මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

8/14/17

-287- හදවතක සවන් දෙන්න

උදේ හයට අපේ බස් එක පටන් ගන්නෙ, රිචඩ් ද සොයිසා ජනමාධ්‍යවේදී නිවාස
සංකීර්ණයේ ඈත කෙළවරෙන්. ඉන්පස්සෙ හීනැටිකුඹුර, අග්ගොන, අඹගහහන්දිය,
රාජගිරිය‍, බොරැල්ල.

බොරැල්ලෙන් අපේ බස් එක ඉවරයි. අතරමඟින් බස් එකට කොයිතරම් සෙනඟ
නැග්ගත් හැමදාම බස් එක උදේට අයිති කරගත්ත කට්ටියක් ඉන්නවා. ඒ
වෙලාවට ඉතිං හැම පත්තරේකම සිරස්තල ඇහෙන්න පටන් ගන්නවා. ඒ විතරක්
නෙවෙයි. සිනමා විචාර, පරණ රසකතා එක්ක ඒ අය අලුත් දවසකට රාජකාරියට
යනවා.සමහර වෙලාවට, ආසනේ එහා පැත්තෙ බෑග් එකක් තියාගෙන, තමන්ගෙ
සගයාට ආසනයක් අල්ලගන්නත් අමතක නොකරන කිහිපදෙනෙක්ම ඉන්නවා.
කා එක්ක හරි කතා කර කර තමන්ගෙ ගමන යන්න හුඟක් මිනිස්සු කැමතියි.
හුදකලාව දරා ගන්න තියෙන අකමැත්ත නිසාම මිනිස්සු සාමුහික වෙනවා
කියලා සමාජවිද්‍යාවෙත් තියනවානෙ.

හැබැයි මම නම් වැඩියෙන්ම කැමති හුදකලාවට. නිහඬවම, සිංදුවක් අහගෙන
ගමනාන්තය වෙනතුරු, පාර දිගේ ඉන්න ජීවිත දිහා බලාගෙන යෑම තරම්
සතුටක් මට තවත් නැහැ. මං වගේ තවත් අය මහ ගොඩක් ඉන්නවා.
එයාලාගෙත් මගෙත් හුදකලාව බිඳිමින් තමන් එක්ක කතාවකට එන්න කියලා
බලකරන අයත් මේ අතරෙ නැතිවම නෙවෙයි. හුදකලා ජීවියෙකුගෙ නිහඬ බව
බිඳලා, තමන් වෙත කතාබහකට නම්ම ගන්න, කෙනෙක් හදන්නෙ නිකමටමද?
නෑ නේද?

මං හැම වෙලාවකම, තමන්ට කන් දෙන්න කියලා ඉල්ලන අය ගැන වද වෙන්න
උත්සාහ කරන්නෙ, ඒකට හේතුව හිතාගන්න පුළුවන් නිසයි. අද මට යං කියවන
ඔයාට කියන්න පුංචි කතාවක් තියෙනවා. ඒ අපි අතරෙම ඉන්න, අපි ගැන.
මං උසස් පෙළට ලියන මුල් කාලෙ, අපේ ඉස්කෝලෙට දේශකයෙක් ආවා. නම
අමතක වුණාට, එයා කිව්ව කාරණාව මට අද වගේ මතකයි. “ මේ ලෝකෙ
ඕනෙම හත් දෙනෙක්ගෙන්, තුන්දෙනෙක්ම මානසික රෝගයකින් පෙළෙනවා“ ඒ
වෙලාවෙ නම් ඒක හැබෑවටම අපි හැමෝටම හිනා සාගරයක් මවන දෙයක් වුණා.
ඒත් පස්සෙන් පහු ටිකක් කල්පනා කළාම, වැඩිදුර පොත පත කියවන්න ගත්තාම
, ඒක හිනා වෙන්න තියා හිනාවක් ගැන හිතන්නවත් පුළුවන් කාරණාවක්
නෙවෙයි කියලා තේරුණා.

මේ ලෝකෙ මිනිස්සුන්ට වැඩියෙන්ම තියෙන්නෙ විශාදය කියන මානසික රෝගය.
ඩිප්‍රෙෂන් කියලා ලස්සන ඉංග්‍රිසි වචනෙන් හඳුන්වන්නෙත් ඒ රෝගයම තමයි.

සමහර අය තමන්ට, එහෙම දෙයක් තියෙනවාද කියලාවත් දන්නෙ නෑ. එයාගෙ
වටේ ඉන්න අය දන්නෙත් නෑ. ඉතින් අවසානෙ බොහොම නරක දෙයක් වෙනතුරු
හැමෝගෙම ඇස් වලින් ඒ අය හැංගිලා යනවා. ඒ වගේ අය මුල් කාලෙ කතා
බහ කරන්න කෙනෙක් හොයනවා. නමුත් ප්‍රතික්ෂේප වෙලා ගියොත්, වැඩියෙන්
කරදර වෙන්නෙ එහෙමත් නෑ. පස්සෙ කාවවත් හොයන්නෙම නෑ. හැමෝම
එක්ක හරියට තරහ ගන්නවා. “හානේ එයාට හරියට තරහ යනවා “ කියලා,
එයාගෙ සමාගමයෙන් ඈත් වෙනවා මිසක් අපි කිසිම දෙයක් කරන්න යන්නෙත්
නෑ.

හුදකලාවට ආසා කරන අය ඉන්නවා. ඒත් යම් කෙනෙක් තනිකම නිසා හුදකලා
වුණොත්, ඒ කෙනා නිරන්තරයෙන් තමන්ගෙ තනිකම ගැන හිතන්න පටන්
ගන්නවා. ආත්මානුකම්පාව වැඩිවෙලා, ටිකෙන් ටික තමන් එක්කම තරහ යනවා.
මේ රෝගය සමහර අයට කෙටි කාලීනව හැදෙන්නත්, හෙමින් හෙමින් කාලයක්
තිස්සෙ හැදෙන්නත් පුළුවන් දෙයක්. තමන් ආදරේ කරන කෙනෙක් මියගියොත්,
ලංකාවෙ දැන් තියෙනවා වාගෙ අසරණ කාලපරිච්ඡේදයකට මුහුණ දෙන්න
වුණොත්, විභාගයක් ප්‍රාර්ථනා කළ විදිහට සමත් වෙන්න බැරි වුණොත්, ඕනෙම
අයෙක්ට තද බල වේදනාවක් දැනෙන්න ගන්නවා.

අහිමි වීම පිළිබඳ වේදනාව ගැන කොයි ආගමෙත්, දර්ශනයෙත් කතා
කරනවානෙ. ඉතිං අල්ලගත්ත තරමට දුක වැඩි වුණත්, ඒ හැඟීම් වලින් මිදෙන්න
පුළුවන් කාටද?. ඒත් ඒ වේදනාව සදාකාලිකව පවත්ව ගත්තොත් එය මානසික
රෝගයකට හැරෙන්න පුළුවන් අවදානමක් තියෙනවා නම්, අන්න ඒකයි නරක.
අමාරු අවස්ථාවල් වල අපි මිනිස්සු එක්ක ගැවසෙන්න ඕනෙ කරන්නෙ කෑම බීම,
කොට්ට පැදුරු දෙන්නම නෙවෙයි. දරා ගන්න, ආයෙ නැගිටින්න ඕනෙ කරන
ශක්තිය ලබා දෙන්න. සමහරවිට අපිත් එක්ක ටිකක් කතා කරන එකම ඒ අයට
සැනසීමක් වෙන්න පුළුවන්.

විභාගයක් ෆේල් වෙන කෙනෙක්ට වඩා, පාස් වෙලත් තමන්ට ඕනෙකරන රිසල්ට්
එක නැති අය සමහර වෙලාවට වේදනාවට පත්වෙනවා. මේ වගේ රටම අසරණ
වුණ අවස්ථාවක දි, සාමාන්‍ය මැද පන්තියෙ අයට වඩා, සල්ලි හුඟක් තිබිලා උන්
හිටි තැන් නැති වුණ අය මානසිකව දරුණු විදිහට අසරණ වෙනවා.
දිගුකාලීනව විශාද ගතිය දියුණු තියුණු වුණොත්, හිතෙන් සතුට කියන කාරණාව
සම්පූර්ණයෙන්ම දුරස් වෙනවා. මේ අතරෙ තවත් සමහරු ඉන්නවා තමන් දුකින්
ඉන්න බව කාටවත් නොපෙන්නා ඉන්නට උත්සාහ කරන. මේ අය හඳුනාගන්න

පුලුවන් ඒ අයව ළඟින්ම ටික කලක් ආශ්‍රය කිරීමෙන්ම පමණයි. මේ හින්දාම අපි
එක්ක කතාවට එන කෙනෙක්ව පොඩ්ඩක් ඉවසා බැලීම වැදගත් වෙනවා.
එයින් අදහස් වෙන්නෙ නෑ.. අපි හැමෝටම නිරාවරණය වෙන්න ඕනෙ කියලා.
මොහු එක්ක නැතිනම් ඇය එක්ක කතා කරන්න ඕනෙ කියලා ඔයාට හිතුණොත්,
අන්න ඒ වෙලාවට, කරදරයක් කියලා නොහිතා පුංචි ඉවසීමක් එක්ක කතා
කරන්න. සමහරවිට ඔයා මුළු ජීවිතයක්ම බේරනවා වෙන්න පුළුවන්.
විශාද රෝගයේ අන්තිම තියෙන්නෙ, සියදිවි හානි කර ගැනීම වගේ දරුණු
තැනක. මේ ලෝකෙට උපන්න හැම ජීවිතයක්ම එක වගේ වැදගත්. ඒ නිසාම,
අපි හැම වෙලාවෙම අපි වටේ ඉන්න ජීවිත රැක ගන්න ඕනෙ.. බලාගන්න ඕනෙ.
ටිකක් හරි සතුටින් තියන්න උත්සාහ කරන්න ඕනෙ. මං ඔයාගෙන් පුංචි
ඉල්ලීමක් කරන්නද? ඉඩ ලැබුණු හැම වෙලේම අපි කාට හරි ආදරේ අරන් යං.
හා නේද?


No comments:

Post a Comment

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.