මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

10/16/14

-247- කවුළු වලින් එබීමේ විපාක

 සමනල්ලු පස්සෙ දුවන කෙල්ලෙක්ව කිඹුලෙක් අරන් යයි කියලා කවුද හිතන්නෙ. ඒ වචන ටිකට මම පුදුම විදිහට බැඳිලා. 


මේ කතන්දරේ කොහොම තොතැනින් පටන්ගන්නවාද කියන එක ටිකක් විතර ප්‍රශ්නයක් තමයි. ඒත් ඉතින් කොතැනින් හරි පටන් ගන්න වෙනවා. මේ ලියාගෙන යන විදිහ වුණත් කෙනෙක්ට විදග්ධ  නෑ කියලා හිතෙනවා නං මම කියන්නෙ මින් එහාට කියවන එක ඇත්තටම එහෙම හිතන කෙනෙක්ගෙ කාලය නාස්ති කිරීමක් කියලායි. කොහොම වුණත් මම තීරණය කරනවා මෙන්න මේ විදිහට පටන් ගන්න.

මුලින්ම කියන්න කැමතියි. මේ මම ලියන්නෙ විචාරයක් නෙවෙයි. රසාස්වාදනයක් ? නෑ.. එහෙම එකක් වෙන්නත් බෑ. මම ලියනවා දෙයක්. ඒක කිට්ටු මොකකටද කියලා මට මේ වෙලාවෙ කියන්න බෑ. සමහරවිට ඉවර වෙද්දි කියන්න පුළුවන් වෙයි. ඒත් ඒක එච්චර වැදගත් නෑ. මේ පොත මම ගත්තෙ සැප්තැම්බර් 11 වැනිදා. බුක්ෆෙයාර් එකෙන්. B-100 ස්ටෝල් එකේ හිටිය හුරුපුරුදු විදර්ශන කවුන්ටර් එකේ සොහොයුරිය
( මම දන්නෙ නෑනෙ අක්කාද නංගිද කියලා) මට මේ පොත ගන්න කිව්වා. එහෙම කිව්වෙ ඒක හරියට මම ගත්තෙ නැත්තං මම අපරාධකාරියක් ගාණට වැටෙනවා වගේ මූඩ් එකකින්. “ ඔයා හැමදාම අලුත් පොත් ඉල්ලනවා. දැන් ඔන්න අලුත් පොතක් තියෙනවා අරගන්න.“   ඒකෙන් එයා අදහස් කළේ අනිවාර්යෙන්ම මම පොත ගන්න ඕනෙ ක‍ියන එක. ඔව් ඒක පිටු ගොඩක් තියෙන පොතක්. ඇත්තනේ අපි දැන් කියවන්නෙ ලොකු පොත්.

ඒත් මුලින්ම මම දැක්කෙ කවරය.

කවරෙ මඩ පාට ලේ තැවරිච්ච ගතියක් එක්ක පාවෙන ඉරිච්ච සළුවක් තිබ්බා. ඒ සළුවෙන්ම දුමාරයක් වගේ සමනල්ලු පා වුණා. ඇත්තටම උන් ලේ පාටයි. ඒ සමනල්ලු කුරුල්ලො වෙලා ඉගිලිලා ගියා. හැබැයි කුරුල්ලො ඒ පාට නෙවෙයි. නිම්නයක අහසට දෑත විහිදලා නිදහස් මුද්‍රාව තුළ ගිලුණු පිරිමියෙක්. කොපුලට කොපුල තියාගෙ සැනසිල්ලෙ ඉන්න කපල් එකක්. රතු සලුවක් දෙපා වල පැටලිච්ච කලු ඇඳුමක් ඇඳපු ගැහැණු කෙනෙක්ගෙ පසු ඉරියව්වක්. හැබැයි ඇයට උඩින් අතක් ඈතට දික් කරපු ප්‍රතිමාවක්. හරියට සැබෑ ගැහැණියක් ක්‍රමයෙන් ප්‍රතිමාවක් වෙනවා වගේ. ඒ ගෑණු ප්‍රතිමාවෙ අතේ තිබ්බ කවාකාර වලල්ල අස්සෙන් අර කුරුල්ලො පියඹලා යයි කියලා නිකමට හිතෙනවා. හැබැයි ඒකට ටික වෙලාවක් බලා ඉන්න ඕනෙ. ඒ එක්කම තව ප්‍රතිමාවක් තිබ්බා.  ඒකෙ සර්පයෙක් එතිලා. ඒ පත්තිනිද, මරිය මව්තුමීද, ඇත්තටම මම දන්නෙ නෑ. කොහොම වුණත් අර වලල්ල සළඹක් වෙන්න බැරිකමක් නෑ.

පොතේ නම කම්පියුටර් අකුරෙන් හදලා දුවනවා වගේ ඇදලා තිබ්බා. ඒ නමෙත් කුරුල්ලො පියෑඹුවා. ඒ වගේම ර අකුරෙන් ගැහැණියකට තිලක තියලා.එතන රේන්ද සමනළයෙක්. අර නිදන ඇඳුම් වල තියෙන්නෙ.  ඕක තමයි මුල් කවරෙ.

පොත ලියලා තියෙන්නෙ කෞෂල්‍ය කුමාරසිංහ. එයා තමයි කර්තෘ.  පිටිපස්ස බැලුවෙ ටික වෙලාවයි. රතු නිල් ක්ලිප් දෙකයි. කරාබු දෙක ගාණෙ දාලා පිට හරවගෙන ඉන්න ගෑණු ළමයයි. පරණ වලව් ගතිය තියෙන පිත්තල දොර අඟුලයි, උඩ යට ගහපු ටවර්ස් දෙකයි, මුහුද දිහා බලං ඉන්න කාල තුවක්කුවයි හැරෙන කොට...   නැහැ ඇයි අර කාන්තා රෑ ඇඳුම සහ ඒ අසල උන්න අනෙක් ජෝඩුව. එහා පැත්තෙ ජනේලය.. ඒ ජනේලයෙන් පෙනෙන පිටත..මම ඒ ටිකත් හොඳින්ම දැක්කා.

කතාවක් ගැන හිතන්න පිටින් පටන්ගන්න තරමට කතාව අවබෝධ වෙනවා වැඩියි. මම පොත ගෙදර ගෙනාවෙ නිකමට. තාරා මගේ දෙව්දුව කියවලා, මේ පොත කියවන්න ගත්තෙත් නිකමට. ස්තූතිය මිසක් පෙරවදන දැක්කෙ නැති නිසා කෙලින්ම මට සිද්ධ වුණේ පොත කියවන්න. ඇත්තටම සමහර පෙරවදන් කියෙව්වාට පස්සෙ කියවන්න නොහිතෙන පොත් වුණත් නැතිවම නෙවෙයිනෙ.

මේ රහස් කවුළුවෙන් එබෙන්නෙ කෞෂල්‍ය. මම හරිම කැමතියි එයා බොහොම පරාර්ථකාමී විදිහට අපිත් එක්කම එබෙන එක ගැන. එයා දකින දේ අපිට කියනවාට වඩා, අපිත් එයා එක්කම යන එකේ ගතිය වැඩියි. පොත පටන්ගත්ත විදිහට මම ඇත්තටම කැමති වුණා. ඒකෙ මම හොඳට දන්න තැනකින් පටන්ගත්ත නිසා මට කතාව දිගේ ඇවිදින්න ලේසි වුණා. ඒ වගේම මං ඇත්තට දැකපු දේවල් එකක්වත් බොරු කරන්නෙ නැතිව ලියපු එකට මම කෞෂල්‍ය ගැන පැහැදිලා හිටියෙ. එහෙම වුණාම එයාව විශ්වාස කරන්න සිද්ධ වෙනවානෙ. පොත ලියපු කෙනා විශ්වාස කළාම එයා අපේ කෙනෙක් වෙනවා. හොඳම වැඩේ තමයි එහෙම වුණාම එයා අන්තිමට මොනා කළත්, අපි හිතන දේම කරයි කියලා ඇතිවෙන හැඟීම. එහෙම වුණාම පොතේ අන්තිම හොරෙන් වත් බලන්න හිතෙන්නෙ නෑ.  මම වෙන හැම පොතම එහෙම කළා එකක් දෙකක් හැරෙන්න. කෞෂල්‍ය තමන්ට හම්බවෙන එක්කෙනෙක්වත් අත අරින්නෙ නෑ. හැම කෙනෙක් ගැනම අපි එක්ක කතා කරනවා. හැබැයි එක්කෙනෙක්ගෙවත් මනස ගැන එයා අපි එක්ක කතා කරන්නෙ නෑ. එයා කතා කරන්නෙ පිට ඉඳන්. සමහරවිට ඇත්තටම ඇතුළ හිස් නිසා වෙන්නත් බැරි කමක් නෑ.

මේ පොතේ චරිත ගොඩක් ඉන්නවා. තිවංක, කේෂානි, අසී , උවනි, නේත්‍රා, පද්මි , සඳා , කමල්, කමල්ගෙ ගෙදර අය (විශේෂයෙන් පොඩ්ඩි සහ අම්මා තාත්තා ), ටානියා, උඩින් වැටෙන ආච්චි, එයාගෙ මිණිබිරි, දසුන්, සිගරට් අහුලන ගෑණු කෙනා රාලියා , ත්‍රීවිල් කාරයා. ඇයි ටානියාගෙ මිස් ශ්‍රී ලංකා වෙන නංගි, ලෝයර් ඩිලාන්, තිවංක ගෙ නංගි, හරිනි..ටානියාගෙ මොංගල් අක්කා.. ඔව් එක සැරේ පෝලිමට හිතට එන්නෙ ඔය අය.. මේ හැමෝම එක්කෙනෙක්ට එක්කෙනෙක් මුණ ගැහි ගැහි අපූරු කතාවක් ඇතුළෙ එහාට මෙහාට පෙරලෙනවා. කතාව කියන එකෙන් කෙනෙක් පොත නොකියවන්න හිතුවොත් ඒක අපරාදයක් නිසා මම කතාව කියන්නෙ නෑ. ඒත් මට හිතෙන දේවල් කියන්න මට හරි හදිස්සියක් දැනෙනවා.

මේ කතාව අපේ වර්තමාන නාගරික සමාජය එක්ක කෙලින්ම සම්බන්ධ වෙනවා. මේ තනිකරම කොළඹ. කොළඹ කියන්නෙ හැම තැනින්ම එකතු වුණ මික්ස්චර් එකක්. ඒත් මේ හැම සමාජ සම්බන්ධයක්ම එකින් එක මුණ ගැහි ගැහි මකුළු දැලක් වගේ අපි වටේම පැටලෙනවා. . ඒ වගේම පන්තීන් අනුව අවශ්‍යතා හා වුවමනා, ප්‍රශ්න සහ ගැටලු එකිනෙකට වෙනස්. හැබැයි හැම කෙනෙක්ම අනෙකා එක්ක කොතනින් හරි සම්බන්ධ වෙලා.

දරුවන් නැති තරුණ න්‍යෂ්ටික පවුල් වටා ප්‍රධාන වශයෙන් කැරකෙන මේ කතාව ගමෙන් කොළඹට එන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගෙ ගැටලුත් ඒ අස්සෙන්ම පෙන්වනවා. නගරයේ තරුණ කාන්තාවක් තුළ නැති හැඟීමක්  ගමේ තරුණ කාන්තාවක් තුළ ගලා යනවා. ගමට නගරයට වඩා හීන තියෙනවා. ගමේ වතු වල පියා සලන සමනල්ලු, නගරයේ ඉන්නෙ පත්තර බරු අස්සෙ හිර වෙලා. නැත්තං ටීවී ඇතුළෙ. ඒත් ගමෙන් ආපු කෙනෙක්ට නගරයෙත් පියාඹන සමනළයෙක් බැලිය හැකි විරලමය ඉඩක් තියෙනවා.

අපි නොහිතන පුංචි දෙයක් හෝ කෙනෙක් අපේ ජීවිතය තුළ කොයි තරම් කලබැගෑණියක් ඇති කළ හැකිද කියන දේ මේ නවකතාව පුරාම ඇදිලා යනවා. කමල්, දසුන් වෙනුවෙන් තිබ්බ ප්‍රොටෙස්ට් එකට කඳුළු ගෑස් නොගැහැව්වා නම්, අසී හෝ කේෂුට සීඩී යන එකක් නෑ. කමල් පෝස්ටර් අලවන්න නොගියා නම්, සුදු වෑන් නොඑන්න තිබ්බා. ඔහොම ගොඩක් දේවල් මේ පොත කියවද්දි දැනෙනවා. 

කතාව ඇතුළෙ විශාල අවසානයන් නෑ. ඒත් ජීවතුන් අතර ඉන්න චරිත ඉන් එහාට මොනවා කරයිද කියලා අපි දන්නෙ නැති නිසා අවසාන කළා නම් ඒක සාධාරණයි. අනික සුදු වෑන් එකකින් අරන් ගිය  කමල්ගෙ චරිතෙ වගේ දෙයක් ගැන ඉන් එහාට කතා කරන්න බෑ කියලා  බව අපි අත්දැකීමෙන් දන්නවාන‍ෙ. කොහොම වුණත් ඉහළ හෝ පහළ මධ්‍යම පාන්තික ජීවිත ගැන කතා කරන එක තමයි මේ ලෝකෙ තියෙන අමාරුම වැඩේ. ඒ වගේ දේකට අතගහපු එක ගැන කෞෂල්‍ය නැමති ලේඛකයාට ස්තුති කරනවා.

පොත අවසන් වෙන විදිහට නම් අනිවාර්යෙන් කෞෂල්‍ය අපිට වෙනස්ම සමාජයකට ආරාධනා කරනවා කියලා මට දැනෙනවා. ආගමක් නැති සමාජයකට හෝ සර්ව ආගමික සමාජයකට. මට ඒක තේරෙන්නෙ නෑ. ඒත් දේශපානමය වශයෙන් ගෝත්‍රික සමාජයට කිට්ටු පශ්චාත් කොමියුනිස්ට් සමාජයක් වගේ එකක්ද කියලාත් හිතෙනවා. තමන්ට තමන්ගෙ බිරිඳ ගැන වුණත් අයිතියක් නොපතන විදිහෙ සමාජයක්. ඒක කිට්ටු ගෝත්‍රික සමාජයකටද කියලාත් හිතෙනවා. මොනා නමුත් ඔහු අපිට අලුතින් හිතන්න ආරාධනා කරනවා.

කොයි කොහොම වුණත්, මේ පොත කියවන්න ආසා හිතෙනවා එක හුස්මට. තව පාරක් සෝදු පත් බැලුවොත් හොඳයි කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. ඒත් මේ පොතේ නීලංකාර දර්ශන ඕනෙවට වැඩියිද  කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් ඒක කියවගෙන යද්දි නම් එහෙම දැනෙන්නෙ නෑ කියලා ස්ථිරෙට කියත හැකි. මේ පොතේ අනවශ්‍ය දේවල් නැතිම තරම්. එකකට එකක් බැඳගෙන ඉන්නෙ ජීවී අජීවි සමනළුන්ද කියලා හිතෙන තරමට මේ සොඳුරු වියමනක්. පද්මිගෙ ලිව්වා කියන කවියක් ගැන පොතේ තිබුණාට, ඒ කවියෙ එකපදයකට වඩා පොතේ තිබුණෙ නෑ. ඒ නිසා, මම ඒ කවිය සම්පූර්ණ කළා. කොහොම වුණත් මේක කියවද්දි මට බාබෙල් කියන චිත්‍රපටිය සෑහෙන වතාවක් මතක් වුණා. හනේ මංදා!

බොහොම දුර පියඹද්දි
වෙහෙසයි
මඳ සුළඟ වුණත්
හරි කටුකයි
අප දුටුව අප ද
හරි අමුතුයි
හිතට පාවෙන්න
බැරි ඒකයි!
වැස්ස දැක රඟන
තුණු මොණරු
ගල් තලා මත
සොයන නුහුරූ
ආනන්දයෙන්
පොවා මියුළු
කොහාටද යන්නෙ 
සමනල්ලු!!


12 comments:

  1. ඔයා පොත හොදට රස විදලා තියෙනවා, කියවන්න ආස හිතුණා

    ReplyDelete
  2. ස්තූතියි අපූර්වි

    ReplyDelete
  3. Replies
    1. ස්තූතියි කල්පන

      Delete
  4. පොතේ කවරේ දිගේ ඇතුලට බැහැපු විදිහ හරි අපූරුයි නොවැ කොහෝම වෙතත් ඇත්තටම මධ්‍යම පන්තියේ ඇති සංකීර්ණ තාව ඔය ඊට උඩිනුයි පහලිනුයි තියනවයි කියන පංතිවලට වඩා කටුකයි කියන එක ඇත්ත කියල මටත් වෙලාවකට හිතෙන්නේ මාත් ඔය කියන පංතියට වැටිලා ඉබාගාතේ යන හින්දද කියන්ඩ හරියටම බැරි උනත් උඹේ අපූරු රචනාවේ පොඩි එකක් තියෙනව කියලනම් කියතෑකි ඒක නෙමෙයි අර උඩින් කලූපාට පසුබිමේ සූදුපාටින් ලියල තියෙන අකුරුවල මහ පුදුම ලස්සනක්නේ තියෙන්නේ හැබැයි ඒව්වා දකින්න අකුරු අස්සටම යන්න ඔනේ තමයි

    ReplyDelete
    Replies
    1. ඒ පොත කියෙව්වෙ නැත්තං කියවන්න රාජ්!! ඇත්තටම ඒ කියවීම හරිම වටිනවා. ඉතිහාස කතා, වැඩවසම් යුග වල කතා කියවලා , ඒ එක්ක අභව්‍ය කතා බහුතරයක් කියවලා ඉන්නකොට.. ආසා හිතෙනවා.. නිකම්ම.

      Delete
  5. හෙක් මරු ඈ...............
    හී...................
    විදර්ශන ස්ටෝල් එකේ හිටපු ඇන්ටි මටත් මේ පොත ගන්න කියල මරිය සිලෝනික දික් කලා...
    (මං ඒක ගන්නමයි ගියෙ)
    දික් කොරපුහන්දම ගත්තෙ නැතිව ආව එන්න...
    ඔහැක්...

    ReplyDelete
    Replies
    1. මට නම් ඒ අය හරිම හිතවත්.. ඒ නිසා.. මම එයාලා කියන පොත් නොගෙන අතාරිනවා හරිම අඩුයි.

      Delete
  6. කවරේ දිහා තව ටිකක් ඇස් අැරල බැලුවනං මොකක් හරි දෙයක් ඔළුවට ඒවි. ඔය විස්තරේ කියවද්දි මට නිකං හිස් බවක් නිදහසක් වගේ හැගීමක් දැනුනේ පොත ගැන..

    හ්ම්.. පිටතින් ඉදන් බලල කියනවා මිනිස්සු ගැන.. පොත කියවන්න කැමතියි මම...

    ReplyDelete
    Replies
    1. කියවන්න.. කියවන එකනෙ හොඳම

      Delete
  7. ලස්සනම කියවීමක්.. පොත වගේම ඔයාගෙ ලියවිල්ලත් හදවතින්ම රස වින්දා නංගා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කා

      Delete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.