මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

8/14/17

-283- බර වචන හෙවත් බලවතුන් හා බවලත්තු

සමහර මාතෘකා කතා කරන්න අපි හරි බයයි. ලේබලයක් වද්දගෙන කල්ලියකට කොටුවෙන්න තියෙන අකමැත්ත වගේම, සංස්කෘතිය හා සමාජය අපි ගැන කොයි විදිහෙ තීරණයකට එයිද කියන බයත් අපේ හිතේ තියෙනවා. ඒත් young අපි , අපිට ලැබෙන අවකාශය ඇතුළෙ ඔයාලා එක්ක හැකිතරම් දේවල් කතා කරන්න උත්සාහ කරනවා. ඔයාලා නිරන්තරයෙන් young එක්ක අත්වැල් බැඳගන්නෙත් ඒ නිසාමයි කියලා අපිට විශ්වාසයි. 

තරුණ පරපුර කියන්නෙ, key board වීරයෝ කියලා හිතන වැඩිහිටියන් ට වඩා එහා ගිය යහපත් දැක්මක් තියෙන කොල්ලො කෙල්ලො අපි අතරෙ ඉන්නවා.  අද අපි සාකච්චා කරන්න සූදානම් වෙන්නෙ Gender Equality  කියන කාරණාව පිළිබඳව. පිරිමින් ට සහ ගැහැණුන්ට සමාන අයිතියක් ඕනෙමද? 

මේ තරම් ජනප්‍රිය මාතෘකාවක් එකසත් ජාතීන්ගෙ සංවිධානයටම නැති වුණත්, මේ ගැටලුවට හරිහමං ප්‍රමාණවත් විසඳුමක් ලබපු එක රටක්වත්, නැහැ කියලා කණගාටුවෙන් වුණත් කියන්නම වෙනවා. ඒකට මූලිකම හේතුව මේ මාතෘකාව කතා කරන හැමෝම ස්ත්‍රී වාදීන් කියලා කෑමොර දීම. ඒත් මේ මාතෘකාව කතා නොකරන අය ප්‍රචණ්ඩත්වය ට සහයෝගය දෙන නොමිනිසුන් කියලා කියන්න කවුරුවත් ඉස්සර නොවෙන එකයි ලොකුම පුදුමය.

ගැහැණුන් හා පිරිමින්ට සමානව සැලකීම කියන කාරණාව කතා වෙනකොට, අපි විහිලුවක් කරලා එතනින්  මාරු වෙන්න පුරුදු වෙලා ඉන්නවා.   ඒත් මේ ගැටලුව එන්න එන්නම උග්‍ර වෙලා බව, මොහොතක ට වත් අපිට හිතෙන්නෙ නෑ. මේ ප්‍රශ්නෙ දිහා ගැහැණු හෝ පිරිමි කියලා ලිංග බෙදීමෙන් නොබලා, අපි ඔක්කොම මිනිස්සු කියලා හිතින් දකින්න අපි පුරුදු වනතුරු , මෙය පිළිතුරු නොලද ප්‍රශ්න අස්සෙම තියේවි. 

මට මතකයි, මං හය වසරෙදි, මගේ හොඳම යෙහෙළිය, ගෙදරින් ඈට පිහිනුම් පුහුණුවීම් තහනම් කරපු දවසෙ කඳුලු බිබී අඬපු හැටි. එහෙම කරන්න ගෙදරට තිබුණු එකම හේතුව , ඇය වැඩිවිය පැමිණි කෙනෙක් වීම. සංස්කෘතිය සම්ප්‍රදාය කරපින්නා ගත්ත, වැඩිහිටියන්ගෙ පටු තීරණ නිසා ඇගේ ප්‍රියතම ක්‍රීඩාව ඇයට නැති වෙද්දි, ඇගේම මල්ලි අද, පිහිනුම් ගුරුවරයෙක් . සමානාත්ම තාවය ලැබීම ඇරඹිය යුත්තේ සමාන අවස්ථා ලබා දීම තුලින්ම පමණයි කියන්නට ඔබට තව උදාහරණයක් වුවමනාද?

අවුරුදු ගණන්  ගානෙ කොයි තරම් කතා කළත්, ක්‍රියාවට නංවන්න කිසිම රටක්  අසමත් වුණු ප්‍රධානම දෙයක් ලෙස, වෘත්තීයේදි ලැබෙන ගෙවීම් වල අසමානතාවය පෙන්වා දෙන්න පුලුවන්. ලංකාවේ මේ අනුපාතය තරමක් යහපත් මට්ටමක තිබ්බත්, අනෙක් දකුණු ආසියානු රට වල, මෙය ඉතා සෝචනීය තත්වයක තිබෙන්නේ. සමාන වෘත්තියක් සඳහා සමන ගෙවීම් ලැබීමේ අයිතිය, පුමිතිරි බව නිසා වෙනස් වෙනවා නම් එය සැබැවින්ම අසාධාරණයි. මාතෘ නිවාඩු දීමට සිදුවෙන නිසා, සමහර ආයතන ස්ත්‍රීන් රැකියාවට ගැනීමට මැලි වෙනවා. සමහර කොන්ත්‍රාත්තු වලම, යම් කාල සීමාවක් උදෙසා අවිවාහකව සිටිය යුතු බව දන්වනවා. 

විවාහ වන ස්ත්‍රියක් රැකියාවක නිරත වනවා නම් ඇයට සුදුසු රැකියා කැටගරියක් සංස්කෘතිය විසින් තෝරා දෙනවා. ගැහැනිය උපන්නේ දරුවන් වැදීමටයි යන ජීව විද්‍යාත්මක මතය පමණක් පිළිගත් ලෝකයක, අපි තවමත් ජීවත් වීම කණගාටුවට කරුණක්. ඇයි දරුවන්  ගැහැණුන්ගෙ කුසට පාත් වෙන්නෙ ගස් වලින්ද? 

තම හැකියාව දක්ෂතාව අමතක කර,  තම කැමැත්ත අමතක කර විවාහය හා දරුවන් උදෙසා රැකියා තෝරන ස්ත්‍රීන් මං දැකලා තියෙනවා. ඔයත් දැකලා ඇති. ඔයා හිතනවාද ඒ අය අතින් එයාලා කරන වර්‍තමාන වෘත්තියට සාධාරණයක් ඉටුවෙනවා කියලා. කීයටවත් නැහැ .

අපි ස්ත්‍රී පුරුෂ සමානතාවය ගැන කතා කරද්දි ස්ත්‍රිය  ගැන නිතරම කතා කරනවා. පූර්ණ කාලීන විසඳුමක් නැතත්, අඩුම තරමෙ කතා කරනවා. අපිට ගැටලුවක් ඇති බව පේනවා. ඒත් අපි පුරුෂයාට මේ අසමාන සැලකීම් නිසා සිදුවෙන අසාධාරණකම් ගැන හිතන්නෙ නෑ. සමහර විට, ස්ත්‍රීයට සිදුවන අසමාන සැලකීම් වලට ඇති ප්‍රබලම විසඳුම ප්‍රථමයෙන් පුරුෂ පක්ෂයට ඇති ගැටලු විසඳීම කියන කරුණ අපි තේරුම් ගත යුතුයි .

මගේ පිරිමි යාලුවො අවුරුදු දොළහෙන් පස්සෙ අඬනවා මං දැක්කෙ නෑ. ඒකෙන් කිසිම විදිහකින් කියවන්නේ  නැහැ. ඔවුන්ගෙ ජීවිතේ දුක ට පත් නොවී තිබුණා කියලා. ඉස්සරහට ඔවුන්ට දුකක් ඇති වෙන්නෙ නෑ කියලා.හැබෑවටම සිද්ධ වුණේ සංස්කෘතිය  විසින් තමන්ට අඬන්න තහනම් කළ නිසා වේදනාව දරාගන්නට පිරිමි පුරුදු වීම. කඳුලු වලට  විහිලු කිරීමට ඔවුන් පුරුදු වීම.  

ඒ කාරණාව ගැහැනු ලමයි සිනාවිමට එරෙහිව වක්‍රව බලපෑමක් එල්ල කළා. තමන් කඳුලු නැවතූ ලෙසට ගැහැණු ළමයින් සිනාව නැවැත්විය යුතු බව පිරිමි තිරණය කළා.  
ප්‍රචණ්ඩත්වය නිර්මාණය වීම ආරම්භ වන්නේ මෙතැනින්.  අනේකා ගැන ප්‍රේමයක් නූපදින්නට වග බලාගත් සංස්කෘතියක සමානතාවයක් දකින්නෙ කොහොමද?සමහර රස්සාවාක් කරන්න ආසා වුණත් පිරිමි කමට එය අඩුවක් කියා සංස්කෘතිය විසින් යම් රැකුයා කැටගරියක් දී තිබ්බීම නිසා,පිරිමිත්  එයාලා කැමති දේවල් අත ඇරලා තියෙනවා. ගැහැනු පිරිමි කියන බේදයෙන් නොබලා ජීවීතය දිහා මිනිස්සු විදිහට අපි බලන දවසෙදි අපිට පුලුවන් හෝමෝ සේපියන් සේ්පියන් තත්වය තවත් ඉහළට පරිණාමය කරන්න. 
වෙන දවසක නොවෙයි. අද අරඹන්න. වෙන තැනකින් නෙවෙයි. මෙතැනින් අරඹන්න. වෙන කෙනෙක් නොවෙයි. ඔයා අරඹන්න. මානව හිමිකම් වලින් සැමට සමාන ලොවක් ගොඩ නගන්න. වෙනස් වෙන්න.




No comments:

Post a Comment

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.