මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

12/13/16

-271- එක මොහොතක දිග කතාවක් -

ඒ නිකිණි සීතල පළාතම ගිනියම් කරපු දවස්. සිහිල වුණත් උපරිම මායිම පැන්න තැන හිටං පටන් ගන්නෙ උල්කාෂ්මෙකින් පැන නගින තරමෙ ගින්දරක්. "මොකද මේ අවේලාවෙ..?" බෝඩිමේ ඉස්සරහ ජෑම් ගහ පාමුල එන ඕනෙම පිටස්තරයෙක්ට ඉඳඟන්න ලෑල්ලක් දාලා තියෙද්දිත්, බිත්තියට පිට දීලා අන්ධකාරෙ කළුවර මනින එයාගෙන් මං ඇහුවා.
චිමිනි ලාම්පු වුණත් කණාමැදිරි එළියට පෑහෙන්න පත්තු කරපු දවස් නිසා කවුරුවත් කලුවරට බය වුණේ නෑ. "ඇවිත් ඉඳගන්න." සැනසිලිදායක හඬකින් ඔහු කිව්වා. ඒත් පුරුදු ඉසියුම් හිනාව ඒ මූණේ නෑ කියලා මට අන්ධකාරෙදිත් දැනුණා. "හිත කරදරෙන්ද? " අන්ධකාරයත් එක්ක සමපාත වෙච්ච ඒ මූණට මං එබුණා.
"මට බයයි" ඒ වචන දෙක ඒ මුවින් ගිලිහෙද්දි, ඒ ශරීරෙට වඩා දහස් ගුණයක වෙව්ලුමක් මගේ ශරීරෙ පත්ලෙන් මතුවුණා. බය කියන වචනෙ මීට කලින් කවමදාවත් පිටනොවුණු ආගන්තුක වචනයක් නිසා මං මට මතක විදිහට මිනිත්තු කිහිපයකටම තිගැස්සුණා.
ඒ හැඟීම අවසාන වෙන්න මොහොතක් තියෙද්දි, එයා සාක්කුවෙන් හීනි තුණ්ඩු කෑල්ලක් එළියට ගත්තා. "මට ලියුම ඇවිත්.." ඇඟිලි ‍අස්සෙ අඩමානෙට රැඳිච්ච ඒ පුංචි කඩදාසිය, මං අල්ලගත්තා. එය දිග හැරියට පසුවත් මගේ හැඟීම් වෙනස් නොවුණු බව එයා අඳුරේම සටහන් කරගත්තා. " ඔයාට බය නැද්ද? " තමන්ටම සරදම් කරගන්න ආකාරෙ හිනාවක් ඔහුගේ ඇස් වලත් තොල් වලත් තිබුණු බව, කියවන්න කළුවර මට බාධා කළේ නෑ. "මං පුදුම වෙලා හිටියෙ මෙච්චර කාලෙකට මේ වගේ දෙයක් ආපු නැති එක ගැන." ඇසිල්ලේ පැන නැගුණ බිය, වේදනාව සියල්ල තුරුළු කරගෙන ඒ දරදඬු බාහුවේ මම තදින් එල්ලුණා.
"මාව අඳුනන වගක්වත් කාටවත්වම අඟවන්න එපා. මං ගැන දැනුමක් ඇතිවෙන හැම දෙයක්ම අද රෑම පුච්චලා දාන්න. අපේ ලියුමක් වත් තියාගන්න එපා." ඒ ඇඟිලි මගේ ඇඟිලි වල තද වුණා. ඒ ඇස් වල කඳුළු බිංදු හිර වෙලා ගල් ගැහුණ බව, බිඳුණු කටහඬ මට කිව්වා. මං නිහඬවම අහගෙන හිටියා. පුළුවන් තරම් ඒ වචන මතක තියාගන්න මං උත්සාහ කළා. " තනිවම නිදා ගන්න එපා. අසනීප නොවී ඉන්න බලන්න." ජීවිතේ අවසාන අවවාද ටික දෙන්න සූදානම් වෙන විදිහට, හැමදේම කියාගෙන යද්දි, මාව ඇතුළතින් සීතල වුණා. " මං හිතලා අසනීප වෙන්නෙ නෑ.." මගෙ ඇස් දෙකේ කඳුළු නවත්තන්න මට බැරි වුණා.." මං ඒක දන්නවා දෙයියනේ . මට බයයි..මට ළඟ ඉන්න බැරි වෙයි කියලා." ඒ හඬේ තිබුණේම වේදනාව. ඒ වේදනාව මාව අයිස් කන්දකට හිර කරන්න පටන් ගත්තා.
" මේ කරදර කවදා ඉවර වෙයිද?" නිතරම උත්තර අහන උත්තර නැති ප්‍රශ්නෙ, ආයෙම මම එයාගෙන් ඇහුවා. "කරදර ඉවරවෙයි . ඒත් ඒ දවසයි කවුරුත් නොදන්නෙ.." පළමුවරට මේ මොහොතෙ නැඟුණු ඔහුගෙ මන්දස්මිතය මගේ හිත ඩිංගක් එළිය කළා. " එදාට අපි ජීවත් වෙයිද මංදා." මං පුංචි හිනාවක හැඟීම එක්ක, ඒ කතාව දිග දුරට ඇද්දා. "අමාරුවෙන් හරි ජීවත් වුණොත්, අපිට තව ආදරේ කරන්න වෙලාව ලැබෙනවා." එයා මගේ නළල පරිස්සමට සිප ගත්තා.පුරුදු විදිහටම හිස අතගෑවා. "මං යන්න ඕනෙ. මට මුළු රෑම මෙතන ඉන්න බැහැනෙ. හෙට ඕනෙ ඩොකියුමන්ට්ස් වගයක් තියෙනවා ලෑස්ති කරන්න." ඔහු ආයෙම පාරක් හිනාවුණා. මං ඇස් වලින් එයාව අත් නොහැරම, නොපෙනෙන තුරුම බලා හිටියා. එයාගෙ ආදරේ අමතක නොකරම, මං බෝඩිමේ දොර වැහුවා.
චිමිනි ලාම්පුවෙ දුර්වල එළිය මෙරුවෙක් එනතුරු මඟ බලා හිටියා. මං ඇස් පියාගෙන කරදර කාලෙ ඉක්මනින් ඉවර වෙන්න ප්‍රාර්ථනා කළා. ඉසියුම් සීතලක් මගේ හැම නහරකම, හැම රුධිර කේශ නාලිකාවකම ක්ෂණිකයෙන් ඇදෙන්න පටන්ගත්තා. ඉන් පස්සෙ මට මහා සුවයක් දැනුණා.
26-08-1989

No comments:

Post a Comment

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.