12/21/11

අවසන් නොවූ සටහනක් අවසන (කෙටිකතාව)

ඇගේ දින සටහන් අතර තිබිණි.පිටපත් කළා පමණි. (ආරම්භයක් නොතිබිණි)
.....................
මම ලිවිය යුතු බව දනිමි. නමුත් ලිවීමට පටන් ගත යුත්තේ කොතනින් දැයි නොදනිමි.මන්දයත් තවමත් මා මගේ ජීවිතයේ අයිතිකාරුවාද,භාරකරුවාද පාර්ශවකරුවෙක් පමණක්ද යන්න තවමත් නොදන්නා බැවිනි.අද වන විට මම ජීවිතය ගැන තේරුම් ගනිමින් සිටිමි..සමහර විට එම තේරුම් ගැනීම නිවැරදි විය හැක.බොහෝවිට ඔබ සියල්ල අවසන මෙතෙක් තීරණය කළ පරිදී එය  වැරදි විය හැක.

කුඩා කළ සිට ම මට වුවමනා කළ දේ බොහෝ වෙතත් අතර ප්‍රමුඛ වූ එකම දෙය නම් මා මෙන්ම සිතිය හැකි සොයුරෙකි.මට වඩා වැඩි මහලු සොයුරෙකි..බාල සොයුරෙක් මිස වැඩිමහල් සොයුරෙක් ගෙන ඒමට මගේ මවුපියන් අපොහොසත් බව එවක මට නොවැටහිණි. අවසන මම සියලු සොහොයුරන්ට වෛර කළෙමි.නමුත් සිතින් මවාගත් සොයුරෙක් සමඟ නිරන්තරයෙන් දොඩමළු වුණෙමි.සෙල්ලම් කළෙමි.ඒ බව තවම සිහිනයක් පරිදී මතකයේ ඇත.. මා වැඩිවිය පැමිණි පසු සහෝදර සිහිනය කෙමෙන් කෙමෙන් වියැකී ගිය මුත් කාලානූරූපීව හමුවන ප්‍රියතම පිරිමි චරිත වලට මම නිරායාසයෙන් මගේ සිහින සොහොයුරා ආදේශ කළෙමි...එහෙත් ඒ ආදේශන මඳක් හෝ සාර්ථක නොවූ අවස්ථා මඳක් හෝ සාර්ථක වූ අවස්ථා වලට වඩා කිහිප ගුණයකින් වැඩිය..

අනතුරුව මම මගේ සිහින සොහොයුරාම මගේ වෛරකරු කර ගතිමි.මා පසු බසින,මා දුක්වන,මා විඳවන,මා බියපත් කරන සියලු අවස්ථාවන්හීදී මට පරාද වීමට හේතුවක්,මට කේන්ති ගැනීමට හේතුවක් නිරායාසයෙන් නිර්මාණය කර දීමට මේ සිහින සොයුරාට හැකි විය.මා ඔහුට ආවේණික රූපයක් මවා ගත් අතරම ඔහුට ආවේණික ගති සොබා ද මවාගතිමි.

වාසනාවකට ඒ රූපය හෝ ඒ ගති සොබා හෝ හිමි මිනිසුන් මිහි මත නොවන බවත්,එය වාසනාවක් බවත්,එවන් සොයුරෙක් සැබවින්ම භයානක විය හැකි බවත්,ඔවුන් එවන් සොයුරෙක් කිසි කළෙකත් නොපතන බවත් මගේ මිතුරියෝ ප්‍රතිඥා දුන් අයුරු සිතට පිවිසෙන විට, මම ප්‍රාර්ථනා කරන ස්වභාවය හා අනෙක් ගැහැණු ළමයින්ගේ වෛතසික මට්ටම අතර ඇති පරස්පර බව ගැන මට අදටත්  මහා ගැටළුවක් මතුව එයි.ඔවුන්ට පෙම්වතුන් අවැසි යුගයක මට සොයුරෙකු අවැසි වූයේ මන්දැයි මම තවමත් සොයන්නෙමි....සමහර විට සොයුරෙක් සිටියා නම් මීට වඩා නිදහසක් මට නිවසින් ලැබෙන වගත්! මට කොල්ලෙකු මෙන් අයියා සමඟ තැන තැන යාමට හැකි වනු ඇතැයි යන හැඟීමත් මගේ යටි සිතින් වරින් වර මතුව ආ නිසා විය යුතුය..

කවුරුන් කුමක් කීවත් මා නිරන්තරයෙන් සිහි කරන  සහෝදරයා වැන්නෙක් ලොව වෙසෙන බව මම ඇදහුයෙමි. එය අසත්‍යක් නොවන බව මට ඔබට සපථ කළ හැක්කේ  මම ඔහු දෑසින් දුටු හෙයිනි.කතා කළ හෙයිනි.. එහෙත් ඒ සොහොයුරා මට සොයුරෙක් ලෙසින් අත්පත් කරගත නොහැකි මට්ටමක නොවීම මගේ හදවතට ඉහිලුම් නොදෙන්නක් විය.සොයුරෙක් අත්පත් කර ගත හැකිද?

මේ ගැටළුව මට පැන නගින්නට සැබවින්ම කල් ගත වූයේ ...මගේ සොයුරාගේ සම්පූර්ණ අවධානය මා කෙරෙහි යොමු වූ නිසා විය යුතුය. සම්පූර්ණ විශ්වාසය මා කෙරෙහි යොමුවු නිසා විය යුතුය.එහෙත් එක් හිදැසකින් ඔහු එම විශ්වාසයෙන් කුඩා ප්‍රමාණයක් බිඳ දමා මා යමෙකු ඉදිරියේ අවතක්සේරු කර ඇති වග  මට දැනගන්නට ලැබිණි.එය එසේ නොවීමට වුව පුළුවන. නමුත් මට දැණුනු ආකාරය එය නම් මා කුමක් කරන්නද? පිළිම කඩා බිඳදැමීම පහසුය.නැවතත් එක් කිරීම අපහසුය.මට විසිරුණු සිතවිලි වල වෛරයට එහෙ යමක් ලිවීමට නොහැකි වූ වග මතකය. මා නොකළ වරදක් අනාගතයේ කරතියි සැක කරමින් මා අවිශ්වාස කරන කෙනෙකුට! ඒ අවිශ්වාසය නැති කරනු වෙනුවට එම වරද සිදු කර, අවිශ්වාසයෙන්ම සිටීමට ඉඩ හැරීමත්, ද්‍රෝහියෙකු වීමේත් වරදත් නැතැයි මට හැඟිනි.

මට නැවතත් මගේ ස්වප්න සහෝදරයා වෛරක්කාරයා ලෙස පෙනෙන්නට පටන්ගති.ඔහුට රිදවන්නට කුමක් කළ යුතුදැයි මම සොයා බැලුවෙමි.මා වරක් නිවැරදිව සිටියදී අවතක්සේරු කළ අයෙක් වෙනුවෙන් ...මා නිවැරදිව සිටිද්දි මා අවිශ්වාස කල එකෙක් වෙනුවෙන් දියයුතු දඬුවම මම විසින්ම මගේ අධිකරණය ඇසුරින් තෝරා ගතිමි. 

ඒ හැකි තරම් රිදවීමයි.ඔහු අකමැතිම දේ කරමින් ඒ උදෙසා ම රිදවීමයි...එයින් මට රිදෙන ප්‍රමාණය,මා අවතක්සේරු වන ප්‍රමාණය ගැන නොසිතාම මම එය ඇරඹීමි..නමුත් එය කළ යුත්තේ කෙසේද යන්න ගැන මට කිසිම ක්‍රමවේදයක් නොතිබූ මුත්,  යම් කෙනෙකුගේ ආගමනය මත ඔවුන් මට හේතුවක් සකසා දුන් බව අද වන විට මතකයේ ඇත..ඉන්පසු තනා දෙන ලද මාර්ගයක අවිඥාණිකව ගමන් කළා මිස,එය මවිසින් කෙසේ කළාදැයි අද වන විටත් නොදනිමි. මා සිටින්නෙ ගැටළුවකය.මා ආපසු හැරී බලද්දී මගේ සොයුරා මා අප්‍රමාණ සෙනෙහසක් දැක් වූ සොහොයුරා , මා නිසාම මා හැරගොස් අවසන්ය. සියල්ල නිවැරදි කළ නොහැකි තරම් දුර ගොස්ය.නමුත් මගේ පළිගැනීමෙන් ඔහු රිදුණු බව පමණක් මම දනිමි.මා සාර්ථකය.එහෙත් අද මට මගේ සොයුරා...පෙර සොයුරා විලසටම වුවමනා කර තිබේ.එය කෙතරම් හාස්‍යජනකදැයි ඔබ මගෙන් අසන බව දන්නා හෙයින් මම මෙසේ කියමි.හාස්‍ය ජනක බොහෝ දේ ඉදිරිපිට බොහෝ අනුවේදනීය කතන්දර සැඟවී ඇත.

අද වන විට මගේ සොයුරා..සමාවන්න. මගේ සිහින සොයුරා මට සමාව නොදෙන බව මම හොඳින්ම දනිමි..නමුත් ඔහු මට සමාව දුන් බවට සිතා මම සිත සනසා ගනිමි.. මට මේ පිළිබඳ දැනෙන්නට වූයේ,මමද යම් අරගලයක පාර්ශවකරුවෙක් වෙමින් සිටි බවත්,ඒ මුලු අරගලයම ඔහු හා ඔහුගේ පාර්ශවය නමින් ක්‍රියාත්මක වන බවත් දැණුනු හෙයින්ම පමණක් වග ඔහු කවදා හෝ දැනගත යුතුය.. 

අද මම එයින් මිදුණෙමි.. මම සැඟවී බලා සිටිමි..තවමත් ඔවුන් ගොදුරට ආසන්න නොමැති බව පමණක් මම දනිමි...නමුත් එය මා සොහොයුරාට ඉලක්ක වූ සැණින් මම හෙළිදරව්වේ පුනරාගමනය ආරම්භ කරමි..මන්ද යත් නොපෙනෙන සතුරෝ බොහෝ ඇති බව ඔහු විසින් දිනක් මට කියාදුන් බැවිනි. පෙනෙන සතුරෝ බහුතරයක් මිතුරෝම විය හැකි බැවිනි..අද මමත් ඔහුට සතුරෙක් වූයේ ද ද්‍රෝහියෙක් වූයේද  ඒ න්‍යායටම අනුව බැවිනි...මම ඔහු සතුරෙකු හා ද්‍රෝහියෙකු  ලෙස සිතුවේද ඒ න්‍යායටම අනුව බැවිනි . නමුත් ඒ සියල්ලටම වඩා මම තවමත් ඒ වාසගම අහිමි, ඒ රුධිරය අහිමි, ඒ ජාන අහිමි, ඒ රූපයට එකඳු සමාන කමක් වත් නොකියන, ආත්මය හා හැඟීම් පරම්පරාව විසින් ඔහුගේ විඥ්ඥාණය උත්පාදනය කළ ඔහුගේම කුඩා සොයුරියම වූ හෙයිනි...

.............................

ඇගේ දිනපොත නැවත රහසේම තිබූ තැන තැන්පත් කළෙමි.. (අවසානය නොදනිමි.)

22 comments:

  1. ඔහ්! කරකවල කරකවලා අතැරියවගේ. සිරා ලියවිල්ල. ඒත් ඔළුවෙ තියෙන එක ලියන්න මේ වෙලාවේ වචන නැ :D

    ReplyDelete
  2. හරියට හරි ලියන්ඩ එපා ජේඩියො...මේක දකින අය නැත්තම් බිපෙසි වෙයි

    ReplyDelete
  3. මට මේ ගැන කියන්න වචන නැහැ...

    ඇත්තටම ‍ලස්සනයි....

    මේ මංද කියලත් හිතෙනවා.....

    ReplyDelete
  4. ස්තූතියි..........ඔබ කවුද කියා දන්නෙ නැතත්!!! අහ් ඔබ වෙන්න පුළුවන්..

    ReplyDelete
  5. හපොයි....! අක්කගේ ස්ටේටස් වගේම තමා මේකත්.:) කියල තියෙන්නේ අක්ක ගැන කියල නම් තේරුණා. සෑහෙන ගේමක් දීල යන්තං කතාව මෙහෙම වෙන්න ඇති කියල ගැටගහගත්තා.

    ReplyDelete
  6. සහෝදරයෙක් ඉන්න අයට කරදරයක් සේ සිතුවත්,
    සහෝදරයෙකු නැති අයට ඒක මහාමෙරක් වගේ,

    තමන් ලඟ නැති දේවල් වලට ආස කලාට ලඟ තියෙද්දි ගාණක් නැහැ

    ReplyDelete
  7. මගෙ ස්ටේටස් වලින් මේ කතා තේරුම් ගන්න එපා මල්ලි...සාහිත්‍ය කියන්නෙ සත්‍ය හා අසත්‍ය අතර කලාපයෙ පිහිටි දෙයක්!

    ReplyDelete
  8. හරියට හරි මගෙ අයියෙ.ඔයාට බෑ.. කවදාවත් මට සහෝදරයෙක් වෙන්න.ඒ වුණාට ඔයා කවදා හරි....මගේ මුළු ජීවිතේම වෙලා..ඒක සතුටින් පුරවන වග මට ගොඩාක් විශ්වාසයි...මොකද ප්‍රේමවන්තයෙක් විදිහට මට ඔයා ගැන තියෙන ආදරේ මහ මෙරටත් වඩා වැඩි නිසා...

    ReplyDelete
  9. තුන් පාරක්ම කියෙව්වා... මට එක පාරටම මතක් උනේ මම බලපු ඉංග්‍රීසි චිත්‍රපටියක්. නම මතක නෑ... ඒකෙත් තියෙන්නේ හිතින් මවාගත්තු අය එක්ක ජීවත් ව්එන මහාචාර්ය කෙනෙක් ගැන.....

    ගති!

    ReplyDelete
  10. ස්තූතියි වීදුරු සුදු පූසෝ..........මමත් එහෙමයි!

    ReplyDelete
  11. මම හිතුවේ මං ආපු වෙලාව හොද නෑ කියලා..බලාගෙන යද්දි මට විතරක් නෙමෙයි හැමෝටම වගේ කතාව එක පාරම තේරිලා නෑ..

    ReplyDelete
  12. නොතේරුණු බව තේරිම කොයිතරම් හොඳඳ අයියෙ

    ReplyDelete
  13. මට නම් තෙරෙන්නැ..

    ReplyDelete
  14. ඔයා බනීනෙ!!! ඒකයි

    ReplyDelete
  15. මට මේ ලිපිය දෙපාරක්ම කියවන්න උනා. භාෂා හැසිරවීම ටිකක් ගැඹුරුයි. ඒ උනාට ඔයාගේ නොදැකපු සොහොයුරා ගැන ගොඩක් දේවල් දැනගත්තා :)

    ReplyDelete
  16. අනුන්ගෙ දෙවල් කියවන්න එපා කවදාවත් ... හෑකි හෑම වෙලාවකම ... අපට අපේ සිත විමසිය හෑකිනම් ... අපට වෑරෙදෙන බොහෝ නෑතිකර ගතහෑක .වරද උනු පසු නිවෑරදි කරන වාට වඩා නොවිමට වග බලා ගෑනීම වටී ..

    ReplyDelete
  17. ස්තූතියි යසිත...........අනුන්ගේ දේ කියවුවාට...;)

    ReplyDelete
  18. මධූ..........දැනගත්තාද??

    ReplyDelete
  19. සිහිනයෙන් අවදිවෙච්ච එක නම් ලොකු දෙයක්...නොලැබෙන දේවල් ගැන සිහින දැක පල නැක..

    ReplyDelete
  20. ස්තූතියි........ඔබට

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.