මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

8/14/17

-289- අසීමිත ප්‍රේමය කොතැනකද?

අසීමිත ප්‍රේමය හරියටම පටන් ගන්නෙ කොතනින්ද? ඒක මට පුංචි දවස් වල ඉඳං තිබුණු ලොකු ප්‍රශ්නයක්. මුලින්ම මං හිතා හිටියෙ, ඒක අපි නිතර දකින හින්දි චිත්‍රපටියක ජවනිකාවක් වගේ රොමෑන්ටික් දෙයකින් පටන් ගන්නවා ඇති කියලා.
නමුත් ටිකෙන් ටික යොවුන් වයසට එළැඹෙද්දි කොල්ලො කෙල්ලන්ගෙ අනුරාගය පිරිච්ච ආදරේ අසීමිත ඇති කියලා මං හිතන්න පුරුදු වුණා. තත්පර හැටේ වේගෙන් එස් එම් එස් ගහන, පැය තුනෙන් තුනට කෑම දිරවන්නත් ඉස්සර වෙලා ආයෙම කෑවාද? බිව්වාද කියලා අහන එක අසීමිත ආදරයක් කියලා තමයි ඒ දවස් වල හුඟක් අය කිව්වෙ. ඒත් ටුවෙන්ටීස් වල මැද හරියට එද්දි හුඟක් අයගෙන් ඇහුණෙ වයසට ගිය ශරීරයෙන් දිරාපත් වෙච්ච, ආච්චි කෙනෙක් සීයා කෙනෙක් තමන්ගෙ පරණ මතක ගැන කතා කරමින් ගෙවා දමන කාලය තරම් කිසිම ආදරයක් අසීමිත නෑ කියලා.
ඒ වගේ රූප රැගත් පෝස්ට් දෙක තුනක් වත් දවසකට එෆ් බී ටයිම් ලයින් එක පුරා උඩට පහළට යන නිසා, ඒ අය හරි කියලා හිතන්න මටත් හිතුණා.
ඒත් කවුරුත් කියන දේ පිළිගන්නෙ නැති හිතුවක්කාරියක් නිසා, මං අසීමිත ප්‍රේමය කුමක්දැයි තනිවම හොයන්න තීරණය කළා.  එහෙම නං මා එක්ක ඔයත් අසීමිත ප්‍රේමය හොයං යං. ඒ ගැන ප්‍රශ්න නැති කෙනෙක් ඉන්න විදිහක් නෑ.
එක එක අය ආදරය ගැන එක එක වයස් මට්ටම් හා අධ්‍යාපන මට්ටම් වලදි එක එක විදිහෙ තර්ක ගොඩ නඟනවා. විවිධ විදිහට තමන් දුටුව දේ හා තමන් විඳින්නට ආශා කළ දේ ගැන කිව්වා මිසක් ඒ කවුරුවත් අසීමිත ප්‍රේමය නිර්වචනය කිරීමක් කෙරුවෙ නෑ කියලා මුලින්ම ඔයාට කියන්නම්.

පළවෙනි කාරණාව නම් අසීමිත ප්‍රේමයට ලිංග බේදයක් නෑ. පිරිමියෙක් පිරිමියෙක්ට අසීමිතව ප්‍රේම කරනවා වෙන්න පුළුවන්.  ඒක සමාජය හිතන විදිහ කුමක් වුණත්, සම්මතයට කොයි තරම් පටහැණි වුණත්, නොවුණත් අසීමිත ප්‍රේමයකට එය අදාළ නෑ. ගැහැණියක් ගැහැණියකට, ගැහැණියක පිරිමියෙකුට අසීමිතව ප්‍රේම කරනවා වෙන්න පුළුවන්. අසීමිත ප්‍රේමයකට නැතිම දේ සීමාව. මායිම. ඉර හඳ යට ඕනෑම තැනක සිටින ඕනෑම පාර්ශව දෙකකට, ළංව සිටියත්, නොහිටියත් අසීමිතව ප්‍රේම කරන්න පුළුවන්. නියමිත වයසක්, ජාතියක් තියා එයට  සමහර වෙලාවට භාෂාවක් වත් නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට ප්‍රේමය ගොඩ නැගෙන්නෙ, සතෙක් සහ මිනිහෙක් අතරෙ වෙන්න පුළුවන්. බර්ලින් තාත්පයට ආදරය කරපු ගැහැණු අයත් හිටිය ලෝකයක් මේක.
ආදරේ පවතින රූපය කුමක් වුණත්, ඒ තුළ එයටම අනන්‍ය සුන්දරත්වයක් තියෙනවා. එය සොයා ගන්නේ එය දකින්නේ ඒ ආදරයට ආදරය කරන අයෙක්ම පමණයි.
ප්‍රේමය ඉවසනවා. ප්‍රේමය පාරට්ටු නොකර ඉන්නවා. එහි දෙවියන්ද වැඩ ඉන්නවා, ප්‍රේමය සැකයෙන් තොරයි කියලා බයිබලේ කොරින්ති දහතුනේ තියෙනවා. ප්‍රේමය කියන්නේ අතහැරීම, නිදහස් කිරීම මිස අයිති කර ගැනීම නොවෙයි කියලා ඕෂෝ කියනවා. මේ හැම දෙයින්ම හැඟෙන්නෙ ප්‍රේමය අසීමිතව පූජනීය බව. අසීමිත ප්‍රේමයකට වඩා, මුළු මහත් ප්‍රේමය අසීමිත විය යුතු වග
එය, පෞද්ගලිකවම එක් අයෙක් ගැන  හොයා බැලීමට වඩා  වැඩි බරපතල මිනිස් හැඟීමක් කියන තර්කය මට බොහෝවෙලාවට දැනෙනවා. මැච් එකක්, තරඟයක්, යුද්ධයක් දිනද්දි නැගෙන සතුට වුණත් නැගෙන්නෙ යම් පාර්ශවයක් හෝ එවන් පිරිසක් කෙරේ මොහොතකට හෝ නැගෙන අසීමිත ප්‍රේමයෙන්.
ඒ කෙනා අයිති කර ගැනීමට වඩා වැඩි දෙයක්  ඒ ප්‍රේමය තුළ ගැබ් වෙනවා. අපේ කියන හැඟීම මිසක්, මේ මගේ දෙයක් කියලා ආත්මාර්ථයක් ගොඩ නැගෙන්නෙ නැති තරම්.
ඒ වගේම මිනිස්සු වෙනුවෙන් යහපතක් කරන්න උත්සාහ කරන සහ කරපු අය ළඟ අසීමිතව ප්‍රේමය තියෙනවා කියලා මගෙ හිතේ විශ්වාසයක් තියෙනවා. සමහර වෙලාවට ඒ අය ප්‍රාර්ථනා කරපු යහපත සමාජයට ඉටු නොවුණා වෙන්නත් පුළුවන්. කවදාහරි දවසක ඉටු වෙනවා වෙන්නත් පුළුවන්. ඒත් ඒ මෙහෙවර ඇතුළෙ හිර වෙච්ච අසීමිත ප්‍රේමය හරිම වටිනවා.
ගසාගෙන යන කෙනෙක් බේරන්න වතුරට පනින කෙනෙකුගේ නිර්භය සිතුවිලි වල තැවරී තියෙන්නෙ, අසීමිත ප්‍රේමයක්. මුලින්ම හදවතට නැගුණු මානව ප්‍රේමය සීමා බිඳගෙන යන එක් ක්ෂණයකදි ඔහුගෙ හිතට නිර්භය බව ළඟා වෙනවා. එයයි ඔහුව වතුර තල්ලු කරන අප්‍රමාණ ශක්තිය බවට හැරෙන්නෙ.
අනෙකාගේ දිවිය යහපත් කිරීමේ කාර්යය උදෙසා තමන් විශ්වාස කල මාර්ගය තෝරා ගත්ත තරුණ තරුණියො දහස් ගණනක් වස්සානෙට ඉස්සර හේමන්තය වැළඳ ගත්ත රටක අපි අදත් ජීවත් වෙනවා. ඔවුන්ගේ මාර්ගය ගැන තර්ක තිබුණත්, අනෙකාගේ පැවැත්ම උදෙසා තමන්ගෙ පැවැත්ම අත අරින්න තරම් ශක්තියක් ගොඩ නැගෙන්නෙ හදවතින් පැන නගින අසීමිත ප්‍රේමයම නිසා පමණයි. ඒ නිසා එවන් ප්‍රේමයක් සැමරිය යුත්තේද සදාතනික ප්‍රේමය ලැගුම් ගත් හදවත් තුළින් පමණයි. අපි අපේ තාරුණ්‍යයට වෛරය ඉගැන්වීම නතර කරන දින,  ආදරය ඉගැන්වීම ද නතර කළ හැකියි. ජුනි විසි වැනිදා යං අපේ පැතුම එයයි.



No comments:

Post a Comment

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.