මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

12/25/16

-273- ජිවීතේ උතුරන්න ඉඩ දෙන්න.

තුරුලතාවෝ මහ පොළවට ප්‍රේම කරති. මහපොළොව තුරු ලතාවන්ට ප්‍රේමකරයි. තුරුලතා සියොතුන්ට ප්‍රේම කරයි. සියොත් කැළ තුරුලතාවන්ට ප්‍රේම කරයි. පොළව සැම විටම අහස ගැන ආල ලීලාවෙන් පසුවෙයි. අහස නිරතුරු පොළව ගැන ප්‍රේමයෙන් වෙලෙයි. වැස්සක් සේ මහපොළොව මතට වසින්නේ එයයි. එපමණක් නොව නීල ජල කඳක් දරා හිඳින මහ මුහුද කිසිවකට නොදෙවෙනි උපරිම ප්‍රේමයකින් සියලු මහද්වීප බදා වැළඳ සිටියි. ඒ මහද්වීප මහ මුහුද ගැන අපරිමිත විශ්වාසයෙන් ලෝකය දරා හිඳි. සොබාදහම  මෙතරම් ප්‍රේමයෙන් ඇලලෙන්නේ නම්, එය වන්දනාවක් විය නොහැකිද? එය පිරිතක්, ගීතිකාවක් සේ පූජනීය විය නොහැකිද? ආදරය යනු මෙලොව පවතින ඉසියුම්ම දර්ශනය නොවන්නේද?

ඕෂෝ කියන විදිහට, ආදරය තුළින් එක් පාර්ශවයක් පමණක් පිරී ඉතිරෙන්නෙ නැහැ. ආදරය කලාවක් නම් එය එහෙම වෙන්න ඉඩක් පවතිනවා. හිතන්න. මම ඔබ වෙනුවෙන් කවියක් ලියනවා. ඔබ එය විඳිනවා. මම කතාවක් කියනවා. ඔබ එය අසා සිටිනවා. කලාවක් කියන්නෙ ඒක පාර්ශවික පරිශ්‍රමයක්. අනෙකා උදෙසා නිර්මාණය කරන විස්මය ජනක පරිශ්‍රමයක්. නමුත් ආදරය කලාවක් නොවෙයි. ආදරය මැවෙන්නෙත් ගොඩනැගෙන්නත් කිසිම වෙහෙසකින් තොරවයි . ආදරය කියන්නේ හදවත් පිරී ඉතිරී යාමයි. කුසලානයක පිරවූ රතු වයින් වගේ චමත්කාර මිහිරකින් පිටාර ගැලීමයි. ඔබේ සිතිවිලි මාළිගාව ඔබ නොදැන සිටින අරුම මොහොතකදී ඔබ ඉදිරියේ ආඩම්බරයෙන් විවර වීමයි.

ඔබ ආදරයට ආදරය කරන තරමට, ආදරය විසින් කවදාවත් ඔබ පය නොතැබූ සුන්දර ඉසව් ඔබ ඉදිරියට රැගෙන එනවා. ඒ මොහොතේ ඔබට රැස් වළල්ලක් ‍ඔබ වටා මැවෙන අයුරක අරුම පුදුම ප්‍රහර්ෂයක් දැනෙන්න පටන් ගන්නවා. හැබැයි ආදරය සැමවිටම ප්‍රීතියට පමණක්ම ඉඩ තියන්නෙ නැහැ. එය එක් අතකින් වේදනාව මිට මොළවා ඔබ සමඟම ඇවිද එනවා. ඔබට ඉන් මිදෙන්නත් බැහැ.

සමහර ප්‍රීතිමත් මොහොතවල් ජීවිතය ඔබෙන් උදුරාගන්නවා. ඉතින් ඔබ කඳුළු සලන්නෙ ඇයි? යමෙක් ඔබේ ප්‍රීතිය ‍ඔබෙන් සොරාගත්තා නම්, ඔබ එයට ස්තූතිවන්ත විය යුතුයි. ජීවිතය සිනමාපටයක් නොවන වග ඔබට පහදා දෙන්නේ එවන් අයයි. ඒ සොඳුරු සතුට සොරාගත් අය ගැන  අනුකම්පා කරන්න. එය ආදරයකට හරවන්න උත්සාහ කරන්න. ඔවුන් වේදනාවෙන් ලෙඩ වුණ අය. ජීවිතය මඟ ඇරුණ අය. ජීවත් වෙන අතරෙදිම හදවත් වලින් මිය ගිය. ප්‍රීතිමත් හැඟීම් වලට ඉතාම ආගන්තුක අය. ඔවුන් ඔබ ලද ජීවිතය ගැන ඉරිසියාවෙන් මිරිකිලා. ඔවුන් හදවතට හොරෙන්ම විඳවන ජීවිත තෝරගෙන.

ඔබේ මිහිර, ඔබෙන් හොරාගන්න අමානුෂික, කුහක අදහස් වලින් ආදරය කැටගරි කරන්න ඔවුන් පෙළඹෙනවා. මේ ඔබේ පවුල. මේ අය පවුලෙන් පිට. මේ අයට ආදරය කරන්න. මේ අයට ආදරය නොකරන්න. මේ අය ඉවත් කරන්න. මේ අය වැළඳගන්න. ආදරයට කොහේ තියෙන කැටගරියක්ද? ආදරය කියන්නෙම ආදරයටයි. සංස්කෘතිය විසින් සමහර වෙලාවට ආදරය මරලා දානවා. ඔබත් මමත් සංස්කෘතිය නාමයෙන් ආදරය ඝාතනය කරන්න එකතු වෙන්නෙ ඇයි?

ආදරය සීමා මායිම් දමා බැඳ දමන්න පුළුවන්ද? ආදරය යන හැඟීම උපදින තැනවත් නොදැන හිර කරන්නෙ කොහොමද? සීමා නැතිවූ තැන ගොඩනැගෙන සහෘදත්වයට ලෝකය ඉතා බියක් දක්වනවා. ඒනිසයි මෙතරම් සීමා පනවන්නේ. ආගමික සීමා, දේශ සීමා ආදී සියල්ල අතර පවුල තුළ පවා සීමා නිර්මාණය වෙනවා. ඒ නිදහසට ඇති අප්‍රමාණ බිය නිසා නේද?

ඔබ ආසයි නටන්න. ඒත් අනෙක් අය කැමති නෑ ඔබ නටනවාට. සමහරවිට ඒ ඔවුන්ට නැටුම් බැරි නිසා. නැත්නම් ඔවුන් නැටුම් නොදන්න නිසා. සමහරවිට හැබෑවටම ඔවුන් නැටුම් වලට අකමැති නිසා. මේ හේතු තුනෙන් නිවැරදි හේතුව කුමක් වුවත් ඔවුන් ඔබේ නැටම නවත්වන්න උත්සාහ කරාවි. ඔබ නටන අවස්ථාව පිළිබඳ, ඔබේ සිත තුළම වරදකාරී සිතුවිල්ලක් මවන්න වෙරදරාවි. ආදරය කරද්දි ලොව එරෙහි වන්නේ මේ ආකාරයෙන්මයි. ඔබට ඔබ ආශා කරන විදිහට ආදරය කරන්නට ඔවුන් ඉඩ නොදේවි. ආත්මය විසින් රෝගී වූ ඔවුන්ට ඉන් එහා යමක් කළ හැකිද? ඔවුන්ට අවශ්‍ය ලෙස ඔබේ ආදරය පුරන්නට ඔවුන් බලකරාවි. ඉතින් මෙවන් පරිසරයක් ඉදිරියේ ශක්තිමත්වම සිටිය යුත්තේ ඔබයි.

ඔබේ ජීවිතය ඔබ විසින් අල්ලාගන්න. සෑම මොහොතකම ජීවිතය සාදයක් සේ සිතා ප්‍රීතිමත් වෙන්න. ඔබට සැමවිටම උගන්වන්නට බලා සිටින සමාජය ඔබට ගෙන එන්නේ වේදනාව නම්, එවන් දේ නොතකා සිටින්නට පුහුණු වෙන්න. ඔවුන්ටත් ආදරය කරන්න. ආදරය බෝවන රෝගයක් වගේ. වේගයෙන් පතුරන්න පුළුවන් දෙයක්.

බලන්න, මේ අවට ඇති ගහකොළ දිහා. ඔවුන් බුම්මාගෙන ඉන්නවා කවදාවත් දැක තියෙනවාද? මඳ සුළඟට ඔවුන් ගීත ගයනවා. බලන්න, මේ පුංචි කුරුලු රංචු දෙස, ඔවුන් නිහඬද? ඔවුන් සුන්දර ගීතයක් සොයනවා. ඒ ගයන්නෙ ඔබටයි. ගංගා වල සරැළි අතර, ඇළ දොළ මැද ගලන පෙණ කැටි අතර හැම තැනකම රැඳී ඇත්තේ සතුටයි. විනෝදයයි. ජීවිතයේ ආලෝකයයි. ඔබත් මේ හැම දෙයකම කොටසක්. ලෝකයට ඔබ පිවිසියේ ලොවට ආදරය කරන්නයි. ජීවිතය විඳින්නයි. උත්තරීතර ආදරය, ප්‍රීතිය ඔබ තුලින්ම හොයාගන්නට වාසනාවන්ත වෙන්න. ජීවිතය මෙන්ම ආදරය තියෙන්නෙත් ඔබේ දෙපා පාමුල.


No comments:

Post a Comment

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.