මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

9/2/15

-260- සුළඟට ඇරුණු සටහන

මහජන පුස්තකාලයේ අසල හිඳ නිදි ගත් නාඳුනන යුවතියකගේ සටහන් පොතකින් පිටපත් කරගතිමි.
ඇයත් නොදැනම මේ පිටුව සුළඟට දිග හැරී තිබිණි.



නවකතාවල විත්‍රපටි වල තියෙන දේවල් ජීවිතය වෙන්නෙ නැතිවට, එයින් බිංදුවක තරම් දෙයක් වත් හැබෑ ජීවිතේදි අත් විඳින්න ලැබෙනවා නම්, මිනිස්සු හරි වාසනාවන්තයි. සමහර විට ඒ නළු නිළියොවත්, තමන් රංගනය තුළ වින්ද ජීවිතය එක දවසක් වත් ඇත්තට විඳලා නැතිව ඇති. මිනිස්සු නළු නිළියන්ට ආදරය කරන්නෙ, ඔවුන්ගෙ රූප වල තියෙන කාන්තියටම නෙවෙයි. තමන්ට තමන් කැමති දේ විඳ ගන්න දැක ගන්න ඔවුන් විසින් ඉඩ ලබා දෙන කොට දැනෙන කෘතඥ්‍යතාවයට.

මේ ලෝකෙ වැඩියෙන් පොත් විකිණෙන ලේඛකයො අතරෙ කෙනෙක් තමයි ස්පාර්කල්ස්. එයා ලියන්නෙම ආදර කතා. ආදරය ලබා ගන්න ආසා කරන අයගෙ කතා. ඒක මඟ හැරෙනකොට සටන් කරන අයගෙ කතා. කොහොම නමුත් අන්තිමේ දී හැම කතාවකම ඉතිරිය ආදරය. මාත් කවදා හරි ඒ වගේ කෙනෙක් වෙන්න ඕනෙ. ආදරය ගැන ලියන කෙනෙක්. ආදර කතා හැම වෙලාවෙම මල් කතා නෙවෙයි. අපිට ඒවා මල් කතා වගේ පේන්නෙ අපි ආදරේ ගැන හරියටම නොදන්න නිසයි.

මම ආදරේ කියන වචනෙ කොයි තරම් බරද මායාවී ද කියලා මුලින්ම ඉගෙන ගත්තෙ, මම ආදරේ කරන කෙනා එයාගෙ ඉපැරණි පෙම්වතියකට ලියපු පරණ ලියුමක් කියවලා. මට කවමදාවත් එයා ඒ වගේ ලියුමක් එවලා නැති නිසා මට ඒ තරම් ආදරේද කියලා මං දන්නෙ නෑ. හැබැයි මං ඒක ප්‍රශ්න කරන්න යන්නෙ නෑ. ඒක තේරුමක් නැති දෙයක්. සමහරක් දාට මම මටම කියලා ලියුමක් ලියාගෙන හංගලා තියලා අකුරු අමතක වුණ දාට ආයෙම කියවනවා. ඒකෙන් මම ලියුමක් එනතුරු බලාගෙන ඉන්නවා කියවෙන්නෙ නෑ. මට ලියුමක් ගැන කිසිම හැඟීමක් නෑ. ඒත් එකපාරටම ලියුමක් මට ඔහුගෙන් ලැබුණොත් මං කොයි තරම් සතුටු වෙයිද කියලා මම දන්නෙත් නෑ. ඔහු දැන් ඒ පෙම්වතියට ආදරය කරපු කාලෙට වඩා වැඩිමහල් වෙලා නිසා සමහර විට ලියුම් කියන්නෙ බොරු දෙයක් කියලා හිතනවා ඇති. එහෙමත් නැත්තම් ලියුම් ලියන්න ආසා කළත්, ලියුමක් ලියන්න තරම් ආදරයක් මං ගැන නැතිව ඇති.ස්පාර්කලස් ගේ Longest Ride එකේ රූත් ලියපු ලියුම් පෙට්ටිය වගේ එකක් මටත් හම්බෙනවා නං ඇත්තටම මට කවමදාවත් මටම ලියුම් තැපැල් කරගන්න ඕනෙ නැති වෙයි.

Walk to Remember වල ජෙම් සුලිවැන් ගෙයි, මගෙයි තියෙන එකම වෙනස එයා ට ලියුකේමියාව තියෙන එකයි. මට පෙනහලු වල නාල හීනි එකයි විතරයි. ඉතින් මමත් කාටර් වගේ කෙනෙක් එනතුරු බලා ඉන්න එක වැරදිද. ඒ වගේ අය ඇත්ත ලෝකෙ ඇත්තේම නැද්ද? එහෙම මම මගෙන්ම අහන වෙලාවට මට හිතෙනවා හැමෝම නවකතා පොත් වල, චිත්‍රපටි වල  චරිත වගේ වෙන්න  උත්සාහ දරන්නෙ ලෝකෙට පෙනෙන්න විතරයි කියලා. මට හමුවෙලා තියෙන සිය දහස් ගාණක් අය අතරෙ කාටර් වගේ කෙනෙක් මම දැකලා තියනවා නම් ඒ  තවත් නවකතාවකම විතරයි.

හැම වෙලාවකම......

එතැනින් එහාට ඒ පොත හුළඟට පෙරලුණේම නෑ..  ඈ ඇහැරුණා. ඉන්පස්සෙ මට පොතට එබෙන්න බැරි වුණා.

6 comments:

  1. ආදරේ බරයි ආත්මර්ථකාමීන්ට..

    ReplyDelete
  2. අවුරුදු ගාණකින් හැබැ පෙම් හසුනක් කියවලා නෑ. පාසල් කාලයේ නං පිටකවර අස්සේ එහා මෙහා වෙච්චා කොච්චර නං කියවල තියනවද?

    ReplyDelete
  3. මිනිස්සු ලියන්නේ කියවන්නේ නැති දේ තමා..... ඒවා හොදට විකිනෙනවා..

    ReplyDelete
  4. අපි ලබාගන්න ආස කරන්නෙ අපිට නැති දේවල් මිසක් තියෙන දේවල් නෙවෙයිනේ....

    ReplyDelete
  5. මගේ මිතුරියක් ඉන්නවා ස්පාක්ස්ගේ පොතක ඉන්නවා වගෙ පිරිමියෙක් නොලැබුණොත් විවාහ නොවෙන බව කියන.එහෙම පිරිමි අඩුයි.නමුත් ඉන්නවා.නමුත් පොතක චරිතයක් ඒ ආකාරෙන්ම බලාපොරොත්තු වෙන එක වැරදි.. පළමුවෙන්ම අපි අපේ පැත්තෙන් අපරිමාණව ආදරය කරන්න ගන්න ඕන.

    ReplyDelete
  6. මමත් ස්පාර්ක්ස් පොත් වල ඉන්න කොලුවෙක් එනකම් බලන් උන්න අතීතයක් තිබුණා. ස්පාර්ක්ස්ගේ පොත් වල තියෙන ආදරේ සිත හිරිවට්ටන මායාකාරී ආදරයක්..


    ඒ ආදරේ ගැන මතක් කරන නීනුගේ සටහනත් ලස්සනයි..

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.