මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

11/16/12

මට හිතුණ දේවල් ටිකක්

හිතට මේ වෙලාවෙ හිතෙන දේවල් වල අන්තර්ගතය සතුටක්ද? දුකක්ද කියන්න මට තේරෙන්නෙ නෑ. මේ වෙලාවෙ මම ඉන්නෙ රික්තයක. මට ඇඟට කිසි සනීපයක් නෑ. සැල්බියුටමෝල් ගත්ත නිසා ඇඟට කිසි ශක්තියක් නෑ. ඇඳ උඩ ඉඳගෙන පරිගණකය උකුල උඩ තියාගෙන, මම මේ ලිපිය ලියන්නෙ ඇයි කියලාවත් මම මේ මොහොතෙ දන්නෙ නෑ. දම්පාට පුංචි පෙත්තකට මාව අඩපණ කරන්න පුලුවන් තරම මට හිතාගන්නත් අමාරුයි. ඔව්. ජීවිතය ඒවාගෙ තමා.

ඊයෙ අපේ පවුලේ වෛද්‍යවරයා මා දුටු ගමන් කිව්වෙ නැන්දාගෙ මඟුල් ගේ දවසෙ මං සාරි ඇන්දාම අඳුනන්න බැරි වුණා කියලා. එදා මම හොඳ සනීපෙන් හිටියෙ. ඒත් අද! දොස්තර කියන විදිහට නම් දම්පාට පෙත්ත බීලා ලොකු අමාරුවක් නැතිව ඉන්න එක ලොකු දෙයක්. මේ අවුරුදු 23 ට මම ඒ විදිහෙ පෙති 1000කට වඩා බිලා ඇති. ඒත් මට අද වෙනදාට වඩා වෙහෙසයි.

මේ දවස් වල ජීවිතය පවා හරිම කටුකයි. අම්හිරියි. හැම වෙලාවෙම මොකක් හරි අඩුවක් තියෙන බව දැනෙනවා. පොතක් කියෙව්වාට, චිත්‍රපටියක් බැලුවාට ඒ අඩුව පිරෙන්නෙ නෑ. කවියකින් හිතේ තියෙන දේ එළියට දාගන්න බෑ. ඒ කවිය ලියාගන්න වචන එක්ක හදවත කරන පොරය මේ මොහොතෙ මට දරාගන්න බෑ. මට උවමනා මොකක්ද කියන දේ මට තේරුම් ගන්නත් බෑ.

මම විකියාට පොරොන්දු වුණා සබ් එකක් දාන්න චිත්‍රපටයකට. ඒ එක්ක මම තව එකක් දාන්න බාර ගත්තා. ඒක ආසාවෙන් කරගෙන යද්දි, වෙන කෙනෙක් ඒක කරලාම එවලා. ඒක තමා බයිස්කෝප් එකේ ගියෙ. එහෙම වුණාම තියෙන එක කරන්නත් හිතට පිළිකුලක් දැනෙනවා. මම දැන් කරන එකත් නවත්වන්න ඕනෙ කියලා කොයි තරම් විකියාට කිව්වත් විකියා ඒකට ඉඩ දෙන්නෙ නෑ.. ඒ කියන්නෙ අපි ට ඕනෙ වෙලාවට අපි දුවන සමාජයෙන් පැත්තකට වෙන්න අපිට ඉඩක් නෑ කියන එක නේද?

මම ජීවිතේ සමහර කාල වලදි සමහර මිනිස්සු හරි කියලා හිතුවා. තවත් සමහර කාල වලදි ඒ අයම වැරදියි කියලා හිතුවා. අකමැති වුණත් සමහර දේවල් වට බලහත්කාරෙන් කැමැත්තක් ඇති කරගන්න වෙන වෙලාවල් ජීවිතේ තියෙනවා කියලා මම අවබෝධ කරගත්තෙ පහුගිය අවුරුදු දෙකේදි. ඒත් අපි ජීවිතේ අද දුක් වෙන තරම ගැන අනාගතයේ දවසක කල්පනා කළොත්, අපිට හිතෙන්න පටන් ගතිවී, අපි ට දුක් වන්නට දෙයක් නැති බව.

අතීතය විසින් තමයි අනාගතය නිර්මාණය කරන්නෙ. අතීතයේ යම් සිදුවීමක විකල්ප කිහිපයක් තියෙනවා නම්, අපි වර්තමානයේදි නැවත අතීතයට යනවා වැඩියි. අපි කල්පනා කරන්න පටන් ගන්නවා. ඒක එහෙම වුණා නම්, නැත්තම් අරෙහෙම වුණා නම් කියලා.

මම කකුල කැඩිලා ඇඳේ ඉද්දි හිතුවෙ, මම එදා සෙල්ලම් නොකළා නම් කියලයි. ඒත් සෙල්ලම් කරන්න නොගොහින් දෙක වසරෙ දෙවනි තට්ටුවෙ කොටු දැලේ එල්ලිලා ඉද්දි මට හිතුණෙ සෙල්ලම් කරන්න යන්න ලැබුණා නම් කියලායි. මම ශ්‍රෂ්‍යත්වෙට 161 ගත්ත වෙලාවෙ, 152ට තිබුණ ගෝතමියට නොගොහින්, 160 ට තිබුණ මහනුවර මහමායාවට ගියා නම් ඉවරයි කියලා මට නිතැම හිතුණා. ඒ හිතුණ හැම වාරයකම ගෝතමිය ඇතුළෙ මගෙ හිත බිදුණු දවස්. ශිෂ්‍ය නායිකාවක් වුණ දවසෙ මට ගෝතමියට පිට ලෝකයක් තිබුණෙ නෑ. ඇත්තටම ජීවිතේ කවදාවත් අපිට කැමති දේ ඒ ආකාරයෙන්ම සිද්ධ වෙන්නෙ නෑ.

ඇත්තටම මම මේ ලිපි ලියන්නෙ මගෙ හිත ඇතුළෙ මම විසින්ම ගොඩ නගා ගන්න මේ තර්ක මම විසින්ම සාධනය කරගන්න. ජීවිතයෙ හැම කාලයම ලස්සන නැතත් ජීවිතයේ හැම කාලයම අවලස්සනත් නෑ. සමහර වෙලාවට මට හිතෙනවා මේ ලෝකය සාමුහික ජන කණ්ඩායමක් ලෙස ශිෂ්ටාචාරය බිහි කිරීම අරඹපු දා ඉඳන් කිනෙකා පිට වැඩ කොටසක් පවරලා තියෙනවා කියලා.

අපි ඉපදෙන්නෙ දෙන්නෙක් ගෙ ක්‍රියාවක් නිසා. අපි ජීවත් වෙන්නෙ අනෙක් අය නිසා. අපි ආදරය කරන්නෙ පවා වගකීමක් අපේ ඔලුවෙ පටවලා තියෙන නිසා. ටිකක් කල්පනා කළාම මේ ගැන කිසි දෙයක් හිතන්න ඕනෙ නෑ.. හැම වෙලාවෙම වෙන්න පුලුවන් නරකම දේට සූදානම් වෙලා හිටියාම ඉවරයි කියලා වෙලාවකට මගෙ හිත කියනවා.

සමහර වෙලාවට හිතෙනවා.. මේ ලෝකෙ ඕනෑම වෙලාවක සිදුවන ඕනෑම දෙයක සතුටු විය හැකි හොඳ පැත්තක් තියෙනවා කියලා. සිදුවන දේ කොහොම මොන විදිහට සිද්ධ වුණත්, මේ ජීවිතය හරිම ලස්සනයි. ඒ අපි කවදාහරි මැරෙන නිසා.

16 comments:

  1. ඇයි අක්කට මොකක් හරි අසනීපයක්ද?
    එහෙම දෙයක් නම් ඉක්මන් සුවය පතනවා

    ReplyDelete
  2. ඔයාට විවේකය අවශ්‍යයි. පස්සේ ලියන්න දැන් rest කරන්න.

    ReplyDelete
  3. මටත් හිතෙනවා නෙරංජිට ගතට වඩා හිතට විවේකය අවශ්‍යයි කියලා. මේ දවස්වල මගේ යාලුවෙකුගේ ජීවිතේ සමහර ප්‍රශ්ණ අතරට මාත් මැදිවෙලා ඌට උත්තර හොයනවා. හොඳම දේ විවේකය..චුට්ටක් විවේක ගත්තම ...හිත සන්සුන් වේවී...

    ReplyDelete
  4. නෙරංජි ප්‍රශ්ණේක වගේ ඉන්නේ..

    ReplyDelete
  5. ''ඒ කියන්නෙ අපි ට ඕනෙ වෙලාවට අපි දුවන සමාජයෙන් පැත්තකට වෙන්න අපිට ඉඩක් නෑ කියන එක නේද?'' මේ කතාවනම් ඇත්තම ඇත්ත නෙරංජියො...හදවතට මොන තරම් වෙහෙසක් දැනුනත් අපට අපේ ජීවිතේට වඩා වගකියන්න තියෙන්නෙ වෙන අයගෙ ජීවිත ගැන.. ඒත් නිදහසක් ඉල්ලගෙන අඬාවැටෙන මොහොතකදි මේ වගකීම් මහ හිරගෙයක්...

    කොහොම වුනත් ඔයාගෙ හිතට සහනයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. සැල්බියුටමෝල් ගනිද්දි සමහරුන්ට පොඩි වෙහෙසකර ගතියක් දැනෙනවා තමයි..විවේකයෙන් ඉන්න.නැතකොට ඔය ගතිය ඇරිලා යාවි... :)

    ReplyDelete
  6. මෙන්න මට හිතුන දේවල්
    http://awidda-paya.blogspot.com/2012/11/blog-post_17.html

    ReplyDelete
  7. හැමෝටම මේ දවසවල ලෙඩ... එක්කෝ හෙම්බා... වීස් එක තියෙන අයට ඒක වැඩි වෙලා... මාත් මේ බඩ බදාගෙන ඉන්නේ.. ඊයේ දවසම උණ.... එතකොට නම් හරිම අසරණ කමක් දැනෙනවා හිතට... දවසම ඇඳට වෙලා ඉන්නවා කියන එකත් මරනවා වගේ තමා... බේත් බොන එක ඊට හපන්....

    ඒ වගේ වෙලාවට හිතෙන්නෙත් ලෝකේ නැති මහා දාර්ශනික දේවල් ... නේරංජි කියෝලා ඇතිනේ අර සොෆිගේ ලෝකය එහෙම... ඒ වගේම තව පොතක් තිබ්බා විදර්ශන එකේ.. අසනීපෙන් ඉන්න පොඩි ගෑණු ළමයෙක්ට සුර දූතයෙක් හම්බුවෙන කතාවක්... ඒකේ තියෙන්නෙත් මහා දාර්ශනික දේවල්.. හි හි..

    මේ වෙලාවට වැඩිපුරම විවේකය ඕනෙ හිතට... අනේ ඔයාට හිනායන විදියේ පොතක් අරං කියවන්න කෙල්ලේ.. මං නං කරන්නේ ඒක.. නැත්තම් කාටූන් එකක් දාගෙන බලනවා... ඇඟටත් සනීපයි.. ඉක්මණට ලෙඩෙත් හොඳයි... සැපට නින්දත් යනවා...

    ReplyDelete
  8. මම නම් සැල්බියොටිනෝල් බොන්නේ නෑ. ඒ වෙනුවට ඇස්තලීන් ඉන්හේල් කරනවා. ඒක ලේසියි. දෙකේම තියෙන ඖෂධීය වටිනාකම එකයි. ඒත් ඇස්තලීන් වලින් කෙලින්ම අදාල ප්ලේස් එකට ට්‍රීට් කරනවා. ඒ නිසා ඇඟ වෙව්ලීමත් අඩුයි.

    ReplyDelete
  9. ලෙඩ රෝග මේව සේරමත් අපටම හිමි දේවල් තමා.....

    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
  10. සුදීක පෙන්වූ පාරෙන් පළමු වතාවට මෙහි පැමිණියෙමි.

    අප මෙලොව ඉපදී ඇත්තේ අපේ උවමනාවට නොවූවත්... ඒ ගැන වද වෙනවා වෙනුවට එතැන් සිට ජීවත් වීමට වෙර දැරීමට අපට සිදුවන බව තමයි සත්‍යය.

    ජීවිතයේ බලාපොරොත්තු කඩවෙද්දි හිස් බවක් දැනෙන බව ඇත්ත. ඒ නමුත් අලුතින් බලාපොරොත්තුවක් ඇති කරගන්න... නැවුම් හුස්මක් එක්ක නැවතත් ජීවන සටනට එළඹෙන්න ඔබට බැරි නෑ... උස්ගල් තලා මත ඇති පිපුරුමක අහම්බෙන් රෝපණය වී වැඩී සුපිපුනු කුසුමක ඇති ධෛර්යය ඔබටත් ආරෝපණය කරගන්න... ජය !

    ReplyDelete
  11. ජීවීතය තියෙන්නේ විඳවන්න නෙමෙයි විඳින්න....

    ReplyDelete
  12. කොච්චර හිතෙ හයියක් තිබුනත් සමනළුන්ට ඉහල අහසට පියබන්න බෑ ඒ උන්ගෙ තටු හයිය නැති නිසා තටු හයිය උකුස්සා ඈත අහාසට පියබනවා

    ReplyDelete
  13. සැල්බියුටමෝල් ටැබ්ලට් ඔහොම ගන්න එපා. ඉන්හේලර් එකක් පාවිච්චි කරන්න.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.