මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

12/21/11

අවසන් නොවූ සටහනක් අවසන (කෙටිකතාව)

ඇගේ දින සටහන් අතර තිබිණි.පිටපත් කළා පමණි. (ආරම්භයක් නොතිබිණි)
.....................
මම ලිවිය යුතු බව දනිමි. නමුත් ලිවීමට පටන් ගත යුත්තේ කොතනින් දැයි නොදනිමි.මන්දයත් තවමත් මා මගේ ජීවිතයේ අයිතිකාරුවාද,භාරකරුවාද පාර්ශවකරුවෙක් පමණක්ද යන්න තවමත් නොදන්නා බැවිනි.අද වන විට මම ජීවිතය ගැන තේරුම් ගනිමින් සිටිමි..සමහර විට එම තේරුම් ගැනීම නිවැරදි විය හැක.බොහෝවිට ඔබ සියල්ල අවසන මෙතෙක් තීරණය කළ පරිදී එය  වැරදි විය හැක.

කුඩා කළ සිට ම මට වුවමනා කළ දේ බොහෝ වෙතත් අතර ප්‍රමුඛ වූ එකම දෙය නම් මා මෙන්ම සිතිය හැකි සොයුරෙකි.මට වඩා වැඩි මහලු සොයුරෙකි..බාල සොයුරෙක් මිස වැඩිමහල් සොයුරෙක් ගෙන ඒමට මගේ මවුපියන් අපොහොසත් බව එවක මට නොවැටහිණි. අවසන මම සියලු සොහොයුරන්ට වෛර කළෙමි.නමුත් සිතින් මවාගත් සොයුරෙක් සමඟ නිරන්තරයෙන් දොඩමළු වුණෙමි.සෙල්ලම් කළෙමි.ඒ බව තවම සිහිනයක් පරිදී මතකයේ ඇත.. මා වැඩිවිය පැමිණි පසු සහෝදර සිහිනය කෙමෙන් කෙමෙන් වියැකී ගිය මුත් කාලානූරූපීව හමුවන ප්‍රියතම පිරිමි චරිත වලට මම නිරායාසයෙන් මගේ සිහින සොහොයුරා ආදේශ කළෙමි...එහෙත් ඒ ආදේශන මඳක් හෝ සාර්ථක නොවූ අවස්ථා මඳක් හෝ සාර්ථක වූ අවස්ථා වලට වඩා කිහිප ගුණයකින් වැඩිය..

අනතුරුව මම මගේ සිහින සොහොයුරාම මගේ වෛරකරු කර ගතිමි.මා පසු බසින,මා දුක්වන,මා විඳවන,මා බියපත් කරන සියලු අවස්ථාවන්හීදී මට පරාද වීමට හේතුවක්,මට කේන්ති ගැනීමට හේතුවක් නිරායාසයෙන් නිර්මාණය කර දීමට මේ සිහින සොයුරාට හැකි විය.මා ඔහුට ආවේණික රූපයක් මවා ගත් අතරම ඔහුට ආවේණික ගති සොබා ද මවාගතිමි.

වාසනාවකට ඒ රූපය හෝ ඒ ගති සොබා හෝ හිමි මිනිසුන් මිහි මත නොවන බවත්,එය වාසනාවක් බවත්,එවන් සොයුරෙක් සැබවින්ම භයානක විය හැකි බවත්,ඔවුන් එවන් සොයුරෙක් කිසි කළෙකත් නොපතන බවත් මගේ මිතුරියෝ ප්‍රතිඥා දුන් අයුරු සිතට පිවිසෙන විට, මම ප්‍රාර්ථනා කරන ස්වභාවය හා අනෙක් ගැහැණු ළමයින්ගේ වෛතසික මට්ටම අතර ඇති පරස්පර බව ගැන මට අදටත්  මහා ගැටළුවක් මතුව එයි.ඔවුන්ට පෙම්වතුන් අවැසි යුගයක මට සොයුරෙකු අවැසි වූයේ මන්දැයි මම තවමත් සොයන්නෙමි....සමහර විට සොයුරෙක් සිටියා නම් මීට වඩා නිදහසක් මට නිවසින් ලැබෙන වගත්! මට කොල්ලෙකු මෙන් අයියා සමඟ තැන තැන යාමට හැකි වනු ඇතැයි යන හැඟීමත් මගේ යටි සිතින් වරින් වර මතුව ආ නිසා විය යුතුය..

කවුරුන් කුමක් කීවත් මා නිරන්තරයෙන් සිහි කරන  සහෝදරයා වැන්නෙක් ලොව වෙසෙන බව මම ඇදහුයෙමි. එය අසත්‍යක් නොවන බව මට ඔබට සපථ කළ හැක්කේ  මම ඔහු දෑසින් දුටු හෙයිනි.කතා කළ හෙයිනි.. එහෙත් ඒ සොහොයුරා මට සොයුරෙක් ලෙසින් අත්පත් කරගත නොහැකි මට්ටමක නොවීම මගේ හදවතට ඉහිලුම් නොදෙන්නක් විය.සොයුරෙක් අත්පත් කර ගත හැකිද?

මේ ගැටළුව මට පැන නගින්නට සැබවින්ම කල් ගත වූයේ ...මගේ සොයුරාගේ සම්පූර්ණ අවධානය මා කෙරෙහි යොමු වූ නිසා විය යුතුය. සම්පූර්ණ විශ්වාසය මා කෙරෙහි යොමුවු නිසා විය යුතුය.එහෙත් එක් හිදැසකින් ඔහු එම විශ්වාසයෙන් කුඩා ප්‍රමාණයක් බිඳ දමා මා යමෙකු ඉදිරියේ අවතක්සේරු කර ඇති වග  මට දැනගන්නට ලැබිණි.එය එසේ නොවීමට වුව පුළුවන. නමුත් මට දැණුනු ආකාරය එය නම් මා කුමක් කරන්නද? පිළිම කඩා බිඳදැමීම පහසුය.නැවතත් එක් කිරීම අපහසුය.මට විසිරුණු සිතවිලි වල වෛරයට එහෙ යමක් ලිවීමට නොහැකි වූ වග මතකය. මා නොකළ වරදක් අනාගතයේ කරතියි සැක කරමින් මා අවිශ්වාස කරන කෙනෙකුට! ඒ අවිශ්වාසය නැති කරනු වෙනුවට එම වරද සිදු කර, අවිශ්වාසයෙන්ම සිටීමට ඉඩ හැරීමත්, ද්‍රෝහියෙකු වීමේත් වරදත් නැතැයි මට හැඟිනි.

මට නැවතත් මගේ ස්වප්න සහෝදරයා වෛරක්කාරයා ලෙස පෙනෙන්නට පටන්ගති.ඔහුට රිදවන්නට කුමක් කළ යුතුදැයි මම සොයා බැලුවෙමි.මා වරක් නිවැරදිව සිටියදී අවතක්සේරු කළ අයෙක් වෙනුවෙන් ...මා නිවැරදිව සිටිද්දි මා අවිශ්වාස කල එකෙක් වෙනුවෙන් දියයුතු දඬුවම මම විසින්ම මගේ අධිකරණය ඇසුරින් තෝරා ගතිමි. 

ඒ හැකි තරම් රිදවීමයි.ඔහු අකමැතිම දේ කරමින් ඒ උදෙසා ම රිදවීමයි...එයින් මට රිදෙන ප්‍රමාණය,මා අවතක්සේරු වන ප්‍රමාණය ගැන නොසිතාම මම එය ඇරඹීමි..නමුත් එය කළ යුත්තේ කෙසේද යන්න ගැන මට කිසිම ක්‍රමවේදයක් නොතිබූ මුත්,  යම් කෙනෙකුගේ ආගමනය මත ඔවුන් මට හේතුවක් සකසා දුන් බව අද වන විට මතකයේ ඇත..ඉන්පසු තනා දෙන ලද මාර්ගයක අවිඥාණිකව ගමන් කළා මිස,එය මවිසින් කෙසේ කළාදැයි අද වන විටත් නොදනිමි. මා සිටින්නෙ ගැටළුවකය.මා ආපසු හැරී බලද්දී මගේ සොයුරා මා අප්‍රමාණ සෙනෙහසක් දැක් වූ සොහොයුරා , මා නිසාම මා හැරගොස් අවසන්ය. සියල්ල නිවැරදි කළ නොහැකි තරම් දුර ගොස්ය.නමුත් මගේ පළිගැනීමෙන් ඔහු රිදුණු බව පමණක් මම දනිමි.මා සාර්ථකය.එහෙත් අද මට මගේ සොයුරා...පෙර සොයුරා විලසටම වුවමනා කර තිබේ.එය කෙතරම් හාස්‍යජනකදැයි ඔබ මගෙන් අසන බව දන්නා හෙයින් මම මෙසේ කියමි.හාස්‍ය ජනක බොහෝ දේ ඉදිරිපිට බොහෝ අනුවේදනීය කතන්දර සැඟවී ඇත.

අද වන විට මගේ සොයුරා..සමාවන්න. මගේ සිහින සොයුරා මට සමාව නොදෙන බව මම හොඳින්ම දනිමි..නමුත් ඔහු මට සමාව දුන් බවට සිතා මම සිත සනසා ගනිමි.. මට මේ පිළිබඳ දැනෙන්නට වූයේ,මමද යම් අරගලයක පාර්ශවකරුවෙක් වෙමින් සිටි බවත්,ඒ මුලු අරගලයම ඔහු හා ඔහුගේ පාර්ශවය නමින් ක්‍රියාත්මක වන බවත් දැණුනු හෙයින්ම පමණක් වග ඔහු කවදා හෝ දැනගත යුතුය.. 

අද මම එයින් මිදුණෙමි.. මම සැඟවී බලා සිටිමි..තවමත් ඔවුන් ගොදුරට ආසන්න නොමැති බව පමණක් මම දනිමි...නමුත් එය මා සොහොයුරාට ඉලක්ක වූ සැණින් මම හෙළිදරව්වේ පුනරාගමනය ආරම්භ කරමි..මන්ද යත් නොපෙනෙන සතුරෝ බොහෝ ඇති බව ඔහු විසින් දිනක් මට කියාදුන් බැවිනි. පෙනෙන සතුරෝ බහුතරයක් මිතුරෝම විය හැකි බැවිනි..අද මමත් ඔහුට සතුරෙක් වූයේ ද ද්‍රෝහියෙක් වූයේද  ඒ න්‍යායටම අනුව බැවිනි...මම ඔහු සතුරෙකු හා ද්‍රෝහියෙකු  ලෙස සිතුවේද ඒ න්‍යායටම අනුව බැවිනි . නමුත් ඒ සියල්ලටම වඩා මම තවමත් ඒ වාසගම අහිමි, ඒ රුධිරය අහිමි, ඒ ජාන අහිමි, ඒ රූපයට එකඳු සමාන කමක් වත් නොකියන, ආත්මය හා හැඟීම් පරම්පරාව විසින් ඔහුගේ විඥ්ඥාණය උත්පාදනය කළ ඔහුගේම කුඩා සොයුරියම වූ හෙයිනි...

.............................

ඇගේ දිනපොත නැවත රහසේම තිබූ තැන තැන්පත් කළෙමි.. (අවසානය නොදනිමි.)

12/20/11

උන් නැඟූ නමුත් එදා තම්බපන්ණියක් ! අද???


වත්මන් ශ්‍රී ලංකාව මම දකින හා මට පෙනෙන ආකාරයට කිනම් අනාගත සැලසුමක් මත ධාවනය වන්නේද යන්න තවමත් ගැටලුවකි. මම දේශපාලන හෝ ආර්ථික හෝ සංස්කෘතිකමය වශයෙන් ප්‍රාමාණික බුද්ධියකින් හෙබි අයෙක් නොවෙමි. නමුත් රට තුළ ජීවත් වන තරුණ පරපුරට අයත් එමෙන්ම උසස් විධිමත් අධ්‍යාපනයක් ලබන කෙනෙක් ලෙස 2012 අවසන වන විට මා මෙතෙක් ජීවත් වූහා ජීවත් වෙමින් සිටින රට ගැන යමක් පැවසිය යුතු යැයි සිතමි.

සචේතනික සියලු  සත්වයෝ දේශපාලන සත්වයෝ වෙති.එහෙයින් දේශපාලනයෙන් පිට කිසිවෙකුටත් ජීවත් විය නොහැක. මම මේ මොහොතේ ජීවත් වනවා ද නැද්ද යන්න පවා වක්‍රාකාරව මෙන්ම යම් යම් අවස්ථාවන් හීදී සෘජුවම තීරණය කරන්නේ දේශපාලනයයි. අද වන විට අප රජය යම් ස්ථාවරත්වයක් ගොඩ නගාගෙන ඇති බව අප සියලු දෙනාටම පෙනෙන්නට තියෙන කරුණක් බව පැහැදිළි මුත් එම ස්ථාවරත්වය පදනම් ව ඇත්තේ ඔවුන්ගේ වර්තමාන ක්‍රියාකලාපයේ ඇති ප්‍රගතිශීලි බව මත නොව විපක්ෂයේ පවතින අස්ථාවරත්වය හා ප්‍රබල විපක්ෂයක හිඩැස මත බව සැබවින්ම පෙනෙන්නට ඇත.එහි අදහස රජය හෝ රජය කරවන අයගේ වැරදි යැයි මම නොසිතමි.මේ ගැටලු සම්පූර්ණයෙන් පැන නැගී ඇත්තේ දැනට භාවිතා කරන ප්‍රතිපත්තීන් මතය.

රටක් දියුණු කිරීමේ පියවර ආරම්භ කළ යුත්තේ යුත්තේ දුගී ලෙස වර්ග කළ ජනයාගේ පටන්ය. අපේ රට දියුණු වන්නට පටන් ගන්නේ සුඛෝපභෝගී මට්ටමෙනි. අධි වේගී මාර්ග රටකට සම්පතකි.එවන් කාර්යක් කිරීම නොව සංකල්පය පහළ වීම පවා අගය කළ යුතුය.නමුත් එවන් යමකට අත ගැසීමට පෙර රටේ සාමාන්‍ය ඒ,බී,සී මාර්ග සියයට 90ක් වත් නියමාකාරයෙන් සම්පූර්ණ වී තිබිය යුතුය. ගාල්ලේ සිට කොට්ටාවට උදෑසන සැණින් දෙවූ කිරි රැගෙන එන්න හැකි වුණත් , එම කිරි කොට්ටාවේ සිට මහරගමට ගෙන එනවිට දහවල් ආහාරයට කිරි බොන තත්වයක් පැන නගින බව ඔබ සමහර විට නොදන්නවා ඇත.ඒතරම් මෙහි මාර්ග තද බදයක් ඇත. එමෙන්ම අපේ පුංචි රටට භූමිය මහා සම්පතකි..එම නිසා හැකි තරම් ඉඩම් අත් පත් කරගැනීමකින් තොරව මෙම කටයුතු සිදුකිරීමට හැකිනම් අනර්ඝයි.


ආර්ථික වශයෙන් මදක් කල්පනා කර බැලුවහොත් පෙනී යන පරිදී දැන් ඉන්දියානුකරණය යටපත් කොට රට චීනකරණය වන ගතියක් දැනේ.කෙසේ වෙතත් අද වන විට රටේ ආර්ථික බලය අපේ රට අතින් ගිලිහෙන බවක් දැකිය හැක. රට තුළ දේශපාලනික වශයෙන් දරුණු අසමගියක් පවතින මෙවන් කාලයක එම දුර්වලතා ප්‍රයෝජනයට ගන්නා විදේශ බලවේග ආර්ථිකමය වශයෙන් රටක් සියතට ගැනීමේ ස්වභාවයක් පෙන්නුම් කිරීම ස්වභාවිකයි.

එමෙන්ම ස්වාධීනව  කටයුතු කළයුතු ජනමාධ්‍ය පවා නොයෙක් පක්ෂ වල දේශපාලන අවශ්‍යතා මත  ඒ ඒ අයට පක්ෂව ක්‍රියාකිරීම සැබවින්ම රට මෙවන් තත්වයක පවතිද්දී භයානකය.නමුත් අද වන විට මාධ්‍යවල ප්‍රගමනය පවා රැඳී තිබෙන්නේ ආර්ථිකය මත බැවින් ඒ සඳහා ප්‍රබල දෝෂාරෝපනයක් එල්ල කිරීමටද අකමැත්තෙමි.නමුත් අද වන විට ජනමාධ්‍ය හරහා අච්චාරු සංස්කෘතියක් සහිත රටක් කරා ලංකාව මෙහෙයවමින් පවතී. එය ප්‍රබලවම රටේ හර පද්ධතියට බලපෑම් එල්ල කරන බව ඔබට නොදැනෙනවා නම් ඔබ මාධ්‍ය භාවිතාවෙන් තොර පුද්ගලයෙක්ම විය යුතුය.

සුන්දර වෙරළ තීර ලොව කොතෙකුත් තිබෙද්දී සංචාරකයන් අපේ රටටම ඇදී එන්නේ දේශිය වෛද්‍ය විද්‍යාවෙන් ආයු වැඩි කර ගැනීමේ කැමැත්තටද නොඑසේ නම් ඒ මුවාවෙන් ක්‍රියාත්මක  වන සම්බාහන ආයතන වල සැප ලැබීමටද යන්න තව වරක් කල්පනා කර බැලිය යුතුය.

මට දැනෙන දෙයින් කිහිපයක් පමණක් ඔබ හමුවේ පැවසූවෙමි.මෙය සත්‍ය ද අසත්‍යද යන්න සිතිය යුතු ඔබය. බණ කිව යුතු අය රට කරන, රට කළ යුතු අය ගී ගයන,ගී ගැයිය යුතු අය බණ කියන රටක තවත් කිවයුත්තක් තිබේද?

උන් නැඟූ නමුත් එදා තම්බපන්ණියක්
නන් විකුම් බෙලෙන් සැදූව ස්වර්ණ භූමියක්
දැන් අපිත් රකිම්ය මේ අපේ කියා යමක්
ඒ අපේ හිසත් කඳත් මිසක් වෙනින් කුමක්....

ඔලුවට ගන්න වැරදුණ තැන

12/19/11

ප්‍රේමය පාරිශුද්ධ ද??




මම අද කියන්න හිතුවෙ මම ආසම ගීතයක් ගැන.මේ ගීය ගැන ඔබත් එක්ක කියන්න හිතුණෙ මින් පෙර .
ඒත් අද නම් වෙලාවක් ලැබුණා.ඒ නිසාම මම හිතුවා යමක් ලියන්න. මේ ගීය තු‍ළ ඇහෙන හැම වචනයක් තුළ ම තියෙනවා හරිම සුන්දර රසයක්..හදවතට දැනෙන අමුතුම ගතියක් වගේ දෙයක්.
ඒ වගේම ගීයේ සංගීතය පවා පපුවට ලස්සනට වදින ගතියක් තියෙනවා.මේ ගීයෙ හඬ හිමිකාරිය වන නන්දාමාලනී ගුරුතුමිය මගේ ප්‍රියතම ගායිකාවන්ගෙන් මුදුනෙ සිටින නමුත් ඒකම නෙවී..මේ ගීයෙ ලස්සනට හේතුව..ඇගේ හඬේ පවතින අමුතු  ආවේණික බව. මොකද්ද මේ ගීය???

ප්‍රේමය නම් රාගයෙන් තොර
සඳ එළිය සේ අචින්ත්‍යයි.පාරිශුද්ධයි....සුරම්‍යයි

ඔව් ඔබ අහලා ඇති....අහලා නැති නම් අහන්න ඇත්තටම සඳ කියන්නෙ මොකද්ද? සඳ කියන්නෙ එක එක අයට,එක එක විදියට බලපාන පුදුමාකාර ආකාශ වස්තුවක්. එහෙම කීවාට තේරුම් ගන්න බෑනේ..

මෙන්න මෙහෙමයි.

සඳ

හොරෙක්ට = හතුරෙක්
හතුරෙක්ට = මගපෙන්වන්නෙක්
මග පෙන්වන්නෙකුට = හිතවතෙක්
පෙම්වතෙක්ට = කවියක්
කවියෙකුට = පෙම්වතියක්
ආච්චි අම්මාට = ඔරලෝසුවක්
පොඩි දරුවෙකුට = මාමා කෙනෙක්
ධීවරයෙක්ට = මිත්‍රෙයක්
ගුරුවරයෙක්ට = නිදර්ශකයක්
ගෝත්‍රයකට = දෙවියෙක්
හිරුට = හොරෙක් ( ආදරණීය හොරෙක්)තරුවට = ඇණයක්
විද්‍යාඥයෙකුට = උපග්‍රහයෙක්.

සඳ ,වන්ද්‍රයා,සිසි,සොමි,තාරපති,සසංක,තුසරකර,සසදර,හිමකර,සිසිකර,සේකර,සසිකර එකී.. මෙකී නොකී හැම නමකින්ම හඳුන්වන සඳ ට ඉංග්‍රිසි භාෂාවෙන් මා දන්නා තරමින් ඇති එකම වචනය moon .

ඒ කොහොම වුණත් හැම සාහිත්‍යකම අඩු වැඩි වශයෙන්සඳට සුවිශේෂී තැනක් ලැබී තියෙනවා. විශේෂයෙන්ම ආසියානු සාහිත්‍ය තුළ හඳට තියෙන්නෙ සුවිසල් වේදිකාවක්!...

මේ සඳ කියන ආකාශ වස්තුව ප්‍රසිද්ධ සරාගික හැඟීම් ජනනය කරවන්න. කවි වලදි සඳ වැඩි වශයෙන් යෙදී තියෙන්නෙ ආදරය,රාගය,රමණය,සම්භෝගය වැනි දේ හඳුන්වන්න.

ඒ කාලෙ “පෙදෙන් බුදු සිරිතැ“ ම කියලා කියූ ලියු උදවිය නම් සඳ හරහා යම් ආගමික සන්නිවේදනයක් කළා.පොහොය ගැන ලියද්දි සඳ කියන්නෙ මාර චරිතයක් බවට පත් වුණා. එහෙත් සඳ එළිය කියන්නෙ ඇත්තටම කීවොත් සොබාදහමෙ පුංචි පුරුකක්. සඳ අපිට පෘථිවිය එක්ක නොමිලේම ලැබුණු අග්‍රගන්‍යයස්වභාවික වස්තුවක් කීවොත් නිවැරදියි. හරියට සන්ලයිට් කැටේ එක්ක නොමිලේ සන්ලයිට් ම සේදුම් කුඩු පැකට් එකක් දෙනවා වගේ.

මේ සඳ අපිට වැඩක් වෙන්නෙ ඇයි? හඳ අපිට දෙන එළිය තමා සැබවින්ම වැදගත්.සඳ එළියට අපි නොයෙක් අර්ථකථන දුන්නාට.. හඳහරිම පුදුම දෙයක්.දැන් ඔබට ඒක තෙරුම් ගියානෙ. ප්‍රේමයත් ඒ වගේමයි. අර්ථයක් කෙනෙක්ට හිතාගන්න බැහැ...

ඒ නිසාම හඳ එළිය ප්‍රේමයට සමාන කරනවා ඇත්තෙ.

හඳ මේ ලෝභ නැතිව බෙදාගෙන යන්නෙ හඳට උරුම එළියක් නෙවී. හිරු එළිය. බලන්න...අපි ආදරය කියලා ලෝකයටම බෙදන්නෙ අපටත් ලැබෙන දෙයක් නේද?ඒක තේරුම් කරන්න අමාරුයි... ඒක තමා අචින්ත්‍ය කියන්නෙ. ඒ වගේම හඳ කිරණ තරම්ම ප්‍රේමය ලස්සනයි. සුරම්‍යයි.. ඒවාගේම පිරිසිදුයි.

හඳත් පොළවත් අතර එතෙක් මෙතෙක් සිදුවන කිසිම සංසිද්ධියකින් සඳ සළිය කිලිටි වෙලා නෑ.

කොයි තරම් අපූරුද?

ප්‍රභාමත් වූ වත මඬල ඇත
තවුස් දැහැනක නිශ්චලත්වය
නයන යුග්මේ රැඳී ඇත්තේ භාවනවක කාන්තියයි

නියම ප්‍රේමයක් ඉදිරිපිට...කිසි විටෙකත් කිසිවෙකුගෙ මුහුණ මැලවී නොයයි..මුහුණ අතිශයින්ම එළිය වැටේවි.ඔබට මහා සතුටක් දැනෙන්නෙ කොයි මොහොතේද ?එය නියම ප්‍රේමය ඔබ අසලට පත් වූ මොහොතයි..නිරපේක්ෂ වශයෙන් සතුට විදින ඔබ ට මට එයඇත්තටම නොදැනුණාට, නියම ප්‍රේමය අපට හඳුනාගැනීමට නොහැකි වූවාට එය අප අතරම තිබේ... නියම ප්‍රේමය ඉදිරිපිට සියල්ල නිශ්චලය.මන්ද නියම ප්‍රේමයක් තුළ රාගය අංශු මාත්‍රයක් හෝ නොමැති බැවිනි.

ඒ ප්‍රේමනීය මුහනතක සැබවින්ම භාවනාවක් අවසන පියාගෙන සිට හරින ඇස් වල ඇති දීප්තිමත් බව විහිදෙනවා ඇත. ඒ හැඟීම කොයිතරම් පූජනීයද?? කොයි තරම් ලස්සනද??

දොඩන වදනින් ඇසෙයි නිරතුරු
වනන්තරයක සකුණ මියැසිය
දෙතොල් අතරින් ගලා එන්නේ
ගීතිකාවක ශාන්තියයි.

ප්‍රේමය නිරන්තරයෙන් දොඩමලුය. නේපාලයේ ප්‍රසිද්ධ ම කියමනක් මට සිහි වේ. “ ඔබ ප්‍රේම කළ යුත්තේ ඔබ සමඟ වැඩියෙන්ම කතාකිරීමට කැමති පුද්ගලයා නොවේද? “ .......... නියම ප්‍රේමය සැබවින්ම කතාබහෙන් පිරීයයි.ඔවුන්ට කතා කිරීමට සැබවින්ම බොහෝ දේ තිබිය යුතුයි.බොහෝ දේ වෙයි....අරාබි නිසොල්ලාසයේ කතන්දර සියල්ලම ප්‍රේමය නිසා උපන් ඒවා මිස මරණ බිය නිසා උපන්

ඒවා නොවන බව ඔබ අදහනු ඇතැයි සිතමි. ප්‍රේමය නියමාකාරයෙන් විඳීමට ගොළු පුද්ගලයෙක්ට බැරිද?
ඔබගේ සිත දැන් අසනු ඇත. දොඩමුළුවිය යුත්තේ හදවත මිස මුව නොවේ යැයි.. මම කියමි.
ගොළු නැති හදවත් සියල්ලටම ප්‍රේමය විඳිය හැක. ප්‍රේමය ඇති තැන සැබවින්ම දුකක් නැත. එය ගීතිකාවක් බඳු වූ ශාන්තියක් හදවතට ගෙනඑයි. ප්‍රේමය තිබෙන දෙවියන් වැඩසිටින්නේ ඒ නිසා විය යුතුය...
ප්‍රේමය මේ තරම් සුන්දර නම්, අපි කිසි කෙනෙක් ප්‍රේම කර නැති බව මට දැන් හැගී යයි.
සමහර විට අපට එම ප්‍රේමය හමූ වී තිබෙන්නත්...මඟහැරෙන්නත්...ඇති...!! සමහර විට අප විසින්ම නැති කරගන්න ඇති... කොහොම වුණත් එය අති පිරිසිදු දෙයක් බව පමණක්...දැන ගතයුතුය....

ප්‍රේමය නම් රාගයෙන් තොර
සඳ එළිය සේ අචින්ත්‍යයි.
පාරිශුද්ධයි....සුරම්‍යයි
ප්‍රභාමත් වූ වත මඬල ඇත

තවුස් දැහැනක නිශ්චලත්වය
නයන යුග්මේ රැඳී ඇත්තේ
භාවනවක කාන්තියයි
දොඩන වදනින් ඇසෙයි නිරතුරු

වනන්තරයක සකුණ මියැසිය
දෙතොල් අතරින් ගලා එන්නේ
ගීතිකාවක ශාන්තියයි.

ගායනය - නන්දා මාලනී
රචනය- (දන්න කෙනෙක් කියන්න)
සංගීතය- (දන්න කෙනෙක් කියන්න)

හරි දැන් ඉතින් ........ඕක සිදුවක ඉතරක් තිබිලා කොහොමත් වැඩක් නෑනෙ...හා හා...දැන් කට්ටිය ප්‍රේම කරන්න.... 1 2 3...... go

ප.ලි

ඒ කතන්දර කොයි හැටි වෙතත්, අද මගේ ආදරයටත් අවුරුද්දක් වෙනවා!!!!

මෙන්න මෙහෙමයි ඇරඹුම-

නිල් තොප්පි -ඇයි ඔයා ඔච්චර ආඩම්බර?

නීනු -මම?

නිල් තොප්පි - ඔව්..ඔයා තමයි..අපිව ගණන් ගත්තෙවත් නෑ.

නීනු - ඔයා කවුද? නිල් පාට තොප්පියක්නෙ


නිල් තොප්පි - හා එහෙමද හිතා ඉන්නෙ? ....එහෙනම් මේකෙන් මාව හොයලා පෙන්නන්න. මම නම් දන්නවා ඔයා කවුද කියලා.
පින්තූර වලටමනෙ හිටියෙ.

(ඇටෑච් කළ පින්තූරය)

නීනු -අහ්...මේ හන්තාන ඇඳන් ඉන්නෙ ඔයා නේද?

නිල් තොප්පි - ෂා හරියටම කීවානෙ...ඒ කොහොමද?

නීනු - ඇත්තම කියනවනං....මම ඔය පොටෝ එකේ ඉන්න බෝයිස්ලා ඔක්කොම දන්නවා. නොදන්නෙ එක්කෙනයි..එහෙනම් ඒ තමා ඔයා!!!

තාරක අයියාගෙයි මගෙයි පුංචි ආදර කතාවටත් අදට අවුරුද්දයි!!!!

ප.ප.ලි

අද දවස 19. මතකද SBU හමුව???? මඩ කාපු! මඩ නාපු! මඩ ගහපු.... :D

12/14/11

හායි....ඩූ යූ නෝ සිංහල ?? ¿¿¿¿

මම අද බ්ලොග් පෝස්ට් එකක් දමන්න ඕනෙමයි කියලා මට හිතුණා.මට ඇත්තටම තියෙන්නෙ ටයිප් කරන්න තියෙන කම්මැලි කම නැත්තං ඉදිරිපත් කරන්න කතන්දර,සිද්ධි සහ අත්දැකීම් නැතිකම නෙවීනෙ.කොහොමත් පටන් ගන්න අවුරුද්ද නම් සෑහෙන්න පිලිවෙලකට සියල්ලටම ඉඩ හදාගෙන කළ යුතුයි කියලා හිතෙන වාර නම් අනන්තයි. මම අද ඒ නිසා ම  අපි හැමෝම දැන ගත යුතු දෙයක් ගැන පොඩ්ඩක් කියන්න හිතුවා.

ඔයාලා දන්නවාද? කොරියාවේ පැවති ජාත්‍යන්තර සමුළුවකදී සිංහල හෝඩිය ලෝකෙ නිර්මාණාත්මක ම හෝඩි 16 අතරට එක්වුණා.කියලා... රන්දිකගෙ බ්ලොග් එකේ  වැඩි විස්තර මේ තියෙන්නෙ! ඒ නිසාම මම හිතුවා අපි අපේ හෝඩිය ගැන කතා කරන්න ඕනෙ කියලා.  

මම ඉස්සල්ලා ම ඔබට ගීයක් අහන්න දෙන්නම්....ඒ ගීය එක්ක ඔබට ඇති වේවි ඇත්තටම සිංහල ගැන ආඩම්බරයක්!  මම මේ කියන්නෙ සිංහල වුවමනාවෙන් වරද්දන... ගණන් නොගන්න අයට විතරයි... අනික් අයත් මේ ගීය අහන්න... ඇත්තටම හරිම ලස්සනයි.

රටකට වෙනින් යත හැක අන් රට දියත
ඔවුනට වෙනත් පිරිසක් වෙනතක සිටිත
අප හට අපම මිස වෙන කිසිවෙකුත් නැත
මෙම රට හැර යතොත් ඒ පරලොවම වෙත

හෙල බස හෙල බස කෙතරම් මියුරුද?
ආ හා ඔබ තෙද කෙතරම් අරුමද?

අමාවතුර කළ බස යුතු රුවිනි
කව්සිළුමිණ කළ බස ගුණ ගිහිනි
ජාතක පොත කළ බස නොම පැරණී

සැලළිහිණය කළ බස ඔබ රමණී

හෙල බස හෙල බස කෙතරම් මියුරුද?
ආ හා ඔබ තෙද කෙතරම් අරුමද?

මුළු ලොව කැටි කර හඬවන වෙණ තත
නව විදුනැණ වුව වගුරන තුඩ පත
හෙල බස හෙල බස ඔබ මගෙ හදවත
මට මගෙ උරුමය පෙන්වන කැඩපත

හෙල බස හෙල බස කෙතරම් මියුරුද?
ආ හා ඔබ තෙද කෙතරම් අරුමද?


මෙතනින් ගීය ඒ රස විඳින්න පුළුවන්.

සිංහල අපිට මේ ලෝකේ වෙනත් කවුරුත් නැහැ.සිංහල යැයි කිව හැකි.එහෙම නේද? ඒ රටවල් වල සිටින සිංහල අයගෙත් පරම්පරාගත නිජ බිම මේ පුංචි රට..  අපේ රටේ අප විසින් හදාගත්ත මේ භාෂාව කොයි තරම් නම් ලස්සනද?

අද වන විට අපේ බස කොයිතරම් නව මානයන් හරහා ගිහින් තියෙනවාද? මේ හැම දෙයක් ම මේ ගීතයෙන් ලස්සනට සිහි කරනවා....ඒ නව මාන ගැන ඉදිරියට අපි කතා කරමු.

සිංහල භාෂාව ගැන කතා කරන පෝස්ට් වලින් ඉස්සෙල්ලාම ඔබට මතක් වෙන පෝසට් එක මොකද්ද? ඇත්තටම මට නම් සිංහල කියපු ගමන් මතක් වෙන්නෙ සඳරුගෙ පෝස්ට් එක.

සිංහල කියන්නෙ අපේ මව් බස.ඒත් මම හිතන විදිහට අපි කාටවත් හරියට සිංහල බැහැ. ඇයි මම එහෙම කියන්නෙ?

සිංහල හෝඩියට අකුරු කීයද ? කියන ප්‍රශ්නය ගිහින් ඔබ සිංහල කාගෙන් හරි අහන්න. 80%ක් අවිනිශ්විත භාවයට පත්වෙලා. ඔබට 56 සිට 60 හෝ 61 අතර පිළිතුරු ලබා දේවී. 15% ක් එය නොදන්නා අතර ම තව 5%ක් ඔබට නිබයව කියාවි නිවැරදි පිළිතුර …...ඒත් ඒක නිවැරදිමද?  නමුත් ඉංග්‍රීසි හෝඩිය අකුරු 26ක් සහිත බව අපි බය නැතිව 100%ක් ම කියනවා. ඒක හරිම පුදුමයක්.

මෙහෙම වෙන්නෙ අපේ භාෂා ප්‍රාඥයන්ගෙ ගැටලු නිසා සහ භාෂාව ඉගැන්වීමේ ඇති විවාධිත බව නිසා. ඇත්තටම සිංහල හෝඩියෙ අකුරු කීයක් තියෙනවාද? මේක ටිකක් සංකීර්ණයි.. හෙමින් හෙමින් යමු.

මම දැන් ටිකෙන් ටික පැහැදිළි කරන්නම්.(මම දන්න විදිහට.. දැනට ඉගෙන ගන්න විදිහට හා මම හොයං යන විදිහට) දන්න අය මටති කියා දෙන්න.

අපේ සිංහල හෝඩිය හැදුණෙ කොහොමද?

ලෝකයේ භාෂා වර්ග දෙකක් තියෙනවා.එකක් ජීව භාෂා අනෙක මල භාෂා .. වචනයෙන්ම තේරෙනවානෙ. අප්‍රභංශ වගේ භාෂා අයිති වෙන්නෙ මල බස් ගොඩට ඒ කිසිම භාවිතයක් නැති නිසා..ඇත්තටම ලෝකෙ පවතින...මිනිස්සු කතා කරන සහ ලියන භාෂා වර්ග කීයක් තියෙනවා කියලා ඔබ හිතනවාද? 100 ක් 200ක් 500 ක් 1000 ක්..... ඇත්තටම සමහර විට ඔබ පුදුම වෙයි. අපේ ගොඩක් අය ඉංග්‍රීසි විතරක් ඔලු උඩ තියන් හිටියට ලෝකෙ භාෂා 3000ක් ජීවි මට්ටමේ තියෙනවා. අකුරු (සංකේත) අඩුම සංඛ්‍යාවක් පෙන්නුම් කරන හෝඩිය සංකේත 12 කට සීමා වෙනවා. වැඩිම සංකේත සංඛ්‍යාවක් ඇති හෝඩිය සංකේත 72 කට හිමිකම් කියනවා. මෙලෙස අක්ෂර 12 කින් යුක්ත වන්නේ හවායි අක්ෂර මාලාව .... අක්ෂර 72 කින් සමන්විත වන්නේ අයිබරියෝ කෝකේසික ගණයේ භාෂාවක් වන අබිබාසියන් භාෂාව බව ගොඩක් අය දන්නවා ඇති කියලා මම හිතනවා. දැන් ඉතින් රට තොට ගැන කීවා ඇති... මේ කරුණු ඇසුර්න් ඔබට වැටහෙනවා ඇති අපේ භාෂාව අයිති වෙන්නෙත් අක්ෂර වැඩි භාෂා ගොඩට කියන එක.

සිංහල භාෂාවේ සම්භවය (ඉපදීම ) කෙරෙහි නොමඳ බලපෑම් හා ආභාසයන් මෙන්ම උපකාර ද ලබාදුන් නෙ පාලි, සංස්කෘත හා ප‍්‍රාකෘත භාෂාවන් නිසා සිංහල භාෂාව මේතරම් පුළුල් වර්ණ (අකුරු) මාලාවකින් සමන්විත වූ බව ඉතිහාසය තුළින් අපට ඔප්පු කරන්න බැරි කමක් නැහැ. සිංහල හෝඩිය පිළිබඳ විමසීමේදී එය අතීතයේ ඉඳන්  ක‍්‍රමිකව විකාශනය වෙලා  නූතන යුගය වෙද්දි  කවර මට්ටමකින් තියෙනවාද කියලා ඔබ දැන ගන්න කැමතිද? ඒක අතිශයින් වැදගත් ය. අපි ඉගැනීමේ පහසුව සඳහා ඓතිහාසික සාධක අනුව සලකා බලලා යුග කිහිපයක් ඔස්සේ අක්‍ෂර මාලාව සංවර්ධනය වූ ආකාරය මේ විදිහට කොටස් කරනවා.

  • ප‍්‍රාථමික සිංහල හෝඩිය
  • ද්විතීයික සිංහල හෝඩිය
  • සිදත් සඟරා හෝඩිය
  • ශුද්ධ සිංහල හෝඩිය
  • මිශ‍්‍ර සිංහල හෝඩිය
  • ජාතික අධ්‍යාපන ආයතන හෝඩිය
  • සමකාලීන සිංහල හෝඩිය
  • ජාත්‍යන්තර සිංහල හෝඩිය
  • නව සිංහල හෝඩිය

දැන් මම මේ එක එකක් ගැන ඔබට සරලව කියන්නම්.. දන්න අය ඇති !! ඒත් මේ නොදන්න අයට!



ප‍්‍රාථමික සිංහල හෝඩිය

මේ හෝඩියෙ  අකුරු 26 ක් තියෙනවා.  
  ස්වර -  අ, ඉ, උ, එ, ඔ
ව්‍යඤ්ජන    -    ක, ග, ච, ජ, ට, ඩ, ණ, ත, ද, න,  ප, බ, ම, ය, ර, ල, ව,ශ, ස, හ, ළ

මෙම යුගය අනුරාධපුර යුගයේ අවසාන භාගය.  මෙම යුගයෙ කතාව හා ලිවීම අතර තිබුණු සමානකම් මේ හෝඩිය හැදෙන්න බලපාලා තියෙනවා.ඒ යුගය ලිවීම ඒ තරම් හොඳින් තිබුණ යුගයකුත් නෙවී. ගල් ගුහාවල,කටාරම් වල, සෙල් ලිපි වල ඔය විස්තරයක් ලියලා තියන්න මිසක් ඒක කාලෙ කවුරුත් නවකතා ලිව්ව එකක් යෑ...  ව්ශේෂ ලක්ෂණ 3ක් අපට මේ සිංහල හෝඩියෙ දකින්න පුළුවන්. මහප්‍රාණ නෑ. දීර්ඝ අකුරු නෑ. බින්දුව (අනුස්වාරය) නෑ .   

ද්විතීයික සිංහල හෝඩිය

මෙම යුගය කි‍්‍ර.ව. 8 සියවසේ ඉඳන්  කි‍්‍ර.ව. 13 සිය වස දක්වා විහිදිලා යනවා. එකල ලකාවෙ ලියවුණු ලිපි ලේඛනවල භාෂාව මගින් තමයි අපි මේ ද්වතියික හෝඩිය ගොඩ නගන්නෙ.  සීගිරි ගී, මුවදෙව්දාවත, සසඳාවත හා කව් සිළුමිණ සියබස්ලකර  මේ කාලේ වැඩ. සෙල් ලිපියකින් දත්ත කොටන්න පටන් ගත්ත අනුරාධපුර යුගයේ ඉඳන් අපේ කිරි අත්තප්පලා ගෙ  සාහිත්‍ය තුසලතා වර්ධනය වීම එක්ක ගද්‍ය, පද්‍ය හා සාහිත්‍යයික අවශ්‍යතා සපුරාගන්නට පටන් ගත්ත යුගය තමයි මේ.. මේ අනුව අනුරාධපුර යුගයේ අග භාගයේ ඉඳන් පොළොන්නරු යුගය වෙනතුරු  ගද්‍ය සාහිත්‍ය වර්ධනය වුණා.  අපේ සාමාන්‍ය ජන වහර සරල ස්වරූපයකින් පවතිනවා වගේම  ටිකෙන් ටික ලියන කතා කරන විධි  විදිහෙ වෙනස් කම පේන විදිහට භාෂාව ද්වීරූපික වුණේ මේ කාලෙ. ටිකෙන් ටික කවිය ට අදාල බස කට වහරට කිට්ටුවෙන් යන්න පටන් ගන්නෙත් මේ කාලෙ. ඒත් හැම වෙලේම භාෂාව භාවිතා කරලා තියෙන්නෙ යම් වියත් බවකින් කියලා පේන්න තියෙනවා.

ස්වර 18 යි.අ, ආ, ඇ, ඈ, ඉ, ඊ, උ, ඌ, සෘ, සෲ, ඏ, ඐ, එ, ඒ, ඓ, ඔ,  ඕ, ඖ...
ව්‍යංජන 36 යි  
ක, ඛ, ග, ඝ ඩ
ච, ඡ, ජ, ඣ, ඤ ,
ට, ඨ, ඩ, ඪ, ණ
ත, ථ, ද, ධ,න
ප, ඵ, බ, භ, ම
ය, ර, ල,ව
ශ, ෂ, ස, හ, ළ
අං, අඃ
  
මේ හෝඩියෙ විශේෂ ලක්ෂණ අතර  ලියන හා කතාකරන භාෂා ද්වීරූපිකත්වය විශේෂ ලක්ෂණයක් ලෙස අපිට කියන්න පුළුවන්. පාලි,සංස්කෘත අභාසය මේ තලා වෙද්දි අපේ හෝඩියට ලැබිලා.ඒකාලෙ අනුරාධපුරේ සෙල්ලිපි වල නැති  “ඈ “ අකුරු වගේ අකුරු කිහිපයක්ම දැන් පේන්න තියෙනවා.


තවත් ගොඩක් විස්තර තියෙනවා.ටික ටික කියන්නම්....

11/26/11

රික්තය | කඳුළට පෙර (කෙටි කතාව)


ඇස් දෙක ඉස්සරහ මහ දරුණු සීතලක් දැනෙන්න පටන් ගත්තා. පපුවෙ හිර වෙලා ඉන්න දඟලපු අන්තිම හුස්ම ගුලිය බීම බටයක් දිගේ ක්ෂණිකව උඩට ආවා වගේ මට තේරුණා. ඔව් .. මගේ ආත්මය දැන් මම ඉස්සරහ . මගෙ දිහා බලාගෙන ඉන්නවා.. 

 
"වරෙන් මගෙ ඇඟ ඇතුළට" මම හයියෙන් කෑ ගැහුවා.

"මම උඹ ළඟ තවත් ඉන්නෙ නැහැ" ඇය ගේ ප්‍රකාශය හරිම දරුණුයි. එහෙත් අව්‍යාජයි. මට ඒක දැනුණෙ ඇගේ ඇස් වලින්. ඇය මා එක්ක හිටියෙ පුදුම තරහකින්...

"ඇයි උඹ ඩිංගක්වත් මං ගැන නොහිතන්නෙ?" මම ආයාචනා කළේ, කිසිම බලාපොරොත්තුවක් රහිතව.ඇය ඉල්ලපු එක දෙයක් වත් මම ඇයට දීලා නැහැ.  ඒ අතින් ගත්තම මේතරම් කල් ඇය මගෙ ළග හිටිය එක ම  ලොකු දෙයක්...

පුංචි කාලදි  ඇයට ඕනේ වුණා සහෝදරයෙක්.. මම ඇයට කිව්වෙ හිතෙන් එහෙම එකෙක් මවා ගනින් කියලා...
ඇයට ඕනේ වුණා පොඩි කාලෙ යාලුවො එක්ක විනෝද වෙන්න. මම ඇයට කිව්වෙ තනියම විනෝද වීමක් ගැන හිතීම සුන්දරයි කියලා...
ඒ ඔක්කොම එහෙම විය යුතුයි කියලා තීරණය කළේ මම නෙවෙයි.  මගේ වටේ හිටි අය.. මම කළේ ඇයට ඒ බව තේරුම් කරපු එක විතරයි කළේ.. අද වනතුරුම.

මම නිසා ඇයට කාලෙන් කාලෙට විවිධ දේවල් කරන්න සිද්ධ වුණා.. 

හුඟක් දුක් විඳින්නත් වෙන්න ඇති. හදවතින් විඳවන්නත් වුණා.
අවුරුදු බින්දුවෙ ඉඳන් විස්ස වෙනකන් ම ඇය බෝනික්කෙක්....ඇගේ ගෙදරට.
අවුරුදු හයේ ඉඳන් අවුරුදු විසි හතර වෙනකන් ම ඇය රොබෝවරියක් වුණා. ඇගේ ගුරුවරුන් සහ සම වයසෙ ඇයගේම යාලුවො කියලා ලෝකය විසින් නියම කර තිබූ අයට.  
විසි එකේ ඉඳන් මේ වෙනකන් ඇය මෘදුකාංගයක්. (ඒ ඇ ගේ පෙම්වතාට හෙවත් පසු කාලීනව ඇගේ සැමියාට..සැමියාගෙ අඩිපාරෙ ගිය දරුවන්ට.

මම මගේ ආත්මය ඇතුළෙ ගුලිවෙලා දුක් විඳපු අහිංසක ගැහැණු ආත්මෙට එළියට එන්න ඉඩ නොදුන්න "පාපී ගැහැණියක්“  කියලා මට හිතුණා. ඒත් එහෙම වුණා නම්,
මම අවිනීත දැරියක්. අකීකරු සිසුවියක්.චපල පෙම්වතියක්! පති වෘත්තාව කෙළසු ගැහැණියක්, නින්දිත මවක්.. කොටින්ම ගණිකාවක්...

මම මේ ඔක්කොම ඇයට කියා ගෙන කියා ගෙන  ගියා.
ඒත් මගේ ආත්මය මට සවන් දුන්නෙම නැහැ...තුට්ටුවකටවත්..

මම වේදනාව උහුළගෙනම ඇයට කෑ ගැහුවා.


"පලයන් තවත් කලලයක් ඇතුළට. කොහොමත් මම හාට් ඇටැක් එකකින් මැරුණා කියන එක සෑහෙන්න ආඩම්බරයි..

මහත්තයාගෙ තත්වෙට හොඳයි. දරුවන්ගෙ අනාගතේටත් හොඳයි. වහ බිව්වා. එල්ලිලා මැරුණා කිව්වොත් ඒ  අයට නරකයි.  අනික හැමොම කියයි මේ වාසනාවන්ත මරණයක් කියලා. දුක් නොවිඳපු මරණයක් කියලා..

එක අතකට ඔවුන් හරි.


 "මරණය ජීවත් වීමට වඩා පහසුයි".ඇයට මම පහදන්නට පෙර ඇය මගෙන් සමුගෙන ගිහින්. යන්නම ගිහින්.
වෙනත් වෙසකින් ඇය නැවත උත්පත්තිය ලබයි. ශක්ති සංස්ථිති නියමය ට අනුව ඒක එහෙමයි...



මම ජීවිත කාලයක් අඬපු මහන්සිය සදහටම අමතක කරන මොහොතට දැන් ඇවිත් ඉවරයි..සියලුම හැඟීම් අමතක කරන සුන්දරම මොහොත.මම රික්තයක්..
_________________________________________________________________________________
ප.ලි
සාෂාගෙ සටහන් වලත් මෙහෙම කෙටිකතාවක් ගියා...  අවුලක් නැහැ....මම මේක ටිකක් සංවර්ධනය කළා....අදහස් කියන්න....දැන් සාෂා වගේ ඇවිත් කට්ටිය මට නඩු දාන නෙවී. මම තමා සාෂා... :)

11/8/11

බිලියන හතේ හීන


පුවත් පත් වාර්තාවක්
අද රාත‍්‍රි දොළහට ලෝක ජනගහනය බිලියන හත ඉක්මවයි.
එබැවින් අද මධ්‍යම රාත‍්‍රියේ ඉපදෙන දරුවා හෝ දැරිය
බිලියන හතේ දරුවා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්
ප‍්‍රකාශයට පත් කර ඇත. ප‍්‍රබල  රටවල් රැසක්
තම රටට බිලියන හතේ පළමු පුරවැසියා ලැබීමේ කීර්තිය
අත්කර ගැනීමට සීරුවෙන් සිටින අතර.....

විද්‍යුත් නාලිකාවක් 
Voice -
බිලියන හතේ බබා ඇත්තටම කවුද?
පිලිපීනෙ කියන්නෙ බබා ලැබුණෙ ඒ ගොල්ලන්ටලූ ,
ඉන්දියාව කියනවා බිලියන හයේ බබා වගේම හතේ බබත් එයාලාගෙලූ .
ලංකාවෙ අපිටත් ලැබුණා බිලියන හතේ බබෙක්..
අම්මාගෙයි බබාගෙයි දෙන්නගෙම සුව දුක් බලන්න
අපේ අති ගරු ජනපති තුමාගේ ආර්යව ආවෙ මෙන්න මෙහෙම...
VTR

රෝහලේ ඒ මොහොතේ සිටි, 
තවම තම දරුවා මෙලොව එළිය නොදුටු ගැබිණි කාන්තාවක් 
තම සැමියාට

අපරාදෙ.. තව ටිකක් ඉක්මන් වුණා නම්, දරුවාගෙ වාසනාව තමයි.
තෑගි කන්දක්නෙ ..
අනික හොඳ ඉස්කෝලයක් වුණත් ලේසියෙන් ම අරගන්න තිබ්බා.
ඉස්සරහට  ඕවනෙ අනේ ප‍්‍රශ්න..
අපි මේක කලින් දන්නෙ නැහැනෙ.නේද?..
කලින් දන්නවානම් මෙහෙම වෙන්නෙ නැහැනෙ.

පැයක් වයසැති බිළිඳියකගේ අප‍්‍රකාශිත ප‍්‍රකාශයක්

අම්මේ මම තමයි බිලියන හත්වෙන්නා.
ඒත් මාව කවුරුවත් දකින්නෙ නැහැනෙ.
මට තෑගිත් නැහැනෙ.
ඒ මෙතන ගොඩක් කලූවර හින්දාද අම්මෙ..
ඇයි අම්මෙ මෙතන මේ තරම් ගඳ..
හුස්ම පපුවට වැටෙද්දිම හිර වෙනවා වගේ මට දැනෙනවා අම්මෙ..
මොනා කරන්නද අම්මෙ ලෝක ජනගහණය ආයෙ එකකින් පහළ බහිනවා..
එක දවසක් පාර්ටි දාන්න ඔක්කොම කට්ටිය ආවට.
බඩගින්න හැමදාම එන එකක් නිසා අම්මා කළ දේ හරි ..

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල

ලෝක ජන ගහණය බිලියන හත  අභිබවා ඇති බව
මේ වන විට ප‍්‍රකාශයට පත් වී ඇති වුවද,
ලෝක ජනගහනය
බිලියන හත ඉක්මවන්නේ 2012 වසරේ මාර්තු මාසයේ බව
මේ වන විට එක්සත් ජාතින්ගේ ජන සංඛ්‍යාලේඛන පෙන්වා දී ඇත.
දැනට ලොක ජනගහනය බිලියන 6.9 රැඳී තිබෙන අතර
එය බිලියන හත දක්වා වර්ධනය වීමට
ඉදිරි මස කීපය ගත වන බව එම සංවිධානය වැඩි දුරටත් පවසයි.

11/4/11

අඳුරුය | ඉර පායා ඇත ( කෙටි කතාව)


ජනේලය ඇරියාම උදේ පාන්දරම එන හීතල සුළඟින් හිත පිරුණා කියලා ස්ටේටස් අප්ඩේට් කළාට බෝඩිං කාමරයටම තිබුණෙ එකම එක දොර පලූවක් විතරයි. හරහට වැටිච්ච රීප්ප හිල් අස්සෙන් හිරු එළිය ඇවිත් ඇඳටත්, සිමෙන්ති කැඩිලා පුංචි වලවල් හැදුන පොළවටත් පාත් වුණේ හීන් ඉරි කෑලි වගේ..

ඊයෙ රෑ බත් කද්දි සිමෙන්ති කුහර අස්සට වැටුණු බත් ඇට තුන, හතරක්, නිදි මතේ කොස්සට මඟ ඇරිලා..
දිග කූඹි පෝළිමක් හෙමින් හෙමින් බත් ඇටය උස්සගෙන යන්න ඇවිත්. කුහරයට උඩින් වැටෙන රවුම් හිරු ලපය නිසා දැන් උන් පේන්නෙ රත්තරං පාටට..

මම දැන් තව ස්ටේටස් එකක් අප්ඩේට් කළා.. අඩු ගාණට ගත්ත චයිනීස් ෆෝන් එකත් නැති වෙන්න, ජීවිතේම මහා පාලූවක් වෙන්න ඉඩ තිබ්බා.. මම මම නෙවෙයි වගේ මුහුණු පොතේ හැසිරුණා අවුරුදු දෙකක්... ඇත්ත නම ශ‍්‍රීමා වුණාට , මම එතන ඉන්නෙ සමනළී කියලා.. මේ දවස් වල ජනප‍්‍රියම නමක් නිසා රික්වෙස්ට් කෝටියයි..

වැඩ කරන්නෙ ගාමන්ට් එකක බව ඒකෙ ෆ්‍රෙන්ඩ්ස්ලා කවුරුත් දන්නෙ නැහැනෙ... දාලා තියෙන ප්‍රොෆයිල් පින්තූරෙ නිසා මඟුල් යෝජනා තුනක්ම ආවා....

අක්කටත් ගමේ ගියාම කියන්න  ඕනේ, මෙයින් එකක් හදා ගන්න කියලා ....
ඇයි දෙයියනේ නිකන් ගෙදෙට්ට නාකිවෙන එකේ කොල්ලෙක්ව බයිට් කරලා ආතල් එකක්වත් ගන්න බැරියෑ.....අනික හරියට කාව හරි අල්ලගත්තොත් පරම්පරාවම ගොඩ... මේකෙ ඉන්නෙ ඔක්කොම ලොක්කොනෙ.. එක සොක්කෙක් වත් නැහැ... මාර වැඞ්ඩො

අද හවසට කෙනෙක් වෙලාවක් ඉල්ලූවා. මාව දකින්න ආසලු . කටුනායකදි හම්බවුණොත් ඔක්කොම ඉවරයි. මම ඒ හින්දාම ලයිබ්‍රියට එන්න කිව්වා..අද නම් තියෙන හොඳම ඇඳුම ඇඳගෙන යන්න වෙයි.. හිතයි මම තාම ඉගෙන ගන්නවා කියලා.. හාඩ් වෙයාර් ඉන්ජිනේරුවෙක්ලූනෙ...පෙනුමට බර අත්තක්


මම නැගිට්ටා. දොර අගුල පැන්නුවා.. පයිප්පෙ ළඟ පෝළිමට ටින් බෙලෙක්, තීන්ත බාල්දි, කෑන්..

කපුටො රංචුවක්  ෂම්මාගෙ සයිවර් හෝටලේ ඉස්සරහ විසි කරපු පිලූණු වඩයකට පොර කනවා.... අනේ මුන් කොයි තරම් මෝඩද?

අර හවසට එනවා කීව කෙනා හාඞ්වෙයාර් ඉංජිනේරුවෙක් නොවී ත‍්‍රීවිල් ඩ‍්‍රයිවර් කෙනෙක් වෙනවා නම් කියලා මට හදිස්සියෙ ම හිතුනා...

ඒ හිතිවිල්ලත් එක්කම විසාකා ගෙට ගොඩ වුණා.. ඊයෙ රෑ  නයිට් ශිෆ්ට් එක ඉවර වෙලා උදේ කෑමත් නැතිව ගාටපු  ඒකීගෙ ඇස් ආවේ සිංගල් ඇඳ බදාගෙනමයි.

”අන්න ඉක්මනට ලෑස්ති වෙලා පලයන්. සුපයිසරය කිව්වා.. අද උඹට හත වෙනකන් වැඩ කියලා.. අපේ වැඩ තමා පහට ඉවර”

ඇගේ මුහුණෙ තිබ්බෙ අනුකම්පාවක්ද, ඉරිසියාවක්ද කියලා හිතා ගන්න බැරි වුණත්, අද මට හිතපු ගමන යන්න වෙන්නෙ නැති වග විතරක් තේරුම් ගියා.සිද්ධ වෙන්නෙ එකම දේ නම් පාර්ක් එකද, ගාමන්ට් එකද කියලා හිතන කුහක සිතිවිල්ල මම අත් හැරියෙ අම්මා බාප්පාව බැන්ද දාට පස්සෙන්දා.

මම ආයෙත් උලූවස්සෙන් එපිට බැලූවා.. ටැප් එකේ වතුර නිදහසේ ගලා ගෙන ගිහින් කොන්ක‍්‍රීට් පීල්ල දිගේ කුණු කාණුවට වැටුණා. කාණුවට ඉහලින් ඉර පායනවාද කියලා බලන්න මට අමතක වුණා.



--------------------------------------------------------------------------------------------

ප.ලි

සාෂාගෙ සටහන් වලත් මෙහෙම කෙටිකතාවක් ගියා...  අවුලක් නැහැ....මම මේක ටිකක් සංවර්ධනය කළා....අදහස් කියන්න....දැන් සාෂා වගේ ඇවිත් කට්ටිය මට නඩු දාන නෙවී. මම තමා සාෂා... :)

10/24/11

චූ දැමීමට ගිය කෙල්ලෝ

එදා සිකුරාදා දවසක්... මතක හැටියට හොඳටම වැස්ස..වැස්ස ට සමානුපාතිකව මුත්‍රා පිටවීම වැඩියි කියන එක බොහෝ දෙනෙක් දන්න කරුණක් නෙ... මගෙ ඉස්කෝලෙ මොකද්ද කියලාත් අපේ කට්ටිය දන්නවානෙ..ඔව් ඔව් ඔබ හිතුවා හරි මේ අපේ ඉස්කෝලෙදි සිදුවුණ පුංචි සිද්ධියක් තමයි..

අපිට හිටියා කෙල්ලො ගැන්සියක්.. එකෙක්ට එකෙක් දෙවෙනි නැති කටවල්...සහ චණ්ඩි කම් කරපු. (සියලු දෙනාම පස්සෙ අවුරුද්දෙ කථික සංගමේ මුල් පුටු ) අනික් සංගම් ඔක්කොම රන් කළෙත් මේ කට්ටිය මාරු වෙලාම තමයි...පොඩි පොඩි වෙනස් කම් තිබ්බෙ.. ඒ කියන්නෙ.. ඒකේ කැටේ ..මේකේ සභාපති.. එකේ සභාපති මේකේ රයිටර්.. වගේ තමා...ශිෂ්‍ය නායිකාවොද? අහ් ඒ අයම තමයි... ඒ පුරාජේරුව පොඩ්ඩක් පැත්තක තියමුකො..

ඔන්න අපි හැමෝම දැන් 11 පන්තියෙ.. අනික් උන් ඔක්කොටම 16 පිරිලා තිබ්බා.. මට 15 යි..(අයිඩින්ට්ය නැති නිසා “බාල වයස්කාරයා“ කියන විරුධාවලියෙන් මම පිදුම් ලබලා හිටිය කාලෙ...ෂික්... චාටර් නේද? ) මම තැපැල් අයි.ඩි එකෙන් සා .පෙළ  ලිව්ව වග දන්නෙ ඔයාලා විතරයි හොඳඳ? කාටවත් කියන්න එපා.. ආයෙත් පුරා ජේරුව..

ඔන්න දැන් තමා කතාව...  වැස්ස නිසා නිතරම කට්ටිය පොඩ්ඩ පොඩ්ඩ  ටොයිලට් යනවා.. හැබැයි යන උන් එන්න ටිකක් පරක්කුයි..එක්කො මුන් කැන්ටිම ගාව නතර වෙනවා. එහෙමත් නැත්තම් දෙළුං,පිනි ජම්බු කඩනවා..(වැස්ස කියලා ගාණක් නැහැ.ඉතින් .කොල්ලො වගේ නෙවීනෙ..කෙල්ලෝ කොතෙනට ගියත්  මල් මල් කුඩ ගේනවානෙ)

හරි ආයෙත් පිට ගියා..දැන් නැවත කතාව

අපේ පන්තිය බාර වෙලා තිබුණෙ අපේ ඉංග්‍රීසි මිස්ට.. අල්ලපු පන්තියට සමාජ අධ්‍යනය කරපු මිස් ට තමා ඒ පන්තිය බාර..  අපි 11 වසර එෆ්  කියමුකො.. එතකොට අල්ලපුවො 11 වසර  ජී... අපේ මේ අල්ලපු පන්තිය බාර මිස් ගෙ නම ...නන්දා...  අපේ පන්තියට කිසි දවසක උගන්වන්නෙ නැතත්..නිතරම අපේ පන්තියෙ වැරදිමයි හොයන්නෙ.. විශේෂයෙන්ම අර උඩ කිව්ව කෙල්ලො සෙට් එකේ වැරදි...ඒ නිසාම අපි ඇයට කීවෙ “නැන්දා “ කියලා...ආදරේට

ඔන්න දැන් පන්තියෙ ළමයි බොහෝ දෙනා  වැහි වෙලාවෙ නැහැ... පන්තියෙ මොනා නැතත් කාලෙකට පස්සෙ අපි ටික හිටියා..සංගම් වැඩ නැති නිසා ඒ දවස් වල..

මෙන්න එතන වුණු දෙබස -

මේනකා - මචං.........නැන්දා නැන්දා.... නදී.. බහනවා යකෝ මේසෙන්...

ඔන්න දැන් කට්ටියම හරිම උපශාන්තයි.. නන්දා මිස්ට සතුටු හිතෙන්න ඇති... අයියෝ නෑ.. මේ පැන්නෙ ඇඟට..

නන්දා මිස්- කෝ මේ පන්තියෙ ළමයි..

අපි හමෝම බැලුවෙ කලු ලෑලි බිත්තිය දිහා... ළමයි තිහක්ම බැහැර ගිහින්...

නන්දා මිස්- ළමයි 30කට වඩා බැහැර ගිහින්.. මේ කොයි බෑරක්ද අපි දන්නෙ කොහොමද?.. පැහැදිලිව ගිය තැන ගිය හේතුව ලියන්න...අනික මෙහෙ ඉන්නෙ ළමයි නෙවීනෙ.ළමයි කියන්නෙ දෙගොල්ලෝ.මෙතන ඉන්නෙ ස්ත්‍රී පාර්ශවය විතරයි...ඒ විදිහට වැඩ කරන්න.ස්ත්‍රීන් විදිහට..මම ඊළඟ පාර එනකොට මේක පිළිවෙළක් කරනවල්ලා...

අපිත් ඔළුව නවාගෙන හිටියා... මිස් ගිය ගමන් නදීරා ක්‍රියාත්මක වුණා... අයෙ වහාම “බැහැර ගිය ළමයි “ කියන මතෘකාව සැණින් මකා දැම්මා..ඒ වෙනුවට “ චූ දැමීමට ගිය කෙල්ලෝ“ කියලා වෙනස් කළා... ස්ත්‍රී පාර්ශවය කියන එකත් හැඟවෙනවානෙ දැන්... ඔන්න ටිකකින් නන්දා මිස් නැවතත් එනවා..

නන්දා මිස්- ෂික්.. මෙහෙමත් ළමයි..මීට වඩා සභ්‍ය වචනයක් තිබ්බෙම නැද්ද? ඉන්නවකො මම  මේ පන්තිය මිස් හම්බුණාම කියන්න.. වෙනස් කරනවල්ලා ඕක..ලැජ්ජා නැති හැටි... ඔයිට වඩා හොඳයි“ චූ කෙල්ලෝ“ කළා නම්..

මුහුණෙ තරහකුත් මවා ගෙන මිස් ගියා...ඉන් පස්සෙ ක්‍රියාක්මක වුණෙ ධෂිකා....ධෂි කොහොමත් පඬියා...ධෂිගේ ඉඳිකට්ට අරුණි.. කෙවිනි,ධෂී,අරුණි,මම,මල්ෂා,මේනූ එකට කන්නෙ...හරි ඉතින් ධෂී මෙහෙම කීවා..

ධෂිකා- ඇත්තනෙ බං..මේක සභ්‍ය නැහැනෙ ..අපි මෙහෙම ලියමු “ මුත්‍රා කිරීම පිණිස වැසිකිලියට ගිය ගැහැණු ළමයි“ දැන් කොහොමද? එළ නේ...උඹලාටත් මමම ඉන්න ඕනේ...

දැන් මාතෘකාව එලෙස වෙනස් විය . ඔය අතර අනෙක් ළමයින් වැසිකිලියෙන් පන්තියට නැවත පැමිණීම්ද , තවත් අය වැසිකිලිය වෙත පිටවීම්ද සිදු විය.. නැවතත් නන්දා මිස් පන්තියට පැමිණියාය.. අගේ මුහුණ මෙවර පෙරට වඩා දරුණු වූයේ ධෂීගේ මුහුණේ දුකක් ද ,පරාජයද  සටහන් කරමිනි..

නන්දා මිස්- ෂිකේ මේ ළමයි ට නම් කිසිම රහක් නැහැ... ඔක්කොම මෙතන ලියලානෙ...

පන්තිය වෙනුවෙන් මම ඉදිරිපත් වීමි..

මම- මිස් ම නෙ මිස් හේතු ඇතුව ලියන්න කියුවෙ..ඒකනෙ අපි මෙහෙම කළේ..? 

කවදාවත් මම ආදරේ කෙනෙකුට මම ඉස්සරහ බනින්න මගෙන් ඉඩක් නැහැ..ඒ නිසාම මම ඒ වෙනුවෙන් ඉදිරිපත් වුණා..ධෂිකාට බනින්න දෙන්න බැහැනෙ..ඒකී මගෙ ෆිට් එක...

නන්දා මිස් එවර ආවේගශීලී බව මඳක් බැහැර කළාය..

නන්දා මිස්- මෙහෙමම ලියන්න එපා..පොඩ්ඩක් ව්‍යංගය භාවිතා කරන්නවකො...සිංහල සාහිත්‍ය සංගමේ ලබන අවුරුද්දෙ බාර ගන්න නේද කට්ටිය දැන් බලා ඉන්නෙ.. හනේ මන්දා...මෙහෙම ගියොත්.

ඇය යන්න ගියාය...  දැන් මොකද කරන්නෙ කට්ටියටම බර හර  පැනයකි....
මේ අතර පොඩි කළණි වහාම.. “අනේ මට නම් තවත් මේ බර උහුලං ඉන්න බෑ“ කියා වැසිකිලියට ගියාය...

ඇගේ වචනය නිසාම ව්‍යංගයෙන් උපන්..උත්ප්‍රේක්ෂයක් මට හදිසියේම පහළ විය..

මම මේනකා අත තිබූ හුණු කූර උදුරා ගතිමි.. කලු බිත්තිය වේගයෙන් මැකිණි... “බාර ඔප්පු කිරීමට ගිය ළඳුන්“ ලෙස එහි මගේ අතින් සටහන් විය..

අප සියලු දෙනා සිනාසුනෙමු..උඩ පැන පැන හිනා වුණෙමු..කඳුලු එනතුරු හිනා වුණෙමු...දැන් වැස්ස පායා ඇත..කළණි හැරෙන්න සියලු දෙනා පන්තියේය..නම් බොහෝමයක් කලු ලෑල්ලෙන් මැකී ඇත....අපේ සිනාවේ සැර මැකී යන්න ප්‍රථම කළණි හැරුණු විට එළියට ගිය අන්තිමයාද පැමිණෙන ලදි..

අපේ සද්ද ඇසී නැවතත්...

හම්.. හිතුවා නේද? නන්දා මිස් ම එයි කියලා.. නෑ ආවෙ අනුලා මිස්...අනුලා මිස් කියන්නෙ බෞද්ධ සංගමේ අනුශාසක මිස්..

අනුලා මිස්-  ළමයි අපේ සංගමේ ඔයාලාගෙ පන්ති නියෝජිත කළණි නේද? කෝ මේ කළණි..

අපි උත්තර දෙන්නත් ප්‍රථම ඇයට කලු බිත්ති ලෑල්ල ක්ෂණිකවම ඇස ගැටිණි..

අනුලා මිස්- මොකක්? බාරයක්? බාර ඔප්පු කරන්න ගියා... මොන බාරද මේ මහ වැස්සෙ..අනික කොයි දෙයියන්ට වුණ බාරද?

මෙසේ කියමින් අපෙන් පිළිතුරක් හිතා ගන්නත් මත්තෙන් අනුලා මිස්  තමන්ටම මුමුණමින් පන්තියෙන් නික්ම ගියාය..

ඉන් පැය භාගෙකින් පමණ පසු කළණි නැවතත් පන්තියට මාරාවේශයෙන් එනුද, අපි ඇගේ දරුණු යකඩ ෆයිල් කවරයේ මාරාන්තික පහරින්  බේරීමට මේස උඩින් පුටු උඩින් පනිමින් සිටිනුද  ..ඉන්පසු ආරක්ෂාව පතා සදාකාලික අපගේ අධි ආරක්ෂක බංකරය වූ මාධ්‍ය ඒකකයේ කාමරය වෙත පලා යනුද ඒ අවස්ථාවේ පන්තිය අසලින් ගමන් ගත් සියල්ලෝම දුටු වග පසුව තැන් තැන් වලදී ප්‍රකාශයට පත්විය.




10/18/11

කවි නොලියන ළමයින්ගෙන්...ටයි මාමාට කවි කුසුමක්....

බොහෝ දේ බොහෝ දෙනා අතින් ලියවිණි... යමක් නොලියා බැරි හෙයින් ලිවිය යුතුමය... ළමා කාලයක් නැතිව හිර කරපු ජීවිත බාර ගත්තාට පරිකල්පනය හදවතට දීලා අපිව හුස්ම වැටෙන මිනිස්සු කළාට ස්තූතියි මාමේ... මට ඔබතුමාව මතකයි...හුඟාක් පුංචි කාලෙ එක් වරක් දැකලා තියෙනවා... ඒත් ඔබතුමාගෙ කාර්ටූන්... කටපාඩම්... මට විතරක් නෙවී.. හැමෝටම.. අද තරුණ වයසෙ ඉන්න.. බොහෝ අය...ඔබගෙ කාර්ටූන් බැලූ ළමයි... ඒකයි ඔබ ගැන හැමෝම ලියන්නෙ... ටයි මාමාව නොදන්න අපේ වයස් පරාසෙ කෙනෙක් මේ දූපතෙන් හොයන්න හරි අමාරුයි ටයි මාමෙ..ඒ නිසාම මුහුණු පොතම පිරිලා ගිහින්.. මටත් හිතුණා ටයි මාමාට ලියන්න... පුංචි කවියක් ... අපිට කවිලියන්න බැහැයි කියලා තමා ගොඩ දෙනා කියනවා තමා... බැහැයි කියන්න එපා කියලා මාමා කියපු නිසා මෙන්න ලිව්වා!!!

බැහැයි කියලා බැහැයි කියලා
බැරි බව ලොවටම කියලා.....
අපි හැඳුණේ රට වෙනුවෙන්
කියා අපට පහදවලා.....

උඩට නගින හැමකෙනාම
නිති පහළට ඇද දමනා
මිනිස් කැළට ඔවදන් දී
බෘම් ව තනියට තියලා....

කළ කළ දේ පළ දෙන වග
පුංචි අපට කියාදෙමින්..
අවි ගත් අය අවියෙන්
වැනසෙන බව තේරුම් කරමින්

ලිලිපුට්ලා මැද ගලිවරයකු
නොවෙනට දී  ඔවදන්..
නිතරම ළඟ සිටියා අපේ
සෝරෝ යුක්තිය රකිමින්

දිරියෙන් ලොව ජය ලබනා
ඔෂීන් සේ  සතුට ගෙනා
විරුවෙක් දුටුයේ නම් අප
රොබින් හුඩ්ට සම කෙරුවා

දියරකුස්ලා බුරුතු පිටින්
අල්ලා ගෙන ගෙනවිල්ලා
පිස්සු වුණත් පූස් ගොල්ලො
සාජන් හට බාර කළා..

උදේ සුරංගනා කතා
හවසට කුස්සියේ කතා
බඩගින්නට මෙන්න ඇවිත්
ඥාන කතා මලණ්ඩියා

ඉඳගෙන කන කාලා හැඳෙන
ඉඟුරු පාන් පාන් මල්ලි
අද බොහෝම විස්සෝපෙන්
සද්ද බද්ද නැහැ හෙල්ලිලි

ඔබේ පුංචි ගම්බිරිස්සො
තවමත් අපි ටයි මාමේ...
හාරලක්ෂයක් දුන්නත්
මරුවා නපුරුයි මාමේ...

දොස්තර හොඳ හිතටත් බැරි
සසර චක්‍රෙ වලක්වන්න
කැස්පර් හොඳ වුණත් කෙතෙක්
ඒ ලෝකෙට එපා යන්න.....

අනාගතේ මතු දවසක
අපි එනතුරු ඔබ බලන්න..
හීන නොමැති සුව නින්දක
තව ඩිංගක් නිදාගන්න...