බ්ලොග් එකකින් අපට රට වෙනස් කරන්න බෑ. බ්ලොග් එකක් කියන්නෙ අපිට හිතෙන, අපි හොයාගන්න, අපි තේරුම් ගන්න යම් දෙයක්, නොමිලේම අනික් අයගෙ සංවාදයට විවෘත කරන්න පුලුවන් සමාජ ජාලයක් විතරයි. ඉතිං තමන් ඉතිරි කරලා යන කමෙන්ට් එක බලන කෙනාට කොයිතරම් වැදගත්ද කියලා ටිකක් කල්පනා කරලා දානවා නම්, ඒක කාලය නාස්ති නොකිරීමක් වෙයි. ඇනෝ කමෙන්ට් දෙකකට මුලින් උත්තර දීලා මම අද ලිපිය පටන් ගන්න කැමතියි. විවාහය ගැන, මඟුල් උත්සව යම් පැහැදිළි කිරීමක් මම සොයා උගත් දැනුමෙන්, මගේ හිතවතුන්ට බෙදා හදා දෙන්න, මම තවම කසාද බඳින්න ඕනෙ නෑ.. නාරි හා ප්‍රසව පිළිබඳව බෙහෙත් දෙන ෙපිරිමි වෙදදුරන්ට කවමදාවත් දරුවො හම්බෙනවාද? නෑනෙ.. අනික් දේ තමයි.. අපි හොයා ගන්න තොරතුරු මෙහෙම ඉදිරිපත් කළාම, අපිටම අනික් අයගෙ මත දැන ගන්න පුලුවන්. දේශපාලනය, සමාජ විෂමතාව , ස්ත්‍රීත්වය, මනෝභාවය වගේ මාතෘකා ගැන බර සාරෙට කතා කරන අය අතරෙ, මේ වාගේ ලයිට් රීඩිං එකකුත් තිබ්බෙ නැත්තං ගතියකුත් නෑනෙ... කොහොමත්, මේ ලිපි පෙළට කැමති දෙතුන් දෙනෙක් හරි ඉන්න නිසා මම ඒ අය වෙනුවෙන්, මම හොයා ගන්න දේ ලියනවා දිගටම.. අනික මම මේ හොයන්න මහන්සි ගන්නෙ, අපි රැල්ලට ගිහින් නිස්කාරණේ නාස්ති කරන සල්ලි වලට ඊට වඩා දෙයක් කරන්න පුලුවන් නේද කියලා හොයා බලන්න... ඒවා ඉවරයි දැන් අපි ලිපියට යමු..
දැන් අපි රෙජිස්ට්‍රේෂන් එක ගැන කතා කරලා ඉවරයි. ඒක කලින් ගන්න එකේ වාසි ගැන අපි ඉස්සර ලිපි වල කතා කළානෙ...මොනා හරි ගැටලුවක් තියෙනවා නම් කියන්න ආයෙ පහදලා දෙන්නම්. උත්සවයක් ගන්න ඕනෙ අයට ඒක ලාබෙට කරන හැටි ඔන්න මම කිව්වා. කව්චේරියට ගිහින් බැන්දාත් ඇති. ඒත් ඉතිං අද කාලෙ අලුත් දේවල් කරන්න අපි ආසයිනෙ.. රැල්ලටම නොයා, ලස්සනට කරන එකේ කිසි වරදක් නෑ. තමන්ගෙ හීනෙ කාටවත් කරදරයක් නැතිව ඉටු කරගන්න එක, තමන්ගෙ ආත්මයට කරන ලොකු සාධාරණයක්. හරි හරි.. දැන් අපි යමු වෙඩිම ගන්න..
යාලුවනේ, මම දන්න තරමින් වෙඩිං එක පටන් ගන්නෙ නැකත් කොළයකින්, ඒකෙ හුඟක් දේවල් වලට නැකත් තියෙනවා. තෙල්වලං ලිප තියන්න, පෝරු හදන්න , එහෙමත් නැකත් තියෙනවා. අද නම් හුඟක් අය ඕවා තිතට කරන්නෙ නෑ.. පොරුව වගේම කැවිලි ගන්නෙත් කඩෙන්.. මඟුලත් අනුන්ගෙ වගේනෙ.. ඒ නිසා අපි ඔය වෙඩි ප්ලෑනිං කියන අරුමෝසම ටිකක් ෆලෝ කරලා බලමු...මම එහෙම සයිට් දහයක් පහළවකටම ගොඩ වැදුණා මේ ලිපිය ලියන්න ඉස්සර.. එහෙම ගියාම තමා මට තේරුණේ අපි කරන දේවල් ටිකම , අපිට හිතන්න උදව් කරනවාටයි, මේ යක්කු අපෙන් ලක්ස ගණන් කඩන්නෙ කියලා...
දැන් එහෙනං අපි විවාහයට සැලසුම් කළ යුතු දේ, අපි නොම්බර පිළිවෙළට ලියලා, එක එක ගැන වෙන වෙනම කතා කරමු... ලෑස්තියි නේද?
1. වෙඩිං එක ගන්නෙ කොහෙද?
2. කොහොමද වෙඩිං එක සරසන්නෙ?
3. කවුද මනමාලිට මනමාලයාට, අර අනික් අයට අන්දන්නෙ?
4. කොහොමද කෑම බීම?
5. වාහන වලට මොකද කරන්නෙ? වෙඩිං කාඩ්? කේක් පෙට්ටි?
6. කවුද චාරිත්‍ර කරන්නෙ?
7. කොයි වගේ හෝටලයකට ද යන්නෙ?
8. සංගීතය කොහොමද?
9. කවුද පොටෝ ගන්නෙ? වීඩියෝ කරන්නෙ?
10. එදාට නීති කටයුතු කරනවා නම් ඒවා කොහොමද වෙන්නෙ?
හරි.. මේ කරුණු වලින් අපිට යමක් මඟ ඇරුණා නම්, අපි හෙමි හෙමින් පස්සෙ හොයා ගමු. මේ හැම දෙයක්ම හොයන්න ඉස්සල්ලා, අපි බලන්න ඕනෙ, අපිට කොයි තරම් මුදලක් වියදම් කරන්න ශක්තිය තියෙනවාද කියලා. කවදාවත් මඟුල් කන්න එපා ණය වෙලා.. ඒකට දෙමව්පියන්ට ඉඩ තියන්නත් එපා..ඒ නිසා හැම වෙලාවෙම අතේ ඇති මුදල ගැන හිතලා වැඩ කරන්න.. දැන් ඔබට පුලුවන් මම මේ කියන කරුණු එක්ක, අතේ තියෙන මුදල් ගැන කල්පනා කරලා, ඔබගෙ වෙඩිම ගැන දළ අදහසක් ගන්න..
සමහර ජෝඩු වෙඩිං එක සැලසුම් කරන්න ගිහිංම පට්ට වලි දා ගන්නවා. ඒ අය තව පාරක් විවාහ වෙනවාද නැද්ද කියලා තීරණය කරන එක හොඳයි ඈ!!!
1. වෙඩිං එක ගන්නෙ කොහෙද?
මේ දේ තීරණය කරන්න, ඉස්සර ඔබ සොයා බලන්න ඕනෙ කී දෙනෙක්ට මඟුල් ගේ කියනවාද? කියලා. කියන ප්‍රමාණය අනුව තමයි ඔබට තැන හිතාගන්න වෙන්නෙ. ගෙදරක ගන්න ඉඩ මදි නම් හෝටලයක ගන්න වෙනවා. හෝටල් තෝරා ගන්න කොට එක එක මිල මට්ටම් තියෙනවා. කෑම නැතිව හෝටලය විතරක් ගන්න පුලුවන් තැන් තියෙනවා. සමහරු හෝටලය දෙන්නෙ කෑම ගන්නවා නම් විතරයි.. තවත් සමහරු ඉන්නවා..අවශ්‍ය කෑම පිටින් ගෙන්වා ගන්න අපිට අවස්ථා දෙනවා. හැබැයි එයාලාගෙනුත් ගන්න ඕනෙ.. හෝටලයක් කෑම බීම එක්ක දෙන්නෙ පැය පහක් හෝ හයක් වාගෙ කාලයකට. ඉතිරි ඉන්න වැඩි වෙලාවට වෙම ගෙවන්න ඕනෙ. හෝටලයෙන්ම කෑම මෙනුව අපි අරගන්නවා නම් ඒක අමතර පහසුවක්. ඒ නිසා හෝටලයක් බුක් කරනවා නම්, කෑම එක්කම බුක් කිරීම ලේසියි. කෑම වල ගණන් බලන්නෙ ප්ලේට් එකකට.. ප්ලේට් එකට බත් වෑංජන,අතුරුපස, වෙල්කම් ඩ්‍රින්ක් එක අයිති වෙනවා. සමහර හෝටල් වල යම් යම් වෙනස් කම් තියෙනවා. ඒවා මුලින්ම අහලා දැනගෙන කොටේෂන් අරන් සංසංදනය කරලා බලන්න. ඒක අමාරු දෙයක් නෙවෙයි. හෝටලයක් තෝරා ගනිද්දි, දෙපාර්ශවයටම පහසු මාර්ගයක තියෙන තැනක් වගේම, ඡායාරූප වලටත් හොඳයි කියලා හිතෙන තැනක් තෝරාගන්න. දැන් ඇන්දුවාට පස්සෙ පින්තූර අරගෙන ශාලාවට යන නිසා, අමතර කාලය ඉතුරු කරගැනීම ගැන හැම විටම හිතන්න ඕනෙ. මොකද චාරිත්‍ර වලට වෙලාවට යන්නත් ඕනෙනෙ. මේ කරුණු වලට අමතරව හෝටල් වල කොටේෂන් ගද්දි ෆ්‍රී ප්ලේට්ස් දෙනවාද කියලා මතක ඇතිව අහන්න. සමහරු 150 කට කෑම දෙනවා නම් තව 10කට කෑම නොමිලේ දෙනවා...
හරි... එක දවසෙ ඔක්කොම ලියලා ඔලුවට යන්නෙ නෑනෙ. ඒ නිසා ඉතිරිය පස්සෙ ලියමු..
මේ කෝලං දැක්කාම මට හොරාට පැනලා යන්න ආපු සිත තවත් වැඩිදියුනු වෙන්නෙ ඇයි?/
ReplyDeleteදෛවය මල්ලි... දෛවය
Deleteචි මට ආයිමත් බදින්න විදියක් නැනේ. කෙල්ලො දෙන්න නැත්තං ආයිමත් වෙඩිමක් ගන්නව අම්මප...
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
පරණ අක්කාවම නේද ආයෙ බඳින්නෙ!!! හික් හික්.... අනිවා එනවා
ReplyDeleteනියමයිනේ,
ReplyDeleteදැන් බදිනවා කියන්නේ සෙල්ලන් දෙයක් නෙවෙයිනේ.
ඒත් වෙඩින් 1කට ගියාම හිතෙනවා, මොන මගුලක්ද මේක කියලා
කනවා, බොනවා, නටනවා, ෆොටෝ ගහනවා
අද මම උබත් එක්ක එකඟයි නංගි.
ReplyDeleteගෙදරක වෙඩිමක් ගන්නවට වඩා හෝටලයක ගන්නකොට නම් ගොඩක් දේවල් හිතන්න ඕන. උදාහරණෙකට ආරාධන කරන කට්ටිය ගැනත් හිතන්න ඕනා.
ඊලග කොටසත් ලියන්න....
නීනූ මේ අත ගහලා තියෙන්නෙ ලේසි වැඩකට නෙවෙයි..... මගේ වෙඩින් ප්ලෑනින් කරන කොට තිබ්බ අමාරුව මට තාම දැනෙනවා වගේ... හි හි..
ReplyDeleteඔන්න නීනූ මං අද ඉඳලා මෙග් වෙඩිමෙදි මං කරපු දේවල් සහ ඒවා කරන්න ගිහින් මං අනාගත්ත තැන් එහෙම ලියනවා... මොකද ඒ වෙලාවට හරියි කියලා හිතුවට පස්සේ ලෙඩක් වෙන තැන් ගොඩක් තියෙන නිසා.... කමක් නෑ නේ...
මුලින්ම කියන්න ඕනේ අම්මගේ කේක් වැඩේ නිසා වෙඩින්ස් සම්බන්ධයෙන් මට හොඳ දැනුමක් ඒ වෙනකොට තිබ්බා කියන එක.. හොටෙල් තෝරගන්න විදිය, නැකත්, ඩෙකරේෂන්, ඇන්දිලි, ෆොටොග්‍රැෆි ගැන එහෙම.... ඒක නිසා වෙඩින් ප්ලෑනින් ගැන මට දැනුමක් තිබ්බා... ඒක නිසා ඒකට වෙන කෙනෙක්ගේ සහයෝගය ඕනේ උනේ නෑ...
මේ මුල් ප්ලෑන...
අපි දෙන්නටම ඕෙන් උනේ ළඟම නෑයෝ ටිකට විතරක් කියලා අපි දෙන්නගේ අතේ තිබ්බ ගාණෙං වැඩේ ලස්සනට පොඩියට කරන්න.. එතෙකාට මගේ ළඟම නෑයෝ ටික ඔක්කොම එකතු කළාම හරියටම 50යි... අපේ මහත්තයගේ 32ක් විතර හිටියා... ( පොඩ්ඩො ඇරනම) කොහොමහරි අන්තිමට යාලුවො එහෙමත් එකතු කළාම 100 - 110ත් අතර ප්‍රමාණයක් ඔක්කොම හිටියේ එතකොට...
මට ඕනේ උනේ නැචුරල් ගාඩ්න් වෙඩින් එකක් කරන්න.. ඒකට ලස්සන බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙන පොඩි හොටෙල් එකක් මං දැනගෙන හිටියා පාදුක්කෙන් ටිකක් එහාට වෙන්න... ඒකේ ගනං හිලවු ෂේප්.. පරිසරය හරිම නිස්කලංකයි.. හෝල් එක ෆුල් ඕපන්... ඒසී අවශ්‍ය නෑ... ගස් වලින් වට වෙලා ... කෑම නියමයි... ලොකේෂන් හරිම ස්වාභාවික ලස්සනක් එක්ක හදලා තිබ්බේ.. ෆොටොස් වලට කියාපු තැන.. ( අපි වෙඩින්ස් වලට කේක් අරන් රට වටේ යනවානේ ඉතිං.. හි හි)
මේ කරන්න වෙච්ච ප්ලෑන...
ඒත් අපේ අම්මලට ඕෙන් උනා එයාලා දන්න හැමෝටම මෙග් වෙඩින් එක කියන්න... හේතුව තමයි ඒ දෙන්නම මෙච්චර කල්ම බලං හිටියේ ඒකට හින්දා.. පොඩි කාලේ ඉඳලම කිසිම දෙයක් නොකර දුක් වින්ද එකේ මේක වත් හැමෝටම කියලා කරන්න ඕනේ කියන එකයි දෙන්නගොම අදහස උනේ.. අනිත් එක මං එකම කෙල්ල.... ( මෙග් නම්, වෙන්න නැන්දම්මා වචනයක් වරද්දගත්ත එකත් ඒකට හේතුවක් උනා.. හි හි) ඔය වගේ වෙලාවක අම්මලගේ හිත් රිද්දගෙන මොනාවත් කරන්න බෑ... ඉතිං අපි දෙන්නම කිව්වා එහෙනං එහෙම කරමු කියලා... ලිස්ට් එක හැදුවම ඔක්කොම කට්ටිය 350 පැන්නා..... හි හි.. ඉතිං මට හෝල් එකේ ඉඳලා හැම දෙයක්ම ආයිත් වෙනස් කරන්න සිද්ධ උනා.... මොකද හොටෙල් එකට 350 ක් දාන්න පුළුවන් උනාට එච්චර ගානකට පාකින් ස්පේස් තිබ්බේ නෑ.. අනිත් එක සෙනඟ වැඩි උනාම ඒ හොටෙල් එක කන්ෆර්ටබල් නෑ...
ඉතිං මට ලොකු හොටෙල් එකකට යන්න සිද්ධ උනා... මේ හැමදෙයක්ම වගේ කෙරැනේ මාව අල්ලගෙන.. මොකද එතකොට අයියා හිටියේ රට... එයා ආවේ වෙඩින් එකට සති තුනකට කලින්...එයා වෙඩින් එකේ වැඩ මට කැමති විදියට කරන්න කියලා තමයි කියලා තිබ්බේ.. ඒත් ඉතිං අපි කතා කරලා තමයි හැම තීරණයක්ම ගත්තේ.. සමහර දේවලට අපි දෙන්නම එකඟ නොවුන තැන් තිබ්බා... එහෙම උනේ ගොඩක් වෙලාවට මේ අම්මලා දෙගොල්ල මැදිහත් වීම හින්දා තමයි ඉතිං...
ඕක තමයි ගොඩක් මඟුල් ගෙවල් වල වෙන කචල් එක...
අරගොල්ලො කරන එක මෙයාලට හරි නෑ.. මෙයාලා කරන එක අරගොල්ලන්ට හරි නෑ... හි හි... අක්කලා අයියලා කියන ඒවත් බලපානවා...එක පවුලක හරි කලින් වෙඩිමක් කරලා තියෙනවා නම් “ සියල්ල දත්තෝ” ගොඩක් ඉන්න එක සහ “ ඔහොම කරලා හරියන්නේ නෑ .. අපි අරකෙදි කළේ මෙහෙමයි, ඒ විදියට කරමු” කියන්න එහෙම කට්ටිය හරි වැඩියි...
ප්‍රධානම දේ ඕවා නවත්තන්න බෑ.. මොකද අපි තාමත් හැම වැඩකදිම අම්මලා තාත්තලාට මුල් තැන දෙන විදියට හැදුන සංස්කෘතියක් තියෙන ළමයි.... අම්මලට ඕනෙ කුදයක් ගහගන්න කියලා අපිට ඕනේ දේ කරන්න අපිට තාමත් බෑ.... හොදම දේ කට පරිස්සම් කරගෙන, ෂේප් එකේ තමන්ට ඕනේ දේ කෙරෙන විදියට වග බලා ගන්න එක තමයි... ( මට නං කරන්න අමාරුම වෙච්ච දේ ඒක... )
ඒත් ලොකු හොටෙල් එකකට යද්දි අපි අතේ තිබ්බ ගාන ඇති උනේ නෑ... අපේ අම්මා කිව්වා එයා වෙඩින් එකේ ඔක්කොම දේවල් කරල දෙන්නම් කියලා.. මම තීරණය කළා සාරිය, දෙවනි මනමාලිගේ සහ මල් කුමාරියන්ගේ ඇදුම් සහ ඩෙකරේෂන් ටික මගේ වියදමින් කරන්න... ( කේක් සහ ඇන්දීම සම්බන්ධයෙන් මට මුකුත් කියන්න දෙයක් තිබ්බෙ නෑ... ඒක මම පස්සෙ කියන්නම්.. )
කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා හිතලයි මං මගේ අත්දැකීම මෙතන ලිව්වේ.... ඉතුරු ඒවා ඔයා කියාගෙන යද්දි මං කියන්නම්..
බොහොම පින් අක්කා... ඔයාගෙ අත්දැකීම් බෙදා ගන්නවාට.. අපි
ReplyDeleteඅනේ ඇත්තමයි මං බඳින එක පහු කරලා තිබ්බේ. දැන් නම් මේ දකින ඒවා හිතට වැටිච්ච වෙලේ බඳින්නමයි හිතෙන්නේ. එකම කේස් එක අම්මලාට ඉඩ දෙන්න වෙන එක අර කිව වගේ හැම දේකදිම..නෙරංජි ලියල තියෙන්නේ හොඳටම වටින පට්ටම පට්ට පෝස්ට් එකක්..හිරැත් ඇවිත් මල් වැඩ දාලා තියෙන හික්දා තවත් වටිනාකම වැඩිවෙලා.අපි එකතු වෙලා මේ හැම සේවයම එක වහලක් යටින් හිතේ හැටියට දෙනවයි කියල සේවයක් පටන් ගන්න ඇහැක් වේද?
ReplyDeleteරතී හදන්නෙ බිස්නස් එකක් පටන් ගන්න.. මොකෝ කියන්නෙ හිරූ අක්කෙ.
ReplyDeleteකේක් අපේ අම්මගෙන් නම් කැමතියි.... හි හි....
Deleteණය වෙලා වෙඩිං ගන්නෙ සමාජය ඉදිරියේ තමන්ගෙ පුහු මානය පෙන්වන්න...එහෙම අය වෙඩිම ඉවරවෙලා කන්නෙ බොන්නෙත් නැතුව ණය ගෙවද්දි තමා පෑල දොරෙන් ආදරය පලා යන්නෙ... ඇයි හැමදාම වලි...
ReplyDeleteඅන්න හරි මචං.
Deleteවෙඩිම සුළුවෙන් අරගෙන ජීවිතේ පුරාම ආදරෙන් ඉන්න පුලුවන් නෙ. ලොකුවට ගත්ත වෙඩිමක අන්තිමට ඉතුරු වෙන්නේ ෆොටෝ ටිකකුයි ණය ලිස්ට් එකකුයි විතරයි. :)
ඒක නම් ඇත්ත කතාව.. අපි කතා කරන්නෙ සුලු මුදලින් ලස්සනට ගන්න හැටි..
DeleteBand Baaja Baaraat කියල ෆිල්ම් එකක් තියෙනවා..
ReplyDeleteඕනනම් හොයල දෙන්නම්.
බැලුවට පස්සේ මෙතනට තියෙන සම්බන්දෙ කියන්නම්
හා...........හොයා දෙන්නකො
ReplyDeleteණය වෙන්නෙ නැතුව වෙඩින් එක ගන්න පුලුවන්නම් ගොඩාක් හොදයි. ඒත් ඇත්තටම එහෙම කරන්න පුලුවන් කීයෙන් කීදෙනාටද ?. මමත් ණය වෙලා ලෝකෙට පේන්න ලොකුවට වෙඩින් ගන්න එක ගැන විරුද්ධයි. ඒත් මනමාලිට දාන මගුල් මාලේටයි මුද්දටයි විතරක්ම අද කාලේ රු. 130,000/- ක්වත් යනවා අඩුම වියදමින් කරත්... මේවා නොකරත් බැහැනේ... අතේ සල්ලි ටිකක් තියෙන අයටනම් ණය නොවී කරන්න පුලුවන්. ඒත් මාසේ රෝල ගහන අයට ණයක් ගන්නේ නැතුව වෙන විකල්පයක් නැහැ. දෙන්නම එකතුවෙලා වෙඩින් එක විතරක් සරලව ගත්තත් (හොම් කමින් එක නැතුව.) එක්කෙනෙක්ට අඩුම ගානේ ලක්ෂ තුනක්වත් වියදම් කරන්න වෙනවා.
ReplyDeleteමේ ලිපි පෙල ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත්... දිගටම ලියන්න.... :) ස්තූතියි.
ස්තූතියි..
ReplyDelete