මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

8/14/17

-291- ජීවිතය විසි කරන්න ඉස්සරින්

ඉස්සර කාලෙ අපේ බෞද්ධ පන්සල් වල හිටපු ස්වාමීන් වහන්සේලා පිරිකරට සිව්රක් හම්බුණත්, තමන් සොහොන් ගෙවල් වල රෙදි ඉරලා පඬු පොවලා මහගත්තත්, ඇඳලා ඉවර වුණාට පස්සෙ ඒ සිවුරු විසි කරන්නෙ නැහැලු. ඉස්සෙල්ලාම ඇඟ පිහන්න ගන්නවලු. ඉන්පස්සෙ තවත් පරණ වෙද්දි ඇඳ රෙද්දට ගන්නවලු. තවත් පරණ වෙද්දි පාපිස්සට ගන්නවාලු. එතැනිනුත් පස්සෙ බිත්තියට තියලා මැටි තලනවලු. දැන් නම් හැමෝගෙම ජීවිත වගේ, හාමුදුරුවරුන්ගෙ ජීවිතත් වෙනස් වෙලා. වෙනස් නොවෙන එකම දේ වෙනස් වීම කියලා කිව්වට, මේ වෙනස් වීම හරි භයානකයි. පාවිච්චි කරලා විසි කරන වෙනස් වීම හරි භයානකයි. අද මගේ යං කොළම වෙන් වෙන්නෙ ඒ වෙනුවෙන්.
ඉස්සර  මිනිස්සු තමන් කෑවම පිගාන හෝදලා ආයෙ දවසක කන්න අරන් තියනවා. දැන් අපි කාලා පිගාන විසි කරනවා. තියා ගන්නත් බැරි තරමට ඒවා දැන් එක පාරක් පාවිච්චි කරාම විනාශ වෙන මට්ටමේ කඩදාසි හෝ රෙජිෆෝම් පිඟන් . ඉතින් විසි කරන්නම වෙනවා . කෝප්පත් එහෙමයි. ලේන්සු වෙනුවට දැන් ටිෂූ තමයි අපි භාවිතා කරන්නෙ. මේ පාවිච්චි කරලා විසි කරන සංස්කෘතිය අපිව සංවර්ධනය කරනවා කියලා ඔයාට හිතෙනවාද? හැන්දෙ ගෑරුප්පුවෙ ඉඳලා අපි පොෂ් විදිහට දැන් අලුතෙන්ම පාවිච්චි කරන එක පෙනුමට ලස්සනයි නම් තමයි. ඒත් මම නම් හිතන්නෙ අපි වැරදියි. අද වෙනකොට ආපහු දරුණුවටම අපි ගිලගන්න පටන් අරන් තියෙන, මේ වෙනකොටත් සිය ගණනක් මරා දාපු, දහස් ගාණක් දුර්වල කරපු ඩෙංගි මදුරුවාට ගෙවල් හදලා දීලා තියෙන්නෙ අපිමයි. මීතොටමුල්ලෙ කුණු කන්දට මිනිස්සු සිය ගණනක් යට කළේ අපිමයි. මේ අපි ට විසි කරන්න පුරුදු කරපු සංස්කෘතියෙන් ලැබිච්ච තෑගි කියලා ඔයාට හිතෙන්නෙම නැද්ද?
නෑ නෑ.. අපිට තව ගොඩක් තෑගි ලැබුණා යාලුවා. අපි අපේ ජීවිතෙත් විසි කරන්න පුරුදු වුණේ පුංචි කාලෙ ඉඳන්ම පාවිච්චි කරලා විසි කරන්න ඉගෙන ගත්ත නිසා කියලා මම ඔයාට අද කියනවා. කොල්ලො කෙල්ලො එක්ක යාලු වෙලා ටික කලක් ඉන්නවා. එයාට ආදරේ කරලා කාලයක් යද්දි, වෙන හොඳ කෙනෙක් පෙනෙන්න ඉන්නවා නම්, පරණ කෙනා විසි කරනවා. ආදරේ ටික කලක් යද්දි, ඒකාකාරී නම් ඒකට පුංචි රොමෑන්ටික් විසඳුමක් හොයාගෙන දෙන්නා එක්ක ආයෙම අලුත් පෙම්වත්තු වගේ බැඳෙන එක දැන් කොල්ලො කෙල්ලන්ට හරිම කම්මැලියි. හැම වෙලාවෙම හිතන්නෙ අලුත් එකකට යන හැටි. අන්තිමට කොහොම හරි කසාද බැන්දාට පස්සෙත් අලුත් ඒවාට ආයෙ ආයෙ මාරු වෙන තරම් ලංකාවෙ සංස්කෘතිය ඇතුලෙ අපිත් විසි කරන ජීවිතේට පුරුදු වෙලා.
අපි හැඟීම් වුණත් හරි සැරට විසි කරන්න පටන් අරන් ඉවරයි. හිතන්න.  ඔයාට කවුරු එක්ක හරි කේන්ති ගියා නම්, ඒ කෙනාට ඒ සැණින් එයා ළඟක පාතක නැතත් බැනලා කෑ ගහන්න , ඔයාගෙ හැඟීම විසී කරලා සම්බන්ධෙ කීතු කීතු කරලා දමන්න දැන් අවස්ථාව තියෙනවා නේද? හැතැප්ම දහස් ගාණක් ඈතට එක මොහොතකින් කෑ ගහලා බනින්න පුළුවන් දියුණු තාක්ෂණය, හැඟීම් විසි කරන්න, මුදා හරින්න පුළුවන් මේ තාක්ෂණය අපිව දියුණු කළේ නෑ යාලුවා. අපිව අතරමං කළා විතරයි. එයා අපිව විනාශ කරන්න පටන් ගත්තා. අපි අපේ ආදරය, හැඟීම් විතරක් නෙවෙයි මිතුරුකම් පවා සමහර වෙලාවට විසි කරන්න  හේතු වෙන්නෙ අපි දියුණුයි කියලා හංවඩු ගහ ගහන මේ මහා තාක්ෂණ දියුණු තමයි.
දැන් කවුරුවත් කලබල වෙන්න එපා. මම මේ කියන්නෙ Revolution ටී වී සීරිස් එකේ වගේ හරි , 5th Wave චිත්‍රපටියෙ , පිට සක්වල ජීවින් එව්ව පළවැනි wave එක වගේ හරි , ඔයා දඩිං බිඩිං ඩොං ගාලා ගල් යුගයට අත ඇරෙන්න ඕනෙ කියලා නෙවෙයි  . මම කියන්නෙ විසි කරන අපේ ජීවිතේ සංවර්ධනයක් නෑ  කියලා විතරයි.
විසිකිරීම, විසි කරන්න ඉස්සරින් අවසානෙට කියන්න පුංචි දෙයක් තියෙනවා. ඒ තමයි අද වෙද්දි හුඟක් අය තමන්ගෙ මුළු ආත්මයම එක මොහොතකදි පුංචි දෙයක් හැඟීමක් වෙනුවෙන් නොහිතා නොබලා විසි කරනවා. අපි හැමෝම ජීවත් වෙන්න ආසා කරන්න ඕනෙ. මොකද අපි හරියටම දන්නෙ නෑ අපි මැරුණාම මොකක්ද වෙන්නෙ කියලා. සමහරු කියනවා ස්වර්ගය හෝ අපාය ගැන, තව සමහරු කියනවා පුනර්භවය ගැන. තවත් අය කියනවා සියල්ල හිස් වෙලා යනවා කියලා. ඔය දේවල් වලින් මොකක් වුණාත්, ගිහිං ආපු කෙනෙක් පැහැදිළිව විස්තර කරලා නැති දෙයක් ගැන සංකාව කාටත් තියෙන නිසා ලැබුණ ජීවිතේ පුළුවන් තරම් කල් විසි නොකර බලා ගන්න එකයි වටින්නෙ. ප්‍රශ්න ජීවිතේ ඇතුළෙ කැරලි ගහනවා නම්, බලා ඉඳලා යට වෙන්න එපා. ඔයා තුළ තමයි හොඳම කැරලිකාරයා ඉන්නෙ.  

වැරදීමකින් හරි ජීවිතේ විසි කරන්න හිතුණොත්, එන්න මහරගම අපේක්ෂා රෝහලට. බලන්න එක දවසක් වැඩියෙන් ජීවත් වීම වෙනුවෙන් මිනිස්සු කරන සටන. ජීවිතේ හැම දේම ලැබෙන්නෙ නෑ. ඒත් ඔයාට ඔක්සිජන් දෙන්න තවම හුළඟ බෑ කියලා නෑනෙ. ජීවත් වෙන්න ආසා හිතෙන දවසකට ජීවිතය ඉතිරි කරගන්න. විසි කරන සංස්කෘතියෙ විසි නොවී ඉන්න ඉගෙන ගන්න.

3 comments:

  1. කෙල්ල ලියනවා.... හැමදාම වගේ අලුත් ම ලියමනක්...

    ReplyDelete
  2. ගොඩක් හිතන්න පුළුවන්.. මං මේක ගන්නවා.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.