මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

8/8/14

-244- ආදරණීය තුවක්කුකරු | Dear Gunman

“අහස“. අකුරු තුනක, හරි පුංචි වචනයක්. ඒත් ඉහළ බැලුවම, පුංචි නෑ කියලා කෑ ගහල අඬන්න හිතෙන තරමට මහා විශාලත්වයක් ඒ අපූර්ව අහසට තියනවා. අහස තරමටම නැතත් පොළවත් ඒ තරම්ම විශාල ඇති කියලා හිතන්න, ලිහිණියන්ට දැනුමක් තිබුණා.

තමන්ට කවදාවත් එකතු වෙන්න බෑ කියලා දැනගෙන හිටි අහසෙයි පොළවෙයි උහුල ගන්න බැරි ආදරයට මොහොතකට එක්වෙන්න ඉඩක් දෙන්න පුංචි වැස්සක්  අහඹු සිප වැළඳ ගැනීමක් අරගෙන සැරින් සැරේ කඩා වැටුණා.

මේ ආදර පණිවිඩය හැමෝටම ඇහෙන්න ගායනා කිරීම , වැහි ලිහිණියන්ගෙ පාරම්පරාවේ රාජකාරිය.

මෙරු පිරිස  ඔය කාරිය  බලෙන් පවර ගන්න නිතරම උත්සාහ කළා. ඒත් සර්ව සාධාරණ දෙවියන් වහන්සෙ තමන්ගෙ තීරණය කිසිම වෙනස් කළේ නෑ.

හැම වැහි ලිහිණියකටම මේ ආදර කතාව කියන්න, සහකාරයෙක් ලැබෙනවා. ඒත් අනුන්ගෙ ආදර කතාවක් තමන්ගෙ කරගෙන ගායනා කරන එක කොයි තරම් අමුතු, එපා කරපු  කම්මැලි වැඩක් ද කියලා ඒ හැමෝටම හිතුණෙ නෑ. සමහරවිට හිතුණත් ඒක ඔල්මොරොන්දං සිතිවිල්ලක් කියලා කාටවත් නොකියා හංග ගන්න ඒ අය පුරුදු වුණා. කුරුල්ලො වුණාම ගී ගයන එක නම් කොහොමත් සිද්ධ වෙන්නම එපැයි.

මුහුදට කිට්ටුව, කිඳුරු ගීත ඇහෙන මානෙ ගල් දෙබොක්කාවෙ පුංචි කූඩුවක හැදුණු සුන්දර වැහි ලිහිණියක් උන්නා. හැම වෙලාවෙම ඇය ගොඩ නැගුවෙ එයාගෙම කතාවක්. ඒවා වැඩියෙන් කිට්ටු සුරංගනා කතා වලටද නැත්තම් ඇත්ත කතා වලටද කියලා හිතන්න ඇයට වගේම වෙනින් කාටවත් උවමනාවක් තිබු‍ණෙත් නෑ. ගල් දෙබොක්කාවෙන් මුලින්ම දොරට වඩපු දවසෙදි ලිහිණි කුරුල්ලො ඇයව වට කරගන්න තුරුම.

කොයි ලිහිණියා එක්කද තමන් පාරම්පරික ගීතය ගයන්නෙ කියලා තෝරාගැනීමක් කරන්න ඇයටත් සිද්ධ වුණා. රසත් එක, ප්‍රමාණයත් එකම වගේ ටොෆි ගොඩකින් කැමති ටොෆිය තෝරනවා වගේ මහ අප්‍රභංශ කම්මැලි එපා කරපුම වැඩක් වුණත්. ඒක නියතියක්. අහඹු ලෙස තෝරා ගත්ත එක ලිහිණියෙක් ඇයට හොඳයි කියලා නිකමට හිතුණා. එක්කො සමහර විට හොඳයි කියලා හිතන්න ඈ උත්සාහ කළා.

කොහොමහරි ටික දවසක් යද්දි ගීත ගයන සෙල්ලම ඉක්මනටම ලිහිණි කිරිල්ලියට එපා වුණා. එකම වගේ අය වුණත්, එක වගේ දේවල් වලින් සතුටු වෙන්නෙ නෑ කියලා දැන ගත්ත පුංචි වැහි ලිහිණිය තනියම කාලය ගත කරන්න පටන් ගත්තා. කාලය කියන්නෙත්, ගත වෙන දෙයක්නෙ. ඉතිං තත්පර, පැය, දවස් අවුරුදු එකතු වෙලා ටික ටික කාලය ගත වුණා. ටිකෙන් ටික පාරම්පරා ගීතයත් වැහි ලිහිණියට අමතක වුනා. එක්කො ඇය අමතක කළා වෙන්නත් පුළුවන්..

මම මේ කතන්දරය කියන ඔයාට කියන දවසෙ, ඉර නිදියනවද නැද්ද කියලා අහසෙ ගැට්ටට වෙලා කල්පනා කරන වෙලාව. අලුත් ගීතයක් හොයාගෙන, නමක් නොදන්න මුහුදු කරයේ ඈත ඈත ගල් පර අස්සෙ, ඉගිල ගිය පුංචි වැහි ලිහිණි කිරිල්ලි, පැතිරුණු විරල රතු පැහැයක් දැක්කා. අහස වතුරට දිය කරන දේදුනු පාටින් මතුවෙන රත් පැහැයට වඩා අමුතු තද පැහැයක් මේ රතු පාට ඇතුළෙ පෙනෙන්න තිබුණා. ළඟට එනවිට ඒ සුන්දර දසුන බොහොම අසුන්දරව ඇගේ ඇස් වෙලා ගත්තා. ලේ වැකුණු පියාපත් ගල් තලාව පුරාම විසිරිලා තිබුණා.

වට පිට විමසිල්ලෙන් බලද්දි, පැත්තක වෙහෙස කාරී මුහුණෙන් ඉන්න තුවක්කු කරුවෙක් දකින්න ඇයට වැඩි වෙලාවක් ගියෙ නෑ. ඈ පියඹා නොගිහින් තුවක්කුකරු දිහා බලා හිටියා.. මුලින්ම පුදුමයෙන්...ඉන්පස්සෙ බියෙන් අවසානයේ කුතුහලයෙන්. මොහොතකින් ඇය ඔහු ළඟටම ගියා.

තුවක්කු කරුගෙ නිශ්ශබ්ද දුඹුරු පැහැති ඇස් වල අප්‍රමාණ නිශ්චලත්වයක් තිබුණා. හැඟීමක් දැනෙන නොදැනෙන සේයාවක ඔහු අතරමං වෙලා හිටියා වගෙයි. ඈත පෙනෙන රළ නැගෙන මුහුද දිහා ඔහු එක එල්ලේම බලං හිටියාද, එහෙම නැත්තං මුහුදත් ඔහුත් පමණක් දන්නා රහසක්, මුහුද සමඟ නිහඬව ම ගිල ගනිමින් හිටියාද කියලා තේරුම් ගන්න ඇයට අපහසු වුණා.

ඔහුගේ තුවක්කුවෙන් පැමිණි එකම උණ්ඩයක්වත් ඒ කිසිම පියාපතක් දැවටිලා තිබුණෙ නෑ කියලා පෙනී යන්න වැඩි වෙලාවක් ගියෙ නෑ ඇයට . එක එක සෘතූන් වලදි වැහිලිහිණියො විහින්ම කොටලා, ඈත ගල් පර අස්සෙ මිහිදන් වුණ වැහි ලිහිණි කිරිල්ලියන්ගෙන්,තවත් කිහිපදෙනෙක් විතරයි මේ. වැහි ලිහිණි කිරිල්ලියන් වෙනුවෙන්, උපන්න කඳුලක්  තුවක්කු කරුගෙ දෙනෙත් වලින් හිර වෙලා ඇතුළට ගිලුණා. ඒ දීප්තිය දිහා රෑ ගෙවෙනකම් බලා ඉන්න තරම් හිතුවක්කාර ආසාවක් ඇයට දැනුණා. රෑ පුරාම එතැනින් පියාඹා යමින් අනතුරු අඟවන ලිහිණියො ගැන තවත් කුමට ඇය විශ්වාසය තියන්නද?

තවත් උදෑසනක් ඉර අරගෙන ආවා. පුංචි වැහිලිහිණි දරුණු වෙඩික්කාරයෙකුට ආදරය කරන්න පටන් අරගත්තා කියලා එදායින් පස්සෙ ධීවර ගම්මාන වල කට කථා ඇති වුණා.

ඇත්තම කතාව ගැන තමන් දන්න බව කියන ගොඩක් අය  කියන්නෙ, වැහි ලිහිණියො මෝඩයි කියලායි.   ඒත් පහුගිය කාලෙ පුරාවටම ඈත මුහුදෙ නගින බහින ඉර ළඟ රෝස පැහැ වලාකුළු මවන රටා දිහා නිවී හැනහිල්ලෙ බලාගෙන ඉද්දි මට හිතුණෙම තුවක්කුකාරයාගෙ තුවක්කු බඳත් වැහි ලිහිණි කිරිල්ලත් අතර කවුරුවත් නොදන්න ප්‍රීතිමත් “ජීවිතය“ තියෙනවා කියලායි. කොහොම වුණත් ආදරය කියන්නෙ මේකමයි කියලා හරි නිර්වචනයක් කොතැනකවත් නැති නිසා, වෛරයක් නොවන ඕනෑම ළෙංගතු කමක් ආදරයයි කියලා හිතන්න කාටවත් බැරි කමක් නෑ කියලා පුංචි කාලෙ ඉඳන්ම මට විශ්වාසයක් තියෙනවා.

8 comments:

  1. ඕන කෙනෙක්ට කියන්න පුළුවන් වැහි ලිහිණියා මෝඩයි කියලා.. ඒත් ඒ හිතේ හැඟීම දන්නේ එයාම විතරයි.. ඒක වෙන කාටවත් දැනෙන්නේ නෑ.. ආදරේ කියන්න අන්න එකට තමයි..

    ලස්සන කතාව නෙරංජියෝ..

    ReplyDelete
  2. නිශ්චිතවම, ආදරය මෙය යයි
    කියා ලියා නොමැත කවුරුවත්
    එබැවින්ද ආදරය
    මෙතරම් විසිතුරු, සංකීරණ

    ලස්සන ගෙත්තමක්

    ReplyDelete
  3. කැමැත්තෙන් කියෙවුවේ. ලස්සන අපුරු අදහසක් තියෙන ලිපියක් අක්කෝ ! 

    ReplyDelete
  4. ආදරය
    අහස
    වැස්ස
    නුඹ ළිහිණි
    ජීවිතය...

    කාලෙකින් කියවපු පට්ට අදහසක්...
    ජයවේවා

    ReplyDelete
  5. හ්ම්ම්... ලස්සන සිතුව්ල්ලක්

    ReplyDelete
  6. ඔය ඔක්කෝටම වඩා මරු මේ ලියවිල්ල කියෙව්වට පස්සේ, ඔලුවට එන අතොරක් නැති සිතිවිලි වල අතරමං වෙන එක, අම්මපා ..!!!

    ReplyDelete
  7. හැමෝටම ගොඩක් ස්තූතියි

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.