මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

8/14/17

-286- ජීවිතේට sUper ටොනික්ස්

මේ ලෝකෙ හැම දෙයක්ම අලුත් වෙලා. අලුත් වීමත් අතීතයට එකතු වෙන තරමට දේවල් අලුත් වෙලා. හැම තැනම ටෙක්නොලොජි රජ වෙලා . ජීවිතේම තියෙන්නෙ ඇඟිලි තුඩක පුංචි දුරින්. ඒත් ඒ ජීවිතේ දැන් ගොඩක් අයට එපාවෙලා. ආයේ ඉස්සර වගේ කට්ටිය සෙට් වෙලා හවසට හවසට ක්‍රිකට් ගැහුවානම්, හොඳයි කියලා කීප දෙනෙක්ම මා එක්කත් කිව්වා.

ඉස්සර සුදු පාට හාෆ් ශීට් වල අකුරු කප කප කොට කොට , කොළ උණ්ඩි කර කර විසි කර කර  පත්තරේට ලියපු අපිත් , දැන් කරන්නෙ කෙලින්ම ලැප්ටොප් එකේ ටයිප් කරලා  ඉන්පස්සෙ එඩිටර්ගෙ මේල් එකට සෙන්ඩ් කරන එක. කටු කොළත් නෑ. කැපිලි කෙටිලිත් නෑ. හරිම සුමටයි. ඒ වගේම ඉතාම වේගවත්. ඒත් එයින් ලැබෙන තෘප්තියෙ පුංචි අවපාතයක් නැතිවම නෙවෙයි.තමන්  මනුස්ස වර්ගයේ බව ඇඟට දැනෙන්නෙ නැති කාලකණ්ණි හැඟීමක් සමහර වෙලාවට යන්ත්‍ර එක්කම ජීවිතේ ගෙවෙද්දි දැනෙනවා.

අපි හිතනවාට වඩා අපි බොහොම යාන්ත්‍රික යි. හරියට රොබෝලා වගේ. අපි ජීවත් වෙන්නත් හුස්ම ගන්නෙත් හරිම කම්මැලි වෙලා .

සමාජ ජාල අඩවි වල ශෙයාර් වෙන පින්තූර දැක්කාම පෙනෙන දෙයක් තමයි ලංකාවෙ ඉරිදා හා සෙනසුරාදා විතරක් ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න තරුණ තරුණියො බොහොමයි කියන කාරණාව. ඒත් අවාසනාවකට ඔවුන් උදේ නැගිටලා නාලා රෙදි හෝදලා අහවර වෙද්දි සති අන්තයත් ඉවර වෙලා කියලා ඔවුන්ම පැමිණිලි කරන හැටි අපි ඒ සාමාජ ජාල හරහාම දකිනවා. ඔබ සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍ය  පොතේ තියෙන බැද්දේගම නවකතාවෙ නව වෙනි පරිච්ඡේදය කියෙව්ව නම්, ගමට කැලේ කඩා පනින හැටි ලස්සනට ලියා තිබුණා මතක ඇති. අන්න ඒවගේ තමයි මේ යන්ත්‍ර අපේ ජීවිත ආක්‍රමණය කරන්නෙ. අපේ ජීවිතේට කඩා පනින්නෙ.

කොහොම වුණත් ඒ ඒකාකාරි ජීවිතෙන් මොහොතකට  මිදෙන්න පුලුවන් නම්, යාන්ත්‍රික වටපිටවෙන් පැයක් දෙකක් හරි ඇත් වෙන්න පුලුවන් නම් , ඒක ඕනෙම කෙනෙකුට සහනයක් කියලා යං අපි හිතනවා. ඒ නිසා අපි ජීවතයට ජීවත් වෙන්න උදව් වෙන්න පුලුවන් සුපර් ටොනික් මොනවද කියලා මේ ලිපියෙන් හොයං යං.

එයින් පළමු වැන්න තමයි, අලුත්දෙයක් ඉගෙන ගන්න පටන් ගැනීම. විභාග ලියන්නම නෙවෙයි. හිතට පොඩි වෙනසක් ලැබෙන්න ඔයාට අලුතෙන්ම දෙයක් ඉගෙන ගන්න පටන්ගන්න පුලුවන්. ඒක අලුත් භාෂාවක්ද, ඔයාගෙ රැකියාවට අදාළ හෝ අනදාළ ඔයා සතුටු විෂයක් ද , එහෙමත් නැත්තම් කලාවක් ද කියන දේ කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. සමහර වෙලාවට ඉස්කෝලෙදි අපිට අපි කැමති හැමදේම ඉගෙන ගන්න ලැබෙන්නෙ නෑනෙ.  ඉතින් ආස කරන දේවල් ඉගෙන ගන්න පටන් ගන්න තාම ඕනෙතරම් අවස්ථාව තියෙනවා . දැන් හැම සම්ප්‍රදායෙම භාෂා පන්ති, නැටුම පන්ති හා සංගීත පන්ති, අර  පන්ති මේ පන්ති කොයිතරම් තියෙනවාද . සමහර මං දන්න නැටුම් පන්ති තියෙනවා, මාසෙකට සිංදු හතරකට නටන්න උගන්වන. හුඟක් භාෂා පන්ති මාස හයයි. එව්වයෙන් සකල කලා පරතෙර දකින්න බෑ. හැබැයි සරලවම ආරම්භය ලබාගෙන, ඉන්පස්සෙ  තමන්ටම අලුත් දේ හොයා ඉගෙන ගන්න පුලුවන් ක්‍රම අපේ රට ඇතුළෙම ඕන තරම් තියෙනවා.

අපි ජීවිතේට යෝජනා කරන දෙවැනි  ටොනික් එක තමයි යම් ක්‍රීඩාවක් කිරීම ඇරඹීම. ස්විමිං , ගොල්ෆ්, අස්සයො පැදීම වගේ රොමෑන්ටික් ලෙවල් ඒවා ආස නම් ඒව කරන්න. නැත්තම් සුදොකු හෝ චෙස් වගේ මනස කලම්බනය වෙන්න ක්‍රීඩාවක් වුණත් පුහුණුවෙන්න කාගෙන් තහනමක්ද? කෙනෙක්ට ආසා නම් පුලුවන් මේ කිසිවකට නොගිහින් ව්‍යායාම හෝ යෝගා කරන කණ්ඩායමකට එක් වෙන්න. ජිම් එකකට ජොයින් වෙන්න. නැත්තං දියත උයන වටේ, වික්ටෝරියා පාක් එක වටේ පොඩි වොඉකිං පාරක් දාන්න. ඒක තම තමන් ආශා කරන විදිහ.

පොත් කියවීම හෝ චිත්‍රපටි නැරඹීම තුලින් හැමවිටම වෙහෙස නිවෙන්නෙ නෑ. සමහර විට ඒවා දෙස බලා සිටීම හැබැ ජීවිතේ ඒකාකාරි බවට වඩා ඒකාකාරී කියලා සමහරු කියනවා  මට ඇහිලා තියෙනවා.  ඒත මං යෝජනා කරන තුන් වැනි ටොනික් එක ලිවීම. කාගෙවත් කතා කියවීම කොහොම වුණත් තමන්ගෙ කතාව තමයි මිනිස්සුන්ට වැඩියෙන්ම හැපනිං. තමන්ගෙ සිතිවිලි පොතක ලියන එක ඒකාකාරි බවට හොඳම විසඳුමක්. තමන්ටම කියලා ජීවිතේ ගැන තියෙන අදහස්, තමන්ගෙ ජීවිතේට සමීප සිද්ධි , තමන්ගෙ හීන, පැතුම් ඕනෙ දෙයක් පොතක ලියන්න තමන්ට පුලුවන්.

Facebook ස්ටේටස් වලින් හුඟ දෙනෙක් කරන්නෙත් ඒකම තමයි. ඒත් පොතක් ලියන හැඟීම ඊට ගොඩක් වෙනස්. Facebook එකක හෝ බ්ලොග් එකක ලියන්න පුලුවන් දේවල් වලට වඩා තමන්ට  ඕන වේලාවක පිටස්තරයන්ගෙන් හංගාගන්න පුළුවන් වෙන පොතක ලියන්න පුලුවන් දේවල් බොහොම වැඩියි. ඒ හැඟීමත් නිදහස්. කමෙන්ට්ස් ලයික්ස් නැති නිසා, තමන්ට තමන් හැටියට ඉන්න ඉඩකුත් නොමිලේම ලැබෙනවා.

සාමාන්‍ය දිනපොතක් ලියන හැඩේට වඩා මේ පොත් ලියන හැඩේ ටිකක් වෙනස්. කඩේ ගන්න තියෙන ඩයරියක් මේ වැඩේට කොහෙත්ම සුදුසුත් නෑ. සාමාන්‍ය පොතකට කවරයක් දාලා.. තමන්ට අවශ්‍ය ඕන දෙයක් ලියලා , පාට පෑන් වලින් හැඩ කරලා,  පින්තූරත් අලවලා..  චිත්‍ර ඇඳල මේ වගේ පොත් ලියන්නෙ. එය දකින වාරයක් ගානෙ තමන්ට ඇතිවෙනවා තමන් තමන්ගෙම කතාව ලියන සංසාරේ සංචාරකයෙක් කියලා. තමන්ට අඩුම තරමෙ ජීවිතේ හුඟක් පුංචි සතුටවල් මතක තියා ගන්න ඒ පොත උදව්වෙවි. ඒකාකරි ජීවිතේ සුන්දර නවකතාවක් වගෙත් දැනේවී.
ඉතින් අපිත් ඒකාකාරි ජීවිතෙන් මිදිලා මේ කොයි හරි විදිහකින් සතුට හොයං යං


No comments:

Post a Comment

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.