මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

8/14/17

-288- හැම පුංචි දෙයක්ම විඳීම වෙනුවෙන්

ඉස්සර ඉස්කෝලෙ යන දවස් වල ආදර කතන්දර තියෙන නවකතා පොත් වලට තිබුණෙ ලොකු ඉල්ලුමක්. එකෙක් පොතක් ගෙනාවාම මේසෙ අස්සෙ තියාගෙන පන්තියම මාරුවෙන් මාරුවට ඒ පොත කියවනවා. දිනේෂ් කොළඹගේ ගෙ“ සුළඟ වගේ ඇවිදින් “, චන්දි කොඩිකාර ගෙ “ නිකිණි සිහිනය“ එහෙම අපේ පන්තිය වටේම ගිය පොත් දෙකක්.
සමහරු පොත කියවන අතරෙ, තවත් සමහරු ආස කරන්නෙ පොතේ කතන්දරේ කාගෙන් හරි අහා දැනගන්න.  කතාව කියන කෙනා ටිකක් විතර Creative නම් , පොතේ තියන කතාවට එහා ගිය  සිනමා කකතන්දරයක්  අතින් කෑලිත් එකතු කරලා අනෙක් අයට අහගන්න පුළුවන්. මේ අස්සෙ පාඩම් පොතකට එහා නවකතාවක් නොකියවපු, නවකතා කියවීම ආනන්තරිය පාප කර්මයක් විදිහට සලකපු කෙනෙක් දෙන්නෙක් වුණත් අතරින් පතර නොහිටියාම කියලා කියන්න අමාරුයි.
හැබැයි මේ අතරෙ, තවත් කොටසක් හිටියා. ඒ අය කියවන්නෙත් නෑ. නොකියවා ඉන්නෙත් නෑ. කියවන්නත් කලියෙන්ම,  මල් නවකතා කියලා ප්‍රේමය තිබෙන නවකතා සම්පූර්ණයෙන් ඒ අය බැහැර කරනවා. සුමට නවකතා පොත් කියවීම අගෞරවයක් විදිහට සලකපු එහෙම අයත් තමන් ඒ පොත් නොකියවන  බව තමන් අවට ඉන්න අයට පෙන්වන්න, “අම්මා “ , “වේලාසන කොක්කු ඇවිත් “ වගේ පොත් මේසෙ උඩ තියන් හිටියා. සාමාන්‍ය පොත් කියවන අය තමන්ගෙ මිතුරු සමාගම් වලින් පවා ඈත් කළා. ඒත් සම්භාව්‍යයි කියලා හිතපු පොත් කියවපුවාම තමයි  දැනෙන්න ගත්තෙ ඒවායෙත් අඩුවැඩි වශයෙන් ප්‍රේමය අන්තර්ගත වෙලා තිබුණා කියලා. එකම වෙනස සංකීර්ණ භාෂාව විතරයි.
කොහොම වුණත්  වර්තමානය වනවිට, කියවීම බොහෝ දෙනෙකුට හරිම ප්‍රදර්ශනකාරී දෙයක් බවට පත්වෙලා බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. කියවලා හිතට ගන්න දේට වඩා, රසාස්වාදනය කරන දේට වඩා   තමන් එය කියවූ බව අනෙක් පෙන්වන විදිහයි හුඟක් අයට දැන් දැන් වැදගත් වෙන්නෙ. ඒ සඳහා දැන් දශක භාගයක පමණ සිට, facebook එකෙන් වෙන්නෙත් ලොකු උදව්වක්. පොත ගැන යමක් විචාරය කරනවාට වඩා, පොතේ පින්තූරයක් හෝ පොත එක්ක ගත්ත පින්තූරයක් සමාජ ජාලා අඩවියක දැමීමෙන් බොහෝ කියවන අය ප්‍රීතිමත් වෙනවා.
පොත් කියවීම ෆැන්ටසියක් බව පෙන්වන්න, කරන මෙවන් උත්සාහ අතරෙ, හැබෑවටම පොත කියවෙනවාද කියන කාරණාව නම් හරිම අපැහැදිළියි. ඒ වගේම කියවන අය අතර, තමන්ගෙ තත්වය තියා ගන්න අවශ්‍ය නම් එවන් කෙනෙක් කියවිය යුතු පොත් ලෙස නිර්දේශ වුණු පොත් පවා සමාජ ජාල සංවාද තුළින් අද වෙද්දි සොයාගන්න පුළුවන්. එහෙත් හැබෑවටම කියවන්නට ආශා කරන කෙනෙක්, ඒ තරමටම තෝරා බේරාගෙන කියවනවා කියලා මං හිතන්නෙ නෑ. ඔහු හෝ ඇය තමන්ට දැනෙන යම් පරාසයක පොත පතට  ආශා කරනවා වෙන්න පුළුවන්.
සමහර වෙලාවට, කොමික් පොත් වලට,  මල් නවකතා කියා හංවඩු ගසන ලද සාමාන්‍ය ආදර නවකතා වලට, මහ පරිමාණ සම්භාව්‍ය මට්ටමේ පොත් කියවන අය වුණත් ආශා කරන අවස්ථා මං දැකලා තියෙනවා. ඒ වගේම ඒවා කියවන්නත් බොහොම කැමැත්තක් දක්වනවා. ඒත් තමන් එවැන්නක් කියවූ බව අනෙක් අයගෙන් හංගන්නත් ඒ අතරෙ එයින් බොහෝ දෙනෙක් උත්සාහ කරනවා. එයින් ඔවුන් අදහස් කරන්නේ, තමන්ගේ තත්වයට අඩුපාඩුවක් වීම වලක්වා ගැනීමයි. ඒත් තමන් යමක් රසවිඳිනවා නම් එය හැංගීම තමන්ගෙ හෘද සාක්ෂියට කොතෙක් දුරට එකඟ ද? අප සතුටු වෙන දෙයක් අපේ තත්වයට නොගැළපෙන නිසා හංගන්නෙ කුහක කම නිසා නේද?
හැම කතාවක්ම රසවිඳින්න අපි කාටත් පුළුවන් කියලා මං විශ්වාස කරනවා. පොත් හරියට මිනිස්සු වගේ. මිනිස්සු එක එක්කෙනා විවිධයි.  විවිධ මිනිස්සු ලියපු පොත් වුණත් විවිධයි. පොත් කියවීම මිනිස්සුන්ගෙ හිත් කියවීමක්. සමහර මිනිස්සු සුමටයි බොළඳයි. සමහර මිනිස්සු සංකීර්ණයි. ඒ වගේම, පොත් වුණත් බොළඳ වෙන්නත් සංකීර්ණ වෙන්නත් පුලුවන්. හැම වෙලාවෙම සංකීර්ණ පොත් ම කෙනෙක් කියවිය යුතුයි කියලා නීතියක් කොහෙවත් ඇත්තෙ නෑ.
සරල සමහර දේවල් වලින් මැවෙන රසවින්දනය, සංකීර්ණ දේවල් වලින් දැනෙන රසයට වඩා බොහෝ මිහිරි වෙන්න පුළුවන්. ඒ වගේම පුංචි සරල දෙබසකින්, මහා පොතකම හරය මිහිරිව කියවෙනවා වෙන්න පුළුවන්. ඒ නිසයි අප සෑම කුඩා දෙයක්ම අගය කළ යුත්තේ.
පොඩි කාලේ කියවූ ළමා කතාවක් වුණත්, අද කියවද්දි, ඉන් දැනෙන්නෙ වෙනස් මිහිරක්. එදා අපිට නොතේරුණු යමක් අද ඒ පොතින්ම අපට  අවබෝධ වෙන්න පුළුවන්. කුඩා කල මහ විශාල දෙයක් ලෙස පෙනුණු යමක්, වර්තමානයේ ඉතා සාමාන්‍ය දෙයක් සේ පෙනෙන්න පුළුවන් වෙන්නෙ අපි තරාතිරම නොබලා සෑම දේම කියෙව්වොත් පමණයි.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා අනාදිමත් කාලෙක ඉඳන් කියන කියමන පොත් කියවීම කියන කාරණයටම පමණක් ලඝු වෙලා නෑ වගේම, විදග්ධ පොත් කියවීමට පමණක්ම සීමාවෙලාත් නෑ කියලා මතකයේ තියා ගන්න. අහුවෙන හැම අකුරක්ම රසවිඳින්න ඒ හැඟීම උපකාරී වේවි.

No comments:

Post a Comment

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.