මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

10/20/14

-248- ඔහුගේ පුංචි දෙව්දූව | அவரது சின்ன தேவதை

2014 / 10/ 13
අනේ යාල් දේවී... නෑ ගමන් ගියේ නෑ.. බෝ කලකින්
හිස පළඳනාවේ තිබුණා ලියලා, කංකසංතුරේ කියලා...

සුනිල් එදිරිසිංහ මහතා ගේ හඬ මුළුතැන්ගෙයි සිට, කාමරයක් කාමරයක් පාසා පැමිණ ඇත. උදෑසනම ඒ තරම් නෑසෙන එවන් ගී ඇසෙන්නේ, අද වසර විසි හතරකට පමණ පසු යාල් දේවී යාපනේ යන නිසාම විය යුතුය. යාල් දේවී යාපනේ නොයන්නට පටන් අරගෙන මගේ වයසමය. අදින් පසු ඈ හැමදවසකම කොටුවේ සහ යාපනයේ සිල්පර අතර ඇවිද යනු ඇත. දුරකථනය නාද වෙයි. එහෙත් එය නාඳුනන මොබිටෙල් අංකයක්.

මොකද කියන්නෙ? ගෑණු දරුවා ! පැනලා යනවා නං පළවෙනි කෝච්චියෙම යන්ඩ පුළුවන්

දවස් දෙකකට පමණ පසු ඇසෙන ඒ සුපුරුදු හඬ කරන් ගේ ය. කරන් සහදේව් රාමචන්ද්‍රන් යාපනේ දෙමළය. එහෙත් ඔහු සහ මල්ලී දෙදෙනාම උපන්නේ කොළඹ ය. කරන් මෙන්ම ඔහුගේ මල්ලි ඉගෙන ගත්තේ ද උසස් සිංහල පිරිමි විදුහල් වලය . එනිසා ඔවුන්ට හොඳින්ම සිංහල පුළුවන් ය. සමහර විට ඔවුන්ගේ අම්මා සිංහල නිසා විය යුතුය. විටෙක කරන් මට වඩා සිංහල ය. නුපුරුදු අංකය ගැන  නුරුස්නා හැඟුමක් උපන් බව දනවන්නට ඉඩ දෙමින් මම ඔහුව ප්‍රශ්න කරමි. ඒ මගේ හැටි බව ඔහු දනී

මේ නම්බරේ කාගෙද?

ඔහු ගේ සිනා හඬ දුරකථනයේ එහා කෙළවර සිට ඇසෙයි. ඔහු උත්තර නොදෙමින් මා තරහ ගස්සන්නට සැරසෙයි. ඉස්සර සිටම ඒ ඔහුගේ හැටි ය. එහෙත් මම හැමදා ඒ ලගන්නා සිනා හඬට ප්‍රිය කළෙමි. වසර හතරක පමණ මේ දැනහැඳුනුම් කම මිත්‍රත්වයට එහා ගිය ප්‍රේමයදැයි හඳුනා නොගත් එක්තරා බැඳීමකි. එය ප්‍රේමය යැයි ඔහු කිසි දින කියා නැති බැවින් ප්‍රේමයක් සිතීමට මට අයිතියක් නැතැයි විශ්වාස කරමි. දැන් ඔහු මට පිළිතුරු දෙන්නට පටන් ගෙන ඇත.

මගෙ සින්න දේවදෛ බය වුණානේ.. මේ තාත්තිගෙ උපහාර පැකේජ් එක බබෝ. ඉතිං ඉතිං?

ඔහු සිනහව අතරින් පවසන්නේය. දැන් ඔහු මගේ පිළිතුරු නොපතාම කතා කරන්නට පටන් ගෙන ය. මින්පසු යාපනේ යන විට, ජීප් එකේ නොව කෝච්චියේ යා යුතු බවත්, එසේ යනවා නම් යාල් දේවියේ පළමු පන්තියේ ටිකට් පත් කලින් මිලදී ගත යුතු බවත් ඔහු පවසනු මට ඇසෙයි. තත්පර දෙක තුනක මඳ විරාමයකි. අනතුරුව නව මාතෘකාවකි. ඒ යුද්ධයෙන් පසු  ඔහු නිතර යාපනේ යන නිසා අලුත් වූ නෑකම් හා අලුත් මිතුරන් පිළිබඳ විත්ති ය. කතා කිරීමට නොහැකි වුයේ දවස් දෙකක් පමණක් වුවද  ඔහුට කීමට මාසයක පමණ දේ තිබිණි. විටෙක සිංහලෙන්ද, විටෙක ඉංග්‍රීසියෙන්ද මිසක, දෙමළ හැකි තරම් අඩුවෙන් භාවිතා කිරීමට ඔහු ප්‍රවේසම් වෙයි. ඒ ඇයි දැයි මම මෙතෙක් කිසිදිනක අසා නැත්තෙමි. මම දෙමළ කතාවට ඒ තරම් හපනියක නොවූවද, දෙමළ තේරුම් ගැනීමට සෑහෙන සමත් කම් ඇති වග ඔහු දනී. රාජ්‍ය භාෂා කේන්ද්‍රයේ පැවැත්වෙන දෙමළ භාෂා පාඨමාලාව මම අනිවාර්යෙන්ම හැදෑරිය යුතු බව එක් වරම ඔහු සඳහන් කරයි. මම ඒ ඇයි දැයි අසමි. මඳක් සිනාසී රහසක් හගවන ලීලාවෙන් සුසමක් හරින ඔහු එයට පිළිතුරු නොදීම අලුත් කතාවක ගිලෙයි.

ඉදින් දුරකථනය කන තබා ගෙනම, මම ඔහුව හැරදමා මගේ මතකයන් වෙත පැමිණෙමි.

 ***
මාලබේ තොරතුරු තාක්ෂණ අධ්‍යන ආයතනයේ නිහඬ දේශන ශාලාවක නිල් පැහැති ගවුමක් හැඳ හිඳ සිටින, මා යළිත් මවා ගැනීමට මට හැකි විය. උසස් පෙළ ප්‍රතිඵල පැමිණි විගස ඇතුළත් වුවද, මාස දෙක තුනකන්ම එපා වී ගිය පරිගණකය  හා ගණිතය පිරුණු අධ්‍යන වාරයෙන් පැන යා හැකි අයුරක් සිතමින් ඒ මොහොතේ සිටි බව දැන් මට සිහිපත් වෙයි. මේ සමුගැන්මෙන් අනතුරුව, ජීවිතය සපුරා වෙනත් මාවතක ගමන් කරවිය යුතු බව මගේ යටි සිත ඉදිරියට පැන ඒ අවස්ථාවේ අණ කරන්නට පටන් ගෙන තිබිණි. අනාගතය පිළිබඳ සිත ඇතුළෙන් අවිනිශ්චිත අරගලයන් කලහ කරද්දී එක පිට එක ඇසෙන අසාමාන්‍ය ශබ්දයකින් තැතිගැන්වුණු මම, ඔබ සාමාන්‍යයැයි පවසන ලොවට පිවිසෙමි.

ඒ 2009 වසරයි. සිංහල හින්දු අලුත් අවුරුදු නිමා වී මසක් පමණ ගත වී තිබිණි. දහ නව හැවිරිදි යුවතියක් බිය කළ හැකි තරමට එක පිට එක පිපිරූ රතිඥ්ඥා හඬට හේතුව, එහා මෙහා වේගයෙන් පසු කර යන්නන්ගේ මුවින් අහුලා ගැනීමට සමත් වූ විගස, මම ද මගේ අතින් අනාරාධිතව ඇදගත් වැඩිමහල් යෙහෙළියකගේ ශක්තියෙන් පාරට ඇදී එමි.

අපි දිනලා.

හැම තැනම රතිඥ්ඥා හඬ රැව් දෙයි. මහ පාරේ වාහන නවතා ඇත. පාර මැදට පැන ජාතික කොඩි බෙදන තරුණයෝ නගරයම අරක් ගෙන සිටියහ. එකිනෙකා බලහත්කාරයෙන් කිරිබත් කවා ගත් උද්දාමය තුළ ප්‍රීතිය මෙන්ම වෛරයක්ද ඒකාත්මිකව තිබූ බව පෙනිණි. ඒ සිතිවිලි වලින් සිත මුදවාලූයේ පසුපසින් ඇසෙන ඔල්වරසන් හඬකි. ඒ දෙස හැරී බැලුවෙමි. තුන්වෙනි හෝ හතරවෙනි අවුරුද්දේ යැයි සැලකිය හැකි තරුණයෙකු කර පිටින් ගෙන නටන කොලු රෑනකි.

ඇයි ඒ?

මම යෙහෙළියගෙන් අැසීමි.  ඇය ද පුවත් නොදැන තවත් අයෙකුගෙන් තොරතුරු විමසන සෙයකි. එතැන සිටි අය කොඳුරාගත් පරිදී ඔහු  හමුදාවේ ඉතා ඉහළ නිලධාරියෙකුගේ පුතෙකි. ඔහු ඔසවාගන්නට ඇත්තේ පියා වෙනුවෙන් සතුට ප්‍රකාශ කරන්නට විය යුතුයැයි අවසානයේ ප්‍රත්‍යක්ශ කර ගතිමි. අනතුරුව මම මගේ බෑගයද රැගෙන යෙහෙළියගෙන් මිදී බසයකට ගොඩවීමි. සැවොම ප්‍රීතියෙන් ය. මිනිස්සු සමූහයක් ලෙස නොතිත් ප්‍රීතිමත් භාවයකට වන්නේ ක්‍රීඩාවෙන් පමණක් නොවන වග  මම සිතන්නට පටන්ගත්තේ එදාය.

***
නෙත් පියාගෙන තවත් වසර එකහමාරක පමණ ඈතට සිහිනය රැගෙන ගියෙමි. ඒ 2007 වසරේ නොවැම්බර් අග දවසකි. ආර්ථික විද්‍යා පන්තිය දෙදරා කළුවර වී යනු දැණිනි. ශබ්ද නෑසුණද, කන් අඟුලු වැටුණාද යන්න අමතක වුවද ජීවිතයේ අත්විඳී අති ප්‍රබලම නිහැඬියාවේ මොහොතක් ගිලී සිටියෙමි. ඉන්පසු ඇසුණු විවිධ ශබ්ද වලින් සහ එකතු වුණු විලාපයන්ගෙන් සමහර කොටස් අදටත් මතකයට පැමිණෙයි. එ් වේදනාවන් සියැසින් දකින්නට තරම් මම අවසනාවන්ත වීම නිසා ඒවා මතකයෙන් ගිලී නොයනු ඇත. අපි මුළු ළමා කාලය තුළම කොතැන පිපිරීමක් සිදුවේදැයි දෙගිඩියාවකින් පෙළුණු අය වෙමු. ඉඳින් තරුණ වියට පා තබන මොහොතේ ඉන් මිදීමේ ප්‍රීතියෙන් උද්දාමයට පත්වීමේ වරදක් නැති බව ඔවුන් සිතනවා විය නොහැකිදැයි මට සිතිණි.

දොරින් දොර සැණකෙළි මසක් පමණ පැවතිණි. මම නැවත කිසිදින තොරතුරු තාක්ෂණ සරසවියට නොගියෙමි. සිතින් බල කළ ගමන් මග වෙනස් විය. ඒ පශ්චාත් යුද සමයයි. මා ගිය අලුත් විද්‍යාලයේ සිංහල සිසුන් ට වැඩිය සිටියේ දෙමළ සිසුන්ය. එය මගේ ජීවිතයේ සුන්දරම කාලය විය.මගේ සුන්දර විසිවයස් වල ඇරඹුම සටහන් කළේ ඔවුන්ගේ දීපවාලියෙනි. කරන් මට මුණ ගැසුණේ ඒ දීපවාලීයේදීය. කුඩා කලු තිලකයක් මගේ නළලත තැබූ ඔහුගේ මිතුරියක්, පහන් දැල්වීම ඔහුටත් මටත් බාර දී ගිය අයුරු අද මෙන් මතකය. කරන් ඉස්සරත් එහෙමය. එක දිගට දොඩමළුය.

අපි එකට ගමන් ගතිමු. ජීවත් වුණෙමු. කෑවෙමු බිව්වෙමු. කිසිම තැනක කිසිම වෙනසක් නොතිබිණි. භාෂාව එදා අපිට ගැටලුවක් විණිදැයි දැන් මට මතක නැත. බොහෝ විට අපිට දෙමළ වැටහුණාද, සිංහල ඔවුන්ට වැටහුණාද මේ දෙකම නොවේ නම් අපි සම්බන්ධීකරණ භාෂාවක් යොදා ගත්තාදැයි සැබැවින්ම මට දැන් මතක නැත. අදටත් මගේ ජීවිතයේ මාවත ඔවුන්ගෙන් සැදුම් ගෙන ඇත. ඒ මිතුරුකම් අදත් මා සමඟම ය. නිතරම කතා බහ කර දුක සැප බෙදාගන්නා ඔවුන් ගැන ඇත්තේ අපමණ ප්‍රේමයකි.

***
නෝනේ..

කරන් ගේ ආදරණීය හඬින් මම සිතිවිලි ලෝකයෙන් අවදි වෙමි. ඇඳ මත රෑ පුරා කියවූ තාරා මගේ දෙව්දුව පිටු පෙරළී ඇත. මම එය තනි අතකින් වසා දමමි.

 මම ගෙදර එන්නද?

කරන් එක් වරම ඇසීය. ඔහු ගෙදර පැමිණෙන්නේ කුමක් සඳහාද, මට එක්වර අවබෝධ නොවීය. කරන් මිතුරන් සමඟ තුන් හතර වතාවක් අපේ නිවසට පැමිණි මුත්, තනිවම කිසි දිනක පැමිණ නැත. කාරණාව අඩමානයට සිතිය හැකි බව විඥාණය පැවසූ නිසා රහසින් මෙන් ඇයි දැයි ඇසුවෙමි. උත්තර දෙන්නට ඔහු මඳක් පමා කළේය.

මට ඔයාව බඳින්ඩ ඕනෙ කියලා අම්මලාට කියන්න මං එන්නං

ජාතිවාදය ගැන හාංකවිසියක්වත් හිතට නාවද, එක්වර උපන් වික්ෂිප්ත බවකින් තිගැස්සුණෙමි. මා කුමක් කිව යුතුදැයි එවෙලේ නිසි ලෙස අවබෝධ නොවුණත්, මගේ දෙතොලෙන් එක් වරම වචන දෙකක් පිට විය. එය සිතාමතා නොකී බවත්, යටි සිතේ ප්‍රබල කම්පනයකින් මුදා හල වචනම පමණක් බවත්, මට සපථ කළ හැකිය.

අපි සිංහලනෙ.

ඒ මුදා හැරීම සමඟ, මගේ සිතට එක්වරම පැමිණියේ ඔහු කොන් කළ බවට හැඟීමකි. සිංහල දෙමළට වඩා උසස් බව ඔහුට නොකියා කීවා නොවේදැයි එක්වරම මගේ සිත මට දොස් පවරන්නට විය. සිතා ගත නොහැකි තරමට කම්පනය මුදා හළ සැණෙකින් මා බිය වීමි. බියට වඩා එය වේදනාව මුසු අතුරු හැඟීමකි. හැඟීම් අකුරු කරන්නට තවම මා අසමත් ය. හැඟීම් ඇත්තේ අකුරු වලට ඉහළිනි. එහෙත් කරන් යළිත් තම සුපුරුදු ලගන්නා සිනා හඬ නිකුත් කළේය. එහෙත් එපමණක් නොසෑහේ. එය ඔහුගේ ප්‍රහර්ෂයේ මෙන්ම අධික ඛේදයේද එකම සංකේතයයි. ඔහු කුමක් හෝ කිය යුතුය. අඩුම තරමේ මට බැනිය යුතුය. මා හා තරහ විය යුතුය. අනතුරුව මට සුසුමක් ඇසුණි. දොඩමළු බව පහව, වගකීම් සහගත හඬකින් ඔහු කතා කළේය. ඒ තුළ වූයේ ස්ථාවර බවකි. කෙටියෙන්ම කිවහොත් උපරිම පිරිමි බවකි.

සින්න දේවදෛ.. මේ අහන්නකො. මට පුළුවන් ඔයාගෙ මුළු පවුලටම වුණත් ලේ දෙන්න. ඒ මං ඕ පොසිටිව් නිසා.

දොඩමළු හඬ නතර කළ තැන ඔහු පවසන සෑම දෙයකම බර වැඩිය. ඉන් එහා කතා කරන්නට නොහැකිය. කරන් අවසානයේ තීන්දු කර ඇත. පුරුෂයන්ගේ ලෝකයට ජාතිය හරස් වන්නේ නැත. ඒ හැඟීම් මත දිවෙන ආධිපත්‍ය යේ හැටි ය. මම කිසිවක් නොකියා  යාපනය සිතින් දකින්නට වෑයම් කරමි. වසර තුන හතරකට පෙර ගිය ඒ යාපනය අද තවත් පිරී ගිය නගරයකි. අපට අලුත් කෝච්චියේම යන්නට හැකි වනු ඇත. මම පොලිතින් නොකැඩූ සීටි වල සුවඳ සිහිපත් කරමි. සිත තුළින් අවිනිශ්චිත බව පහව ආලය ඉපදෙමින් සිටියි.

මට නල්ලූර් යන්න ඕනෙ.

මම ඔහුට කියමි. මගේ සිතැඟි හඳුනාගත්තෙකු මෙන් ඔහු යළිත් ලගන්නා ස්වරයෙන් හිනැහෙයි. අවසානයේ කතා කරයි. ඒ සිනහව මුසු වචන තුළ වන්නේ කිසිවෙක් කිසිදා මා තුළින් මිහිපිට කිසිවෙක් හඳුනා නොගන්නා ප්‍රේමය හඳුනාගත්තෙකුගේ ස්ථාවරත්වය මිස ජාතිය හෝ භාෂාව නොවන බව පමණක් මම දනිමි.

ඔව් වැල්ලවත්තට වඩා එහෙ අයිස්ක්‍රීම් කොලිටි!


12 comments:

  1. Niyamai..... mageth innawa mehema yaluwek... harima adarei... eyatath sathutui yaldeviya demmata.. mama eyata kiwwe kochchiya hadala yapane lassana nagarayak unu data eyalath ekka yapane yanna enawa kiyala.mokada mama balanna asa mage ammala thaththala dekapu e lassna yapanaya...

    ReplyDelete
    Replies
    1. දකින්නත් ආසයි... ස්තූතියි දුලාෂා

      Delete
  2. අපි සිංහලනෙ.///
    ඒ වගේ වෙලාවට ගහන්න පුලුවං හොදම න්‍යෂ්ටක බෝම්බයක් තමා ඒ...
    කෙල්ලො කෝමත් ජාති කුල මල අරතක මේක හැම සෙද්දම ඉස්සරහට දානව නෙව.. ඒ හැටි...

    කතාව නං අපූරුයි...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්

      Delete
  3. යාල්පානමට මාද ගොසින් ඇත්තෙමි. නමුත් පුදුමයකට ඇත්තේ යලි යාල්පානම් යෑමට පිඹුරුපත් සකසමින් සිටි මාහට මේ පොස්ටුව ඇසගැටිමයි. .!! යාල්දේවියත් සමගින් නැවත උප සංස්කෘතියක් ලියැවීම, මොරන්නට ලකලැහැස්තිවෙන සමයක ඔබේ සාහිත්‍ය සත්‍ය හා කැටිවු රචනය පට්ටය...!!!

    ReplyDelete
    Replies
    1. රාජ්!! පාරක් කියන්නෙ සෙල්ලං දෙයක් නෙවෙයි. පාරක් හරහා යන්නෙ මිනිස්සු නෙවෙයි. සංස්කෘතිය. සන්නිවේදනය සහ සංවර්ධනය. මේ තුන හැම පාරක් හරහාම අඩු තැනෙන් වැඩි තැනට යන්න ඕනෙ. එතකොට යුද්ධය දුරයි. බොහොම ස්තූතියි ඇගයීමට.

      Delete
  4. යාල් දේවිය එක්ක බද්ද වුනු දුම්රිය උප සන්ස්කෘතිය.. දුම්රියේ අපි මුනට මුණ බලන් ඉඳගන්නවා බොහෝ විට බැහැල යනකොට අපි මිතුරන් වෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව්!!! උඩ රට යනවාට වඩා හැකිනම් යාපනේ යන්න.

      Delete
  5. ලස්සනයි............... කතාව....

    ඒත් කරන්ලගෙ ඇත්ත ජීවිතේ මේ තරම් ලස්සන නැහැ නේද තවමත්‍.....

    ReplyDelete
    Replies
    1. මධ්‍යම පංතියෙ ජීවිත කොහෙත් එක වගේ සුන්දරී

      Delete
  6. අනර්ඝ කතාවක්..

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.