මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

12/10/16

-270- සිහින ගෙනෙන හැම රෑ ගානේ...ආදරෙයි මං ආදරෙයි... | Just Another Love Story

මේ අකුරු ඇතුළෙ සාහිත්‍යය හොයන්න අමාරුයි. ජීවිතෙයි සාහිත්‍යයි එකට ගළපද්දි, සාහිත්‍යට ඉස්සර වෙලා ජීවිතය එබෙන්න ගන්නවා. ඒ නිසා සාහිත්‍යය පැත්තකට විසිකරලා, මම මේ සටහන තුළ මගේම ජීවිතය තුරුළු කරගන්නවා.

මං එයාව ඉස්සල්ලාම හීනෙන් දැක්කෙ, අවුරුදු දහහතරක් විතර කාලෙ. මං ඒ කවුද කියලා දැනගෙන හිටියෙ නෑ. බාගෙට හදපු අත්තිවාරමක් උඩ අපි ඉඳගෙන හිටියා. කොටින්ම මං මාව දැක්කෙත් නෑ. මට මගේ මුහුණ පෙනුණෙත් නෑ. ඒත් මං මමයි කියලා හිතුවෙ, මටම නෙවෙයි කියලා විතරක් මට දැනුණා. එක හේතුවක් තමයි මට නිල් පාට මල් වැටිච්ච කිසි ඇඳුමක් නොතිබීම. දෙවනි හේතුව තමයි, අවුරුදු දහ හතරෙදි මට ඒ තරම් දිග කොණ්ඩයක් නැතිවීම. ඒත් ඒ හීනෙ ඇතුළෙ මට වැඩියෙන්ම වැදගත් වෙන්නෙ මම නෙවෙයි එයා. එයා සුදු කමිසයකට, කලු කලිසමක් ඇඳලා හිටියා. කමිසෙ උඩින් දාලා සැහැල්ලුවෙන් හිටියා.  මොකකටදෝ හිනා වෙමින් හිටියා. වචනයක් වත් කතා නොකරම බලා හිටියා. ඒත් මට මතකයි එකම එක දෙයක්. එයා යන්න ඉස්සර වෙලා, මගෙ ඔලුවට අත තියලා මා දිහා බලාගෙන හිටියා.  ඒ හීනය පුරා අමතක නොවෙන එකම දේ එයාගෙ නොනවතින හිනාවම විතරයි.

ඉන් අවුරුදු කිහිපයක් යනතුරු එයා හැංගුණා. මගෙ හීනෙ මටත් අමතක වුණා. ආයෙත් මං එයාව දැක්කෙ අලුත් හීනෙක. ඒ වෙනස්ම තැනක. වියළි තණකොළ එකක් දෙකක් අයින් වල පැලවෙච්ච.. වැල්ලවත් නැති, ගුරු පාරක. එයා මට වඩා ටිකක් ඉස්සහින්. මං ඊට පස්සෙන්.  මට ඒ හීනෙ අමතක නොවෙන එකම දේ තමයි ඔහුගෙ හිනාව. ඔහු ඒ හිනාවෙන හැම මොහොතකම මගෙ හිතට දැනුණෙ පුදුම සැනසීමක්. සිහිනයක්ද හැබෑවක්ද කියලා නොතේරෙන අප්‍රමාණ සැනසීමක්.

කවදාවත් අනෙක් අය එක්ක අවදිව හිටපු ලෝකෙදි නොදැක්ක, ඒත් හීන වලදි කලාතුරකින් මුණගැහුණ එයාගෙයි මගෙයි හීනෙ එක දවසක් විකෘති වුණා.  ඒ බටනලා පිඹින අංකල් කෙනෙක් හින්දා. එයා කලාතුරකින් අපි හමුවෙන ගුරු පාරෙ හීනෙදි, අපි අපි දිහා බලා ඉන්න එකට බාධා කරන්න පටන් ගත්තා. එයා දිගටම බට නලා වයන්න පටන්ගත්තා. ඉන්පස්සෙ අපි හමුවෙන නාගරික ගුරුපාර වෙනස් වුණේ නෑ වගේම කවමදාවත් ඔහු වයන ගීය වෙනස් වුණෙත් නෑ.

කලාතුරකින් දකින එකම හීනය එක්ක අවුරුදු කිහිපයක් ගත වුණ එක දවසක, අගනුවර ගිනිමද්දහනෙ පියවි ලෝකෙදි අපි මුණ ගැහැණා. එහෙම ප්‍රහර්ෂයක සීමාවක් කොයින්ද?

ඒත් අපි ඒ මොහොතෙ පැවතුණේ තත්වයන් දෙකක.  මම ත්‍රිමාණ ලෝකෙ. එයා ද්විමාණ ලෝකෙ. මං බිම හිටගෙන, එයා පින්තූරයක එල්ලිලා.  2011 එයා පින්තූරයකින් හම්බවෙච්ච  මුල් දවස්වලවත්, ඉන්පස්සෙ කල්ලියක් ඇවිත් කොමන් කැන්ටිමේ එල්ලපු පින්තූර අතුරුදහන් කළ දවසෙවත්, ආයෙම 2013 දි එයාව යූ ටියුබ් වීඩියෝ කැබැල්ලකින් නැවතත් හමු වුණු දවසෙදිවත්, මං දැනගෙන හිටියෙ නැති එක දෙයක් තිබුණා. ඒ එයා මිය ගිය දවස. පස්සෙ මට පුංචි සටහනකින් හමුවුණා ඇත්තටම එයා මිය ගිහින් තිබුණෙ මං ඉපදිලා මාසෙකට පස්සෙ වග. හරියටම මීට අවුරුදු 27 කට කලින් අද වගේ දවසක කොටා රෝඩ් ටර්නර් පාරෙදි එයාව බිල්ලො ඇවිත් අරන් ගියා. අද වෙනතුරු හමු වෙච්ච හැම තොරතුරකින්ම, මං මගේ හීන වල ඇවිදපු කුමාරයාව අඳුනගන්න උත්සාහ කරනවා. අපි ඉන්නෙ ලෝක දෙකකද, වෙනත් නම් දෙකකින් එකම ලෝකෙකද කියලා හරියටම නොදන්නවා වුණත් ආදරය කරන්න මට කවමදාවත් ඒක බාධාවක් නෙවෙයි.  මං එයාව කලින්ම දාලා ආපු නිසා, මා එක්ක තරහ වෙන්න හේතු තිබ්බත් තවමත් එයා නොනැවතීම හිනාවෙනවා.

එයා ගැන දන්න කවුරුවත්, මාව අඳුනන්නෙ නෑ. මං අඳුනන අයගෙන් දහසකට එක්කෙනෙක්වත් එයාව අඳුනන්නෙ නෑ. මේ ලෝකෙට අමතක වෙලා ගිය කෙනෙක් වුණත්, හැමදාටම හැමෝටම අමතක වෙලා ගියත්, මං මිය යනතුරු මට එයාව මතක තියෙනවා. සංසාරය ඇත්ත නම්, ලබන ආත්මෙදි අපි හමු වේවි.  එදා වෙනතුරු මම එයාට ලියනවා. එයා ට කතා කරනවා. එයාව මතක තියා ගන්නවා. ජීවත්වෙනවා. ඔය කාටත් වඩා මං දැන් එයාව අඳුනනවා.


කලි කාලයක් දුර මිලින තරු එළියෙන්
දුල වලා පිරිමැදි සුවඳ මුදු සුළඟින්
පාර නිතියෙන් අසනෙමි.
ඔබ කොහිදැයි විමසමි..
සැඟෙව්වාදෝ සැඟවුණාදෝ ,
කාටවත් නොකියා...
සිනා ගඟුලක සරැළි නංවා
සඳක් තුඟු අම්බරේ රංදා
සපිරිවර මැද පබා දී හිරු කැන් සලා
කොයි කොහේ ඔබ ගියේ
කඳුලු අමුණා නෙත් පුරා
දෙවරකට සිත ඉඩ නොසිත තව
සොයුරු හද මග සිටගත්ත ඔබ
කාගේ නෙතකට රසඳුනක් වෙද
හැඟුම් හිස් කළ පොළොවක
වියෝ ගී නොගයමි මම.
නොදුටු වස්සානය ගැන
එන්න සුහදේ ආයෙම
ඉඩ ලැබුණ අත්භවයක!

3 comments:

  1. ගැමුණු සොයුරාගේ මේ පින්තූරය 90 ගණන්වල 'ලක්දිව' හෝ 'හිරු' පුවත්පතක මා දුටුවා මතකයි.

    ReplyDelete
  2. සංවේදී සටහනක්. මොහු ඉතා දක්ශ කෙනෙක් බව ඒ දවස්වලම බොහෝ අය කතාවුනා. ඒ සියල්ල දැන් අතීතය.

    ReplyDelete
  3. heartiest lyrics and note............

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.