මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

1/12/17

-274- හරි හපන් පෙම්වත්තු

විශ්වයකට එක්වරක් පහළ විය හැකි ගණයේ අසහාය නිර්මාණකරුවකු වන විලියම් ෂේක්ස්පියර්  රෝමියෝ ජුලියට් ජීවිතේ එක් වතාවක් හරි ඔබ කියවලා තිබෙනවා නම්, රෝමාන්තික ප්‍රේමය ගැන ඔබට අමුතුවෙන් කියාදෙන්න දෙයක් නෑ. රෝමියෝ ජුලියට් කතාව පුරාම රෝමාන්තික හැඟීම් ඉපදෙන දෙබස් වලින් පිරිලා. ආදර හසුනක් කියන්නෙත් හරියටම රෝමියෝ ජුලියට් පිටපත වගේ හැඟීම් පිරුණු කඩදාසියකට

Technology එක බදා ගෙන ජීවිතේ ගෙවෙන විට, සමහර සියුම් ප්‍රහර්ෂයන් අපෙන් නොදැනීම මිදෙන්න පටන් ගන්නවා. අලුත් පරම්පරාවක තත්‍ය අවකාශික බැඳිම් අතරෙ ජීවත් වෙන අපිට අතීත කාමයට බැඳී මිඩංගු කරන්න කාලය ඉතා අල්පයි. ඒත්  සුන්දර තාරුණ්‍ය අපේ ජීවිත වලින් සදහටම මැකිලා යන්න ඉස්සරින් අප එය විඳගත යුතුයි. සමාජ ජාලා වලට හිර වීම එක්කම අපෙන් ගිලිහිලා ගිය චමත්කාර ජනක බොහෝ දේවල් තිබෙනවා. ඉන් එකක් තමයි අද young අපි කතා කරන්න සූදානම් වෙන ආදර හසුන්.

වික්ටර් රත්නායක මහත්මයාගේ තරු අත් අකුරින් ලියන පෙම්පත පිළිබඳ ගීය, මිල්ටන් මල්ලවාරච්චි මහත්තමයාගෙ කොහොම පටන් ගෙන, මොනවා ලියන්නද කියා නොවැටහෙන පෙම්පත ගැන ගීය අහන වෙලාවට මීට දශක කිහිපයකට එහා ගීත වලට  නිරතුරුව වස්තු විෂය වුණු මේ ආදර හසුන් පිළිබඳ පුංචි අවබෝධයක් ලබන්න පුළුවන්. සෙනෙහෙ කොළයක් කියන්නෙ එකිනෙකාගේ ප්‍රේමය කියාපාන ආඩම්බරකාර සැමරුම් විශේෂයක්. ප්‍රේමයක අනුරාගය, ප්‍රේමයක ප්‍රාර්ථනා, ප්‍රේමයක සිහින මෙන්න අනාගතය මේ ලියුම් වල සැඟවෙනවා.

තම ළබැඳියන් වෙනුවෙන් කාලය, සහ හැඟීම් මිඩංගු කර කරන මෙම ආදර අකුරු හුවමාරුව සැබවින්ම යම් මට්ටමක සාහිත්‍ය නිර්මාණයක්.
සුවඳ ගැල්වූ කොළයක, රෝස පෙති හෝ ඕකිඩ් පෙති අතුරලා තමන්ට පුළුවන් ලස්සනම අත්අකුරෙන්, සුවඳ පෑන් තුඩකින් හැඩ මවලා ලියන ආදර ලියුමක් කියවපු කෙනෙක් අපේ පරම්පරාවෙන් නම් හොයා ගන්නත් නැති තරම්. අද වන විට ඉතා වේගවත් පණිඩිඩ හුවමාරු ක්‍රම ජංගම දුරකථන, අන්තර්ජාල හා සමාජ ජාලා නිසා ලැබිලා තිබුණත් ඒ කිසිවක් මෙවන් හසුනක ඇති ශක්තියට  සමාන කරන්න බැහැ. සමාජ ජාල පණිවිඩයක් වගේ ටයිප් කළ සැණින් යැවිය හැකි මට්ටමක් නොමැති නිසා, ආදර ලියුම බොහෝ විට කඳුලු වියලාගත් කඩදාසියක්. කෝපය නිවා ගත් අකුරු පෙළක්. ප්‍රේමණිය වදන් වැලක්.

ආදර  ලියුම් සාමාන්‍ය පුද්ගලික ලියුමකින් එහා ගිය නිර්මාණ හරඹයක්. සුන්දරම ආදර හසුනක් නිර්මාණය වෙන්නෙ අත්දැකීම් බහුලම ප්‍රේමවන්තයන් අතින්. පුංචි ගීත ඛණ්ඩ , තමන් විසින්ම කුරුටු ගෑ  කවි, එක් එක් ලෝ ප්‍රකට සාහිත්‍යධරයන් ආදරේ පිළිබඳ පෑ කියමන් තමන්ගෙ පෙම්බර නිර්මාණයට එකතු කරන්න  සමහරු ආසා කළා. තවත් අය එය වෙනම සාහිත්‍ය නිර්මාණයක් ලෙසම ගොඩ නැගුවා.
හැම මොහොතකදිම, තමන් ආදරණීයයාට, තම හැඟීම උපරිමෙන් සංජානනය කරවීමයි ලියුම ලියන්නාගේ සැබෑ අරමුණ. කවුරුවත් මේ ආදර ලියුම් කියවලා විසි කළේ නම් නෑ. ඔබට මතකද ගම්පෙරළියෙ නන්දා? ඇය පියල් දුන් ලියුම් විසි කළේ අල්මාරියට. අල්මාරියක් කියන්නෙ කෙතරම් වටින තැනක්ද? අලුමාරියට විසි කළ වචනයෙන් කියවෙන්නෙම එය ආරක්ෂා කළ බව. තම ආදරණීයයා තමාට එවන ලද මේ සෙනෙහෙ කොළ  යුග ගණන් පුරා පෙම්වතුන් අතින් එකතු වුණා. වයසට ගිය දවසක, දරු මුණුපුරන් සමඟ රසවිඳින්න තරම් පෙම්බර බවක්, ගෞරවණීය බවක් ඒ ලියුම් තුළ එකතු වී තිබුණා. තමන්ගෙ පෙම්වතා පෙම්වතිය ගැන අනෙකාට ආඩම්බරයෙන් පෙන්විය හැකි ප්‍රාකිහාර්යයක් ආදර ලියුම් අස්සෙන් නිර්මාණය වුණා. ඒ නිසාම ඒ යුග වල ආදරයත් ශක්තිමත් වුණා. අද අපි දකින බොහෝ ප්‍රශ්න එදා නොතිබ්බෙ, නිවී සැනසිල්ලෙ අදහස් ප්‍රකාශ කරගත්ත පරම්පරාවක් හිටිය නිසා.

ආදර හසුන් නිසා සංකේත භාෂාවන් පවා නිර්මාණය වී තිබුණා. ඉතා රහසිගතව ලියුම් හුවමාරු කරගන්න එකල පෙම්වත්තු හරි හපන්නු.  තමන් කියවපු පොත පත, තමන් ආ ගිය තැන්, තමන් බලන්න ආසා කරන චිත්‍රපට, තමන්ගෙ විනෝදාංශ ආදී දේවල් තමන් ආදරය කරන කෙනා එක්ක බෙදා ගන්න ආදර ලියුම් පහසුවක් වුණා.

මේ සෙනෙහෙ කොළ වළ බාහිර ස්වරූපය යුගයෙන් යුගයට පුංචි වෙනස් කම් එක්කම සුන්දර වුණා. යම් යුගයක තාරුණ්‍යය එම යුගයේ නිර්මාණ වලින් සංකේතවත් වෙන ආකාරයෙන් ආදර හසුන් තුළිනුත් පෙනෙන්න තිබ්බා. අසූව දශකයේ අවසන් භාගයේ ආදර ලියුම් සාමාන්‍ය සිංදු කෑලි වලින් අත්මිදුණෙත් මේ හේතුව නිසා. එකල තිබුණු දේශපාලන වාතාවරණය සමඟ එම ලියුම් මඳක් රැඩිකල් පැත්තට බර වුණා. ඒවායේ කැටි වුණු පුංචි පුංචි කරුණු තුළින් තමන්ගෙ මතයට තමන් ආදරය කරන අය නම්මා ගන්න මේ ආදර හසුන් උපකාරි වුණා.

අනූව දශකය විසින් අපේ තරුණයන් අතට ජංගම දුරකථන ගෙනවිත් දුන්නා. වෙහෙස විඳලා ලියන ආදර ලියුම් යල්පැන ගිය දෙයක් බවට පත් වුණා. අද වෙන විට අතිමහත් ජනප්‍රිය ප්‍රේමය හුවමාරු කෙරෙන මාධ්‍යයක් වන සමාජ ජාල  පසු ගිය යුග ගණනක් සාහිත්‍ය නිර්මාණයට ආනුභූතින් සැපයූ  ආදර ලියුම් තරම් කවමදාවත් ඉහළට ආවේ නැහැ. කඩදාසියක හැඟීම් ගොනු කිරීමේ පුරුද්ද දැන් අපෙන් දුරස්වයි තිබෙන්නෙ. වින්දනීය මිනිසෙක් නිර්මාණය කරන්නට, පිරුණු තාරුණය්‍යක් ගොඩ නගන්නට, ප්‍රේමය රසකාමී කරන්නට නැවත වරක් නිවාඩු පාඩුවේ ප්‍රේමණීය තෙලි තුඩකින් ලියුම් කැබැල්ලක් ලියන්න හැකි නම්, එය ඉතා ප්‍රීතිමත්  දෙයක් වේවි. බොහෝ මහානාර්ඝ සාහිත්‍යකරුවන් ගේ මුල් අත්තිවාරම, ඔවුන් සිය ආලවඩන්නන්ට ලියූ පෙම් ලියුම් බවයි ලෝකයේ බෝහෝ සාහිත්‍ය විශ්ලේෂකයන් පවසන්නේ.


4 comments:

  1. තාක්ෂණය එක්ක ලියුම් හුවමාරුව නැවතුන දා ඉදන් මිනිස්සුන්ගේ නිර්මාණ ශක්තිය පිරිහුණා. ඒ වගේම සංවේදි බව නැති වුනා.

    තාමත් නිර්මාණ හුවමාරුවෙනවා. ඒත් ඩිජිටල්, වර්චුවල් ලෝකයක. ස්ක්‍රීන් ෂොට් විතරක් අනාගතයට ඉතිරි වුණ...

    ReplyDelete
    Replies
    1. හරිම අපුරු කාලින සටහනක්...අද තරුණ තරුණයින් තමන්ගේ හැඟීම් මුදා හරින්නේ ඩිජිටල් තිරයකට...ඒ කරන්නෙත් රැල්ලට...ප්‍රේම කරන්නේ, වෙන් වෙන්නේ, දුක් වෙන්නේ සමාජ මාධ්‍ය ජාලයක ස්ටේටස් අප්ඩේට් එකක් විදියට...බොහොම යාන්ත්‍රිකයි...කිසිම් පෞද්ගලිකත්වයක් නැහැ...තමන්ගේ හැඟීම් තමන්ගේ නෙවේ...ඒවා තියෙන්නේ ලෝකේ මිනිසුන්ට රහ කරන්න...එහෙම තත්වයකදී අතිශය පුද්ගලික රෝමාන්තික ලියමනක් කියන්නේ සිහිනයක් පමණයි...

      Delete
  2. ලියුම් කියන්නේ ඉතිහාසය වෙලා ඉවරයි. මගේ ගාව තිබුනා ලියුමක් මගේ බිරිඳ පෙම්වතිය කාලේ මට එවපු ලියුමක්. හරියටම මගේ උසට සමානයි. ඒක ලියලා තිබුනේ අර ඉස්සර ඔෆිස්වල තිබුනේ ප්‍රින්ටින් රෝල්. අන්න ඒකක. මතක් වෙනකොටත් හිනා. යාලුවෝ කිව්වා කියවලා ඉවරවෙලා රෝල් කරලා ** ගහ ගනින් කියලා.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.