මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

4/9/15

- 256 -ආදරය උගැන්වූ මරදාන



ඒ පුවතේ තිබුණේ එක්තරා පරසිඳු බාලිකා පාසලක විදුහල්පතිනියක ගේ අකුරට වැඩ කිරීමේ ප්‍රතිපත්තියෙන් තැලෙන විශේෂ අවශ්‍යතා ඇති දියණියක් පිළිබඳවය. ඇගේ පන්තිය තෙවන මහලේ බැවින් රෝද පුටුව තෙවන මහලට රැගෙන යාම අපහසුය. ගැහැණු පාසලක් බැවින් පියාට දියණිය රැගෙන යාමට අවසරද නැත. දියණිය රැගෙන යද්දී මව පඩිපෙළෙන් වැටී ඇත. දැන් ඒ දැරියට තුන් මසක් පුරා පාසල් යාමට නොහැකි වී ඇත.

මේ පුවත දකින අය අතරින් අනුකම්පාව මත ක්‍රමවේදය ලිහිල් නොකරන විදුහල්පතිතුමියට එක් පාර්ෂවයක් දොස් කියනු මම දුටුවෙමි. තවත් අය දැරිය විශේෂ අවස්ථා හඳුනාගත් අධ්‍යාපන ආයතනයකට නොයන්නේ ඇයිදැයි කල්පනා කරති. දැරියගේ පියා මානව හිමිකම් පිහිට පතන බවද පුවත් වල සඳහන් වෙයි. කෙසේ වෙතත් අවසානයේ මේ කිසිම කතා බහකින්, බොහෝ දේ කාලාන්තරයකට වෙනස් නොවන බව පමණක් පැහැදිළි වෙයි.

අවසානයේ විදුහල්පතිතුමිය දොස් පරොස් වලින් තව තවත් කිපී, වෛරය වපුරනු ඇත. දැරිය වත්මන් සුපිරි බාලිකා පාසල  අත් හැර අලුත් තැනකට එක් වර අනුගත වීමට ද අකමැති වනු ඇත. දැරියගේ පියා සාම්ප්‍රදායික මානව හිමිකම් කර්යාලයේ පෝලිම් වල හිඳ සිටම හෙම්බත් වනු ඇත.

එහෙත් මෙවන් සරළ ප්‍රශ්නයක් මෙතරම් දුර ගියේ ඇයි දැයි  නිකමට සිතා බැලිය යුතු නොවේද? ඒ සුපිරි බාලිකාවට නාමිකවම බැන වදින තැන්ද මම දුටුවෙමි. එය ඒ පාසලේ ආදී වත්මන් අනාගත සිසුවියන්ට ද කෙරෙන අපහාසයකි. මෙවන් ගැටලු වලට සරළ විසඳුම සහයෝගයම නොවේද? ඉතින් මට දැන් සහයෝගය මට මෙන්ම මගේ සොයුරියන්ටද ඉගැන්වූ මගේ පාසල කෙරෙහි ආඩම්බරයක් දැනීම අසාධාරණද?

මම ඉගෙන ගත් මරදානෙ පිහිටි, මගේ ආදරණීය ගෝතමිය කිසිදිනෙක අපට සාරධර්ම ඉගැන්වූයේ නැති වීම ගැන අද මම සතුටු වෙමි. එමෙන්ම අපේ පාසලට පැමිණියේ බොහෝ හයි ෆයි ළමයි නොවීම ගැනද මම සතුටු වෙමි.

බොහෝ පාසල් වල වරද දරුවන්ට සාරධර්ම කටපාඩමින් ඉගැන්වීමයි. සාරධර්ම යනු, නිර්වචන තුළින් හා පොත් පත් තුළින් ලියා පුහුණු වන දෙයක් විය යුතුද? හොඳම දෙය සාරධර්ම නොව යහපත් ජීවිතය ක්‍රියාවෙන් පුරුදු කිරීම ම නොවේද? ආදරය හා සහයෝගය එකිනෙකා තුළ වැපිරවීම තුළින් මෙවන් ප්‍රශ්නකාරී සිද්ධි ගණනාවක්, සරලව විසඳිය හැකි නොවේද? අවශ්‍ය වන්නේ කුඩා සෙනෙහසක් ම පමණි.

මෙවන් විශේෂ අවශ්‍යතා සහිත දැරියක් අපේ පාසලේ වූයේ නම්, තට්ටු පහක් උඩට හෝ සිය මිතුරිය, සොයුරිය ඔසවාගෙන යාමට හැකි සොයුරියන් මිතුරියන් පිරිසක් බිහිවෙයි. නැගණියන් කුඩා නම්, එය අක්කලාගේ රාජකාරියක් බවට පත්වෙයි.  ඒ  ශක්තිය විසින්ම,  සිය පන්තිය පහල තට්ටුවට නොව ගේට්ටුව අසලටම ගෙන ඒමට තරම් නිහඬවම විදුහල්පතිනියට ආයාචනා කරනු ඇත. තම දැරිය පාසලේ ශක්තිය තුළ ආරක්ෂිත බව දැනගත් දෙමාපියන්ද එවිට  සැනසේවි. පාසලේ ගේට්ටු තාප්ප අතරදී දැනෙන ඒ ආරක්ෂාව ආදරය සහයෝගය දරුවා සවිමත්ව අනාගතයට රැගෙන යන බැවින්, සියලු දරුවන් තුළ ආදරය පුහුණු කිරීම වැදගත් නොවේද? අක්කලා නංගිලාගේ ශක්තියෙන්  ඇය පන්තියට පමණක් නොව, සමහරවිට ක්‍රීඩා පිටියටද යනු ඇත. නාට්‍ය ද රඟපානු ඇත. අවසන තෑගි ගැනීමට වේදිකාවටද නගිනු ඇත. ඒ සියල්ලටම වඩා ඇය වෙනුවෙන් පෙනී සිටින , ඇයව පසුපසින් දිරි ගන්වන ශක්තිය දැක ඇය සතුටු වෙනු ඇත.

ජීවිතය ඔබ සිතනවාට වඩා සරලයි.. මඳක් සෙනෙහස බෙදන්න.. ආදරය ෆෑන්ටසියක් නොවන්නට, සැබෑවට ලෝකයට ආදරය කරන්න. මම ආදරය ඉගෙන ගත්තේ මරදානෙනි.. එහෙත්  කුරුඳුවත්ත හෝ බම්බලපිටිය ආදරයෙන් මුක්ත කලාපයක් බව එයින් කිසිවිටකත් නොකියවේ.


22 comments:

  1. ඇත්තම ඇත්ත... නංගී.. මමත් හිතුවෙ ඇයි දරුවො, ගුරුවරු මේ දරුවා වෙනුවෙන් මැදිහත් නොවුණෙ කියන එක.... ඒ තරම්ම ආදරය, සහෝදරත්වය, මිත්‍රත්වය හිඳුණු හදවත් බිහිවෙන්නෙ කොහොමද?

    මේ කියමන අගෙයි............

    ‘‘‘ජීවිතය ඔබ සිතනවාට වඩා සරලයි.. මඳක් සෙනෙහස බෙදන්න.. ආදරය ෆෑන්ටසියක් නොවන්නට, සැබෑවට ලෝකයට ආදරය කරන්න. මම ආදරය ඉගෙන ගත්තේ මරදානෙනි.. එහෙත් කුරුඳුවත්ත හෝ බම්බලපිටිය ආදරයෙන් මුක්ත කලාපයක් බව එයින් කිසිවිටකත් නොකියවේ.‘‘

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරු අක්කා..

      Delete
  2. කොච්චර කථා කලත් අන්තිමට මේවා එක් එක් පුද්ගල ගතිගුණ අනුව තීරණය වන දේවල් නේද?
    පවතින නීතිය තුල යන්න හැකි සීමා වලට යන්න හැකිවෙන්නේ විකල්ප සොයන්න පෙළඹෙන්නෙත් ඒ මනුස්සකම නිසාමයි

    නුගේගොඩ සමුද්‍රදේවී බාලිකාවට යන මා මිතුරකුගේ දියණියක් දෙවරක්ම ඩෙංගු වැළදී හදවත දුර්වල වූ බැවින් දෙවන මහලේ තිබූ පන්තියක් විදුහල්පතිනිය මැදිහත් වී බිම් මහලට ගෙනාවා. අනෙක් දූලාද අප මිත්‍රයාගේ දියණියට බෙහෙවින් උදව් කලා. මනුස්සකම උල්පතක් බඳු වියයුතුයි එවිට බොහෝ කුඩා ජල පහරවල් ඒ පෝෂණය කරනවා නොවෙද?

    මා වැඩකල එක් ආයතනයක, ආයතනයේ සේවිකාවන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තේරුණු දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කලා. ශිෂ්‍යත්ව සීමිත ප්‍රමාණයක් තිබූ බැවින් ප්‍රධාන නිර්ණායකයන් වුණේ දක්ෂකම, විශ්වවිද්‍යාලයට ඇති දුර හා සේවකයාගේ ආදායම යන්නයි. ඒවාට වෙන් වෙන්ව බර තැබුණා. දුර වැඩි අයට වැඩි අවස්ථාවක් ලැබුණා. අවසන ආ එක් විධායක ශ්‍රේණියේ නොවන සුලු ශ්‍රේණියක මහත්මයෙක් සිටියේ කඩ ඉමක. ඒ ප්‍රධාන වශයෙන්ම ඔහු නිවසේ සිට විශ්ව විද්‍යාලයට සෑබෑ දුර අප හා අවංකව ප්‍රකාශ කල නිසායි. ඔහු සිටියේ අදාල විශ්ව විද්‍යාලයට ඉතා කිට්ටුවෙන්. ඔහුට ඕනෑ තරම් වෙනත් ලිපිනයක් පවසන්නට තිබුණා. එනිසාම මම තීරණය කලා අනෙකුත් අයට අසාධාරණයක් නොවන පරිදි ඔහුගේ දියණියටත් ශිෂ්‍යත්වයක් සඳහා ප්‍රතිපාදන සකසා ලබා දෙන්න. ඒ තීරණය අප කෙටුම්පත් කරණවිට ඒ තාත්තාට කඳුළු ආවා. මම කීවා ඔහුට මේ ඔබේ දියණියගේ දිරිය හා ඔබේ අවංකකමෙන් උපයාගත් දෙයක් කියා.

    ReplyDelete
    Replies
    1. තිස්ස අයියාගෙ කතාවෙ හැබෑවක් තියෙනවා

      Delete
  3. ප්‍රශ්න සරලව විසඳාගන්නේ නැතිව තම තමන්ගේ පොරත්වය පෙන්නන එකේ තියෙන ප්‍රශ්නය තමයි ඔය එළියට ඇවිල්ලා තියෙන්නේ. සමහර ඉස්කෝලවල ඉන්න විදුහල්පතිලා තමන්ගේ ඉස්කෝලේ ලොකු කම පෙන්නන්න කරන දෙයක් තමයි ඔය.කාන්තා පාසැලක් පිරිමින්ට තහනම් වුනාට ගැටළුවක් නෑ... ඒත් ඒ ප්‍රයෝගික විසඳුම් සහිතව. අපි කැම්පස් එකේදිත් ආබාධිත ලමයෙක්ට මෙහෙම උදව් කරා. ඒ ළමයට ලෙක්චර්ස් දැම්මේ බිම් මහල් වල. උඩු මහලක් හම්බවුනා නම් අපි කට්ටිය උස්සගෙන ගියා.

    ReplyDelete
    Replies
    1. ජයවර්ධනපුරේ විශ්ව විද්‍යාලෙටත් ඔහොම අක්කෙක් ආවා. කතිකාචාර්ය වරු පවා ඒ ළමයාට උදව් කළා.

      Delete
  4. වත්මන් ළමා පරපුර අපේ කාලේ අය වගේ නෙවේ හරි ආත්මාර්ථකාමීයි

    ReplyDelete
    Replies
    1. නැහැ නංගි වත්මන් ලමා පරපුර සෙනහස දයාව දෙක තේරුම් ගන්න මට්ටමෙන් ඈතයි.

      Delete
  5. මගේ අදහස නම්, පාසලක් ළමයිනට සාරධර්ම ඉගැන්විය යුතුයි. එය පොත පතින්ද, ප්‍රායෝගික ක්‍රියාකාරකම් මගින් සහ විශේෂයෙන්ම 'ඔවා දෙනු පරහට, තමා සම්මතයේ සිට " කියන මෙතොඩ් එකට විය යුතුයි.....!

    ReplyDelete
    Replies
    1. Value education කියන පීරියඩ් එකක් ජාත්‍යන්තර පාසල් වල තියෙනවා. ඒත් ප්‍රධාන පාසල් වල නම් නෑ අයියෙ.

      Delete
  6. මේ පුවත ඉස්සෙල්ලම ලංකාදීප පත්තරේ දැක්කම මටත් මහා කම්පාවක් දැනුනා. මේ විදුහල්පතිනිය, පාසලේ අනෙක් ගුරුවරු ,පන්තියේ ළමයින් හා ඔවුන්ගේ දෙමවුපියන් ඇතුළු සියලු දෙනාගේ අසංවේදී කම ගැන මට කලකිරීමක් ඇති වුනා.

    මම මේ ගැන අටේ පන්තියේම ඉගෙන ගන්න මගේ දියණිය එක්කත් කතා කළා. මම කිව්වේ දුවේ විභාගවලින් ලංකාවෙන් පළවෙනිය වුනත් මිනිහෙක්ගෙන් වැඩක් නෑ මනුස්සකම , සංවේදීකම වගේ දේවල් හිතේ නැතනම් කියල.

    මේ ළඟදී පත්තරේක කියවපු සිතට සැනසුමක් දෙන ලිපියක් ගැන දියණිය කිව්වේ එතකොටයි. තාත්තේ එක ඉස්කෝලෙක හිටපු ඔය වගේ ළමයෙක් ගැන පත්තරේ ලිපියක් තිබ්බා . මෙයා දැන් AL කරන්නේ පොඩි කාලේ ඉඳන් මේ දක්වා එයාව ගෙදර ඉඳන් ඉස්කෝලෙට ගෙනල්ලා තියෙන්නේ පන්තියේදී බලාගෙන තියෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි පන්තියේම ළමයි.

    ReplyDelete
    Replies
    1. යෙහෙළියන් අතින් සිය සොයුරිය බලා ගැනීම තමයි මෙතැනදිත් වෙනවා නම් හොඳ!!

      Delete
  7. ඒ අතින් නං ගෝතමිය මල් හතයි තමයි... ප්‍රින්සිපල් මැඩම්ගෙ ඉඳල අතුගාන කෙනා දක්වාම උපරිම මනුස්සකම තියෙනව දකින ළමයින්ට ඒක අමුතුවෙන් උගන්නන්න උනේ නෑ...

    ReplyDelete
  8. මමත් හිතුවෙ ඇයි යාළුවො, ගුරුවරු ඒ ළමයට උදව් කරන්නෙ නැත්තෙ කියලා. කැම්පස් එකේ කොච්චර ඉන්නවද ඇස් පේන්නෙ නැති, ඇවිදින්න බැරි ළමයි ඉන්නවද? එයාලව ලෙක්චර්ස් වලට, ජිම් එකේ තියෙන කොන්සට් බලන්න, වලේ නාට්‍ය බලන්න හැමදේටම එක්ක එනවා යාළුවො.

    ආකල්ප වල වෙනසක් තමයි මුලින්ම ඕනෙ වෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඔව්!! වෙන්න ඕනෙ ඒකයි..!!

      Delete
  9. අපි ඉස්කෝලේ යද්දී අපිට වඩා පහළ පන්තියක හිටියා මෙහෙම සහෝදරියක්.. ඕලෙවල් ක්ලාස් තිබුනේ බිල්ඩිමේ දෙවන තට්ටුවේ.. ප්‍රින්සිපල්ට ඉතින් ළමයි හැමෝම ගැන මතකයක් නැති හන්දා පන්ති සුපුරුදු තැනම තියන්න සැලසුම් කලා.. පස්සේ පන්තිභාර ගුරුවරයගේ ඉල්ලීමට පහුවදාම ඒ පන්තිය පහල ශාලාවට අරන් ආවා..

    මේ විස්තරේ මම අද බුකියේ දැක්කා.. මෙතන හරියට උනානම් කරන්න තිබුනේ සුළු ක්‍රමවේදයක්.. ඒත් ඒක වෙලා නෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ් වෙනස් වීම් හරි සරලයි... අපි ඒවාට නම්‍යශීලි නම්

      Delete
  10. ඉස්කෝලෙක ප්‍රින්සිපල් කියන්නේ සර්වබලධාරී නෙවෙයි....ඒත් දැන් හිතන් ඉන්නේ එහෙමයි.....
    මානූෂිය ව සලකන්නේ නැති...සල්ලි වලට ම වැඩ කරන ප්‍රින්සිපල්ලා තමයි දැන් ඉන්නේ...

    ReplyDelete
  11. ළමයින්ට මූලික සාරධර්ම සහ ගුණදම් දියයුතු කාලයේ අපි ළමයින්ට ශිෂ්‍යත්ව විභාගයට පන්ති යවනවා මිස ලබා දිය යුතු සැබෑ අත්දැකීම් සහ දැනුම දී නැහැ.. ඉතින් දරුවන් ලොකු වෙද්දි යන්ත්‍ර වෙන ඒක අමුතු දෙයක් නෙමෙයි

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.