8/26/16
-266- මගේ විජයන්ති | The Smell of lavenders
"කෙල්ලෙක්ට තමන්ට පණටත් වඩා ආදරේ කරන කොල්ලාව මුණ ගැහෙන්න ඕනෙ නම් කැන්සර් එකක්, බ්‍රේන් ටූමා එකක් නැත්තම් අඩුමතරමෙ නිව්මෝනියාවත් හැදෙන්නම ඕනෙ. "
කවුද පළවෙනියාටම බස් එකට නගින්නෙ කියන එක කවුරු හරි තෝරලා තෑග්ගක් දෙනවා කියලා එනවුන්ස් කරලා තිබ්බා වගේ ෆිල්ම් එක ඉවර වුණ ගමන් මිනිස්සු එළියට දුවන්නෙ. චිත්‍රපටියෙ නාමාවලිය විශාල තිරය උඩ බෑඟිරි ගැහුවත්, කාටවත් ඒ දිහා හැරිලා බලන්නවත් වෙලාවක් තිබ්බෙ නැති ගානයි. මිනිස්සුන්ට චිත්‍රපටියක් බලලා ඉවර වුණාම එන මේ හදිස්සිය පටන් ගන්නෙ කොතනින්ද කියලා මට නම් තාම හිතා ගන්න බෑ. ඉතිං ඒ නිසාම මට ඇරෙන්න කාටවත් විජයන්තිගෙ රුවන් වැකිය ගැන හාංකවිස්සියක් තිබ්බා කියලා මං හිතන්නෙ නෑ.
විජයන්ති කියන්නෙ ඔෆිස් එකේ උන් කියන විදිහට අපේ බොස් ගෙ හොර ගෑණි. හැබැයි විජයන්ති මගෙ හොඳ ගෑණි. ඔෆිස් එකේ උන් කියන විදිහට මගෙ ළමයා බොස් ගෙ. බොස් හිතා ඉන්නෙත් එහෙම. එහෙම හිතන් ඉන්න එකට මම හිත යටින් කැමතියි. මගෙ පඩි පැකට් එකේ බරින් මගෙ කොල්ලට අරන් දෙන්න බැරි ජීවිතේ බොස් හරහා කොල්ලාට ලැබෙන එකට මට හරි සතුටුයි.
විජයන්තිට හතළිස් හයක්. දැන් බොස් ට විජයන්ති ගැන හැඟීමක් නෑ. මේ කාලෙ උන්දැගෙ කරුණාව දැවටෙන්නෙ ඉරෝෂිණි ට. ඉරෝෂිණීට මමත් කැමතියි. එයා එනකොට පළාතම ලැවැන්ඩර් සුවඳයි. මං අඳුනන ලැවැන්ඩර් සුවඳක් නං නෑ. ඒත් ඒ සුවඳ කුප්පියෙ මං දැක්කා ලැවැන්ඩර් කියලා නම අලවලා තියනවා. මං දන්නෙ නෑ ඉරෝෂිණි වුණත් ලැවැන්ඩර් සුවඳ අඳුනනවාද කියලා. ඒක පිට රටක සුවඳක් නිසා. හැබැයි විජයන්ති ගාව නම්, හවසට එන ඉඳුල් ගඳටයි, උදේට එන කුණු කෙළ ගඳටයි අමතරව මට එන්නෙ දහඩිය සුවඳ විතරයි.
විජයන්ති පුතා ලැබුණාට පස්සෙ රස්සාවෙන් නැවතුණා. මම නම් තාම එතනමයි. මට ලැජ්ජාවක් නෑ කියලයි අපේ කුඩම්මා නම් කියන්නෙ, අතින් අත ගිය එකියක් කර ගැහැව්වා මදිවට තවත් එතනම ඉන්නවාලු.
මං විජයන්තිව බඳිනවාට ඒ කාලෙ හැටියට බොස් මට ලක්ෂ හතරක් දෙන්න පොරොන්දු වුණා. තාත්තා රේස් සුදූ කෙළලා උගස් කරපු ගේ සින්න වෙන්න මාසයක් තියෙද්දි ආපු මේ යෝජනාව එක්ක මට විජයන්තිව පෙනුනෙ සංවර්ධන වාසනාව වගේ. ඒ වෙද්දිත් විජයන්තිගෙ කුසේ දරු ගැබක් සංවර්ධනය වෙවී තිබ්බා. එකයි බොස් හදිසි වුණේ. ඒත් විජයන්ති මගෙ ගාවට එද්දි කුස හිස් වෙලා. විජයන්ති කරපු දාහක් ජාති වලින් මොකක් හරි එකක් බලපාලා දරුවා නැතිවෙලා.
ටික කාලයක් විජයන්තිව නොදැක ඉඳලා අවුරුද්දකට දෙහෙකට පස්සෙ දරුවා දැකපු නිසාද මන්දා බොස් ට මේ ඉන්නෙ අපේ දරුවෙක් කියලා නිනව් නැති වුණා. ඒකයි බොස් මගෙ දරුවාට මේ හැටි සලකන්නෙ.
විජයන්ති ඉස්සර හරිම හැඩයි. ඒ දවස් වල විජයන්ති ට කොල්ලෙකුත් හිටියාලු. ඒත් බොස් ගෙ අයුතු බලපෑම් ආරංචි වෙච්ච නිසා ඒ ළමයා මඟ අරින්න ගත්තාලු. විජයන්ති බොස් ළඟ හිටියෙත්, මාව බැන්දෙත්, දැන් ජීවත් වෙන්නෙත් සතුටින් නෙවෙයි කියලා මං හොඳටෝම දන්නවා. ඒත් ඒක විජයන්ති කියන විදිහටම විජයන්තිගෙ කරුමෙ නම්, මං මක් කරන්නද? මොකෝ ඒක වෙනස් කරලා කොටන්ඩ මං බ්‍රහ්මයාද?
ඒත් විජයන්ති කියපු කතාවෙන් මගෙ හිත කීරි ගැහිලා ගියා. විජයන්ති මැරුණොත් කියලා එකපාරටම බයක් දැනුණා. බොස්ට වගේ සල්ලිත් නැති රූපෙත් නැති මට විජයන්ති නැති වුණොත් වෙන ගෑණියෙක් කොයින්ද.
ගෙයි උගස බේරුවෙ විජයන්ති නිසා. දරුවත් මගෙ ලේ. විජයන්ති මට හැම යුතුකමක් ම ඉස්ට සිද්ධ කරනවා. මං ඒකිට ආදරේ කරන්න ඕනෙ නේද කියලා මුල්ම වතාවට මට හිතුණා.
අවුරුදු පහළවකට පස්සෙ අපි පළවෙනියටම බලපු මේ චිත්‍රපටියෙ අන්තිමට යන නාමාවලියෙ අවසාන හරියත් ඉහළටම යමින් තිබ්බා. ශාලාවෙ බල්බ් ඔක්කොම සුදු පාටින් පත්තුවුණා. මොහොතකට කවුරුවත් ශාලාවෙ හිටියෙ නැති නිසා මං ඈට ළං වුණා. ඈ ළඟින් හමා ආවෙ කොල්ලාගෙ කැන්වස් පොලිෂ් එකේ සුවඳ. ඇඟිලි කරුවල තැවරුණු කලු පොලිෂ් කෑලි සුදු එළියට දිලිසුණා. යන ගමන් විජයන්තිට සුවඳ කුප්පියක් අරන් දෙන්න ඕනෙ කියලා මට එක පාරටම හිතුණා.
-නෙරංජි ඒකනායක -
Subscribe to:
Post Comments (Atom)
++++++++++
ReplyDeleteකියෙව්වෙමි. වින්දෙමි +++++++++
ReplyDeleteඅපූරුයි......:)
ReplyDeleteMissing life .. finding life...staying life ....live life....nicely written.
ReplyDeleterosa walakulu aluth muhunuwarak neda???hodayi..suba pathum..eth rosa walakulu kiyana ekayi hamoma danne tikak amaru na hoya ganna....
ReplyDeleteපරණ වලාකුළම තමයි. අලුත් කළේ නෑ
ReplyDeleteකතාව නම් හිත තදටම අල්ලගත්තා රෝසියෙ. කොතන රිදෙනවද, මොනවා කියන්නද කියලවත් තාම මට නිනව්වක් නැති වෙලා තියන්නේ ඒකයි...
ReplyDelete