12/25/16

-273- ජිවීතේ උතුරන්න ඉඩ දෙන්න.

තුරුලතාවෝ මහ පොළවට ප්‍රේම කරති. මහපොළොව තුරු ලතාවන්ට ප්‍රේමකරයි. තුරුලතා සියොතුන්ට ප්‍රේම කරයි. සියොත් කැළ තුරුලතාවන්ට ප්‍රේම කරයි. පොළව සැම විටම අහස ගැන ආල ලීලාවෙන් පසුවෙයි. අහස නිරතුරු පොළව ගැන ප්‍රේමයෙන් වෙලෙයි. වැස්සක් සේ මහපොළොව මතට වසින්නේ එයයි. එපමණක් නොව නීල ජල කඳක් දරා හිඳින මහ මුහුද කිසිවකට නොදෙවෙනි උපරිම ප්‍රේමයකින් සියලු මහද්වීප බදා වැළඳ සිටියි. ඒ මහද්වීප මහ මුහුද ගැන අපරිමිත විශ්වාසයෙන් ලෝකය දරා හිඳි. සොබාදහම  මෙතරම් ප්‍රේමයෙන් ඇලලෙන්නේ නම්, එය වන්දනාවක් විය නොහැකිද? එය පිරිතක්, ගීතිකාවක් සේ පූජනීය විය නොහැකිද? ආදරය යනු මෙලොව පවතින ඉසියුම්ම දර්ශනය නොවන්නේද?

ඕෂෝ කියන විදිහට, ආදරය තුළින් එක් පාර්ශවයක් පමණක් පිරී ඉතිරෙන්නෙ නැහැ. ආදරය කලාවක් නම් එය එහෙම වෙන්න ඉඩක් පවතිනවා. හිතන්න. මම ඔබ වෙනුවෙන් කවියක් ලියනවා. ඔබ එය විඳිනවා. මම කතාවක් කියනවා. ඔබ එය අසා සිටිනවා. කලාවක් කියන්නෙ ඒක පාර්ශවික පරිශ්‍රමයක්. අනෙකා උදෙසා නිර්මාණය කරන විස්මය ජනක පරිශ්‍රමයක්. නමුත් ආදරය කලාවක් නොවෙයි. ආදරය මැවෙන්නෙත් ගොඩනැගෙන්නත් කිසිම වෙහෙසකින් තොරවයි . ආදරය කියන්නේ හදවත් පිරී ඉතිරී යාමයි. කුසලානයක පිරවූ රතු වයින් වගේ චමත්කාර මිහිරකින් පිටාර ගැලීමයි. ඔබේ සිතිවිලි මාළිගාව ඔබ නොදැන සිටින අරුම මොහොතකදී ඔබ ඉදිරියේ ආඩම්බරයෙන් විවර වීමයි.

ඔබ ආදරයට ආදරය කරන තරමට, ආදරය විසින් කවදාවත් ඔබ පය නොතැබූ සුන්දර ඉසව් ඔබ ඉදිරියට රැගෙන එනවා. ඒ මොහොතේ ඔබට රැස් වළල්ලක් ‍ඔබ වටා මැවෙන අයුරක අරුම පුදුම ප්‍රහර්ෂයක් දැනෙන්න පටන් ගන්නවා. හැබැයි ආදරය සැමවිටම ප්‍රීතියට පමණක්ම ඉඩ තියන්නෙ නැහැ. එය එක් අතකින් වේදනාව මිට මොළවා ඔබ සමඟම ඇවිද එනවා. ඔබට ඉන් මිදෙන්නත් බැහැ.

සමහර ප්‍රීතිමත් මොහොතවල් ජීවිතය ඔබෙන් උදුරාගන්නවා. ඉතින් ඔබ කඳුළු සලන්නෙ ඇයි? යමෙක් ඔබේ ප්‍රීතිය ‍ඔබෙන් සොරාගත්තා නම්, ඔබ එයට ස්තූතිවන්ත විය යුතුයි. ජීවිතය සිනමාපටයක් නොවන වග ඔබට පහදා දෙන්නේ එවන් අයයි. ඒ සොඳුරු සතුට සොරාගත් අය ගැන  අනුකම්පා කරන්න. එය ආදරයකට හරවන්න උත්සාහ කරන්න. ඔවුන් වේදනාවෙන් ලෙඩ වුණ අය. ජීවිතය මඟ ඇරුණ අය. ජීවත් වෙන අතරෙදිම හදවත් වලින් මිය ගිය. ප්‍රීතිමත් හැඟීම් වලට ඉතාම ආගන්තුක අය. ඔවුන් ඔබ ලද ජීවිතය ගැන ඉරිසියාවෙන් මිරිකිලා. ඔවුන් හදවතට හොරෙන්ම විඳවන ජීවිත තෝරගෙන.

ඔබේ මිහිර, ඔබෙන් හොරාගන්න අමානුෂික, කුහක අදහස් වලින් ආදරය කැටගරි කරන්න ඔවුන් පෙළඹෙනවා. මේ ඔබේ පවුල. මේ අය පවුලෙන් පිට. මේ අයට ආදරය කරන්න. මේ අයට ආදරය නොකරන්න. මේ අය ඉවත් කරන්න. මේ අය වැළඳගන්න. ආදරයට කොහේ තියෙන කැටගරියක්ද? ආදරය කියන්නෙම ආදරයටයි. සංස්කෘතිය විසින් සමහර වෙලාවට ආදරය මරලා දානවා. ඔබත් මමත් සංස්කෘතිය නාමයෙන් ආදරය ඝාතනය කරන්න එකතු වෙන්නෙ ඇයි?

ආදරය සීමා මායිම් දමා බැඳ දමන්න පුළුවන්ද? ආදරය යන හැඟීම උපදින තැනවත් නොදැන හිර කරන්නෙ කොහොමද? සීමා නැතිවූ තැන ගොඩනැගෙන සහෘදත්වයට ලෝකය ඉතා බියක් දක්වනවා. ඒනිසයි මෙතරම් සීමා පනවන්නේ. ආගමික සීමා, දේශ සීමා ආදී සියල්ල අතර පවුල තුළ පවා සීමා නිර්මාණය වෙනවා. ඒ නිදහසට ඇති අප්‍රමාණ බිය නිසා නේද?

ඔබ ආසයි නටන්න. ඒත් අනෙක් අය කැමති නෑ ඔබ නටනවාට. සමහරවිට ඒ ඔවුන්ට නැටුම් බැරි නිසා. නැත්නම් ඔවුන් නැටුම් නොදන්න නිසා. සමහරවිට හැබෑවටම ඔවුන් නැටුම් වලට අකමැති නිසා. මේ හේතු තුනෙන් නිවැරදි හේතුව කුමක් වුවත් ඔවුන් ඔබේ නැටම නවත්වන්න උත්සාහ කරාවි. ඔබ නටන අවස්ථාව පිළිබඳ, ඔබේ සිත තුළම වරදකාරී සිතුවිල්ලක් මවන්න වෙරදරාවි. ආදරය කරද්දි ලොව එරෙහි වන්නේ මේ ආකාරයෙන්මයි. ඔබට ඔබ ආශා කරන විදිහට ආදරය කරන්නට ඔවුන් ඉඩ නොදේවි. ආත්මය විසින් රෝගී වූ ඔවුන්ට ඉන් එහා යමක් කළ හැකිද? ඔවුන්ට අවශ්‍ය ලෙස ඔබේ ආදරය පුරන්නට ඔවුන් බලකරාවි. ඉතින් මෙවන් පරිසරයක් ඉදිරියේ ශක්තිමත්වම සිටිය යුත්තේ ඔබයි.

ඔබේ ජීවිතය ඔබ විසින් අල්ලාගන්න. සෑම මොහොතකම ජීවිතය සාදයක් සේ සිතා ප්‍රීතිමත් වෙන්න. ඔබට සැමවිටම උගන්වන්නට බලා සිටින සමාජය ඔබට ගෙන එන්නේ වේදනාව නම්, එවන් දේ නොතකා සිටින්නට පුහුණු වෙන්න. ඔවුන්ටත් ආදරය කරන්න. ආදරය බෝවන රෝගයක් වගේ. වේගයෙන් පතුරන්න පුළුවන් දෙයක්.

බලන්න, මේ අවට ඇති ගහකොළ දිහා. ඔවුන් බුම්මාගෙන ඉන්නවා කවදාවත් දැක තියෙනවාද? මඳ සුළඟට ඔවුන් ගීත ගයනවා. බලන්න, මේ පුංචි කුරුලු රංචු දෙස, ඔවුන් නිහඬද? ඔවුන් සුන්දර ගීතයක් සොයනවා. ඒ ගයන්නෙ ඔබටයි. ගංගා වල සරැළි අතර, ඇළ දොළ මැද ගලන පෙණ කැටි අතර හැම තැනකම රැඳී ඇත්තේ සතුටයි. විනෝදයයි. ජීවිතයේ ආලෝකයයි. ඔබත් මේ හැම දෙයකම කොටසක්. ලෝකයට ඔබ පිවිසියේ ලොවට ආදරය කරන්නයි. ජීවිතය විඳින්නයි. උත්තරීතර ආදරය, ප්‍රීතිය ඔබ තුලින්ම හොයාගන්නට වාසනාවන්ත වෙන්න. ජීවිතය මෙන්ම ආදරය තියෙන්නෙත් ඔබේ දෙපා පාමුල.


12/20/16

-272- වේදනාවේ උල්පත් පෑන

ප්‍රීතියට පත් වෙච්ච මිනිස්සු ඉන්න යුග වලදි සාහිත්‍ය සහ කලාව ඉතා ඉහළින් දියුණු වුණා කියලා, යුරෝපීය ඉතිහාසය සහ ආසියානු ඉතිහාසය ගැන මුලාශ්‍ර වලදි කරුණු පෙනෙන්න තියෙනවා. ඒ වුණත් බොහෝ අග්‍ර කෘතින් බිහි වෙන්නෙ වේදනාව පිරුණ යුග වලදි. මැක්සිම් ගෝර්කි, නිකොලයි ගොගොල් , අර්නස්ට් හෙමිං වේ වගේ ලේඛකයො ගැන අදටත් මුළු ලෝකයම කතා කරන්නේ ඔවුන් මනුෂ්‍ය වේදනාවේ උල්පත් තමන්ගෙ පෑනෙන් අකුරු කරපු නිසයි.
පුද්ගලයො වශයෙන් ගත්තත්, ඉතා සුරම්‍ය කලා නිර්මාණ මේ ලෝකෙට දායාද කරපු බොහෝ දෙනා තමන්ගෙ හදවතේ වේදනාව හිර කර ගත්ත අය. සමහර වෙලාවට නිර්මාණ කියලා එළියට ආවෙම ඔවුන්ගේ හදවත් වලින් පිටාර ගලපු මහා වේදනාවේ නිවිච්ච කඳුළු බිංදු කියලා, ඔවුන්ගෙ පුද්ගලික ජීවිත ගැන දන්න කියන කෙනෙකුට තර්ක කරන්න පුළුවන්.
අපි උසස්පෙළට ඉගෙන ගන්න මළවුන්ගේ අවුරුදු දා නවකතාවෙ, දෙවෙන්දරෝ සං මනංකල්පිත කෙනෙක්ද? සැබෑ කෙනෙක්ද? එහෙමත් නැත්තම් මහාචාර්ය එදිරිවීර සරච්දන්ද්‍රයන්ගෙ පෑන නිර්මාණය කළ මායාවක්ද? ඒ මුකුත් නෙවෙයි නම්, ඇත්තෙන්ම ජපන් තරුණියකට පෙම් කළේ අපේ එදිරීවීර සරච්චන්ද්‍රයන්ද? ඔයාට කවදාවත් මෙහෙම හිතිලා නැද්ද?
ලේඛකයෙක් කියන්නෙ ඕපපාතිකයෙක් නෙවෙයි. ඔහු මේ සමාජයේ අපිත් එක්කම ගැටෙන, කතා බහ කරන තවත් එක මනුස්සයෙක්. අපි දකින ලෝකයම, අපි විඳින සතුටම අපි විඳින දුක ම විඳින කෙනෙක්. ඔහුගෙ හෝ ඇයගේ සැබෑ ජීවන දැක්ම, අත් දැකීම් සහ ඒ වයේ පිරුණ වේදනාව සහ සතුට ඔවුන්ගෙ නිර්මාණයන් විදිහට එළි දකිනවා.
අපි තව දුරටත් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සාහිත්‍ය භාවිතාවට දෙසටම හැරුණොත්, ඔහුගේ අග්‍ර නාට්‍ය යුගලය වන මනමේ සහ සිංහබාහු හුදු ඓතිහාසික කතා දෙකක් නාට්‍ය වලට හැරවීම නෙවෙයි කියලා අපිට තර්ක කරන්න පුළුවන්. ජීවිතයේ තමන්ගේ පහසේ රැඳුණ ස්ත්‍රී ජීවිත තමන්ගෙන් වෙන්ව යාමේ විප්‍රයෝගය සාධාරණීකරණය කරන්න ඔහු නිර්මාණ කළා වෙන්න බැරිද? "නොදනිමි කාගේ දෝසා" ඔහු මනමේ අවසාන කරන සැටි බලන්න. සාමාන්‍ය මිනිසා සහ සාහිත්‍යකරුවා අතර වෙනස එයයි. සාහිත්‍යකරුවා , කලා කරුවා ප්‍රකෝපයට පත්වන්නෙ නෑ. වේදනාව නිසා කඳුළු වගුරන්නෙ නෑ. ආදර ලියුමක් ලියන, ඔයාට ඒ ලියුම ඇතුළෙ බනින්න පුළුවන්, කේන්ති ගන්න පුළුවන්. හඬන්න පුළුවන්. ඒත් කලා නිර්මාණයක් කියන්නෙ, කඳුලු වියලාගත්, කේන්තිය නිවාගත් හදවතක් වගේ තැනක්. මේ කාරණාව ගැන කතා කරන්න තවත් හොඳම කෙනෙක් තමයි "සේකර".
මහගමසේකර කියන්නෙ ලංකාවේ හිටිය විස්මකර්ම කලා කාරයෙක්. ඔහු කවි, නවකතා, චිත්‍රපට, චිත්‍ර ආදී බොහෝ ක්ෂේත්‍ර වල විවිධ පරාසයෙන්ගෙන් දක්ෂකම් පෑවා. ඒ හැම කලා නිර්මාණයක් තුළම ඔහුට අනුභූතිය සැපයුවේ ඔහුගේම ජීවිතය. මිනිහෙකුගේ ජීවිතේ ඇදවැටීම්, බිඳ හෙලීම්, හැරයාම් ඒ මනුෂ්‍යයාව වෙනස් කෙනෙක් බවට පත් කරනවා. ඒ වෙනස් වෙන පුද්ගලයා විසින් නැවත සමාජය වෙත ඔසවන්නේ ආයුධයක්ද, පෑනක්ද කියන කාරණාව ඉතාම වැදගත්.
බොහෝ කලා කරුවො වගේම, බොහෝ දුෂ්ට ත්‍රස්තවාදියො බිහිවන්නෙත් වේදනාව තුළින්මයි. කලාව තුළ ඉහළම නිර්මාණය කරන්නෙ වේදනාව සමඟම ජීවත් වෙන මිනිස්සුයි. ඒ අය අවුරුදු ගණනක අනාගතය එක මොහොතකින් සිහිනයක දකින්නට තරම් දක්ෂ වෙනවා. ඔවුන්ගෙ වේදනාවත්, සොබා දහමත් දෙකක් නොවී එකක් බවට පත් වෙනවා. සේකරයන් අතින් "සත්සමුදුර" චිත්‍රපටයට මෙම ගීය ලියවෙන්නෙ ඒ නිසයි.
"සිනිඳු සුදු මුතු තලාවේ පිපෙන පෙණ පිඬු සිනා සේ සැලෙන රළ මත ගිලී ඉපිලී ගලන සිතුවිලි මුලාවේ
ගැඹුරු සත් සමුදුර පතුල බිඳ ඇඹරි ඇඹරී වියරු දළ රළ තුමුල මහ මෙර දෙදරවයි බුර බුරා නැගි කුරිරු ජල කඳ දෙරණ සම්පත ගිල ගනී"
මිනිසෙකුගේ මුලා වූ සිතුවිලි සමුදායක්, උඩු හිත සහ යටි හිත කළඹවන ආකාරය කිසි දවසක හැබැහින් ඔහුට දකින්නට නොලැබුණු සුනාමියක් සමඟ එකතු කරලා ඔහු මේ පද වැල අමුණනවා. මේ ස්වභාවික ව්‍යසනය සිද්ධ වෙන හැටි ඔහු කවදාවත් ඇසින් දැකලා දැනගෙන හිටියෙ නෑ. ඔහු සොබාදහම තමන්ගේ මුලා වූ සිතිවිලි හරඹය අකුරු කරන්න සංකේත විදිහට යොදාගත්තා විතරයි. සිංහල සාහිත්‍යයේ දි අපි මේ කාරණාව "උත්ප්‍රාසය" කියන නමින් හැඳින්නුවත් සේකර වගේ සාහිත්‍යධරයො හදවතේ ඒ මොහොතෙ පැවතිච්ච නිර්ව්‍යාජ රටාවයි අකුරු කරන්නෙ. ඒ නිසයි මේ නිර්මාණ යුග ගණනාවක් එළිය කරන්නෙ.
වේදනාව තුළින් බිහි වුණ මේ වගේ අග්‍රගන්‍ය කලාකරුවො සෑම රටකම පාහේ ඉන්නවා. අපි ප්‍රධාන වශයෙන් කතා කළේ දෙදෙනෙක්ට ආනුභූතීන් වුණා කියා සැක කළහැකි තැන් ගැන පමණයි. දැන් අවස්ථාව තියෙන්නෙ young ඔයාටයි. එක රැල්ලට පහු ගිය කාලෙ පොත් ප්‍රදර්ශන වලට එහෙම ගිය හින්දා, ගෙදර ගොඩගැහුණ පොත් පත් ටික මුලින්ම අපි කියවන්න පටන් ගමු. නත්තලට පොඩි නිවාඩුවකුත් ලැබෙයිනෙ. ඔය අතරෙ facebook අස්සෙ, Social Media පැත්තෙ රවුමක් යනකොට share වෙන කවි කුරුටු දිහාත් පොඩ්ඩක් අවධානයෙන් බලන්න අමතක කරන්න එපා. වේදනාව අකුරු කරන්න පුරුදු වෙන අංකුර නිර්මාණකරුවො වගේම විශිෂ්ටයොත් ඔයාට මුණ ගැහේවි. නිර්මාණය දෑස මානෙට ගෙනෙන මාධ්‍ය මොකක් වුණත් එය බිහි කරන්න නිර්මාණ කරුවො වින්ද වේදනාව අම්මා කෙනෙක් දරුවෙක් බිහිකරන්න විඳින ශාරීරික වේදනාවට සමාන මානසික වේදනාවක් කියලා එතකොට ඔයාට දැනෙන්න පටන් ගනීවි. අන්න එතනදි ඔයා කලාවේ ස‍හෘදයෙක් වේවි. කලාකරුවෙකුට සමාන හදවතක් ලැබෙනවා කියන්නෙ ලේසී පහසු වැඩක්ද?


12/13/16

-271- එක මොහොතක දිග කතාවක් -

ඒ නිකිණි සීතල පළාතම ගිනියම් කරපු දවස්. සිහිල වුණත් උපරිම මායිම පැන්න තැන හිටං පටන් ගන්නෙ උල්කාෂ්මෙකින් පැන නගින තරමෙ ගින්දරක්. "මොකද මේ අවේලාවෙ..?" බෝඩිමේ ඉස්සරහ ජෑම් ගහ පාමුල එන ඕනෙම පිටස්තරයෙක්ට ඉඳඟන්න ලෑල්ලක් දාලා තියෙද්දිත්, බිත්තියට පිට දීලා අන්ධකාරෙ කළුවර මනින එයාගෙන් මං ඇහුවා.
චිමිනි ලාම්පු වුණත් කණාමැදිරි එළියට පෑහෙන්න පත්තු කරපු දවස් නිසා කවුරුවත් කලුවරට බය වුණේ නෑ. "ඇවිත් ඉඳගන්න." සැනසිලිදායක හඬකින් ඔහු කිව්වා. ඒත් පුරුදු ඉසියුම් හිනාව ඒ මූණේ නෑ කියලා මට අන්ධකාරෙදිත් දැනුණා. "හිත කරදරෙන්ද? " අන්ධකාරයත් එක්ක සමපාත වෙච්ච ඒ මූණට මං එබුණා.
"මට බයයි" ඒ වචන දෙක ඒ මුවින් ගිලිහෙද්දි, ඒ ශරීරෙට වඩා දහස් ගුණයක වෙව්ලුමක් මගේ ශරීරෙ පත්ලෙන් මතුවුණා. බය කියන වචනෙ මීට කලින් කවමදාවත් පිටනොවුණු ආගන්තුක වචනයක් නිසා මං මට මතක විදිහට මිනිත්තු කිහිපයකටම තිගැස්සුණා.
ඒ හැඟීම අවසාන වෙන්න මොහොතක් තියෙද්දි, එයා සාක්කුවෙන් හීනි තුණ්ඩු කෑල්ලක් එළියට ගත්තා. "මට ලියුම ඇවිත්.." ඇඟිලි ‍අස්සෙ අඩමානෙට රැඳිච්ච ඒ පුංචි කඩදාසිය, මං අල්ලගත්තා. එය දිග හැරියට පසුවත් මගේ හැඟීම් වෙනස් නොවුණු බව එයා අඳුරේම සටහන් කරගත්තා. " ඔයාට බය නැද්ද? " තමන්ටම සරදම් කරගන්න ආකාරෙ හිනාවක් ඔහුගේ ඇස් වලත් තොල් වලත් තිබුණු බව, කියවන්න කළුවර මට බාධා කළේ නෑ. "මං පුදුම වෙලා හිටියෙ මෙච්චර කාලෙකට මේ වගේ දෙයක් ආපු නැති එක ගැන." ඇසිල්ලේ පැන නැගුණ බිය, වේදනාව සියල්ල තුරුළු කරගෙන ඒ දරදඬු බාහුවේ මම තදින් එල්ලුණා.
"මාව අඳුනන වගක්වත් කාටවත්වම අඟවන්න එපා. මං ගැන දැනුමක් ඇතිවෙන හැම දෙයක්ම අද රෑම පුච්චලා දාන්න. අපේ ලියුමක් වත් තියාගන්න එපා." ඒ ඇඟිලි මගේ ඇඟිලි වල තද වුණා. ඒ ඇස් වල කඳුළු බිංදු හිර වෙලා ගල් ගැහුණ බව, බිඳුණු කටහඬ මට කිව්වා. මං නිහඬවම අහගෙන හිටියා. පුළුවන් තරම් ඒ වචන මතක තියාගන්න මං උත්සාහ කළා. " තනිවම නිදා ගන්න එපා. අසනීප නොවී ඉන්න බලන්න." ජීවිතේ අවසාන අවවාද ටික දෙන්න සූදානම් වෙන විදිහට, හැමදේම කියාගෙන යද්දි, මාව ඇතුළතින් සීතල වුණා. " මං හිතලා අසනීප වෙන්නෙ නෑ.." මගෙ ඇස් දෙකේ කඳුළු නවත්තන්න මට බැරි වුණා.." මං ඒක දන්නවා දෙයියනේ . මට බයයි..මට ළඟ ඉන්න බැරි වෙයි කියලා." ඒ හඬේ තිබුණේම වේදනාව. ඒ වේදනාව මාව අයිස් කන්දකට හිර කරන්න පටන් ගත්තා.
" මේ කරදර කවදා ඉවර වෙයිද?" නිතරම උත්තර අහන උත්තර නැති ප්‍රශ්නෙ, ආයෙම මම එයාගෙන් ඇහුවා. "කරදර ඉවරවෙයි . ඒත් ඒ දවසයි කවුරුත් නොදන්නෙ.." පළමුවරට මේ මොහොතෙ නැඟුණු ඔහුගෙ මන්දස්මිතය මගේ හිත ඩිංගක් එළිය කළා. " එදාට අපි ජීවත් වෙයිද මංදා." මං පුංචි හිනාවක හැඟීම එක්ක, ඒ කතාව දිග දුරට ඇද්දා. "අමාරුවෙන් හරි ජීවත් වුණොත්, අපිට තව ආදරේ කරන්න වෙලාව ලැබෙනවා." එයා මගේ නළල පරිස්සමට සිප ගත්තා.පුරුදු විදිහටම හිස අතගෑවා. "මං යන්න ඕනෙ. මට මුළු රෑම මෙතන ඉන්න බැහැනෙ. හෙට ඕනෙ ඩොකියුමන්ට්ස් වගයක් තියෙනවා ලෑස්ති කරන්න." ඔහු ආයෙම පාරක් හිනාවුණා. මං ඇස් වලින් එයාව අත් නොහැරම, නොපෙනෙන තුරුම බලා හිටියා. එයාගෙ ආදරේ අමතක නොකරම, මං බෝඩිමේ දොර වැහුවා.
චිමිනි ලාම්පුවෙ දුර්වල එළිය මෙරුවෙක් එනතුරු මඟ බලා හිටියා. මං ඇස් පියාගෙන කරදර කාලෙ ඉක්මනින් ඉවර වෙන්න ප්‍රාර්ථනා කළා. ඉසියුම් සීතලක් මගේ හැම නහරකම, හැම රුධිර කේශ නාලිකාවකම ක්ෂණිකයෙන් ඇදෙන්න පටන්ගත්තා. ඉන් පස්සෙ මට මහා සුවයක් දැනුණා.
26-08-1989

12/10/16

-270- සිහින ගෙනෙන හැම රෑ ගානේ...ආදරෙයි මං ආදරෙයි... | Just Another Love Story

මේ අකුරු ඇතුළෙ සාහිත්‍යය හොයන්න අමාරුයි. ජීවිතෙයි සාහිත්‍යයි එකට ගළපද්දි, සාහිත්‍යට ඉස්සර වෙලා ජීවිතය එබෙන්න ගන්නවා. ඒ නිසා සාහිත්‍යය පැත්තකට විසිකරලා, මම මේ සටහන තුළ මගේම ජීවිතය තුරුළු කරගන්නවා.

මං එයාව ඉස්සල්ලාම හීනෙන් දැක්කෙ, අවුරුදු දහහතරක් විතර කාලෙ. මං ඒ කවුද කියලා දැනගෙන හිටියෙ නෑ. බාගෙට හදපු අත්තිවාරමක් උඩ අපි ඉඳගෙන හිටියා. කොටින්ම මං මාව දැක්කෙත් නෑ. මට මගේ මුහුණ පෙනුණෙත් නෑ. ඒත් මං මමයි කියලා හිතුවෙ, මටම නෙවෙයි කියලා විතරක් මට දැනුණා. එක හේතුවක් තමයි මට නිල් පාට මල් වැටිච්ච කිසි ඇඳුමක් නොතිබීම. දෙවනි හේතුව තමයි, අවුරුදු දහ හතරෙදි මට ඒ තරම් දිග කොණ්ඩයක් නැතිවීම. ඒත් ඒ හීනෙ ඇතුළෙ මට වැඩියෙන්ම වැදගත් වෙන්නෙ මම නෙවෙයි එයා. එයා සුදු කමිසයකට, කලු කලිසමක් ඇඳලා හිටියා. කමිසෙ උඩින් දාලා සැහැල්ලුවෙන් හිටියා.  මොකකටදෝ හිනා වෙමින් හිටියා. වචනයක් වත් කතා නොකරම බලා හිටියා. ඒත් මට මතකයි එකම එක දෙයක්. එයා යන්න ඉස්සර වෙලා, මගෙ ඔලුවට අත තියලා මා දිහා බලාගෙන හිටියා.  ඒ හීනය පුරා අමතක නොවෙන එකම දේ එයාගෙ නොනවතින හිනාවම විතරයි.

ඉන් අවුරුදු කිහිපයක් යනතුරු එයා හැංගුණා. මගෙ හීනෙ මටත් අමතක වුණා. ආයෙත් මං එයාව දැක්කෙ අලුත් හීනෙක. ඒ වෙනස්ම තැනක. වියළි තණකොළ එකක් දෙකක් අයින් වල පැලවෙච්ච.. වැල්ලවත් නැති, ගුරු පාරක. එයා මට වඩා ටිකක් ඉස්සහින්. මං ඊට පස්සෙන්.  මට ඒ හීනෙ අමතක නොවෙන එකම දේ තමයි ඔහුගෙ හිනාව. ඔහු ඒ හිනාවෙන හැම මොහොතකම මගෙ හිතට දැනුණෙ පුදුම සැනසීමක්. සිහිනයක්ද හැබෑවක්ද කියලා නොතේරෙන අප්‍රමාණ සැනසීමක්.

කවදාවත් අනෙක් අය එක්ක අවදිව හිටපු ලෝකෙදි නොදැක්ක, ඒත් හීන වලදි කලාතුරකින් මුණගැහුණ එයාගෙයි මගෙයි හීනෙ එක දවසක් විකෘති වුණා.  ඒ බටනලා පිඹින අංකල් කෙනෙක් හින්දා. එයා කලාතුරකින් අපි හමුවෙන ගුරු පාරෙ හීනෙදි, අපි අපි දිහා බලා ඉන්න එකට බාධා කරන්න පටන් ගත්තා. එයා දිගටම බට නලා වයන්න පටන්ගත්තා. ඉන්පස්සෙ අපි හමුවෙන නාගරික ගුරුපාර වෙනස් වුණේ නෑ වගේම කවමදාවත් ඔහු වයන ගීය වෙනස් වුණෙත් නෑ.

කලාතුරකින් දකින එකම හීනය එක්ක අවුරුදු කිහිපයක් ගත වුණ එක දවසක, අගනුවර ගිනිමද්දහනෙ පියවි ලෝකෙදි අපි මුණ ගැහැණා. එහෙම ප්‍රහර්ෂයක සීමාවක් කොයින්ද?

ඒත් අපි ඒ මොහොතෙ පැවතුණේ තත්වයන් දෙකක.  මම ත්‍රිමාණ ලෝකෙ. එයා ද්විමාණ ලෝකෙ. මං බිම හිටගෙන, එයා පින්තූරයක එල්ලිලා.  2011 එයා පින්තූරයකින් හම්බවෙච්ච  මුල් දවස්වලවත්, ඉන්පස්සෙ කල්ලියක් ඇවිත් කොමන් කැන්ටිමේ එල්ලපු පින්තූර අතුරුදහන් කළ දවසෙවත්, ආයෙම 2013 දි එයාව යූ ටියුබ් වීඩියෝ කැබැල්ලකින් නැවතත් හමු වුණු දවසෙදිවත්, මං දැනගෙන හිටියෙ නැති එක දෙයක් තිබුණා. ඒ එයා මිය ගිය දවස. පස්සෙ මට පුංචි සටහනකින් හමුවුණා ඇත්තටම එයා මිය ගිහින් තිබුණෙ මං ඉපදිලා මාසෙකට පස්සෙ වග. හරියටම මීට අවුරුදු 27 කට කලින් අද වගේ දවසක කොටා රෝඩ් ටර්නර් පාරෙදි එයාව බිල්ලො ඇවිත් අරන් ගියා. අද වෙනතුරු හමු වෙච්ච හැම තොරතුරකින්ම, මං මගේ හීන වල ඇවිදපු කුමාරයාව අඳුනගන්න උත්සාහ කරනවා. අපි ඉන්නෙ ලෝක දෙකකද, වෙනත් නම් දෙකකින් එකම ලෝකෙකද කියලා හරියටම නොදන්නවා වුණත් ආදරය කරන්න මට කවමදාවත් ඒක බාධාවක් නෙවෙයි.  මං එයාව කලින්ම දාලා ආපු නිසා, මා එක්ක තරහ වෙන්න හේතු තිබ්බත් තවමත් එයා නොනැවතීම හිනාවෙනවා.

එයා ගැන දන්න කවුරුවත්, මාව අඳුනන්නෙ නෑ. මං අඳුනන අයගෙන් දහසකට එක්කෙනෙක්වත් එයාව අඳුනන්නෙ නෑ. මේ ලෝකෙට අමතක වෙලා ගිය කෙනෙක් වුණත්, හැමදාටම හැමෝටම අමතක වෙලා ගියත්, මං මිය යනතුරු මට එයාව මතක තියෙනවා. සංසාරය ඇත්ත නම්, ලබන ආත්මෙදි අපි හමු වේවි.  එදා වෙනතුරු මම එයාට ලියනවා. එයා ට කතා කරනවා. එයාව මතක තියා ගන්නවා. ජීවත්වෙනවා. ඔය කාටත් වඩා මං දැන් එයාව අඳුනනවා.


කලි කාලයක් දුර මිලින තරු එළියෙන්
දුල වලා පිරිමැදි සුවඳ මුදු සුළඟින්
පාර නිතියෙන් අසනෙමි.
ඔබ කොහිදැයි විමසමි..
සැඟෙව්වාදෝ සැඟවුණාදෝ ,
කාටවත් නොකියා...
සිනා ගඟුලක සරැළි නංවා
සඳක් තුඟු අම්බරේ රංදා
සපිරිවර මැද පබා දී හිරු කැන් සලා
කොයි කොහේ ඔබ ගියේ
කඳුලු අමුණා නෙත් පුරා
දෙවරකට සිත ඉඩ නොසිත තව
සොයුරු හද මග සිටගත්ත ඔබ
කාගේ නෙතකට රසඳුනක් වෙද
හැඟුම් හිස් කළ පොළොවක
වියෝ ගී නොගයමි මම.
නොදුටු වස්සානය ගැන
එන්න සුහදේ ආයෙම
ඉඩ ලැබුණ අත්භවයක!

9/12/16

269 -විශ්ව ගම්මානයේ ළිඳ ළඟ සිට

ස්ත්‍රීවාදය නම් වචනය දේශපාලනික වන ප්‍රමාණයටම ගැහැණුකම යන්න බායාදු වන වචනයකි. මේ කොයි වචනයෙනුත් හඳුන්වන්නේ ස්ත්‍රීත්වයට හිමි වටිනාකමේ වපසරියයි. සයිබර් ලෝකය තුළ පිරිමි අනන්තවත් අපහාසයට ලක්වුවද ඒ අපහාස මත එල්ලි එල්ලී සිටිමින් එය ඉදිරියට රැගෙන යාමට පිරිමින් සැමවිටම මැලි වෙයි. එහෙත් ස්ත්‍රියකට යම් අපහාසයක් වේ නම් එය නැවත නැවතත් සිහිකරමින්, විඳිමින් කාමුක ප්‍රචණ්ඩත්වයටම යන තෙක් අපහාස කිරීමට සයිබර් ලෝලීහු කිසිවිටකත් මැලි නොවෙති. සරලවම එය විරුද්ද ලිංගික ආකර්ෂණයෙන් මඩනා සිතිවිලි පරම්පරාව නිසා සහ ලිංගික ඉරිසියාව නිසා ඇතිවන්නක් බව බොහෝ මනෝවිද්‍යාඥවරුන්ගේ මතයයි.
සයිබර් ප්‍රචණ්ඩත්වය යනු අලුත් දෙයක් නොවන්නේ සයිබරය හරහා ගනුදෙනු කරන සියල්ලෝම මිනිසුන් වන නිසාය. සාමාන්‍ය සමාජය තුළ වුවද ප්‍රචණ්ඩත්වය සෑමකාලයකදීම දක්නට ලැබෙයි. යම් සිදුවීම පුවතක්ව පැතිර යන උපරිම ප්‍රදේශය දක්වා එහි උපහාසය ද අපහාසය ද පැතිර යයි. එය කාන්තාවක් කෙරේ බැඳෙන්නේ නම් පැතිරයාමේ වේගය සහ ප්‍රදේශය ඉතා වැඩි වේ. එයට හේතුව පිරිමින් පුවතට දෙන තටු රැගෙන වේගයෙන් ඉගිලීමට අනෙක් කාන්තාවෝ ද බොහෝ විට බලා සිටින බැවිනි.
කාන්තාවකට සිදුවන යම් ගැටලුවකදී, ඒ වෙනුවෙන් පෙනී සිටීමට කාන්තාවෝද බොහෝ විට මැලිවෙති. මන්ද යත් ඒ සාමුහික අපහාසයට ඇති බිය සහ සිය වර්ගයා කෙරෙහිම ඇති තද බල ඉරිසියාව  නිසාය.
පවතින සමාජ උපනතියට ගෝචර නොවන යමක් යම් මිනිසෙක් හෝ ගැහැණියක් විසින් සිදු කිරීම අනෙකුත් ජනසමාජයේ උපහාසයට මෙන්ම අපහාසයටද ලක්වීම ස්වභාවිකයැයි සැවොම සිතති. එය වැරදිද නිවැරදිද යන්නට වඩා එය අපූර්ව බවකින් යුක්ත වීම මූලික ගැටලුව විය හැකිය. මේ දින වල නිරන්තරයෙන් කතාබහට ලක්වන සමාජ සිද්ධි බොහෝමයක් මින්පෙර නොදුටු විරූ නිසා සහ ප්‍රථමයෙන් පුවත් බවට පත් වී දෙවැනුව එක් එක් සමාජ මට්ටම් අතරට ගොස් වෛරසයක් මෙන් ව්‍යාප්ත වී ගිය නිසා එම සිද්ධි වලට අනන්‍ය වටිනකම් එක් විය. එවිට සමාජ ශෝධනීය අරමුණ නැමති අයිසිං තට්ටුවෙන් වසා ගත් වෛරය සහ අනියත භාවය නැමති ගොම පිඬ ගඳ ගස්සනු ලබන්නේ සමාජයේ මානවයාට ඇති හිමිකම් සමූහයයි.
මානවයා වහල් සමාජයෙන්ද වැඩවසම් සමාජයටද , ඉන් ධනේෂ්වරය සමාජයට පිවිසි අතර නීතිය යන්න බිහි කරගත්තේ සත්වයාට වඩා තමා ඉහළින් සිටින නිසාය. යම් වරදක් වේ නම් එයට දඬුවමක් තිබිය යුතුය. ප්‍රසිද්ධ ස්ථානයක නොහොබියැයි සම්මත වචනයකින් හෝ හැසිරීමකින් යමෙක් අපහසුවට ලක්වේ නම් එයට ක්‍රියාත්මක විය යුත්තේ නීතියයි. එහෙත් අද එය වීඩායෝවක් ලෙස අප්ලෝඩ් වන අතර, සයිබර් සමාජ ශෝධක සුදු රෙඳි හැඳගත් ඉච්ඡා භංග චරිත මහා විරුවන් සේ ඒවාට එරෙහිව නැගී සිටිති
මත ප්‍රකාශ කිරීම හා සංවාදය යනු සැබැවින්ම මානවීය ගුණ ඉස්මතු කරන, මානව සබඳතා ඇති කරන සහ තර කරන සංසිද්ධියක් වුවද ඒ හරහා පීඩාවට පත් කිරීම්, පහර ගැසීම් කොයිතරම් දුරට ගරු කටයුතු සමාජයකට උචිතදැයි කල්පනා කළ යුතුය.
අද වන විට සයිබර් අවකාශය මිනිසුන් විසින් සීමා විරහිතව සිය නිවස්න කරගෙන ඇති බැවින් එදාට වැඩි වේගයෙන්, සීමා මායිම් රහිතව පුවතක් පැතිර යාමේ වේගයක් පවතී. මෙකී ප්‍රදර්ශනාත්මක සමාජය තුළ අනෙකාගේ වින්දනය සහ පුද්ගලිකත්වය සයිබර් ප්‍රේක්ෂකයන් බොහෝ විට ගරු නොකරයි. එයට හේතුව තමාට වෙනත් පෞරුෂයක් දැරීමට මෙකී අවකාශය තුළ ඇති හැකියාවයි. මෙහිදී එවන්නන්නට ඇනොනිමස් හෝ සුඩොනිමස් ආදී භාවයන්ගෙන් පෙනීසිටීමින් සැබෑ ලොවේ තමන් තුළ වෙසෙන, එහෙත් සියත්ව යටපත් කරගත් තිරස්චීන සිතිවිලි එළිදක්වා ගැනීමද හැකියාව පවතී.
සයිබරය තුළ දේවල් උපදින්නේ නැත. ඒවා ගෙනත් දමන ලද ඒවාය. ඒවා ගෙනත් දමන අයගෙන් මුලින්ම මානව හිමිකම් ප්‍රශ්න කළ යුතුය. තමාගේ කෙනෙක්ට මෙනැන්නක් වන විට එරෙහිවීම කෑගැසීම මෙන්ම අනෙකාටද ඒ වේදනාව ඒ හා සමානවම දැනෙන බව තේරුම් ගැනීමට තරම් අපට බුද්ධිමත් විය යුතුය. අවසානයේ මැක්කාගේ කතාව මෙන් දිගු කාලීනව යුද්ධයක් පැවති රටකට මෙය තරමක් අපහසුය. මන්ද යත් ප්‍රචණ්ඩත්වය තුළම ජීවත් වූ මිනිසුන් එකී ප්‍රචණ්ඩත්වය නැති තැන කරකියාගත නොහැකි තැනට පත්වී සිටී. ලංකාවේ මාධ්‍ය කලාව තුළද මෙවැනි දේ අලවි වන්නේ ඒ හේතුව නිසාම විය යුතුය. කෙසේ වෙතත් සයිබර් ප්‍රචණ්ඩත්වය අවම කිරීමට නම් සමාජ සාමුහික තුළ පවතින ප්‍රචණ්ඩත්වය මුලින්ම අවම කළ යුතු බව සහ ස්ත්‍රීය පුරුෂයාටද, පුරුෂයා ස්ත්‍රියටද, ස්ත්‍රීය ස්ත්‍රියට සහ පුරුෂයා පුරුෂයාටද අධ්‍යාත්මීයව ගරු කරන සමාජයක් නිර්මාණය කිරීම අත්තිවාරමේ සිට ඇරඹිමට සියලු දෙනාගේ අවධානය යොමු විය යුතු බව විශ්වාස කරමි.

9/4/16

-268- The Narrow Road to the Deep North | උතුර දකින පටු පාරක්


The Narrow Road to the Deep North is the title of both Flanagan's Booker Prize-long listed sixth novel and a book by seventeenth-century Japanese poet Basho. The Narrow Road to the Deep North is the novel in an advanced and showy state of dissolution. It is as though the contemporary novel, like as movie.
- Back Cover- 
In the despair of a Japanese POW camp on the Burma Death Railway, surgeon Dorrigo Evans is haunted by his love affair with his uncle's young wife two years earlier. Struggling to save the men under his command from starvation, from cholera, from beatings, he receives a letter that will change his life forever.
This is the story about the many forms of love and death,of war and truth, as one man comes of age, prospers, only to discover all that he has lost.
----
This novel will tell you a story and give you some sense of what it might be like to see a different cut-out and perspective of the world. You might be like it. So you should read. 
Somehow I want to thank one handsome young man who took this book for me 
ආදරය මෙන්ම මරණයද බොහෝ භූමිකාවන් ස්පර්ශ කරමින් අප කරා පැමිණිය හැක. සත්‍යය සැම විටකම යුද්ධයකට සමානය. ලෝකය දකින්නට ඔබට අවශ්‍ය නම් ඔබ විවිධ මානයන් ස්පර්ශ කළ යුතුමය. රසවීඳීම ඇත්තේ ඔබ තුළමය.
මෙම නවකතාව Man Booker සම්මානයෙන් පිදුම් ලබද්දි, එහි විනිශ්චය මණ්ඩලයේ හිඳ ගත් A.C Grayling මෙසේ උදානයක් කර සිටියි.
“ සමහර වසර වල ඉතා හොඳ කෘතිහු සම්මානීය වෙති. එහෙත් මෙවර අග්‍රකෘතියක් පැමිණ එය අත් පත් කර ගති."


8/31/16

-267- මාකේස් සහ සේළරුවා

GABRIEL නැමැති ඔහුගේ නමින් මට සිහිපත් කරන්නේ දේවදූතයාය. MARQUEZ යන්න ඇසූ පමණින් මා සිතට නැගෙන්නේ ඉන්දජාලික පන්හිඳයි. මේ නම් ද්විත්වයම එකතු පහදු කිරීමෙන් හැදෙන ඒ අද්විතීය නාමය හිමි මායාවී ලේඛකයෙකි.ඒ GABRIEL GARCIA MARQUEZ ය. ගබිරියෙල් ගර්ෂියා මාර්කේස් මනුෂ්‍යත්වයේ සිතිවිලි හා හැඟීම් අතැඹුලක් කොට අකුරු වලින් චිත්‍රයට නගන්නෙකි. ඔහුගේ පන්හිඳක් යැයි පෙන්වන මායාවී තෙලිතුඩින් චිත්‍රණය කළ ඉතා සුන්දර කතා පුවත් වලින් එකකි The Story of a Shipwrecked Sailor. 

එය 1982 දී නොබෙල් සාහිත්‍ය ත්‍යාගයෙන් පිදුම් ලද ඔහුගේ නිර්මාණාවලියේ චූල කෘතියක් ලෙස හැඳින්විය හැකිය. එහෙත් මුල සිට අග දක්වාම බොහෝ ජීවන යතාර්ථයන් සියුම්ව මෘදුව පෙන්වීමට එම කෘතිය සමත්වේ. විදර්ශන ප්‍රකාශකයන් විසින් මුද්‍රණය කළ පියල් ජයරත්න ගේ සිංහල පරිවර්තනයද මාර්කේස් ගේ ඉන්ද්‍රජාලික බව නොනසා පවත්වා ගැනීමට සමත් වීම පිළිබඳව සැබවින්ම කෘතඥවිය යුතුය. 


Caine Mutiny සිනමා පටය බලපු මොහොතෙහි පටන් ඔහු සිටියේ ඉතා නොසන්සුන්වය. බොගෝටාවේ කුඩා දරුවෙකුව වෙසෙන කාලයේ කොතරම් පින්තූර පොත් කියවා තිබුණත්, කිසිවෙකුටත් මරණය මහ මුහුදේදී හමුවිය හැකි බව විශ්වාස නොකළ අයෙකි ඔහු. එහෙත් ඒ සිනමාපටය නැරඹු දා පටන් ඔහු මුහුදු සංචාරයට බියවූයේය. මේරි ඇඩ්රස් හෙවත් ඇල්බාමා හී මොබීලේ නුවර මුණගැසුණු සුන්දරිය මාස අටක් ඔහු හා පෙමින් වෙලුණු ආදරිය, බාගෙට ස්පාඥ්ඥ තේරෙන පෙම්වතිය වූ ඇගෙන්  සමුගෙන යළිත් ගම් රට එන්නට නැව් නගින දා ඔහු දරදඬු තීරණයක් ගෙන සිටියේය. කිසිවිටෙකත් සේළරුවෙක් ගන්නට ඉඩක් නැතැයි සිතිය හැකි තීරණයක් ගෙන සිටියේය.

ඔහු නැවත මුහුදු නොයන්නට තීරණය කළේය. චිත්‍රපටයකට මේතරම් දෙයක් කළ හැකිද යන්න ඔබ විශ්වාස නොකරනු ඇත. එහෙත් එය සිදුවී තිබුණි. සැබෑ ජීවිතය තුළ සිදුවූ කතා පුවත් වුවද සාහිත්‍යට නැගෙද්දී එයට ගැබ් වන මායාවී රටාවන් ගැන කාට නම් අනාවැකි කිව හැකිද? ඒවා ඇත්තේ ලියුම්කරුවාගේ හෝ සාහිත්‍යධරයාගේ අභ්‍යන්තරයේම නොවේද?

කෙසේ වෙතත් එය ඔවුන්ගේ අවසාන මුහුදු ගමන බවට පත් කළ යුතු බැව්  කැරබියන් මුහුද , සුළඟ සමඟ කලින් කථිකා කොට සිටියේය. කැරබියන් මුහුදේ ප්‍රචණ්ඩ කුණාටුවකින් සිය නෞකාව එහි සිටි සගයන් සමඟ සාගර ගැඹුරේ ගිලී යන අයුරු බලා සිටින්නට ඔහුට නියමිත විය. ඉච්ඡාභංගත්වයේත්, වේදනාවෙත්, සා පිපාසාවේත් නෙැගැණිය හැකි තරම් සංකාකූල දීර්ඝ හෝරා ගෙවා දැමීමට ඔහුට නියමිත විය. සියල්ල හා සටන් කිරීමට ඔහු සතු ධෛර්යය දෛවය විසින් මැන බැලීමට එතැන් සිට නියමිත විය. මේ නවකතාව එක්තරා ආකාරයක හුදකලා ප්‍රීතියක් සිතට රැගෙන එයි. එමෙන්ම අප්‍රාණික ජීවිතයක් සප්‍රාණික කිරීමට මෙවන් සාහිත්‍යකරුවන්ගේ පොත් වලට හැකියාව ඇත. මාර්කේස් නොබෙල් ත්‍යාගය ලැබීම ගැන ආඩම්බර වෙමි. ඔහුගේ ලිවීමට පෙම් බඳිමි. 

8/26/16

-266- මගේ විජයන්ති | The Smell of lavenders


"කෙල්ලෙක්ට තමන්ට පණටත් වඩා  ආදරේ කරන කොල්ලාව මුණ ගැහෙන්න ඕනෙ නම් කැන්සර් එකක්, බ්‍රේන් ටූමා එකක් නැත්තම් අඩුමතරමෙ නිව්මෝනියාවත් හැදෙන්නම ඕනෙ. "  

කවුද පළවෙනියාටම බස් එකට නගින්නෙ කියන එක කවුරු හරි තෝරලා තෑග්ගක් දෙනවා කියලා එනවුන්ස් කරලා තිබ්බා වගේ ෆිල්ම් එක ඉවර වුණ ගමන් මිනිස්සු එළියට දුවන්නෙ. චිත්‍රපටියෙ නාමාවලිය  විශාල තිරය උඩ බෑඟිරි ගැහුවත්, කාටවත් ඒ දිහා හැරිලා බලන්නවත් වෙලාවක් තිබ්බෙ නැති ගානයි. මිනිස්සුන්ට චිත්‍රපටියක් බලලා ඉවර වුණාම එන මේ හදිස්සිය පටන් ගන්නෙ කොතනින්ද කියලා මට නම් තාම හිතා ගන්න බෑ. ඉතිං ඒ නිසාම මට ඇරෙන්න කාටවත් විජයන්තිගෙ රුවන් වැකිය ගැන හාංකවිස්සියක් තිබ්බා කියලා මං හිතන්නෙ නෑ.

විජයන්ති කියන්නෙ ඔෆිස් එකේ උන් කියන විදිහට අපේ බොස් ගෙ හොර ගෑණි.   හැබැයි විජයන්ති මගෙ හොඳ ගෑණි. ඔෆිස් එකේ උන් කියන විදිහට මගෙ ළමයා බොස් ගෙ. බොස් හිතා ඉන්නෙත් එහෙම. එහෙම හිතන් ඉන්න එකට මම හිත යටින් කැමතියි. මගෙ පඩි පැකට් එකේ බරින් මගෙ කොල්ලට අරන් දෙන්න බැරි ජීවිතේ බොස් හරහා කොල්ලාට ලැබෙන එකට මට හරි සතුටුයි.

විජයන්තිට හතළිස් හයක්. දැන් බොස් ට විජයන්ති ගැන හැඟීමක් නෑ. මේ කාලෙ උන්දැගෙ කරුණාව දැවටෙන්නෙ ඉරෝෂිණි ට. ඉරෝෂිණීට මමත් කැමතියි.  එයා එනකොට පළාතම ලැවැන්ඩර් සුවඳයි. මං අඳුනන ලැවැන්ඩර් සුවඳක් නං නෑ. ඒත් ඒ සුවඳ කුප්පියෙ මං දැක්කා ලැවැන්ඩර් කියලා නම අලවලා තියනවා. මං දන්නෙ නෑ ඉරෝෂිණි වුණත් ලැවැන්ඩර් සුවඳ අඳුනනවාද කියලා. ඒක පිට රටක සුවඳක් නිසා. හැබැයි විජයන්ති ගාව නම්, හවසට එන ඉඳුල් ගඳටයි, උදේට එන කුණු කෙළ ගඳටයි අමතරව මට එන්නෙ දහඩිය සුවඳ විතරයි.

විජයන්ති පුතා ලැබුණාට පස්සෙ රස්සාවෙන් නැවතුණා. මම නම් තාම එතනමයි.  මට ලැජ්ජාවක් නෑ කියලයි අපේ කුඩම්මා නම් කියන්නෙ, අතින් අත ගිය එකියක් කර ගැහැව්වා මදිවට තවත් එතනම ඉන්නවාලු.

මං විජයන්තිව බඳිනවාට ඒ කාලෙ හැටියට බොස් මට ලක්ෂ හතරක් දෙන්න පොරොන්දු වුණා. තාත්තා රේස් සුදූ කෙළලා  උගස් කරපු ගේ සින්න වෙන්න මාසයක් තියෙද්දි ආපු මේ යෝජනාව එක්ක මට විජයන්තිව පෙනුනෙ සංවර්ධන වාසනාව වගේ. ඒ වෙද්දිත් විජයන්තිගෙ කුසේ දරු ගැබක් සංවර්ධනය වෙවී තිබ්බා. එකයි බොස් හදිසි වුණේ. ඒත් විජයන්ති මගෙ ගාවට එද්දි කුස හිස් වෙලා. විජයන්ති කරපු දාහක් ජාති වලින් මොකක් හරි එකක් බලපාලා දරුවා නැතිවෙලා.

ටික කාලයක් විජයන්තිව නොදැක ඉඳලා අවුරුද්දකට දෙහෙකට පස්සෙ දරුවා දැකපු නිසාද මන්දා බොස් ට මේ ඉන්නෙ අපේ දරුවෙක් කියලා නිනව් නැති වුණා. ඒකයි බොස් මගෙ දරුවාට මේ හැටි සලකන්නෙ.

විජයන්ති ඉස්සර හරිම හැඩයි. ඒ දවස් වල විජයන්ති ට කොල්ලෙකුත් හිටියාලු. ඒත් බොස් ගෙ අයුතු බලපෑම් ආරංචි වෙච්ච නිසා ඒ ළමයා මඟ අරින්න ගත්තාලු. විජයන්ති බොස් ළඟ හිටියෙත්, මාව බැන්දෙත්, දැන් ජීවත් වෙන්නෙත් සතුටින් නෙවෙයි කියලා මං හොඳටෝම දන්නවා. ඒත් ඒක විජයන්ති කියන විදිහටම විජයන්තිගෙ කරුමෙ නම්, මං මක් කරන්නද? මොකෝ ඒක වෙනස් කරලා කොටන්ඩ මං බ්‍රහ්මයාද?

ඒත් විජයන්ති කියපු  කතාවෙන් මගෙ හිත කීරි ගැහිලා ගියා. විජයන්ති මැරුණොත් කියලා එකපාරටම බයක් දැනුණා. බොස්ට වගේ සල්ලිත් නැති රූපෙත් නැති මට විජයන්ති නැති වුණොත් වෙන ගෑණියෙක් කොයින්ද.
ගෙයි උගස බේරුවෙ විජයන්ති නිසා. දරුවත් මගෙ ලේ. විජයන්ති මට හැම යුතුකමක් ම ඉස්ට සිද්ධ කරනවා. මං ඒකිට ආදරේ කරන්න ඕනෙ නේද කියලා මුල්ම වතාවට මට හිතුණා.

අවුරුදු පහළවකට පස්සෙ අපි පළවෙනියටම බලපු මේ චිත්‍රපටියෙ අන්තිමට යන නාමාවලියෙ අවසාන හරියත් ඉහළටම යමින් තිබ්බා. ශාලාවෙ බල්බ් ඔක්කොම සුදු පාටින් පත්තුවුණා. මොහොතකට කවුරුවත් ශාලාවෙ හිටියෙ නැති නිසා මං ඈට ළං වුණා. ඈ ළඟින් හමා ආවෙ කොල්ලාගෙ කැන්වස් පොලිෂ් එකේ සුවඳ. ඇඟිලි කරුවල තැවරුණු කලු පොලිෂ් කෑලි සුදු එළියට දිලිසුණා. යන ගමන් විජයන්තිට සුවඳ කුප්පියක් අරන් දෙන්න ඕනෙ කියලා මට එක පාරටම හිතුණා.

-නෙරංජි ඒකනායක -

8/23/16

-265- කර්ණගේ විලාපය

එදා මං ආවෙ ඔබ අත රැගෙන යන්ට නොව
මිතුරාගෙ උදව්වට පමණමයි..
ඒත් මාධව් දුන්නු ධර්ම අභියෝගයෙන්
යළිත් මා ආවේ මා පිණිසමයි..
නිල් අහස මහ පොළව යා කෙරූ මායාව 
එක ලෙසින් දුටුවෙ ඇස් හින්දමයි
කිසිවෙකුට තවදුරට ජයක් හිමි නොවන
ඒ තරඟයේ ජය තිබුණෙ මා ළඟයි..


කිදිම දවසක නුඹේ ඇස් ඉදිරියේ නුදුටු
කුමරුවකු ගැන ඇසූ නාමයෙන්
මුසපත්ව සිටිය වග නොදන්නෙමි සොඳුරියේ
ඔහු කෙරේ බැඳි නොතිත් ප්‍රේමයෙන්..
ස්වයංවර මංගල්ලෙ දකින්නට රැස්ව සිටි
මිනිස් කැළ අභිමුවේ හදිසියෙන්
අවමාන කළේ මට රථාචාරියා යැයි
ඔබයි පංචාලියේ වෛරයෙන්....
ගෞරවය සිඳෙද්දී දුන්න මම අත් හළෙමි
ඉලක්කය බොඳවෙලා පෙනුණා..
ඉරත් වෙව්ලුම් කන්න හද වේදනා දෙද්දි
නුඹ අර්ජුන ගෙ දෑතෙ වෙලුණා..
කල් ඉකුත් වෙලා ගිය තුවාලය රිදුම් දුණි.
අනේ මම කැළැල් උඩ දැවුණා..
මගේ ගොරහැඬි වචන තුළ නිතර නුඹ නමට
ඉකිබිඳපු කඳුළු බිඳු තිබුණා..

- කතාපුවත -
දුර්යෝධන් සමඟ ඔට්ටු අල්ලන පාණ්ඩව වැඩිමහල් සොයුරු යුධිශ්ධීර් සියල්ල පරාජය වෙයි. එබැවින් ද්‍රෝපදී නම් කුරු වංශයේ කුලදියණිය සහ පාණ්ඩවයන් ගේ බිරිඳ වන ද්‍රෝපදී දාසියක් ලෙස පාවා ගැනීමට දුර්යෝධන් සැරසෙයි. දුර්යෝධන් තම සොයුරු දුෂ්ශාසන් හට ඇය නිරුවත් කරන ලෙස අණ කරයි. එහිදී පාණ්ඩවයන් එසේ නොකරන්නයි විරුද්ධ වද්දී අංග රජු වන කර්ණ නැගී සිටියි. ඇය පිරිමින් පස්දෙනෙකු සමඟ දිවි ගෙවන බැවින් ඇය වෛශ්‍යාවකට වඩා වෙනස් නොවන බව ඔහු පවසයි.
මේ සිදුවීම සිදුවන්නට වසර ගණනකට පෙර පංචාලයේ දි ද්‍රෝපදී ගේ ස්වයං වරය සිදු විය. එහිදී මායාවකින් තනා තිබූ දුනු තරඟයෙන් ජයගන්නාට ද්‍රෝපදී විවාහ කරගැනීමට වරම් ලැබිණි. ක්‍රිෂ්ණා දෙවිඳුන් විසින් ඇය විවාහ විය යුත්තේ අර්ජුනා සමඟ බව යැයි පෙර සිටම ද්‍රෝපදී ට කාවද්දා තිබිණි. එම නිසා එහිදී ඇය අර්ජුනාගේ පැමිණීම අපේක්ෂා කරමින් සිටින විට කර්ණ තරඟයට පිවිසියේය. මුලින් ඔහු පිවිසියේ සිය මිතුරා වන දුර්යෝධන්ට ඇය දිනා දෙන්නට වුවද, එයට පංචාලය විරුද්ධ වෙයි. එය අධර්මවාදී බව ඔවුන් පවසයි. එබැවින් දුර්යෝධන් සිය මිතුරාටම ද්‍රෝපදී දිනා ගන්නා ලෙස ආරාධනා කරයි. නැවත තරඟයට පිවිස් කර්ණ අනිවාර්යයෙන් ජය ගන්නා බව ක්‍රිෂ්ණා පවසන බැවින් ද්‍රෝපදී කර්ණ ට තරඟ නොකරන ලෙස විරුද්ධ වෙයි. ඇය ඔහු රජෙකු වුවත් රථාචරියෙකු පුත්‍රයෙකු බව පවසා අවමන් කරයි. කර්ණ තරඟය නවත්වයි. පසුව අර්ජුනා පැමිණ තරඟය දිනයි. එහෙත් ජයග්‍රහණයෙන් අනතුරුව අර්ජුනාට සිය සහෝදරයන් පස්දෙනා අතර ම ද්‍රෝපදී බෙදා ගැනීමට සිදුවෙයි.
ඔට්ටුව දා කර්ණ පිට කරන්නේ ද්‍රෝපදී මහා ජනකායක් ඉදිරියේ තමාට දුන් වේදනාවයි.

8/22/16

-264- හිතනලන්තයෙන් පියාඹා ආ ගම්බිරිස් කුරුලු වස්තුව

- Stressed සහ Desserts අතර ඇත්තේ අකුරු පිළිවෙලේ වෙනස පමණක්ය -

පොත ලියූ කාංචනා අමිලාන්ට තුති ය.
“තනිකරම ඔයාගෙ නොහොබිනාකමට මං ගැන අකුරක්වත් නොලියා හිටිය එක වැරදියි“. පොත් රාක්කයෙන් එළියට පැන පොතක් බැන අඬ ගහන කෘර මොහොතක් ඔබ අසා තිබේද? ඒ දවස් වලම මේ ගැන කතා කළ යුතු වුවද නොයෙක් ප්‍රශ්න වලට මුහුණ දී , අමනාපයට පත් මිසිස් සමරසිංහ අවසානයේ ප්ලාස්ටික් සර්ජරියක් කර ගැනීම නිසා සමාජයට මුහුණ දීම නතර කළ බව දැනගැනීමෙන් ඇරඹුමම කඳුලක් විය.
කෙසේ වෙතත් එළියට පැන කෑ ගසීමේ අසංවරකම ගැන පසුතැවිලි වෙමින් අසමජ්ජාති “ගම්මිරිස් කුරුල්ලා “ ගැන ලිවීම මම මෙසේ අරඹමි.
ගම්මිරිස් කුරුල්ලා පොත උපදින්නේ කාංචනාගේ හිතන ලන්තයේ බව නොදන්නා කෙනෙක් සිටීනම්, මුලින්ම හිතන ලන්තය කියවා පැමිණිය යුතුය. හිතනලන්තය ඇත්තේ, ග්‍රීන්ලන්තයට නුදුරු ආක්ටික් සාගරයේ මුහුදූ සීමාවෙන් කිලෝමීටර් එකසිය පනස් හයක් දකුණට වන්නට පිහිටි තැනක බව මගේ පුද්ගලික විශ්වාසය වේ. කාංචනාගෙන් ඇසුවොත් ඇය වෙනත් තැනක් කියන අතර, ඇගේ කුරිරු අරමුණ ආයෙ නොඑන්නට එහි ඔබව අතරමං කිරීමය.
ගම්මිරිස් කුරුල්ලා දුඹුරු පාට කවරයක් සහිත පොතකි. එය හරිම ගොරහැඩිය. හරියටම ගම්මිරිස් කුරුල්ලෙක් ගේ පිටක් වගේය. එහෙත් කාංචනාගේ අකුරු පුදුම විදිහට මටසිලිටිය. කාංචනාගේ අකුරු තුළ මැජිකල් රියැලිසම් වල පීක් එක ඇති බව ට ඒ දවස් වල ෆේස්බුක් එකේ ස්ටේටස් එකක් ගියේය. ඒ දවස් වල මැජිකල් රියැලිසම් ගැන මෙලෝ දෙයක් නොදත් මා, මුලින්ම ඒ මොනාදැයි ඉගෙන ගන්නට විය. ඒ අතරමග දවසක කාංචනා අපේ අතට මේ පොත දුන්නාය. ඇයගේ සිත තුළ උපන් මායාවී කෙටි කතන්දර දහයක් මේ පොතේ තිබිණි. ඉන් පළමු වැන්න නිරුවත් වීමේ භීතිකාව සහ ආසාව අතර දෝලනය වන සිහින දකින්නන්ගේ කතන්දරයයි.
එතැන් සිට එකකට එකක් වෙනස් අමුතු විදිහේ මුල මැද අග හිතා ගන්නට බැරි මයා ලෝකයෙන් ගෙනා එහෙත් ඇත්තට සමාන කතා දහයක් එක පෙළට කියවීමි. කිසිම මහන්සියක් අවසානයේ නොදැනුණු අතර, බරක්ද නොවීය. මේ පොත අධික රුධිර පීඩනයට, හදවත් අමාරුවලට මෙන්ම කුඩා හෙම්බිරිස්සාවකට පවා ලබා ගත හැකි වටිනා බෙහෙතක් ලෙස වෛද්‍යවරු නිර්දේශ කළ යුතුය. කාංචනාගේ ගම්මිරිස් කුරුල්ලා එලිලිය යුත්තේ පොත් කඩයක නොව ෆාමසියකය. එසේත් නැත්තම් අතුරුපස වෙළඳ සැලකය. එය ඒ තරමට රසවත් ය.
ඇය හොඳම වචන හොඳ පෙළට යෙදීමට උපන් හපනියකි. මුල මැද අග හැම තැනක්ම චොක්ලට් අයිස්ක්‍රීම් මෙන් පුදුමාකාර රසය. මස්කට් කෑල්ලක් මෙන් මෘදුය. ඉතිහාසය පවා අලුතින් ලියන්නේ මේ වැනි ලියන්නියෝය. මෙතෙක් ඔබ යම් යම් දර්ශන වලට එළැඹෙමින් එක් එක් පොත් කියවන කෙනෙක් නම්, ඒ සමඟ කාංචනාගේ පොත නොකියවිය යුතුයැයි මම ඔබෙන් දණගසා වැඳ ඉල්ලා සිටිමි. ඔබ ඇඳ සිටින්නේ සාරියක්ද, ලුංජියක් ද, ඇලඩින් කලිසමක්ද, යන්න මායාවක් අතපත ගෑමට අදාළ නොවන්නේ යම් සේ ද, ඔබ එළැඹි දර්ශනයද මෙකී මායාවන්ගේ පහස විඳීමට නොවැදගත්ය. අවැසි වන්නේ ඔබට ඇති කියවීමේ හා දැකීමේ නොතිත් ඕනෑකමයි. කාංචනාගෙන් ගම්මිරිස් කුරුල්ලා අඳුනාගත් අයද, ගම්මිරිස් කුරුල්ලාගෙන් කාංචනා අඳුනා ගත් අයද යන දෙගොල්ලෝම මේ කෘතියේ සමාන අයිතිකරුවෝ වන්නේ ඒ හින්දාම විය යුතුය. ආතතියෙන් පෙලෙනා හැම කෙනෙක් වෙනුවෙන්ම ඉදිරියටත් සීතල පැණිරස අතුරුපස අකුරු වලින් මවන්නට කාංචනාට හැකි වීම අපේ ප්‍රාර්ථනයක් විය යුතුය.
-නෙරංජි ඒකනායක-
[පීන්තූරය ලේඛිකාවගෙන්ම නොඅසා ගත් එකකි]

8/21/16

-263- රැජිණ කියවීමි!

නවකතා යන්න විග්‍රහ කිරීමේදි, එය තව දුරටත් දිග කතාවක් නොවන බව අපි දනිමු. එය යම් සමාජයක පැති කඩක් , මිනිස් චරිත හා මනෝභාවයන් විග්‍රහ කරමින් දිගහැරෙන සෞන්දර්යාත්මක වදන් හරඹයකි. එය කතන්දරයක් කීමකට වඩා වෙනස් වන්නේ එබැවිනි. කෙටියෙන්ම එය යතාර්ථයට වැඩි නැඹුරුවක් ඇති, එහෙත් අවශ්‍ය මොහොතක අරුමැසියද යහමින් ස්පර්ශ කළ හැකි සාහිත්‍ය ශානරයකි. 
මම රැජිණ නවකතාව කියවීමි. ඉන් තෘප්තිමත් නොවූ පාඨකයන්ගේ කුලකයේ සිටිමි. මොහාන් රාජ් මඩවල මහතාගේ පෙර ලියන ලද නවකතාද කියවා අසංතෘප්තියට පත් වූ අයෙක් වූණ මුත්, මා මෙම නවකතාව ඉක්මනින්ම මිලදී ගන්නට පෙළඹෙන්නේ එය කියවා ඇතැයි සියත්ව ප්‍රකාශ කළ පාඨකයන්ගේ ප්‍රකාශයන් කෙරෙහි පැවති හුදු විශ්වාසයෙනි. 

යම් කාලයක් නිහඬව සිට කරන ලද නිර්මාණයක් ලෙස මෙම නවකතාව හරහා ලේඛකයා සිය ලිවීම කාර්යය තුළ මහා වෙනසක් සිදු කර ඇතැයි සමහරු කියා තිබෙනු මම දුටිමි. එහෙත් නවකතාව කියවා අවසානයේ මා ඒ ලේඛකයා තුළ අංශක එකසිය අසූවක් අනිත් පැත්ත ගැසූ ආඛ්‍යාන වෙනස නම් නොදිටීමි. 
සැබවින්ම නවකතාව තුළ මායාවී කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබුණත් එය පරිකල්පනයකට එහා ගිය ව්‍යාජත්වයක නතර වී තිබිණි. සිද්ධි ප්‍රතිනිර්මාණය කිරීමේදී ඔහු වඩාත් අදක්ෂ වන්නේ, ඔහු සතුව ඇති දිළිඳු වාග් කෝෂයේ ශාපයෙනි. එකම ආකාරයේ ඡේද ගණනක් පිටු 300 කට අඩු මේ පොත තුළ මම දකිමි.
අභය සහ නාගවර්ණ දෙදෙනා ගැන සිදු කළ පිටු ගණන් විස්තර කතාවට විශාල අගයක් ගෙන එන්නේ කොතනින්ද යන්න පාඨකයෙක් ලෙස මට අපැහැදිළිය. ඔවුන් දෙදෙනා දොරටු පාලයන් ලෙස මැරී වැටෙන්නට පෙර වුවද දෙවොල තැනීමේ කාර්යයයේ දි හා දර කැටි තිස්ස යුව රජ ව මමියක් බවට පත් කරන කාර්යයයේදී ද ඔවුන් මහා මෙහෙයක් කරන්නේ නැත. මෙවැනි නවකතාවකට එතරම්ම බලපෑම් නොකරන චරිත කෙරෙහි හා ඔවුන් මෙන්ම ඔවුන්ගේ කතා ගැන වචන නාස්තිය නවකතාව සැහැල්ලු කරන්නක් නොවේද? ඔවුන්ට වඩා වාසුකී පිළිබඳ මීට වඩා චරිත හා මනෝභාව නිරූපණයකට ඉඩ පාදා ගත්තේ නම් කර්තෘ තරමක් දුරට හෝ සාර්ථක වන්නට ඉඩ තිබිණි. 
එමෙන්ම නවකතාවේ ආරම්භය එතරම් සිත් අදනා එකක් නොවන අතර, පාඨකයා සිය ක‍ෘතිය කියවීම උදෙසා ග්‍රහණය කර ගැනීම ලේඛකයාගේ අරමුණ වී නොමැතිදැයි සැකයක් මතුවේ. පොත මිලදී ගැනීම කෙරෙහි සිය ග්‍රාහකයාට ප්‍රබල බලපෑමක් කරන කර්තෘවරයා, පොත අතට ගත් තැන සිට සිය ග්‍රාහකයා වන පාඨකයාව අත්හැර දමයි.

ස්ත්‍රිය නිරූපණය කිරීමේදි සිය පෙර නවකතා වලට සාපේක්ෂව කර්තෘවරයා දක්ෂ වී ඇති බව පැවසිය හැකිය. ස්ත්‍රී චිත්තය හදිසියේ වෙනස් වන ආකාරයන් පිළිබඳව ඔහු නිරූපණයට උත්සාහ ගෙන ඇතත්, එය මනාව නිරූපණය වී නැත්තේ, ඔහු චරිත හා මනෝ භාව නිරූපණය කෙරෙහි අවධානය යොමු කර නොමැති නිසා විය යුතුය.
තව දුරටත් පෙර නවකතා හා සැසඳීමේදී මෙවර ලිංගිකත්ව නිරූපණය වහල සහ බිත්ති කඩා වැටෙන තරමට නැතත්, අනවශ්‍ය සුන්දරත්වයන් බලෙන් එක් කරන්නට ගොස් විනාශ කර දමා ඇත.
මෙය හුදෙක් තනි පුද්ගල විචාරයක් වන අතර, එය කියවන්නාගෙන් කියවන්නාට වෙනස් විය හැක. එබැවින් ඔබ රැජිණ මිලදී ගෙන කියවීමේ කිසිඳු ගැටලුවක් නැත. හොඳ පොත් ලියැවීම අඩු යුගයක, මෙවන් පොතක් හෝ පළ වීම අගය කළ යුතුය. එමෙන්ම මොහාන් රාජ් මඩවල මහතාට සිය නිර්මාණ කිරීම සාර්ථක කරගැනීම සඳහා පරිකල්පනය මෙන්ම අභ්‍යාසයද භාවිතා කළ යුතු බව විශ්වාස කරමි. තවද සිය ක‍ෘතියෙන් තමන් මුදවා ගැනීමට නිර්මාණකරු උත්සාහ නොකරන තෙක්, ඔහු කෙතරම් අලුත් චරිත පිළිබඳ ලිවීමට උත්සාහ කළද කැරකෙන්නේ තමා වටාමය. එවිට චරිත නිරූපණය තුළින් පරිකල්පනයට වඩා ව්‍යාජය මතුවීම ද නොවැලැක්විය හැකිය.
මොහාන් රාජ් මඩවල මහතාගේ අනාගත නිර්මාණ කාර්යයන්ට සුබ පතමි.
2016 -08-09