෙලාවක් තිබ්බෙ නෑ.. ඔහුට අවශ්‍ය වුණෙත් නෑ.. ඔහු සාරාගෙ පෙම්වතා නෙවෙයි. ඔහුට සාරාගෙ පෙම් හැඟුම් වටින්නෙත් නෑ. ඇයට හා ඇගේ ආදරයට වඩා ඔහුට වෙනත් වටින බෙහෝ දේවල් තිබුණ නිසා පහුගිය මාස හත අටකට පුංචි කාලයක්වත් ඈ වෙනුවෙන් දෙන්න ඔහුට ලෝබ හිතෙන්න ඇති.
ඔහුගෙ උපන්දිනේ දවසෙ, ඈ ඔහු එනතෙක් බලා සිටිය බව, මට තවම මතකයි. ඔහුට එන්නට නොවෙන බව ඈ මා හා පවසද්දි, නෙත් තුළම උපන්න කඳුලක් නෙත් තුළටම ගිලුණෙ මහ කරුමක්කාර විදිහට. ඔයාට ආදරේ කරන කෙනෙකුට ආදරේ කරන්න. මම ඇගෙන් සිය දහස් වර ඉල්ලුවා. එහෙත් ඈ ආදරේ කළේ ඔහුටම විතරයි. තමන්ට ආදරය නොකරන බව පැහැදිළිවම කියන කෙනෙකුට ආදරේ කරන හේතුව මම ඇගෙන් ඇහුවා.
එයාගෙ නිදහස තුළින් එයා ආදරේ දකිනවා. මට නොලැබුණත්, මං දෙන ආදරය, වෙන කාට හරි එයා හරහා ලැබෙනවා ඇති. මේක තාවකාලික ගමනක්. අපි දේවල් දෙනවා විතරයි. ඔයාමනෙ මට කිව්වෙ, අපි සුරංගනාවියො වෙමු කියලා.. ඈ සිනාසුණා පමණයි. මම හිතන විදිහට ඈ සතුටින් ඉන්නා බව හැඟවීටම ඈ නිරන්තරයෙන් සිනාසීම පුරුද්දක් කරගත්තා වෙන්න පුළුවන්.
අන්තිමට මා දකිද්දි, මගේ යෙහෙළිය සාරා උන්නෙ ඇඳ උඩ. සාරාට සනීප නෑ. වෛද්‍යවරු ඇගේ නොදන්න රෝගය සොයමින් හිටියා. මට හුස්ම ගන්න අමාරුයි.. සිහින් කෙඳිරියකින් සාරා මට කිව්වා. ගෙනයන්නට නො ආ නිසාම ඈ දවස් කිහිපයකට පෙර ඔහුට තෑගි තැපැල් කරලා. පණිවිඩ පිට පණිවිඩ කිහිපයක් යැව්වත්, එයට ඔහු පිළිතුරු නොදුන් බව. දුන්නත් ඕනෑවට එපාවට බව. ඈ මට කිව්වෙ කෙඳරියෙන් එහෙත් සිනාසෙන දෑසකින්. තේරුම් ගත නොහැකි ගුප්ත බවක් එහි තිබ්බා.
මට ඔහුව ඇගේ හිතෙන් ඉවත් කරන්නට ඕනෙ වුණා. ඒ නිසාම මට හිතුණා ජනාධි ගැන ඇයට කියන්න. ඇය අසා සිටියා. තෑගි ගන්නට මඟ බලා සිටින ආදරවන්තයන් ට අපහාස නොවන්නට අතට තෑගි නොදී තැපැල් කළ එක , රැගෙන යන්නට නාවාට ඔහුට හොඳ දඬුවමක් බව කියමින් අපහසුවෙන් ඈ හිනා වුණා. එහෙත් අවසානයේ මෙහෙම කිව්වා.
ඒ අය ආදරවන්තයො. මම ඔහුට ආදරේ කළත්, මට ආදරය නොකරන එයාට මාව බලන්න එන්න හේතුවක් ඇත්තෙම නෑ. මං මේ යවපු තෑගිත්, එයාට නොවටින තවත් එක් හං කෑලි, කඩදාසි කෑලි ටිකක් වෙන්න පුළුවන්. ආදරයයි දරකෝටුවකට වුණත් ප්‍රතිමාවක වටිනාකම දෙන්නෙ. ඒ ගැන දුක් වෙන්න එපා. ඔයාට ආදරේ නොකරන අයට දෙන්න පුළුවන් හොඳම දඬුවම ඒ අයට ආදරේ කරන එක. ඈ මට කිව්වා..
වේදනාකාරීව පීඩා විඳින ඇගේ දෑස් දිහා බලන් ඒ කෙඳිරිලි හඬට මගේ ප්‍රශ්නය එකතු කරන්න මට අමාරුයි. ආදරේ නොකරන කෙනෙක්ට, අපි ආදරේ කරන බව දැනෙන්නෙ නැත්තම්, කොහොමද දඬුවමක් නිර්මාණය වෙන්නෙ කියලා මට සාධාරණ පැනයක් තවම හිත තුළ තියෙනවා.
මං කියපු කතාවලින් කෙනෙක්ට දුක හිතෙන්නෙ දෙවනි කතාවට වෙන්න පුළුවන්. ඒත් මං සතුටු වෙන්නෙ දෙවනි කතාවටයි. සාරා ගැන කතාවටයි. පළවන කතාව, ඒ කියන්නෙ ජනාධිගෙ කතාව කොයිතරම් ලස්සන වුණත්, කවදා හරි දවසක දෙවන කතාව බවට එය නොහැරෙන්නම පුළුවනි කියලා, සදාකාලයටම සර්වශුභවාදී වෙන්න මට පුළුවන්ද?මට සැකයි. ආදරය කියන හැඟීම ම විටින් විට සැක සහිතයි. එය නොදුටු අයට.
සාරා.. අවසාන වතාවට මා එක්ක හිනා වුණා. “මට එයාව පේනවා.“ සාරාගේ හඬින්, ඇගේ දුර්වල වූ දෑස මත එළියක් විහිදුණා. “එයා මාව බලන්න ඇවිත්..එයා මාව එක්ක යන්න ඇවිත්“ ඇගේ සිනාවෙන් මම දොර දිහා බැලුවා. වාට්ටුවේ එහෙ මෙහෙ යන හෙදියන් මිස, මම වෙනත් කිසිවක්ම දුටුවෙ නෑ. සාරාගේ අත මගෙ අතින් ලිහිල් වුණා. දෑස් දොර වෙත අයාගෙනම ඈ හුළඟ සමඟ එක්වුණා. සැනසීමක මන්දස්මිතයක් ඇගේ දෙතොල් මත ඉතිරි වෙලා තිබුණා.
මට ඇගේ සමු ගැනීමෙන් මම කම්පනය වුණත් මේ කතාව ගැන මට දුකක් නැත්තේ, ආයෙ සාරාට මේ ආත්මෙ, කවුරුත් එනතුරු බලා ඉන්න ඕනෙ නැති නිසයි. දුක් විඳින මිනිසුන්ව ඉක්මනට දෙවියන් ළඟට ගැනීම ගැන, මම දෙවියන්ට ස්තූති වන්ත වන නිසා. සාරා දෙවියන්ටයි උරුම. බොහෝ කල් ජීවත් විය යුත්තේ, සතුට හිමි මිනිසුන්, ආදරය හා තම ආදරයට ගෞරවය ලැබෙන මිනිසුන් පමණයි කියලා මට හිතුණා.
ඕෂෝගෙ පැරණි කියමනක්, සාරා ඇතුළු ආදරේ නොදකින නාඳුනන පෙම්වතියන් වෙනුවෙන් මගේ සිත පතුලෙන් ප්‍රශ්නකාරීව එළියට පැන්නා. ඕෂෝ දවසක් කියනවා ආදරය නිම්නයක් වගේ කියලා. අපි ගයන විට එය දෝංකාරයක් වගේ අපිටම ඇහෙනවා කියලා. ආපිට ලැබෙනවා කියලා. ඒත් එහෙම දෝංකාරය නෑසෙන නිම්න ඕනෙ තරම් තිබෙන වග ඕෂෝ කිව්වෙ නෑ. ඒකම වෙන්න ඇති, ඇත්තටම තමන්ට ආදරය කරන කෙනෙක් හිරු යට දී මුණ ගැහෙනතුරු රෑ කෙවිලියන් තරු වළල්ලට ගී ගයන බව, එකෝමත් කාලෙ ඉඳලාම කතන්දරයක් විදිහට, සාහිත්‍ය පත පොත් වල අකුරු වෙලා තියෙන්නෙ.
Nightingale sings to stars until she finds a true lover under the sun
Subscribe to:
Post Comments (Atom)
හිතාගන්න බෑ මොනව ලියන්නද? ඇස්වල කඳුළු තියන් මේ සටහන බැලුවෙ. ඒ සාරා ඔයා තුළත්, මං තුළත් තවත් බොහෝ අය තුළත් ජීවත් වෙනවා නංගි.....
ReplyDeleteසුරංගනාවියො උණත් ලේසි වෙන්නෙ නෑ මෙහෙම වේදනා කන්දක් දරාගෙන ජීවත් වෙන එක...
ඒක නේන්නම්
Deleteතෑග්ගක වටිනාකම දෙන දෙයින් මනින්න බැහැ . වැදගත් වෙන්නේ එහෙම දෙයක් දෙන්න ඕන කියලා ඇතිවෙන්න සිතිවිල්ල නේද ? . හ්ම්ම්ම් නියම කතාවක් (y) (y) (y)
ReplyDeleteසිතිවිලි වැඩක් නැති අයත් ලෝකෙ ඉන්නවා..
Deleteඕෂෝ ම කියලා තියෙනවා නේද ආදරය කියන්නේ අයිති කරගැනීම නෙවෙයි කියලා.....
ReplyDeleteඉතින් අයිති වුණ ආදරයට වඩා හිමි නොවන අාදරය සුන්දර ඒ හිනදා වෙන්ඩ ඇති...
මහ කපටි මනුස්සයෙක්.. එක එක අතට දේවල් කියවනවා.. කොයික හරි ගියත් එයා හරි..
Deleteමොනා කියන්නද කියල හිතා ගන්න බැරි කතාවක් නෙරංජි අක්කෙ...
ReplyDeleteඅපූරුවට අකුරු ඇමිණුව දුක හිතෙන කතාවක්....
ඇත්තමයි මේ වගේ ඒව අහල තමා කොල්ලො
පිස්සු පීකුදු කියන්නෙ...
අපි ආදරේ අය අපිට ආදරේ නෑ
අපිට ආදරේ අයට අපි ආදරේ නෑ..
මං හිතන්නෙ මහා බ්‍රහ්මය ලෝකෙ ඔය වගේ සීන් මවල තියෙන්නෙම රුවිතෙට වෙන්න ඇති
චාල්ස් ඩාවින්ටවත් හොයා ගන්න බැරි වුණු පරිණාමයේ අවුලක් ඕක.
Deleteතෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියනවානේ..... බැරිද අපිට ඉල්ලගන්න
ReplyDeleteවෙන කවුරු ඉල්ලුවත් සාරා එයාගෙ ඒවා වෙන කාටවත්ම දෙන්නෙ නෑ.. විසි කරන්න හරි එයාටම යවනවා..
Deleteසරා ආදරය දිහා බලලා තියෙන විදිහ පුදුමාකාරයි.. ඒ අතරේ සියුම් වේදනාවක් වගේම ලොකූ පණිවිඩයක් ගැබ් වෙලා තියෙනවා. නෙරන්ජි අකුරු කරලා ඊට දුන් ප්‍රාණය නිසා ඒක හිතට තදින් දැනුනා..
ReplyDeleteසාරා හරිම පුදුමයි තමයි.. ස්තූතියි
Deleteඕෂෝ කියන්නේ විකාර නංගි !
ReplyDeleteආදරේ කියන්නේ ගින්දරක්... මිනිස්සු දැන දැනම ඒ ගින්දරට පනිනවා.
//මම කියන මේ කතාව සිද්ධ වෙන්නෙ මීට සතියකට උඩ දවසක, සතියකට උඩ දවසකදි වුණු මේ කතාව අද කියන්නෙ, අද සිදු වුණු දෙයක්, මට පෙර සිදුවීම රිදව රිදවා මතක් කරන නිසා.
මේ වාක්‍යය කියෙව්වට පස්සේ මට නවගත්තේගම මහත්මයාව මතක් උනා. එතුමාත් මේ විදිහට වාක්‍යය මැද්දෙන් කොමා දාගෙන දාගෙන දාගෙන දාගෙන දාගෙන යනවා.
කොමාව කියන්නෙ, මම ආසම ලකුණු වලින් එකක්. ඒ ඇයි කියනවා නම්, මම මං හුස්ම ගන්න හැම තැනකදිම කොමා දානවා. :)
Deleteමොනවා කියන්නද මන්දා.. කතාව පුරාවටම මට මතක් වුනේ එක සිදුවීම් පෙලක්.. හිත ආයෙම පරණ මතකයකට ඇදිලා ගියා..
ReplyDeleteපරණ මතක වලින් රිදව ගන්න නම් එපා
Deleteපට්ට බිසී වෙලා ඉඳලා ටිකක් රිලෑක්ස් වෙන්න ඔන උනහම උඹේ මේවගේ අපූරු කතා කියවන්න මම හරීම කැමතියි ඒව්වා එක්ක මාව ගලපලා පපුව සැහැල්ලු කරගන්න උඹ දෙන සපොර්ට් එකට ස්තුතීයි නගේ...
ReplyDeleteදුක හිතුණු ඕනෙම කෙනෙක්ව සතුටු කරලා අරින්න අපිට පුළුවන්.
Deleteහරිම් ලස්සනයි..ඇහැට කදුලක් එක් කල් කතාවක්...ම්..මේ කතව මගේ ජීවිතේටත් ගොඩාක් සමීපයි..ඒ නිසාමද මන්දා මේ තරම් හිතට දැනුනෙ...
ReplyDelete