“වැඩියෙන්ම අමාරු එයා ළඟ නිදා ගන්න එක නෙවෙයි. එයාගෙ පරණ ගෑණු අයගෙ උජාරුව අහන එක“ මේ දවස්වල තමන්ගෙ පෙම්වතා ගැන ශානිකා මට කිව්වෙ එහෙමයි.
ශානිකාව මම අඳුන ගත්තෙ ගාමන්ට් එකේ වැඩට ආපු පළවෙනිම දවසෙ. එදා මා එක්ක මුලින්ම කතා කළේ එයා. මේ වෙද්දි ගාමන්ට් එකේ ගෑණු ළමයි අතර මට අනික් අයට වඩා ටිකක් ඉහළ තැනක් තියෙනවා. ඒ සුපයිසර් මට කැමති නිසා. ගෑණු ළමයි කවුරුත් මට දුක කියනවා. එයාලා හිතන්නෙ මගේ බහට එයාලාට වැඩිපුර ඕ ටී සාලිය සර් ගෙන් හම්බවෙයි කියලයි. ඒත් සාලිය සර් නෙවෙයි ඕ ටී දාන්නෙ, ජානකී නෝනා. ජානකී නෝනාව යාලු කරගන්ඩ කාටවත් බෑ. ජානකී නෝනා හරි උඩයි. එයා දෙවනි බොස් ගෙ ස්පෙයාර් වීල් එකක් කියලා ශානිකාමයි මට කිව්වෙ. ඉතින් මට කරන්න පුළුවන් දෙයක් නැතත්, උන්ට ඕනෙ උන්ගෙ හිත රවට්ට ගන්න නම්, මට මොකෝ..
“බෝඩිමේ කුලිය දීලා දවසට දෙවේල කෑවම ගෙදරට යවන්නවත් කීයක්වත් ඉතිරි වෙන්නෙ නෑ අනූ“ ජයන්ති තේ කෝප්පෙ මේසෙ උඩට තල්ලු කළා. කැන්ටිමේ ෆෑන් එකක් නෑ. ෆෑන් එකක් තිබ්බොත් වැඩි වෙලාවක් එතන රැඳෙයි කියලා, පර්සනල් එක බයයි. ජයන්තිගෙ බඩට දැන් මාස හයයි. ඒ නිසා දාඩිය දානවත් වැඩියි. ජයන්ති පව්!
එයා තාමත් නීතියෙන් බැඳලා නෑ. ජයන්ති යාලු වුණ ත්‍රීවිල් අයියා දැන් ඒකිව මඟ අරිනවා. ත්‍රීවිල් අයියාට සැකලු දරුවා ගැන. පිරිමි ඔක්කොම වගේ ඔහොමයි. කරද්දි කිසි ප්‍රශ්නයක් නැතිවට, එතනින් පස්සෙ ආත්ම ගෞරවය, සංස්කෘතිය, රටේ සංවර්ධනය ඔක්කොම ගැන සෑහෙන හිතනවා. එහෙම නැත්තං ජින්ටෙක් එකටත් වඩා ඩී එන් ඒ ප්‍රශ්න එයාලාට තියෙනවා. ජයන්ති නං දැන් හිතෙන් ඒවා අතෑරලා තියෙන්නෙ. ආවොත් බඳිනවලු. නැත්තං ලබන මාසෙ එකතු කරගත්ත ටිකත් අරන් කොහේ හරි ඈත පළාතකට යනවලු. ආයෙ ගමේ යන්නෙත් නෑලු.
හැමෝටම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. අපේ බෝඩිමම තනිකරම ප්‍රශ්නයක්. පුංචි කොල්ලන්ට විස්ස විස්ස දීලා ලෑලි බිත්තියෙ ගුල් හදවන මාටින්ගෙ සෙට් එක රෑට රෑට අපි ඇඳුම් මාරු කරන කොට ඒ ගුල් වලින් බලා ඉන්නවා . අපි කරන්නෙ පෝස්ටර් අලවලා හවසටම ඇතුළෙන් හිල් වහන එක. එකම කාමරෙන් දෙපාරක් කුලී ගත්තාට මොකද සිරිලා අක්කාටත් අපි ගැන කිසි කැක්කුමක් නෑ. එකම වෙලාවට ෂිෆ්ට් එක මාරු වෙන කට්ටි දෙකකට එකම බෝඩිම රෙන්ට් කරලා ඒ ගෑණි ඩබල් හොයනවා.
මේ ලෝකෙ හරිම පුංචියි. අපි දකින්නෙ ඊටත් වඩා පුංචි ලෝකයක්. ගාමන්ට් එකයි.. කුණු ලේන් එකයි, ලෑලි බෝඩිමයි,කඩ පේළියි විතරයි අපේ ජීවිතේ. දවල් බාගෙට කාලා පිඟන් වල ඉතුරුකරලා ගිය මස් කෑලි, ආයෙ රෑ කොත්තුවෙ ගහලා දවල්ටත් වඩා වැඩි ගාණට විකුණන නානා වගේ අපිත් එකම තැන පල් කරන ජීවිතේ ආයෙ චුට්ටක් සුවඳ ගස්සලා අලුත් දවසකට ගෙනියනවා. කාගෙවත් ප්‍රශ්න ගැන ඕනෑවට වඩා කාටවත් දුක්වෙන්න බෑ. තේරුමකුත් නෑ. මට වඩා පස්සයි පපුවයි තියන කෙල්ලෙක් ආවොත් සාලිය සර් ඒකි එක්ක යාලු වෙයි කියලා මට වුණත් නිතරම හිතෙනවා.
දැන් වහින්න පටං අරං.. කුඩේ අමතක වෙන තැනින් පටන් ගන්න ප්‍රශ්න තමයි හුඟක් භයානක කියලා බැඳපු නැති ලොකු අක්කා ගමේ ගිය දවසක කියනවා මං අහගෙන. මැහුම අස්සෙන් රංගිකා හොරෙන් හොරෙන් ඔඩොක්කුවෙ තියාගත්ත ෆෝන් එකට එබෙනවා. මම මැෂිම පෑගුවා. ජීවිතෙත් හරියට ජුකී මැෂිම වගේ... කොච්චර කැරකුණත් එකම තැන.
අපේ හැම කෙල්ලෙක්ගෙම හීනෙ ලස්සන ෆෝටෝ අරං ෆේස්බුක් යන්න පුළුවන් ෆෝන් එකක්. ඒවායෙ ඉන්න ජාතියෙ රට දැයට ලැදි, එහෙමත් නැත්තං ඒ ඔක්කොටම පලු යන්ඩ බනින තාලෙ හොඳ හැටියට සල්ලිකාර ජේත්තු කොල්ලෙක් පල්සර් එකක නැගලා කවදාහරි එයි කියලා උන් හිතා ඉන්නවා. උන් ඒ ගැන හීන දකිනවා. ඒත් ඒ හීන වලට මේ වැස්ස ඇළ දොළ ගංගා දිගේ මහ මුහුදට තුරුළු කරන වතුර කඳ තරම් ඈතට ඇදිලා යන්න වරම් නෑ.. අපේ හීන වත්තෙ කුණු වතුර කාණුවෙ වතුර වගේ. පල් වෙච්ච ඇල එහා වගුරෙන් හැම දාම නතර වෙනවා.
//දවල් බාගෙට කාලා පිඟන් වල ඉතුරුකරලා ගිය මස් කෑලි, ආයෙ රෑ කොත්තුවෙ ගහලා දවල්ටත් වඩා වැඩි ගාණට විකුණන // හරිම තාත්වික විදිහට ලියලා තියෙනවා... අගෙයි
ReplyDeleteහ්ම්ම්, හුඟක් හීන වල අවසානය ඔහොම තමයි. අපි බලාපොරොත්තු වෙන දේවල් තියා ඒ ලඟටවත් යන්න ඒ හීනෙට බෑ.
ReplyDelete