මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

8/18/17

-292- පිරිච්ච ජීවිතයක් එක්ක



එක දවසක් විශ්වවිද්‍යාලයට ආපු මහාචාර්යවරයෙක් මේසය උඩින් හිස් ජෑම් බෝතලයක් තිබ්බා. මුලින්ම ඔහු එයට පිං පොං බෝල පහක් දැම්මා. ඔහු අපෙන් ඇහුවා දැන් ජෑම් බෝතලය පිරිලාද කියලා. අපි එක හඬින් නෑ  කිව්වා. ඉන්පස්සෙ ඔහු පුංචි ගල් කැට ටිකක් ජෑම් බෝතලයට දැම්මා. පිං පොං බෝල අතරින් ගල් කැට පහළට වැටුණත් බෝතලය පිරිලා තිබුණෙ නෑ. ඉන්පස්සෙ ඔහු  පුංචි මුං ඇට ටිකක් බෝතලයට දැම්මා. ඒ පාර නම් බෝතලය කට ළඟටම පිරුණා. පිං පොං බෝල සහ ගල් කැට පවා බෝතලය මැද්දෙ හිර වෙලා නොපෙනී යන තරමට, මුං ඇට විසින් බෝතලය අයිති කරගත්තා. එය පිරිලා ද කියලා ඔහු අවසානෙ අපෙන් ඇහුවා. අපි එක හඬින් ඔව් කිව්වා. ඔහු ඩිංගක් හිනාවෙලා මේසෙ උඩ තිබුණු කෝපි කෝප්පයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ජෑම් බෝතලයට දැම්මා.
සමහර නොවටිනා දේවල් වලට ජීවිතේ මහ ලොකු ඉඩක් දෙනකොට, සමහර වටිනා කියන දේවල් ජීවිතයෙන් ඈත් වෙලා යන්න ඉඩ තියෙනවා කියලා කෙනෙක්ට හිතෙනවා නම් ඔහු හෝ ඇයට පැවැත්මක් තියෙනවා. එහෙම හිතෙන්නෙ මහ ලොකුවට හදවත පුරාම ඉඩ වෙන් කරපු දේවල් නැති වෙලා යන බව හදවත විසින් මොළයට සංඥා කරද්දි.  හෘද සාක්ෂියක් තියෙන එහෙම අය හරි අඩුයි.
එකක් පස්සෙ එකක් සිදුවෙන වැලක් වගේ සිදුවීම් පෙළකට අපි ජීවිතය කියලා නමක් තියනවා. අපි කාලය එක්ක කොයි තරම් තරඟ කළත්, ඉස්සරහට මිසක් පස්සට යන්න කවදාවත් ඉඩක් ලැබෙන්නෙ නෑ. ඒ නිසාම අපිට අතීතයේ වුණු වැරදි නිවැරදි කරගන්න කවදාවත් ඉඩක් ලැබෙන්නෙත් නෑ. එදා ඒ වෙලාවෙ එතැනදි එහෙම නොවුණා නම් කියලා ජීවිතේ එකම වතාවකදි හරි නොහිතුණ කෙනෙක්, මේ ලෝකෙ නැතිම තරම්. ඒ හැඟීම පසුතැවීමක් ම නොවෙයි. ඒත් ඒ හැඟීම අපිට ඇති කරන්නෙ, අපි දේවල් තෝරා ගැනීමේදි කරපු පුංචි වැරදි නිසයි.
අපි ජීවත් වෙන්නෙ වර්තමානය ඇතුළෙ. යම් දවසක සිදුවන හෝ තවත් තත්පර කිහිපයකින් සිදුවන හෝ අනාගතය නිර්මාණය කරන්නෙ මේ පවතින වර්තමානය.  ඒ වගේම අපි ජීවත් වෙන්නෙ අතීතය විසින් නිර්මාණය කරන ලද වර්තමානයක. ඒ අතීතය සංසාරයක් තරම් දිග වෙන්නත් තත්පරයක් තරම් කෙටි වෙන්නත් පුළුවන්.
මහාචාර්යවරයා ගේ පැහැදිළිකිරීම් වලට අනුව, හිස් ජෑම් බෝතලය තමයි අපේ ජීවිතය. අර ලොකු පිං පොං බෝල අපේ වටිනම දේවල්. පවුල, සතුට, නිරෝගි කම වගේ දේවල්.. අර පොඩි ගල් කැට අපි හඹා යන අධ්‍යාපනය, ජයග්‍රහණ, රැකියා වගේ දේවල්. අර මුං ඇට තමයි අපේ ජීවිතය වසා ගත්ත ප්‍රදර්ශනකාරී ආරිච්චි බෝරිච්චි. අපි අරුමෝසම් වලින් ජීවිතේ වටිනම තැන් වහගෙන.


ඉතින් වටිනම දේවල් වලට මුල් තැන දීලා අයෙම අපේ අනාගතය අලුතින් හදන්න අපිට බැරිද? ඔයා දන්නවාද ඔන්න දවසක් කෙනෙක්ට හිතුණා අලුත් වෙන්න. ඒ මනුස්සයා මොකද කළේ දන්නවාද? අතීතයේ ආස්‍රය කළ හැම කෙනෙක්ගෙන්ම වෙන් වෙලා, ලියකියවිලි හැම දෙයක්ම විනාශ කරලා, හැම බඩු භාණ්ඩයක්ම විනාශ කරලා, අලුත්ම නමකින් අලුත්ම තැනක අලුත්ම මිනිස්සු එක්ක ජීවත් වෙන්න පටන් ගත්තාලු . ඒත් අතීතයෙන් මිදෙන්න එයාට කවමදාවත්  බැරි වුණාලු. හැම  භෞතික දෙයක්ම අලුත් කරන්න පුළුවන්. ඒත් තමන්ගෙ අධ්‍යාත්මය අලුත් වෙන තුරු තමන් පරණයි.
ඕනෙම මනුස්සයෙකුට අමතක කිරීම කරන්න පුලුවන් එක ප්‍රමාණයකට විතරයි. ජීවිතේ හැටි එහෙම තමයි . පෙනෙන මානයේ සතුටකින් වහගෙන අනාගතේ දුක නොදිකන ලෝකයක්, කඳුලු යට කරලා ඊට උඩින් හදා ගන්න කාට කාටත් පුලුවන් කම තියෙනවා. ඒ දේ කරන්න පරක්කු වෙන්න එපා..තමන්ගෙ උත්සාහයයි වැදගත්. ඉතින් ඔයාගෙ අතීතයටත් වර්තමානයටත් අනාගතයටත් ජීවිතේ වැදගත්ම දේවල් වලට සරලම දේවල්ට ඉඩ හදලා දෙන්න කියලා යං අපි ඔයාගෙන් ඉල්ලනවා.
අපි හිරු දකින්නට වේලාසන අවදි වන කිසි විටක හිරු පායා නොතියෙන්නට පුලුවනි. එහෙත් කලින් හිරු පෑයූ දවසක ඔබ වේලාසන අවදි වී සිටීම ප්‍රයෝජනවත් වෙන්න පුළුවනි. දවසක් මෙහෙම කිව්වෙ, රෝහණ විජේවීර කියලා කෙනෙක්. දේශපාලනය කුමක් වුවත්, මේ ප්‍රකාශය සදාකාලිකව හැම හදවතකටම  වලංගුයි. තමන්ගෙ අනාගතය අතීතය මතින් වර්තමානය මැදින් අනාගතය කරා ගොඩ නගමු. මතක ඇතිව ඔය හැම පිපුරුමක්ම, පිරීමක්ම, අස්සෙ හදවතින් පෙරාගත්ත යාළුවෙක් එක්ක කෝපි එකක් බොන්නත් පුංචි වෙලාවක් තියා ගන්න අමතක කරන්න එපා. මහාචාර්යවරයා අන්තිමේ හැම අතින්ම පිරිච්ච ජෑම් බෝතලයට කෝපි ටිකක් වක් කළේ අපිට අන්න ඒ පුංචි සිතිවිල්ල හැමදාටම අමතක නොවෙන්නයි.



No comments:

Post a Comment

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.